Thursday, January 29, 2015

අපේ ක්‍රිකට් වලට මොකද වෙලා තියෙන්නේ...... [Road to World Cup I]

නවසීලන්තය එක්ක තිබුන තරගාවලිය මේ වෙද්දි පරාජය වෙලා ඉවරයි. මේ සටහන ලියන මොහොත වෙද්දි තවත් එක තරගයයි ඉතිරි. ඒකවත් දිනාගන්න පුළුවන් නම් ගෞරවය ටිකක්වත් රැකගන්න පුළුවන්. එක තරගයක් වැස්සට හේදී නොයන්න පරාජය තවත් දරුණු වෙන්න හොඳටම ඉඩකඩ තිබුන. දුවද්දී දවාගැනීම් හතරක් නිසා යන්තම් එක තරගයක් බේරගන්න සමත් වුනා. දැන් බොහෝ දෙනෙකුට තියන ප්‍රශ්න දෙක තමයි ඇයි මෙහෙම උනේ කියන එකත් ලෝක කුසලානයේදි මොනව වෙයිද කියන එකත්.

2014 කියන්නෙ අපේ ක්‍රිකට් වලට හොඳ අවුරුද්දක්. 96ට පස්සෙ ලෝක කුසලානයක් ජයග්‍රහණය කරන්න සමත්වුන එකම අවුරුද්ද. ඒ වගේම එංගලන්තයට එරෙහිව ටෙස්ට්, එක්දින වගේම 20-20 තරගාවලි ජයගත්තෙ එංගලන්තයෙදි. මට හිතෙන හැටියට වැටීම ආරම්භ වුනේ හදිසියේ පැමිණි ඉන්දියානු සංචාරය නිසා. කොදෙව්වන්ගේ තරගාවලිය අවලංගු වීමෙන් පස්සෙ ඉන්දියා‍ව පැත්තෙන් කල ඉල්ලීමකට අපේ ක්‍රිකට් පාලකයන් එකඟ වීමත් එක්ක අනවශ්‍ය තරගාවලියකට මුහුණ දෙන්න අපිට සිදුවුනා. ශාරීරික යෝග්‍යතා පුහුණුවක් අතරමැද යන්න සිදුවුන මේ සංචාරය 5-0 විදියට පරාජය වීමත් එක්ක කණ්ඩායමේ වැටීම පටන් ගත්ත කිව්වොත් හරි. ඉන්දියානු සංචාරයේදි අසාර්ථක වුන පන්දු යවන්නන්ගේ විශ්වාසය අඩුවීම දැන් තියන අවුලට මූලික හේතුව කියලයි මට හිතෙන්නෙ.

ලංකා කණ්ඩායමේ අවුල ආකාර දෙකකින් විග්‍රහ කරන්න පුළුවන්. පළමුවැනි කාරණාව තමයි කෙටි කාලීනව සිදුවුන කඩා වැටීම. ඉන්දියානු සංචාරයෙන් පස්සෙ පන්දු යවන්නන් සෑහෙන මට්ටමකින් විශ්වාසය පළුදු කරගත්ත. මේකෙ ප්‍රතිපලයක් විදියට පිතිකරුවන්ට එල්ල වන පීඩනය වැඩිවුනා. සියල්ල අවුල් වෙද්දි පන්දු රැකීමත් අවුල් වුනා. මේක විශම චක්‍රයක්. ක්‍රිකට් කියන්නෙ මානසික ශක්තිය එක්ක කරන ක්‍රීඩාවක්. මට මතකයි වරක් ඕස්ට්‍රේලියානු නායකයෙක් කියල තිබුන (පොන්ටින් හෝ ස්ටීව් වෝ) ඔවුන්ගේ නොනවතින ජයග්‍රහණ වලට හේතුව "පරාජය වීමට තියන දැඩි අකමැත්ත" කියල. මම කියපු කාරණාව සනාථ කරන්න පුළුවන් හොඳම උදාහරණය තමයි කලින් ජයග්‍රාහීව අවසන් කල සංචාර වල ක්‍රීඩකයන්ම දැනටත් කණ්ඩායමේ සිටීම. ජයග්‍රාහී මානසිකත්වය ගිලිහී යාමයි අවුල.

ඒ වගේම අපේ ක්‍රිකට් වල දිගු කාලීන අවුලකුත් තියන බව කියන්න ඕන. පිතිකරුවෙක් විදියට ස්ථාවර සහ සාර්ථක අයෙක් විදියට අන්තිමට ආවෙ ඇන්ජලෝ මැතිව්ස් විතරයි. එතනින් පස්සෙ කණ්ඩායමට පැමිණි කිසිවෙක් ස්ථාවර වුනේ නෑ. යම් යම් අවස්ථාවල සාර්ථක වන තිරිමාන්න සහ චන්දිමාල් තාමත් මහේල-සංගා-දිල්ශාන් වගේ ජ්‍යේෂ්ඨයන්ගේ අඩුව පුරවන්න සමත් වෙලා නෑ. පන්දු යවන්නන්ගේ පැත්තෙන් බැලුවත් තත්වය ඕක තමයි. එක කාලයක වාස්-මුරලි, තවත් කාලයක මුරලි-මාලිංග, ඊටත් පස්සෙ මාලිංග-කුලසේකර වගේ පන්දු යවන්නන් දෙදෙනෙක් වත් සාර්ථක මට්ටමක හිටිය. හොඳ පන්දු යවන්නන් දෙදෙනෙක් සිටින කණ්ඩායමකට තවත් සාමාන්‍ය මට්ටමේ පන්දු යවන්නන් දෙතුන් දෙනෙක් සිටීම ජයග්‍රහණ වලට ප්‍රමාණවත්. නමුත් මේ වනවිට ඉන්න පන්දු යවන්නන් සාර්ථක මට්ටමක නෑ. කණ්ඩායමක් අවුල් වෙද්දි ඒක පිටට පෙන්වන කැඩපත තමයි පන්දු රැකීම. ධෛර්ය අඩුවුන ගමන් පන්දු රැකීමත් පහලට වැටෙනව. මේ වනවිට ඒකත් වෙලා තියෙන්නෙ. ඒ නිසා මේ අවුල් දෙකට කඩිනම් විසඳුම් අවශ්‍යයි.

පළමුවැන්න තමයි තාවකාලික පසුබෑම නිරාකරණය කරගැනීම. මොකක් හෝ ක්‍රමයක් පාවිච්චි කරල දිනන්න ඕන ගානට ඔලු ටික සුද්ධ කරගන්න වෙනව. ඒක සාර්ථකව කරන්න පුළුවන් නම් ලෝක කුසලානය ගැන හිතන්න වත් පුළුවන්. එහෙම නොවුනොත් නං බෑ. දෙවනුව හොඳ පිතිකරුවන් සහ පන්දු යවන්නන් ටිකක් හොයාගන්න වෙනව. විශේෂයෙන්ම පැයට කිලෝමීටර එකසිය හතලිස් ගනන්වලින් පන්දු යවන එක්කෙනෙක් දෙන්නෙක් නැතිව වේගවත් තණතීරු වල අභියෝග ජයගන්න බෑ. මගේ අදහස අනුව ප්‍රමාණාත්මකව වැඩි පිරිසකට අවස්ථාව දිය යුතුයි. අන්තර් සමාජ මට්ටමේදි දක්ෂතා අතින් ඉහලින්ම සිටින ක්‍රීඩකයන්ට පමණක් නෙවේ, මැද මට්ටමේ ක්‍රීඩකයවනුත් අත්හදා බැලීම් වලට යොදාගත යුතුයි. පන්දු යවන්නෙක් විදියට කණ්ඩායමට ආපු තිලාන් සමරවීර හොඳ ටෙස්ට් පිතිකරුවෙක් වුනා වගේ, බාග තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වෙච්ච ඇන්ජලෝ මැතිව්ස් හොඳ පිතිකරුවෙක් වුනා වගේ සැඟවුනු දක්ෂතා තියන උදවිය ඉන්න පුළුවන්. ඒ අය හඳුනාගැනීමට තරම් අවස්ථා කිහිපයක් ලබාදිය යුතුයි.

ලෝක කුසලානය සහ අපේ බලාපොරොත්තු ගැන ඊලඟ ලිපි වලින් කතා කරමු.

Tuesday, January 27, 2015

අපි මහරජ ගැමුණු බැලුව හැටි

අපිත් ගියා මහරජ ගැමුණු බලන්න. බැලුව! බැලුව කිව්වට........

ඔන්න නෝනගෙ යෝජනාවක් අනුව තුන් දෙනා එක්ක ගියා තංගල්ලෙ හෝල් එකට. පන්ති ගිය කාලෙ පන්ති කට් කරල කැඩිච්ච පුටු වල වාඩිවෙලා හූ කිය කිය චිත්‍රපටි බලල අවුරුදු පහලවක් විතර වුනා, ඉන් පස්සෙ හෝල් එක පැත්ත පලාතෙ ගියේ නෑ. ඔන්න බයික්කෙක එහෙම පාක් එකට දාල රුපියල් තුන්සීයක් දීල බැල්කනි ටිකට් දෙකක් අරගෙන උඩට ගියා. විනාඩි දහයකින් විතර ඔන්න චිත්‍රපටිය පටංගත්ත. හෝල් එකේ බැල්කනියට හිටියෙ අපි දෙන්නයි පොඩි එවුන් දෙතුන් දෙනෙක් එක්ක ආපු තවත් ජෝඩුවකුයි විතරයි. බැල්කනියෙ ආදායම හය හත්සීයක් ඇති. අපරාදෙ කියන්න බෑ ‍හෝල් එක නං අලුත්වැඩියා කරල තරමක් හොඳ තත්වයෙන් තිබුන. අපි පන්ති ගිය කාලෙ වගේ නෑ. දකුණු පැත්තෙ පුටුවල අපි තුන්දෙනා, වම් පැත්තෙ අනෙක් පවුල චිත්‍රපටිය බලනව.

අපේ පොඩි මෑන් චිත්‍රපටියක් බලන පළවෙනි වතාව මේක. මිනිහගෙ ප්‍රතිචාරය ගැන සෑහෙන්න සැකයෙන් අපි දෙන්න හිටියෙ. ඒකට හේතුවක් තිබුන. අපේ ගාමිණී අයිය දවසක් කිව්ව එයා චිත්‍රපටියක් බලපු කතාවක්. ඔන්න ගාමිනී අයියයි ප්‍රනීත් අයියයි පවුල් පිටින් ඇවිල්ල මොකද්දෝ පිචර් එකක් බලන්න. ගාමිනී අයියගෙ පොඩි එකා ඒ වෙද්දි අපේ පුතාගෙ වගේ වයසෙ. ඔන්න ලයිට් නිවල ලොකු සද්දෙකුත් එක්ක වැඩේ පටන්ගත්ත විතරයි පොඩි එකා අඬන්න ගත්තලු බෑඟිරි ගහල. නලවගන්න හැදුවත් ඒකත් හරිගිහිල්ල නෑ. ඒ ගමන පොඩි එකත් අරගෙන හෝල් එකේ බාර් එකට ගිහිල්ල ප්‍රනීත් එක්ක චිත්‍රපටිය ඉවර වෙනකල් අනුමත වෙලා.

හැබැයි අපේ මෑන්ගෙන් ඒ වගේ අවුලක් මතුවුනේ නෑ. කරුවලට ඇස් හුරුවෙනකල් මගේ ලඟ වාඩිවෙලා ඉඳල ඔන්න පුටුවෙන් බැස්ස. බැහැල පුටු පේලි අතරෙ එහෙ මෙහේ දුවනව. ඒ මදිවට බැල්කනියෙ තාප්ප කෑල්ලට නගින්න හදනව ගැලරිය පැත්තට පනින්න. ඒ ගමන මම ගියා ඉස්සරහම පුටු පේලියට. මේ හාදය බැරි වෙලාවත් තාප්පෙට නැග්ගොත්, ගැලරිය තියෙන්නෙ අඩි දහ පහලවක් පහල නෙව. ඒ ගමන පහලට එබිල බැලුව, මැස්සෙක් නෑ පහල. බයික් නවත්තපු තැන නං බයික් පහක් හයක් තිබුන මතකයි. ඒ කියන්නෙ බොක්ස් පහ හයක් යන්න අැති. අපිට චිත්‍රපටි පෙන්නන්න බොක්ස් එකක් ඇතුලෙ දුක් විඳින නංගිල මල්ලිලාට පින් සිදු වේවා! බොක්ස් ගැන අපූරු නිසඳැසක් ඒ කාලෙ පොඩි මෑන් ලියල තිබුන.

කට්ටි පනින
නංගිලාගෙ
පෙට්ටි කඩන
පෙට්ටි!

පොඩ්ඩගෙ බාධා කිරීම් මැද එහෙන් මෙහෙන් චිත්‍රපටිය බලන්න පටන් ගත්ත. දුටුගැමුණු කියන්නෙ අපි අහල නැති කතාවක්යැ. ඉහේ කෙස් ගානට අහල තියනව. කියවල තියනව. දුටු ගැමුණු කතාව හොඳටම කියවන්න ලැබුනෙ ථූපවංශයෙන්. පහේ පන්තියෙදි විතර සොල්දරෙන් අහුවුන දුටුගැමුණු චිත්‍ර කතාවක හිටිය කොනෑන් වගේ චරිතයක් තමයි දුටුගැමුණ කිව්ව ගමන් මට මතක් වෙන්නෙ. අපි දන්නා කතාවක් චිත්‍රපටියකට නැඟුවම තියන අවුල තමයි මේ. එලාරට ඉන්නෙ ජැකා බව දැක්ක ගමං මට පොඩි හිනාවක් ආව. කොච්චර උනත් දුෂ්ඨය, අපේ හිතේ ඉන්න අප්‍රිය එකෙකුට සෙට්වීම චිත්‍රපටියකට කැමති වෙන්න හොඳ හේතුවක්. දුටුගැමුණු නං පන මදි කියලත් හිතෙනව. මොකෝ වීරය තමයි හොඳම බුලට් එක වෙන්න ඕන. දසමහ යෝධයො සැට් එක නං හොඳයි. උන් එක්ක තිව්වම (උද්දික ප්‍රෙමරත්න) දුටුගැමුණු පාංකෙයිය වගේ. සද්ධා තිස්සට සාරංග දිසාසේකර ගත්තම ඊටත් එහා.

අපි දන්න කතාව ඒ විදියටම ගලාගෙන ගියා පැයක් විතර. ඔන්න ඊට පස්සෙ අපේ පොඩි මෑන් දුන්න පොඩි වෝනින් එකක්.

"තාත්තේ තං" ඒ කිව්වෙ අපේ බාසාවෙන් "තාත්තේ යං" කියල. හෝල් එකේ අංකල් ඇවිල්ල දොර ඇරියමයි යන්න පුළුවන් කියල තව විනාඩි දහ පහලවක් ඇද්ද. ඊට පස්සෙ ආයෙත් "තං" කියන්න ගත්ත විනාඩි පහක් හයක් ගියතැන. ආයෙත් අර උත්තරේම දීල ශේප් වුනා. අන්තිමට තං රේ‍ට් එක විනාඩියකට එක ගානෙ වගේ ඇවිල්ල එ්ක විනාඩි බාගෙ වෙලා ඊටත් පස්සෙ නොනවත්වාම ප්‍රතිවාදනය වෙන්න ගත්ත මොහොතේ චිත්‍රපටි බැලිල්ලට තිත තියන්න වුනා. ඒ වෙද්දි කාවන්තිස්ස රජ්ජුරුවො යෝධයන්ට උපදෙස් දෙමින් හිටියෙ අයිය මලෝ වලියෙදි එක්කෙනෙකුට වත් සපෝට් කරන්න එපා කියල. ඉතිරි ටික බලන්න වෙන්නෙ තවත් කාලෙකින් ටීවී එකේ මේක පෙන්නන වෙලාවක තමයි.

මට හිතෙන හැටියට ලංකාවේ සිනමාව ගොඩගන්න ලේසි නෑ. නගර වල තත්වය කොහොමද දන්නෙ නෑ, නමුත් මෙහේ නං චිත්‍රපටි බලන්න එන්නෙ ඔයවගේ පිරිසක් තමයි. තරුණ පරම්පරාවෙ හුඟ දෙනෙක් බලන්නෙ හින්දි ඉංග්‍රීසි චිත්‍රපටි/කතා සීරීස්. ඒ කොලිටිය මෙහේ ගන්නව කියන්නෙ හීනයක් විතරයි. මට පේන්නෙ මේක ලංකාවෙ රග්බි ක්‍රීඩාව වගේ. රග්බි තාක්ෂණිකව කොච්චර දියුණු කලත් යන්න පුළුවන් සීමිත දුරක් විතරයි. ශාරීරික ශක්තිය කියන තැනදි අපි අනිවාර්යෙන් පරදිනව. වානිජ සිනමාව වෙනුවට වෙන මොකක් හරි තියනව නං හොඳයි.

කොහොම උනත් ජනාධිපතිවරණයේදී සිදුවුන බල වෙනසත් එක්ක දේශප්‍රේමී හෙජමොනිය දියවෙන ගතියක් තියන නිසා ඓතිහාසික චිත්‍රපටි නවතින්න ඉඩ තියනව.

*********************************************************************

[දින දෙකකට පසු,]

"ඒයි..... මෙන්න අර චිත්‍රපටියෙ මංගල දර්ශනේ නිව්ස් වල....."

"එතකොට අපි බලල තියෙන්නෙ මංගල දර්ශනයක්? අම්මප ඔහොම එකක් බැලුවමයි"

Thursday, January 22, 2015

THANX MY3

















ගුණේ රකින්න,
බලේ ඉල්ලන,
රුහුණේ අම්බරුවන්ගේ,
තීන්දු
අන්ඩූ කලාට
ස්තුතියි
මෛත්‍රී!

Wednesday, January 21, 2015

උණුසුම් ඡන්දෙ මැද්දේ ඉලෙක්ෂන් ඩියුටි අස්සේ........

[මෙවර ඡන්දය අපට ලබාදුන් ජ්‍යෝතීර්වේදී සුමනදාස අබේගුණවර්ධනයන්]

මෙදා ජනාධිපතිවරණයේ මැතිවරණ රාජකාරී දීල තිබුනෙ කාර්යාලයට වගේම ගෙදරටත් ටිකක් විතර කිට්ටු තැනක. ඒ මදිවට අපේ ප්‍රාදේශිකය ඇතුලෙම තිබුන පොඩි ඉස්කෝලෙක. ඔන්න ඡන්දෙට කලින් දවසෙ මධ්‍යස්ථානෙට ගියා. ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති හෙවත් එස්පීඕ මහත්තයයි මෙදා සැරේ අලුතෙන් අැතිකරල තිබුන අතිරේක එස්පීඕ මහත්තයයි, ගෝලයයි, තවත් මිස්ලා දෙන්නෙකුයි ඇවිලිල හිටිය. එස්පීඕ මහත්තය අර නෝනලත් හවුල් කර‍ගෙන බරටම වැඩ. හෝ ගාල ලියුම් කවර ලියනව.

ඡන්ද ඩියුටි කතා ගැන මීට කලින් ලිපි දෙකකුත් තැපැල් ඡන්ද ගැන ලිපියකුත් ලිව්ව. ඊට අමතර කාරණා කිහිපයකුත් තියනව කියන්න.
අට වැනිදා තිබුන ඡන්දයට අදාල රාජකාරී පටන් ගන්නෙ ඊට සතියකට විතර කලින්. ඒ කියන්නෙ සුභසාධන අංශය එහෙම කලින්ම ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ කඳවුරු බැඳගන්නව. ඡන්ද මධ්‍යස්ථානවලට අදාල රාජකාරී පටන් ගන්නෙ කලින් දවසෙ. හත් වැනිදා උදේම ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ගිහිල්ල එතනින් දෙන ඡන්ද පෙට්ටිය, ඡන්ද පත්‍රිකා ආදී අඩුම කුඩුම සියල්ලම අරගන්න ඕන. ඒ රාජකාරිය පැවරෙන්නෙ එස්පීඕ මහත්තයට සහ එයාගෙ ගෝලයට. බඩුටික භාරගත්තම වාහනයක් සහ ටීපනස් හයේ දෙකක් අතැති පොලිස් රාලහාමිල දෙන්නෙක් ලැබෙනව. කැමති නම් තමන්ගේම වාහනයක යන්නත් එස්පීඕ මහත්තයට පුළුවන්. වාහනයට අදාල ගාස්තු සහ රියදුරු ගාස්තුත්, ගෝලයගෙ ගාස්තුවත් එස්පීඕ මහත්තයට ගෙවනව. සාමාන්‍යයෙන් පෙට්‍රල්/ඩීසල් අනුව ගෙවන මේ ගාන ලොකු ගානක් නෙවේ.

එස්පීඕ මහත්තය කිව්වම මතක් උනේ, මහත්වරු විතරක් නෙවේ එස්පීඕ නෝනලත් ඉන්නව. රාජ්‍ය සේවයේ පිරිමින්ගේ හිඟය නිසා සමහර අවස්ථා වල නෝනලා යොදාගන්නව. නවාතැන් පහසුකම් හොඳ මට්ටමින් තියන තැන් වලට එයාල යොදාගන්නව. ඊට අමතරව මහත්තයත් ඉලෙක්ෂන් ඩියුටි ඉන්න කෙනෙක් නං එයාටත් ඒ මධ්‍යස්ථානයේම ඩියුටි හදල දෙන්න පුළුවන් කියල නීතියකුත් තියනව. ඒත් ඉතිං නෝනත් එක්ක ඩියුටි ඇවිල්ල ආතල් එකක්වත් ගන්නෙ කොහොමද නේද? හරි ඒ කතා ඇති.

ඡන්දෙට කලින් දවසෙ දෙන බඩු ටික අරගෙන මධ්‍යස්ථානයට ඇවිල්ල සුදුසු ගොඩනැඟිල්ලක් තෝරාගෙන එතන ඡන්ද දායකයන්ට ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට ගන්න ඕන. ඊට අමතරව ඡන්ද පෙට්ටියත් එක්ක භාරදිය යුතු වාර්තා ආදිය බහාලන ලිපි කවර ලියන්නත් තියනව. මේව කලින් දවසෙ කරගත්තම ඡන්දෙන් පස්සෙ ඉක්මනින් ගෙවල් වල යන්න පුළුවන්. නැත්තං ඡන්දෙ හතරට ඉවර කලාට යන්න වෙන්නෙ පහට හයට විතර තමයි. ඒ වැඩ රාජකාරි ඉවර වුනාම හයට විතර නෝනලාට ගෙදර යන්න පුළුවන්. එයාල එන්න ඕන ඡන්දෙ දවසෙ උදේ හයට විතර.

මාත් එක්ක, අපේ මධ්‍යස්ථානෙ පිරිමි උදවියට හිටියෙ එස්පීඕ මහත්තයයි, දෙවනියයි, එස්පීඕගෙ ගෝලයයි, ජේපීඕ මහත්තයෙකුයි, ලිපිකරු මහත්තයෙකුයි. ලිපිකරුවා ගුරුවරයෙක්. ජේපීඕ කෘෂිකර්ම නිලධාරියෙක්. දෙවනියත් ගුරුවරයෙක්. එස්පීඕ ඉඩම් නිලධාරියෙක්. එහේ මෙහේ කැරකි කැරකි ඉන්නකොට ජේපීඕ මහත්තය කිව්ව එයා ගෙදර ගිහිල්ල උදේට එන්නං කියල. අනෙක නවාතැන් ගන්න තිබුනෙත් ඉස්කෝලෙ පුස්තකාල කාමරයක. මාත් කල්පනා කලා ගෙදර යන්න. කෝකටත් කියල ලිපිකරු මහත්තයට මුට්ටිය දාල බැලුව.

"හා! එහෙනං වීරකැටියට ගිහිල්ල බෝතල් දෙකක් ගේමු" අන්න එහෙම එපායැ ඉන්න. එස්පීඕ මහත්තයත් ඕකේ එක දුන්න. එයාගෙ ගෝලයත් හොඳ බෙබෙක්. එයා තමයි කිව්වෙ "වීරකැටියෙ සංස්ථා නෑ" කියල. ඒ ගමන වලස්මුල්ලට ගිහිල්ල බෝතල් ‍ගේන ඩියුටියත් එයා භාරගත්ත. අන්තිමට ගෙදර යන්න හිටිය මගේ අනිත් සගයත් නැවතුනා. පොලීසියෙ රාලහාමිලා නං පාවිච්චි කලේ නෑ. හතරැස් බෝතල් දෙකක් හිස් කරල ඉවර වෙද්දි නිදාගන්න බෑ කිව්ව ගුරු මේස උඩ යස අගේට නිදාගත්තෙ නැතෑ එලි වෙනකල්. ඔන්න උදේ පහට විතර ඇහැරිලා ලැහැස්ති වෙන්න පටන් ගත්ත. කලින් දවසෙ මැදල බෑග් එකට දාපු සුදු කමීසය හොඳටම පොඩි වෙලා. දැං මොකෑ කරන්නෙ? අනිත් අයගෙත් එහෙම තමයි. රාලහාමි තේ අරගෙන එද්දි ටිකක් දවල් වෙනව. මේ අතරෙ අපි නැවතිලා හිටිය පුස්තකාල කාමරේ තිබිල මට අහුවුනා හීටරයක්. වතුර ජෝග්ගුවක් පුරවලා හීටරේ දැම්ම බලන්න. බඩු වැඩ! ඒ ගමන කලින්දා රෑ පාවිච්චි කරපු හතරැස් බෝතල දෙකට පිරෙව්ව උණු වතුර. ටිකක් නිවෙන්න තියල මූඩිය තද කරල ඇඳගෙන හිටිය සරම මේසයකට එලල බෝතල් ඉස්තිරික්කෙන් මදින්න පටන් ගත්ත. ප්‍රාග් ඓතිහාසික මානවයා රෙදි මැද්ද කියන්නෙත් ඔහොමලු නෙ! මෙන්න එකා එකා එනව රෙදි මැදගන්න. බෝතල් දෙක නිවෙද්දි කස්ටියගෙම කමීස සූදානං.

ඩියුටියේදි නං මොකුත් විශේෂ සිදුවීම් උනේ නෑ. එක සැරයක් කන සාක්කුවෙ දාගත්ත බුවෙක් ආව. පොලිස් රාලහාමි කෙනෙක් එයාව ෂේප් කරල යැව්ව. අන්තිම වෙද්දි මහින්ද මහත්තයගෙ ගෝලයො සැට් එකක් ඇවිල්ල ත්‍රීවීල් එකක් විතර සයිස් රතිඥ්ඥා වැල් වගයක් බෑව ඡන්ද මධ්‍යස්ථානයේ ගේට්ටුව ඉස්සරහ. ඒ වෙලාවෙ පොලිසියෙ රාහලමිලා මැදිහත් වෙලා රතිඥ්ඥා ටික ටිකක් ඈතින් දල්වන්න කියල කිව්ව. ඡන්දය සලකුණු කරන්න බැරි උදවියගෙ ඡන්ද දහයක් පහලවක් විතර අපි ලකුණු කලා. හිටපු ජනාධිපතිතුමාගෙ ගම් පලාත නිසා වැඩි ප්‍රමාණයක් එයාට තමයි ලකුණු වුනේ. දෙන්නෙක්ද කොහෙද මෛත්‍රී පාලනය වෙනුවෙන් දාන්න කිව්ව. අපේ දෙන්නෙක් එකතු වෙලා තමයි ඒ කාර්ය කලේ. ඒ ගම් පලාතෙ කිහිප දෙනෙක් එක්ක කතා කරද්දි දැනගත්ත දේ තමයි මහින්ද රාජපක්ෂ මහත්තය පිරිහෙන්න හෙතුව ඔහුගේ වැඩිමහල් පුත්‍රරත්නයේ ක්‍රියා කලාපය නිසා බව. ඕව ඉතිං හරියට කියන්න බෑ. අනෙක මේ වෙද්දි වෙන්න තිබුන දේ වෙලා ඉවරයි නෙව.

Friday, January 16, 2015

ආ මාවත සහ යා යුතු මාවත.....

දේශපාලන ලිපි ටික දවසකට නවත්වන්න කලින් ලියන අන්තිම ලිපිය. මේ වනවිට දේශපාලනයේ තියෙන්නෙ ව්‍යාකූල තත්වයක්. මෛත්‍රී වෙනුවෙන් සටන් කල පිරිස අතරින් කොටසක් "මේ මොකද වෙන්නෙ?" කියන ප්‍රශ්නය අහනව. ඒ අයට දෙන්න තියන උත්තරේ මේකයි. පොඩ්ඩක් අතීතයට ගිහිල්ල බලන්න.

මෛත්‍රීපාල මහත්තය පොදු අපේක්ෂකය වීමට ප්‍රථම සමාජ කතිකාවක් තිබුන නිර් දේශපාලනික කොටස් අතර. නිර්මාල් රංජිත් දේවසිරි, සෝභිත හාමුදුරුවෝ වගේ අය සහ බ්ලොග් වලින් අජිත් පැරකුම් ජයසිංහ වගේ අයත් මේකට දායක වුනා. එතනදි ඇතිවුන කතාබහ මූලිකව විධායකය අහෝසි කිරීම ගැන. ඊට අමතර වශයෙන් දාහත් වන සංශෝධනයෙන් ගෙනආ ස්වාධීන කොමිෂන් සභා ආදිය බලාත්මක කිරීම ගැනත් කතාවුනා. ඒ වනවිට මහින්දට විරුද්ධව ඇවිත් ජයග්‍රහණය කල හැකි මට්ටමේ පොදු අපේක්ෂකයෙක් ‍වගේම පක්ෂ අපේක්ෂකයෙක් සිටියෙත් නෑ. මෙන්න මේ වගේ වෙලාවක තමයි හිටපු ජනාධිපතිතුමා තවත් වරක් ජනතා කැමැත්ත ඉල්ලන තැනකට ගියෙත් මෛත්‍රී ‍පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සිදුවුනෙත්. අවුලක් නැතිව මෛත්‍රීට එකඟ වෙන්න අර මුලින් කියූ නිර් දේශපාලන කණ්ඩායම් වලට මෙන්ම එජාපය ඇතුළු පක්ෂ විපක්ෂ කණ්ඩායම් වලට හැකිවුනා. මතක තියාගන්න මේ මොහොත වනවිට මහින්දට විරුද්ධ පිලේ බලාපොරොත්තුව තිබුනෙ විධායකය අහෝසි කිරීම(හෝ බලතල කැපීමත්) ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම අාදියත් බව. දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් පක්ෂ සියල්ලත් නිල වශයෙන් මෛත්‍රීට සහය දීම මත ඔහු ජයග්‍රහණය කලා.

ඉන් පසුව සිදුවුනේ වියයුතු පරිදිම විධායකයේ ආනුභාවයෙන් පාර්ලිමේන්තුවේ, පළාත් සභා සහ පළාත් පාලන ආයතන වල නියෝජිතයන් මෛත්‍රීගේ දෑත් ශක්තිමත් කරන්න පැමිණීම. බොහෝ දෙනෙකු සැක සංකා පල කරන්න පටන් ගත්තෙ ඉන්පසු. "..........වැනි දූෂිතයන් එක්ක කරන යහපාලනය මොකක්ද?" වගේ ප්‍රශ්න එන්න ගත්තෙ එතනදි. (ඔය හිස්තැනට තමන් කැමති කෙනෙක් දාගන්න පුළුවන්). මේ ගැන ප්‍රශ්න කරන අයගෙන් අහන්න ප්‍රශ්න දෙකක් තියනව.

1. මෛත්‍රී කරා එන පුද්ගලයන් කොතරම් දූෂිතයන් වුවත් ඔවුන්ගේ ඡන්දය නැතිව මුලින් කිව්ව යහපාලන යෝජනා සම්මත කරගන්නේ කෙසේද?
2. දූෂිතයන්ට වහා දඬුවම් දියයුතු නම් මෛත්‍රී සමඟ (ජනාධිපතිවරණයට කලින්) සිටි දූෂිතයන් වෙතොත් ඔවුන්ට දඬුවම් දියයුතුද?

ඔන්න ඔය ප්‍රශ්න දෙකට සාර්ථකව උත්තර දෙන්න පුළුවන් නම් වහාම දූෂිතයන්ට දඬුවම් දුන්නට අවුලක් නෑ. නමුත් මම නං මෙතනදි බලාපොරොත්තු වෙන්නෙ ව්‍යවස්ථා සංශෝධනය පමණයි. අනෙක්වා ප්‍රායෝගික නෑ වගේම කරන්න පුළුවන් නම් බෝනස් විදියටයි සලකන්නෙ.

දැන් ඇතිවෙලා තියන අලුත් තත්වය තමයි පළාත් සභා බලය ඇල්ලීම. මේක මට අනුව අනවශ්‍ය දෙයක්. හරීන් ඌවෙ මහ ඇමති ලෙස දිවුරුම් දුන්න. මධ්‍යම මහඇමති කමත් කවුදෝ බුවෙක් ඉල්ලනව කියල දැක්ක. බස්නාහිර මහඇමති ප්‍රසන්න තමුන්ගෙ තනතුර ආරක්ෂා කරගන්න මොකක්දෝ නීතියක උපුටනයක් ආණ්ඩුකාර මවුලානා වෙත යවලත් තිබුන. මේව නං විකාර වැඩ කියල කියන්නම ඕන. මොකද පළාත් සභා සියල්ලේ බලතල ලබාදීල තියෙන්නෙ සන්ධානයට. මහ ඇමතිවරු පත්කරන්න හදිසි වීම මේ වෙලාවෙ කලයුතු දෙයක් නෙවේ.

මේකට හේතුව අවුරුදු විස්සක් හාමතේ හිටපු යූඇන්පී කාරයන්ට මෛත්‍රීගෙ පිහිටෙන් ලබාගන්න පුළුවන් තනතුර වෙනුවෙන් දින සීයක් ඉවසන්න බැරිවීම. බලයේ රස මේ මොහොතේ සිටම බලන්න ඕනෑවීම. මොනවා උනත් අපේ බලාපොරොත්තුව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මිස වෙන යමක් නෙවේ. විධායකය කියන්නෙ කොච්චර නරකට යොදාගන්න පුළුවන් තනතුරක්ද කියන එකට හොඳම උදාහරණය තමයි, මේ ජනාධිපති ලඟ පූසො බවට පත්වෙන ජනතා නියෝජිතයන් අපට පෙන්වන්නෙ. විධායකය නැති කරන්න තවත් හේතු ඕනද?

Monday, January 12, 2015

රට යන්නෙ කොයිබටද?

ඡන්දෙ අවසන්. අපි ගණන් බලල තිබුන විදියටම ප්‍රතිපලය ලැබිල තියනව. කිව්ව වගේම සිංහල ඡන්ද සමානව බෙදිල යද්දි 'ප්‍රමාණයෙන් සුළු ජාතිකයන්ගෙ' ඡන්ද බහුතරය පොදු අපේක්ෂකයට ලැබුන. මටත් පොඩි හැපී ගතියක් තියනව ඒ ගැන. ඒ වගේම වැරදුන තැනුත් තියනව. මගේ සැලකිල්ලට හසු නොවන දෙයක් කියල තිබුන ඇනෝ කෙනෙක්. මෙන්න ඒ ඇනෝ මිත්‍රයාගෙ කමෙන්ටුව.

මෙතැනදි සැලකිල්ලට ගත යුතු වැදගත් කාරනයක් තමයි කාන්තාවන්ගෙ චන්ද. පිරිමි වගෙ කාන්තාවන් දේශපාලනය ගැන කතා කර්න්නෙ නෑ. ලන්කාවේ වැඩිපුර ඉන්නෙ බාහිර පෞරුශය ගැන බලා චන්දය දෙන ගැහැනුන්. (ඔක්කොම නොවේ වැඩිපුර ). ජනාදිපති පස්සෙන් ලමයා වඩාගන්න කියා දුවන ගැහැනුන්. ගෙදර කන්නෙ වේලයි දෙවේලයි නමුත් ආකල්පය ඒ විදියයි. අනිත් එක පන්සල් හරහා සිල් රෙදි ආදිය බෙදමින්, හාමුදුරුවන් හරහා කරන බලපෑම් ගැනත් හිතන්න ඕන. ඒකයි අන්තිම ප්‍රතිපලයේදි මහින්ද ඉදිරියට එන්න පුලුවන් උනොත් වෙන්නෙ. (I voted Mahinda 2005/10, this time going to be MS)

මෙතනදි මේ ඇනෝ කිව්ව කතාව සත්‍ය බව පෙන්නන්න පුළුවන් කාන්තාවන් බර ගණනක් මුණගැසුන බව කියන්නම ඕන.

මෛත්‍රීගෙ ජයග්‍රහණයේ සාධනීය පැති සෑහෙන්න තියනව. පළමු කාරණාව තමයි ඔහුට රට පුරා ඡන්ද ලැබීම. මෛත්‍රී කියන්නෙ උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර, මධ්‍යම සියළු ප්‍රදේශ වල නියෝජනයක්. වාර්ගික සමඟිය වෙනුවෙන් ඔහුට කලහැකි දෑ අපමණයි. විශේෂයෙන්ම සිංහල ආණ්ඩුව එක්ක සම්බන්ධයක් නැති දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට සම්බන්ධ කරගන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත්. මහින්ද ජනාධිපතිතුමා, වෙනම රටක් බිහිවීමේ පෙරමුණේ, සන්නද්ධ අංශය පරාජය කලා වගේම කාර්යක් මෛත්‍රීපාල මහත්තයට ඉතිරි වෙලා තියනව. යුද්ධය අවසන් කලාට වඩා වැඩි ප්‍රවේශමකින් මේ වැඩේ කරන්න වෙන බව පැහැදිලියි. දෙපැත්තේම ජාතිවාදය අවුස්සගන්නේ නැතිව, තමන්ගේ බලයත් රැකගෙන මේ කාර්ය කිරීම, මම දකින විදියට ලොකුම ජයග්‍රහණය.

ජනාධිපතිවරණයේදී අපි දැකපු අනෙක් සාධනීය ලක්ෂණය තමයි සයිබර් අවකාශයේ සහ අනෙකුත් දියුණු මාධ්‍ය වල බලපෑම. 'බුකියෙ ජනාධිපති හැමදාමත් පරාදයි' කියපු කතාව බොරුකරපු පළමු මැතිවරණය මේක. සමාජ ජාල වලට කලහැකි බලපෑම පිළිබඳව, මේ මැතිවරණයෙන් පස්සෙ සලකා බැලීමට ඡන්ද අපේක්ෂකයන්ට සිදුවෙනව. සෝමරත්න දිසානායකට එරෙහිව සමාජ ජාල වලින් එල්ල වූ විරෝධය තවත් උදාහරණයක්.

මේකෙම අනිත් පැත්ත තමයි දැඩි සටනකින් තොරව මැතිවරණයක් මෙහෙයවිය හැකි බව ඔප්පු වීම. එක්කෝ අවංකකම නිසා, නැත්නම් දුෂ්කර නිසා, මෛත්‍රීපාල මහතාගේ මැතිවරණ ව්‍යාපාරය තුල පෝස්ටර් කටවුට් ඉටිකොල සැරසිලි භාවිතා කලේ අවම වශයෙන්. එහෙම උනත් තමුන්ගෙ පණිවුඩය සාමාන්‍ය ජනතාව අතර‍ට ගෙනයන්න ඔහු සමත්වුනා. මේ ක්‍රියාවලියේ අවංකභාවය දැනගන්න වෙන්නෙ මෛත්‍රී යටතේ තියන මැතිවරණයකදි තමයි.

ජ්‍යොතිෂවේදීන් කියාගන්නා හොරු රැල අන්ත පරාජයකට ලක්වීම අපි ලැබූ තවත් ජයග්‍රහණයක් බව නොකියාම බෑ. ජ්‍යෝතිෂය විශ්වාස කරන මෝඩ ජනාධිපතිවරයෙකුට පින් සිදු වෙන්න රටේ ඉහලම තැන්වල වැජඹුන සුමනදාස වගේ අය තමන්ගෙ (අ)ශාස්ත්‍රය ‍බොරු කිරීම වෙනුවෙන් සෑහෙන්න දායක වුනා. හිතවත් Pra Jay මේ ගැන කලින් ලිපියට දාපු අපූරු අදහසක් මේ.

'දේශපාලන, ජාතිවාදී, ආර්ථික, ආරක්ශක, අන්තර්ජාතික, යහපාලන ආදී මේ බ්ලොග්වල අය කතාකරන වෙනසවල් කොහොම වුනත් හඳහන් හා අනිකුත් මිත්යා විශ්වාස කර පින්නා ගැනීම අගුණයි කියල පෙනුනොත් රටේ මිනිස්සු ටිකක් හරි ඒ අතින්වත් හැදෙයි. (හැදෙයිද රාජ්? එහෙම නැත්නම් ඈස් යූශුවල් අපේ අය "ඔය හොර සාස්තරකාරයො වගේ නෙමෙයි අපේ නැන්දම්මගෙ අල්ලපු ගෙදර එකාගේ මාමගෙ පුතාට හරියටම හරිගිය සාස්තර කාරයෙක් ඉන්නව" කියලා යයිද?'

සිදුවන්නේ කුමක්ද?

මේ වෙනකොට අතීතයට වඩා වැදගත් වෙන්නෙ වර්තමානය සහ අනාගතය. ඊයේ දිනයේ ශ්‍රීලනිපය දෙකඩවුනා මෛත්‍රීපාල මහතාට සහයෝගය දෙන පිරිස සහ මහින්ද මහතාට සහයෝගය දෙන පිරිස වශයෙන්. බලයේ ඉන්නකල් පක්ෂ කැඩීමට දායක වූ හිටපු නායකයාට අවසානයේ සිදුවුනේ තමුන්ගේ පක්ෂය දෙකඩ වන හැටි බලා ඉන්න. මේ තත්වය උඩ ඇතිවෙන්න පුළුවන් ප්‍රතිපල දෙකයි.
පළමුවැන්න මහින්ද මහතා ශ්‍රීලනිපයෙන් විසිවී මෛත්‍රී පාර්ශවය පක්ෂය අත්කරගැනීම. දෙවැන්න තමයි ශ්‍රීලනිපය මහින්ද මහතා යටතටත් අනෙක් පිරිස මෛත්‍රිපාල මහතාටත් එක්වීම. මේ සටන අවසන් වියහැකි ආකාරය දෙවැන්න බව මගේ හැඟීම. ශ්‍රීලනිපයේ අපේක්ෂකයාට එරෙහිව මැතිවරණයට ඉදිරිපත් වන්නෙකු ශ්‍රීලනිපයේ අයෙකු ලෙස නොසැලකිය යුතු යයි මහින්ද පාර්ශවයේ තර්කය නිවැරදි බවයි මගේ හැඟීම.

කෙසේ වුවත් මේ වනවිට පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගැනීමට ජනාධිපතිවරයා සමත්වී තියනව. මෙතනදී පක්ෂයකට ගැති නොවූ අප වැන්නන්ගේ ප්‍රශ්නය තමයි 'මුං එක්ක යහපාලනය කරන්න පුළුවන්ද?' කියන එක. අනිත් පැත්තට මහ මැතිවරණයකට නොයා දින සීයේ වැඩපිලිවෙල ක්‍රියාවට නංවන්න නම් පාර්ලිමේන්තුවේ බහුතරය අත්‍යාවශ්‍යයි. ඒක සොයාගන්න වෙන්නෙ දැන් තියන ඔලුගෙඩි 225 අතරින් තමයි. මේ ගැන මගේ අදහස මේක.

"දැන් ඉන්න අය සමඟ දින සීයෙ ගමන යන්න ඕන. 25-30ක කැබිනට්ටුවක් එක්ක ව්‍යයස්ථා සංශෝධනයකුත් කරගෙන දෙන්න පුළුවන් සහනයක් තියනව නම් ජනතාවට ලබාදීල හොරුත් එක්ක හෝ මේ ගමන යමු. දින සියෙන් පස්සෙ මහ මැතිවරණයකට යන්න පුළුවන්. ජිල්මාට් වලින් කැරට් අල වලින් තොරව, ආණ්ඩුව අවංකව රටට වැඩක් කරන බව පේන්න තියනව නම්, අට වැනිදා මහින්දට ඡන්දය දුන් අයත් එදාට රජය වෙනුවෙන් තමන්ගෙ කැමැත්ත ලබා දේවි. එදාට හොඳ මිනිස්සු ටිකක් පත්කිරීමේ වගකීම අපිට තියනව"

Tuesday, January 6, 2015

ඡන්දෙට කලින්.......

කටකතා පැතිරවීම වරදකි. කටකතා පැතිරවීම දඬුවම් ලැබිය හැකි වරදකි. ඉස්සර නම් කට කතා පැතිරුනේ කටින් පමණි. දැන් කටකතා පැතිරවීමේ වැඩි බර අදින්නේ අන්තර්ජාල ගොසිප් අඩවිය. ටික කලකට ඉහතදී නම් ගොසිප්වල තිබුනේ නළු නිලියන් ගැන කටකතා පමණකි. දැන් කටකතාවල කියවෙන්නේ පැනිලි ගැනය. පැනිලි ගැන කියවුන කටකතා සමහරක් ඇත්ත කතා විය. තවත් සමහරක් කටකතා පමණක්ම විය.

ඊයේ කාර්යාලයට පැමිණි විගස හිතවතෙකු කටකතාවක් ගැන ඇසුවේය. ඒ සජිත් ප්‍රේමදාස තිස්ස රැලියේදී මහින්ද සමඟ එක්වන බව සත්‍යදැයි කියාය. කටකතා වල සත්‍ය අසත්‍ය තාවය ගැන ප්‍රකාශ කිරීමට දිව්‍යඥානය තිබිය යුතුය. අනෙක මේ යන විදියට පනින්නේ කවුද එහෙම නැත්තේ කවුදැයි කියන්න පනිනකල් නොහැකිය. ප්‍රේමදාසගේ පුතා වන තමාට එජාපයෙන් පැනීමට පිස්සුවක් නැතැයි සජිත් කියා තිබුනි. කොහොම උනත් හැම එකාම කියන්නේ ඔවැනි කතාය.

සජිත්ගේ පිම්ම ගැන අවධානයෙන් සිටි පිරිසක් රූපවාහිනියෙන් විකාශය කල මහින්දගේ තිස්සමහාරාම රැලියට එබීගෙන සිටියේය. එහිදී මහින්ද උජාරුවෙන් කීවේ සජිත් කැස්බෑවේදී තමන් හා එක්විය හැකි බවය. එහෙත් ආපු සජිත් කෙනෙක් නැත. කටකතා වලට උඩගෙඩි සැපයූ ලොක්ක කුජීත වීම පමණක් සිදුවිය.

මගේ අදහස අනුව පැන්නා යයි කියා සජිත්ට ලබාගත හැකි යමක් නොමැත. සිදුවිය හැක්කේ ඔහුගේ දේශපාලන ජීවිතය විනාශ වීම පමණකි. සජිත් පමණක් නොව ඕනෑම දේශපාලකයෙකු පිම්මකින් පසු ඔහුගේ වටිනාකම සෑහෙන ප්‍රමාණයකින් අඩුකරගනී. මේ හානියට ලැබිය හැකි ලන්සුවට එකඟ විය හැකි කල පැනීම සිදුවේ. තිස්ස අත්තනායකලාට, දයාසිරි ජයසේකරලාට මේ මිල ලැබී යයි කිවහැකිය. ජාතික තලයේ සිටින දේශපාලනඥයන්ගෙන් සෑහෙන පිරිසක් මේ වනවිට පැනීම් වලට දායක වී අැත.

*********************************************************

පසුගිය සතියේ රාවය පුවත් පතින් අනාවරණය කර තිබූ ආකාරයට ජනාධිපතිවරයාගේ පැත්තෙන් සූදානම් කර තිබූ ජනපති ජනහමුව නම් ගරිල්ලා මාකටින් උපක්‍රමය ව්‍යර්ථ කිරීමට මෛත්‍රීපාල පාර්ශවය සමත් විය. මෙය කුමන පැත්තෙන් බැලුවද ජයග්‍රහණයක් වශයෙන් සැලකිය හැකිය. ජනාධිපතිවරණය කවුරුන් ජයගත්තද අපේක්ෂකයන් සියලු දෙනාටම සම අවස්ථා ලැබියයුතුය යන්න සාධාරණත්වය අපේක්ෂා කරන බොහෝ දෙනෙකුගේ මතයයි. කඩුවෙල දිසා අධිකරණයේදී ජයගත්තේ ඒ මතයයි. ඊයේ තංගල්ල මුහුදු වෙරළට ගිය මාහට දක්නට ලැබුනේ එහි සවිකරමින් පවතින විශාල ප්‍රමාණයේ තාවකාලික මඩු කිහිපයකි. රණවිරු සේවා ආයතනයක මූලිකත්වයෙන් සිදුවන මෙහි යම් උත්සවයක් පැවැත්වීමට සූදානම් කර ඇත. දේශපාලන මුහුණුවරක් ගැනීමට හොඳටම ඉඩකඩ ඇති මෙවැනි නීති විරෝධී රැස්වීම් ගැන අවධානයෙන් සිටීම වැදගත්ය.

********************************************************

මේ දිනවල රූපවාහිණී දැන්වීම් බොහොමයක් ජනාධිපතිවරණ දැන්වීම්ය. ජනාධිපතිවරයාගේ දැන්වීම් බොහොමයක නළු නිළියන් වී ඇත්තේ ඔහුගේ පරම සතුරන්ය. කොටින්ම තම ප්‍රතිවාදියා වන මෛත්‍රීපාල සිරිසේන පවා එහි රඟපෑමට යොදාගෙන ඇත. තමන්ගේ වර්තමාන ප්‍රතිවාදීන් අතීතයේ කී දෑ තමන්ට වාසිදායක ලෙස යොදාගැනීමේ ක්‍රමවේදය ඔහු යොදාගනී. සාර්ථක මෙන්ම අසාර්ථක දැන්වීම්ද ඒ අතර වේ. එක් දැන්වීමකට අනුව රාජිත සේනාරත්න විසින් ජනාධිපතිවරයා සොරකම් කරන අයෙකු නොවේ යයිද ඔහුට හොරා යයි කියන්නන් හොරුන් බවද කියයි. වරද දුටු මොහොතේම ඊට විරුද්ධ වී ගතයුතු ක්‍රියාමාර්ගය නොගෙන 'තරහ වූවිට' චෝදනා කිරීමේ විපාකය මේ. රටේ අවාසනාවකට එවන් දේශපාලන සංස්කෘතියක් මෙහි නොමැති අතර ගලේ පැහැරූ බළලාගේ තත්වයට මුහුණදීමට පාලකයන්ට සිදුවේ.

ආණ්ඩුවේ තවත් දැන්වීමකට අනුව ෆේස්බුක් අැත්තේ ෆන් ගැනීමටය. අරාබි වසන්තයක් අැතිකිරීමට නොවේ. ෆේස්බුක් කමෙන්ට් වැටෙන්නේ ජිල්මාට් වලිනි. තරුණ තරුණියන් අන්තර්ජාලය ඔස්සේ ලෝකයට ලංවෙද්දී අපේ (වැඩිහිටි) පාලකයන් මෙවන් අදහස් අැත්තවුන් වීම කරුමයකි. තරුණයන් පිළිබඳ තීරණ ගැනීමට ඉන්නේ මෙවන් හරක්ය. මොවුන් යලිත් රාජ්‍ය පාලනයට පත් වුවහොත් රටට අබ සරණය.

Friday, January 2, 2015

මෙන්න, මගේ ඡන්ද අනාවැකිය!

2014 ගෙවිල 2015 උදාවුනා. බ්ලොග් කියවන්නන් සැමට සුභ නව වසරක් ප්‍රාර්තනා කරනව. 2015ට යන්න කලින් 2014 දේශපාලනය ගැන චුට්ටක් කතා කරල ඉඳිමු. 2014 නොවැම්බර් වෙනකල් තිබුනු සියල්ල ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වෙලා මෛත්‍රීගෙ ආගමනයත් එක්ක උඩට එන්න බැරි විදියට නැතිවුනා කිව්වොත් නිවැරදියි. මේ තත්වය ඇති නොවුන නම් අපිත් ඔය ආගිය කතාවක් කියාගෙන ඉන්න ඉඩ තිබුන. කොහොම උනත් මාස දෙකක ඉඳල බ්ලොග් එකේ ලිව්වෙ දේශපාලනය විතරයි. බොහෝ දෙනෙක් මේකට කැමති නෑ වගේම තවත් පිරිසක් අකමැත්තෙන් උනත් දේශපාලනය කතා කරන්න එකතු වීම හොඳ දෙයක් විදියටයි මම දකින්නෙ. අපි අකමැති වුනත් කැමතිවුනත් දේශපාලනයෙන් මිදෙන්න හැකියාවක් අපට නෑ. අපි අපේ පාඩුවෙ හම්බ කරගෙන කාල ඇඳල ඉන්නව කියල කියන නරුම බුවාලගෙ සාක්කුවෙන් වියදම් වෙන හෑම රුපියල් සීයකින්ම හතලිහක් විතර බදු වෙනුවෙන් වැයවෙන බව තේරුම් ගත්ත දවසට රටේ මීට වැඩිය දේශපාලනය ගැන කතා වෙයි.

2014 සිදුවූ විශේෂිතම සිදුවීම මෛත්‍රීගෙ ආගමනය කියල කිව්ව. දකුණෙ මැතිවරණය තිබුන මාර්තුවෙ මැතිවරණය අවසන් වීමත් එක්ක මම කිව්ව පොඩි අනාවැකියක්.

"මේ මැතිවරණය මා දැක ඇති මැතිවරණ ඉතිහාසයේ විශේෂ එකකි. සාමාන්‍යයෙන් යම් ආණ්ඩුවක් දීර්ඝ කාලයක් බලයේ සිටින විට පරාජය කිරීම පහසු නැත. කෙසේ වුවත් පරාජය වන අවස්ථ‍ාව පැමිණි විට එසේ නොවන්නේද නැත. පක්ෂ වශයෙන් ගත්කල පවතින ආණ්ඩුව සුළු ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමත් පොදු විපක්ෂයේ ගොඩ වැඩි වීමත් එහි ලක්ෂණයකි. අනූ තුනේ දකුණු පළාත් සභා මැතිවරණයේ සිදුවූයේද මෙයයි. මෙවර ලැබී ඇත්තේද ඊට යම් තරමක් සමාන ප්‍රතිපලයකි. එම ප්‍රතිපලය තමන්ට වාසිදායක ආකාරයේ හැරවුමකට දෙපාර්ශවයටම තවමත් අවකාශ ඇත. මෙවර විපක්ෂය වෙනුවෙන් ඡන්දපොලට පැමිණියවුන් විශේෂිතය. ඔවුන් ජයග්‍රාහකයන් නොවුවද ජයග්‍රහණයේ ආරම්භකයන් ලෙස ඉතිහාසගත වීමට ඉඩ ඇත"

සමහරුන්ට මගේ අනාවැකිය හිනාවට කාරණාවක් උනාට ඒ වෙනකල් ස්ථාවරව තිබුවන මහින්ද මහත්තයගෙ ඡන්ද පදනම සුළු දෙදරා යාමකට ලක්වුනේ මේ ඡන්දයෙන් කිව්වොත් නිවැරදියි. මේ දෙදරායාම ඌව මැතිවරණයේදි තවදුරටත් තීව්‍ර උනා. අන්තිමට ලොක්කට තීරණයක් ගන්න වුනා, තවදුරටත් ඉදිරියට ය‍ාමේ අවදානම අත්හැරල, ධූර කාලයෙන් අවුරුද්දකුත් කැප කරල, දුර්වල විපක්ෂය සංවිධානය වෙන්න කලින් මැතිවරණට යන්න. එක සිද්ධියක් නොවෙන්න මේ තීරණය හෑම පැත්තෙන්ම නිවැරදියි. මොකද ඔහු පමණක් නෙවේ අපිත් ගනන් බලල තිබුන විදියට මහින්දට අභියෝගයක් වෙන්න පුළුවන් පොදු අපේක්ෂකයෙක් හිටියෙ නෑ. මොන පැත්තෙන් බැලුවත් අන්තිමට නතර වුනේ රනිල් ලඟ. රනිල්ට එරෙහිව ජයගැනීම මහින්දට අභියෝගයක් නොවන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. නමුත් කිසිවෙකු විශ්වාස නොකල විදියට මෛත්‍රී පොදු අපේක්ෂකය වුනේ ශ්‍රිලනිපයේ කෑල්ලක් ගලවගෙන. ඉතිරි ටික කියන්න ඕන නෑ.

අද 2015 ජනවාරි දෙවනිදා. මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසි හයක් ද කෛාහෙද මෛත්‍රී පිලට එක්වෙලා තියනව. පැහැදිලිවම ජයග්‍රාහී මාවතේ ඉන්නෙ මෛත්‍රී. මගේ ඡන්ද අනාවැකිය මේ මොහොතේ තත්වය අනුව මේකයි.
ඉස්සෙල්ල කියන්න ඕන ඡන්ද අනාවැකි ගැන. අනාවැකි කියන්නන්ගේ අරමුණු දෙකක් තියනව. එකක් අැත්තටම වියහැකි දේ පුරෝකථනය කිරීම. දෙවැන්න තමන්ගේ පිලට යම් වාසියක් ලබාගැනීම. ඔය ජ්‍යෝතිශ්‍ය වේදීන් කියාගන්නා බහුතරයක් හොරු රැල කරන්නෙ ඒ වැඩේ තමයි. ඡන්ද අනාවැකි කීමේදී සැලකියයුතු කරුණු කිහිපයක් තියනව. ඒ ගැනත් සඳහන් කරල පටන් ගත්තම මට පුළුවන් මම ම කියපු දෙවැනි ගොඩ‍ට වැටීම වලක්වන්න. :-).

පළමු කාරණාව අපි අවංකව අනාවැකි කියනව නම්, කියන්නෙ අපි දන්න කියන අහන දකින සීමිත මිනිස්සු කොට්ඨාසයේ හැසිරීම අනුව. එතනදි සිදුවෙන බරපතල වැරැද්දක් තියනව. දේශපාලන සත්තු වන අපි ආශ්‍රය කරන මිනිස්සු බොහෝ විට ‍අපේ දේශපාලන මතයන්ට එකඟ වන අය. උදාහරණයක් විදියට මගේ ෆේස්බුක් මිත්‍රයන් අතරෙ මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දියයුතු යැයි මතයේ ඉන්නෙ කිහිප දෙනෙක් පමණයි. අනෙක් සියළු දෙනා මෛත්‍රී වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන උදවිය. මෙවැනි වෙලා‍වක ෆේස්බුක් වෝල් එක පදනම් කරගෙන අනාවැකි කියන්න ගියොත් සිදුවිය හැකි දෝශයේ විශාලත්වය වැඩියි. කතාවට කියන්නෙ ෆේස්බුක් ජනාධිපතිලා හැමදාම පරාදයි කියල.

ඒ වගේම තමන්ගේ මතයට පක්ෂපාතව අනාවැකි කියවීමත් සාමාන්‍ය දෙයක්. මේකත් අර මුලින් කියපු තත්වය වගේ එකක් තමයි. තමන්ගේ මතයට පක්ෂපාතිව ස්වයං මෝහනය වෙලා අනාවැකි කියන්න ගිය උදවියට අන්තිමට සිදුවුනේ මැතිවරණය දූෂිතයි වගේ දේවල් කියන්න. ඒ තවත් එකක්.

මිනිස්සුන්ගෙ කතාබහ අනුව අනාවැකි කීම තවත් දෙයක්. ඔන්න දහදෙනෙක් ඉන්න තැනක හතර පස් දෙනෙක් නැත්තං හය දෙනෙක් දෙනෙක් ආණ්ඩුවට විරුද්ධව කතා කරනව වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඕන දේ තමයි 'මේ වගේ කාලවල' ආණ්ඩුවට ඡන්දය දෙන අයගෙන් බහුතරයක් නිහඬව ඉන්න බව. පහුගිය පෝස්ටුවෙන් මම කතා කල පළමු සහ දෙවැනි කාණ්ඩ වල නිහඬව ඉන්න පිරිසක් ඉන්නව ආණ්ඩුවට ඡන්දය දෙන එහෙත් ආණ්ඩුව ආරක්ෂා කරන්න කතා නොකරන. ටික දෙනෙක් පලු යන්න බනිද්දි සද්ද නැතිව ඉන්න පිරිස බොහෝ විට මේ උදවිය වෙන්න පුළුවන්.
ඒ නිසා තමන්ගෙ පාට කණ්නාඩිය ගලවලා දාල තමයි වැඩේට බහින්න ඕන.

පහුගිය දවස්වල ඡන්ද අනාවැකියක් කියන්න හිතාගෙන පොඩි පොඩි විමර්ශන කිහිපයක් කලා. හොඳම නිරීක්ෂණ දකින්න ලැබුනෙ මේ ටිකේ සහභාගි‍ වෙන්න සිදුවුන අධික සංඛ්‍යාවක් වූ මළගෙවල් වල කතාබහට සවන් දීමෙන්. මේ තැන්වල නොදන්නා පුද්ගලයන් අතර සිදුවන කතාබහට මැදිහත් වීමේදී හොයාගන්න පුළුවන් වුන කාරණාව තමයි ජනාධිපතිවරයා සෑහෙන මට්ටමකට පිරිහී ඇති බව. ඒ වගේම විපක්ෂ අපේක්ෂකයා ජයග්‍රහණය කරාවි යයි හිතන පිරිස වැඩි බව. විශේෂයෙන්ම ජනාධිපතිවරණ සටන තුල මහින්ද මහතාගේ පිරිහීම ප්‍රභලයි. කලාකරුවන්ට පහරදීම, මැර ක්‍රියා, දූෂණ ගැන අපි බලාපොරොත්තු නොවුන ග්‍රාමීය පුද්ගලයන් කතාබහ කිරීම විශේෂත්වයක්. ජනමාධ්‍යන්හි දියුණුව මේවාට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම ජවිපෙත් යම් මට්ටමකට හෙළ උරුමය වගේ පක්ෂ පසුගිය කාලයේ ජනතාව අතරට ගෙනගිය මතවාදයන් මීට හේතු වූ බව පේන්න තිබුන. මට අනුව පේන්න තියන ප්‍රතිශතය මෛත්‍රීට 60% වගේ වුනත් මම මුලින් කිව්ව දෝශ ගණනයේදි 50-50 තත්වයක් ඇති කියල උපකල්පනය කලාව වරදක් නෑ. 75%ක් වන සිංහල ජනතාවගෙ ඡන්දය අඩු වැඩි වශයෙන් දෙදෙනාට බෙදෙන්නෙ 48-52 වගේ ලඟ අනුපාතයකට කියන එකයි මගේ උපකල්පනය.

ඡන්ද දායකයන්ගේ අපූරු හැසිරීක් මම අධ්‍යයනය කරල තියනව. යම් පක්ෂයකට අයත් ඡන්ද දායකයෙක් දිගටම ඒ පක්ෂය එක්ක ඉන්නව. ඉන්පසු සිදුවන ඕනෑම ආකාරයක අප්‍රසාදයකට පස්සෙ, වෙනත් පක්ෂයකට සහයෝගය දෙන්න කලින්, බොහෝවිට ඔහු නියුට්‍රල් තත්වයේ ඉන්නව මැතිවරණයක් හෝ දෙකක් යනකල්. මේකට හේතුවන බොහෝ කාරණා තියනව. මූලික කාරණාවත් තමයි තමුන්ගෙ අපේක්ෂකයාට කෙලින්ම විරෝධය පෙන්වීමේ නොහැකියාව. උදාහරණයක් විදියට X කියන පාක්ෂිකය Y කියන මහජන නියෝජිතය එක්ක වැඩ කරල ඔහුගෙන් ඉවත් වෙලා මැතිවරණ දෙකකින් විතර තමයි වෙනත් පක්ෂයක් හෝ අයෙක් තෝරාගන්නෙ. මේකෙ තවත් අවස්ථාවක් තමයි පක්ෂයක් වෙනුවෙන් ඡන්දය දෙන කෙනා පක්ෂය ගැන කලකිරීම එක්ක, විරුද්ධ පක්ෂයකට යන්න කලින් ඡන්දයක් දෙකක් ඡන්දය නොදා සිටීම. මගේ උපකල්පනය අනුව මිනිස්සු අතර තියන, 'මහින්ද පරාජය වේවි' කියන විශ්වාසය නිසා ඡන්ද පොලට නොයන සන්ධාන පාක්ෂිකයන් පිරිසකුත් මෙවර ඉන්නව. කලින් ඡන්දය නොදැමූ මේ ජාතියේම එජාප පාක්ෂිකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කරන බව අනිත් පැත්තට ගන්න පුළුවන්.

දකුණේ තත්වය මෙයාකාර වනවිට උතුර සහ නැගෙනහිර තත්වය වැදගත්. උතුරේ ඡන්ද බලය තියෙන්නෙ පැහැදිලිවම දෙමළ ජාතික සන්ධානය අතේ. ඩග්ලස් දේවානන්දට හෝ වෙනත් දෙමළ නියෝජිතයෙකුට ඒ ඡන්ද ප්‍රතිශතියෙන් ගන්න පුළුවන් උපරිමය 20% කියල හිතන්න පුළුවන්. (කොහොම උනත් දෙමළ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය අනුමාන කිරීමේ හැකියාවක් අපට නෑ කියලත් කියන්න ඕන) අන්න ඒ අවස්ථාවේදී තමයි ‍මහින්ද පරාජය කරල මෛත්‍රී ඉදිරියට එන්නෙ. මුස්ලිම් ඡන්ද දායකයන් අමනාප කරගන්න සෑහෙන්න මහන්සි වුන ආණ්ඩුව ඔවුන්ගේ අප්‍රසාදයට ලක්වීම අමුතු දෙයක් නෙවේ.

ඉහත කී කාරණා අනුව මගේ අවසාන නිගමනය 50%-55% වගේ අගයකින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරන බව.

රයිට්! ඔන්න ඕකයි මගේ ඡන්ද අනාවැකිය. මහලොකු පෙරලියක් සිදුවුනොත් මිසක් මේ තියන තත්වය තව දවස් හයකදි වෙනස් කරන්න ලෙහෙසි නෑ. ඒ වගේම මේ විග්‍රහය කලේ මම දාගෙන ඉන්න පාට තුන හතරක 'මෛත්‍රී කණ්නාඩිය' ගලවල. කොහොම උනත් මේව උපකල්පන පමණයි කියල හිතේ තියාගන්න එක වැදගත්. රාවනා කලා යයි කියන වැඩ ගැන පත්තර වල කතා කරන මත ගැන නිර්මාල් රංජිත් දේවසිරි මහත්තය දීපු උත්තරේකින් කතාව අවසන් කරන්නම්.

"මේක ඔය කියන විදියට නොවී වෙන විදියකටත් වෙන්න පුළුවන්"