Saturday, November 21, 2015

අයවැය 2016

ගරු කතානායකතුමියනි, තංගල්ල උඩමාවත අංක හතලිස් හතේ පදිංචි රාජ් වන මා අප කුටුම්භයේ ගෘහ මූලිකයා ලෙස 2016 වසරේ අයවැය ඉදිරිපත් කිරීමට ඉඩ ලැබීම භාග්‍යක් කොට සලකමි. 2011 අප කුටුම්භය ගොඩනැඟීමෙන් අනතුරුව දෙදෙනා විතැන් වීමෙන් අනතුරුව වසර දෙක තුනක පමණ කාලයක් ගතකල අසීරු කාල පරිච්ඡේදයෙන් මිදී සෞභාග්‍ය කරා පියනැඟීමේ දැඩි උත්සාහය සඵල වන ලකුණු පෙනෙන්නට අැති බැව් සතුටින් ප්‍රකාශ කරමි.

☻ ගරු කතානායකතුමියනි, 2015 වර්ෂයට සාපේක්ෂව ආදායම් සහ වියදම් සැලකීමෙන් අනතුරුව ආදයම් වැඩිවීම ලෙස 2016 වසරේ ලැබෙන රුපියල් එකසිය හැත්තෑවක වැටුප් වර්ධකය ලැබීමට නියමිත අතර වෙනත් ආදායම් නොමැති බැව් ප්‍රකාශ කරමි. ඊට අමතරව ණය පොලිය අඩුවීමේ වාසියක් ලෙස රුපියල් හයක් පමණ මාසිකව වැටුපට එකතු වන බව සතුටින් ප්‍රකාශ කරමි.

☻ මීට අමතරව මහ ගෙවල් දෙකෙන් ඉඳහිට ලබාගන්න‍ා පොල් ගෙඩි කිහිපයත් හාල් මල්ලත් ආදායම් ලෙස එකතු කල බැව් දැන්වීමට කැමැත්තෙමි.

☻ ගරු කතානායකතුමියනි, වෙළඳපොලේ භාණ්ඩ මිල වැඩිවීමත් සමඟ පහත සඳහන් ක්‍රියාමාර්ග වලට එළඹීමට තීරණය කලෙමි.
කාර් මිල ඉහල ගොස් ඇති බැවින් හා ඒ සඳහා වන අටෝරාසියක් වන බදු මුදල් හේතුවෙන්, වැස්සෙන් බේරීමට කාරයක් මිලදීගැනීමට ඉදිරිපත් කල යෝජනාව අවලංගු කරන අතර තවදුරටත් යතුරු පැදියේ ගමන් යාමට තීරණය කරමි. වැස්සෙන් ආරක්ෂා වීමට වර්ෂාව පවතින අවස්ථා වල ගමන් බිමන් අඩුකිරීමට යෝජනා කරන අතර අත්‍යාවශ්‍ය ගමන්බිමන් යාම සඳහා වැහි කබා තුනක් මිලට ගැනීමට යෝජනා කරමි. තවද සෙම්ප්‍රතිශ්‍යාවෙන් ආරක්ෂා වීමට සමහන් සංචිතයක් පවත්වා ගැනීමට අවසර ඉල්ලා සිටින අතර පිරිටන් ඇමොක්සලින් වැනි ඖෂධ කිහිපයක් රෝහලෙන් ලබාගෙන ගබඩා කරගැනීමට යෝජනා කරමි. තවද දඩයක් වැදීමේ අවධානම අඩුකරගැනීම පිණිස මාර්ග නීති අකුරටම පිලිපැදීමට කටයුතු කරන බව දන්වමි.

☻ වාහන ආදායම් බලපත්‍ර ගාස්තු සහ දුම් පරීක්ෂණ ගාස්තු ඉහලයාම හේතුවෙන් දැරීමට සිදුවන වියදම් වලින් කොටසක්, අඩුකර ඇති භාණ්ඩ මිලට හිලව් කරගතහැකි බව සතුටින් ප්‍රකාශ කරමි. ගරු කතානායකතුමියනි, කිරිපිටි මිල රුපියල් තිහකින් අඩුවීමේ වාසියත් ගෑස් සිලින්ඩරය සඳහා අඩුකරන ලද රුපියල් එකසිය පනහක මුදලත් මේ සඳහා ‍ලබාගැනීමට අපේක්ෂා කරමි.

☻ ගරු කතානායකතුමියනි, සාලයා කරවල අඩුවිමේ වාසිය ලබාගනු වස් උම්බලකඩ පාවිච්චිය නතර කිරීමට යෝජනා කරන අතර කොලුවාගේ කෑම රුචිය වැඩිකිරීම පිණිස සාලයාගේ ගුණ දැක්වෙන පෝස්ටරයක් බිත්තියේ ඇලවීමට යෝජනා කරමි. තවද මාළු ගෙන එන අතරමැදියා වන ජෙමා මාළු කිලෝවකින් අධික මුදලක් අයකරන බැවින්, නිවාඩු දිනවල වැල්ලට ගොස් රැවුල කැපීමෙන් සතියේ මාළු අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීමට කටයුතු කරමි. දෙහි මිල ඉහල ගොස් ඇති බැවින් ඊට පිලියම් ලෙස අල්ලපු වත්තේ දෙහිගසේ අපේ පැත්තට නැවී ඇති දෙහි වලින් කොටසක් නෙලා ගැනීමටත් වැඩිමනක් ලෙස යෝජනා කරමි.

☻ ගරු කතානායකතුමියනි, භූමිතෙල් මිල පහල යාමේ වාසිය ලබාගැනීම පිණිස භූමිතෙල් ලිප නැවත පාවිච්චි කිරීමට යෝජනා කරන අතර පරිප්පු සහ සැමන් මිල අඩුවී ඇති බැවින් එක් ආහා‍ර වේලක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පරිප්පු එක් කිරීමට යෝජනා කරමි.

☻ විනෝද බද්ද ඉහලයාම හේතුවෙන් මත්පැන් පාවිච්චිය සීමා කිරීමට කටයුතු කරන අතර දුම්වැටි පාවිච්චිය නතර කිරීමට තීරණය කරමි. එහෙත් විශේෂ අවස්ථාවලදී පමණක් ඔබේ අනුමැතියට යටත්ව භාගයක් දක්වා මත්පැන් ලබාගැනීමට අවසර ඉල්ලා සිටිමි. මගුල් තුලා සහ මලගෙවල් වෙනුවෙන් වැයකරන මුදල් අඩුකිරීමට යෝජනා කරන අතර හිඟන්නන් සල්පිල්කරුවන් සම්මාදන්කාරයන් ඒම වැලැක්වීමට බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න පුවරුවක් ගේට්ටුවේ එල්ලීමට යෝජනා කරමි. එමෙන්ම සිංහල අවුරුද්දට බුලත් දීමේදී රුපියලේ කාසියක් පමණක් දීමට යෝජනා කරනමි.

☻ ගරු කතානායකතුමියනි, කොල්ලාගේ ආහාර වියදම් සීමා නොකිරීමට කටයුතු කරන අතර සෙල්ලම් බඩු ලබාදීමේදී මිල අඩු භාණ්ඩ කෙරේ විශේෂ අවධානය යොමුකරන අතර මීට අමතරව පොල්පිති හරකා, ගොක් කොල නයා ආදී පාරම්පරික ක්‍රීඩා සඳහා ඔහු පෙළඹවීමට අපේක්ෂා කරමි.

☻ ගරු කතානායකතුමියනි, රූපලාවන්‍ය ඇඳුම් ආයිත්තම් වැනි සුකුරුත්තං වෙනුවෙන් වන වියදම සැලකිය යුතු මට්ටමකින් කපාදැමීමට සිදුවන බැව් කණගාටුවෙන් ප්‍රකාශ කරන අතර අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සඳහා වන වියදම් පමණක් දැරීමට සලකා බලන මෙන් ඉල්ලා සිටිමි.

☻ අන්තර්ජාල සම්බන්ධතාවය වෙනුවෙන් යොදවන මුදල් අඩුකිරීමට අපහසු බැවින් දුරකතන පාවිච්චියේදී ඉන්කමින් සඳහා පමණක් ප්‍රතිචාර දැක්වීමට යෝජනා කරමි.

☻ ගරු කතානායකතුමියනි, "පුංචි පවුල රත්තරං", "ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ" වැනි සංකල්ප අනුව දැනට ඉන්නා එකා හොඳටම අැති බව යෝජනා කරන අතර "ආරක්ෂාව" සඳහා වියදම් රහිත ක්‍රියාමාර්ග වලට එළඹීමට යෝජනා කරමි.

ගරු කතානායකතුමියනි, දෙදහස් දහසය වසරේ අපේක්ෂික ඉලක්ක සපුරාගැනීම පිණිස ඉදිරිපක් කල මෙම අයවැය ලේඛණය සඳහා ඔබේ අනුමැතිය ඉල්ලා සිටින අතර ඉදිරියේදී ඇතිවිය හැකි ආර්ථික අවපාත හමුවේ නොසැලී ඉදිරියට යෑමේ ධෛර්ය අපේක්ෂා කරමි.

--------------------------------------------

චාමි සෑම් විසින් 2011 වසරේ ඉදිරිපත් කල නව ලිබරල් අයවැය ලේඛනය අනුව සකස් කර ඉදිරිපත් කරන ලදී.

Friday, November 13, 2015

සතියේ ජෝක්











අයියා:
මලයන්ඩියේ නුඹ වෙන්වී ගිය දවසේ
ගිනි ඇවිලුනා කැණිමලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
ආ එක මදෑ මගෙ වැඩේට අද දවසේ

මල්ලී:
‍කටු ලෙවකෑව ඇති අයියේ මෙහෙ එන්න
පරම්පරාවටම පුළුවනි සැප ගන්න
දියවන්නා රස මසවුළු වළඳන්න
සාටකයේ එල්ලෙමු අපි ගොඩ යන්න

දෙදෙනාම:
අපි සංතෝසෙන් ඉන්නේ
දුක සෝකය නෑ දන්නේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලි......

*******************************

හතර හිනා








රතු අයියලා:
කොහොමද අපෙ බලේ
මාරපනය කැලේ
අපිත් එක්ක බෑ සෙල්ලං
දෙනවා වෙන්නට සල්ලං

නිල් (සාටක)අයියලා:
ඕක තමයි අපි කිව්වේ
වරදක් වී නැත කිව්වේ
මාරපනත් කිව්වා නං
වරදක් වී ලා නෑ බං

කොල අයියලා:
වැරදි කලොත් යන්නම වෙයි
යහපාලනෙ මේක තමයි
ඉතිහාසේ කවදාවත්
සිදුවුනාද මෙහෙම දෙයක්

රාජ්:
මාර පනය ගියා
අපිටත් හරි හිනා
පොඩි පොඩි ආතල්
අපායෙ ඉන්ටවල්

Tuesday, November 3, 2015

සොෆ්ට්ලොජික් අකරුණාව අබාන්ස් කරුණාව හා රග්බි ලෝක කුසලාන පසු කතා.

රග්බි ගැන ලිවිල්ල නැවැත්තුව ගිය පෝස්ටුවෙන්. හතරක් පහක් ලියුව හින්දත් කස්ටිය වැඩිය කැමති නැති නිසාත් ෆයිනල් එක ගැන නොලිය ඉන්නයි කල්පනා කලේ. මේ වගේ හුඟ දෙනෙක් අකමැති මාතෘකා ගැන දිගින් දිගටම ලියද්දි කියවන්නන්ට කේන්ති යනව. මට මතකයි ඒ දවස්වල කතන්දරකාරයා අපේ දැඩි විරෝධතා මැද්දෙ, සාහිත්‍ය මාසෙත් පැනල කයි කතන්දර ලියපු හැටි.
රග්බි ගැන ලියන්න හිතුනෙ ඒක මගේ කැමතිම ක්‍රීඩාව නිසා. අවුරුදු දෙකක‍ට විතර කලින් දුර ඥ‍ාතියෙකුගෙ ගෙදරදි රග්බි බෝලයක් දැක්ක මිසක් ජීවිතේට රග්බි ගහලවත් නැති එකෙක් තමයි මම. රග්බි ගැන උනන්දුව ඇතිවුනේ මෙහේ තියන සිංගර් සෙවන්ස් තරගාවලිය ටීවී එකෙන් බලලයි. රජ පුතාල ඒ දවස්වල ඕක ටිකක් වෙනස් කරල ගත්තත් දැං නං ඒ තරගාවලිය නැහැ මං හිතන්නෙ. ඊට පස්සෙ රග්බි නීති රීති එහෙම හොයල බලල ගනගත්තම තමයි මේක ප්‍රියතම ක්‍රීඩාව වුනේ.

පහුගිය ලිපියෙදි මුනගැහුන යහපත් ඇනෝ ඇරුනම රග්බි උන තියන අය බ්ලොග් කියවන්නන් අතරෙ නැති බව තමයි පේන්න තිබුනෙ. රග්බි ලෝක කුසලාන අවසන් තරගය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. නවසීලන්තය දිනුව, සොනිබිල් විලියම්ස් පදක්කම ළමයෙකුට දුන්න (ඒක තමයි වැඩිපුර කතාබහ වුනේ). රග්බි ලෝක කුසලානය ගැන මම කියපු අනාවැකි හතරක් හරිගියා. ශූරයෝ, අවසන් තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක, අවසන් කණ්ඩායම් අට, ඒ ඒ කාණ්ඩ වල ප්‍රසාද ලකුණු අනුව අනුපිලිවෙලින් මුල් ස්ථාන දෙක.
රයිට් රග්බි ගැන ඒ ඇති.

රග්බි ලෝක කුසලානය තියන දවස් මට සෑහෙන්න අපලයි. මොකක් හෝ හේතුවක් නිසා තරගාවලිය මිස් වෙනව. 2003දි අම්ම ඉස්පිරිතාලෙ නැවැත්තුව, 2007දි මම ඇක්සිඩන්ට් වෙලා ඉස්පිරිතාලෙ ඇඳේ. 2011ත් මොකද්දෝ උනා. නැවත විකාශයන් තමයි සමහර තරග බැලුවෙ. මේ සැරේ ටීවී එක වැඩකරන්නෙ නැතුව ගියා. නමුත් මේ සැරේ කොහොම හරි බලනව කියල ගියා ටීවී එකක් අලුතෙන් අරගෙනම බලන්න. නෝනයි මම පුත්‍රයයි ටවුම පුරාම ඇවිදල තෝරගත්ත සොෆ්ට්ලොජික් එකේ තිබුන පැනසොනික් ටීවී එක. ගෙවීමේ ක්‍රමයට ගන්නයි සූදානම. රජයේ සේවයේ සිටින එක ඇපකාරයෙක් ඇති කියලයි කිවුවෙ. ටීවී එක ගැනීමේ අදහසින්ම දෙවැනි වතාවට සොෆ්ට්ලොජික් එකට ගිහිල්ල නෝන ඇපකාරය කරල මගේ නමට ටීවී එක ගන්නයි ලැහැස්තිය. නමුත් පොඩි අවුලක් හැදුන. සංවාදෙ මෙහෙමයි,

"මෙන්න මගේ අයිඩී කොපිය, මෙන්න ඇපනකාරයගෙ අඩිඩී කොපිය, අපිට අර ටීවී එක දෙන්න......" සොෆ්ට්ලොජික් කඩේ හිටපු කොලුවට හැඳුණුම්පත් දෙන ගමන් මම කිව්ව.

"සර්.... මේ නෝනද?"

"ඔව්"

"මේකයි සර්..... නෝන නං ඇපවෙලා හරියන්නෙ නෑ..... කම්පැනියෙන් එපා කියනවනෙ"

"මේ නෝන තමයි, හැබැයි ඔහේල දන්නෙ නෑනේ මෙයා නෝන කියල.... මොකෝ කසාද සහතික ඉල්ලන්නෙ නෑ නේද?"

"පොඩ්ඩක් ඉන්න සර්....." කොල්ල එතන ඉඳපු ගැණු ලමයෙකුට විස්තරේ කියල එයාලගෙ "සර්ට" කෝල් එකක් ගත්ත. නමුත් ප්‍රතිචාරය අයහපත්.

"ඔයාලට ඇපකාරයො ඕන වෙන්නෙ කම්පැනියට යවන්න නං එයාල කොහොමද දන්නෙ අපි නෝනයි මහත්තයයි කියල? ගෙදරට එනවද එයාල බලන්න?"

"ඔව් සර්..... ගෙදරට එනව බලන්න...." ඒක බොරුවක් කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඒ ගමන එයාලගෙ ටීවී එක එයාලටම තියාගන්න කියල ගියා දෙවැනි ඔප්ෂන් එක වෙච්ච අබාන්ස් එකට, එල්ජී ටීවී එකක් ගන්න. විස්තරේ කිව්වම අපේ අයිඩී කොපි දෙක අරගෙන ටීවී එක ගෙනියන්න කිව්ව. ටීවී දෙන තැන්වල පරණ ටීවී එකක් දුන්නම ගානක් අඩුකරනවනෙ, අබාන්ස් එකේ ලොක්ක අපට යෝජනාවක් කලා.

"ඔයාල ටීවී එක ගෙනියන්න.... බිලයි වොරන්ටි කාඩ් එකයි අපි තියාගන්නං.... පරණ ටීවී කෑල්ලක් ගෙනත් දෙන්න.... අපරාදෙනෙ අඩුකරන ගාන නැතිවුනොත්...."

සතියක් දෙකක් ගිහිල්ලත් පරණ ටීවී එකක් හොයාගන්න බැරිවුන නිසා පහුගිය පඩි දවසෙම ගියා වාරිකයත් ගෙවල පරණ ටීවී එකක් හොයාගන්න බැරිවීම ගැනත් කියන්න.

"මහත්තය මම ‍ආවෙ අර ටීවී එකේ වාරකේ ගෙවල යන්න.... පරණ ටීවී එකක් හොයාගන්නත් බැරිවුනා.... ඒ නිසා ඒ ගණනත් ගෙවල දාන්නං නේද...."

"බැරිද මොකක් හරි හොයාගන්න.... මොකක් හරි කෑල්ලක් ගෙනත් දෙන්න.... අපරාදෙනෙ.... ඔය වීවී හදන තැනකට ගියාම රුපියල් පන්සීයක් විතර දීල ගන්න පුළුවන්"

බිලයි වොරන්ටි කාඩ් එකයිත් මට ලැබුන. ටීවී එකකුත් හොයාගත්ත කියල ගෙදරින් පනිවිඩයක් ලැබුන. අද ඒ ගණුදෙනුව අවසන් කරන්න හිතාගෙන ඉන්නව.