Thursday, May 29, 2014

වරුණ මල්ලිගේ කතා වස්තුව

කලින් ලිපියට කමෙන්ටුවක් දාපු රංගි රවී අයියගෙ කතාවක් දාන්න කියල ඉල්ලීමක් කරල තිබුන. රීඩර්ස්ලගෙ ඉල්ලීම් වලට කවදත් කන්දෙන මංතුමා මේ හදන්නෙ ඒ ඉල්ලීම ඉෂ්ට කොරන්න.

වරුණ මල්ලි කියන්නෙ රවි අයියගෙ ගෙවල් කිට්ටුව ඉන්න බුවෙක්. ආණ්ඩුවෙ බැංකුවක වැඩ කරන මෑන් මා එක්කත් දවස් කිහිපයක් සෙට් වෙලා තියනව. වරුණ මල්ලිගෙ අවුල තියෙන්නෙ කවුරුවත් කැමති නෑ මෑන්ව ආශ්‍රය කරන්න. හේතුව එයා ණයට සල්ලි ගත්තම දෙන්නෙ නැතිවීම. කොහොම උනත් මෑන් වංචාකාරයෙක් නොවෙන වග කියන්නත් ඕන. එහෙනං කොහොමද එහෙම වෙන්නෙ?

ඒක වෙන්නෙ මෙහෙමයි. වරුණ මල්ලිට සල්ලිවල කිසි අගයක් නෑ. දාහෙ කොලේ නිකං දෙකේ කොලේ වගේ තමා වියදං කරන්නෙ. ඔන්න අපි හිතමු එයාට යම් විදියකින් රුපියල් දහදාහක් ලැබුන කියල. ඒ දහදාහම වියදම් කරන්නෙ බොන්න. එතනිනුත් නැවතීමක් නෑ. දහදාහ ඉවරවෙලා යාළුවන්ගෙනුත් නයට ඉල්ලන්නෙ තව තව බොන්න. ණය ගෙවිල්ල ගැන වගක් නෑ. ඒ වගේම එයාගෙ ලඟ සල්ලි තිබුන වෙලාවක කවුරුහරි ඉල්ලුවොත් දෙන්න දෙපාරක් හිතන්නෙ නෑ. ආයෙ ඉල්ලන්නෙත් නෑ. නමුත් මේ අසාමාන්‍ය ස්වභාවය යම් කෙනෙකුට ඔරොත්තු දෙන්න නං එයා වරුණ මල්ලිටත් වැඩිය බොන ඊටත් වැඩිය 'අරපිරිමැස්මෙන්' මුදල් පරිහරණය කරන කෙනෙක් වෙන්න ඕන. නමුත් ඒ මට්ටමේ කෙනෙක් ඒරියා එකේ නෑ. කොහොම උනත් මෑන්ට යාළුවො සෙට් එකක් නෑ කියන්නත් බෑ. ඒ අතරෙ එක්කෙනෙක් තමයි රවි අයිය.

වරුණ මල්ලිගෙ බීම නතර කරන්න උත්සාහ කරපු එයාගෙ තාත්ත අන්තිමට හති වැටුන. ගොවිතැනක් කරල ජීවිකාව ගෙනියන එයා අන්තිමේදි වරුණ මල්ලිගෙ යාළුවන්ට මේ වගේ අවවාදයක් දුන්න.
"පුතාල වරුණ එක්ක ඕන දෙයක් කරගන්න. හැබැයි එයා ගත්ත සල්ලි මගෙන් ඉල්ලන්න එපා"
මේ අවවාදය දන්න කියන හැමෝටම දෙන්න තාත්ත පසුබට උනේ නෑ. මොකද කිහිප අවස්ථාවක්ම පුතාගෙ ණය බේරන්න තාත්තට සිදුනුන නිසා. දවසක් වරුණ මල්ලි කණ සාක්කුවෙ දාගෙන බයික් එකේ ඇවිල්ල. ගේට්ටුවෙන් ඇතුලට යන්නත් අමාරුයි වගේ නිසා හේට්ටුව ලඟ තණකොල බිස්සෙ නිදිලු. උදේ තමයි ඇහැරිලා තියෙන්නෙ. එදා දවල් වෙද්දි වරුණ මල්ලිට ගමේ මනුස්සයෙක් මුනගැහිල.

"වරුණ පුතා ඊයෙ මම දෙකට විතර ගෙදර එද්දි බයික් එක තිබුන ගේට්ටුව ලඟ..... සිග්නල් ලයිටුත් දාල....."

"පොඩ්ඩක් වැඩියෙලා මම ගේට්ටුව ලඟ නිදාගත්ත අංකල්"

"ඉතිං සිග්නල් දාල තිබුනෙ?"

"සිග්නල් එක දැම්මෙ කවුරුහරි දැකල ගෙදරට එක්ක යයි කියල!"

මේ අතරෙ දවසක් වරුණ මල්ලිට කෙල්ලෙක්ව සෙට් කරල මෑන්ව 'හදාගන්න' හිතපු තවත් බැංකු සගයෙක් හිටිය. එයා රවි අයියගෙත් යාළුව. එයා වරුණ මල්ලිට කෙල්ල සෙට් කල හැටි රවි අයිය මට කිව්ව.

ඔන්න තිබුනලු බැංකු ක්‍රිකට් තරගාවලියක්. ඕකෙ මීටිමකට ආපු කොළඹ පැත්තෙ කෙල්ලක් තමයි වරුණ මල්ලිට සෙට් කලේ. ෆෝන් ලව් එක නැගල යද්දි අයියට අවුල්. මොකද හොඳ කොල්ලෙක් කියල නෙව සෙට් කලේ. කෙල්ල සෙට් උනා කියල අයිය බලාපොරොත්තු වෙච්ච විදියට මල්ලිගෙ බීම නැවතුනෙත් නෑ. ඔන්න මේ අතරෙ වරුණ මල්ලි හොඳට සෙට් වෙච්ච දවසක වෙන්ට නෝන කෝල් කරනව. මෑන් ඉන්නෙ කතා කරන්න බැරි තරමට බිල. ඒ ගමන යාළුවෙක් ෆෝන් එක අරගෙන කිව්වලු වරුණ මැච් එකක ඉන්නෙ බැට් කරනව කියල. ෆෝන් එක කට් කරපු අර දැරිවි. විනාඩි පහලවකින් විතර ආයෙත් ගත්තලු. මොන! තාම බැට් කරනව..... ඔය විදියට පැයක් විතර ට්‍රයි කලත් කොල්ල දක්ෂ ලෙස බැට් කරන කතාව තමයි අහන්න ලැබුනෙ. අන්තිමේදි කෙල්ල ඇහැව්වලු ඔයාල ඕවර කීයෙ මැච් එකක්ද ගහන්නෙ කියලත්.

එදා යන්තං නෝන ෂේප් කරගත්ත වරුණ මල්ලි යාන්තමට වගේ බීම අඩු කලාලු. මේකට නෝනටත් වැඩිය තන්තෝස අර අයියටලු. වරුණ මල්ලි ටිකක් විතර බොනව කියල කෙල්ලත් දන්නවලු. ඔය විස්තරේ කියල තවත් මාස කිහිපයකින් රවි අයියට අර 'අයිය' මුණගැහිල. වරුණ මල්ලිගෙ අලුත් තත්වෙ ගැනත් අහල.

"වැඩක් නෑ බං....අරූ හදන්න අපිට බෑ... ඊටත් අරකි අරූට එහා ගොං වැස්සියක්.... මම යන්තං කියල කියල මුගේ බීම අඩුකරගත්ත..... ඔය බීම ගැන ඒකිත් දැනගෙන ඉඳල තියෙන්නෙ.... දවස් දෙකතුනක් බීල මාට්ටුත් වෙලා.... ඊට පස්සෙ මූ කියල මාස හයක් දෙන්න බීම නවත්තල හැදෙන්නං කියල අර __තිත් හා කියල! දැං මූ ඉස්සරට වැඩිය බොනව... ඇයි ඉතිං මාස හයකට පර්මිෂන් තියනවනෙ... ඊට පස්සෙත් මොකක් හරි කියයි ඉතිං......"

ඔන්න වරුණ මල්ලි බීම නැවැත්තුව හැටි.


Tuesday, May 27, 2014

අයිපීඑල් සහ ගනං අවුල් ආයෙත්.....

මේ දවස්වල අයිපීඑල් එක ජයටම යනව. නමුත් අපේ රටේ නං එච්චර බලන්නෙ නෑ වගේ. දන්නකියන මිත්‍රයන් මුනගැහුනම මම අයිපීඑල් ගැනත් පොඩ්ඩක් අහනව. හුඟ දෙනෙක් බලන්නෙ නෑ. එහෙන් මෙහෙන් බැලෙනව විතරයි. මේකට මූලික හේතුව තමයි අපේ සෙට් එක නැතිවීම. අනිත් හේතුව මෙදාප‍ාර දක්ෂතා පෙන්නන්නෙ 'ලොකු නම්' තියන ක්‍රීඩකයන් නොවීම. වැඩිම ලකුණු ගහල ඉන්නෙ රෝබින් උත්තප්පා. මෑන්ගෙ පිතිහරඹය එච්චර රහක් නෑ. ග්ලෙන් මැක්ස්වෙල් නං පොල්අඩි ටික ගහනව ගානට. පොලාඩ්, ගේල් දෙන්නම අසාර්ථකයි. නමක් තියාගෙන ඉන්න ක්‍රීඩකයන් දක්ෂතා දක්වද්දි ප්‍රේක්ෂක අවධානය වැඩියි. පන්දු යවන්නන් උනත් ජනප්‍රිය වෙන්නෙ යම් විශේෂත්වයක් තියනකොට. එතනදි දක්ෂතාවය විතරක් තිබිල මදි. උදාහරණයක් විදියට මාලිංග, අධික වේගයෙන් පන්දු යවපු අක්තාර් බ්‍රෙට් ලී වගේ උදවිය හොඳ උදාහරණ.

ඉස්සෙල්ල ලිපියෙන් කතා කල ඩක්වර්ත් ලුවිස් අවුල වගේ අවුලක් හැදුන අයිපීඑල් මූලික වටයේ අන්තිම තරගය වෙච්ච මුම්බායි රාජස්ථාන් තරගයෙදි. හුඟ දෙනෙක් මේ තරගය බලල තිබුනෙ නෑ. මොකද ලංකා එංගලන්ත තරගය තිබුන නිසා. වෙලාවට මම නං ඉන්ටනෙට් එකෙන් බැලුව. මුලින් බැට් කල රාජස්ථාන් ලකුණු 189ක් ගැහුව. ඊලඟ වටයට යන්න ප්‍රසාද ලකුණක් අඩුවෙන් හිටිය මුම්බායි කණ්ඩායම තරග ජයග්‍රහනයට අමතරව ලකුණු වේගය අනුව ඉස්සරහට එන්න නං ඉලක්කය වෙච්ච 190 ඕවර 14.3කදී ගහන්න ඕනවුනා. නවසීලන්ත ක්‍රීඩක කොරී ජේ ඇන්ඩර්සන් ඇතුළු පිරිස සාර්ථකව ඒ ඉලක්කය කරා ආව. ජේම්ස් ෆෝක්නර් පහලොස්වෙනි ඕවරය ආරම්භ කරද්දි පන්දු තුනකට ගතයුතු ලකුණු ගණන නවයක්. පළමු පන්දුවට එකයි දෙවැනි පන්දුවට හයයි! දැන් තුන්වෙනි පන්දුවට දෙකක් ගත්තොත් මුම්බායි ගොඩ! නමුත් තුන්වැනි පන්දුවට, දෙවැනි ලකුණට දුවද්දි පිතිකරුවෙක් අවු‍ට්! දැං අලුත් අවුලක්. මැච් එක ගහන්නෙ දිනන්න බලාගෙන. ඕවර විස්සට කලින් ගහන්න කියන්නෙ ලකුණු වේගය වැඩි කරගන්න ඕන නිසා. දුන්න ඉලක්කයේදි ලකුණු ගාන ගහන්න මුම්බායි කණ්ඩායම අසමත් උනා. එහෙනං රාජස්ථානය ඊලඟ වටයට යන්න ඕන? නමුත් තරගය තියෙන්නෙ සම ලකුණු තත්වයේ. ඊලඟ පන්දුවට හයක් ගැහුවම මුම්බායි ඉන්නෙ උඩින්. එයාල ඊලඟ වටයට ආව.

දල ලකුණු වේගය කියන්නෙ මෙහෙම දෙයක්

දල ලකුණු වේගය=(R/O)-(r/o)

R=සියළු තරගවලදි ලබාගත් ලකුණු
O=ඊට වැයකල පන්දුවාර ගණන
r=සියළු තරග වලදී ප්‍රතිවාදීන්ට දුන් ලකුණු
o=ඒ සඳහා යැවූ පන්දුවාර ගණන

[තරගය පැරදුනා කියල හිතල අඬන මුම්බායි කණ්ඩායමේ රයුදු.(ක්‍රික්ඉන්ෆෝ)]

ඔය සූත්තරේට අනුව තමයි වැඩේ සිද්ධ වෙන්නෙ. එහෙනං මොකද්ද අවුල? මේකත් ඩක්වර්ත් ලුවිස් ක්‍රමය වගේ තමයි. ගණිත ක්‍රමය හරි උනාට හරියට යොදා නොගත්තොත් අවුල් ඇතිවෙන්න පුළුවන්. දැන් බලමු මේකෙ අවුල මොකද්ද කියල.

තරගයක් දිනන්න විධි ක්‍රම බර ගණනක් තියෙන්න පුළුවන්. මේ තරගය ගනිමු. ගන්න ඕන ඉලක්කය 190යි. පළමු කණ්ඩායම 189යි. ඔන්න දෙවනි කණ්ඩායම බැට් කරගෙන එනව. එයාලගෙ ලකුණු ගණන් සහ ඉස්සරහ‍ට ගන්න ලකුණු ගණන අනුව, අවසන් ලකුණු ගණන බලමු

184 තියෙද්දි 6ක් ගහනව---190
185 දි 6 ගැහුවොත්-------191
186 දි 6 ගැහුවම---------192
187 දි 6---------------193
188 දි 6---------------194
189(සම) 6-------------195

ඔය විදියටම හතරෙ පහරකින් අවසන් වෙනව කියල හිතුවොත් තවත් චක්කරයක්. ලකුණු තුනකින් දෙකකින් එකකින් අවසන් උනොත් තව තව විධි. ඒ කියන්නෙ දෙවනුව පන්දුවට පහරදෙන කණ්ඩායමේ අවසන් ලකුණු ගණන නිශ්චිතව කියන්න බෑ. 195 වෙනකල් ඕන ගණනක් වෙන්න පුළුවන්. එතකොට අර සූත්‍රය අනුව නෙට් රන් රේට් එක වෙනස් වෙනව. ඔය කතාව කලින් කියන්නෙ නැතුව ඒ මොහොතෙ කිව්වම ඕන කෙනෙකුට මල පනිනව. රාහුල් ඩ්‍රාවිඩ් තොප්පියත් පොලවෙ ගහලයි ගියේ. ක්‍රික් ඉන්ෆෝ අඩවියට කමෙන්ට් කල කෙනෙක් කියල තිබුන හතරවෙනි පන්දුව හිතාමතා වයිඩ් එකක් කලා නම් රාජස්ථානයට වාසියි කියලත්. ඒකත් ගණනය කරන්න පුළුවන් අර සූත්‍රය දාල. නමුත් ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ.

මේකත් අර ඩක්වර්ත් ලුවිස් වගේ හුඟ දෙනෙකුට ග්‍රීක් වෙන්න පුළුවන්. කමෙන්ට් වලින්වත් බලමු තෝරගන්න පුළුවන්ද කියල.

Saturday, May 24, 2014

ඩක්වර්ත් ලුවිස් අවුල! [The Duckworth-Lewis Method]

ඩක්වත් ලුවිස් ක්‍රමය ගැන ලිවීමට සිතා සිටියේ කොදෙව්වන් ශූරතාවය ලබාගත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුරය. මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත තරගාවලියේ පළමු එක්දින තරග ජයග්‍රහනය ලකුණු අසූ එකකින් එංගලන්තයට හිමිවුයේද ඩක්වත් ලුවිස් ක්‍රමය අනුව ගණන් බැලීමෙනි. මේ ඒ පිළිබඳ විමසුමකි.

‍සංඛ්‍යානඥයන් දෙදෙනෙකු වන ෆ්‍රෑන්ක් ඩක්වර්ත් සහ ටෝනි ලුවිස්(පින්තූරය) යන දෙදෙනා හඳුන්වාදුන් මෙම ක්‍රමය ක්‍රිකට් තරග ජය තීරණය කිරීමට යොදාගත්තේ දශක දෙකකට පමණ පෙරය. ඊට ප්‍රථම ක්‍රිකට් තරග විසඳුම් තීරණය කරන ලද්දේ සරළ ගණිත ක්‍රමයකටය. උදාහරණයක් ලෙස මුලින් පන්දුවට පහරදුන් කණ්ඩායම පන්දුවාර පනහ තුල ලකුණු දෙසිය පනහක් රැස් කලා යයි සිතමු. ඉන්පසුව සිදුවන වර්ෂා බාධා කිරීමකින් පසුව පන්දුවාර විසි පහකට දෙවන ඉනිම තීරණය වූයේ නම් ඔවුන් ලබාගතයුතු ලකුණු සංඛ්‍යාව එකසිය විසිපහකි. එම ක්‍රමයේ ඇති දෝශය අමුතුවෙන් විස්තර කිරීම අවශ්‍ය නොවේ. ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යොදාගත්තේ මීට විසඳුමක් ලෙසය.

ඩක්වර්ත් ලුවිස් ක්‍රමය විචල්‍ය කිහිපයක සමීකරණයකි. යම් මොහොතක තරගය නැවැත්වීමට සිදුවූ විට ක්‍රීඩා කර ඇති පන්දුවාර සංඛ්‍යාවත් පන්දුවට පහරදෙමින් සිටින කණ්ඩායමේ අතැති කඩුළු සංඛ්‍යාවත් සම්බන්ධ කර එම සමීකරණය ගොඩනඟා ඇත. වියහැකි සෑම පැත්තක්ම ආවරණය වන පරිදි ගොඩනඟා ඇති මෙය විශිෂ්ට ක්‍රම වේදයකි. එක්දින තරග මෙන්ම විස්සයි විස්ස තරග සඳහාද මෙම ක්‍රමය යොදාගත හැකිය. නමුත් මේ වනවිට මෙය යොදාගන්නා ආකාරය අවුල් සහිතය. අසාධාරණය.

ඕනෑම ගණිත ක්‍රමයකදී (දී ඇති සීමාවන් යටතේ) යම් යම් සිද්ධීන් විස්තර කිරීමට නිවැරදිව යොදාගත හැකිය. එය ගණිතයේ ඇති විශේෂ ලක්ෂණයකි. නමුත් මෙම ගණිත ක්‍රම ගණිතයෙන් පිටත සාමාන්‍ය මිනිසුන්ගේ ක්‍රියාකාරකම් විස්තර කිරීමට යොදාගැනීම ප්‍රවේශමෙන් කලයුත්තකි. ඩක්වර්ත් ලුවිස් ක්‍රමයේදී සිදු නොවන්නේ එයයි. මෙහි ඇති මූලික වරද දෙවනුව පන්දුවට පහරදෙන අවස්ථාව අතර මැදදී සිදුවන බාධා වීම් අනුව විටින් විට ජයග්‍රාහී ඉලක්කය වෙනස් වීමයි. ගණිතමය සූත්‍රයක් මිනිස් ක්‍රියාකාරකම් විස්තර කිරීමට යොදාගැනීමේදී සිදුවන දෝෂය අවම කිරීමට නම් දෙවනුව පන්දුවට පහර දෙන්නන්ට නිශ්චිත ඉලක්කයක් ලබාදියයුතුය. උදාහරණයක් ලෙස එංගලන්ත ශ්‍රී ලංකා පළමු තරගය සලකමු.

පන්දුවාර පනහක් ක්‍රීඩා කිරීමේ අරමුණින් පිතිකරණය ආරම්භ කල එංගලන්ත ඉණිමට වර්ෂාවෙන් බාධා සිදුවූයේ විසි එක්වන පන්දුවාරයේදීය. වර්ෂාවෙන් පසු තරගය පන්දුවාර තිස් නවයකට තීරණය වූ අතර එංගලන්ත කණ්ඩායම කඩුළු හයක් බිඳවැටී ලබාගත් ලකුණු සංඛ්‍යාව දෙසීය හතලිස් හතකි. ආරම්භයේ සිට පන්දුවාර තිස් නවයක් ක්‍රීඩා කිරීම අරමුණින් පිටියට පිවිසියේ නම්, ඩක්වර්ත් ලුවිස් ක්‍රමය අනුව ඔවුන් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව දෙසීය පනස් අටකි. ලංකාවේ ඉලක්කය දෙසීය පනස් නවයකි. මෙවන් අවස්ථාවක් දක්වා ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යොදාගැනීම එතරම් ගැටළු සහගත නැත. නමුත් ඉන් පසු සිදුවන කාලගුණ විපර්යාස හේතුවෙන් පන්දුවෙන් පන්දුවට ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යොදාගැනීම පිතිකරුවන්ට මහත් පීඩනයකි. සෑම පන්දුවකට පසුවම ඉලක්කය වෙනස් වේ. කඩුල්ලක් බිඳවැටුනහොත් ලකුණු සංඛ්‍යාවක් පසුපසට යාම නිරායාසයෙන් සිදුවේ. නිශ්චිත ඉලක්කය වෙනුවට පන්දුවෙන් පන්දුවට ඉලක්කය ලබාදීම නොකලයුත්තකි. හොඳම උදාහරණය විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කොදෙව් අවසන් පූර්ව තරගයයි. එහිදී දෙවනුව පන්දුවට පහරදුන කොදෙව්වන්ට ඉලක්කය සකස් වූයේ එලෙසිනි.

ඩක්වර්ත් ලුවිස් ක්‍රමය හෝ ඊටත් නිවැරදි ක්‍රමයක් සොයාගනු ලැබුවද ක්‍රිකට් අනාවැකි කීම අපහසුය. නමුත් මෙම ක්‍රමය යොදාගත යුත්තේ තරගයක තීරණය අනිවාර්යෙන්ම ලබාගතයුතු අවස්ථාවකය. එසේ නොවන අවස්ථාවක කලයුතු හොඳම දෙය නම් තරගය අත්හැර දැමූවක් ලෙස සැලකීමය.

(ඩක්වර්ත් ලුවිස් ගණකය)

Thursday, May 22, 2014

දේශකයගෙ නදීලා රාජ්ට පේන හැටි....

පහුගිය දවසක අපේ දේශකතුමා හොඳ කෙටි කතාවක් ලියල තිබුන. කතාවෙන් කියවෙන්නෙ ආණ්ඩුවෙ කන්තෝරුවක වැඩකරන කාන්තාවක් (නදී) ගැන. ඉස්කෝලෙ යන කාලෙම යාළු වෙච්ච කොල්ල එක්කම එයා විවාහ වෙනව(සුමාල්) . කොල්ලගෙ රැකියාව කරවල වෙළඳාම. බොහෝමයක් වෙළෙන්දන්ගෙ ජීවි‍ත වගේම සුමාල්ගෙ ජීවිතයත් කැප වෙන්නෙ වෙළඳාමට. වෙළඳාම එයාගෙ ජීවිතේ වැඩි හරියක් වෙද්දි එයාට නදීව මිස් වෙනව. ස්වාභාවික ජීවිතයක් ගතකරන කෙනෙකුට ඊට පස්සෙ වියයුතුම විදියට නදී තමන්ට සමාන වෘත්තීය ජීවිතයක් ගතකරන පිරිමියෙකුට (ශ්‍යාමල්) ලං වෙනව. නදී, සුමාල්ගෙ කරවල ගඳ වෙනුවට ශ්‍යාමාල්ගෙ විලවුන් සුවඳ තෝරා ගැනීම සාධාරණීකරනය කරන්නද කොහෙද සුමාල්ගෙ අම්ම තමන්ගෙ ලේලියගෙ අනියම් සම්බන්ධයට උපකාර කරල කතන්දරයේ අවසානය 'ලස්සන කරන්න' දේශකය කටයුතු කරනව.

දැන් අපේ කතාවට බහිමු. ලඟදි දවසක් මම දන්න කියන කන්තෝරු නෝන කෙනෙක් එක්ක පාර අයිනෙ ඉන්නව. මම ඉන්නෙ බස් එක එනකල්. එයා ඉන්නෙ තමුන්ගෙ සැමිය එනකල්. යතුරු පැදියෙන් ඈතින් එන ස්වාමි පුරුෂයා දකිනකොට විහිළු කරමින් හිටිය ඈ මගෙන් ඉල්ලීමක් කරනව.

"ඔන්න එනව. අනේ ඔයා ඔන්න මොකුත් කියන්න එපා"

ඇය මේ ඉල්ලා සිටින්නෙ (දෙපැත්ත කැපෙන) විහිළු කරන්න එපා කියල. ස්වාමිය ලඟට ආවත් එක්කම කෙලිලොල් ගතිය අමතක කරපු ඈ යන්නං කියල බයික් එකේ නැගල යන්න ගියා. ඊට කලින් බිරිඳ තමන්ගෙ සැමියා හඳුන්වා දුන්විට ඔහු කුලෑටිකමින් මා එක්ක හිනාවුනා.
සාමාන්‍යයෙන් රැකියාවක් කරන කාන්තාවක් ස්ථිර රැකියාවක් නොකරන හෝ ව්‍යාපාරිකයෙක් එක්ක විවාහ වෙච්ච තැන්වල බොහෝවිට මම දැකල තියන අවුලක් තියනව. ඒ තමයි ඔවුන්ගේ වෘත්තීය ජීවිතය හැබෑ ජීවිතයත් එක්ක ඇතිවන ඝට්ටනය. විශේෂ අවස්ථාවල අපි එක්ක සෙට්වෙන, නෝනලාගේ රැකියා නොකරන මහත්වරු, රැකියා වෘත්තිකයන් වන අපිත් එක්ක හොඳ පෑහීමක් ඇති වෙනව අඩුයි. අපේ විහිළුතහළු කතාබහ කොහොමත් ඔවුන්ට ආගන්තුකයි. අර කියපු අවුලට මුල ඒකයි.

යෝජිත විවාහ වැඩියෙන් සිදුවෙන ලංකාවෙ කාන්තාවන්ට තියන 'ඉල්ලුම' පිරිමින්ට සාපේක්ෂව අඩුයි. ජනගහනයේ කාන්තාවන් ප්‍රතිශතය මඳක් වැඩිවීම, කාන්තාවගේ 'රූපය' කෙරෙහි තියන ඉල්ලුම, ඔක්කෝටමත් වැඩිය රජයේ රැකියා වල යෙදෙන කාන්තාවන්ගේ ප්‍රතිශතය ඉහල යාම වගේ කාරණා නිසා රැකියාවල් කරන කාන්තාවන්ගෙන් යම් ප්‍රමාණයකට සිදුවෙනව වෙනස් වෘත්තීන් වල යෙදෙන පිරිමින් එක්ක විවාහ වෙන්න. මේ පිරිමින් අතරෙ ඉන්න පුළුවන් එතරම් අධ්‍යාපනය නොලැබූවන්. ඒ උදවිය අතරෙ කතාවෙ කියන අවුල වෙන්න තියන ඉඩකඩ වැඩියි. කොහොම නමුත් මේකෙ අනිත් පැත්තෙදි අවුල ටිකක් විතර අඩුයි. රැකියා කරන පිරිමියෙක් රැකියා නොකරන කාන්තාවක් එක්ක සෙට්වුනොත් මෙච්චර අවුලක් වෙන්නෙ නෑ.

පහුගිය දවසක මට මුනගැහුන කපු මහත්තයෙක් කිව්ව අපූරු කතාවක්.
"මහත්තයෝ.... මේ කොරියාවෙ ගිහිං ආපු ඉලන්දාරි ඉන්නව නේද.... මුං හොයන්නෙම ගුරුවරියො! සල්ලි ටිකක් තිබුනට ගුරුවරියො මුංට කැමති නෑ.... මට දවසක් මිස් කෙනෙක් දුන්න මාර ලෙක්චර් එකක්.... එයා කියනව මෙහෙම. ඔන්න මේ ළමයි රට යනවලු. ඊට පස්සෙ අවුරුදු දෙකතුනක් ඉඳල සල්ලි ටිකක් හොයාගෙන තට්ටු දෙකට ගේ හදන්න පටන් අරගෙන යට තට්ටුව යන්තං හදාගෙන ඒකෙ පදිංචි වෙනවලු. ඊට පස්සෙ ලීසිං කරල ගන්නවලු පොඩි ලොරියක් නැත්තං වෙන වාහනයක්. මේව කරනකොට සල්ලි ඉවර වෙනවලු, ඊට පස්සෙ ගුරුවරියක් හොයනවලු කසාද බඳින්න, වාහනේ ලීස් ගෙවාගන්න!

කතාව ඇත්ත නං මේ වගේ තැන්වල ඉන්න හුඟ දෙනෙක් නදීල.

Monday, May 19, 2014

වැට් බදු වංචාව කුමක්ද? හෙජින් ගිවිසුම කවරහුද?

පසුගිය දිනවල ජන මාධ්‍යන්හි අවධානයට ලක්වූ වාර්තා වූ පුවත් දෙකක් විය. එකක් නම් ආසියාවේ විශාලතම වැට් බදු වංචාවට වරදකරු වූ, ආදායම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වරයෙකුව සිටි ඥාණසිරි ද සොයිසා ජයතිලක නැමැත්තෙකුට නියම වූ දඬුවමයි. අනෙක නම් හෙජින් ගණුදෙනුවට අදාලව ඛනිජතෙල් නීතිගත සංස්ථාව මහ බැංකුවට නොගෙවා ඇති මිලියන ගණනක මුදල් කන්දරාව පිළිබඳවය.

පළමු සිද්ධියේදී නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වංචා කර තිබූ මුදල ආසන්න වශයෙන් කෝටි හාරසීයකි. ඇඟළුම් ගෙන්වන ආයතන වලට ආපසු ගෙවිය යුතුව තිබූ මුදල් තමාගේ සහචරයෙකු නමින් සා‍දාගෙන තිබූ ගිණුම් දහතුනකට බැරකරගෙන මෙම වංචාව සිදුකර තිබුනි. චෝදනා හතලිස් තුනකට වැරදිකරු බව පිළිගත් ඔහුට වසර එකසිය ගනනක සිර දඬුවමක්ද (කෙසේ වුවත් ඇත්තම කාලය 'සිර' වසර තුනකි, එනම් සාමාන්‍ය වසර දෙකහමාරකි) වංචා කල මුදල මෙන් තුන් ගුණයක් වූ රුපියල් කෝටි දෙදහසකට ආසන්න දඩ මුදලක්ද ගෙවීමට නියම විය.
දෙවනුව සඳහන් කල කුප්‍රකට හෙජින් ගණුදෙනුව පිළිබඳ අවසාන තීරණයක් මේ දක්වා ගෙන නැත. රාජ්‍ය ආයතන දෙකක් වන ශ්‍රී ලංකා මහ බැංකුව සහ තෙල් සංස්ථාව ‍කඹය දෙපැත්තට අදිමින් සිටියි. කෝටි හාරසීයක වැටි බදු වංචාවට වග කිවයුත්තන් සොයා දඬුවම් නියම කරන විට කෝටි දෙදහසකටත් වඩා වැඩි අලාභයක් රටට සිදුවූ හෙජින් සූදුවට වගකිවයුත්තකු නැත. මෙසේ වීමට හේතුව කුමක්ද?

සාමාන්‍යයෙන් රාජ්‍ය සේවය සකස්වී ඇතිතේ විනිවිද පෙනෙන ආකාරයටය. සෑම ගණුදෙනුවක්ම, සෑම තීරණයක්ම ගැනීමට නිශ්චිත ක්‍රමවේදයක් රාජ්‍ය සේවයේ ඇත. රාජ්‍ය සේවයේ කටයුතු සංකීර්ණ වන්නේද, අකාර්යක්ෂම භාවය ගැන චෝදනාවන් රාජ්‍ය සේවකයන්ට එල්ල වීමටද මෙම නීති රෙගුලාසි හේතුවේ. රුපියල් පනහක සීයක මුදලක් සම්බන්ධයෙන් වුවද බලපවත්වන නීති රැසක් වේ. මෙම නීති රෙගුලාසි වලින් රිංගා යාම පහසු නැත. එහෙත් ඇතැම් අවස්ථා වලදී මේවා තුලින් රිංගා යන්නන් සිටියද ඔවුන් හසුකරගැනීම එතරම් අපහසුද නැත. වැට් බදු වංචාව හසුකරගැනීම එවැන්නකි.

අනෙක් අතට රාජ්‍ය සේවකයන් නොවන, එසේත් නැතිනම් රාජ්‍ය සේවයේ නීති රීති වලට ඉහලින් සිටින්නන් සම්බන්ධයෙන් සිදුවන විමර්ශන ක්‍රියාවලියක් නැති තරම්ය. හොඳම උදාහරණය හෙජින් ගිවිසුමයි. සාමාන්‍ය අධ්‍යාපනයක් ලබා ඇත්තෙකුට පවා වැටහෙන, උක්ත ගිවිසුමේ ඇති අවාසි පක්ෂය ගිවිසුම් සකස් කල-අත්සන් කලවුන්ට නොවැටහේ යයි සිතිය හැකිද? එසේ නම් මෙහිදී සිදුවන්නට ඇත්තේ නීතියේ ආධිපත්‍ය‍ට ඉහලින් සිටින්නවුන්ගේ හිතුවක්කාරී-වංචනික ක්‍රියා පිලිවෙත නොවේද? රාජ්‍ය සේවය සහ රජයේ සේවකයන් සම්බන්ධව බලපවත්නා නීතිරීතීන් වලට දේශපාලකයන් සහ ඔවුන්ගේ හෙංචයියන් යටත් වන දිනය කවදාද?

Friday, May 16, 2014

රාජ්ගෙ නවාතැන තිරය පිටුපස behind the screen of raj 1st!

නෝන!

"මාත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත"

"මං ගැනත් ලිව්වද?"

"ඔයා ගැන මොනව ලියන්නද.... බ්ලොග්වල ඒව ලියන්නෙ නෑ.... හැමෝටම කියවන්න පුළුවන් දේවල් ලියන්නෙ"

----------------------

"මොනවද බලන්නෙ?"

"බ්ලොග් පෝස්ට් එකක් දැම්ම"

"ඔයාට ඉතිං බ්ලොග් බ්ලොග් බ්ලොග්......"

----------------------

"ඔන්න ඔයා ගැනත් බ්ලොග් එකේ ලිව්ව"

"කෝ මොකද්ද?"

"අපි අර දවසක් කතරගම දෙයියො ගැන කතාකල ටික"

"කෝ බලන්න...... ^%#$&**(^*&%$"

----------------------

"මෙන්න ඔයාලගෙ වුර්තීය අරගලය ගැන මම බ්ලොග් එකේ ලිව්ව"

"..... අනේ...... මම කියපුව ඒකට දාල!"

----------------------

"ඔන්න අදත් ඔයා බ්ලොග් කතාවක චරිතයක් කලා...."

"ඒ මොකද්ද?"

"මම අර සුන්දර නිහතමානීද මැල් ගැන කතාවක් ලිව්ව. ඒ‍කෙ ඔයත් ප්‍රධාන චරිතයක්"

"කවුද අනේ සුන්දර නිහතමානි කියන්නෙ"

-----------------------

"මම බ්ලොග් එක වැහුව!"

"ඇයි ඒ?"

"අහවලා මගේ බ්ලොග් එක දැක්කලු"

"අපරාදෙ!"

"ඔයා මොකද අද අපරාදෙ කියන්නෙ?"

"නෑ ඉතිං ඔයා කැමැත්තෙන් කරපු එකම වැඩේනෙ"

-----------------------

පුහුණු වන පරිපාලන සේවයේ නිලධාරිණිය

"රාජ්ගෙ නවාතැන ලියන්නෙ ඔයාද?"

"ම් මේ.... ඔව්.. නෑ නෑ මම නෙවේ...."

"ඔයා රාජ් නේද?"

"රාජ් තමයි.... මට වෙබ් සයිට් හදන්න බෑ"

"ඔයා තමයි මේක ලියන්නෙ.... අර අපි ගැනත් ලියල තිබුනෙ මම බලනව ඔයාගෙ සයිට් එක"

(හුටා!)

------------------------

.....බුවෙක්

"මොකද්ද ඔය සයිට් එක?"

"මේක මගේ බ්ලොග් එක"

"ඒ කිව්වෙ මේව ලියන්නෙ ඔයාද?"

"ඔව්"

"ඕන කෙනෙකුට ලියන්න පුළුවන්ද?"

"පුළුවන්.... අපි ගොඩක් කට්ටිය ලියනව..... ලංකාවෙ අය පිටරටවල ඉන්න අය.... මම සෑහෙන්න පිරිසක් අඳුරනව"

"රට ඉන්න අයත් දන්නවද?"

"ඔව් ඔව්"

"ඔය රට ඉන්න අයගෙන් කීය කීය හරි ඉල්ලගන්න බැරිද?"

"..........."

"මටත් එකක් හදල දෙන්න.... මම හීනියට දත් ගලවන්න දන්නව....."

(සතියකට පස්සෙ)

"අරක හදමුද?"

"මාර වැඩේනෙ!.... මෙච්චර කල් බ්ලොග් එකක් හදන්න දුන්නෙ ෆ්‍රී.... දැං ඩොලර් පනහක් ඉල්ලනවනෙ..... පැරණි ඒවට නං නෑ.... හැබැයි ලඟදිම අපිටත් ගෙවන්න වෙයි...."

"චැහ්!"

------------------------
බ්ලොග්

අවුරුදු තුනකට වැඩිය ලියපු මේ බ්ලොග් ලිවිල්ලෙ ඔහේල නොදන්න, ඇත්තම කතා ටිකක් තමයි ඒ. මේකෙ තියන කතන්දර සත්‍ය, අර්ධ සත්‍ය සහ බොරු කියන තුන් ජාතියම තියනව. වැඩේ තියෙන්නෙ අර්ධ සත්‍ය කතා සත්‍ය කතා විදියටත් තියනව. ඒක කෙනෙක් රැවටීමක් තමයි. නමුත් සිදුවීමක තියන රසය මදි වෙනකොට අතින් දාන වෙලාවල් එමටයි. ඒ සිද්ධීන් ඒ විදියටම කිව්ව නං රහක් නැතුව යනව.

මේ වෙනකොට බ්ලොග් එකේ හිට්ස් ගනන ලක්ෂ දෙකක්. මට හිතෙන විදියට හිට්ස් කියන්නෙ මුල් මාස හයේදි විතර ඔලුවට කරදර කරන දෙයක්. ඊට පස්සෙ හිට්ස් ගැන ආසාව නැත්තට නැති වෙනව. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ කියවන්නන් වැදගත් නෑ කියල. මුල් කාලයේ ඉලක්කම තමයි වැදගත්. බස් කාරයන්ට මගීන් කියන්නෙ දහයෙ විස්සෙ කෑලි වගේ මුල් කාලෙ මට හිට්ස්. නමුත් පහු වෙද්දි හිට් එකක් කියන්නෙ කියවන වාරයක් කියන (ස්වභාවික) තත්වෙට ආපු ගමන් හිට්ස් උණ සනීප වුනා).

හිට්ස් වලට වැඩිය වැදගත් කමෙන්ට්. කමෙන්ට් නැතිව බ්ලොග් එකකින් වැඩක් නෑ. එතකොට ඒක පොතක් පත්තරයක් වගේ තමයි. බ්ලොග් එකට සජීවී ගතියක් එන්නෙ කමෙන්ට් වලින්. නමුත් කමෙන්ට් කියන්නෙ මගේ ඔලුවෙන් මේ දක්වා අයින් කරන්න බැරිවෙච්ච බරක්. මොකද කියනව නං බොහෝ දෙනෙක් කමෙන්ට් වලට ප්‍රති උත්තර බලාපොරොත්තු වීමත් තමුන්ගෙ බ්ලොග් වලටත් කමෙන්ට් බලාපොරොත්තු වීමත්. ලොකුම අවුල තමයි සමහර පෝස්ට් වලට කියන්න දෙයක් නැතිවීම. එක්කෝ පෝස්ටුවෙ කරුණු අපිට ආගන්තුකයි. නැත්තං කියන්න දෙයක් නැති තරමට ලිපිය පරිපූර්ණයි.

බ්ලොග් කියන එක සෑහෙන්න හොඳ මාධ්‍යක් වෙන්න ඉඩ තියනව ඉදිරියෙදි. නමුත් බුද්ධිමත් කියන බුවාල බ්ලොග් අවකාශයට එන්න කැමති නෑ. මොකද මේක ඇතුලෙ ප්‍රතිරූප වල‍ට ඉඩක් නෑ. කොච්චර ලොක්කෙක් උනත් ඇවිල්ල කමෙන්ටුවක් දැම්මම එයාගෙ අම්ම මතක් කරන කෙනෙක් උනත් ඉන්න පුළුවන්කම තියනව. අපි වගේ තරුණ කාලෙම බ්ලොග් වලට පයගහපු කෙනෙකුට නං මේ අවුල නෑ. එහෙම බැලුවම දැං ඉන්න වයසක බුද්ධිමතුන්ගේ ඇවෑමෙන් (තව අවුරුදු විස්සකින් විතර) එන බුද්ධිමතුන් බ්ලොග් වලට එන්න පුළුවන්. ගිය සතියට කලින් සතියෙ රාවය පත්තරේට ලියන වික්ටර් අයිවන්ට මරු ඉල්ලීමක් කරන්න සිදුවුනා. මේ දවස්වල එයා ලියන ව්‍යවස්ථා සංහෝධන ලිපි මාලාවට පාඨක අදහස් දෙන්න කියල ඉල්ලනව. මේක හරි දුක හිතෙන කාරණාවක්. එයා අමාරුවෙන් ලියන දේවල් කියවන්න කෙනෙක් ඉන්නවද කියල එයාට සැකයි. ඒ නිසා කියනව ඒ ලිපි ගැන කැමැත්ත අකැමැත්ත කියල එවන්නලු. ඔය ලිපි ටික බ්ලොග් එකක් විදියට දැම්ම නං එයාට අඬන්න වෙන්නෙ නෑ.

එහෙනං මගේ බ්ලොග් එකට පැමිණි සියල්ලන්ටම ස්තුතියි.

Tuesday, May 13, 2014

බස් ගැන කතා බස් (Bus, WTF!)

ලංකාවේ පොදු ප්‍රවාහන සේවය ගැන ලිවීමට සිතා සිටියේ බොහෝ කලකට පෙර සිටය. පසුගිය දිනෙක ප්‍රියාගේ සිතුවිලි බ්ලොග් අඩවියේද පෞද්ගලික ප්‍රවාහන සේවය ගැන ලිපියක් පලවී තිබුනි. මේ පෞද්ගලික ප්‍රවාහන සේවය පිළිබඳ මගේ අත්දැකීම් සහ අදහස්ය.

ශ්‍රී ලංකාවේ ඕනෑම ක්ෂේත්‍රයක් ගෙන බැලූ විට ඕනෑ තරම් නීති රීති ඇත. නමුත් මේවායෙන් බොහොමයක් සාම්ප්‍රදායික, අදට නොගැලපෙන මෙන්ම ක්ෂේත්‍රයේ උන්නතියට කිසිසේත් අදාල නොවන්නාවූ ඒවාය. පෞද්ගලික ප්‍රවාහන සේවාවටත් මෙය අදාලය.

ප්‍රවේශපත්‍ර සහ නිල ඇඳුම්
ප්‍රියාගේ සිතුවිලි බ්ලොග් අඩවියේ සඳහන් කල මූලික කාරණාවක් වූයේ පෞද්ගලික බස්රථ වල ප්‍රවේශපත් නිකුත් (නො)කිරීම සම්බන්ධවය. දිනක් මා කාර්යාලයට පැමිණෙමින් සිටියදී බස් මඟියෙකු සහ කොන්දොස්තර අතර වචන හුවමාරුවක් ඇතිවූයේ ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම සම්බන්ධවය. මගේ අදහස අනුව පෞද්ගලික බස්රථවල ප්‍රවේශපත් නිකුත් කිරීම හෝ නොකිරීම ඔවුන්ගේ කාර්යයකි. යම් තැනැත්තෙක් පෞද්ගලික බසයකට නැඟ අවශ්‍ය ස්ථානයට ගමන් කිරීම යනු හුදෙක් බස් රථයේ පාර්ශවය සහ මඟියා අතර පමණක් පවතින ගණුදෙනුවකි. එහිදී ප්‍රවේශපත්‍රයක් නිකුත් කරන්නේද නැද්ද යන්න එතරම් අදාල නොවේ. මඟියා ගමනාන්තයට ගෙනයන්නේ නම් ටිකට් පතක් කුමටද? අනෙක් අතට, දෙපාර්ශවය අතර ප්‍රශ්නයක් ඇති නොවන තාක්, මෙවන් පෞද්ගලික ගණුදෙනුවක් අතරට පැන යම් පාර්ශවයකට දඬුවම් කිරීමට (දඩ ගැසීම-නඩු පැවරීම) රජයට ඇති අයිතිය කුමක්ද? මීට අමතරව ඒ සඳහා අමතර වියදමක් රජය විසින් දැරිය යුතුය. ඇත්තෙන්ම මෙය (අවශ්‍ය නම්) බස් හිමියන්ගේ පැත්තෙන් කලයුතු කාර්යකි. බසයේ ආදායම සම්බන්ධව පාලනය ඔවුන්ගේය. අනුන්ගේ සීනි කිරනවා යයි කියන්නේ මේකටය.
නිල ඇඳුම් සම්බන්ධ නීතියද එසේය. රියදුරු සහ කොන්දොස්තර හඳුනාගැනීමට නොහැකි වීමේ විශාල ප්‍රශ්නයක් නැත.

වියයුත්තේ කුමක්ද?
මෙම ක්ෂේත්‍රයේ වෙනස් වියයුතු අංග රාශියකි. පෞද්ගලික බස් සේවාවේ ගුණාගුන, පොදුවේ යමෙකුගෙන් විමසුවහොත් ලැබෙන පිළිතුර යහපත් වේ යයි සිතිය නොහැක. නීති රීති සකස් කල යුත්තේ අඩු පාඩු ඇති අංග සකස් වන පරිද්දෙනි. මූලිකවම බස් රථයේ තත්වය ගැන සහතිකයක් අවශ්‍යය. සාමාන්‍යයෙන් බස් රථවල ආදායම් බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය වන යෝග්‍යතා සහතිකයේ (fitness) සඳහන් කරුණු ගැන අවධානය යොමු කිරීම වැදගත්ය. උක්ත සහතිකය ලබාදීමේදී මූලිකවම සැලකිල්ලට ලක් කරන්නේ එන්ජි‍මේ තත්වය තිරිංග වැනි කාරණා කෙරෙහිය. මිනිසුන් ප්‍රවාහනය කරන රථයක තිබියයුතු අනෙකුත් තත්වයන් පිළිබඳ කිසිදු තැකීමක් නැත. "බඳ පිළිබඳ වාර්තාව" යනුවෙන් සටහන් කර ඒ ඉදිරියෙන් "හොඳයි" (good) යනුවෙන් සඳහන් කලවිට එය ආදායම් බලපත්‍රය ලබා ගැනීමට ප්‍රමාණවත්ය. කොටින්ම මෙම "බඳ පිළිබඳ වාර්තාව" යන්නද අදාල ආකෘතියේ මුද්‍රණය නොකිරීමෙන් ම ඒ පිළිබඳ දක්වන සැලකිල්ල කොතරම්ද යන්න පැහැදිලි කරගත හැකිය. මගී බස් රථයක් ධාවනයට යෙදීමේදී නිසි ප්‍රමිතියක් තිබීම අත්‍යවශ්‍යය. විශේෂයෙන්ම ආසන වල තත්වය සලකා බැලියයුතුය. ඇතැම් බස්රථවල ඇති ආසන පළලින් ඉතා අඩුය. දෙදෙනෙකුට අසුන්ගැනීමට ඇති ආසනයේ එකෙකු අසුන්ගත් විට අනෙකාගේ පශ්චාත් භාගයෙන් භාගයක්ම අසුනෙන් පිටය. ඒ පිළිබඳ කිසිදු නීතියක් ක්‍රියාත්මක වන බව නොපෙනේ. තවත් සමහර බස්රථ වල සිටගෙන යන මගීන්ට යාම අපහසුය. අල්ලා ගැනීමට ඇති තිරස් ආධාරක සඳහා නියමිත ප්‍රමිතියක් නැත. බහාලුම් රාක්ක නිසි ප්‍රමිතියට නැත. රාක්ක වල දැමූ ගමන් මළු අසුන් ගත් මඟීන්ගේ හිස් මතට වැටෙන අවස්ථා ඕනෑ තරම් අැත. විවෘත කිරීමට අපහසු ජනෙල් ඕනෑ තරම්ය. මේවා ගැන කිසිදු සොයාබැලීමක් නැතිව නිළ ඇඳුම් හෝ ටිකට් ගැන විමර්ශණ කණ්ඩායම් යෙදවීම විහිළුවකි.

කාලසටහන්.
ධාවන කාලසටහන යනු මඟී බස් සේවාවේ තවත් වැදගත් එමෙන්ම අඩු සැලකිල්ලක් දක්වන අංගයකි. සාමාන්‍යයෙන් වෙලාවට වැඩ නොකරන ශ්‍රී ලංකාවේ කාලසටහනට අඩු අවධානයක් යොමු කිරීම ස්වභාවිකය. දිනපතා මා කාර්යාලයට යන එන මාර්ගයේ බස්රථ ධාවනය අධ්‍යයනය කිරීම ඒ සඳහා හොඳ අභ්‍යාසයකි.
මා සේවයට පැමිණෙන බසය A නම් ප්‍රධාන නගරයේ සිට B නම් ප්‍රධාන නගරය දක්වා ධාවනය වේ. මගේ ගමනාරම්භය මෙන්ම ගමනාන්තයද A හා B අතර පිහිටි ස්ථාන දෙකකි. ඒ අතර මැද ස්ථානයකද ප්‍රධාන බස් නැවතුමකි. ගමන් කලයුතු මුළු දුර කිලෝමීටර විසි දෙකක් හෝ විසි තුනක් පමණ වේ. පුදුම නොවන්න! මේ සඳහා ගතවන කාලය පැයකට ආසන්න වේ. (මෙය රථවාහන තදබදය සහිත අගනගරයේදී පුදුම විය හැකි දුරක් නොවුනද මා ගමන් කරන මාර්ගය රථවාහන තදබදයක් ඇත්තේම නැත).
ගමනාරම්භක නගරයේදී බස් රථය නවත්වා තැබීමට යම් කාලයක් ලබා දුන්නද අතර මැද පිහිටි බස් නැවතුම්පොල වලදී නවත්වා තැබීමට ඉඩදීම නොකලයුත්තකි. මේ වනවිට මාර්ග පද්ධතිය ඉතා හොඳින් සකස් කර තිබුනද කාලසටහන් ඇත්තේ මීට දශකයකටත් එහා තිබූ මාර්ග වලට සකස් කල කාලසටහන් වියයුතුය. බස් රථ සෙමෙන් ධාවනය කිරීම සහ අතරමැද නැවතුම්පල වලදී විනාඩි ගනන් නවත්වාගෙන සිටීම පිළිබඳ මා රියදුරෙකු සමඟ කතා කලෙමි. ඔහුගේ ක්ෂණික පිළිතුර වූයේ ලාභයක් ලබාගැනීමට වැඩි පිරිසක් එකතුකර ගැනීමේ අභිලාශයෙන් එසේ කරන බවයි. නමුත් සත්‍ය තත්වය නම් ඔහු එකතුකර ගන්නේ පසුව බස් රථයේ යායුතු මඟීන්ය. ඔහුගේ බසයේ යායුතු මඟීන් ඊට කලින් බසයේ ගොසිනි. රියදුරෙකු හට මෙය තේරුම් ගැනීමට තරම් බුද්ධියක් නොතිබීම පිළිබඳ පුදුම වියයුතු නොවන්නේ රජයේ බලධාරීන්ද මේවා පිළිබඳ සැලකිල්ලක් නොදක්වන බව තේරුම් ගැනීමෙන්ය.

කාලසටහන් සම්බන්ධ අනෙක් වැදගත් කාර්යය, යම් අවස්ථාවක ගමන් වාරයක් අවලංගු වුවහොත් ඒ සඳහා බසයක් යෙදවීමයි. සිදු නොවන්නේද එයයි. උදාහරණයක් ලෙස පැය භාගයකට වරක් බස් ධාවනය වන මාර්ගයක යම් අවස්ථාවක බසයක් නොමැති වූවිට ඒ සඳහා බස්රථ යෙදීම නිසි පරිදි සිදු නොවේ. මෙහි අනිවාර්ය ප්‍රතිපලය පැයක ප්‍රමාදයෙන් ගමන් ආරම්භ කරන ඊලඟ බස් රථයට ගමන් වාර දෙකක මඟීන් ගෙනයාමට සිදුවීමයි.

ආචාරධර්ම
පෞද්ගලික ප්‍රවාහන සේවාව සඳහා නීති මෙන්ම ආචාරධර්ම පද්ධතියක්ද අවශ්‍යය. ගැමුණු විජේරත්නලා කොතරම් කෑගැසුවද උසස් යයි කිවහැකි මට්ටමේ සේවාවාක් සැපයීමට පෞද්ගලික අංශය අසමත්ය. කිසිදු පුහුණුවක් නොලැබූ රියදුරන් හා කොන්දොස්තරවරුන් මගී ප්‍රවාහනය සඳහා යොදාගැනීම ගැටළු රාශියක් ඇති කරයි. උදාහරණයක් ලෙස ගැබිණි කාන්තාවක් සඳහා බසය නතර කල යුත්තේ ඉදිරි දොරටුවෙන් ඇතුළු වීමට හැකි වන පරිද්දෙනි. නමුත් මෙය රීතියක් ලෙස සිදු කරන රියදුරන් සිටීදැයි නොදනී.
පසුගිය සිංහල අවුරුදු සමයේ කොළඹ කතරගම මාර්ගයේ බස්රථ සඳහා වෙනදා මෙන් මගීන් නොසිටි බැව් වාර්තා විය. හේතුව අධිවේගී මාර්ගයේ බස් ධාවනය වැඩිකර තිබීමය. සුවපහසුව සහ ගෞරවනීය බස් සේවාවක ඇති වැදගත්කම වටහාගැනීමට බස් හිමියන්ට සහ රජයට අවශ්‍යතාවයක් ඇත්නම් එවන් අවස්ථා අධ්‍යයනය කරනු වටී. එහෙත් එය කවදා සිදුවේදැයි දන්නේ දෙවියන් පමණි

Monday, May 12, 2014

කක්ක පොලිස් සහ වල් ඌරුමස්.......

මේ දවස්වල මට තියෙන්නෙ රයිටර්ස් බ්ලොක් වල අනිත් පැත්ත. ඒ කියන්නෙ කතාවල් තියනව සෑහෙන්න. ලියන්න වෙලාව ටිකක් අඩු උනත් මගේ බ්ලොග් එකේ වැඩිම පෝස්ටු වැටෙන මාසෙ මේක වේවි. කලින් පෝස්ටුවෙ අරූගෙ ඉල්ලීමක් ඉෂ්ට කරන්න ඕන වගේම අද උදේ හැලපය ඌරු කතාවක් දාපු නිසා මාත් දානව ඌරු කතාවක්.

මුලින්ම අරූගෙ ඉල්ලීම. මේක ඔහේල අහලත් ඇති. ඔන්න පොඩි එකෙක් කක්ක කරල ඉවර වෙලා අම්ම එන පරක්කු උන නිසා ඒව අතට අරගෙන එක එක ප්‍රතිමා හදනව. මේ වෙලාවෙ මෙතෙන්ට ආව පොලිසියෙ රාලහාමි කෙනෙක්. කොස්තාපල් කෙනෙක් උනාට ටිකක් තේජාන්විතයි. නිකං අජිත් රෝහණ මහත්තය වගේ. දෙන්නගෙ කතාව මෙහෙමයි.

"බබ, මොකද කරන්නෙ?"

"මම මේ ගුරුවරයෙක් හදනව" ඔන්න කක්ක වලින් ගුරුවරයෙක් හදල පෙන්නුව. ඊට පස්සෙ ඒක කඩල ආයෙත් තවත් එකක් හදනව.

"හා ඒ ගමන කවුද හැදුවෙ?"

"මේ අපේ ග්‍රාමසේවක රාලහාමි" පොලිස් රාලහාමිට සැකයි දැං එයාවත් හදයිද කියල. එයා පොඩි තගක් දැම්ම.

"හැබැයි පොලිසියෙ රාලහාමි කෙනෙක් එහෙම හැදුවොත් බලාගෙනයි"

"අය‍ියෝ පොලිසියෙ රාලහාමි කෙනෙක් හදන්න මෙතන තියන කක්ක මදි" කොලුව උත්තර දුන්න.

-----------------------------------------------------------------------------

ඌරුමස් කතාව මෙහෙමයි. ඔන්න අපි ගියා ට්‍රිප් එකක්. පවුලෙ උදවිය. රට වටේම ඇවිදල ගෙදර එන්න ගත්තෙ වැල්ලවාය පැත්තෙන්. රෑට කන්න නතර කලා තණමල්විල හෝටලයක් ලඟ. ඔන්න අපේ ඩ්‍රයිවර් මලය අපිටත් කලින් කොත්තු බාස්ට ටෝක් කරල අපි ලඟට ආව. මෑන් මුසල්මානුව උනත් පොඩි ඔත්තුවක් දුන්න.

"මහත්තය, වල්ඌරුමස් තියනව ඕනනනං...."

ඔන්න කොත්තු බාස් එක්ක වැඩේ කතා කරල වල් උෟරු කොත්තු දාගත්ත කොත්තු කන උදවිය. පාන් කන උදවිය වල් ඌර එක්ක පාන්. ඔන්න ඔය විදියටයි වැඩේ සිද්ධවුනේ. අන්තිමට බිල ගෙවන්න ගියාම තමයි අවුල හැදුනෙ. කොත්තු බාස් කිව්ව විදියට ඌරු මස් දීසියක් සීයයි. නමුත් මුදලාලිගෙ ගාන දෙසීයයි. ඒ මස් ටික දෙසීයක් නං වටින්නෙම නෑ. මෙයා හදන්නෙ ට්‍රිප් එකක් ආපු අපිව මරාගෙන කන්න. අපි කිව්ව අපිට මුලින් කිව්වෙ සීයයි කියල. මුදලාලි ඒක පිලි නොගන්න නිසා කොත්තු බාස් ගෙන්නුව. එයාගෙ උත්තරේට මුදලාලිට තරු පෙනුන.

"ඇයි මුදලාලි, දවල් ඉඳලම අපි සීයටනෙ දුන්නෙ!"

මුදලාලි පැරදුනා.


මෙන්න තවත් උෟරුමස් කතාවක්.

Thursday, May 8, 2014

පොලිස් නිලධාරියා ඝාතනය වීම අපට කියන දේ.....

කුරුණෑගල පොලිස් නිලධාරීන් දෙදෙනා පැහැරගැනීම සහ එක් අයෙකු ඝාතනය වීම පිළිබඳව ප්‍රවෘත්ති පලවීමත් සමඟ මා අනුමාන කල දෙයක් සත්‍ය බැව් පසක් විය. එනම් මෙය සාමාන්‍ය ඝාතනයක් නොවන බවයි. සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට යම් රාජකාරීයක් සම්බන්ධව අසන්තෝෂයෙන් සිදුවූ ඝාතනයකට වඩා යමක් මෙම ඝාතනය තුල ඇත.
පොලිසිය වේවා වෙනත් අංශයක වේවා රාජ්‍ය සේවකයන්ගේ සේවය හෝ යුක්තිය ඉටු නොවීම පිළිබඳව අප්‍රසාදයක් සමාජය තුල ඇත. එය ඕනෑම ක්ෂේත්‍රයක අඩු වැඩි වශයෙන් පවතින්නකි. උදාහරණයක් ලෙස දෙපාර්ශවයක ආරවුලක් විසඳීමේදී කොතරම් සාධාරණව කටයුතු කලද එක් පාර්ශවයක් අසතුටු වීම ස්වභාවිකය. මෙවන් අවස්ථාවලට මුහුණ දීමට ඕනෑම රාජ්‍ය සේවකයෙකුට සිදුවිය හැකිය. කෙසේ වුවත් රාජකාරී කිරීමකට එරෙහි පළිගැනීම් සාමාන්‍යයෙන් විරලය. විගණන අධිකාරී ලලිත් අඹන්වල මහතාට එල්ලවූ ඇසිඩ් ප්‍රහාරය මෙන්ම මහේස්ත්‍රාත්වරයෙකුගේ ඝාතනය මේවාට උදාහරණය.

කෙසේ වුවත් පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මෙම තත්වය අසාමාන්‍යය. පොලිසිය යයි කියූ සැනින් මිනිසෙකුගේ මනසේ මැවෙන්නේ යහපත් චිත්‍රයක් නොවේ. පසුගිය දිනවල යම් ආයතනයක් මඟින් සිදුකල සමීක්ෂණයකට අනුව වඩාත්ම දූෂිත ආයතනය පොලිසිය බැව් කියාසිටි මිනිසුන් ගනන සියයට හැට ගනනකි. මගේ අදහස අනුව මෙම අප්‍රසාදයට‍ හේතුව, සාමාන්‍යයෙන් ජනතා විරෝධයට ලක්වන කාරණා වන අල්ලස් ගැනීම් වැනි කරුණු ම නොවේ. අල්ලස් දූෂණ හෝ අකාර්යක්ෂමතාවය වැනි විෂමාචාර සෑම ක්ෂේත්‍රයකම පවතී. එසේ නම් මෙම අප්‍රසාදයට හේතුව කුමක්ද?

නිශ්චිත වශයෙන්ම මීට හේතුව සාමාන්‍ය විෂමාචාර ඉක්මවා ගිය තත්වයක් පොලිසිය තුල වර්ධවය වීමයි. රටක නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ අරමුණින් පිහිටුවා තිබෙන මූලික ආයතනය වන පොලිසිය පසුගිය කාලයේ කටයුතු කලේ අතිශයින්ම වැරදි සහගත ආකාරයටය. උද්ඝෝෂන හෝ පෙළපාලි වැනි අවස්ථාවන් වලදී පොලිසිය රජයේ නියෝග පිලිපැදීම සිදුකල යුතු වුවද එය සිදුකරන ලද්දේ සිදු කල හැකි ඉතාම නරක අයුරින්ය. සමහර විටෙක සිදුවූයේ රජයේ නියෝගයටත් ඉහලින් යමින් කෲර ලෙස මර්ධනය සිදු කිරීමයි. අනෙක් අතට ඕනෑම කරුණක් සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුවකිරීමට පොලිසිය අසමත් වී තිබීමයි. බලය ඇත්තන්ගේ සුරතලෙකු බවට පත්ව ඇති පොලිසිය ඔවුන් හමුවේ සුවච කීකරු බල්ලාගේ චරිතයත් බලය නැත්තන් ඉදිරියේදී හපාකන බල්ලාගේ චරිතයත් රඟදැක්වීමයි. තවත් පැත්තකින් සලකා බැලූ කල පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහලින් ලැබෙන වැරදි තීරණ ගැනීම් මෙම අප්‍රසාදයට හේතු වී ඇති බැව් කිවහැකිය. උදාහරණ ලෙස රථවාහන වැරදි ඇල්ලීම යනු පොලිසියට "ටාගට්" එකකි. ටාගට් කවර් කිරීම සිදුවන පහත් ආකාරය අමුතුවෙන් විස්තර කිරීම අවශ්‍ය නැත. අවසානයට දක්වන්නට යන කාරණාව වඩාත් වැදගත් කාරණාවයි.

එනම් පොලිසිය තුල පවතින කෲර ස්වභාවයයි. බලයක් නැති අහිංසකයෙකු හමුවේ ඔවුන් කටයුතු කලේ, අත්අඩංගුවට පත්වන සැකකරුවෙකුට වඩාත් නරකම ස්ථානය ලංකාවේ පොලිසිය දැයි සිතෙන අයුරිනි. සැකකරුවන් හට එල්ලා පහරදීම වැනි දඬුවම්ද වෙඩිතබා ඝාතනය සිදුකිරීම වැනි දෑ පොලිසියට සාමාන්‍ය දේවල්ය. පසුගිය දිනෙක දෙරණ නාලිකාවේ තුන්සිය හැට වැඩසටහනට පැමිණි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණට නරඹන්නෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දීමට සිදුවිය. නරඹන්නාගේ ප්‍රශ්නය වූයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් භාරයේ සිටියදී මියයාම සම්බන්ධවයි. මාධ්‍ය ප්‍රකාශකගේ පිළිතුර අපූරු එකක් විය. "ඔහුට අනුව ආත්මාරක්ෂාව සඳහා කටයුතු කිරීමේ-බලය පාවිච්චි කිරීමේ-අයිතිය පොලිස් නිලධාරීන්ට ඇති නිසාත්, මීට පෙර සිදුවී ඇති සැකකරුවන් ඝාතනය වීම් පිළිබඳව උසාවිය හමුවේ කරුණු දැක්වූ පසු, උසාවිය එම කරුණු පිලිගෙන ඇති නිසාත් කිසිදු අවුලක් සිදුවී නැත". මාධ්‍ය ප්‍රකාශකගේ උත්තරය අනුව පොලිසියේ පිරිහීමට සෘජුවම වගකිවයුතු අනෙක් පාර්ශවය අධිරණයයි.


පොලිස් නිලධාරීන් ඝාතනයෙන් දිනකට පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අජිත් රෝහණ තවත් අපූරු ප්‍රකාශයක් සිදු කලේය. එනම මෙම පැහැරගැනීම් සහ ඝාතනය සිදුකිරීම පොලිස් දෙපාර්තමේන්තුවට එල්ලකල අභියෝගයක් ලෙස භාරගන්න බව ප්‍රකාශ කිරීමයි. කණගාටුවට කරුණ නම් පොලිසියට අභියෝග එල්ලවූ පළමු අවස්ථාව මෙය නොවීම මාධ්‍ය ප්‍රකාශකවරයාට අමතක වීමයි. දෙනෝදාහක් බලා සිටියදී නානසාරලා වැන්නන්ගේ ආගම්වාදී සංවිධාන මිනිසුන්ට පීඩා කරන්නේ පොලිසිය බලා සිටියදීය, දහස් ගණන් මිනිසුන් උද්ඝෝෂණය කරද්දී පොලු රැගත් මැරයන් මිනිසුන්ට පහර දෙනවිටද සිදුවූයේ පොලිසියේ බලය අභියෝගයට ලක්වීමයි, කැමරාකරුවන් ඉදිරියේදී ඊනියා ආරක්ෂක කලාපයක් වන වරායේදීත් ගුවන් තොටුපලේදීත් විපක්ෂයේ මන්ත්‍රීන්ට මැරයන් පහරදෙන විට කොනිත්තන විටද අභියෝගයට ලක්වූයේ පොලිසියේ කීර්තියයි, පොලිසිය බලා සිටියදී "අලි හොරුන්" මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් පහරදී කැමරා කුඩු කරනවිටද පරීක්ෂාවට ලක්වූයේ පොලිසියේ තත්වයයි. මෙවන් අභියෝග අනන්ත සංඛ්‍යාවක් එල්ල වනවිට නිද්‍රාශීලිව සිටි පොලිසියේ දොරකඩට දැන් අභියෝගය පැමිණ ඇත.

මීට පෙර සිදුවී ඇති ලෙසින්ම, මෙම පැහැරගැනීම සහ ඝාතනය සිදුකලවුන් සොයා ඔවුන් ඝාතනය කිරීමට පොලිසිය කටයුතු කරනු ඇත. එහෙත් ප්‍රශ්නය එතැනින් අවසන් නොවේ. පොලිස් දෙපාර්තමේන්තුව යහපත් තැනක් වන තාක් මිනිසුන්ගේ වෛරය අවසන් නොවනු ඇත. ලලිත් අඹන්වල වැනි නිලධාරීන්ට ඇසිඩ් ප්‍රහාර එල්ල කරන විට, නඩුකාරවරුන් වෙඩිතබා ඝාතනය කරන විට, පොලිස් නිලධාරීන් පැහැරගෙන ගොස් නිරුවත් කර වධදී "විශේෂී ලෙස" ඝාතනය කිරීමට සිදුවන්නේ එසේය. නිලධාරීන් දෙදෙනා පැහැරගැනීම සහ ඝාතනය වෙනුවෙන් කණගාටුවන අතරතුර පොලිස් දෙපාර්තමේන්තුව වඩා යහපත් තැනක් බවට පත්කිරීමට පියවර ගැනීම ඝාතනය වූ නිලධාරියා වෙනුවෙන් කලහැකි හොඳම උපහාරය බැව් මතක් කරනු කැමැත්තෙමි.

Tuesday, May 6, 2014

බාර් එකේදි මුන ගැහුන බයිස්කෝප් මෑන්

හීනියට ෂොට් එකක් දාගන්න කියල හිතාගෙන ඔන්න මම ගියා හැන්දෑ යාමෙක සුපුරුදු ‍පොට් එකකට‍. බාගයකුත් අරගෙන අනුමත වෙන අතරෙ දැක්ක ටීවී එකේ දැකල පුරුදු ඩයල් එකක් තනියම ටේබල් එකක ඉන්නව. හෑ! ‍මෑන් තමයි ලඟදිත් චැනල් එකකට ඇවිල්ල හිටියෙ..... හොඳ බ්‍රෑන්ඩ් එකකින් බෝතලයක් අරගෙන බොනව. බෝතලේ අඩුවෙච්ච ටික බැලුවම නං මෑන් හොඳ සිහියෙන් වෙන්න බෑ. කෝකටත් මම ලඟට ගියා.

"ම්....මේ උදයකාන්ත වර්ණසූරිය මහත්තය නේද?"

එයා ඔලුව උස්සල බැලුව. මූණ හරියටම උන්මත්තකයෙකුගෙ වගේ වෙලා තිබුන. මොකක් හරි අවුලක් නං වෙන්න ඕන. නැත්තං මෙහෙම වෙන්න විදියක් නෑ.

"මේ උදයකාන්ත අයිය නේද?" මම ආයෙත් ඇහුව. මොකුත් නොකිව්ව එයා වාඩිවෙන්න කියල අතින් සංඥා කලා. මම වාඩිවුනා.

"මොකෑ මේ තනියම..... අප්සට් එකකින් වගේ?"

"වැඩක් නෑ මල්ලී......" මෑන් කිව්වෙ අඬන්න වගේ.

"ඇයි මොකද්ද කේස් එක?"

"මගේ අලුත් එක......" හෝ හෝ මට දැනුයි මතක් වෙන්නෙ. ‍කොස්තාපල් පුඥ්ඥසෝම එකේ අධ්‍යක්ෂක නිෂ්පාදක මෙයා නෙව! කොහොම උනත් නොදන්න බව පෙන්නන්න හොඳ නෑ...

"කොස්තාපල් පුඥ්ඥසෝම නැගල යනව ඇති නේ මේ දවස් වල....?....මාත් නෝනයි දරුවයි එක්ක බලන්න යන්නයි ඉන්නෙ....." ඒ ගමන මෑන් මගේ දිහා බැලුවෙ මම කරන්නෙ විහිළුවක්ද නැද්ද කියල හිතාගන්න බැරුව වගේ.

"හුහ්...නැගල!"

"ඇයි ඔ‍බතුමාගෙ ෆිල්ම් පාඩුවෙලා නෑනෙ මෙතෙක්..."

"නමුත් මේ සැරේ වැරදුනා මල්ලී.... හොඳටෝම වැරදුනා....."

"ඇයි අයියේ පෝලිමේ ඉන්න උනාද ගොඩක් කල්?"

"අපි කවද්ද බං පෝලිමේ හිටියෙ! පෝලිං ස්කිප් කරන සාත්තරේ මම දන්නැතෑ!"

"එහෙනං.... සෝම ඇන්ටිගෙ මණ්ඩලේ අවුලක්ද?"

"නෑ බං.... එයාගෙ මණ්ඩලේ පාවිච්චි කරන්නෙ කොච්චර කල් ඉඳලද"

"එහෙනං? වෙන කොමඩියක් ඇවිල්ලද?" ඒකට මෑන් ඔලුව උස්සල මගේ මූන බැලුව.

"හා..... ටෙනිය හරි බන්දු හරි එකක් දාලද?"

"ම්හු"

"නැත්තං මේ රටේ සිද්ධවෙන ජෝක් නිසා ජෝක් ෆිල්ම් බලන්න මිනිස්සු නැද්ද?" අන්න ඒ ගමන නං එයාගෙ මූනෙ හීන් හිනාවක් ඇඳුන.

"අන්න හරි! මල්ලි ලඟටම ආව.... මම මේක දැම්මෙ වැරදි කාලෙක..... ඒකෙන් වෙන්නෙ තව අවුරුදු ගානකට මගේ වැඩ හිරවෙන එකයි...."

"මට නං තාමත් එච්චර....."

"එස්එස්පී කෙනෙක් දවස ගානෙ ටීවී එකට ඇවිල්ල ඉල ඇදෙන ජෝක් කරද්දි කොස්තාපල් කෙනෙකුගෙ ජෝක් බලන්න සල්ලි වියදං කරන්නෙ කවුද බං!"


Monday, May 5, 2014

නළු මාරුව සහ රවුම වටේ යාම....

මේක මට අහන්න ලැබුන ඇත්තම කතාවක්. පාත්‍ර වර්ගයා මම දන්න කියන උදවිය. ඒ නිසා දවස් දෙකකින් පස්සෙ මකලා දාන්න හිතාගෙන ඉන්නෙ.






අදාල කොටස ඉවත් කරන ලදී.





අපේ ජීවිත ගමන් කරන්නෙ වෘත්තයක් දිගේය, කාලෙක අපි පහුකරගෙන යන දේවල් තවත් කාලෙක ආයෙත් හමුවෙනව කියල කවුදෝ කියල තිබුන. භයානකම දේ තමයි රවුමෙ එක තැනකදි අපි නරඹන්නො වෙලා පහුකරන ශෝකාන්ත නාට්‍ය වල නළුවො වෙන්න ඊලඟ රවුමෙදි සිදුවීම.

Friday, May 2, 2014

නිල්පාට මැයි දිනේ කම්කරු දෑසින්.......

දේ ගෙදර ලඟින් බස් එකට නැග්ග. බස්එක ස්ටෑන්ඩ් එකේ නැවැත්තුව. මට පිටිපස්සෙන් හිටියෙ අවුරුදු හතලිහක විතර මනුස්සයෙක්. ඉස්සරහ හිටිය එයාගෙම වයසෙ කෙනෙක් අරය දැකල ඇවිල්ල එතනින් ඉඳගත්ත. එයාලගෙ කතාබහ මටත් ඇහුන. අනුංගෙ කතා අහන එක හොඳ නැතිවුනත් මේ කතාව මගේ හිතට ඇල්ලුව. ඒ දෙන්නගෙ කතන්දරේ තමයි මෙතන ඉඳල.

"අද බස්එකේ සෙනඟඟ නෑනේ සීට් ගානටවත්"

"මොන! ඊයෙ කොළඹ ගියපු එවුන් එද්දි රෑ දොලහත් පහුවෙලා. කොහොමෙයි අද වැඩට එන්නෙ!"

"හා උඹත් ගියාද?"

"ඔව් මාත් ගියා. හහ් හහ් හහ්... වැඩකට නෙවේ ඉතිං අපේ එවුන් යද්දි යන්නත් ඕන.... හහ් හහ් හහ් ආතල් එකටත් එක්ක ගියා... අනිත් එක මම කවදාවත් ගිහිල්ල තිබුනෙත් නෑ..."

"බස් තිබුනද යන්න එන්න?"

"ඔව්... ඇති තරං තිබුන... හැබැයි අපරාදයක් කරල තිබුනෙ... මෙහාට බස් ආවෙ කොළඹින්.... එයාල මෙහේ ඇවිල්ල අපි අරගෙන කොළඹ ගිහිල්ල ආයෙත් අපි දාන්න මෙහේ ඇවිල්ල ආයෙත් කොළඹ ගියා... ගමං හතරක්නෙ! අපි මෙහේ බස්වල කොළඹ ගිහිල්ල ආවනං ගමං දෙකයිනෙ"

"ඔව් ඉතිං තෙල් වලට විතරක් උනත් රුපියල් දහ පාලොස්දාහක් එපැයි නේ?"

"ඔව් ඒකනෙ..."

"සෙනග හිටියද?"

"සෙනග කියන්නෙ..... බස් එද්දාස් පන්සීයකින් විතර සෙනඟ ගෙනාවම හිතල බලහංකො.... "

"ග්‍රව්න්ඩ් එකේ හිටියෙ කොහොමද?"

"ග්‍රව්න්ඩ් එක ඇතුලෙ නැවතුනේ නෑ බං..... මෙහෙමයි සෙට් කරල තිබුනෙ.... එක දොරටුවකින් ඇතුල් වෙනව අනිත් එකෙන් පිටවෙනව.... නැවතුනා නං බ්ලොක් වෙනව... එච්චරට සෙනඟ... හැබැයි රැස්වීම තිබුන හරියට නං වෙනම ඇතුල් කලා.... පනස් පාරක් විතර චෙක් කරල ඇතුලට ගත්ත.... ඕකට ගියානං තාම එන්න වෙන්නෙ නැති නිසා අපි ආව බං..."

"කෑම බීම එහෙම දුන්නද?"

"හොඳට තිබුන... අපි ගියේ හයිවේ එකේ.... හයිවේ එකට 'සල්ලි ගෙවල' ගත්ත පාස් වගයක් තිබුන... බස්වලට දුන්නෙ ඒව තමයි.... මාතරින් යද්දිම දුන්න වතුර බෝතලයයි මයිලෝ එකයි රෝල් එකයි කෙසෙල් ගෙඩියයි.... කොට්ටාවෙන් දුන්න වතුර බෝතල් දෙකයි උදේ කෑම එකයි..... කොහොමහරි උදේ දවල් රෑ කෑම දුන්න.... දවල්ට ෆ්‍රයිඩ් රයිස් දුන්නෙ.... උදේ දවල් තේ වෙලාවට ෂෝටීස් දුන්න මයිලෝ එක්ක....."

"කෑම බීම සෑහෙන්න ගේන්න ඇති නේද?"

"ඔව් ඔව්.... නාමල් මහත්තය තමයි ඒව සෙට් කරල තිබුනෙ.... කොට්ටාවෙදි කැප් එකයි ටීෂර්ට් එකයි දුන්න... ඒව ඇඳගෙන පාර්ලිමේන්තු පාරෙ......(ඉතිරිය නොඇසුනි).... කොහොම උනත් එතනම ඡන්ද ලක්ෂයක් විතර තියනව.... දැං අපි ගිය බස් එකේ හිටිය අයගෙන් හයිවේ එකේ ගිහිල්ල තිබුනෙ දහයක් විතර... අනිත් අය ඇවිල්ල තිබුනෙ වැඩියෙන්ම හයිවේ එක බලන්න.... ඒ මිනිස්සු ඡන්දෙ දෙනවනේ...."

උපුටාගැනීම ඔතනින් ඉවර කරන්න වෙනව. මොකද බස් එක අද්දන්න හදනකොටම ඩ්‍රයිවර් මහත්තය එෆ්එම් එකක් ඇල්ලුව කන පැලෙන්න. වටිනා, අවංක කතාවක් මිස් උනේ මට විතරක් නෙවේ. එෆ්එම් එක දුමින්දගෙ අයියගෙ එකක්. ඒකෙ නිව්ස් වල යන්නෙ දුමින්ද සිල්ව ඇතුළු කට්ටිය මැයි දිනේ පෙළපාලි ගියහැටි. කරූ ජයසූරිය ජනාධිපතිවරණයක් ඉල්ලනවත් ජේවීපී කට්ටිය රජයේ සේවකයන් ගැන කතා කරනවත් තමයි ඇහුනෙ. ඒ අතරෙ අපේ මිත්‍රයගෙ කතාවෙ වටිනාම කොටසක් මිස් උනා.

"....... ඒව නං අනවශ්‍ය වැඩ!.... කන්න ‍ටිකක් දෙන්න වියදං කලාට නං කමක් නෑ කියමු......"[මුගෙ අම්මගෙ &^%$&^# ෂා එෆ්එම්....]

මං හිතන්නෙ මෑන් මතට තිත පොරක් වෙන්න ඕන.... අනේ අරක්කු ටිකක් බොන කටකිනුත් මේ කතාව අහන්න තිබුනනං.....