Monday, January 27, 2014

එහෙම නෙවේ මෙහෙමයි බොග දාන්නේ....... [මාතලන්, ගනු කඩුව! එනු සටනට!]

බොග දාන්නෙ කොහොමද කියල බොග වැලක්ම මාතලන් මේ දවස්වල දාගෙන යනව. දැනටම දෙකක් දාල. මාත් දැං බැලුවෙ. 2010 විතර බ්ලොග් කියවපු කාලෙ මටත් ප්‍රශ්නයක් තිබුන බ්ලොග් එකක් පටන් ගන්නෙ කොහොමද කියල. ඒ ගැන සිංහලෙන් ලියවිච්ච ලිපියක් දැකලයි මාත් එකක් හදාගත්තෙ. ඒ ගැන කතාව ඇති. මේ හදන්නෙ සිංහල අකුරු කෙටිල්ල ගැන මාතලන්ගෙ පළමුවැනි ලිපියෙ කියල තියන දේකට වලියක් අදින්න. පැම්පස් සින්ඩියෙ අඟල් දෙකක් විතර පළල තීරුවක ලිවිල්ල හරි පීඩාවක්. ඒකයි මෙතන ලියන්නෙ.

මාතලන් වගේම බ්ලොග් ලියන්නන්ගෙන් හුඟ දෙනෙක් සිංහල අකුරු ටයිප් කරන්න පාව්ච්චි කරන්නෙ යුනිකෝඩ් කන්වර්ටරය. පාවිච්චිය සරළයි. උඩ කොටුවෙ සිංග්ලිෂ් වලින් ටයිප් කරද්දි පහල කොටුවෙ සිංහලෙන් වදිනව. ඊට පස්සෙ යට තියන සිංහල ටික ක්ලිප් බෝඩ් එකට අරගෙන ඕන තැනින් අලවගන්නව.

අනිත් ක්‍රමේ මගේ ක්‍රමේ! "විජේසේකර" යතුරු පුවරුව පාවිච්චි කිරිල්ල. පුරුදු වෙනකල් ටිකක් විතර වැඩේ අමාරුයි. නමුත් සිංහල ටයිප් කිරීමේ සම්මත ක්‍රමය තමයි ඒක. ඉස්සර තිබුන යතුරු ලියනය නැත්තං ටයිප්රයිටරයේ අකුරු තිබුන ආකාරයට තමයි විජේසේකර යතුරු පුවරුව තියෙන්නෙ. ‍ඕනෑම භාෂාවක අකුරු වලින් වචන හැදෙන "ක්‍රමයක්" තියනව. අන්න ඒ "ක්‍රමය" ලෙහෙසියෙන් ටයිප් කරන්න තමයි යතුරු පුවරු හැදෙන්නෙ. අන්න ඒ නිසා තමයි යතුරු පුවරුවෙ A සිට Z දක්වා පිලිවෙලින් අකුරු අමුණනව වෙනුවට Q සිට M දක්වා (අ)පිලිවෙලට අකුරු අමුණල තියෙන්නෙ. සිංහල වලදිත් වෙන්නෙ ඒ සීන් එකම තමයි.

කෙනෙකුගෙ බ්ලොග් එකක් (නැත්තං වෙන ලියමනක්) බැලුවම ඒකෙ තියන මිස්ටේක් වලින් කියන්න පුළුවන් එයා පාවිච්චි කරන්නෙ කන්වර්ටර් එකක්ද නැත්තං විජේසේකරද කියලත්. මෙන්න ක්‍රම දෙකේ වාසි අවාසි!

විජේසේකර පරිවර්තකය
ඉගනගැනීම තරමක් අමාරුය ඉගනගැනීම පහසුය(කපුටා වැනි සිංග්ලිෂ් ෆොන්ට් එකකට හුරුවූ අයෙකුට නම් ඉතා පහසුය.
අන්තර්ජාලය ඇති/නැති ඕනෑම තැනක පාවිච්චි කල හැකිය අන්තර්ජාලය අවශ්‍යයි. (අඩුම තරමින් වෙබ් පිටුවක් විදියට සේව් කරගෙන හෝ තිබිය යුතුයි)
අන්තර්ජාල (ෆේස්බුක්) චැට් කිරීම් වලට පහසුය(හහා!) චැට් කිරීම් සිංග්ලිෂ් වලින් කිරීමට සිදුවේ (නැතිනම් කොපි පේස්ට් ව්‍යායාම කලහැක)
අතරමැදදී යෙදෙන ඉංග්‍රීසි වචන එවෙලේම එක්කල හැකිය (සිංහලෙන් Blog ලිවීම) අතරමැදි ඉංග්‍රීසි වචන පසුව යෙදීමට සිදුවේ.(මඟහැරීම් සිදුවිය හැක)
කාර්යක්ෂම වේ එතරම් කාර්යක්ෂම නොවේ
ලිපියේ පළමු වාක්‍ය හතරට වැයවන යතුරු සංඛ්‍යාව 150ක් පමණ වේ. අදාල අගය 192ක් පමණ වේ.
"කතරගම" අකුරු පහකි "කතරගම" අකුරු 11කි.
වාසි වැඩිය අවාසිය

ඔහේල මොකද කියන්නෙ? අපි විජේසේකරට! විජේසේකර අපිට! (මාත් "විජේසේකර" නෙව!)



ප.ලි. බ්ලොගේට මළ මගුලක් වෙලා. පුළුවන් කෙනෙක් විසඳුමක් කියන්න.
කමෙන්ටුවකට රිප්ලයි කරන්න රිප්ලයි එක ක්ලික් කලාම හෙඩිම ලඟ තමයි නවතින්නෙ. ආයෙ මුල ඉඳල පහලට ඇවිල්ලයි කමෙන්ටුව දාන්න වෙන්නෙ. මගේ අඩවියෙ විතරක් නෙවේ. අනිත් බ්ලොග් වල කමෙන්ට් කරන්න ගියත් ඒ සරණමයි!

Thursday, January 23, 2014

වැල පොයින්ට් කවුන්සිලයට........... (Road to PC-1)

නළු නිළියන් දේශපාලනයට පැමිණීම මේ දිනවල ජනප්‍රිය මාතෘකාවකි. මේ පිළිබඳව විරුද්ධ අදහස් මෙන්ම පක්ෂ අදහස්ද දක්නට ඇත. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය නිකුත් කර ඇති නිවේදනය වැදගත්ය.
ඔවුන්ට අනුව "දීර්ඝ කාලයක් තරුණ, ශිෂ්‍ය, කාන්තා, වෘත්තීය සමිති සහ ප්‍රාදේශීය දේශපාලනයේ නිරතව සිටි අත්දැකීම් සහ දේශපාලන විනයක් සහිත පුද්ගලයින්ට නාම යෝජනා නොදෙන පක්ෂ තම නාමයෝජනා ‘ලිංගික සංකේත‘ වලින් පුරවමින් සිටියි"

නළු නිළියන්ගේ දේශපාලනය සම්පූර්ණයෙන්ම අපට ආගන්තුක නොවේ. ගාමිණි ෆොන්සේකා විජය කුමාරතුංග ආදීන් මීට පෙර ජාතික දේශපාලනයට පැමිණියහ. නමුත් අනර්කලීලා පබාලා වැනි දේශපාලනය හසරක් නොදත් පියරුබබාලාගේ ආගමනයත් සමඟ වර්ධනය වූ මේ ක්‍රියාදචාමය මේ වනවිට මුළුමනින්ම පාහේ අයහපත්ය. එය කසිප්පු කාරයන්ගේ කුඩුකාරයන්ගේ දේශපාලන ආගමනයෙන් වෙනස් නොවේ. සමහර විට ඊටත් වඩා පසුගාමීය. දේශපාලනයට පැමිණිය යුත්තේ අසුවල් කුලකයේ අයවලුන් යයි නියම කල නොහැකි වුවත් අඩුම තරමින් ඔවුන් "දේශපාලනය" යන්නවත් අවබෝධය ඇති අය වියයුතුය. එසේ නොවූ විට ඇතිවන්නේ 360ට පැමිණි පබා මෙන් ඇඹරීම්ය, සිතූ ලෙස පිල් මාරු කිරීම්ය, දැඩි අකාර්යක්ෂම නායකයන් බිහිවීම්ය.

මෑත කාලීන නළු නිළියන්ගේ දේශපාලන ආගමනයට හේතුව ලෙස තවත් සාධකයක් දැකිය හැකිය. එනම් මුදල් සාධකයයි. අතීතයේ මෙන් නොව මේ වනවිට සිනමා හෝ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් නිරතව සිටියවුන් අති විශාල ධනස්කන්ධයන්ට හිමිකම් ඇත්තවුන්ය. අතුපතර වැවී හතර අතට මුල් විහිදීගත් මහා දේශපාලන වෘක්ෂයන් සමඟ පොරයට වැටීමට තරම් මුදල් ඔවුන් සතුය. කවුදෝ කීවාක් මෙන් "ධනයෙන් ආඩ්‍යව ඇත්තාගේ ඊලඟ අරමුණ සපත්තු ලෙවකන්නන්ය" යන නියමයට අනුවද අවශ්‍ය නම් මෙය විස්තර කලහැක.

අවසාන වශයෙන් කිවයුත්තක් ඇත. ‍ලාංකීය දේශපාලකයන් කාලයක් තිස්සේ ඡන්ද දායකයා පරීක්ෂා කරමින් සිටී. ඒ විවිධ මුහුණු දේශපාලනයට ගෙන ඒමෙනි. ක්‍රම ක්‍රමයෙන් තත්වයෙන් බාල මුහුණු කරලියට පැමිණියද ඡන්ද දායකයාගේ ඉල්ලීම දුන්නාටත් වඩාත් "බාල" මුහුණුය. මේ ක්‍රියාදාමයේ නැවැත්ම කවදා සිදුවෙතැයි අනුමාන කල නොහැකිය. මක්නිසාද යත් තමා පරාජයට පත්වූවත් ඒ බැව් පිලිගැනීමට තරම් බුද්ධියක් ඔවුන්ට නොමැති බැවිනි.

Saturday, January 11, 2014

අන්‍තෝ ජටා බහිජටා!

නලීන් දිල්රුක්ෂ, දිනමිණ සංස්කාරකවරයා, සිටි‍යේ නින්ද අහලකවත් ඇති සීමාවක ‍නො‍වේ. ‍වෙනදාට සුවපහසු නින්ද ලැබ‍දෙන සයන‍යෙන් කිසිදු පිළිසරණක් නැත‍. අඩුම තරමින් සන්ධ්‍යා‍වේ ගත් මධුවිත පවා සුව නින්දට උපකාරයක් නැත. අන්ති‍මේදී සයනය අසල වූ ටී‍පෝ‍වේ තිබූ වතුර වීදුරුව පානය කර කලිසම් සාක්කුවක තිබූ දුම්වැටි පැකට්ටු‍වෙන් එකක් රැ‍ගෙන දල්වා‍ගෙන ‍ගෙයින් මිදුලට පිවිසි‍යේය.

"හරි! බ්‍‍‍ලොග්වලින් අහුලල හරි දාන්න ‍දෙයක් තියනව නං දානව‍කො! හැබැයි පු‍තෝ වගකීම ගන්න ‍වෙන්‍‍නෙ උඹටම තමයි! දාන්‍‍‍නෙ ‍මොනවද කියලත් උඹම තීරණය කරපං"

ප්‍රධාන කතෘ‍ගේ වදන් තවමත් ඔහු‍ගේ කන්තුල ‍දෝංකාර ‍දෙන්නට විය. භාගයක් පමණ ඉරූ දුම්වැටිය තාප්පයට ඉහලින් මාවතට විසිකර දැමූ සංස්කාරක වරයා නැවතත් සයනයට පිවිසි‍යේය. සුව නින්දක ඇතැයි සිතා සිටියද ඔහු‍ගේ භාර්යා‍තො‍මෝද සිටි‍යේ අඩ නින්‍දේය. ‍වෙනදාට මධුවිතක් ‍තොලගා පැමිණ සුව‍සේ නිඳන සැමියා‍ගේ අමුතු හැසිරීම ඇයට ප්‍ර‍හේලිකාවකි.

"ඇයි අ‍නේ? ‍මොකද ‍වෙලා ති‍යෙන්‍නෙ ඔයාට? ‍මොකද නින්ද යන්‍නෙ නැත්‍තෙ?"

"මටත් උ‍නේ මාර ප්‍රශ්නයක්‍නෙ ‍නෝ‍නේ"

"ඇයි, ‍මොකද්ද ප්‍රශ්‍‍නෙ? සර් ‍මොකුත් කිව්වද?"

"නෑ නෑ..... එයා ‍මොනව කියන්නද?"

"එ‍හෙනං..... ඇමති ‍කෙ‍නෙක්.......?"

"එයාල අපි එක්ක තරහ ‍වෙන්න අපි එයාල‍ගෙ වැඩ ‍නොකර හිටි‍යෙ කවදද?"

"එ‍හෙනං ‍මොකද්ද අ‍නේ ඔයා‍ගෙ ප්‍රශ්නෙ? ‍මො‍කෝ ආණ්ඩුව ‍පෙර‍ලෙන වගකුත් නැති එ‍කේ?"

"ඒක නං හැබෑව! ‍මේක මම විහින් දාගත්ත එකක් ‍නෝ‍නෙ"

"ඒ කිව්‍වෙ?"

"අ‍පේ අර බ්‍‍ලොග් ලියන ‍කොල්‍‍ලො ‍‍කෙල්ලො..... ඔයා දන්නව‍නේ....."

"ඔව් ඔව්.... ඔයා ලඟදිත් ගි‍හිල්ල ‍හොඳටම බීල ආ‍වෙ මොකද්ද අර බීච් පාටියක...."

"අන්න එයාල තමයි"

"ඉතිං?"

"මම ඒ ‍කොල්‍‍ලො ‍කෙල්‍‍ලො ටිකට ස‍පෝට් එකක් විදියට හැමදාම පත්ත‍රෙන් පිටුවක් බ්‍‍ලොග් ‍වෙනු‍වෙන් ‍වෙංකලා"

"දැං ‍මොකද්ද ප්‍රශ්‍‍නෙ?"

"ප්‍රශ්‍‍නෙ කියන්‍‍නෙ හාමි‍නේ මුං එ‍කෙක්වත් අ‍පේ රජ්ජුරුවන්‍‍ගෙ ‍හොඳක් ලියන එවු‍වො ‍නෙ‍වේ. ආදර කයියක් විහිළු කතාවක් ඇරුනම මුං හැම එකාලම ලියන්‍නෙ ‍ද්‍රෝහී කතා විතරයි! ‍දුරදිග ‍නොහිතා පටං ගත්තට මං කල්පනා ක‍ලේ ‍මොනවද ‍මේ‍කෙ දාන්‍න ති‍යෙන්නෙ කියල!"

Tuesday, January 7, 2014

ෂර්ලොක් හෝම්ස් අවසාන පරීක්ෂණය! The Final Investigation of SHERLOCK HOLMES

මේ බොහෝ දෙනෙකු නොදන්නා ෂර්ලොක් හෝම්ස්ගේ අවසන් පරීක්ෂණයයි. වසර ගනනාවක් පුරා ප්‍රසිද්ධියට පත් නොවූ මෙම කතාන්දරය ප්‍රසිද්ධ කිරීමට හෝම්ස්ගේ අවසරය ලැබුනද දොස්තර වොට්සන්ට එය කිසිදා කල නොහැකි විය. මේ එහි සම්පූර්ණ අසංක්ෂිප්ත පරිවර්ථනයයි.
-රාජ්

---------------------------------------------------------------------------------

රෝගීන් කිහිපදෙනාගේ වගකීම හිතවත් ආතර්ට පැවරූ මා හෝම්ස් බැලීමට බේකර් වීථියට පැමිණියෙමි. මේ වනවිට රහස් පරීක්ෂණ වලින් විශ්‍රාම ගිය වීරයා ශීත සෘතුවේ සුරුට්ටුවක් උරමින් සිටිනවා යුතුය. අස්රියකරුට පැන්ස දෙකක් දිගුකල මා හෝම්ස් හමුවීමට වේගයෙන් තරප්පු පෙළ නැඟ දොරට තට්ටු කලෙමි.

"ඇතුලට එන්න වොට්සන්, අගුල දාල නෑ" සිතූ ලෙසම සුරුට්ටුවක් උරමින් සිටි හෝම්ස් හාන්සි පුටුවෙන් නැඟී සිටියේය.

"සුභ උදෑසනක් මිත්‍රයා"

"හෝම්ස්, පැමිණියේ මා බව ඔබ දැනගත්තෙ කොහොමද?"

"ඔබ පැමිණියේ පීටර්සන්ගෙ අශ්ව කරත්තයෙන් නේද?"

"ඔව්, ඒත්......"

"මේකයි, ස්ටේෂන් එකේ තියන අශ්ව කරත්ත වලින් පීටර්සන්ගෙ අශ්වයගෙ සීනුව ටිකක් වෙනස්, ඒක හඳුනගන්න පුළුවන් ලේසියෙන්ම, නෝර්විච් පැත්තෙ ඉඳල එන කෝච්චියෙන් බහින කෙනෙකුට ඉස්සෙල්ලම මුනගැහෙන්නෙත් පීටර්සන්,..... ඔන්න නෝර්විච් පැත්තෙ ඉඳල කෝච්චියෙ ආපු කෙනෙක්, පීටර්සන්ගෙ අශ්ව කරත්තයෙන්, පෙර දැනුම්දීමකින් තොරව මාව මුනගැහෙන්න හිතාගෙන උදෙන්ම තරප්පු පෙළ නඟිනව, සපත්තුවෙ ශබ්දය අනුව නං මහත්මයෙක්, රහස් පරීක්ෂණ වැඩ වලින් විශ්‍රාම ගිය නිසා අමුත්තෙක් වෙන්නත් බෑ, වොට්සන්-මගේ මිත්‍රය- කාලෙකින් මං මුනගැහෙන්න ආවෙත් නෑ, ඉතිං මට තියන විකල්පය නිවැරදි වෙන්න සෑහෙන්න ඉඩ තියනව"

"හහ් හහ් හහ්.... පරීක්ෂණවලින් විශ්‍රාම ගත්තට හෝම්ස්ගෙ හැකියාව නං එහෙමමයි"

"වොට්සන්, අපි කෑම කන ගමන් කතා කරමු! හඩ්සන් නෝන කෑම ලැහැස්ති කරල ඇති"

"හෝම්ස් ඔබේ අන්තිම පරීක්ෂණය ලියන්න අවසර දෙන්නෙ කවද්ද?"

"වොට්සන් කැමති නම් ලියන්න, ඒත් ඒ ගැන මොනව ලියන්නද? .........කමක් නෑ වොට්සන්ගෙ කැමැත්තක්!"

---------------------------------------------------------------------------------

ඒ පසුගිය ශීත සෘතුවයි. හෝම්ස් සහ මා ශ්‍රී ලංකාවට පැමිණියේ පරීක්ෂණයක් සඳහා නොව විවේකය ගතකිරීමේ අරමුණිනි. ඇත්ත වශයෙන් කිවහොත් රහස් පරීක්ෂණයක් සඳහා මිස සංචාරයට එතරම් ප්‍රිය මනාප නොවන හෝම්ස්ගේ මෙම සංචාරක ගමන පුදුම සහගතය. ශ්‍රී ලංකාව පිළිබඳ ලිපි සහ පොත්පත් කිහිපයක් කියවීමෙන් ගමනට අවශ්‍ය අඩිතාලම දැමිනි. ශ්‍රී ලංකාවේදී යම් රහස් පරීක්ෂණ කටයුත්තක් කිරීමේ ආශාවද තිබෙන්නට ඇත.

අප ගුවන් මඟින් ලංකාවට පැමිණ කොළඹ හෝටලයක නවාතැන් ගතිමු. හෝම්ස් හා මා සතියක පමණ කාලයක් සංචාරය කල අතර පුවත්පත් වල තිබූ සොරකම් ඝාතන ආදිය ගැන හෝම්ස්ගේ උනන්දුව පෙර පරිදිම විය. මේ අතර ලංකාවේ උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ ආරාධනා කිහිපයකට සහභාගී වීමටද අපට අවස්ථාව ලැබිනි.

"වොට්සන්, මෙහේ අපරාධ එච්චර සංකීර්ණ නෑ, නමුත් අපරාධකරුවන්ගේ ජාලය හරිම සංකීර්ණයි, විසඳීම අපහසුයි"

"ඒ කියන්නෙ හෝම්ස්?...."

"වොට්සන්ට මතක ඇතිනේ මොරියාටි, මොරියාටි නීතියෙන් කොටුකරගන්න අවුරුදු ගානක් ගියා. ඔහුගේ සිවිල් බලයත්, ඔහු වටා සිටි අපරාධකරුවන් අධික සංඛ්‍යාවත් නිසා කෙලින්ම ඔහු හසුකරගැනීම දුෂ්කර උනා. අන්තිමට ඔහු දිය ඇල්ලෙන් තල්ලු කරල දාන්නයි මට සිදුවුනේ"

"සර් ඔබතුමා මුනගැහෙන්න කෙනෙක් ඇවිල්ල ඉන්නව"

හෝටල් සේවකයෙකු අමුත්තෙකු කැඳවාගෙන පැමිණි අතර තවත් අපරාධ පරීක්ෂණයක ලකුණු ඉවෙන් මෙන් මට දැනෙන්නට විය. පැමිණි අමුත්තා අනාරාධිතවම කතා කිරීමට විය,

"හෝම්ස් මහත්තයා ඔබතුමා මේ උදව්ව කරන්නම ඕන.... මෙහේ පොලිසියට කියල වැඩක් නෑ..... උං&%*&*^ ......"

"හරි ඉලන්දාරියා....... මෙහෙන් වාඩි වෙන්න.... කියන්න ඔබේ ප්‍රශ්නය මුල ඉඳල" පැමිණ සිටියේ තරුණයෙකි. ඔහුගේ වයස විසි පහක් තිහක් පමණ වෙතැයි සිතිය හැකි විය.

"හෝම්ස් මහත්තයා දවස් දෙකකට ඉස්සෙල්ල මගේ තාත්ත මැරුව.... පොලිසියෙන් මොකුත් කරල නෑ මේ වෙනකල්....."

"බොහොම කණගාටුයි මහත්මයා...... කවුද ඔබේ පියාගේ ඝාතකයා.... කතාව මුල ඉඳල කියන්න"

"මගේ තාත්ත ව්‍යාපාරිකයෙක්. අමාරුවෙන් දියුණු වුන කෙනෙක්. අපේ නගරෙ ඔය තත්වෙට දියුණු උනේ තාත්තගෙ ව්‍යාපාර නිසා.... මෑතක ඉඳල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්න කල්ලියක් බිහිවුනා. හැම කෙනෙක්ම කප්පම් දීල තමයි පන බේරගෙන හිටියෙ. තාත්ත ව්‍යාපාර වලින් කප්පම් ගෙව්වෙ නැති නිසයි එයාට මැරෙන්න සිදුවුනේ............................................................................................................................................................................................................"

"කවුද කප්පම් ගන්නෙ?"

"ගොක්කොල සිරී! (see the link) ඌ තමයි මෙහේ පාතාල නායකය!"

---------------------------------------------------------------------------------

එදිනම අප පිටත් වූයේ මිනීමැරුම සිදුවූ ස්ථානයටය. පුදුමයකට මෙන්, ඝාතනය සිදුවීමෙන් ගතවී තිබුනේ දින දෙකක් පමණක් වුවද අපරාධයක් සිදුවූ ස්ථානයක් යැයි කිව නොහැකි තරම් සාමාන්‍ය තත්වයට පත්වී තිබුනි.

"මෙතන විනාශ කරල වොට්සන්, මම හිතන්නෙ නෑ අපිට වැදගත් තොරතුරක් හොයාගන්න පුළුවන් වේවි කියල!" හාත්පස බලමින් හෝම්ස් පැවසීය. මේ සමඟම හෝම්ස්ගේ ඉල්ලීම පරිදි, ප්‍රදේශය අයත් පොලිස් ස්ථානයෙන් එවන ලද නිලධාරීන් දෙදෙනාද පැමිණියහ.

"සර්, මම සාජන් පෙරේර! මේ පීසී ගුණතිලක! අපේ සර් තමයි එව්වෙ, ඔබතුමාට ඕන උදව්වක් කියන්න....."

"හ්ම්....... පෙරේරා..... ඇයි මෙතන මිනීමැරුමක් වෙලත් ලේ පාරක්වත් නැත්තෙ?" හෝම්ස් විමසීය. එකෙනෙහිම පිළිතුරු ලැබුනේ ගුණතිලකගෙනි,

"සර්,.... පැය දෙකක් විතර ගියාට පස්සෙ ඔතන හෝදල දැම්ම! ඒකයි....."

"මොනව! හේදුව? ඔහේලට පිස්සුද? අපරාධයක් වෙච්ච ස්ථානයක තියන සාක්ෂි හෝඩුවාවල් ඔක්කොම විනාශ වෙනවනෙ මනුස්සයෝ!" හෝම්ස්ගේ කටහ‍ඬෙහි තිබුනේ කෝපයකි.

"ඕක මොකද්ද සර්, ජනාධිපති කෙනෙක් පාර මැද්දෙ මරල දාපු වෙලාවෙත් හෝදන්න කලින් තිබුනෙ පැය බාගයයි සර්!"

"මෙහෙමත් බූරුවො!" මට කියවුනේ මවුබසින් වීම භාග්‍යකි! ස්ථානීය පරීක්ෂාව අත්හැර දැමූ හෝම්ස් අවට ප්‍රදේශය පරීක්ෂා කිරීමට විය.

"ධනවර්ධන මුදලාලි වාහනෙන් බහිනකොටම තමයි බයික් එකේ ආපු, මූන වහගත් දෙන්න වෙඩිතියල තියෙන්නෙ.... නමුත් කවුරුහරි කෙනෙක් ඔත්තුවක් දෙන්න ඇති වොට්සන්!"

"හරි! මේ තියෙන්නෙ තැන.... මෙතන කිහිප දෙනෙක් ඉඳල තියනව.... මේ තියෙන්නෙ එයාල බීපු සිගරට් කොට.....බීපු ප්‍රමාණය අනුව නම් සෑහෙන්න වෙලාවක් ඔත්තුකාරය මෙතන ඉඳල තියනව වොට්සන්...." එහෙත් ලාංකීය නිලධාරියා බාධා කලේය,

"සර්.... මේ හරියෙ ඉන්න කොල්ලො කුරුට්ටො අන්න අර කඩෙන් ගන්න සිගරට් බොන්නෙ මෙතන.... ඒකයි මෙච්චර සිගරට් කොට තියෙන්නෙ..... නැතුව ඔත්තුකාරයගෙ වැඩක් වෙන්න බෑ.... නේද සර්?"

"ඒක එහෙම නං ඒ පැත්ත ගැන වෙහෙසෙන එකත් වැඩක් නෑ වොට්සන්"

"ඔව් සර්..... ලංකාවෙ හැටි ඔහොම තමයි.... අනෙක ඔතන තාප්පෙ ගහල තියෙන්නෙ දුම්බීම තහණම් කියල..... ඒ තැන්වල තමයි සිගරට් බොන්නෙ....."

"හ්ම්! "

පොලිස් නිලධාරීන් දෙදෙනා පිටත්කල හෝම්ස් මා කැටුව "සිගරට්" කඩයට පැමිණියෙමි.

"අපි බලමු වොට්සන් මෙතනින් හෝඩුවාවක් හොයාගන්න පුළුවන්ද කියල!"

එහෙත් අවසානයේ එයද අසාර්ථක විය. හේතුව කිසිවෙකු ගොක්කොල සිරීට විරුද්ධව කිසිවක් නොපැවසීම බැව් සිතාගැනීම අපහසු නොවීය. අප නැවතත් හෝටලයට පැමිණියෙමු. සවස් කාලයේ යලිත් අමුත්තෙකු පැමිණ ඇති බැව් සේවකයා විසින් දන්වන ලදී,

"වයසක ගෑණු කෙනෙක් සර්.... යන්න කියන්නද?" සේවකයා විමසීය.

"එපා එවන්න,...... බලමු වොට්සන් ඒ ගමන මොකද වෙන්නෙ කියල!"

පර්දාවකින් වසාගත් හිස පහතට නැඹුරු කරගත් ඕ යන්තමින් හිස එසවීය, පුදුමයකි! ඇය රූමත් තරුණියකි.....

"හෝම්ස් මහත්තයා.... කරුණාකර ඔබතුමා කරන පරීක්ෂණය වහාම නවත්වන්න..... රහස් පරීක්ෂණ කරන්න ලංකාව හොඳ රටක් නෙවේ.... අන්තිමට ඔබතුමත් අපරාධකාරයෙක් වෙන්න පුළුවන්.... නැත්තං දෑත් ශක්තිමත් කරන්න යන්නත් පුළුවන්.....මම යනව මෙන්න මගේ කාඩ් එක!"

"මේ මොකද වෙන්නෙ වොට්සන්! එක අතකට ඒ කාන්තාව කියපු කතාව ඇත්ත කියලත් මට හිතෙනව, හැබෑටම බලන්න ඔය කාඩ්පත, ඇයගේ නමවත් බලාගන්න!" මා කාඩ්පත බැලීමි,

"නදීෂා හේමමාලි" යනුවෙන් නමක්ද ලිපිනයක්ද දුරකතන අංකයක්ද එහි විය.

"වොට්සන්, මේ ගොක්කොල සිරී කියන පාතාල නායකයට සෑහෙන්න සම්බන්ධකම් ඇති! ඒකයි අපිට අනතුරු ඇඟවීමක් ලැබුනෙ.... දැන් මේ ගැන මගේ උනන්දුව එන්න එන්නම වැඩි වෙනව වොට්සන්. අපි හෙට ආයෙත් යන්න ඕන මරණය සිදුවූ ස්ථානයට"

---------------------------------------------------------------------------------

පසුදින උදෑසන ආහාරය සඳහා පිටත් වීමට මත්තෙන් හෝටල් සේවකයා විසින් කාමරයට ගෙනදුන් පුවත්පත් පෙරලමින් සිටියේ හෝම්ස් සූදානම්වන තෙක්ය. එක්තරා පුවතකට මගේ අවධානය යොමුවිය,

"හෝම්ස් මෙන්න ඔබට වැදගත් ප්‍රවෘත්තියක්! පොලිස් නිලධාරියෙකුගේ ඝාතනයක්! සැකකරුව ගොක්කොල සිරී!" බාගෙට අඳිමින් සිටි හෝම්ස් ක්ෂණිකව පැමිණියේය.

"කියවන්න වොට්සන්....."

පොලිස් නිලධාරියෙකු ඝාතනය කරයි!
"වැල්ලවත්ත පොලිසියේ සේවය කල පොලිස් සැරයන් පියතිලක මහතා ඊයේ රාත්‍රී නිවසේ සිටියදී කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇත....ඝාතකයා ගොක්කොල සිරී බව සැක කරන...."

"ඇති වොට්සන්.... අපි දැන්ම යමු..... තාම ගෙදර හෝදන්න නැතුව ඇති"

පැය භාගයක් ඇතුලත හෝම්සුත් මමත් පොලිස් නිලධාරියාගේ නිවසට ලඟාවිය. හෝම්ස්ගේ නම, ඒ වනවිටත් පොලිස් ආරක්ෂාව යොදා තිබූ නිවසට ඇතුළු වීමට තරම් බලවත් විය. විශාල වශයෙන් පැමිණ සිටි රූපවාහිනී මාධ්‍යවේදීන්, හඬමින් සිටි පොලිස් නිලධාරියාගේ භාර්යාව සහ දරුවන්ගේ විස්තර ලබාගැනීමට උත්සාහ කිරීම නිසා ඔවුන් සමඟ කතාබහ කිරීමේ අවකාශය මඟහැරිනි. කෙසේ වෙතත් පැයක පමණ පරීක්ෂණ කටයුතු වලින් පසු හෝම්ස් සෑහීමකට පත්වූ අයුරක් දිස්විය.

"වොට්සන් අපි යමු. සමහර විට උදේ ආහාරය තාම ඇති!"

එන ගමනේදීද කිසිවක් නොපැවසූ හෝම්ස් නිහඬව ආහාර ගත්තේය. කාමරයට පැමිණ සුරුට්ටුවක් දල්වාගත් හෝම්ස් ඉන් අඩක් පමණ අවසන් කර කටහඬ අවධි කලේය.

"වොට්සන්, ගොක්කොල සිරී අල්ලගන්න තරම් සාක්ෂි මට තියනව කියලයි හිතෙන්නෙ....බලමු! ලංකාවෙ පොලීසියට මොකද කරන්න පුළුවන් කියල! හෙට හවස අපි යනව ගොක්කොල සිරි අල්ලන්න!"

එදින සන්ධ්‍යා භාගයේ චිත්‍රපටයක් නැරඹු අප කාමරයට පැමිණෙන විට රාත්‍රී දහය පමණ විය. ඒ සමඟම කාමරයට පැමිණි හෝටල් සේවකයා යම් පාර්සලයක් හෝම්ස් වෙත දිගු කලේය.

"සර්, පොලීසියෙ මහත්තයෙක් ඇවිල්ල මේක හෝම්ස් මහත්තයට ‍දෙන්න කිව්ව" පාර්සලය හෝම්ස්ට දුන් සේවකයා පිටත් විය.

"වොට්සන්, ලංකාවෙ අපරාධ සිද්ධි සම්බන්ධ පුවත්පත් වාර්තා ටිකක් ලබාදෙන්න කියල මම අර පොලිස් අධිකාරී කෝන්ගොඩ වික්‍රමපාල මහත්තයට කිව්වනෙ.... අන්න ඒ ටික තමයි මේ.... වොට්සන් නිදාගන්න.... මම මේ ටික කියවන්න ඕන...."

"එහෙනං සුභ රාත්‍රියක් හෝම්ස්"

"සුභ රාත්‍රියක් මිත්‍රයා"

---------------------------------------------------------------------------------

පසුදින අවදිවූ මා හෝම්ස්ට කලින් සූදානම් වීමට සිතුවද ඒ වනවිටත් හෝම්ස් කලබලයෙන් මෙන් ලැහැස්ති වෙමින් සිටියේය.

"වොට්සන් ඉක්මන් කරන්න.... පරක්කු වෙන්න වෙලාවක් නෑ.... දැන්ම ගියොත් විතරයි අපිට ගොක්කොල සිරී පන පිටින් අල්ලගන්න පුළුවන් වෙන්නෙ...." කඩිනමින් සූදානම් වූ මා හෝම්ස් සමඟ ටැක්සියක නැඟගත්තෙමි.

"ඇයි හෝම්ස්? ඔබ කලින් කිව්වෙ හවස යනව කියල නේද?"

"ඔව් වොට්සන්..... නමුත් ඊයෙ රෑ තුන වෙනකල් අර පත්තර වාර්තා කියවපු මට තේරුනා ගොක්කොල සිරි අල්ලගන්නව නං උදේම යායුතුයි කියල.... නැත්තං අපි පරක්කු වැඩි වෙන්න පුළුවන්!..... වොට්සන්ට මතක ඇති අපි වෙනදට මෙහෙම කඩිනමින් යන්නෙ අපරාධ කාරයෙකුගෙන් අහිංසකයෙක් ‍බේරගන්න..... අද යන්නෙ අපරාධ කාරයෙක් ඊට වඩා අපරාධ කාරයෙකුගෙන් බේරගන්න......"

"ඒ කිව්වෙ හෝම්ස්?"

"යමුකො..... ඩ්‍රයිවර් මහත්තා ටිකක් ඉක්මන් කරන්න"

අප ගොක්කොල සිරිගේ නිවසට යන විට එහි සෙනඟ ටික දෙනෙකු රැස්වී සිටියේය.

"වොට්සන් අපි පරක්කු වැඩියි....."

"ඇයි හෝම්ස් මොකද වෙලා තියෙන්නෙ මට මොකුත් තේරෙන්නෙ නෑ"

"ආපහු යමු වොට්සන්..... කෙලින්ම හෝටලයට....එතනින් එංගලන්තයට......!"

---------------------------------------------------------------------------------

හෝටලයට පැමිණ ලැහැස්ති වූ අප ලන්ඩන් බලා පියාසර කරන ගුවන් යානයට ගොඩවී අසුන්ගන්නා තෙක් හෝම්ස් සිටියේ නිහඬවය.

"වොට්සන්.... මම තීරණය කලා රහස් පරීක්ෂණ කටයුතු වලින් විශ්‍රාම ගන්න!"

"මොනව.....!" මට කියාගතහැකි වූයේ එපමණය. වසර ගනනාවක් තිස්සේ දිවා රෑ නොබලා හෝම්ස් සමඟ කල පරීක්ෂණ සිතුවම් පටයක් සේ මගේ මනසෙහි ඇ‍ඳෙන්නට විය. එහෙත් රහස් පරීක්ෂණ නැවැත්වීමට තරම් කලකිරීමක් ඇතිවීමට තරම් සිත් වේදනාවක් හෝම්ස්ට ඇතිවීම මවිතයට හේතුවිය.

"ලෝකයේ එක පැත්තක මේ වගේ දේවල් සිදුවෙද්දි එංගලන්තෙ ඉඳගෙන රහස් පරීක්ෂණ කටයුතු කරන්නත් මට එපාවුනා වොට්සන්..... එදා ගොක්කොල සිරී අත්අඩංගුවට ගන්න තරම් ප්‍රබල සාක්ෂි මම පොලිස් නිලධාරියාගේ නිවසින් සොයාගත්ත.... නමුත් අර පත්තර වාර්තා වල හැටියට නං මේ වෙද්දි ගොක්කොල සිරී ජීවතුන් අතර නෑ!"

---------------------------------------------------------------------------------

බේකර් වීථියේ නවාතැනට පැමිණි අප ගමන් විඩාව මඟහැරෙන තෙක් නිඳාගතිමු! පසුදින උදෑසනින් අවදි වූ හෝම්ස් ළමයෙකුට පැන්ස දෙකක් දී ලංකාවේ පුවත්පත් කිහිපයක් ගෙන්වාගත්තේය.

"බලන්න වොට්සන්.... මගේ අනුමානය හරියට හරි! බලන්න මේ ප්‍රවෘත්තිය"

"දින දෙකකට පෙර වැල්ලවත්ත පොලිස් නිලධාරී ඝාතනයේ සැකකරු වූ සෙත්සිරිගම සිරිමල් හෙවත් ගොක්කොල සිරී ඊයේ පොලිස් වෙඩි පහරින් මියගියේය. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහු ආයුධ කිහිපයක් සඟවා තිබූ ස්ථානයක් පෙන්වීමට ගොස්, එහි තිබූ තුවක්කුවක් රැගෙන පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තැබූ අවස්ථාවේ ආත්මාරක්ෂාව සඳහා පොලිසිය තැබූ වෙඩි පහරින් තුවාල ලබා කොලඹ මහ රෝහලේදී මියගියේය. සිද්ධියෙන් කම්පණයට පත් පොලිස් නිලධාරියෙකුද මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබයි. මේ අතර ගොක්කොල සිරී මියයාම හේතුවෙන් ඔහු නිසා පීඩාවට පත්වූ ගම්වැසියන් මාර්ගය පුරා රැස්වී කිරිබත් පිස කමින් ප්‍රීති වන අයුරු දක්නට ලැබීය......."

"වොට්සන් මේ සිදුවීම ලියන්න ඔබට අවසර නෑ!"

---------------------------------------------------------------------------------

"ශ්‍රී ලංකාවෙ සංචාරයෙන් නං හොඳක් උනේ නෑ නේද හෝම්ස්?"

"නැත්තෙත් නෑ.... එදා එද්දි ගෙනාපු කේජී ටිකක් තාම තියනව වොට්සන්!" පයිප්පයට මොනවාදෝ ඇතුළු කරමින් හෝම්ස් කීවේය.

Monday, January 6, 2014

ඔරුවේ ගිය මහාචාර්යතුමා හෙවත් මගේ නොවන මගේම චූටි කතාවක්.

ඉස්සර ශ්‍රී සඟරාවක තිබුන කතාවක් තමයි මේ.

ඔන්න මහාචාර්යවරයෙක් ගමනක් යන අතර මඟ ගඟකින් එතෙර වෙන්නත් තිබුන. ගං ඉවුරේ තිබුන ඔරුවකට ගොඩවෙලා ගමන යන අතරෙ තොටිය එක්ක කතාවට ආව.

මහාචාර්යතුමා: තමුසෙ දන්නවද භෞතික විද්‍යාව ගැන?

තොටිය : නෑ සර්!

මහාචාර්යතුමා: මෝඩයෙක්නෙ!... එහෙනං රසායන විද්‍යාව?

තොටිය : ඒත් නෑ සර්!

මහාචාර්යතුමා: මැටි මෝලෙක්කෙ!.... ගණිතය එහෙම නැත්තං දර්ශනය?

තොටිය : අනේ මං ඕව ගැන දන්නෙ නෑ සර්!

මහාචාර්යතුමා: චැහ්: පොල් බූරුවෙක්නෙ!

මේ අතරෙ එකපාරටම ඔරුව පෙරලුනා....

තොටිය : සර් පීනන්න දන්නවද?

මහාචාර්යතුමා: නෑ ඕයි?

තොටිය : එහෙනං අර කියපුවයින් බලන්න බේරෙන්න පුළුවන්ද කියල!

එහෙම කියපු තොටිය ඉවුර බලා පීනන්න උනා.

----------------------------------------------
දෙවනි කතාවෙත්-මගේ වර්ෂන් එකෙත්- මුල ඔය විදියටම සිද්ධවෙනව.

මහාචාර්යතුමා: තමුසෙ දන්නවද ලැකාන් ගැන?

තොටිය : නෑ සර්!

මහාචාර්යතුමා: එහෙනං ජිජැක්?

තොටිය : ඒත් නෑ සර්!

මහාචාර්යතුමා: අඩුගානෙ දීප්ති ගැන?

තොටිය : අනේ මං දන්නෙ නෑ සර්!

ඉතුරු ටික මුලින් විදියටමයි.

වමේ සමහර වෙබ් අඩවි කියවද්දි මට හිතුනෙ එහෙමයි.

----------------------------------------------
ෂර්ලොක් හෝම්ස්ගේ අවසාන රහස් පරීක්ෂණය කියවන්න ඕන නං හරියටම හෙට උදේ 8ට මේ පැත්තෙ එන්න වෙයි.

Wednesday, January 1, 2014

සුභ අලුත් අවුරුද්දක් වේවා!

සිංහල බ්ලොග් අවකාශයේ සියළුම ලියන්නන්ට හා කියවන්නන්ට සුභ අලුත් අවුරුද්දක් වේවා!