Tuesday, December 29, 2015

මෙන්න, 2015 වසරේ සම්මාන!

2015 වසර අවසන්වීමට අැත්තේ දින කිහිපයකි. මේ රාජ්ගෙ නවාතැන බ්ලොග් අඩවිය විසින් මෙම වසරේ දේශපාලන, ආර්ථික, සමාජයීය ක්ෂේත්‍ර අරභයා පිරිනමන සම්මාන ප්‍රදානයයි.

I. වසරේ ආහාරය.
3.නිර්දේශිත නම් නොමැත.
2.නිර්දේශිත නම් නොමැත.
1.පරාජය කිරීමට නොහැකි යැයි සිතූ ඒකාධිපති පාලනය බිඳදමා ජනබලය ලොවට පෙන්වීමට මුල්වූ............ "ආප්ප" වසරේ ආහාරය ලෙස සම්මානයට......

II. වසරේ දේශපාලකයා.
3.රනිල් වික්‍රමසිංහ.
2.ආර්.සම්බන්ධන්.
1.ඉතිහාසයේ ප්‍රථම වතාවට බලයේ සිටි පාලකයා පරාජය කරමින්ද පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයක් ජයගැනීමෙන්ද "මෛත්‍රීපාල සිරිසේන" වසරේ දේශපාලකයා ලෙස සම්මානයට.......

III. වසරේ හොඳම පරාජිතයා.
3.නිර්දේශිත නම් නොමැත.
2.නිර්දේශිත නම් නොමැත.
1.ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූවද, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්වී සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුගේ මට්ටමට පත්වුවද, සටන අත් නොහරින "මිහිඳු රදපස්" හොඳම පරාජිතයා සම්මානයෙන් පිදුම් ලබයි......

IV. වසරේ ද්‍රෝහියා.

3.එස්.බී.දිසාවට නායක (මහින්ද හින්ද අපි පැරදුනේ)
2.ඩීල් ආන් පෙරෙයිරා (නාමල්ගෙ කටයි පුකයි......)
1.මහින්ද පරාජය වූ විගස අප්පච්චි මලා කියමින් මෛත්‍රීගේ ඔඩොක්කුවට පැනීම වෙනුවෙන් "විජි විජ (ඇර)සොයියා" හොඳම ද්‍රෝහියා සම්මානයට පාත්‍රවන වගයි......

V. (සැඟවී සිට හසුවූ) වසරේ ගූකෑල්ල.
3.ගොංජන් රාම නායක
2.අ ජිත්පීපෙ රේරා
1.කීර්තිමත්, වැදගත්, මහත්මා.... දේශපාලකයෙකුව සිට ක්ෂණිකව තක්කඩි, ඩීල්කාර, කපටියෙකු බවට පත්වූ "විජය දැසි රදපසුන්" වසරේ ගූකෑල්ල සම්මානයෙන් පිදුම් ලබන වගයි......

VI. වසරේ ව්‍යාපාරිකයා.
3.නිර්දේශිත නම් නොමැත.
2.නිර්දේශිත නම් නොමැත.
1.විධා-ව්‍යදා-අධි ත්‍රිත්වයම මුදල් බලයෙන් සාක්කුවට දාගැනීමට සමත් වූ ඇවන්ගෝට් අධිපති "නිසංක සෙන්පති" හොඳම ව්‍යාපාරිකයා ලෙස නම් කෙරේ.....

VII. වසරේ රාජ්‍ය නිලධාරියා.
3.නිර්දේශිත නම් නොමැත.
2.කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති.
1.එක් තීරණයකින් සිය බෑනා ගොඩදැමූ පෙරිය වංගියේ ලොකු බොස් වන "අරජුන මහේන්දරන්" වසරේ නිලධාරියා ලෙස තෝරාගත් වගයි......

VIII. වසරේ ඇඳුම.
3.අමුඩය.
2.ජංගිය (යුරේනි)
1.පක්ෂ භෙදයෙන් තොරව සියළු බයියන්ගේ කටවල් විවෘත කිරීමට සමත්වූද, මූත්, ඌ වගේම බයියෙකු බව සත්‍යාපනය කලාවූද "තිසරපටය" වසරේ ඇඳුම ලෙස නම්කෙරේ......

IX. වසරේ සහෝදර ප්‍රේමියා.

3.නිර්දේශිත නම් නොමැත.
2.අර්ජුන රණතුඟ.
1.සහෝදර සමාගම් විවේචනය කරමින් බලයට පැමිණි විගස සහෝදරයා කොමිටෙල් සමාගමේ ලොක්කා කර පඩි වැඩිකර දුන් "මෙත්පල් සිරිසෙන්තුමා" වසරේ අදරැති සහෝදරයා ලෙස නම් කරන වගයි.....

X.කතරේ වස හෙවත් වසරේ කත හෙවත් කිරි කලයේ ගොමතැම්බ.

3.නිර්දේශිත නම් නොමැත.
2.නිර්දේශිත නම් නොමැත.
1.අතීත සුදුවෑන් අමතක කරවමින් ඩිපෙන්ඩරයකින් ගොස් පිරිමියෙකු පැහැරගැනීමට සමත් වූ "හිරුනිකර් පෙම්සඳ" මැතිනිය කතරේ වස සම්මානයට පාත්‍රවන්නීය......

XI.වසරේ කතාව.
3.විජි විජ (ඇර)සොයියා(අප්පච්චි මලා)
2.මෙත්පල් සිරිසෙන් (මඩු වලිග)
1.මිහිඳු රදපස් ("මගේ කාලෙ උද්ඝෝෂණය කල ළමයින්ට දුන්නෙ කිරි පැකට්")

XII.වසරේ සමාජ ක්‍රියාධරයා.(නිතරගයෙන්)
1. මජර පාලනයට එරෙහිව ජනබලය ගොඩනඟමින්ද, ව්‍යවස්ථා සංශෝධන-ස්වාධීන කොමිෂන් සභා ආදිය වෙනුවෙන් හඬ නඟමින්ද, පොදු අපේක්ෂක සටනේ පෙරමුණ ගනිමින්ද, සිදුකල අරගලය නවතා, මාරයාට අවනතව නික්මගිය "පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ" වසරේ සමාජ ක්‍රියාධරයා ලෙස ගෞරව සම්මානයට පාත්‍රවන වගයි.


[2012 සම්මාන]

Friday, December 25, 2015

කාර් පර්මිට් සහ පුකේ ලිබරල්.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට, පාර්ලිමේන්තු පැමිණීම වෙනුවෙන් ගෙවන දීමනාව රුපියල් පන්සීයේ සිට විසිදහස දක්වා වැඩිකිරීමට යෝජනාවී අැති අතර ආරංචියේ හැටියට එයට විරුද්ධ වී ඇත්තේ ‍ජවිපෙ පමණි. අයවැයෙන් රජයේ සේවකයන්ගේ වාහන බලපත්‍රය, විශ්‍රාම වැටුප කපාදැමීමට එරෙහිව වර්ජනය කරද්දී පුක පොලවේ ගසාගත් මහත්වරුන් මේ ගැන කටේ කෙල හලනවා තාම දැක්කේ නැත. කමක් නැත! රජයේ සේවකයෝ කම්මැලියෝය. දොස්තරලා සල්ලිවලට බෙහෙත් දෙනවාය.

ඔය කියනා දීමනා ගැන කතා කරද්දී ආයතන සංග්‍රහයේ XIV වැනි පරිච්ඡේදයේ මෙසේ සටහන් වේ.

"4:5:1 ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් සහ අභියාචනාධකරණ වි ශ්චයකාරවරුන් විසින් ගමන් බිමන් සහ යැපීම් කාර්යන් වෙනුවෙන් දරනු ලබන තථ්‍ය වියදම් ප්‍රතිපූරණය කල යුතුය"

එයාලා අපි වගේ නෙවේය. ලෝකේ ඕනෑම තැනකට ගොස් කා-බී බඩුගසා පැමිණි විට බිල ගෙවන්නේ ආණ්ඩුවෙන්ය. ඒකත් හරි අපූරුය.

නළුවෙක් නොව මොලයක් යැයි කියූ උන්නැහේගේ තියනවා යැයි කියූ "ලිබරල්", කෝඳුරු බිජ්ජක් තරමටවත් ඇත්දැයි සැක සහිතය. අපි මේවා දුටුවේ උන්නැහේ වැඩ අල්ලද්දීමය. පාරවල් වල වාහන වැඩි බව කියමින් ලීසින් කොම්පැණිවලට සීමා දැමීම හා ආනයන බදු වැඩිකිරීම, රජයේ සේවකයන්ගේ පර්මිට් කැපීම හා විශ්‍රාම වැටුප් කප්පාදුව, සමාජවාදීන් මෙන් බැංකුවලට සීමා පැනවීම් ආදී මෙකී නොකී සියලු කැපිලි අතරේ හොර රහසේම තමුන්ගේ ගොඩ වැඩිකරගැනීමට අරඅඳී.

ලිබරල් හොඳය. එහෙත් මේ පුකේ ලිබරල්ය.


Monday, December 21, 2015

කවුද එන්නෙ සේරු අල්ලන්න?

"කුස්සියේ වධය ඉවරයි, ලඟදීම සේරා එනවා" කියල ඇඩ් එකක් පහුගිය දවස්වල ටීවී එකේ පෙන්නුව මතක ඇති. අපිත් බලං හිටිය කවුද බොලේ මේ සේරා කියල. බැලින්නං පොල්කිරි පැකට් එකක්ද කොහෙද! ගහෙන් පොලේ කඩල අරගෙන බිඳල වතුර ටිකත් බීල, හිරමනයට අල්ලල බරස් බරස්ගාල පොල් ගාල කිරිටික මිරකල ගන්න අපිට මොන දියර පොල්කිරිද!

මේ කතාව සේරා ගැන නෙනවේ "සේරු" ගැන. රියර්ගේට් බ්ලොග් එක ලියපු චාමි බුකියෙ දාල තිබුන සේරු අල්ලන හැටි. සේරු කියන්නෙ කුරුල්ලො ජාතියක්. ඉරක් වගේ පේලි ගැහිල වේගයෙන් ඉගිල්ලිලා යන කුරුල්ලො වගයක් පෙන්නල පුංචි සන්දියෙ තාත්ත කිව්වෙ ඒ සේරු කියල. කොහොම උනත් මේ සේරු ගැන තියන කතන්දර ටිකක් මතභේදාත්මකයි. අපේ ගම්වල ගොවියන් "සේරු කාල" කියල කියනව අපි අහල තිබුන. "සේරු කාල" කියල කිව්වෙ වී වැපිරූ කුඹුරෙ තියන වී කෑම ගැන. ගොවියන් කියන විදියට සේරු එන්නෙ රෑ. එයාල ඇවිල්ල වී ටික කන්නෙත් අමුතු විදියට. වපුරල දවසක් නැත්තං දෙකක් ගියපු කුඹුරට ඇවිල්ල පියාපත් දෙක දිගහැරල වී ටික එකතු කරල පොඩි වතුර කඩිත්තකට දානව. ඊට පස්සෙ මඩ ටික එහෙම අයින් වෙන්න පොඩ්ඩක් කාල්ගාල ගිලල දානව.

මේක ජනප්‍රවාදයේ එන මොකක් හරි බින්නයක් කියල හිතන්න පුළුවන්. මොකද මේ පින්තූර වල තියන විදියට සේරුන්ගෙ ආහාරය වෙන්න පුළුවන් මාළු වගේ ආහාර විතරයි. කොක්කු, නැත්තං දියකාව වගේ සතෙක් වෙන්න ඕන මෙයා. සේරු ඇල්ලිල්ල කරන්නෙ මෙහෙමයි.

ඔන්න සේරු ටික වැවේ ඉන්නකොට මුට්ටියක් අ‍රගෙන ඒකෙ ඇස් කන් එක්ක මුහුණක් ඇඳල සේරු ඉන්න පැත්තට පා කරල යවනව. මුට්ටිය දකින සේරු භයවෙනව. ටික වෙලාවක් යද්දි උන්ගෙ භය නැතිවෙනව. ඊලඟට දෙවැනි මුට්ටියත් යවනව. ඒකටත් ඕනනං චුට්ටක් විතර භයවෙයි. අන්තිම මුට්ටියත් අර විදියටම හදල ඒක ඔලුවෙ දාගෙන සේරු ලඟට යන්න පුළුවන්. ගිහිල්ල කකුලෙන් අල්ලල වතුර යටට ඇදල ගන්නව. අරගෙන ඔඩොක්කුවට දාගන්නව. ඊලඟට තව එකෙක්.......

මෙතනදි හිතෙන්න පුළුවන් උඩ අතට එන මුට්ටයයි යට අතට එන මුට්ටියයි හඳුනාගන්න සේරුන්ට‍ බැරිද කියල ප්‍රශ්නයක්. හැබෑ සිංහ ලේ ඇති අපේ සිංහයා හෙවත් ඉන්දික උපශාන්ත කියන විදියට "උඩ අතට හැරිල එන මුට්ටියයි යට අතට එන මුට්ටියයි අඳුරගන්න බැරි සේරු, වඳවෙලාම යන එකමලු හොඳ". ඒක දේශපාලනික කතාවක් නිසා ඕන නෑ.



ඔය යටම ඉන්න, ගූගල් දෙයියා දීපු "සේරු" වගේ සේරු නං කකුල්දෙකෙන් අල්ලල සරම අස්සෙ ගහගන්න කවුද අකමැති නෙහ්!

---------------------------------------------------------

සංශෝධනය 2.15pm
සේරු කියන්නෙ මෙයාලට. රොකට් එකක් වගේ වේගයෙන් ඉගිල්ලෙන කුරුල්ලො ජාතියක්. ඉගිලෙනවිට පියාපත් ශබ්දය සෑහෙන්න ඇගෙනව. වී කන කතන්දරය හරි. රංචුව විශාල නිසා කුඹුරුවලට සිදුවන හාණිය වැඩියි. අවුරුදු දෙකතුනකට‍ කලින් මේ පැත්තෙ වසංගතයක් වගේ පැතිරිලා තියනව. ගොවියන් රෑ කාලෙයේ පහන්-රතිඥ්ඥා දැල්වීමත් කරල තියනව.

Saturday, December 19, 2015

කක්කුස්සිකාරි

දොස්තර රුවන් එම් ජයතුංග මහතාගේ කක්කුස්සිකාරයෝ ශීර්ෂයෙන් ලියවුන සටහන දැකීමෙන් පසු මා දන්නා කක්කුස්සිකාරියක් ගැන මතකය අවදි විය. කක්කුස්සිකාරයෝ/කක්කුසියෝ වැනි අපහාසාත්මක යයි කිවහැකි වදන් සනීපාරක්ෂක කම්කරුවන් සඳහා සමාජයේ/රැකියා ස්ථාන වල භාවිතා වේ. මා දන්නා එක් අයෙකුගේ නමෙහි මුලට "ලැට්" යන්න එකතුකර භාවිතා කිරීමට ගම්වැසියන් පුරුදුවී සිටි බව මතකය. කෙසේ වුවත් "කක්කුස්සිකාරි" යන වදන මේ කියන තැනැත්තිය සම්බන්ධයෙන් යොදාගැනීම වැරදි නොවන බව කතාව අවසානයේ ඔබට හැඟෙනු ඇත.

රාජ්‍ය සේවයේ පත්වීම ලැබූ පසු මගේ මුල්ම රාජකාරිවලින් එකක් වූයේ කාර්යාල නිලධාරීන්ගේ වැටුප් සකස් කිරීමයි. මාසික වැටුප් සකස් කල පළමු මාසයෙන් පසුව එළඹි මාසයේ පළමුවැනිදා මැදිවියේ කාන්තාවක් පැමිණ සුළු මුදලක් සඳහන් කර තිබූ වවුචරයක් මා හට භාරදී ගෙවීම් ලබාගැනීමේ කටයුතු සඳහා සූදානමින් සිටි‍යාය. මීට පෙර දැක නැති -එසේත් නැතිනම් අවධානයක් යොමු නොවූ- ඇය, කාර්යාලයේ සනීපාරක්ෂක කම්කරු වෘත්තියේ යෙදී සිටින්නිය බව මා දැනගත්තේ එවිටය. උදෑසන පැමිණ වැසිකිළිය පිරිසිදු කිරීම පමණක් සිදුකල ඇය ඒ වෙනුවෙන් දෛනිකව ලබාගත් මුදල රුපියල් එකසිය පනහකි.

පසු කාලයකදී දැනගත් තොරතුරු අනුව, විවාහවී දරුවෙකු හෝ දෙදෙනෙකු සිටි ඇයගේ සැමියා විදුලි සැර වැදීමක් හේතුවෙන් ශාරීරික දුබල තත්වයකට පත්ව සිටියේය. ගෙයක්දොරක් නොතිබූ ඔවුන් ජීවත් වූයේ කිසිවෙකුට අයත් විශාල වත්තක පිහිටි නිවසකය. එම නිවසෙන්ද ඉවත්වීමට සිදුව තිබූ ඔවුන්ට ඉතිරිව තිබුනේ පාරට බැසීම පමණි. රජයේ කාර්යාලවල සනීපාරක්ෂක කටයුතු සමාගම් වෙත පැවරූ කාලයේ එම කාන්තාවගේ වෘත්තියද අනතුරට මුහුණපෑවේය. එහෙත් සැබෑ පරිපාලකයෙකු මෙන්ම හිතහොඳ මිනිසෙකු වූ ආයතන ප්‍රධානියා ඇය වෙනුවෙන් ක්‍රියාත්මක වූ අතර රැකියාවෙන් ඉවත් කිරීම වෙනුවට සනීපාරක්ෂක සේවය සැපයීම වෙනුවෙන් දියයුතු නව ගෙවීම වන රුපියල් පන්සීයක පමණ දෛනික මුදල ඇයට ලබාදීමට කටයුතු කලේය.

කෙටි කලකදී ජීවත්ව සිටි නිවසෙන් ඉවත්වීමට සිදුවූ බැවින් ඔවුන්ගේ පවුල වෙනුවෙන් නිවසක් සාදා දීමට ආයතන ප්‍රධානියා යෝජනා කලේය. මේ වෙනුවෙන් කුඩා ඉඩම් කැබැල්ලක් ලබාගැනීමට හැකිවූ අතර එය අංශක තිහක පමණ බෑවුමකින් යුක්ත විය. ප්‍රධානියාත් ගෝලයෝත් දින දෙකක් පුරා වෙහෙස වීමෙන් අනතුරුව ඉඩමේ බෑවුම සමතලා කල අතර වැසිකිළියක් සහ කුඩා නිවසක් අටවාගැනීමට ඔවුන්ගේ මහන්සිය ප්‍රමාණවත් විය.

කෙටි කලක් ඇතුලත මා කොළඹින් ස්ථාන මාරු ලබා ගමට පැමිණි අතර පසු කලකදී කාර්යාලයට ගිය දිනෙක සනීපාරක්ෂක කම්කරු කාන්තාව ගැන විමසීමි. පුදුමයකි! තවදුරටත් ඇය කාර්යාලයේ සේවය නොකල අතර තමාගේ සේවය ස්ථිර නොකරන බවට ආයතන ප්‍රධානියාට විරුද්ධව ඉහල නිලධාරීන්ට පෙත්සම් යැවීම නිසා ඇගේ සේවය අවසන්කර තිබිනි.

Friday, December 18, 2015

වරාය නගරය සහ රටේ ප්‍රතිපත්ති

අද උදෑසන ඇසුන ප්‍රවෘත්තියකින් කියවුනු පරිදි ඔබාමාගේ ඡන්ද පොරොන්දුවක් වන ග්වන්තනමෝ සිර කඳවුර ඉවත් කිරීමේ වැඩසටහනට, ජනාධිපතිවරයාගේ ප්‍රතිවාදී රිපබ්ලිකන් නියෝජිතයන්ගේ සහය නොලැබීම නිසා එම වැඩසටහන බලාපොරොත්තු වූ තරම් සාර්ථක වන ලකුණු පෙනෙන්නට නැත. අනෙක් අතට මීට හාත්පසින්ම වෙනස්, ලංකාවේ සිදුවන්නේ ආණ්ඩු මාරුවකට පසු දේශපාලන සිරකරුවන් පමණක් නොව මිණීමරුවන්, මංකොල්ලකාරයන්, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ස්ත්‍රී දූෂකයන් වැනි අපරාධකාරයන් පවා දේශපාලනයේ ආනුභාවයෙන් නිදහස ලැබීමයි. දේසේ හැටියට වැඩ සිදුවන්නේ එලෙසිනි.

කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් ලංකාව හා චීනය අතර මේ දිනවල ඇත්තේ සීතල යුධ තත්වයක් වැනි මොකක්දෝ එකකි. මහින්ද ජනාධිපතිවරයාගේ කාලයේ ආරම්භවූ මෙම ව්‍යාපෘතිය ගැන වාද විවාද බොහොමයකි. ව්‍යාපෘතියට අදාල පරිසර වාර්තාවන්ට අනුව මෙයින් දැඩි පරිසර හාණියක් සිදුවන බවත්, ආරම්භක අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් නිසි ඇගයුමක් නොතීබූ බවත් ප්‍රධාන චෝදනාවකි. සමහර විට එය සත්‍ය වියහැකිය. පරිසර වාර්තා පමණක් නොව එකල සිදුවූ සෑම දෙයක්ම ලොක්කාගේ ඕනෑකම මත සිදුවිය. එහි වන්දිය දැන් ගෙවීමට සිදුව ඇත්තේ වත්මන් ආණ්ඩුවටය. ඒ, උනු නිසා බොන්නත් බැරි කිරි නිසා අහක දමන්නත් බැරි චීන කිරිවල හැටිය.

ඉහතින් සඳහන් කල ඇමෙරිකාවේ සහ ලංකාවේ සහ ලංකාවේ උදාහරණ වලින් පෙන්වන්නේ රටක ප්‍රතිපත්ති සම්පාදනයේ ඇති වැදගත්භාවයයි. ආණ්ඩු මාරුවන විට අංශක එකසිය අසූවකින් කරකවා පොලවේ ගසනු වෙනුවට යම් මෘදුභාවයකින් රාජ්‍යයේ කාර්යන් කරගෙන යාමට මෙයින් ඉඩකඩ සලසාගත හැකිය. විදේශයන් සමඟ සිදුවන ගණුදෙනු මෙහිදී ප්‍රධාන තැනක් ගනී. අතීතයේ තිබූ ආණ්ඩු මාරු සමඟ ප්‍රතිපත්ති වෙනස්වන ක්‍රමය ගෝලීයකරණයත් සමඟ අවසන් විය. ආණ්ඩු වෙනස්වූ පමණින් රජය හා විදේශයන් අතර ඇතිකරගන්නා ගිවිසුම් ඉරාදැමීමට මේ යුගයේ හැකියාවක් නැත. ලංකාවේ දැන් පවතින්නේ රාජ්‍යක් ලෙස ප්‍රතිපත්තියක් සකසාගැනීමට සුදුසු කාලයකි. ඡන්ද විමසීමක් ජයගැනීමට තරම් සෑහෙන තරමේ පාර්ලිමේන්තු නියෝජනයක් ඇති ජාතික(?) ආණ්ඩුවක් රට පාලනය කරන මේ අවස්ථාවේ මෙවැන්නක් සම්මත කරගැනීම අසීරු කරුණක් නොවේ. යම් මට්ටමක හෝ ලිබරල් ලක්ෂණ ඇති එජාපයත් එහි නායකයාත්(?) බලයේ සිටීම අමතර සුදුසුකමකි.

මූලිකව මෙරටෙහි ප්‍රතිපත්ති සැකසිය යුතු අංශ කිහිපයකි. ඉහතින් කතාකල විදෙස් සම්බන්ධතා වලට අමතරව අධයාපන ක්‍ෂේත්‍රය විශේෂය. සුද්දා හඳුන්වාදුන් පසු වසර කිහිපයකට වරක් පෙළපොත් පමණක් සංශෝධනය වන අධ්‍යාපන ක්‍රමය ඒ අතරින් ප්‍රධානය. ආර්ථික-නිෂ්පාදන අරමුණු වෙනුවෙන් හෝ අඩුම තරමින් ලෝකයට පුහුණු ශ්‍රමිකයන් සැපයීමටවත් හැකි ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් අප රටෙහි සකස් වියයුතුය.

අධ්‍යාපනය තරමටම වැදගත් සහ පසුගිය දිනවල විවේචනයන්ට ලක්වූ රාජ්‍ය සේවය, ප්‍රතිපත්ති සම්පාදනය වියයුතු මූලික ක්‍ෂේත්‍රයකි. ආණ්ඩු මාරුවන විට දේශපාලනඥයන්ගේ හෙංචයියන්ගෙන් පිරී යන රාජ්‍ය සේවය සඳහා ප්‍රතිපත්තියක් සකස්වීම මහජනතාව මත පැටවෙන බර සැහැල්ලු කිරීමකි. අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ගිය රාජ්‍ය සේවය අඩුකිරීම පටන්ගත යුත්තේ බඳවාගැනීම් නැවැත්වීම, රාජ්‍ය සේවකයන් පාර‍ට ඇදදැමීම හෝ එසේත් නැතිනම් ඔවුන්ගේ වරප්‍රසාද කප්පාදු කර වැඩවර්ජන සිදුවන තැන‍ට තල්ලු කිරීමෙන් නොව ඒ වෙනුවෙන් සියල්ලන්‍ටම එකඟ වියහැකි ප්‍රතිපත්තියක් සැලසුම් කිරීමෙන්ය. දැනට සිටින කාඩරය එසේම සිටියදී ඉලක්කම් කිහිපයක් සංශෝධනය මඟින් මෙය සිදුකිරීම අපහසු නැත. අවුරුදු පහකින් හෝ දහයකින් රාජ්‍ය සේවකයන් ප්‍රමාණය ක්‍රමිකව අඩුකිරීමේ ක්‍රමයක් ‍සාදාගැනීම හිතකරය.

මෙවන් ප්‍රතිපත්ති ජාතික වශයෙන් සැලසුම් කලහැකි අංශයන් බොහෝය. ඒ සඳහා අවශ්‍ය වන්නේ අවංක උවමනාව පමණකි. සෑම ප්‍රතිපත්තියක්ම සංශෝධනය කර එය ඒඒ නීති පද්ධතීන්වලට ඇතුළු කිරීමත් ඒවා සම්බන්ධව සමාජ කතිකාවක් ගොඩනැඟීමට ඉඩ සැලසීමත් ප්‍රතිපත්ති සම්පාදනයේ අනිවාර්ය අංගයක් වියයුතුය. එවිට ආණ්ඩු මාරුවීම් සිදුවුවද බාහිරව සහ අභ්‍යන්තරව රජයන් අපහසුතාවයට පත්කරන යූ ටර්න්වලින් මිදීමට හැකිවනු අැත.

Saturday, November 21, 2015

අයවැය 2016

ගරු කතානායකතුමියනි, තංගල්ල උඩමාවත අංක හතලිස් හතේ පදිංචි රාජ් වන මා අප කුටුම්භයේ ගෘහ මූලිකයා ලෙස 2016 වසරේ අයවැය ඉදිරිපත් කිරීමට ඉඩ ලැබීම භාග්‍යක් කොට සලකමි. 2011 අප කුටුම්භය ගොඩනැඟීමෙන් අනතුරුව දෙදෙනා විතැන් වීමෙන් අනතුරුව වසර දෙක තුනක පමණ කාලයක් ගතකල අසීරු කාල පරිච්ඡේදයෙන් මිදී සෞභාග්‍ය කරා පියනැඟීමේ දැඩි උත්සාහය සඵල වන ලකුණු පෙනෙන්නට අැති බැව් සතුටින් ප්‍රකාශ කරමි.

☻ ගරු කතානායකතුමියනි, 2015 වර්ෂයට සාපේක්ෂව ආදායම් සහ වියදම් සැලකීමෙන් අනතුරුව ආදයම් වැඩිවීම ලෙස 2016 වසරේ ලැබෙන රුපියල් එකසිය හැත්තෑවක වැටුප් වර්ධකය ලැබීමට නියමිත අතර වෙනත් ආදායම් නොමැති බැව් ප්‍රකාශ කරමි. ඊට අමතරව ණය පොලිය අඩුවීමේ වාසියක් ලෙස රුපියල් හයක් පමණ මාසිකව වැටුපට එකතු වන බව සතුටින් ප්‍රකාශ කරමි.

☻ මීට අමතරව මහ ගෙවල් දෙකෙන් ඉඳහිට ලබාගන්න‍ා පොල් ගෙඩි කිහිපයත් හාල් මල්ලත් ආදායම් ලෙස එකතු කල බැව් දැන්වීමට කැමැත්තෙමි.

☻ ගරු කතානායකතුමියනි, වෙළඳපොලේ භාණ්ඩ මිල වැඩිවීමත් සමඟ පහත සඳහන් ක්‍රියාමාර්ග වලට එළඹීමට තීරණය කලෙමි.
කාර් මිල ඉහල ගොස් ඇති බැවින් හා ඒ සඳහා වන අටෝරාසියක් වන බදු මුදල් හේතුවෙන්, වැස්සෙන් බේරීමට කාරයක් මිලදීගැනීමට ඉදිරිපත් කල යෝජනාව අවලංගු කරන අතර තවදුරටත් යතුරු පැදියේ ගමන් යාමට තීරණය කරමි. වැස්සෙන් ආරක්ෂා වීමට වර්ෂාව පවතින අවස්ථා වල ගමන් බිමන් අඩුකිරීමට යෝජනා කරන අතර අත්‍යාවශ්‍ය ගමන්බිමන් යාම සඳහා වැහි කබා තුනක් මිලට ගැනීමට යෝජනා කරමි. තවද සෙම්ප්‍රතිශ්‍යාවෙන් ආරක්ෂා වීමට සමහන් සංචිතයක් පවත්වා ගැනීමට අවසර ඉල්ලා සිටින අතර පිරිටන් ඇමොක්සලින් වැනි ඖෂධ කිහිපයක් රෝහලෙන් ලබාගෙන ගබඩා කරගැනීමට යෝජනා කරමි. තවද දඩයක් වැදීමේ අවධානම අඩුකරගැනීම පිණිස මාර්ග නීති අකුරටම පිලිපැදීමට කටයුතු කරන බව දන්වමි.

☻ වාහන ආදායම් බලපත්‍ර ගාස්තු සහ දුම් පරීක්ෂණ ගාස්තු ඉහලයාම හේතුවෙන් දැරීමට සිදුවන වියදම් වලින් කොටසක්, අඩුකර ඇති භාණ්ඩ මිලට හිලව් කරගතහැකි බව සතුටින් ප්‍රකාශ කරමි. ගරු කතානායකතුමියනි, කිරිපිටි මිල රුපියල් තිහකින් අඩුවීමේ වාසියත් ගෑස් සිලින්ඩරය සඳහා අඩුකරන ලද රුපියල් එකසිය පනහක මුදලත් මේ සඳහා ‍ලබාගැනීමට අපේක්ෂා කරමි.

☻ ගරු කතානායකතුමියනි, සාලයා කරවල අඩුවිමේ වාසිය ලබාගනු වස් උම්බලකඩ පාවිච්චිය නතර කිරීමට යෝජනා කරන අතර කොලුවාගේ කෑම රුචිය වැඩිකිරීම පිණිස සාලයාගේ ගුණ දැක්වෙන පෝස්ටරයක් බිත්තියේ ඇලවීමට යෝජනා කරමි. තවද මාළු ගෙන එන අතරමැදියා වන ජෙමා මාළු කිලෝවකින් අධික මුදලක් අයකරන බැවින්, නිවාඩු දිනවල වැල්ලට ගොස් රැවුල කැපීමෙන් සතියේ මාළු අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීමට කටයුතු කරමි. දෙහි මිල ඉහල ගොස් ඇති බැවින් ඊට පිලියම් ලෙස අල්ලපු වත්තේ දෙහිගසේ අපේ පැත්තට නැවී ඇති දෙහි වලින් කොටසක් නෙලා ගැනීමටත් වැඩිමනක් ලෙස යෝජනා කරමි.

☻ ගරු කතානායකතුමියනි, භූමිතෙල් මිල පහල යාමේ වාසිය ලබාගැනීම පිණිස භූමිතෙල් ලිප නැවත පාවිච්චි කිරීමට යෝජනා කරන අතර පරිප්පු සහ සැමන් මිල අඩුවී ඇති බැවින් එක් ආහා‍ර වේලක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පරිප්පු එක් කිරීමට යෝජනා කරමි.

☻ විනෝද බද්ද ඉහලයාම හේතුවෙන් මත්පැන් පාවිච්චිය සීමා කිරීමට කටයුතු කරන අතර දුම්වැටි පාවිච්චිය නතර කිරීමට තීරණය කරමි. එහෙත් විශේෂ අවස්ථාවලදී පමණක් ඔබේ අනුමැතියට යටත්ව භාගයක් දක්වා මත්පැන් ලබාගැනීමට අවසර ඉල්ලා සිටිමි. මගුල් තුලා සහ මලගෙවල් වෙනුවෙන් වැයකරන මුදල් අඩුකිරීමට යෝජනා කරන අතර හිඟන්නන් සල්පිල්කරුවන් සම්මාදන්කාරයන් ඒම වැලැක්වීමට බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න පුවරුවක් ගේට්ටුවේ එල්ලීමට යෝජනා කරමි. එමෙන්ම සිංහල අවුරුද්දට බුලත් දීමේදී රුපියලේ කාසියක් පමණක් දීමට යෝජනා කරනමි.

☻ ගරු කතානායකතුමියනි, කොල්ලාගේ ආහාර වියදම් සීමා නොකිරීමට කටයුතු කරන අතර සෙල්ලම් බඩු ලබාදීමේදී මිල අඩු භාණ්ඩ කෙරේ විශේෂ අවධානය යොමුකරන අතර මීට අමතරව පොල්පිති හරකා, ගොක් කොල නයා ආදී පාරම්පරික ක්‍රීඩා සඳහා ඔහු පෙළඹවීමට අපේක්ෂා කරමි.

☻ ගරු කතානායකතුමියනි, රූපලාවන්‍ය ඇඳුම් ආයිත්තම් වැනි සුකුරුත්තං වෙනුවෙන් වන වියදම සැලකිය යුතු මට්ටමකින් කපාදැමීමට සිදුවන බැව් කණගාටුවෙන් ප්‍රකාශ කරන අතර අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සඳහා වන වියදම් පමණක් දැරීමට සලකා බලන මෙන් ඉල්ලා සිටිමි.

☻ අන්තර්ජාල සම්බන්ධතාවය වෙනුවෙන් යොදවන මුදල් අඩුකිරීමට අපහසු බැවින් දුරකතන පාවිච්චියේදී ඉන්කමින් සඳහා පමණක් ප්‍රතිචාර දැක්වීමට යෝජනා කරමි.

☻ ගරු කතානායකතුමියනි, "පුංචි පවුල රත්තරං", "ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ" වැනි සංකල්ප අනුව දැනට ඉන්නා එකා හොඳටම අැති බව යෝජනා කරන අතර "ආරක්ෂාව" සඳහා වියදම් රහිත ක්‍රියාමාර්ග වලට එළඹීමට යෝජනා කරමි.

ගරු කතානායකතුමියනි, දෙදහස් දහසය වසරේ අපේක්ෂික ඉලක්ක සපුරාගැනීම පිණිස ඉදිරිපක් කල මෙම අයවැය ලේඛණය සඳහා ඔබේ අනුමැතිය ඉල්ලා සිටින අතර ඉදිරියේදී ඇතිවිය හැකි ආර්ථික අවපාත හමුවේ නොසැලී ඉදිරියට යෑමේ ධෛර්ය අපේක්ෂා කරමි.

--------------------------------------------

චාමි සෑම් විසින් 2011 වසරේ ඉදිරිපත් කල නව ලිබරල් අයවැය ලේඛනය අනුව සකස් කර ඉදිරිපත් කරන ලදී.

Friday, November 13, 2015

සතියේ ජෝක්











අයියා:
මලයන්ඩියේ නුඹ වෙන්වී ගිය දවසේ
ගිනි ඇවිලුනා කැණිමලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
ආ එක මදෑ මගෙ වැඩේට අද දවසේ

මල්ලී:
‍කටු ලෙවකෑව ඇති අයියේ මෙහෙ එන්න
පරම්පරාවටම පුළුවනි සැප ගන්න
දියවන්නා රස මසවුළු වළඳන්න
සාටකයේ එල්ලෙමු අපි ගොඩ යන්න

දෙදෙනාම:
අපි සංතෝසෙන් ඉන්නේ
දුක සෝකය නෑ දන්නේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලි......

*******************************

හතර හිනා








රතු අයියලා:
කොහොමද අපෙ බලේ
මාරපනය කැලේ
අපිත් එක්ක බෑ සෙල්ලං
දෙනවා වෙන්නට සල්ලං

නිල් (සාටක)අයියලා:
ඕක තමයි අපි කිව්වේ
වරදක් වී නැත කිව්වේ
මාරපනත් කිව්වා නං
වරදක් වී ලා නෑ බං

කොල අයියලා:
වැරදි කලොත් යන්නම වෙයි
යහපාලනෙ මේක තමයි
ඉතිහාසේ කවදාවත්
සිදුවුනාද මෙහෙම දෙයක්

රාජ්:
මාර පනය ගියා
අපිටත් හරි හිනා
පොඩි පොඩි ආතල්
අපායෙ ඉන්ටවල්

Tuesday, November 3, 2015

සොෆ්ට්ලොජික් අකරුණාව අබාන්ස් කරුණාව හා රග්බි ලෝක කුසලාන පසු කතා.

රග්බි ගැන ලිවිල්ල නැවැත්තුව ගිය පෝස්ටුවෙන්. හතරක් පහක් ලියුව හින්දත් කස්ටිය වැඩිය කැමති නැති නිසාත් ෆයිනල් එක ගැන නොලිය ඉන්නයි කල්පනා කලේ. මේ වගේ හුඟ දෙනෙක් අකමැති මාතෘකා ගැන දිගින් දිගටම ලියද්දි කියවන්නන්ට කේන්ති යනව. මට මතකයි ඒ දවස්වල කතන්දරකාරයා අපේ දැඩි විරෝධතා මැද්දෙ, සාහිත්‍ය මාසෙත් පැනල කයි කතන්දර ලියපු හැටි.
රග්බි ගැන ලියන්න හිතුනෙ ඒක මගේ කැමතිම ක්‍රීඩාව නිසා. අවුරුදු දෙකක‍ට විතර කලින් දුර ඥ‍ාතියෙකුගෙ ගෙදරදි රග්බි බෝලයක් දැක්ක මිසක් ජීවිතේට රග්බි ගහලවත් නැති එකෙක් තමයි මම. රග්බි ගැන උනන්දුව ඇතිවුනේ මෙහේ තියන සිංගර් සෙවන්ස් තරගාවලිය ටීවී එකෙන් බලලයි. රජ පුතාල ඒ දවස්වල ඕක ටිකක් වෙනස් කරල ගත්තත් දැං නං ඒ තරගාවලිය නැහැ මං හිතන්නෙ. ඊට පස්සෙ රග්බි නීති රීති එහෙම හොයල බලල ගනගත්තම තමයි මේක ප්‍රියතම ක්‍රීඩාව වුනේ.

පහුගිය ලිපියෙදි මුනගැහුන යහපත් ඇනෝ ඇරුනම රග්බි උන තියන අය බ්ලොග් කියවන්නන් අතරෙ නැති බව තමයි පේන්න තිබුනෙ. රග්බි ලෝක කුසලාන අවසන් තරගය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. නවසීලන්තය දිනුව, සොනිබිල් විලියම්ස් පදක්කම ළමයෙකුට දුන්න (ඒක තමයි වැඩිපුර කතාබහ වුනේ). රග්බි ලෝක කුසලානය ගැන මම කියපු අනාවැකි හතරක් හරිගියා. ශූරයෝ, අවසන් තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක, අවසන් කණ්ඩායම් අට, ඒ ඒ කාණ්ඩ වල ප්‍රසාද ලකුණු අනුව අනුපිලිවෙලින් මුල් ස්ථාන දෙක.
රයිට් රග්බි ගැන ඒ ඇති.

රග්බි ලෝක කුසලානය තියන දවස් මට සෑහෙන්න අපලයි. මොකක් හෝ හේතුවක් නිසා තරගාවලිය මිස් වෙනව. 2003දි අම්ම ඉස්පිරිතාලෙ නැවැත්තුව, 2007දි මම ඇක්සිඩන්ට් වෙලා ඉස්පිරිතාලෙ ඇඳේ. 2011ත් මොකද්දෝ උනා. නැවත විකාශයන් තමයි සමහර තරග බැලුවෙ. මේ සැරේ ටීවී එක වැඩකරන්නෙ නැතුව ගියා. නමුත් මේ සැරේ කොහොම හරි බලනව කියල ගියා ටීවී එකක් අලුතෙන් අරගෙනම බලන්න. නෝනයි මම පුත්‍රයයි ටවුම පුරාම ඇවිදල තෝරගත්ත සොෆ්ට්ලොජික් එකේ තිබුන පැනසොනික් ටීවී එක. ගෙවීමේ ක්‍රමයට ගන්නයි සූදානම. රජයේ සේවයේ සිටින එක ඇපකාරයෙක් ඇති කියලයි කිවුවෙ. ටීවී එක ගැනීමේ අදහසින්ම දෙවැනි වතාවට සොෆ්ට්ලොජික් එකට ගිහිල්ල නෝන ඇපකාරය කරල මගේ නමට ටීවී එක ගන්නයි ලැහැස්තිය. නමුත් පොඩි අවුලක් හැදුන. සංවාදෙ මෙහෙමයි,

"මෙන්න මගේ අයිඩී කොපිය, මෙන්න ඇපනකාරයගෙ අඩිඩී කොපිය, අපිට අර ටීවී එක දෙන්න......" සොෆ්ට්ලොජික් කඩේ හිටපු කොලුවට හැඳුණුම්පත් දෙන ගමන් මම කිව්ව.

"සර්.... මේ නෝනද?"

"ඔව්"

"මේකයි සර්..... නෝන නං ඇපවෙලා හරියන්නෙ නෑ..... කම්පැනියෙන් එපා කියනවනෙ"

"මේ නෝන තමයි, හැබැයි ඔහේල දන්නෙ නෑනේ මෙයා නෝන කියල.... මොකෝ කසාද සහතික ඉල්ලන්නෙ නෑ නේද?"

"පොඩ්ඩක් ඉන්න සර්....." කොල්ල එතන ඉඳපු ගැණු ලමයෙකුට විස්තරේ කියල එයාලගෙ "සර්ට" කෝල් එකක් ගත්ත. නමුත් ප්‍රතිචාරය අයහපත්.

"ඔයාලට ඇපකාරයො ඕන වෙන්නෙ කම්පැනියට යවන්න නං එයාල කොහොමද දන්නෙ අපි නෝනයි මහත්තයයි කියල? ගෙදරට එනවද එයාල බලන්න?"

"ඔව් සර්..... ගෙදරට එනව බලන්න...." ඒක බොරුවක් කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඒ ගමන එයාලගෙ ටීවී එක එයාලටම තියාගන්න කියල ගියා දෙවැනි ඔප්ෂන් එක වෙච්ච අබාන්ස් එකට, එල්ජී ටීවී එකක් ගන්න. විස්තරේ කිව්වම අපේ අයිඩී කොපි දෙක අරගෙන ටීවී එක ගෙනියන්න කිව්ව. ටීවී දෙන තැන්වල පරණ ටීවී එකක් දුන්නම ගානක් අඩුකරනවනෙ, අබාන්ස් එකේ ලොක්ක අපට යෝජනාවක් කලා.

"ඔයාල ටීවී එක ගෙනියන්න.... බිලයි වොරන්ටි කාඩ් එකයි අපි තියාගන්නං.... පරණ ටීවී කෑල්ලක් ගෙනත් දෙන්න.... අපරාදෙනෙ අඩුකරන ගාන නැතිවුනොත්...."

සතියක් දෙකක් ගිහිල්ලත් පරණ ටීවී එකක් හොයාගන්න බැරිවුන නිසා පහුගිය පඩි දවසෙම ගියා වාරිකයත් ගෙවල පරණ ටීවී එකක් හොයාගන්න බැරිවීම ගැනත් කියන්න.

"මහත්තය මම ‍ආවෙ අර ටීවී එකේ වාරකේ ගෙවල යන්න.... පරණ ටීවී එකක් හොයාගන්නත් බැරිවුනා.... ඒ නිසා ඒ ගණනත් ගෙවල දාන්නං නේද...."

"බැරිද මොකක් හරි හොයාගන්න.... මොකක් හරි කෑල්ලක් ගෙනත් දෙන්න.... අපරාදෙනෙ.... ඔය වීවී හදන තැනකට ගියාම රුපියල් පන්සීයක් විතර දීල ගන්න පුළුවන්"

බිලයි වොරන්ටි කාඩ් එකයිත් මට ලැබුන. ටීවී එකකුත් හොයාගත්ත කියල ගෙදරින් පනිවිඩයක් ලැබුන. අද ඒ ගණුදෙනුව අවසන් කරන්න හිතාගෙන ඉන්නව.

Thursday, October 29, 2015

ශූරයෝ කවුරුන්ද? Rugby World Cup 2015

මේ, රග්බි ලෝක කුසලානය ගැන තැබූ සටහන් මාලාවේ අවසානයයි. අපේක්ෂා කල ආකාරයටම ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අවසන් තරගයට සුදුසුකම් ලබා ඇත. තෙවැනි ස්ථානය සඳහා වන තරගයට දකුණු අප්‍රිකාව සහ ආර්ජන්ටිනාව සිකුරාදා තරග වැදීමට නියමිතය.

ආරම්භයේදී යම් යම් පෙරලි සිදුවුවද අවසන් වටයන් ක්‍රියාත්මක වනවිට ලෝක කුසලානය සාම්ප්‍රදායික ආකාරයට අවසන් වන ලකුණු පහලව ඇත. තරගාවලියට පෙර ශ්‍රේණිගත කිරීම් සැලකූ විට අවසන් තරගය සඳහා අංක එක සහ අංක දෙක සුදුසුකම් ලබාගත් අතර තෙවැනි ස්ථානය අංක තුන ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාවත් ආර්ජන්ටිනාවත් පැමිණීම මීට උදාහරණය. යුරෝපයේ තිබූ තරගාවලියෙන් එම කලාපයේ කණ්ඩායම් ඉවත්වීමද කැපී පෙනේ.

නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව දෙවතාවක් බැගින් ශූරයන් වී ඇති ලෝක කුසලාන ඉතිහාසයේ ශූරතාවය තෙවරක් දිනාගන්නා කණ්ඩායම බවට පත්වීමට මෙවර එක් කණ්ඩායමකට අවකාශය සැලසේ. මීට අමතරව දෙවතාවක් ශූරයන් වීමට දකුණු අප්‍රිකාව සමත්වී අැත.

මෙම තරගාවලියෙන් පසුව ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනී යයි සිතිය හැකි ක්‍රීඩා තරු ගණනාවකි. නවසීලන්තයෙන් කෙවින් මියලාමු, ටෝනි වුඩ්කොක් මෙන්ම නායක රිචී මැකෝ විශේෂිතය. සෙනසුරාදා තරගයෙන් ජයගැනීමට නවසීලන්තයට හැකිවුවහොත්, ලෝක ශූරතා දෙකකට නායකත්වය දී ජයග්‍රහණය කල එකම ක්‍රීඩකයා බවට රිචී මැකෝ පත්වනු ඇත. මීට අමතරව ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් මුවර්ද සමුගැනීමේ ලැයිස්තුවට එක්ව සිටී.
දකුණු අප්‍රිකාව පැත්තෙන් සුපිරි ක්‍රීඩක බ්‍රයන් හබානා සහ තිස් අට වියැති වික්ටර් මැට්ෆීල්ඩ්ද සහභාගී වන්නේ අවසාන ලෝක කුසලාන තරගාවලියටයි. තෙවැනි ස්ථානය සඳහා වන තරගයේ නායකත්වය මැට්ෆීල්ඩ් හට ලබාදීමට දකුණු අප්‍රිකාව තීරණය කර ඇත.
තෙවැනි ස්ථානය සඳහා තරග කරන දකුණු අප්‍රිකාව සහ ආර්ජන්ටිනාව අතර තරගය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ පැවැත්වෙන අතර එහිදී උණුසුම් තරගයක් අපේක්ෂා කල හැකිය. සමස්තයක් ලෙස තරගාවලියේ ඉදිරියට පැමිණ ඇති ආර්ජන්ටිනාවට නැතිවීමට යමක් නොමැති බැවින් වැඩි වාසි ඔවුන්ට බව කිවහැකිය. පසුගිය ෆෝ නේෂන්ස් තරගාවලියේදීද දකුණු අප්‍රිකාව පරාජය කිරීමට ඔවුන්ට හැකිවිය.

අවසන් තරගයේ ජයග්‍රාහකයන් කවුරුන්දැයි පැවසීම අපහසු වුවත් නවසිලන්තය මඳක් ඉදිරියෙන් සිටින බව කිවහැකිය. එහෙත් විටින් විට දක්ෂතා අතරට පිවිසෙන ඕස්ට්‍රේලියාව අවසන් තරගයේදී ක්‍රීඩා කරන ආකාරය අනුව තරගයේ ප්‍රතිපලය විස‍ඳෙනු ඇත.

Saturday, October 24, 2015

සැටිපිකට්ප්‍රේමියා.......

උපන්දිනත් ගොඩයි ගොඩයි
බැඳපු දවස් ගොඩයි ගොඩයි
පාස්පෝට් ගොඩයි ගොඩයි
ඒවට නඩු ගොඩයි ගොඩයි

Thursday, October 22, 2015

‍Four Ntions, Six Nations, අසාධාරණ තීන්දුව සහ අවසන් පූර්ව වටය. Rugby world cup 2015

රග්බි ලෝක ශූරයන් කවුදැයි තෝරාගැනීම සඳහා ඇත්තේ තවත් තරග තුනක් පමණි. අවසන් පූර්ව තරග දෙක, අවසන් තරගයට අමතරව තෙවැනි ස්ථානය තෝරා ගැනීම සඳහා තවත් එක් තරගයක් ඉතිරිව අැත. රටවල් විස්සක් තරග කර අවසානයේ මේ වනවිට ඉතිරිව ඇත්තේ රටවල් හතරකි. ඒ කාණ්ඩයෙන් ඕස්ට්‍රේලියාවත්, බී කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාවත්, සී කාණ්ඩයෙන් නවසීලන්තය හා ආර්ජන්ටිනාවත් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත් අතර ඩී කාණ්ඩයෙන් කිසිදු රටක් සුදුසුකම් ලබාගැනීමට සමත් වූයේ නැත.

අර්ධ අවසන් පූර්ව වටයේදී වේල්සය පරාජය කල දකුණු අප්‍රිකාව තියුණු ජයක් ලැබූ අතර නවසීලන්තය ප්‍රංශයට එරෙහිව ලබාගත් ජයග්‍රහණය වාර්තා පොත් අලුත් කලේය. බලාපොරොත්තු නොවූ ලෙස අයර්ලන්තය පරාජය කල ආර්ජන්ටිනාව ඩී කාණ්ඩය තරගාවලියෙන් ඉවත් කල අතර ඕස්ට්‍රේලියාව ස්කොට්ලන්තයට එරෙහිව ලැබූ ජයග්‍රහණය දැඩි ආන්දෝලනාත්මක විය.

☜[ජෝබර්ට් දඬුවම් පහර සඥා කිරීම]

ඕස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තය අතර තරගය ලන්ඩනයේ ට්වින්ක්හැම් ක්‍රීඩාංගනයේ පැවැත්වුනු අතර මුලින් බලාපොරොත්තු වූ ලෙසින් පහසු ජයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියානුවන්ට නොහැකි බව තරග ආරම්භයේ සිටම දක්නට ලැබිනි. විනාඩි කිහිපයකට වරක් තරගයේ වාසිය දෙපසට දෝලනය වූ අතර ඕස්ට්‍රේලියාවේ දුර්වල ක්‍රීඩා විලාශයත් ස්කොට්ලන්තයේ ධෛර්ය සහගත ක්‍රීඩාවත් කැපී පෙනුනි. පළමු අර්ධය අවසානයේ ලකුණු 16-15 ලෙස ඉදිරියෙන් සිටීමට ස්කොට්ලන්තය සමත් විය. ලකුණු 34-32 ලෙස ජයග්‍රහණය ආසන්නයට පැමිණි ස්කොට්ලන්ත‍ය‍ේ අවසන් පූර්ව වටයට ය‍ාමේ බලාපොරොත්තු සුන්කලේ තරග තීරක ‍ක්‍රේග් ජෝබර්ට් විසිනි. ඔහු ලබාදුන් මතභේදාත්මක දඬුවම් පහර සාර්ථක කරගත් ඕස්ට්‍රේලියානු ෆ්ලයි හාෆ් ක්‍රීඩක බර්නාඩ් ෆෝලි තම කණ්ඩයායම අවසන් පූර්ව වටයට ගෙනගියේ ලකුණු 35-34 ලෙස තියුණු ජයග්‍රහණයක් සටහන් කරමිනි. ඒ වනවිට තරගය නිමවීමට ඉතිරිව තිබුනේ විනාඩියක් පමණි!
පුනරූපන අනුව ස්කොට්ලන්ත ක්‍රීඩකයාගේ වරද වෙනුවෙන් ඕස්ට්‍රේලියානුවන්ට ලැබියයුතු වූයේ "ස්ක්‍රම්" වාසියක් වුවද (එසේ වූයේ නම් ලකුණු ලැබීමට නොහැකි වීමට ඉඩකඩ වැඩිය) දඬුවම් පහරක් ලැබීමෙන් තරගය කණපිට හැරුනි.

කෙසේ වුවත් මෙවර අවසන් පූර්ව වටය දක්වා පැමිණි කණ්ඩායම් හතර විශේෂිතය. ඔවුන් සියල්ලන්ම දක්ෂිණ අර්ධ ගෝලයේ පිහිටි රටවල්ය!
මේ වනවිට වාර්ෂිකව රග්බි ලෝකයේ ප්‍රධාන තරගාවලි දෙකක් පැවැත්වෙයි. එකක් නම් "සික්ස් නේෂන්ස්"ය. අනෙක "ෆෝ නේෂන්ස්"ය.

[වර්තමාන සික්ස් නේෂන්ස්]☞
සික්ස් නේෂන්ස් යනු වසර සියයකට වඩා අතීතයක් ඇති පැරණිම රග්බි තරගාවලියකි. එංගලන්තය, වේල්සය, අයර්ලන්තය හා ස්කොට්ලන්තය එක්ව "හෝම් නේෂන්ස්" යනුවෙන් තරග කල අතර ප්‍රංශය ඊට එකතු වීමත් සමඟ එය "5 නේෂන්ස්" විය. 2000 වර්ෂයේදී ඉතාලිය තරගාවලියට එක්වීමත් සමඟ එය 6 නේෂන්ස් බවට පත්විය. අවසන් 2015 හා 2014 තරගාවලි ජයග්‍රාහකයන් වූයේ අයර්ලන්තයයි.



☜[4 නේෂන්ස්]

මීට සමගාමීව දක්ෂිණ අර්ධ ගෝලයේ පැවැත්වෙන තරගාවලිය "4 නේෂන්ස්"ය. රග්බි ක්‍රීඩාවේ ප්‍රභලයන් තිදෙනා වන නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව එක්ව 1996 ඇරඹි "ට්‍රයි නේෂන්ස්" තරගාවලියට 2012දී ආර්ජන්ටිනාව එකතුවීමත් සමඟ එය 4 නේෂන්ස් බවට පත්විය. කලින් දුර්වල ස්ථානයක සිටි ආර්ජන්ටිනාවේ දක්ෂතා උපරිම තලයට පැමිණියේ ඔවුන් ෆෝ නේෂන්ස් තරගාවලියට එක්වීමත් සමඟිනි. මේ වනවිට ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථාන හතර දිනා සිටින්නේ මෙම රටවල් හතරය.

කෙසේ වෙතත් දැන් ඉතිරිව අැත්තේ 4නේෂන්ස් තරගාවලියයි. එහිදී දකුණු අප්‍රිකාව නවසීලන්තය සමඟත් ඕස්ට්‍රේලියාව ආර්ජන්ටිනාව සමඟත් තරග වැදීමට නියමිතය. පරාජිතයන් තෙවැනි ස්ථානය වෙනුවෙන් තරග කරන අතර ජයග්‍රාහකයන් අවසන් තරගයට ක්‍රීඩා කරනු ඇත.

පළමු තරගය නවසීලන්තය(ඕල් බ්ලැක්ස්) සහ දකුණු අප්‍රිකාව(ස්ප්‍රිංබොක්ස්) (ට්වින්කන්හැම්) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30

දෙවන තරගය ඕස්ට්‍රේලියාව(වොලබීස්) සහ ආර්ජන්ටිනාව(පූමාස්) (ට්වින්කන්හැම්) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30

Wednesday, October 21, 2015

රුසියන් ප්‍රහාර සහ බටහිර මාධ්‍ය (බුද්ධික තාඹුගල)

මේ, සිරියාවේ අයිසිස් ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකරන රුසියන් ප්‍රහාර හා ඒ සම්බන්ධව බුද්ධික තාඹුගල විසින් මුහුණු පොතෙහි තැබූ අගනා සටහනකි.

රුසියන් හමුදාව සිරියාවේ අයිසිස් ත්‍රස්තයන්ට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග ප්‍රධාන ධාරාවේ බටහිර මාධ්‍ය ගල් ගිලපු තත්ත්වයකට පත් ව ඇත. පෙන්ටගනයට, නේටෝවට සහ සී.අයි.ඒ සංවිධානයට අනුව නම් රුසියාව පහර දෙන්නේ අයිසිස් ත්‍රස්තයන්ට නොව "මධ්‍යස්ථ මතධාරී කැරළිකරුවන්ට" ය. සිරියාවේ "මධ්‍යස්ථ මතධාරී කැරළිකරුවන්" කීදෙනෙක් ඉන්නවාදැයි ඇසූ විට ඔවුන් කියන්නේ "සීයක් හමාරක් ඉන්නව, අපි ට්‍රේන් කරපු අය" කියායි. ඇමෙරිකන් ස්ට්‍රැටජිය වන්නේ මේ "මධ්‍යස්ථ මතධාරීන්" ලවා අසාද් රජය පෙරළා ඉන්පසු අයිසිස් සංවිධානය විනාශ කිරීමලු.

බටහිර මාධ්‍ය වලට හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගන්නා රෂියා ටුඩේ චැනලය පවසන්නේ ඊනියා මධ්‍යස්ථ මතධාරියෙක් හොයා ගැනීමට නොහැකි අතර රුසියන් ගුවන් හමුදාව පහර දෙන්නේ අයිසිස් ත්‍රස්තයන්ට බවයි. රුසියන් ප්‍රහාර වලට දාර්ශනික ලෙස විරුද්ධ වන ඇතැම් බටහිර හිතවාදියෙක් පවසන්නේ පූටින්ගේ අභිප්‍රාය අයිසිස් සංවිධානය විනාශ කිරිම නොව අසාද් රෙජිමය ආරක්ෂා කිරිම බවයි. මේ අවුල ලිහාගන්නේ කෙසේ ද?
(සැ.යු : මෙය ලියන මා කිසි ලෙසකින් රුසියන් හිතවාදියෙක් නොවේ. රුසියාව යුක්‍රේනයේ කැරළිකරුවන්ට ආයුධ දී නැගෙනහිර යුක්‍රේනය අස්ථාවර කරද්දී, ක්‍රිමියාව ආක්‍රමණය කර බලහත්කාරයෙන් ඈඳාගනිද්දී ඊට දැඩි ලෙස විරුද්ධ වූයෙමි. සෝවියට් සමයේ දශක හතරක් පුරා නැගෙනහිර යුරෝපය සහ ජර්මනියේ කොටසක් යටත් කරගෙන රුසියානුවන් විසින් කරන ලද මිනිස් සංහාර බටහිර කිසිම කලෙක කර නැත. රුසියානු ව්‍යාප්තවාදයට වැට බැඳීමේ ඇමෙරිකානු සහ නේටෝ උත්සාහයන් අගය කළෙමි. දැනුත් අගය කරමි ) එහෙත් සිරියානු අර්බුදය ඇති කළේ රුසියානුවන් ද?

මුලින්ම අපි "පූටින් කරන්නේ අවස්ථාවාදී වැඩකි" යන දාර්ශනික ප්‍රශ්නය සලකමු. රුසියාව කරන්නේ අවස්ථාවාදී වැඩකි. ආයෙ ඒකෙ දෙකක් නැත. ඔවුන්ට උවමනා අසාද් රෙජිමය රැක ගැනීමට ය. එහෙත් අවස්ථාවාදී නැත්තේ කවුද? සුමනසිරි බේකරියෙන් පාන් ගන්න ඔබ "අයිසෙ සුමනසිරි, තමුසෙ මේ පාන් හදන්නෙ අපිට ආදරේටෙ නෙමෙයි තමුසෙ සල්ලි හොයන්ඩ නේද?" කියා අසන්නේ නැත. අප පාවිච්චි කරන බොහෝ භාණ්ඩ සහ සේවා කිසිවෙක් තමන්ගේ "ආත්මාර්ථකාමී උවමනාවට" නිමවූ ඒවා ය. නැතුව අපිට ආදරේට හදපුවා නොවේ. සිරියාවට පහරදීමේ දී රුසියාව කොතරම් ආත්මාර්ථකාමී වුවත්, එම ප්‍රහාර වල අවසාන ප්‍රතිඵලය ලොව දරුණුම ත්‍රස්තවාදී සංවිධානය විනාශ වීමයි. අසාද් ශාන්තුවරයෙක් නොවේ. රුසියන් හිතවාදී ආඥාදායකයෙකු වන ඔහු සුන්නි සිරියානුවන් ඔහුට විරුද්ධව නැගී සිටි විට ඔවුන්ව අමානුෂික ලෙස මර්දනය කළේ ය. කල දුටු කළ වල ඉහගත් ඇමෙරිකාව එවකට "මධ්‍යස්ථ මතධාරී" සුන්නි කණ්ඩායම් වෙත ආයුධ ලබා දී අසාද් රජයට විරුද්ධව මෙහෙයවූයේය.

වසර දෙකකට පසු අපට අයිසිස් සංවිධානය ගැන අසන්නට ලැබේ. සිරියාවේ සහ ඉරාකයේ විශාල පදාසයක් එකවර ආක්‍රමණය කරන අයිසිස් ත්‍රස්තයන් නොබෝ කලකින්ම ලොව දරුණුම ත්‍රස්ත සංවිධානය යන කිරුළ දරයි. ඔවුන්ගේ දරුණුකම කොතෙක් ද යත් තලිබාන්වරු පවා ඔවුන්ගෙන් වෙන් ව යයි. කාන්තාවන් වහල් වෙන්දේසියේ විකිණීමේ සිට අහිංසක විදේශිකයන්ගේ ගෙල කපා මරා යූටියුබ් දැමීම දක්වා ලොව ඇති තරමක් කුපාඩි වැඩ කරන අයිසිස් කල්ලිය මැදපෙරදිග "ඉස්ලමික කලිෆේට් රාජ්‍යයක්" බිහි කිරීම තම අරමුණ බව පවසයි. මේ කර්තව්‍යය උදෙසා අයිසිස්වරු ඉරාකයේ සහ ජෝර්දානයේ ඇමෙරිකන් හිතවාදී රජයන්ටත්, ඉරානයේ බටහිර විරෝධී රජයටත්, තුර්කියේ කර්ඩිෂ් ජාතිකයන්ටත්, යුදෙවුවන්ටත්, ඇමෙරිකාව විසින් පලවා හැරීමට උත්සහ ගත් සිරියාවේ අසාද් රජයටත් විරුද්ධව භේද නැතුව, ලෝස් නැතුව සටන් වදියි.

අන්තිමේ සිරියාවේ ඉතුරු වන්නේ අසාද් රජය, අයිසිස් ත්‍රස්තයන් සහ ඒ දෙකොටසට මැදි වූ සාමාන්‍ය ජනතාව පමණි. ඇමෙරිකාව විසින් ආයුධ සපයන ලද ඊනියා "මධ්‍යස්ථ මතධාරීන්" සිරියන් පොළවේ ඉතිරි නොවෙයි.. බොහෝ සංවිධාන අයිසිස් ත්‍රස්තයන්ට එක් වන අතර ඉතිරිය එක්කෝ අයිසිස් විසින් මර්දනය කර/යටත් කර අවසන් වෙයි. මධ්‍යස්ථ මතධාරී ඉස්ලමික සටන්කරුවෙක් කියා එකෙක් මේ ලෝකෙ නැත. එහෙම උන් ඉන්නේ ඔබාමා මහතාගේ සිහින වල පමණි. අවසන අයිසිස් සංවිදානය අතට පත් වූයේ ඇමෙරිකන් ආයුධයි. අයිසිස් එකට විරුද්ධව ඇමෙරිකන් ප්‍රතිචාරය කුමක් ද? සරලය. බළලුන් ලවා කොස් ඇට බාවනවා කියන ප්‍රංශ උපහැරණයෙන් පැහැදිළි කළ හැකි ය. අයිසිස් සහ අසාද් හමුදා එකිනෙකා කෙළගනිද්දී උන් දෙගොල්ලන්ටම කෙළ කර දැමිය නොහැකි බව ඇමෙරිකාව මනාව දනියි. ඔවුන් කරන්නේ අයිසිස් සංවිධානය අසාද් රජය පෙරළනකම් බලා සිටීමය. එහෙත් ඔවුන්ට හිතවත් ජෝර්දානයට, ඉරාකයට හෝ කර්ඩිෂ්වරුන්ගේ ප්‍රදේශයට අයිසිස්වරුන් ව්‍යාප්ත වීම වැළැක්වීමට පමණක් ගුවන් ප්‍රහාරයක් දෙකක් එල්ල කිරීමය. මේ තත්ත්වය යටතේ අයිසිස් ත්‍රස්තයන් සිරියාවේ බලය පැතිරවීම වැළැක්විය නොහැකිය. සිරියානු සරණාගතයන් සිරියාවෙන් යුරෝපය කරා ඇදී යන්නේ මෙම ඉදිරියට ඇදෙන ත්‍රස්තයන්ට බියෙනි. ඔවුන් නික්ම යාමට අසාද් රජයේ දරුණුකමත් හේතුවක් වේ නම් ඔවුන් යන්නට තිබුණේ වසර කිහිපයකට පෙර සිටය.

සිරියාවට අත පෙවීම මගින් ඇමෙරිකාව කරගත් ප්‍රධාන වැරදි දෙකකි. එක අතකින් ඇමෙරිකන් ආයුධ, මුදල් සහ පුහුණුව ලබාගත් ඊනියා "මධ්‍යස්ථ කැරළිකරුවන්" අවසානයේ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් බවට පරිණාමය වීමය. අනෙක නම් සිරියාව තුළ රුසියාවේ චරිතය අවතක්සේරු කිරීම ය. රුසියානු - සිරියානු මිත්‍රත්වය ඇමෙරිකාව මුලින් සිතුවාට වඩා අතිශයින්ම ප්‍රබල එකකි. කුස්නෙට්සොවු නැමති රුසියාවේ එකම එයාර්ක්‍රාෆ්ට් කැරියර් එක ඇතුළු රුසියන් මධ්‍යධරණී නැවු හමුදාවට නිවහන් වරාය වන්නේ සිරියාවේ හෝම්ස් වරායයි. මෙසේ ස්ට්‍රැටජිකලි වැදගත් වන ස්ථානයක් අහිමි කර ගැනීමට රුසියාව කිසිසේත් සූදානම් නැත. අසාද් රෙජිමයට විරුද්ධව නේටෝ ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ගෙන ආ යෝජනාව රුසියාව නිෂේධ කළේ ය. රුසියාව සහ බටහිර රටවල් අතර ඇති සීතල යුද්ධයේ සටන් පෙරමුණු සලකද්දී සිරියාවේ දී බටහිර අත ගැසුවේ රුසියන් බල ව්‍යුහයේ මධ්‍යයට ය. රුසියාව ඊට ප්‍රතිචාර නොදක්වා සිටිතියි බලාපොරොත්තු වීම මෝඩකමකි. අයිසිස් සංවිධානය විනාශ කිරීමට බටහිරට නැති උවමනාවක් රුසියාවට ඇති බව අතිශයින්ම පැහැදිළිය. පසුගිය වසර තුළ ඇමෙරිකන් ප්‍රහාර වලින් සිදුකළ හානිය මෙන් කිහිප ගුණයක හානියක් පසුගිය දින කිහිපය තුළ රුසියන් ගුවන් ප්‍රහාර මගින් අයිසිස් වෙත සිදුවිය. අයිසිස් ත්‍රස්තයන්ගේ ආයුධ සැපයුම සහ මෙහෙයුම් අඩාළ වී ඇත. ඔවුහු දහස් ගණනින් රැවුළ කපා පලායති. සීතල යුද්ධයේ අපගේ පක්ෂපාතීතා කුමක් වුවත් අයිසිස් මිනීමරුවන්ට රුසියාව දුන් සංග්‍රහය ලොව සියල්ලන් භේදයකින් තුළ අගය කළ යුතුය. (ඉරාකය තුළ අයිසිස් සංවිධානයට ඇමෙරිකාව විසින් කරන අටමගලක් නැති බව තේරුම් ගන්නා ඉරාක රජය ද රුසියාව සමග ඩීල් ගැසීමට සැරසෙයි )

බටහිර රටවල් වල මැදපෙරදිග මැදිහත්වීම් ගැන අමිහිරි මතකයන් බොහොමයකි. 20 වන සියවස පටන් ගන්නා විට පලස්තීනය, අරාබිය, පර්සියාව, මෙසපොටේමියාව ඇතුළු මැදපෙරදිග බහුතර ප්‍රදේශයක් ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයට අයත් විය. පළමු ලෝක යුද්ධයේදී ඔටෝමන් අධිරාජ්යය ජර්මන්වරුන්ගේ පැත්ත ගැනීම නිසා ඔවුන් මැදපෙරදිග බ්‍රිතාන්‍ය කොලනි වලට තර්ජනයක් විය. තුර්කි අධිරාජ්‍යය සීසීකඩ කිරීමට බ්‍රිතාන්‍යයෝ ක්‍රියා කළහ. ලෝරන්ස් සෙනෙවියා අරාබියෙක් මෙන් ඇඳ පැළඳගෙන අරාබිය පුරා යමින් එහි ගෝත්‍ර තුර්කියට විරුද්ධව පෙළ ගැස්වීය. සෞඩ් නම් අන්තවාදී ගෝත්‍රික නායකයා සෞදි අරාබිය නම් නව රාජ්‍යයේ රජු විය. ඉරාකය, ඉරානය බ්‍රිතාන්‍ය හමුදා වලට පත් විය. ඒවායේ බටහිර හිතවත් පාලකයෝ බිහි වූහ. පලස්තීනය අල්ලාගත් බ්‍රිතාන්‍යය එහි ඊශ්‍රායලය නම් යුදෙවු රාජ්‍යය පිහිටුවිය. අද සෞදි අරාබිය අන්තවාදී වහබි රාජ්‍යයකි. අසාද්, ගඩාෆි, සදාම් හුසේන් යන කොයි කාටත් වඩා දරදඬු සෞදි රජු සෞදි තෙල් සම්පතට පින් සිදු වන්නට බටහිර රටවල් වල ඉවසීම සහ පෝෂනය ලබයි. එහි ලෝකයේ දරුණුම මානව අයිතිවාසිකම් කඩවීම් සිදු වේ.. ඊශ්‍රායෙල් පලස්තීන් ගැටුම නොනිමෙන ගැටුමක් වී ඇත. ඉරානයේ ෂා රජුට එරෙහිව කැරළි ගැසූ මූලධර්මවාදීන් එහි බටහිර විරෝධී ඉස්ලමික ජනරජයක් පිහිටුවීය.. ඉරාකයේ හමුදා කුමන්ත්‍රණ ගණනාවක් සිදු වී දෙවරක් ආක්‍රමණය වී අද අවුල් ජාලයකි.

මැදපෙරදිග රටවල් අතරින් 2000 වන විට යම් ස්ථාවරත්වයක් ලබා සිටියේ ඓහික ඒකාධිපතියන් සිටින රටවල ය. ඉන් සදාම් හුසේන්, ට්‍යුනීසියාවේ බෙන් අලි, ලිබියාවේ ගඩාෆි, සිරියාවේ අසාද් බටහිර විරෝධීහු වූහ. ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කර හුසේන් බලයෙන් පහ කළේ ය. බටහිර උදවුවෙන් සන්නද්ධ කරන ලද සාපේක්ෂව මධ්‍යස්ථ මතධාරී විපක්ෂ කණ්ඩායම් විසින් ගඩාෆි, බෙන් අලි බලයෙන් පහ කෙරිණි. මැදපෙරදිග පුරා විසිරුණු මෙම කැරැල්ලට බටහිර හිතවත් ඒකාධිපතීන් ද හසු විය. ඊජිප්තුවේ මුබාරක් සහ යේමනයේ පාලකයා එසේ හසු විය. මෙලෙස ඉවත් කරන ලද ඒකාධිපතියන්ගෙන් හිස් වුණු 'බල රික්තකය' පිරෙමින් පවතින්නේ බටහිර අදහස් කළ මධ්‍යස්ථ මතධාරින්ගෙන් නම් නොවන බව මැදපෙරදිග දෙස බලන ඕනෑම අයෙකුට වැටහී යයි. එම බල රික්තක්ය තුළට රිංගමින් පවතින්නේ සෞදි අරාබියටත් වඩා අතිශයින් අන්තවාදී මත දරණ ඉස්ලමික සටන්කරුවන්ය. අද එම රටවලට විදේශිකයෙකුට ආරක්ෂිතව යා නොහැකිය. අයිසිස් යනු මෙම ප්‍රවණතාවයේ කූටප්‍රාප්තියයි. බටහිර විසින් ඇති කරන ලද මෙම රැල්ලෙන් තමන්ගේ හිතවතෙකු වන දරදඬු ඒකාධිපතියෙක් බේරා ගැනීම සඳහා ආයුධ එසවීම ගැන රුසියාව විවේචනය කිරීමට බටහිරට කිසිඳු අයිතියක් ඇතැයි මම නොසිතමි. අනෙක් අතට අයිසිස් මිනීමරුවන් අතුගා දැමීම ඉතා ප්‍රශංසනීයය. තමන්ගේ වාසිය සඳහා වුව ද රුසියාව ඉටු කරන්නේ සමස්ථ ශිෂ්ට ලෝකයේ ම අවශ්‍යතාවයකි.

Friday, October 16, 2015

අප කියූ දෙයක් වැරදිලා නැත Rugby World Cup 2015

රග්බි ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය නිමාවූයේ පසුගිය සති අන්තයේය. අර්ධ අවසන් පූර්ව තරග සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වීමට නියමිතය. අනපේක්ෂිත ජයග්‍රහණ/පරාජයයන් කිහිපයක් දැකගැනීමට හැකි වුවද පසුගිය තරගාවලිය මෙන් අර්ධ අවසන් වටයේදී ප්‍රබල කණ්ඩායම් කැපී යාමක් මෙම තරගාවලියේදී දැකගත නොහැකි වනු ඇත. එබැවින් කලකට පසු ඉතාමත් තරගකාරී අවසන් වට කිහිපයක් නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට උදාවී ඇත.

තරගාවලියේ ඉදිරිය....
මුලින් අපේක්ෂා කල ආකාරයටම කාණ්ඩ හතර තුල පළමු සහ දෙවන ස්ථාන ලබාගත් කණ්ඩායම් මෙසේය


A කාණ්ඩය B කාණ්ඩයCකාණ්ඩය Dකාණ්ඩය
ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාවනවසීලන්තය අයර්ලන්තය
වේල්සය ස්කොට්ලන්තයආර්ජන්ටිනාව ප්‍රංශය

මෙහිදී ප්‍රබල කණ්ඩායම් තම කාණ්ඩවල පළමු ස්ථානය දිනාගැනීමට සමත්වී ඇත.
අර්ධ අවසන් වටයේදී තරග පැවැත්වෙන්නේ මේ ආකාරයටය.

✥ පළමු තරගය දකුණු අප්‍රිකාව සහ වේල්සය
✥ දෙවන තරගය නවසීලන්තය හා ප්‍රංශය
✥ තුන්වන තරගය අයර්ලන්තය හා ආර්ජන්ටිනාව
✥ සිව්වන තරගය ඕස්ට්‍රේලියාව හා ස්කොට්ලන්තය

මෙම තරග වලින් නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව පහසුවෙන් ජයගැනීම අපේක්ෂා කල හැකිය.

විශේෂ අවස්ථා....

මෙතෙක් තරගාවලියේ තරග කිහිපයක් වැඩි අවධානය දිනාගැනීමට සමත් විය.
✥ පළමු තරගයෙන් ප්‍රබල දකුණු අප්‍රිකාව පරාජය කල ජපානය ජයගැනීම.
✥ දකුණු අප්‍රිකාව, සමොආ සහ ඇමෙරිකා එක්සත් ජනපදය පරාජය කල ජපානය 2019 තම රටේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට නිතරගයෙන් සුදුසුකම් ලැබීම.
✥ දකුණු අප්‍රිකාවේ බ්‍රයන් හබානා, ඉතිහාසයේ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයා වන ජෝනා ලොමූ තබා තිබූ වැඩිම ලෝක කුසලාන උත්සාහක දිනුම් වාර්තාව සම කිිරීම.
✥ සත්කාරක එංගලන්තය මූලික වටයෙන් ඔබ්බට යාමට අපොහොසත් වීම.

2019 ජපානය....
ජපානය තරග තුනක් ජයගැනීමත් සමඟ 2019 ලෝක කුසලාන තරගාවලියට නිතරගයෙන් සුදුසුකම් ලබාගැනීමට සමත් විය. (කාණ්ඩ හතර තුල පළමු ස්ථාන තුන ලබාගන්නා කණ්ඩායම් දොලහ ඊලඟ තරගාවලියට නිතරගයෙන් සුදුසුකම් ලැබීමට සමත් වේ). මේ නිසා ජපානයේ පැවැත්වෙන 2019 තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව තවත් ආසියාතික රටකට (හෝ දෙකකට) හිමිවේ.



ඡායාරූප....
☜පළමු තරගයේදී නවසීලන්තය අසීරුතාවයෙන් මුදාගත් "හෙවිවේට් බොක්සිං ක්‍රීඩක" සොනිබිල් විල්යම්ස්.


එක්සත් ජනපදයට එරෙහිව ගෝල ත්‍රිත්වයක් වාර්තා කල බ්‍රයන් හබානා.☞



☜රැජින හමුවූ නවසීලන්ත නායක රිචී මැකෝ


තරගාවලියෙන් ඉවතට විසිවූ එංගලන්තය☞


☜ නවසීලන්ත හකා නර්තනය

Tuesday, October 13, 2015

නිදහස......










අටසිය පහලවේ රජාගෙන් අපි ලැබු නිදහස
ඊට පස්සෙ සුද්ද අපෙන් උදුරගත්ත නිදහස
හතලිස් අට වෙනකොට ඌ යවල ගත්ත නිදහස
ඒත් අනේ අපිට ලැබුනෙ නෑලු නියම නිදහස

ධනපති යූ ඇන්පීය විත් නැතිවුනාලු නිදහස
බණ්ඩ ඇවිල්ලා දුන්නලු පොඩි මිනිහට නිදහස
දුන්න තරම මදිවීලා බණ්ඩගෙ ඒ නිදහස
ගණයෙක් ඇවිදින් බණ්ඩට දුන්න භවෙන් නිදහස

මැතිණි ඇවිත් හැත්කෑවේ දෙන්න කියල නිදහස
ලොකු සුද්දිගෙ කිරීටයෙන් ගලවල දුනි නිදහස
වැඩි දවසක් තිබුනේ නෑ අනේ ඒත් නිදහස
ඉස්මුරුත්ත හැදුන කාල මැතිණි දුන්න නිදහස

හාල් ටිකක් ගෙනයන්නට පාරක නෑ නිදහස
දානව පොල්ලක් හරහට නැති කරලා නිදහස
ලොකු ලොක්කන් හට කන්නට පමණයි ඒ නිදහස
කර කොල මලවං කාපිය ඒකලු අපෙ නිදහස

ජේආර් පප්පා ඇවිදින් දුන්න අපට නිදහස
ටයර් සෑයෙ දැවුන කොල්ලො ඉල්ලූ විට නිදහස
උතුරෙදි කොල්ලෝ ඉල්ලූ විට උන්හට නිදහස
වඳුරු හමුදාව ගෙනල්ල නැතිකෙරුවා නිදහස

ප්‍රේමේ ආවා දෙන්නං උඹලට මම නිදහස
ඔන්දස්පොට් වෙනකල් නං ලැබුනේ නෑ නිදහස
සාම නෝන ආවත් නෑ ලංකාවට නිදහස
බෝම්බ වදිනව පාරක යන්නට බෑ නිදහස

මහින්ද ඇවිදින් දුන්නා ආයෙ අපට නිදහස
ටික දවසයි තිබුනෙ ඒත් මේ කියනා නිදහස
එයාගෙ ගෝලයෝ ඇවිත් අතට ගත්ත නිදහස
එයත් යවන්නට සිදුවුනි නැති හින්දා නිදහස

පොදු අපේක්ෂකයා විත් දෙන්න යලිත් නිදහස
තටමනවා විතරයි නෙව ලැබුනේ නෑ නිදහස
එයාගෙනුත් බැරිනම් ගන්නට ඕනෑ නිදහස
එයාට දෙන්නට වෙනවා ඊලඟවර නිදහස

ඕන්න ඔහොමයි මිතුරනි අපට ලැබෙන නිදහස
ලෙවන්න විතරයි කවදත් කන්නට නෑ නිදහස
පොඩි කොල්ලන්ගෙන් අහලා ලැබුනු දවස නිදහස
කොර කරන්න එපා උන්ට නැති කරලා නිදහස


පලි:
රයිටරයයි රීඩරයයි අරගෙන මගෙ නිදහස
ලියන්න කියවන්නට බෑ ඔලුවේ නෑ නිදහස
උන් දෙන්නාගෙන් ආයෙත් අරගෙන මගෙ නිදහස
පියඹා එන්නම් ජාලෙට රැගෙන කුරුළු නිදහස

පපලි: මේ ගැන සුපිරි පැහැදිලි කිරීමක් දමිත් කේතක ලියල තියනව. අනිවාර්යෙන් බලන්න ‍

Wednesday, September 30, 2015

අන්න එහෙමයි වැඩේ සිද්ධවුනේ..... (කලගුණ නොදත් මෝඩයන්ට ලියන වග නම්)

දිග සති අන්තයේ කාන්සියෙන් සිටි මා හැන්දෑ යාමයේ පාරට පැමිණියේ වෙනසක් වෙනුවෙනි. නගරය දෙසින් ඇසුනු ඝෝෂාකාරී හඬ කුමක්දැයි වටහාගැනීමට අපොහොසත් වූ බැවින් ඒ දෙසට ගමන් කිරීම ඇරඹීමි. අභාග්‍යකි! සිදුවීම කුමක් වුවද මේ වනවිට එය අවසන් වී ඇති බැව් දැනගැනීමට හැකිවූයේ රැස්ව සිටි පිරිස විසිරී යන ආකාරය දැකීමෙනි. කිසිවක් සිතාගත නොහැකි වුවද යම් කලබලයක් සිදුවී ඇති බවත් කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් සිතාගතහැකි වූයේ දෙනෙත් පිසදමමින් පැමිණි පිරිස දුටු නිසාය. දස වසරකට පමණ පෙර විශ්ව විද්‍යාලයේ සිටියදී කඳුළු ගෑස් ප්‍රහාරයේ අත්දැකීම් ඇති බැවින් නගර මධ්‍යයට නොගොස් මාවෙත පැමිණෙමින් සිටි වයස්ගත කාන්තාවක් අසලට කිට්ටු වීමි.

"මොකද්ද ‍අම්මේ සිද්ධවුනේ....?, ඇයි කඳුළු ගෑස් ගැහුවෙ....?"

"කඳුළු ගෑස්? මොන කඳුළු ගෑස්ද? මොන කලබලයක්ද?"

"ඇ..ඇයි මේ කට්ටිය ඇස් පිහදාන්නෙ? මොකද්ද උනේ?"

"නෑ පුතේ මේ අපි ගියානෙ අර විරෝධතාවයට.... කොළඹ.... ඒකට ගිහිල්ල එන ගමං..."

"විරෝධතාවෙ? ඒ මොකද්ද අපි නොදන්න විරෝධතාවෙ...... ආ.... ඇමරිකාවෙ යෝජනාව ගැනද?"

"මොන යෝජනාවද ලමයෝ.... අපි ගියේ ජනාධිපතිතුමා පුතා යූඑන් එකට එක්ක ගියාට විරෝදෙ දක්වන්නනෙ...."

"හෑ! ඉතිං... දුන්න නේද ඔහේලට කඳුළු පනින්න?"

"උඹට පිස්සුද?"

"එහෙනං මේ මොකද කට්ටිය අඬන්නෙ? මොකද්ද වුනේ"

"අපි ගියා ජනාධිපති මන්දිරේටම දන්නවද! ඇතුලටම ගියා!"

"ඉතිං? ජනාධිපතිතුමා තාම ආවෙ නෑනේ....."

"ඒවුනාට ආර්යාව හිටියනෙ!"

ඔහේල විරොදෙ පෙන්නල එන්න ඇති නේද?"

"විරෝදෙ?" ඇය හැඬීමට පටන් ගත් අතර මේ පාත්වූ හෙනය කුමක්දැයි වටහා ගැනීමට අපොහොසත් වූ මා වික්ෂිප්ත විය.

"හරි හරි... අම්ම අඬන්නෙ නැතුව කියන්නකො..... මොකෝ ජනාධිපති ලඟට යන්න ගිහිල්ල කොච්චර ගුටින්න ඇද්ද, මැරුං කන්න ඇද්ද මෙහේ මිනිස්සු!"

"අවකැපෙන කතා කියන්න එපා දරුවෝ.... එහෙම දෙයක් උනේ නෑ.... අනේ ඒ උත්තමාවි කොච්චර හොඳයිද! අපි තමයි මෝඩයො වගේ කෑගහගෙන ගියේ.... දරුවන්ට ආදරේ දෙමව්පියො ගැන කොච්චර වැරදියටද අපි හිතුවෙ....ඉහි ඉහි ඉහි....."

යලි හැඬීමට පටන් ගත් ඇයගෙන් අපහසුවෙන් අසාගත් තොරතුරු අනුව සිදුවීම මෙසේ ගැලපීමි.

♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠

එදින රාත්‍රියේ මෛත්‍රී ජනාධිපතිවරයා සිටියේ නොනින්දෙනි. සැප පහසු සයනයේ ඒ මේ අත පෙරලෙමින් සිටි ඔහු අවසානයේ ඇඳ අසල තිබූ වතුර වීදුරුව එක හුස්මට පානය කලේය. සිරිසේන මැතිනියට ජනාධිපතිවරයාගේ වෙනස නොපෙනුනා නොවේ. එහෙත් ඕ සැමියාගේ ප්‍රශ්න වලට මැදිහත් වී ඇත්තේ අල්ප වශයෙනි. එහෙත් පසුදා යාමට නියමිතව ඇත්තේ ඉතා වැදගත් ගමනකි. එබැවින් නිහඬතාවය බිඳ දැමීමට ඇයට සිදුවිය.

"ඇයි මහත්තය මොකද්ද ප්‍රශ්නෙ? ගේනව කියන යෝජනාවද?"

"නෑ නෑ හාමිනේ.... ඒකනං මොකද්ද! රනිල් ඒක බලාගන්නැතෑ...."

"එහෙනං?"

"කැබිනට් එක ලොකුයි කියල එක එකා කියන කතා නිසාද?"

"අපේ කැබිනට් එක පුංචිවුනේ කවද්ද නෝනේ..... ඕක අපි දන්න කාලෙ ඉඳලම ඔහොමනෙ හිටං...."

"හ්ම්.... ඒකත් ඇත්ත... එහෙනං..... මරණ දඬුවම දෙන්න වෙන නිසාද? ඒක ඉතිං මං කිව්ව වගේම පාර්ලිමේන්තුවට දැම්මනෙ.... දැං ඉතිං මැරුවත් පාර්ලිමේන්තුවෙ අයටනෙ පවු සිද්ධ වෙන්නෙ නේද?"

"නෑ නෑ නෝනේ මං කල්පනා කලේ..... දැං හෙට මම ගියාම ඔයා කොහොමද මේ ළමයි තුන්දෙනා බලාගන්නෙ කියල....."

"ආ..... ඒත්....."

"බලන්න දැං රටේ සිද්ධවෙන දේවල්..... ළමයෙක් තනියම තියන්න පුළුවන්ද ආරක්ෂකයො හිටිය කියල මෙහේ උනත්.... මං අහගෙන කවුදෝ කියනව ළමයින්ට කරදර කරන්නෙ ලඟම ඉන්න අයයි කියල හිටං"

"ඒකත් ඇත්ත තමයි අපේ මහත්තය.... දැං අපි මොකද කරන්නෙ?"

"කට්ටියටම මා එක්ක යන්න නං පුළුවං.... ඒත් රටේ සල්ලි වලිං අපි එහෙම යන එක හරි නෑ නේද නෝනේ? රට්ටු මොනව කියයිද?"

"ඒකත් ඇත්ත තමයි අපේ මහත්තයා.... මං කියන්නං.... අපි මෙහෙම කරමු.... මහත්තය පුතා එක්ක යන්න.... මං දූල දෙන්නත් බලාගෙන මෙහේ ඉන්නං.... පුතා විතරක් ගියාට ලොකු පාඩුවක් නෑනෙ.... අනෙක කෙල්ලො දෙන්න වගේ ඌ එක එක දේවල් ඉල්ලන්නෙත් නෑනෙ...... කෙල්ලො එක්ක ගියොත් තමයි වියදං වැඩි!"

"අන්න හොඳයි හාමිනේ.... හරි එහෙනං.... මම තව ඩිංගක් නිදාගන්නං එහෙනං...."

♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠ ♠

"අන්නේවගේ ගුනයහපත් මිනිස්සුන්ට තමයි පුතේ මුං දොස් කියන්නෙ ඉහි ඉහි ඉහි...."

"හරි හරි.... දැං ඉතිං අඬන්න ඕන නෑ නෙව...." පපුවට ගසාගන්නට වූ ඇගේ අත අමාරුවෙන් ඉවත් කලා පමණි.

"මොනවද මේ හීනෙං කියවන්නෙ තනියම ඉඳගෙන.... කවුද ඔය අඬන්නෙ?" බිරිඳගේ හඬන් නින්ද හමාරවිය.

එහෙනං එ්ක හීනයක්!




[අදහස:නදීශා චන්ද්‍රසේන මහත්මිය]

Tuesday, September 29, 2015

මෙවර රග්බි ලෝක කුසලානය කාටද? Rugby World Cup Prediction.

පසුගිය ලිපියෙන් රග්බි ලෝක කුසලාන‍ය‍ේ මුල් දින තුනේ තරග විස්තර ඉදිරිපත් කල අතර මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ලෝක කුසලානය දිනාගැනීමට හැකියාව ඇත්තේ කාටද යන්න විමසීමක් කිරීමටය. ඒ ඒ කාණ්ඩ බෙදී යන ආකාරය අනුව ඔවුනොවුන්ගේ ශක්තිය සලකා බලමු.


A කාණ්ඩය B කාණ්ඩයCකාණ්ඩය Dකාණ්ඩය
ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාවනවසීලන්තය අයර්ලන්තය
වේල්සය ස්කොට්ලන්තයආර්ජන්ටිනාව ප්‍රංශය
එංගලන්තය සමෝආටොංගා ඉතාලිය
ෆීජි ජපානයනැමීබියාව කැනඩාව
උරුගුවේ ඇ.එ.ජනපදයජෝර්ජියාව රුමේනියාව

A කාණ්ඩය
උරුගුවේ කණ්ඩායම පහසුවෙන් ඉවත් කල හැකිය. ෆීජි පිලද මේ වනවිට දුර්වල ස්ථානයක සිටින නිසා ඔවුන්ද ඉවත් කරමු. එවිට ඉතිරි වන්නේ ඕස්ට්‍රේලියාව එංගලන්තය හා වේල්සයයි. ඔවුන් අතුරින් සුපිරි අටදෙනාගේ වටයට යාමට හැකිවන්නේ කණ්ඩායම් දෙකකට පමණක් නිසා එක් කණ්ඩායමක් ඉවත්විය යුතුය. ඒ කාණ්ඩයේ ප්‍රබලතමයන් ලෙස ඕස්ට්‍රේලියාව අනෙක් කණ්ඩායම් දෙකට වඩා මඳක් ඉදිරියෙන් සිටින බව උපකල්පනය කලහැකිය. යුරෝපයේ පැවැත්වෙන ප්‍රමුඛතම තරගාවලිය වන six Nations තරගාවලියේදී එංගලන්තය දෙවන ස්ථානයටත් වේල්සය තෙවන ස්ථානයටත් පත්වූයේ සම තරග ජයග්‍රහණ සමඟිනි. කෙසේ වුවද එහිදී එංගලන්තය හා වේල්සය අතර තර‍ගයෙන් ජයග්‍රහණය අත්වූයේ එංගලන්තයටයි. කණ්ඩායම් විස්ස අතරින් බරින් වැඩිම ක්‍රීඩකයන්ට හිමි වාර්තාව (pack weight) වේල්සය සතු වන අතර අඩුම වයස් මධ්‍යනය හිමි වන්නේ එංගලන්තයටයි.

B කාණ්ඩය
තරගාවලිය ආරම්භයේදී පහසුවෙන් තම කාණ්ඩයේ පෙරමුණට පැමිණෙතැයි අපේක්ෂා කල දකුණු අප්‍රිකාව, ජපානය හමුවේ ලද පරාජයත් සමඟ, සුපිරි අටදෙනාගේ වටයට යාමට ස්ථාන දෙකක් වෙනුවෙන් කණ්ඩායම් හතරක තරගයක් බලාපොරොත්තු වියහැකි උණුසුම වැඩිම කාණ්ඩය බී කාණ්ඩයයි. ඇමෙරිකා එක්සත් ජනපදය පමණක් පහසුවෙන් ඉවත් කල හැකි වුවත් අනෙක් කණ්ඩායම් හතර ගැන අවසාන මොහොත දක්වාම අනාවැකි පැවසීම අපහසු වනු ඇත.

C කාණ්ඩය
ලෝක ශූර නවසීලන්තය පළමු ස්ථානය දිනාගනු ඇතැයි සිතීම අපහසු නොවන අතර දෙවැනි කණ්ඩායම ආර්ජන්ටිනාව වීමට වැඩි ඉඩකඩක් ඇත. ඒ අනුව නැමීබියාව ටොංගා සහ ජෝර්ජියාව ඉවත් කල හැකිය.

D කාණ්ඩය
කැනඩාව සහ රුමේනියාව පහසුවෙන් ඉවත් කල හැකි අතර ඉතාලිය ගැනද වැඩි විශ්වාසයක් තැබිය නොහැකි බැවින් ප්‍රංශය සහ අයර්ලන්තය සුපිරි වටය සඳහා සුදුසුකම් ලබනු අැත. මෙවර යුරෝපීය ශූරයන් (six Nations) වන අයර්ලන්තය පළමු ස්ථානයට පැමිණීටම වැඩි සම්භාවිතාවක් ඇත.

ඉහත විස්තර අනුව දත්තයන් පෙලගැස්වූ විට පහත සඳහන් නිගමන වලට එළඹිය හැකිය.

(ඉහත සටහන ගිය සතියේ තැබූ අතර මේ සතිය වනවිට තීරණාත්මක තරග කිහිපයක් අවසන් වී අැත. ඒ අනුව එංගලන්තය පරාජය කරමින් වේල්සය ජයගත් අතර ජපානය පරාජය කල ස්කොට්ලන්තය දෙවන ස්ථානය දිනාගන්නා ලකුණු ඇත ඒ අනුව ඉදිරියට.....)


1.A1-[ඕස්ට්‍රේලියාව] හා A2-[වේල්සය]

2.B1 [දකුණු අප්‍රිකාව] හා B2-[ස්කොට්ලන්තය]

3.C1-[නවසීලන්තය] හා C2-[ආර්ජන්ටිනාව]

4.D1-[අයර්ලන්තය] හා D2-[ප්‍රංශය]

සුපිරි අටදෙනාගේ වටයේදී පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග වදින්නේ "අනු පිලිවෙලින්" මේ ආකාරයටය.

B1 හා A2 - අර්ධ අවසන් පූර්ව තරගය 1

C1 හා D2 - අර්ධ අවසන් පූර්ව තරගය 2

D1 හා C2 - අර්ධ අවසන් පූර්ව තරගය 3

A1 හා B2 - අර්ධ අවසන් පූර්ව තරගය 4

වියහැකි වැඩිම සම්භාවිතාවයන් සැලකූ විය ප්‍රතිපල මෙසේය.

B1 හා A2 -දකුණු අප්‍රිකාව වේල්සය ජය: නිශ්චිත නොවේ.

C1 හා D2 -නවසීලන්තය හා ප්‍රංශය ජය: නවසීලන්තය.

D1 හා C2 -අයර්ලන්තය හා ආර්ජන්ටිනාව: නිශ්චිත නොවේ.

A1 හා B2 -ඕස්ට්‍රේලියාව හා ස්කොට්ලන්තය: ජය ඕස්ට්‍රේලියාව.

ඒ අනුව අවසන් පූර්ව තරග (1vs2), (3vs4) ජයග්‍රහණ ---නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව.

අනාවැකිය 01(වැඩි ප්‍රතිශත අනාවැකිය 60%)-අවසන් තරගයේ ඕස්ට්‍රේලියාව පරාජය කරමින් නවසීලන්තය තෙවැනි වරටත් ශූරයන් වනු අැත.

අනාවැකිය 02(සුළු ප්‍රතිශත අනාවැකිය20%)-දකුණු අප්‍රිකාව පරාජය කල වේල්සය, නවසීලන්තය හෝ ප්‍රංශය පරාජය කරමින් අවසන් තරගයට පැමිණ එහිදී ඕස්ට්‍රේලියාව පරාජය කර ශූරයන් වනු ඇත.

Wednesday, September 23, 2015

Crouch, Touch, Set............!

සිව් වසරකට වරක් පැවැත්වෙන රග්බි ලෝක කුසලානය මෙවර එංගලන්තයේදී ආරම්භ වූයේ පසුගිය දාහත් වැනිදාය. [මීට වසර හතරකට පෙර පසුගිය ලෝක කුසලානය වෙනුවෙන් මෙම අඩවියේ ලියූ සටහන්]. ගියවර ලෝක කුසලානයට තරග කල රුසියාවට මෙවර සුදුසුකම් ලැබාගැනීමට නොහැකි වූ අතර ඔවුන්ගේ ස්ථානය අත්කරගැනීමට උරුගුවේ සමත්විය. සෙසු සියළුම රටවල් ගියවර තරග කල අතර ඔවුන් කාණ්ඩ ගත වී ඇත්තේ මෙසේය.


A කාණ්ඩය B කාණ්ඩයCකාණ්ඩය Dකාණ්ඩය
ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාවනවසීලන්තය අයර්ලන්තය
වේල්සය ස්කොට්ලන්තයආර්ජන්ටිනාව ප්‍රංශය
එංගලන්තය සමෝආටොංගා ඉතාලිය
ෆීජි ජපානයනැමීබියාව කැනඩාව
උරුගුවේ ඇ.එ.ජනපදයජෝර්ජියාව රුමේනියාව

මෙතෙක් තරගාවලිය....
පළමු තරගය ලෙස සත්කාරක එංගලන්තය හා ෆීජි තරග කල අතර ලකුණු 35-11ක ජයක් එංගලන්තයට හිමිවූ අතර ‍වෙනදාට සාපේක්ෂව ෆීජි කණ්ඩාය‍මේ දක්ෂතා පහතට වැටී තිබූ අයුරු දැකගත හැකි විය. ශ්‍රේණිගතකිරීම් වල ඉහලින් සිටි ටොංගා කණ්ඩායම පරාජය කල ජෝර්ජියාව ලකුණු 17-10ක ජයක් අත්කර ගැනීමට සමත් විය. කැනඩාව හමුවේ අයර්ලන්තය ලකුණු 50-7ක පහසු ජයක් ලබාගත් අතර ප්‍රංශය 32-10 ජයක් ලබාගත්තේ ඉතාලියට එරෙහිවය. සමෝආ කණ්ඩායම ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව ලකුණු 25-16ක ජයක් ලැබූ අතර වේල්සය 54-9 ලෙස උරුගුවේ පරාජය කලේය.

තරගාවලියේ සිදුවූ විශාලතම පෙරලිය දෙවරක් ලෝක ශූරයන් වූ දකුණු අප්‍රිකාව හමුවේ ජපානය ලැබූ ජයග්‍රහණයයි. මීට පෙර ජපාන කණ්ඩායමක් දකුණු අප්‍රිකාව පරාජය කර නොතිබූ අතර මෙම ජයග්‍රහණය හේතුවෙන් බී කාණ්ඩය දැඩි තරගකාරීත්වයක් දැකගත හැකිය. පසුගිය වසර දෙකක පමණ කාලය තුලදී ජපන් රග්බි කණ්ඩායම විශාල ජයග්‍රහණ ලැබූ අතර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන විට දහතුන් වැනි ස්ථානය දක්වා පැමිණීමට ඔවුන්ට‍ හැකිවිය. 2019 වසරේ පැවැත්වෙන මීලඟ ලෝක කුසලානයේ සත්කාරකයන් වන ඔවුන් ඒ වනවිට කුසලානය දිනාගැනීමට ආසන්න තත්වයට දියුණු වී සිටිය හැකිය. ජපන් කණ්ඩායම ඉදිරියට පැමිණීම පොදුවේ ආසියාවටම වාසිදායකය. ඔවුන් ප්‍රබල තත්වයකට පැමිණ මුල් ස්ථානයක් අත්පත් කරගතහොත් තවත් ආසියාතික කණ්ඩායමකට ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ලබාගත හැකිය.

තරගාවලියේ අනෙක් උණුසුම් තරගය පැවතියේ නවසීලන්තය සහ ආර්ජන්ටිනාව අතරයි. 4 Nations තරගාවලියට සහභාගී වන එකිනෙකාට හුරුපුරුදු කණ්ඩායම් දෙකක් වන ඔවුන් අතර තරගය පැවතියේ අනූ දහසක පමණ වාර්තාගත නරඹන්නන් සංඛ්‍යවක් මැද්දේය. තරගය ආරම්භ වී සිව්වැනි මිනිත්තුවේදී ලැබුන දඬුවම් පහර සාර්ථක කරගත් ඩෑන් කාටර් නවසීලන්තය වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කලද විනාඩි කිහිපයකට පසු නායක රිචී මැකෝ විනාඩි දහයක තරග තහනමකට ලක්වූයේ නීති විරෝධී පාද යොමුකිරීමක් හේතුවෙනි. දහ හතර දෙනෙකු සමඟ අසීරු ක්‍රීඩාවක් කරමින් සිටි නවසීලන්තයට තවත් මිනිත්තු කිහිපයකට පසු ඊලඟ මරු පහර වැදුනේ වින්ග් ක්‍රීඩක කොන්රාඩ් ස්මිත් ද විනාඩි දහයක තරග තහනමකට ලක්වි කණ්ඩායමේ ක්‍රීඩකයන් සංඛ්‍යාව දහතුන දක්වා පහල යාමෙනි. මේ හේතුවෙන් පලමු අර්ධයේදී කිසිදු උත්සාහක දිනුමක් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි වූ අතර ආර්ජන්ටිනාව 13-12 ලෙස පෙරමුණේ පසුවිය.
දෙවන අර්ධයේදී සාර්ථකව තරගයට අවතීර්ණ වූ නවසීලන්තය 26-16 ලෙස ජාම බේරාගැනීමට සමත් වුවද එය මෙවර තරගාවලිය, පෙර තරගාවලි වලට සාපේක්ෂව දැඩි තරගකාරී බවක් අපේක්ෂා කල හැකි බව පෙන්වූ එක් තරගයකි.

ලෝක කුසලානයේ වැඩි වාසි කාටද? මීලඟ ලිපියෙන්.......

Friday, August 28, 2015

පුතාලගෙ හොරා පොලිස් සහ මාමලගෙ හොරා පොලිස්

නිවාඩුවක් ගත්ත වෙලේ දවල්වෙලා නැඟිටල රැවුල එහෙම කපල කණ්නාඩිය ලඟට ආව. පුතා වටේ පිටේ ඉන්න යාළුවො ටිකත් එකතු කරගෙන හොරා පොලිස් සෙල්ලම කරනව ජනේලෙන් පේනව. ඔන්න හොරෙක් අල්ලගෙන පොලීසියෙ පොඩි මහත්වරු දෙන්නෙක් හොරාව ගහේ බැන්ද? ඊට ටික වෙලාවකට පස්සෙ රාලහාමි කෙනෙක් තව හොරෙක් අල්ලගෙන හොඳටම ගහ ගහ ගෙනාව. ටික වෙලාවක් යද්දි හොරා සිහි නැතුව වගේ බිම වැටුන. ඔන්න එකපාරටම හොරුයි පොලිසියයි ඇවිල්ල අර ගහපු පොලිස් රාලහාමිව අල්ලල ගහක බැන්ද? හුටා! යකෝ අපේ කාලෙට වැඩිය දැන් හොරාපොලිස් කෙලිය දියුණු වෙච්ච තරං.....

"ඒයි.... පොඩ්ඩක් එන්න වැඩක් බලන්න......"

"ඇයි මොකද්ද?"

"බලන්නකො පුතාලගෙ හොරා පොලිස් සෙල්ලම!"

"ඔව්...... ළමයි සමහර දවසට ඔය සෙල්ලම කරනව මාත් බලාගෙන....."

"සෙල්ලම් කිරිල්ල ගැන නෙවේ.....බලන්නකො මේ සෙල්ලම දියුණු වෙච්ච හැටි..... අර ගහේ බැඳල ඉන්නෙ හොරෙක්.... අනිත් ගහේ බැඳල ඉන්නෙ පොලිසියෙ රාලහාමි කෙනෙක්.... අර රෙදි පටියකින් කාර් එල්ලගෙන ඉන්නෙ එයාගෙ තුවක්කුව!"

"රාලහාමි ගහේ බැඳල තියෙන්නෙ ඇයි?"

"ඒක තමයි මම කතා කලේ..... ඔය රාලහාමි හොරෙකුට වැඩිපුර ගහල හොරා වැටුන..... පොලිසියට උනත් එහෙම ගහන්න බෑනෙ.... ඒකයි අල්ලල ගහේ බැන්දෙ.... දැං එයාටත් නඩු! හෙහ් හෙහ් හෙහ්...."

"මේ ළමයිගෙ වැඩ නං......."

"එහෙම තමයි නෝනේ..... කාලෙ හැටියට ඒවත් දියුණු වෙලා......"

"ඔන්න තව එක්කෙනෙක් අල්ලගෙන ආව...."

"ඔන්න තවත් එක්කෙනෙක් ආව...... අද නං ගමේම පැටව් ටික ඇවිල්ල වගේ....."

"ඔන්න තවත් එක්කෙනෙකුට ගහනව...... අන්න හොරා වැටුන....... අන්න බලන්න මං කිව්වෙ.... ඔන්න දැං රාලහාමිව ගහේ බැන්ද... දැක්ක නේ?"

"දැං නං හොරු ඉවරයි වගේ නේ.....?"

"හ්ම්"

"අර මඩුවෙ තියන පුටු ටික අදින්නෙ මොකටද?"

"ඕක හැමදාම කරනව..... උසාවිය හදන්නයි ඔය පුටු ගන්නෙ.... බලන්නකො නඩු අහන හැටි...."

අපේ පුතා ලොකු පුටුවෙ තියල කට්ටිය ඔන්න නඩු අහන්න පටන් ගත්ත එක පැත්තක පොලිසිය අනිත් පැත්තෙ හොරු. එක පාරටම මොකද්දෝ අර්බුදයක් හැදිල වගේ කට්ටිය දෙපැත්තට බෙදිල වාද කරගන්න පටන් ගත්ත.

"මොකද්ද මේ වෙන්නෙ?"

"මෙච්චර වෙලා අපූරුවට සෙල්ලං කල ළමයි... ගිහිල්ල බලමු..... නැත්තං රණ්ඩුව පටන් ගනීවි"

"පුතාලා ඇයි මේ රණ්ඩු වෙන්නෙ? මෙච්චර වෙලා අගේට සෙල්ලං කරල?"

"තාත්තේ මේ කට්ටිය අලුතතෙන් නීති දාල...."

"ඇයි අලුත් මොකද්ද?"

"වෙනදට ගහේ බැන්ද හොරුයි පොලිසියයි දෙගොල්ලම නඩු අහල මඩුවට දානව.... ඊට පස්සෙ සෙල්ලම ඉවරයි...."

"ඉතිං දැං මොකද්ද ප්‍රශ්නෙ?"

"මේ චමෝද් කියනව පොලිසියෙ දෙන්නට නඩු අහන්න එපාලු! ඒ වෙනුවට හොරු දෙන්නෙක් නිදහස් කරන්නංලු..... දැං මාමලා සෙල්ලම කෙරෙන්නෙත් එහෙමලු!"

Tuesday, August 25, 2015

සාමකාමී මැතිවරණයේ ඡන්ද රාජකාරි කලහැටි!

මෙදා ඡන්දෙ සාමකාමියි. වෙන කවරදාටත් වැඩිය සාමකාමියි. ඒ වගේ සාමකාමී වටපිටාවක ඡන්ද රාජකාරී කරන්න ලැබෙනව කියන්නෙත් ‍ලොකු දෙයක්. රාජකාරිය ඉෂ්ට කිරීමේදී අවුරුදු දහයක විතර මගේ සේවා කාලය තුල ඔය කටු කන බල්ලෙක් එහෙම ඇවිත් පොඩි පොඩි අරියාදු කලා හැරෙන්න ලොකු ලොකු ප්‍රචන්ඩ ක්‍රියාවලට මුහුණ දෙන්න නොලැබුන බවත් කියන්න ඕන.

ඒ වගේම ගියවර තිබුන ඡන්ද මධ්‍යස්ථාන ලඟ රතිඥ්ඥා දැල්වීම්, මනාපය සලකුණු කල කුඩා කඩදාසි විසිරවීම වගේ දේවලුත් තිබුනෙ නෑ. නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියට බලය දීල තිබුන නිසා ඡන්ද මධ්‍යස්ථානය අවට පෝස්ටර් කටවු‍ට් ආදිය තිබුනෙත් නෑ. ජනාධිපතිවරණයේදි නං ඡන්ද විමසීමේ දිනයට කලින් දවසෙ ඡන්ද මධ්‍යස්ථාන අවට ශුද්ධ කරන්න වෙනම පිරිසක් යොදවල තිබුන.

මගේ ඡන්ද මධ්‍යස්ථානය තිබුනෙ ගෙදර ඉඳල කිලෝමීටර තිහක් හතලිහක් විතර දුරින්. කලින්දා හවස දෙක විතර වෙද්දි අදාල තැනට ලඟාවුනා. ඊට පස්සෙ ඉතිං නෝනල ටිකක් අල්ලගෙන සම්පූර්ණ කරන්න පුළුවන් ආකෘතිපත්‍ර ආදිය සම්පූර්ණ කරල SPO මහත්තයට පොඩි සප් එකක් දුන්න. ඊට පස්සෙ රාලහාමි නෝනගෙ වතුර බැරල් එකෙන් ඇඟපත එහෙම හෝදගෙන රැය ගෙවාගන්න විදිය ගැන කල්පනා කලා. මෙදා ඡන්ද මධ්‍යස්ථානයට දාපු නිලධාරී මණ්ඩලය නං අන්තිමයි. කාන්තාවන්ම එකොලහක් හිටිය. පිරිමින්ට හිටියෙ මමයි SPO මහත්තයයි තව දෙන්නෙකුයි විතරයි. ඒ මදිවට ග්‍රාම නිලධාරී තනතුරේ හිටියෙත් නෝන කෙනෙක්. SPO මහත්තය රහමෙර පාවිච්චියක් නැහැ. එයා ගෝලය විදියට අරගෙන ඇවිල්ල හිටියෙත් ඥාති පුත්‍රයෙක්. මාම ඉන්න තැන බොන්න බෑ කියල බුවාත් මඟහැරිය. පොලිසියෙ රාලහාමිලාටත් උපදෙස් ලැබිච්ච විදියට එයාලත් අමුවෙන් ඉන්න තීරණය කරල. අන්තිමට මමයි අනිත් ඉස්කෝලෙ මහත්වරු දෙන්නයි හීනියට අනුමත වෙලා නිදාගත්ත.

මෙදා ඡන්ද පත්‍රිකාව අඩියක් විතර දිගයි. හුඟ දෙනෙකුට එකවරම සලකුණ බලාගැනීමත් අමාරුයි. සමහර වෙලාවට (වයසක අය එහෙම ආවම) සෑහෙන්න තදබදයක් ඇතිවෙනව. ඡන්ද පත්‍රිකාව මෙච්චර ලොකු වෙන්නෙ ඇයි?
හේතුව වැඩි පක්ෂ/ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් මැතිවරණයට ඉදිරිපත් වීම. ඒකටත් හේතු තියනව.

♠ තමන්ගෙ ඡන්දපොල නියෝජිතයන් ඡන්ද මධ්‍යස්ථාන වලට පත් කිරීම.
♠ ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට නියෝජිතයන් පත්කිරීම.
♠ පක්ෂයක ලැයිස්තුවක් ප්‍රතික්ෂේප වූ අවස්ථාවක වෙනම ලැයිස්තුවකට ඡන්දයට ඉදිරිපත් වීමේ හැකියාව ලබාගැනීම.
♠ ඡන්දය ඉල්ලීම තුලින් යම් යම් වරප්‍රසාද ලබාගැනීම. (ගුවන් විදුලි සංවාද ආදිය-දැනට එතරම් ක්‍රියාත්මක නොවේ)

මේවායේ අවසාන ප්‍රතිපලය තමයි ඡන්ද පත්‍රිකාවේ දිග වැඩිවීම. දිග වැඩිවුනා කියන්නෙ වියදමත් වැඩියි. ගණන් කිරීමට ගතවන කාලයත් වැඩියි.
මේකට විසඳුම විදියට මගේ යෝජනාව නම් මේ අනවශ්‍ය ස්වාධීන කණුඩායම්-පක්ෂ ඉදිරිපත් වීම වැලැක්වීමට පියවර ගැනීම.

♣ ගණන් කිරීමේ මධ්‍යස්ථාන-ඡන්ද මධ්‍යස්ථාන ආදිය සඳහා පක්ෂයකට ඉදිරිපත් කල හැකි නියෝජිතයන් ප්‍රමාණය වැඩි කිරීම.
♣ ඡන්ද ලැයිස්තුවක් ප්‍රතික්ෂේප වූ විට (අදාල කාලය තුලදී) යලි ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදීම.
♣ ඇප මුදල් ප්‍රමාණය ඉහල දැමීම. මෙමඟින් නිකරුනේ ඉදිරිපත් වන ලැයිස්තු අවම කිරිම හා යම් ප්‍රතිශතයක් ලබාගත් විට ඇප මුදල් ලබාදීම. (යම් ලැයිස්තුවකට ලැබෙන ඡන්ද ප්‍රමාණය අපේක්ෂකයන්ගේ සංඛ්‍යාවටත් අඩු නම් ඡන්දයට ඉදිරිපත් වීමේ තේරුමක් තිබේද?)

මේවගේ යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කිරීමෙන් ඡන්ද පත්‍රිකාවේ දිග අඩුකරගන්න පුළුවන්. එහෙම වුනාම අවලංගු වන ඡන්ද ප්‍රමාණයත් අඩු කරගන්න පුළුවන්.

සුළු සුළු ආබාධිත අයගේ ඡන්දය සලකුණු කරන්නත් අපි උපකාර කලා. අත වෙව්ලන වයසක උදවිය එහෙම ඡන්දය සලකුණු කරන්න කියල ඉල්ලනව. එයාලගෙ ඡන්දය ලකුණු කරල දුන්නට පස්සෙ එයාල ඒක ඡන්ද පෙට්ටියට දාන්න ඕන. එතනදිත් පොඩි පොඩි ගැටළු ඇති නොවුනාම නෙවේ.
ඔන්න සමහර වයසක ආච්චිලා සීයලා එනව ඡන්දෙ ලකුණු කරල දෙන්න කියාගෙන. කාටද දෙන්න ඕන කියල ඇහැව්වම අතේ ගුලි කරගෙන ඉන්න කොලයක් දෙනව. ඡන්ද මධ්‍යස්ථානයට එවැනි දේවල් ගේන්න අයිතියක් නැති නිසා අපිට ඒව බලන්නත් බෑ. ඒ අයට අංක මතක තියාගන්නත් බෑ!
තවත් සමහරු කෙලින්ම කියනව අහවලාට ඡන්දෙ දෙන්න කියල. "නාමල් මහත්තයට දෙන්න" "සජිත්ට දෙන්න" "නිරූපමාට දෙන්න"....
මෙහෙම කිව්වට අපි දන්නෙ නෑ නෙව මේ උදවිය මොන පක්ෂෙද කියල. ඇත්තටම දැනගත්තත් ඒ වගේ ඉල්ලීම් වලට එකඟ වෙන්න බෑ. අපේ කාර්ය වෙන්නෙ "එයාල කියන පක්ෂයට හෝ සලකුණට හා මනාප අංකයට/අංක වලට එයාලගෙ කැමැත්ත සලකුණු කිරීම" පමණයි. මනාප අංක කියාගන්නම බැරි අයගෙන් පක්ෂය අහගෙන මනාප නැතිව සලකුණු කල අවස්ථාත් තිබුන. ඒ වගේම සිහි මඳ ගතිය ඇති කෙනෙක් සහ මන්ද මානසික අයෙකුටත් ඡන්දය සලකුණු කලා.

හැබැයි මම හිතන විදියට "ඡන්ද අයිතිය හිමිවිය යුත්තේ අඩුම තරමින් තමන්ගේ කැමැත්ත කාටද කියල කියන්න පුළුවන් අයට" පමණයි. ඒ හැකියාව නැති අයට ඡන්ද බලය දීම කියන්නෙ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නං නෙවේ.

Wednesday, August 19, 2015

පශ්චාත් චන්ද කතා

ඡන්දෙ ඉවරයි. යූඇන්පී රජයක් එන්න නියමිතයි. මේ ඡන්දෙ ගැන ‍පොඩි පොඩි දේවල් ටිකක්.

සන්ධානයේ පරාජය.
බලාපොරෙත්තු වුන විදියටම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එජනිස පැහැදිලි පරාජයක් අත්කරගෙන තියනව. ඒ පරාජය ජනාධිපතිවරණ පරාජයටත් වැඩිය විශාලයි. එජනිසය ජනාධිපතිවරණයේ ගත්ත ඡන්ද වලින් මිලියනයක් විතර අඩුකරගෙන තියනව. එයාල බලාපොරොත්තු වුන විදියට ලක්ෂ පනස් අට එසේම තිබියදී ලක්ෂ හැට දෙක කෑලි කෑලි වලට කැඩිල ගියේ නෑ. සරළව කිව්වොත් ඡන්දයේ තීරණාත්මක කොටස් දෙක වුනේ "ඡන්ද පොලට නොගිය එජනිසයට කැමති පිරිස" සහ "(බලය ඇති පැත්තට හැරෙන) සන්ධානයෙන් එජාපයට මාරුවුන කොටස".
ලංකාව පුරා ඡන්ද වැට‍ුන ආකාරය බැලුවම ජනාධිපතිවරණයට වැඩිය එජාපය ඉදිරියට ඇවිල්ල තියනව. උතුරු සහ නැගෙනහිරට සීම‍ා නොවී තමුන්ගේ බලය පතුරවාලීමට එයාලට‍ හැකිවුනා.(මේ නිසා සිතියම් පාට කරන අයට කරන්න දෙයකුත් නැතිවුනා). මහින්ද මහත්තය ඡන්දෙට ඉදිරිපත් වුන කුරුනෑගල පවා එජාපය පැරදුනේ බෝනස් ආසනයෛන් විතරයි.

ඡන්ද වැටීම
දකුණු පළාත සම්පූර්ණයෙන් ජයගන්න සන්ධානය සමත් වනවිට දකුණේ ගාල්ල සහ මාතර ආසන දෙක ජයගන්න එජාපයට හැකිවුනා. සමස්තයක් විදියට ගත්තම නාගරික ප්‍රදේශ එජාපයටත් ග්‍රාමීය ප්‍රදේශ සන්ධානයටත් කැමැත්ත පලකල ආකාරයක් පේන්න තියනව. මම ජීවත් වන හම්බන්තොට දිස්ත්‍රික්කය ගත්තම රාජපක්ෂලාගේ බලපෑමට අමතරව මේ දවස්වල පවතින වී මිල පහල යාම වගේ දේවල් එජාප පරාජයට සෑහෙන්න බලපෑම් කල බව නිසැකවම කියන්න පුළුවන්. මාතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලටත් මේ වගේ කාරණා අදාලයි. දිගටම බලයේ ඉන්න අවශ්‍යතාවයක් තියනව නම් මේ කාරණා ගැන රනිල්ට සෑහෙන්න හිතන්න වෙනව.

ජවිපෙ.
අපි බලාපොරොත්තු වුන තරම් ආසන ප්‍රමාණයක් ගන්න ජවිපෙ අසමත් වුනා. සමහර විට මහින්ද විරෝධීන් එජාපය ශක්තිමත් කරන්න ජවිපෙ අමතක කලා වෙන්නත් පුළුවන්. නමුත් අනුර කුමාර දිසානායක ජවිපෙ නායකත්වයට පත්වීමත් එක්ක පැරණි ජවිපෙ දියවෙමින් පවතින බව පේනව. පැරණි ජවිපෙ ගම්වල ඉන්න ජවිපෙ කාඩර්වරුන් මත යැපෙන විට නව ජවිපෙ මාධ්‍ය තුලින් මධ්‍යම පාන්තික මිනිස්සුන්ට වඩාත් කිට්ටු වන බව පේන්න තියනව. (ආගමික අනුගාමිකයන් කට්ටියක් අත පක්ෂය තියනවට වැඩිය දියුණු මිනිසුන් පිරිසක් අත පක්ෂය තියනවට මම පෞද්ගලිකව කැමති බවත් කියන්න ඕන).
මම හිතන විදියට නං ජවිපෙ විපක්ෂයේ හිටිය කාලය දැන් ඇති. මෙතනින් ඉහලට යන්න නම් අලුත් ආණ්ඩුවෙ ඇමතිකම් කිහිපයක් ලබාගෙන (ඒක එච්චර අමාරු දේකුත් නෙවේ) "වැඩ පෙන්නල" ඉදිරියට යාම හෝ පැරණි වම මෙන්ම නටබුන් විම තෝරාගන්න පුළුවන්. කොහොමටත් ඡන්ද දායකයන් හැමදාම විපක්ෂෙ ඉන්න ඡන්දෙ දෙන්නෙ නෑ, කාලයත් එක්ක ප්‍රධාන පක්ෂ දෙකට අවශෝෂණය වෙනව මිසක්.

පක්ෂ දේශපාලනය සහ පුද්ගලික දේශපාලනය
මේ මැතිවරණයේ දැක්ක යහපත්ම ලක්ෂණය තමයි පුද්ගල දේශපාලනය ඉක්මවා පක්ෂ දේශපාලනය මතුවීම. යම් යම් තැන් වල ව්‍යතිරේක තිබුනත් පොදුවේ, ජයග්‍රහනය කලවුන් යම් යම් මතවාද නියෝ්ජනය කල අය. උදාහරණයක් විදියට කොළඹ දිස්ත්‍රික් එජාප කණ්ඩායම ගනිමු.

රනිල් වික‍්‍රමසිංහ – 500566
සුජීව සේනසිංහ 117049
හර්ෂ ද සිල්වා 114148
රවී කරුණානායක 111394
පාඨලි චම්පික රණවක 100444
එස්.එම් මරික්කාර් 92,526
මුජබර් රහුමාන් 83,884
එරාන් වික‍්‍රමරත්න 82,783
විජේදාස රාජපක්‍ෂ 81,758
හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර 70,584
මනෝ ගනේෂන් 69,064

මෙතන දෙපැත්තෙම ඉන්න බහුතරයක් (දූෂිතයන් හෝ හොඳ අය වෙන්න පුළුවන්) හරි හෝ වැරදි "මතවාදයක්" වෙනුවෙන් පෙනී සිටි උදවිය. මේ අතරෙ ඉන්න එරාන් වික්‍රමරත්න හර්ෂ සිල්වා වගේ අය ජාතික ලැයිස්තුවට සුදුසු අය වුනත් ඔවුන් ඡන්දයෙන්ම පාර්ලිමේන්තුවට යැවීමට ඡන්ද දායකයන් කටයුතු කිරීම යහපත් ප්‍රවනතාවයක්.

මැතිවරණය සහ මනාප ක්‍රමය.
මනාප ක්‍රමයේ අවුල නැති කරන්න විසිවැනි සංශෝධනය ගේන්න හැදුවත් නීතිය ක්‍රියාත්මක වන වටපිටාවක මනාප පොරය එතරම් උග්‍ර තත්වයකට පත්වන්නේ නැති බව ඔප්පු කරන්න පුළුවන් හොඳ උසාහරණයක් තමයි මේ මැතිවරණය. මැතිවරණ කොමසාරිස්තුමාගේ නියෝග නිසා ඡන්ද දායකයන්ට අල්ලස් දීම සිදුවුනේ ඉතාම අල්ප වශයෙන්. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට බලය ලබාදුන් විට ඔවුන් සාධාරණව ක්‍රියාත්මක වන ආකාරයත් නීතිය අතැති ජනාදිපතිවරයා එය පාවිච්චි කල ආකාරයත් ප්‍රශංසනීය බව නොකියාම බෑ.

Thursday, August 13, 2015

මෙන්න මෙදා ඡන්ද අනාවැකිය....

මහ ලොකුවට නැතත් ඡන්දෙ උණුසුම්. විවෘතයි. කොන්ද කෙලින් තියාගෙන රාජකාරී කිරිමේ බලය පොලිසියට දුන්න මෛත්‍රීටත් උපදෙස් දෙන මැකෝටත් අනේක වාරයක් ස්තුතියි. ඡන්ද ප්‍රතිපලය මොකක් වෙයිද?

ඡන්ද ප්‍රතිපලය ගැන විවිධ පුරෝකතන අන්තර්ජාලය පුරාම දකින්න පුළුවන්. තමන්ට ඕන විදියට-තමන් කැමති විදියට ලියන විශ්ලේශන අතරේ මේවගේ හොඳ විශ්ලේශනත් තියනව. සරළව කල්පනා කරල බැලුවම මට දැනෙන ප්‍රතිපලය මේක,

එජාපෙ: 102
එජනිස: 97
ටීඑන්ඒ: 15
ජවිපෙ: 11

(මගේ ගණනයට අදාල අපගමනය ±2ක් විතර දෙන්නත් කැමතියි. එ් කියන්නෙ මේ අගයන් 2කින් අඩු හෝ වැඩි වෙන්න පුළුවන්)

මෙතනදි සලකා බැලුවෙ දිස්ත්‍රික් මට්ටමෙන් ගන්න පුළුවන් ආසන ගණන් නිසා සුළු පක්ෂ අත්හැරල තියෙන්නෙ. සමහර විට ෆොන්සේකාගේ පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් එන්න ඉඩක් තියනව. 2015.08.13 වන අද වෙද්දි පේන ප්‍රතිපලය තමයි මේක. රයිට්, විස්තරේට කලින්, ජනාධිපතිවරණය වෙනුවෙන් මම කරපු විශ්ලේශනය බලල ඉන්නම වෙනව. නැත්තං තේරුමක් නෑ. එතන කියල තියන තාක්ෂණික කාරණා ඔක්කොම මේ ලිපියටත් අදාලයි. එකම වෙනසයි තියෙන්නෙ. එදා හංසයට ඡන්දෙ දුන්න මම මෙදා සීනුවට දුන්න.

ඔන්න එහෙනං රතු කණ්නාඩිය ගැලෙව්ව, දැං හරි.
මෙදා සුළු ආසන ගණනකි‍න් එජාපය ජයගන්නව. සන්ධානය ඉන්නෙ ඔවුන්ට ආසන පහක් විතර පිටිපස්සෙන්. ඒ ඇයි?

සන්ධානය අවුරුදු ගණනක් තිස්සේ ජයග්‍රාහී තත්වයකයි හිටියෙ. ඔවුන් පැරදුනේ විපක්ෂයේ සාමූහික එකතුවක් වුන ජනාධිපතිවරණයේදි විතරයි. ඒකත් ලක්ෂ 62+:57+ වගේ ලඟ අනුපාතයකින්. විපක්ෂය(මෛත්‍රී) ගත්ත ලක්ෂ හැට දෙකකුත් ගණනින් දෙමළ සන්ධානය සහ ජවිපෙ කොටස විතරක් ඉවත් කලත් යූඇන්පිය පරාදයි. ඒ නැතත් සිංහල ප්‍රදේශ වල බහුතරය ජයග්‍රහණය කරල තිබුනෙ මහින්ද. එහෙනං වෙනස් වෙන්නෙ කොහොමද?

මේකෙ හුඟ දෙනෙක් කල්පනා නොකරන පැත්තක් තියනව. විශ්ලේශනය කරන්නන් කිසිම කෙනෙකුට අල්ලන්න බැරිවුන පැත්තකින් තමයි එජාපය ජය ගන්නෙ. මේ ගැන අන්තර්ජාලයේ දැක්ක එකම පැහැදිලි කිරීම දැක්කෙ දමිත් කේතකගෙන් විතරයි. උපුටා ගැනීම මෙතැන් සිට.

"මේකෙන් රනිල් දිනනවා….

ඒ ඇයි?…

මහින්දට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සහමුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාර දුන්නත් මේක ගොඩදාන්න බෑ….

ප්‍රංශයේ රජ කළ 8 වැනි ලුවී රජු ( එංගලන්තයේ බැරන්වරුන්ගේ යුද්ධය පැවති සමයේ ) එංගලන්තය ආක්‍රමණය කළා….බැරන් වරු ඔවුනොවුන් මරා ගැනීම නවත්තලා තාවකාළික සම්මුතියකට ඇවිත් ඉතාම දුර්වල ඒකාබද්ධ ප්‍රතිරෝධයක් ඉදිරිපත් කළා….ඩෝවර් වලදී ප්‍රංශ කාරයන් මේ ප්‍රතිරෝධය සුනු විසුණු කරා…එයින් පසුව 8 වැනි ලුවී මෙහෙම කිව්වා….

“A Country at War with itself, with so deep as wounds, with such little time to heal”

ඔන්න ඕකයි මාලන් අන්කල් මහින්ද කඳවුරේ සීන් එක….තුවාල සුවපත් කරගන්න කල් මදි….වෙච්ච තුවාල ඔඩු දුවලා වැඩියි…කාවවත් විශ්වාස කරන්න බැරි තරම් අවුලෙන් අවුලට පත් වුනු බලවේගයක්….එහෙම බලවේගයක සංවිධාන ශක්තිය කොච්චර පිම්බිලා තිබුනත් ඇතුළෙන් කුණු වෙලා තියෙන්නෙ…Paranoia එක ලොකු එකෙන්ම බලන්න පුලුවන් මේ පාර මහින්දගෙ කැම්පේන් එකේ….මේ ඉන්න එකා ෂුවර් නෑ….පිටතින් වගේම අභ්‍යන්තරයෙනුත් දරුණු සතුරන් සිටින කැම්පේන් එකක්….බොහෝ විට එජාපයට කරන්න දෙයක් ඉතිරිවෙන එකක් නෑ….කැම්පේන් එක යනකොට සන්ධාන පිළම විවිධ ගේම් සිය ගණනක් වින්දිතයා බවට පත්වෙයි….

එජාපයත් පේන තරම් ශක්තිමත් නෑ…!…මෛත්‍රී දිනවපු සටන ඇත්තම කිව්වොත් ඔවුන්ටත් තරමක විමතියක් දනවන ජයක්…!…අවුරුදු ගාණක් තිස්සේ විපක්ෂයේ හිඳිමින් ඔවුන් වැටුණු වැටිල්ලෙන් 100% රිකවර් වෙලා නෑ….ඒ උනත් ඔවුන්ට මේ මොහොතේ නොබෙදුණු මතයක් සහිත තනි පක්ෂයක් තියෙනවා…ඇයි ඒ?…

එක නායකයයි
ඒ නායකයාට එරෙහිව නැගී හිටපු අය එහෙම නැගී හිටියේ කෙහෙල්මල් පක්ෂයක් ගැන තියෙන ආදරයෙන් වත්, ජනතා සේවයක් සලසන්න ඕන නිසාවත් නෙමෙයි….තමන්ගේ කෑම වේල එන්න එන්නම පරක්කු වෙන නිසා…විපක්ෂයේ පුටු රත් කලාට, පාතරාසය බිස්නස් කාරයන්ගෙන්, ඩීල් කාරයන්ගෙන් නොලැබෙන නිසා….ගස් ටික ආණ්ඩුවෙ එවුන් කපනවා….බාර් පර්මිට් ටික ආණ්ඩුවෙ එවුන් විකුණ ගන්නවා…මේවා දැක දැක තව කොච්චර කළක් බඩ ගින්නෙ ඉන්නද?… ඉතින් “අපි පරදින්නේ මූ නිසයි” කියලා සියළු පවු රනිල් පිට දාලා රනිල්ට එරෙහිව නැගී සිටියා….

දැන් එහෙම නෑ…දැන් බත් පත පේනවා….!…දැනටමත් මේ දවස් ටිකට අහුරු දෙක තුනක් කාලා රහත් දන්නවා…!…දැන් මොකටද නිකන් ප්‍රතිපත්ති වෙනුවෙන් රනිල් එලවන්න ගිහින් අතට බෙදලා ඈතින් ගේන බත් එක අහිමි කරගෙන නැගිටලා යන්නෙ….දැන් ඒ ප්‍රශ්ණ ඔක්කොම ඉවරයි…

දෙවනියාගේ ඉඳලා ගම් මට්ටමේ පාක්ෂිකයා දක්වා 1994 ඉඳලා වැටි, වැටි උහුලගෙන හිටපු දුක් කන්දරාවට හරියන්න එක්ක සැප සැලසෙන බවට බලාපොරොත්තුවක් දැන් තියෙනවා…ඒක නිසා එජාපයේ,

මේ මොහොතේ ඉහළ සිට පහළටම ඇත්තේ එක හඬයි….එක අරමුණයි….එක අණයි…!…. ( “දැන් අපිට උණු උණු බත් ලැබෙන දවස ළඟයි” මානසිකත්වය නිසා රනිල්ට මෙතෙක් දවස් තිබුණු නායකත්ව අර්බුදය දැන් නෑ…)

බලය හැරෙන්නෙ ප්‍රාග්ධනය තියෙන පැත්තට >>> ප්‍රාග්ධනය හැරෙන්නෙ ලාභය තියෙන පැත්තට >> ලාභය හැරෙන්නෙ වාසිය තියෙන පැත්තට >> වාසිය හැරෙන්නෙ බලය තියෙන පැත්තට

මේ චක්‍රය හැමදාම ක්‍රියාත්මකයි….

මහින්ද හිටපු කාලේ එජාපය දුක් වින්දේ මේ චක්‍රය නිසා….මෙරට ප්‍රාග්ධන ආයෝජනයේ සහ ලාභ ජනනයේ “ශුද්ධ – අශුද්ධ” සියල්ලෝම හිටියෙ මහින්ද ළඟ….ඒ අසීමිත බලය නිසා….එජාපය දුකෙන් දුකට පත් වුනා මේ චක්‍රය නිසා…..

දැන් ඒකම තියෙන්නෙ එජාපය අතේ….සන්ධාන පාර්ශවයට දැන් මේ චක්‍රය නිසා දුක් විඳින්න වාරය…අර එදා මහින්ද ළඟ හිටපු ශුද්ධ – අශුද්ධ බලවේග ටික අද රනිල්ගේ පළිඟු බෝලයේ ප්‍රාදුර්භූත වෙනවා….

කාළෙකට පසුව පරණ යූ.එන්.පී එක ඉන්නවා…යූ.එන්.පී නායකයෙක් ඉන්නවා…බලාපොරොත්තුවක් තියෙනවා උණුසුම්…!..යූ.එන්.පී කාරයො ඡන්දෙ දාන්න මේ වතාවෙ බුරුතු පිටින් යනවා….එතකොට මෙතෙක් කල් දුර්මුඛ මානසිකත්වය නිසා යටපත් වෙලා තිබුණු යූ.එන්.පී එකේ සැබෑ ඡන්ද පදනමේ ශක්තියෙ මුළු බරම හෝ ඊට ආසන්නව රනිල්ට ලැබෙනවා….
මෙලොව පාවෙන ඡන්ද කියා කිසිවක් නැත…..පාවෙන ඡන්ද වනාහි, පෞද්ගලික අරමුණු උදෙසා උපදින්නට කයක් ලැබෙන තුරු අහසේ සැරිසරන අන්තරා භවයන් පමණයි….මේ අන්තරා භවයන් තම තමන්ගේ පෞද්ගලික අරමුණු ( බිස්නස් කිරීම, බිස්නස් වලට ලයිෂන් ගැනීම, ළමයි ඉස්කෝලෙ දැමීම, රස්සාවල් ගැනීම, ගෙවල් දොරවල් හදන්න ආධාර ගැනීම, ස්වයං රැකියා ආධාර ගැනීම, අරක, මේක…) වෙනුවෙන් බොහෝ විට උපදින්නෙ ඒ මොහොතේ තියෙන ශක්තිමත්ම බලවේගයේ කුසේ….මේ පාර උන්ගෙන් බහුතරය උපදින්නේ අලි කුසේ….යුද්ධ සියල්ල අවසන් වෙලා තියෙන නිසා මහින්ද පාර්ශවයට ජාතිකත්වය, ජාතික ආරක්ෂාව වැනි කිසිවක් සාර්ථකව මාකට් කරන්න ලැබෙන්නෙ නෑ….මේ පාර ඡන්දයේ එකම තීරක සාධකය තමයි ආර්ථික සහ සාමාජීය අවශ්‍යතාවයන් හා ඒ වටා ගොඩනැගෙන සටන් පාඨ…..ඒවායින් නම් මිනිස්සුන්ගේ වැඩිම ලකුණු වැටෙන්නෙ එජාපයට…..ඒ නිසා පාවෙන ඡන්ද රැල්ල එජාපයට යනවා….මහින්දට ඒක කඩාගන්න ලැබෙන්නෙත් නෑ….
මේ රටේ සෙසු ජන පාර්ශව වල ඡන්ද බරෙන් 90% රනිල් ප්‍රමුඛ එජාපයට ලැබෙනවා…ඒවාත් ආර්ථික සහ සාමාජීය අවශ්‍යතා වෙනුවෙන්….ඒවා කඩාගන්න මහින්දට ලැබෙන්නෙ නෑ….

මහින්දට වාසි ගෙන දෙන සටන් පාඨ සියල්ල දැන් තියෙන්නෙ ඉතිහාසයේ …

මහින්ද වාදීන් ඒ සටන් පාඨ අකළට පර කර ගත්තා හැම තැනම පාවිච්චි කරන්න ගිහින්….ඔවුන් රනිල් ආවොත් පස්සෙන්දටම රට බෙදෙනවා කියලා Dark Fantasy එකක් නිර්මාණය කරලා දුන්නා රටේ ජනතාවට….ජනතාව රනිල් සමග මාස කිහිපයක් ජීවත් වෙලා රියැලිටිය ඒ තරමට භයානක නෑ කියන එක අත්දැක්කා…දැන් ආයෙ ඒ සටන් පාඨ වලට ගැම්මක් නෑ…..
මහින්දට ප්‍රබල “පෞද්ගලික” ආර්ථික සංරචක නෑ මාකට් කරගන්න….මිනිස්සුන්ට සාර්වසර ආර්ථික සංරචක මෙතැනින් ඉදිරියට මාකට් වෙන්නෙ නෑ….මිනිස්සු අවුරුදු තිහක් තිස්සේ විවිධ ආණ්ඩු “යුද්දෙ ඉවරකරලා දෙනකල් / රට හදලා දෙනකල් / සංවර්ධනය ගේන කල් පටි තද කර ගනිල්ලා” කියන උපදේශනය පිළිපැද්දා….දැන් ඒක පිළිපදින්න මිනිස්සුන්ට ඕන නෑ….ඒ නිසා රට හෝ සංවර්ධනය පෙන්නා ඡන්ද ගැනීමට තිබිය යුතු පාරිසරික අවශ්‍යතා දැන් අහෝසියි…!

මේකෙදි රනිල්ගෙ අතට සියළුම භූ දේශපාලනික සහ සාමාජීය වාසි ටික ලැබිලා තියෙන්නෙ….මේකෙදි අම්බ දැවැන්ත බුලක් කෙළියෙ නැත්තන් වැඩේ ගොඩදාන්න රනිල් ලොක්කට පුළුවන්….

තුන්වෙනි ලෝකයේ රටවල දේශපාලනය ඇකඩමික මාවත් වල හැසිරෙන්නෙ නෑ… ( උදා: තාක්ෂණය, ආර්ථික ප්‍රතිපත්ති, සෞඛ්‍ය, අධ්‍යාපනය )…. මේ දේශපාලනය ලොවෙත් ආසයි ඉතාම පෞද්ගලික තැන්වල උණුහුමට තුරුල් වෙන්න….මේකෙදි ආසි කොළ ටික එනකොට එනවා පැක් එක පිටින්ම….යනකොටත් ඒ වගේම තමයි…යනවා හිටු කියලා….

ඒක තමයි තෝම අතේ තියෙන නම් අනන කොට පරිස්සම් වෙන්න ඕන කියන්නෙ..!…පැක් එකයි පොට් එකයි තමන්ගෙ නෙමෙයි නම් “තෝම” ගියොත් බඩුම තමා….!…මහින්ද නාමල් වෙනුවෙන් කොළ පනස් දෙකම දීලා “මහණ” උනා…දැන් ඉතින් “තෝම” තියෙන්නෙ රනිල් අතේ…!…


ඔන්න ඔය විදියටයි දමිත්ගෙ පැහැදිලි කිරීම. දමිත් අකුරු වලින් පෙන්නන දේ පොලවේ ඉන්න අපිට පේනව. ඡන්දයක් ප්‍රකාශ කල ගමන් අපේක්ෂකයන්ගේ හැසිරීම සාමාන්‍යයෙන් මෙහෙමයි.
ඇතිවෙන්න කන්න බොන්න දෙනව, මිනිස්සු සංවිධානය කරගෙන වැඩේ ගොඩදාගන්න බලනව, ආධාර බෙදනව,..... මේ අතරින් ජහමනතාව රවටාගන්න පුළුවන් ක්‍රමයක් තමයි ලඟ බලාපොරොත්තු දීම. "ඡන්දෙන් පස්සෙ සතියක් විතර අැතුලත අහවල් තැන ජොබ් එක ගන්න පුළුවන්.... අන්න ඇප්ලිකේෂන් එක (ශාඛා සමිතියෙ) සභාපතිගෙ ලඟ" වගේ සීන් එන්නෙ මේ කාලෙට තමයි. මේ පැත්තෙ ගත්තොත් මහින්ද මහත්තයගෙ දර්පන ප්‍රතිබිම්බය වෙච්ච සජිත් උන්නැහේ එහෙම මේකෙන් හොඳට වැඩ ගන්න බව පේන්න තියනව. නිවාස අධිකාරියේ ණය අයදුම්පත් එහෙමත් සංසරණය වන ආකාරය දකින්න පුළුවන්.(මේ ගැන මැතිවරණ කාර්යාලයෙන් වාරණයකුත් ආව).

මේ ජාතියෙ මිනිස්සු සහ දමිත් කියල තියන ටිකක් ඉහල ලෙවෙල් එකේ මිනිස්සු නිසා තමයි එජාපය දිනන්නෙ. හංසයාගෙන් ජවිපෙට-ටීඑන්ඒ එකට කැඩෙන ඡන්ද ටික බැලන්ස් කරන්න මේ කිව්ව ඡන්ද දායකයන්ට පුළුවන්.

සන්ධානය ගැන වැඩිය කතා කරන්න දෙයක් නෑ. යෝධයාගේ ඇදවැටීමට පස්සෙ බලය ඇති පැත්තට බුරුතු පිටින් මාරුවුන මිනිස්සු සහ ඡන්ද පොලට නොයන සන්ධාන පාක්ෂිකයන් ඔවුන්ව දෙවන තැනට ඇදදැමීම, වියහැකි ආසන්නම සිද්ධිය. (මෙවර ඡන්ද ප්‍රකාශිත ප්‍රතිශතය ජනාධිපතිවරණයට වඩා 3-4%ක් විතර අඩු විය හැකියි)

දෙමළ ජාතික සන්ධානයේ ගණන ලොකුවට වෙනස් වෙන්න බෑ. ජවිපෙ තමයි අනිත් සාධකය.
මම විශ්වාස කරන විදියට "ඉතිහාසයේ හොඳම ජවිපෙ" නෙවේ තාමත් ඉන්නෙ. හොඳම ටීම් එක ආසන 16ක්ද කොහෙද ගන්නකොට අද ඉන්න ජවිපෙට මම දෙන්නෙ 11 විතර ගණනක් තමයි. ප්‍රධාන පක්ෂ දෙක අතර තියන තරගය නිසා තෙවැනි බලවේගය දුර්වල වීම ස්වභාවිකයි.

පසුවදන: එජාපය පැත්තෙන් ප්‍රතිපලය මීටත් නරක උනත් ආණ්ඩුවක් පිහිටුවන්න එයාලට පුළුවන්. 18දා පාන්දර වෙද්දි අප්පච්චි දෙවැනි වතාවටත් වලදාන්න බලන් ඉන්න පුත්තු සෙට් එකකුත් සන්ධානයේ ඉන්න බව මතක තියාගන්න.

Wednesday, August 12, 2015

ස්මාට් ෆෝන් හොරා ඇල්ලූ වයිබර් දෙයියා!

අපේ ඔපීසියෙ ඩ්‍රයිවර් මහත්තයගෙ ෆෝන් එක නැතිවුනා මීට මාස හයකට විතර කලින්. මෑන්ට ඒක ලැබිල තිබුනෙ දකුණු කොරියාවෙ රස්සාවක් කරපු ඥාති පුත්‍රයෙකුගෙන්. වර්ගය සැම්සුන් ගැලැක්සි s2 එකක්. ස්මාට් ෆෝන් පාවිච්චිය නුපුරුදු ඩ්‍රයිවර් මහත්තයට කුප්පියකුත් දාල ගූගල් එකවුන්ට් එකකුත් හදල දීල සොෆ්ට්වෙයා කෑලි ටිකකුත් දාල දුන්නෙ මම. ඒ අතරින් එකක් තමයි අද ජනප්‍රිය වයිබර්.

මාස දෙකතුනකට පස්සෙ ගෙදර තිබුන ෆෝන් එක නැතිවුනා. හොරා ගේ ඇතුලටම ඇවිල්ල ෆෝන් එක උස්සල තිබුන. වෙනත් කිසිම දෙයක් අරගෙන තිබුනෙත් නෑ. හොරකමට සැකකලේ අල්ලපු ගෙදර හිටපු අවුරුදු පහලවක් විතර වයසැති කොලුවෙක්. ඉස්කෝලෙන් කට්ටි පැනපු පොරගේ චරිතය හොඳ නෑ. ඒ වගේම ෆෝන් එක කිහිප වතාවක් අතපත ගාල බලලත් තිබුන. කොලුවගෙන් ප්‍රශ්න කලත් උගේ කටින් වචනයක් ගන්න බැරිවුනා. පොලිසියෙ පැමිණිල්ලක් දැම්මත් වැඩක් උ‍නේ නෑ.

මේ අතරෙ ඩ්‍රයිවර් මහත්තයගෙ තවත් ඥාති පුතෙක් වයිබර් වලින් දැකල තියනව තමුන්ගෙ මාමා ඔන්ලයින් ඉන්න බව. ෆෝන් එක නැතිවෙච්ච කතන්දරයත් දන්න නිසා මෑන් කෝල් එකක් අරගෙන තියනව. කතා කල එකා කියල තියෙන්නෙ මීගමුව පැත්තෙ ඉන්නව කියල. ඩයලොග් නම්බරයක් තමයි තිබිල තියෙන්නෙ. ඊට පස්සෙ තමයි වැඩේ පත්තුවුනේ. ඒ දවස්වල මීගමුවෙ ඉඳල ආපු බාස්ලා සෙට් එකකුත් ඩ්‍රයිවර් මහත්තයගෙ ගෙවල් කිට්ටුව වැඩ කරල තියනව. ෆෝන් එක නැතිවුන බව කිව්වම එකෙක් කිව්වලු ලැබුනොත් ගෙනත් දෙන්නං කියලත්. මේ ගැන දැනගත්තට පස්සෙ මේකෙ තාක්ෂණික පැත්ත ගැන මම ඇහුව ‍අපේ බුකි මිත්‍ර චමීර ජීවන්තගෙන්. බැලුවම සීන් එක හරි. ෆෝන් එකට වයිබර් දැම්මම පරණ අයිතිකාරය නමින් තමයි තියෙන්නෙ. හොරාට වැරදුනේ එතන.

මේ විස්ත‍රයත් අරගත්ත අපේ ඩ්‍රයිවර් මහත්තය ආයෙත් පොලිසියට ගිහිල්ල දුරකතන අංකයත් එක්ක ආයෙ පැමිණිල්ල අලුත් කරල. උසාවි නියෝගයක් අරගෙන සැකකරුව අල්ලාගැනීම විතරක් ඉතිරිව තියෙද්දි ෆෝන් හොරා වයිබර් වලට තමුන්ගෙ පවුලේ පින්තූරයකුත් දාල. හොරා කවුද කියල මේකෙන් හරියටම තහවුරු වුනා. ඒ අර ෆෝන් එක ලැබුනොත් දෙන්නං කියපු මෑන්මයි. ඒ විස්තරයත් පොලිසියට කියල මගේ ෆෝන් එකෙන් පින්තූරයත් ගත්ත. නමුත් පොලිසියෙ රාජකාරිය අපිට උවමනා කරන වේගයෙන් සිදුවුනේ නෑ. අපරාධ අංශයේ ඕඅයිසී මහත්තයගෙ මේසෙ උඩ තිබුන අල්ලගත්ත ෆෝන් බෑග් එකක්ම එයා අපට පෙන්නුව.

පොලිසියට ගිහිල්ල එලියට එද්දි ඩ්‍රයිවර් මහත්තය අඳුරන පොලිස් රාලහාමි කෙනෙක් මුනගැහුන. එයාට විස්තරේ කිව්වම ගත්ත එවලේම කෝල් එකක්.

"උසාවි යන්නෙ නැතුව ගොඩිං බේරෙන්න ඕනනං ෆෝන් එකත් අරගෙන දැන්ම වරෙං!" රාලහාමි ගර්ජනා කලා. බයවෙච්ච හොරා පවුල පිටින්ම මීගමුවෙ ඉඳල ආව. ඊට පස්සෙ උසාවි! ඇප අරගෙන අතින් පාඩු කරගෙන ගෙදර ගියා. දැං ඉතිං නඩුව අහන දවසට මීගමුවෙ ඉඳල තංගල්ලට වරෙංකො!

බුවාගෙ විස්තරේ අනුව හොරකම කරල තියෙන්නෙ මුලින් සැකකල කොළුවම තමයි. බාස්, කොලුවට රුපියල් පන්දාහක් දීලයි අරගෙන තියෙන්නෙ. නමුත් කොලුව කියන්නෙ තමුන් කිසි දෙයක් දන්නෙ නෑ කියල. වැඩ කරපු දවස් ටිකේ හිතවත්ව ඉඳපු මිනිහ ඇයි එහෙම වැඩක් කලේ කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. මෑන් ඒ ගැන කියල තියෙන්නෙ මෙහෙමයි,

"මහත්තයගෙ ෆෝන් එක බව දැනගත්තත් මට ෆොන් එක දැක්කම ආස හිතුන මහත්තයෝ"

උසාවි නියෝගයක් ගන්න තියෙද්දි පොලිසියෙ කෙනෙක් ලවා කතා කිරීම ගැන මම නං හිටියෙ සැකයෙන්. ඒ කතාවට පස්සෙ හොරා, ෆෝන් එක විසිකරල දැම්ම නං ඇතිවන තත්වය ගැන එක සැරේටම හිතාගන්න බෑ. ෆෝන් එකේ එමි අංකයෙන් හෙවිල්ල නං සාර්ථකයි වගේම නීතියට එකඟයි. වයිබර් වලින් මේ වගේ ඔප්පු කිරීමක් කරන්න පුළුවන්ද කියන එක නීති ප්‍රශ්නයක්.