Thursday, October 31, 2013

හේන් ගොවිතැන සහ මගේ මතක.

"ඔය තිස්ස පාර දිගට තියන, දැන් පර්චස් ගනනට කඩල විකුණන ඉඩම් ඒකාලෙ නිකංම අයිති කරගන්න තිබුන, ගෙයක් හදාගෙන පදිංචි වෙන්න කෙනෙක් හිටියෙ නෑ!" තාත්ත කියනව. "ඉතිං තාත්තල ඇයි ඒ ඉඩමක් දෙකක් අල්ලගත්තෙ නැත්තෙ? අපරාදෙනෙ දැං තිබුනනං කීයක් වටිනවද" මම අහනව. "ඒ කාලෙ අපි බැලුවෙ හොඳට හේන් කරන්න පුළුවන්, සරුසාර පස් තියන පොලවක්. ඉතිං අපි පාරෙන් ඇතුලට ආව". "අපරාදෙ තාත්තේ,.... හේන් කෙටුව කියල මොනවද ලැබුනෙ?"තාත්ත නිස්සද්දයි. මම ගෙදරින් එලියට බැහැල වෙල්යාය ලඟට ආව. හේන් කෙටුවෙ අපරාදෙ කියල තාත්තට කිව්වෙ අපරාදෙ!

මගේ හිත අවුරුදු ගනනාවක් ඈතට දුවනව. ඒකාලෙ තාත්ත හේන් කරනව කියන්නෙ මගෙත් හොඳම කාලෙ. ඔන්න ජූලි මාසෙ විතර කැති පොරව ආදිය කම්මලට ගෙනියල මුවහත් කරගෙන එනව. සමහර වෙලාවට මේ වැඩේ කරගන්න තාත්තටත් පුළුවන්. ඒක කරන්නෙ පොල්කටු අඟුරු වල ආයුධ දාල රත්කරල හෙමින් ‍නිවෙන්න හැරල පීරෙන් මුවහත් තියනව. නැත්තං තලල කියල ඇද ඇරලත් ගන්නව. එහෙම හදාගත්ත ආයුදේ ආයෙත් සැරයක් රත් කරල එකසැරේටම වතුර එකක ඔබනව. ඒකට කියන්නෙ "පන තියනව" කියල. මම මේ කාර්යටත් දායක වෙන්නෙ බොහෝම සතුටින්. මෙතනදි මටත් පැවරුන කාර්යක් තියනව. මයිනහමක් නැති තාත්තගෙ කම්මලේ මයිනහම වෙන්නෙ සිමෙන්ති බෑග් එකක කට දෙපැත්තට ලී පටි දෙකක් සවිකරල, විරුද්ධ පැත්තෙ මුල්ලකින් සිදුරක් හදල ඒකට යකඩ බටයක් බැඳල හදාගත්ත උපකරණයක්. බෑග් එක ඇතුලට වාතය එන විදියට ඒක දිගහරිනව. ඊට පස්සෙ ලී පටි දෙක එකට තද කරල හොඳින් කට වහල බෑග් එක පහලට තද කරනව. එතකොට ඇතුලෙ හිරවෙච්ච වායුව බටය දිගේ අඟුරු වලට ගිහිල්ල ඒක රත් වෙනව. මේ වැඩේ සෑම වෙලාවකම හරියන්නෙ නෑ. වෘත්තීය කම්මල්කාරයෙක් නොවුන තාත්තගෙ වැඩ අවසානයේ නවතින්නෙ ගමේ කම්මලට වැඩ වැඩිකිරීමෙන්.

කොහොම කොහොම හරි හදාගත්ත ආයුධ අරගෙන ඊලඟට කරන්නෙ හේන කැපීම. මේකට තාත්තල කිව්වෙ "වල් කෙටීම", නැත්තං "වල් කැපීම" කියල. ඒ කියන්නෙ මනුස්සයෙක් වගේ දෙගුණයක් විතර උසට වැවී තියන විවිධාකාර ගස් වර්ගත් ඒවායේ එතී තියන වැල් ජාතිත් එක්ක ඔට්ටු වෙනව කියන්නෙ ලේසි පාසු කටයුත්තක් නෙවේ. හෑම ගහකම වැලකම මුල හොයාගෙන මුලින්ම කපල දාල ඒ කපපු ගහ නැත්තං වැල පොලවට තද වෙන්න පාගන්න ඕන. නැත්නම් ගිනි තියන්න අමාරුයි. වැවිල තියන ගස් වැල් බහුතරයක් කටු සහිත ගස්වැල්. ඒ නිසා වැඩේ තවත් අමාරුයි. කොහොම උනත් මේ වැඩේට ඕනකරන පාවහන් දෙකක් නං තාත්ත හදාගන්නව. ඒකට කියන්නෙ "වානහං" කියල. හොඳට වියලුනු හරක් හමකින් කපාගත්ත කොටසක් දෙකට නවාගෙන රබර් සෙරෙප්පු දෙකක පටි තියන ආකාරයට රෙදි නූලක් දාගන්නව. වල් කපන්න යන්නෙ මේව දාගෙන තමයි. ඕන කටු ජාතියකට ඔරොත්තු දෙනව වගේම කැපීගිය ගස්වල ඉතිරි වුන තියුණු මුල් වලිනුත් දෙපා ආරක්ෂා වෙන්නෙ මේ වානහං දෙකෙන් තමයි.

වල් කෙටිල්ල සම්පූර්ණයෙන් ඉවරවුනාට පස්සෙ සතියක් විතර වියලීමට ඉඩහැරල පුච්චන්න පටන් ගන්නව. කුඹුරෙන් ගේන ගෝනි පහකක හයක පිදුරු දාල, හුලඟ හමන අත බලල, ගිනි තියන්න සුදුසු තැන් කිහිපයක් හදනව. මේකට කිව්වෙ "මැල මූන" කියල. මූනට ගිනි තැබුවට පස්සෙ හුලඟ හොඳ උනොත් හොඳට පිච්චෙනව. හොඳට පිච්චීම සුභ ලකුණක් විදියට තමයි තාත්තල සැලකුවෙ. සීයට අසූවක් අනූවක් එකසැරෙන් පිච්චෙනව නං හොඳයි. නැත්තං එහෙන් මෙහෙන් පිච්චිලා ඉතිරිවුන ගස් වැල් ගොඩවල් ගහල ආයෙත් පුච්චන්න ඕන. මේක නං හරිම කරදර වැඩක්. හේන් පුච්චන්න තෝරාගන්නෙ අගෝස්තු මාසය. අගෝස්තු පෑවුම සැරයි වගේම ඉරත් සැරයි. වැඩේ ලේසියි. ඒත් සමහර කාල වලට අගෝස්තු වලත් අකල් වැහි වහිනව. එතකොට කකුලෙ තියන, හරක් හමෙන් හදපු වානහං ලිස්සන්න ගන්නව, ගඳගහනව. මේ අකල් වැස්සට කියන්නෙ "වාහහං කුණුවෙන වැස්ස" කියල.

හේන පුච්චල ඉවරවුනාම අම්මට තමයි වැඩ තියෙන්නෙ. බාගෙට පිච්චිලා කලුවෙලා ගිය දර එකතුකිරීම ගෑනුන්ගෙ වැඩක්. මේ දර තමයි අවුරුද්ද පුරාම ගෙදර ලිපේ පිච්චෙන්නෙ. සමහර වෙලාවට කැලේ හැංගිලා ඉන්න මී මින්නෙක් හාවෙක් වගේ සතුන් ගින්නට අහුවෙලා පිච්චෙනව. එයින් දඩමස් වේලකුත් ලැබෙනව.

සම්පූර්ණයෙන්ම ශුද්ධ කරගත් හේන වැපිරීම තමයි ඊලඟ කාර්ය. මේක කරන්නෙ වැස්ස පටන් ගන්න සතියකට විතර කලින්. මුට්ටියකට අරගෙන එන කුරහං, තන,... වගේ ධාන්‍ය වර්ග නිරුවත් පොලවට ඉසිනව. ඊට පස්සෙ උදැල්ලෙන් පස බුරුල් කරමින් ඉස්සරහට යනව. මේ වැඩ කෙරුනෙ කිහිපදෙනෙකුගෙ එකතුවෙන්. එක්කෙනෙකුට අඩි දහයක් විතර පළල වපසරියක් ඇතිව වේගයෙන් උදළුගාමින් ඉස්සරහට යනව බලන්න ලස්සනයි. මේ වැඩේ ඉවර වෙද්දි වර්ෂාව පටන් අරගෙන. වැස්සට පෙඟුන පොලවෙ තියන ඇට පැලවෙන්න ගන්නව. සතියක් විතර යද්දි කොල පාටින් රෙද්දක් වැනුව වගේ. මේ අතරෙ අමුත්තො පිරිසකුත් ඉන්නව. කැලේ තිබිල පිච්චෙද්දි බිමට වැටුන කරවිල ඇට තුඹ ඇට ආයෙත් පැල වෙලා.

එච්චර අවශ්‍යතාවයක් නැතත් මගේ ඉල්ලීමට තාත්ත හේනෙ පැලක් හදනව. හේනක් තියනව නං පැලක් තියෙන්නම එපැයි. මට ඒ කාලෙ හිතුනෙ එහෙමයි. පැලේ ඉඳි පීලි මැස්ස උඩ ඉන්නව තරම් සනීපයක් සුවපහසු යහනාවක වත් තියනවද කියල සැකයි. ගෙදරදි අම්ම පෙරැත්ත කරලත් කන්නෙ නැති කෑම පැලේදි නං මෙහෙ කරනකොට ඉවරයි...........

ඒ වගේ කාලයක් ආයෙ නං එන්නෙ නෑ. හේන් කරන්න සුදුසු තරමට අවුරුදු ගානක් නොඉඳුල් පොලවක් දැං මෙහේ හොයාගන්න බෑ. එහෙම තිබුනත් කුරහන් සුද්ද කරල ගන්න තරං හැකියාවක් තියන ගෑනුත් නෑ නොවැ. ඔක්කෝමත් හරි තලප ටිකක් පිට්ටු ටිකක් කන එකෙක් හොයාගන්නත් බෑ! ඔක්කෝම මතක විතරයි.

Saturday, October 19, 2013

ලාංකීය බුද්ධි හීනයන්ට අයිරාංගනී සේරසිංහගෙන්.........

සාමාන්‍යයෙන් යම්කිසි කරුණක් සාධනය කිරීම සඳහා ක්‍රමවේදයක් ඇත. මේ වනවිටද සත්‍ය යයි සහතික කරගෙන ඇති යම් යම් ප්‍රත්‍යක්ෂ උපයෝගී කරගනිමින් එය සිදුකරනු ලබයි. මෙම ක්‍රමවේදයන් බොහෝවිට නිවැරදිවම භාවිතා වන්නේ විද්‍යාවේදීය ගණිතයේදීය. සාමාන්‍ය ව්‍යවහාරයේද මෙවන් සාධනයන් දක්නට ඇත. ඒවා නිවැරදි මෙන්ම නිවැරදි නොවන අවස්ථාද ඇත. උදාහරණයක් ලෙස වීජ ගණිතයේ දෙපස ඇති සමාන අවයවයන් ඉවත් කිරීමේ ක්‍රමවේදය යොදාගනිමින් අඩක් ඇරුනු දොර සමානයි අඩක් වැසුනු දොර නම් ඇරුන සමානයි වැසුනා යන්න පෙන්වීම වැනි දෑ ගත හැකිය. බොහෝ විට දේශපාලන කාරණාවල ඕනෑකමට සිදුකරන මෙවැනි සාධනයන් දක්නට ලැබේ.

Rear gate බ්ලොග් රචක චාමි සෑම් වරක් ෆේස්බුක්හි පලකල කතාවකි මේ.

වතාවක් එක්තරා හාමුදුරුනමක් සමග කතාකරමින් සිටින විට උන් වහන්සේ තමුන්ගේ දායකයෙකුට වී ඇති විපතක් ගැන කීහ. එනම් එක්තරා දායක මහතෙකුට දේව වරමක් ලැබී ඇති බවත්, ඔහු උන්හිටි ගමන් ආවේශ වන බවත්, මෙය විවිධ ශාන්තිකර්ම මගින් සුවකර ගැනීම සඳහා උන්වහන්සේද බෙහෝ කරදර වන බවත්ය.

මා ඒ අවස්ථාවේදී උන් වහන්සේට කිව්වේ මෙයට එතරම් කරදර විය යුතු නැති අතර මා දන්නා එක්තරා මනෝ වෛද්‍යවරයෙකු නිකමට හමුවී බලමු කියාය. මදක් කල්පනා කල උන්වහන්සේගේ ප්‍රතිචාරය මෙවැන්නක් විය.

"ම්ම්ම්..... ලෝකයේ පහළ වුනු ශ්‍රේෂ්ඨම මනෝ විද්‍යාඥයා බුදුහාමුදුරුවොනේ..... ඊට වඩා කෙනෙක් ඉන්නවැයි? අපි බලමුකෝ....."

ඉන් අනතුරුව මාසයක් හමාරක් යනතුරු උන්වහන්සේ මා හා කතාබහට එතරම් නොආ අතර උක්ත දායකයා මේ වනවිට ඉතා සාර්ථක ලෙස දේවාලයක් පවත්වාගනිමින් දිය මස්, ගොඩමස්, කුකුල්බිලි සහිත ශාන්තිකර්ම සිදුකරයි.

මෙහි ඇති අවුල නම් අවිද්‍යාව පැතිරවීම සඳහා එක්තරා ආකාරයක මනෝ විද්‍යාඥයෙක් ලෙස සැලකිය හැකි බුදුන් වහන්සේ යොදාගැනීමයි. "බුදුන් වහන්සේ මනෝ විද්‍යාඥයෙකි" යන්න භාවිත වන්නේ "බොරුව" "සත්‍ය" බවට පෙරලීමේ අතරමැදි අවස්තාවක භාවිතය සඳහා පමණි.

මේ තවත් කතාවකි.
නුදුරු දිනෙක කාර්යාලයට පැමිණි තැනැත්තෙකුගේ බලාපොරොත්තු කඩවූයේ නීතිමය ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් ඔහු බලාපොරොත්තු වූ කාර්ය ඉටුකිරීමට නොහැකි වීමයි. කෝපයට පත් ඔහුගේ ක්ෂණික ප්‍රතිචාරය වූයේ,

"මුං ඇමතිතුමාට සලකන්නෙ නෑ!" යන්නයි. එහෙත් ඔහු ඇමතිතුමා නොවූ අතර සම්බන්ධය වූයේ ඇමතිතුමාගේ සේවකයෙකුගේ ඥාතියෙකු වීම පමණි.

සාමාන්‍යයෙන් මෙය තරමක සාර්ථක බොරුකීමේ කලාවකි. මේ සිද්ධාන්තයන්ට හසුවන බුද්ධි හීනයන් ඕනෑ තරම් සමාජයෙන් සොයාගත හැකිය.

එවන් බුද්ධි හීනයන් වෙනුවෙන් නිර්මාණය කල දැන්වීමක් පසුගිය දිනෙක රූපවාහිනී නාලිකාවකින් දුටුවෙමි. ඉදිරිපත් කරන්නිය නම් දැනට ජේෂ්ඨතම රංගන ශිල්පිනිය වන අයිරාංගනී සේරසිංහය. දැන්වීම පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව හෙවත් "චෝගම්" නිසා ලංකාවට අත්වන සුගතිය ගැන පාරම්බාන්නකි. (උක්ත කාරණාව සම්බන්ධයෙන් මෙවන් දැන්වීම් රාශියක් ඇත) අයිරාංගනී මහත්මියගේ පෲෆ් කිරීම මෙසේය,


"කෙනෙක් අම්මට පස්සෙ ගෞරව කරන්න ඕන මාතෘ භූමියට"

.........................................(තවත් මොනවදෝ හෑල්ලක්)

පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ලංකාවේ පැවැත්වීම නිසා............."


අඩු තරමින් මව සහ මාතෘ භූමිය අතර ඇති සම්බන්ධය සත්‍යයයි උපකල්පනය කලවිට අවසානයේ ලැබෙන ප්‍රථිපලය කුමක්ද?

මොවුන් අපට කියන්නේ "අම්මා සමානයි චෝගම්" යන්න නොවේද?

Monday, October 14, 2013

රත්තරන කැපීම සහ ඒකාධිපති ආතල්.

ඊයෙ පෙරේද දවසක ලොකුමාමගෙ කඩේට ගියේ මොකද්දෝ ගන්න. ගෑනි එක්ක තරහ වෙලා අහවල් එක කපාගත්ත එකා ගැනයි කතාව.

"ගෑනි එක්ක තරහ උනානං ඌට කරන්න තිබුනෙ වෙන ගෑනියෙක් ගේන්න, කපාගන්න නෙවේ බොල දෙයියො දුන්නෙ. ඕකට රත්තරං කියන්නෙ නිකංයැ" ලොකුමාම කියනව.

"මිනිස්සු කනමදය වගේ බීල එනකොට රත්තරං උනත් ගෑනුන්ට එපාවෙනව නෙව!" ලොකුමාමගෙ මායියත් කතාවට ඇන්ටර් උනා.

"ඒ හාදය ගල් කපල ජීවත් වෙන දුප්පත් මිනිහ වෙච්චි, ඇ‍ඟේ අමාරුවට ඩිංගිත්තක් බිව්ව කියල රණ්ඩු කරන්න ඕනද?" ධර්මෙ අයිය දෙපැත්තටම කැපුව.

"වැරදිලාවත් ඔය ඔපරේෂන් එක අවුල් උනානං මිනිහට ගොඩ යන්නත් තිබුන" රත්තගෙ අමුතු කතාවට කවුරුත් ඌ දිහා බැලුව.

"ඒ කොහොමද බං? මොනව උනත් වැඩක් තියනවද ජුන්ඩ නැතුව?"

"එහෙම උනානං ඌ එක්සත් ජාතික පක්ෂෙ ඉහල තනතුරකට යන්න තිබුන, අඩු ගානෙ කෘත්‍යාධිකාරී මණ්ඩලේටවත්........"

"ඒ කිව්වෙ?"

"ඇයි බං සජිත් මහත්තය කියන විදියට යූඇන්පී එකේ උඩිංම ඉන්න බුවාල නපුංසකයො කියන්නෙ.....ඒකයි"

"උඹේ කතාවත් ඇත්ත බං" ලොකු මාම කිව්ව.


----------------------------------------------------------------------------


මේක මේ අනාගතේ සිද්ධවෙන කතාබහක්. හරියටම කියනව නං මේ නොවැම්බරේ.
ඔන්න පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ආවරනය කරන්න විවිධ රටවලින් ආපු මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් හැන්දෑජාමෙක සෙට්වුනා. ඒ වෙලාවෙ මේගොල්ල තම තමන්ගෙ රටවල ඒකාදිපතියන් ගැන පම්පෝරි ගහන්න ගත්ත. මේ රටවල් වල උදවියට ආඩම්බරෙන් කියන්න තියෙන්නෙත් එච්චරයි නෙව. ඔන්න ඉස්සෙල්ලම ම්ලොම්බා කියන උගන්ඩා ජාතික මාධ්‍යවේදිය කියනව තමුන්ගෙ රට ගැන,

"අපේ ඉඩි අමින් ගැන දන්නව ඇතිනේ..... එයා බලහත්කාරෙන් රට අල්ලගෙන අවුරුදු නවයක් පාලනය කලා......"

එයාට ඉවර කරන්න උනේ නෑ අලාම් කියන පකිස්තාන්කාරය ඒකාධිපති ආතල්එක පටන් ගත්ත,

"අපේ රටේ හිටිය සියා උල් හක් එක දිගට අවුරුදු දහයක් බලය අල්ලගෙන හිටිය. හදිස්සියෙ මැරුනෙ නැත්තං මෑන් තාම ඉන්නව"

මේ වගේ කතන්දරවල ලංකාවෙ එකා පැරදිලා තියනව කියල ඔහේල අහල තියනවද? නෑනේ! ඔන්න ලංකාවෙන් සෙට්වෙච්ච නලින් දිල්රුක්ෂ කියන මාධ්‍යවේදිය දුන්න ඇ‍ඬෙන්න,

"අයියෝ ඕව මොනවද,..... අපේ රටේ විතර ඒකාධිපතියො කොහේවත් නෑ..... පාලකය අමතක කරන්න...... බලන්න අපේ විපක්ෂ නායකතුමා, එතුමා එක දිගට අවුරුදු විස්සක් තිස්සෙ පක්ෂෙ බලේ අල්ලගෙන ඉන්නව. පාක්ෂිකයො කොච්චර කෑගැහුවත් යන්නෙ නෑ.....තව අවුරුදු ගානකට යවන්නත් බෑ!"

ඊට පස්සෙ කස්ටියගෙ ඒකාධිපති කතා නැවතුනාලු!


Monday, October 7, 2013

මල්ලී, මගේ ගෑණි ඊයෙ රෑ පැනල ගිහිල්ල,.... (රවි අයියගෙ කතා)

පහුගිය දවසක අපේ TO මහත්තයෙකුගෙ මාමණ්ඩි මළා!. මේ ටීඕ මහත්තය ‍අපේ රවි අයියගෙත් බුදු පිට් එකක්. ඔන්න අපි දෙන්නත් රෑ ජාමෙ මළ ගෙදර ගියා. හැන්දෑවෙ හතට විතර පිටත්වෙලා අතර මඟදි ටිකක් අනුමත වෙලා රෑ නවය විතර වෙනකොට මළගෙදරට ලඟාවෙන්න පුළුවන් උනා. අපේ ප්‍රනීත් කියන්නෙ ටීඕ මහත්තයගෙ දකුණු අත වගේ බුවා. ඉතිං ඔපීසියෙන් එන උදවිය 'බලාගැනීමේ' වගකීම එයා ස්වේච්ඡාවෙන්ම භාර අරගෙන තිබුන. කවුදෝ රට ඉඳල එන බුවෙකුට මිනිය පෙන්නන්න ඕනකම නිසා මලගෙදර දවස් පහක්ම තියාගන්න තීරණය වෙලා තිබුන. අපේ කතාබහ අතරෙ රවි අයියගෙ කතා මේ.

"ඕන්න වයිල්ලයිෆ් එකේ ඉන්න මගේ යාළුවෙක් උංගෙ වාහනේම ඌරෙක් අරගෙන ආව. ඌට සල්ලි හදිසියක් වෙලා මට කිව්ව ඌර විකුණල දෙන්න කියල. ඌරගෙන් ටිකක් මාත් කපාගෙන දුන්න වෙන එකෙකුට. ඌ ඒක විකුණල තිබුන. දවස් දෙකකට විතර පස්සෙ අපේ බාල මාමා මට කතා කරල කියනව බෑනෝ බෝතලයක් ගෙනෙං මංගාව නියම බයිට් එකක් තියනව කියල. කාටවත් කියන්න එපා කියලත් කිව්ව. බොහෝම රහසිගත වැඩක් විදියටයි කිව්වෙ. මං බාගෙකුත් අරගෙන ගියා. බාල මාම ඌරුමස් කෑලි දෙකතුනක් තියාගෙන ඉන්නව. මං විකුණපු ඌරගෙ මස්!"

මේක විශ්වාස කරන්නත් අමාරු කතාවක්. රවි අයිය දවසක් මාතර ගිහිල්ල. කවුදෝ යාලුවෙක් එක්ක රෑ වෙනකල් අනුමත වෙලා.
"රෑ දහයට විතර අමාරුවෙන් කතරගම බස් එකක් අල්ලගත්ත. ඔන්න දික්වැල්ල කිට්ටුවට එනකොට හිතුන සිගරට් එකක් බොන්නම ඕන කියල. බස් එකේ බොන්න බෑනේ. ඒ ගමන ඉස්සරහට ගිහිල්ල කොන්දට ටෝකක් දුන්න.......මල්ලී, මගේ ගෑණි ඊයෙ රෑ පැනල ගිහිල්ල,.... ඒකි හොයන්න ගියා,..... අල්ලගන්න බැරිවුනා,..... ඉතිං මම ටිකක් බිව්ව.... දැං මට සිගරට් එකක් බොන්න ඕන......විස්වාස කරපං මම සිගරට් එක බොනකල් විනාඩ් තුනක් විතර බස්එක නවත්තං හිටිය කිව්වම! උන්ට එච්චර දුකයි බං"

ඔන්න අපිට සලකන්න ටීඕ මහත්තයට ඕන වෙලා. තවත් යාලුවො කට්ටියක් ඉන්න තැනකට අපිව ප්ලග් කරන්නයි ලෑස්තිය. ඒත් ඒ වැඩේ අපිට ඇල්ලුවෙ නෑ. කොහොම ‍අපේ ප්‍රනීත් අයිය නං ඒ උදවිය අඳුනනව. එයා මෙහෙම යෝජනාවක් කලා.

"එතන ඉන්නෙ අහවල්ලු බං. රවී උඹ දන්නව,....හරි, මම යන්නං ඉස්සෙල්ල. ගිහිල්ල ෂොට්එකක් දාගෙන කියන්නං අතන රවී මහත්තයත් වේලි වේලි ඉන්නව කියල. උඹ ඇවිල්ල කියපං අතන රාජ් මහත්තයත් වේලි වේලි ඉන්නව කියල.....හරිනේ!"

ඒ වැඩේ අපිට ඇල්ලුවෙ නැති නිසා අපේ ටීඕ මහත්තය සීල් බෝතලයක් ගෙනල්ල දුන්න. මෑන්ට පාං කියාගන්න බෑ යාළුවන්ට සලකල. අනෙක දවස් පහක වැඩක්නේ. මේ වෙද්දි මළගෙදර බැනර් කියවමින් ඉන්න අපි සොහොනට ඇතුළුවෙන තොරණට ගහන්න හොඳ වැකියක් යෝජනා කරමින් ඉන්නව. ප්‍රශ්නෙ තමයි ඒකෙ ලියන්නෙ මොකද්ද කියන එක. ටීඕ මහත්තයට වෙච්ච අලාබෙත් සලකල බලල ගහන්න ඕන වාක්‍ය මොකද්ද කියල කිව්වෙ ප්‍රනීත්.

"පියානනි, මියගියේ ඔබ නොවේ අපයි!"

ප්‍රනීත් වැඩට ආවෙ දවස් පහකට විතර පස්සෙ. ඒ මළ‍ගෙදරට අපේ කාර්යාලෙ කස්ටියත් කිව්වෙ ප්‍රනීත්ගෙ මළගෙදර කියල. මම එයාගෙන් ඒ ගැන ඇහුව.

"අන්තිම දවස් වෙද්දි එන එවුන් මට තමයි කියල යන්නෙ. ගාමිනී එක්ක වැඩිය කතාවක් නෑ. උං හිතං ඉන්නෙ මම ගෙදර එකා කියල!"

------------------------------------------------------------------------------------

ඔත්තුවක්: අහල ඇතිනේ හෙන්රි කල්දේර මහත්තයගෙ මේ සින්දුව,

මිදුලේ සුදු වැලි තලයේ
මිරි වැඩි සඟළක සළකුණු
දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ...........

අන්න ඒ ගීත රචකයා, ඒ කියන්නෙ ප්‍රේමරත්න පලිහවඩන මහත්මය, බ්ලොග් එකක් පටන් අරගෙන. වෙන විදියකට කිව්වොත් එයා තමයි බස්සිගෙ නවාතැන ලියන බස්සිගෙ තාත්ත. බ්ලොග් එක තමයි මිදුල. ගිහින් බලන්න.

Thursday, October 3, 2013

දෙයියන්දර හාමුදුරුවන්ගෙ පොල් මාරුව සහ එජාපයෙන් නූතන අප්පුහාමිලාට...........

දෙයියන්දර හාමුදුරුවෝ ම'පියානන් කුඩාකල අපේ ගමේ විහාරයේ මෙන්ම ඊට අයත් දුරබැහැර ප්‍රදේශයක පිහිටි විහාරයකද විහාරාධිපති ධූරය දැරූ හිමියන්ය. වැඩි කාලයක් අපේ පන්සලේද මාසයකට වරක් දෙකක් අනෙක් පන්සලේද වාසය කිරීම මුන්වහන්සේගේ සිරිත වී තිබුනි. කුඹුරු සහ පොල් ඉඩම් විශාල ප්‍රමාණයක් ගමේ පන්සලට අයත්ව තිබූ අතර අනෙක් පන්සල එතරම් දියුණු තත්වයක නොතිබුනි. පන්සල් දෙක අතර වූ ගව් ගනනක දුරකතර ගෙවායාමට ප්‍රවාහන පහසුකම් නොතිබූ ඒ යුගයේ ගමන සිදුවූයේ පයින්ය. පන්සලේ සිටි ආවතේවකරුවා වූ අප්පුහාමිගේ කර මත ඇති කත්ලීයේ පොල් වල්ලක් දෙකක්ද පටවාගන්නා හාමුදුරුවෝ මල්ලක දමාගත් ලොකු බුලත් පුවක් ආදියත් සමඟ උදෑසනින් චාරිකාව අරඹනසේක. ටික දුරක් ගමන් කරන විට වියයුතුම පරිදි බර ගෙනයන අප්පුහාමිට දැනෙන්නේ දැඩි විඩාවකි, අපහසුවකි. එවිට හාමුදුරුවන් අනුගමනය කරන්නේ අපූරු උපක්‍රමයකි. එනම් කත්ලී දෙපැත්තෙහි ඇති පොල්ගෙඩි මාරුකර නැවත සකසා අප්පුහාමිට බුලත්විටක්ද සැපීමට දී නැවත ගමන ආරම්භ කිරීමයි. හාමුදුරුවන් වදාරන පරිදි එවිට බර අඩුවන අතර එය අප්පුහාමි විසින්ද තහවුරු කරයි. අප්පුහාමිලාට මානසික අල්ලස් දෙන්නේ එසේය.

එක්දහස් නවසිය පනස් ගනන්වල නූගත් අප්පුහාමි කෙනෙකු අරභයා අනුගමනය කල මේ උපක්‍රමය නූතන සමාජයේ අප්පුහාමිලා රැවටිය හැකි යයි සිතන පොල් බූරුවන් පිරිසක් අද සිටී. ඒ අනෙකුන් නොව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ලඟම ගෝල බාලයන්ය. මැතිවරණ පරාජයකට පසු පක්ෂයේ කුමක් හෝ කුඩා වෙනසක් සිදුකර ඡන්ද දායකයන් රැවටිය හැකි යයි ඔවුන් සිතා සිටී. පසුගියදා පැවති පළාත් සභා මැතිවරණය පරාජයතත් සමඟ ඔහු ලැබූ විසි හත්වන පරාජය බැව් කොහේදෝ ලියැවී තිබුනා මතකය. රනිල් තවදුරටත් එජාපයේ නායකත්වයේ රැඳී සිටියයුතුද යන්න දැනටම පට්ටගසා ඇති මාතෘකාවකි. බ්ලොග් අවකාශයේදී නම් රනිල්ට යම් පිලිගැනීමක් ඇත. ‍මේ කරුණු විමර්ශනය සිදුවන්නේ ඒ ඒ සංවාදවලදී මතුවූ කරුණු කාරණා පිළිබඳවය.

රනිල් වික්‍රමසිංහ බොරු සෝබනකාරයෙක් නොවේ. මහින්ද රාජපක්ෂ මෙන් ඔහු දරුවන් නලවන්නේ නැත. නෙළුම් කොලයේ කෙසෙල් කොලයේ එහෙමකට බත් කන්නේ නැත. කුඹුරු වලට බැස හරකුන් සමඟ මඩ ගාගෙන සී සාන්නේ නැත. මිනිසුන්ගේ බුරිවලට ඇඟිල්ලෙන් අනින්නේ නැත. කිතිකවන්නේ නැත..... මේ ආදී ලෙස ඕනෑතරම් කරුණු දැක්විය හැකිය. අනෙක් අතට ඔහු ධනවාදී ක්‍රමය පිලිගන්නා එසේම ඒ බැව් ප්‍රකාශ කරන නායකයෙකි. මහින්ද රාජපක්ෂ මෙන් නොව තමා ධනවාදී මොඩලයේ බැව් ප්‍රකාශ කිරීමට නොපැකිලේ. දේශප්‍රේමයක් ඇත්තේම නැත. මෙවන් යහපත් කරුණු රැසකින් රනිල් මහතා ආවරණය කල හැකිය.

එහෙත්,

ප්‍රශ්නය ඇත්තේ ඔහු මැතිවරණ ජයග්‍රහණය කිරීමට දක්වන දුර්වලතාවයයි. දෙදහස් එක වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයත් ඉන්පසු පැවති පළාත්සභා මැතිවරණයත් හැරුනු විට ඔහුගේ නායකත්වය යටතේ ජයගත් එකදු මැතිවරණයක්වත් නොමැත. අනෙක් අතට බ්ලොග් අවකාශයේ සමහර දේශපාලන ලියුම්කරුවන් උළුප්පා පෙන්වන මහත්මා ගතිය පරාජය සම්බන්ධයෙන් නම් ඔහු තුල නැත. අවුරුදු විස්සක පමණ කාලයක් තිස්සේ පරාජය වන ඔහු, පරාජයෙන් පසු තනතුරු අත්හැර දමන බටහිර දේශපාලන නායකයන්ට සමාන කිරීම විහිළුවකි. රනිල් වික්‍රමසිංහගේ නායකත්වය ප්‍රතික්ෂේප කර ගැටුම් ඇතිකර ගැනීම හේතුවෙන් මේ වනවිටත් ආණ්ඩුව වෙත සංක්‍රමණය වූ ජනතා නියෝජිතයන් සංඛ්‍යාව ගැන සිතාබැලීමෙන් ඔහුගේ තරම තේරුම්ගත හැකිය.

රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් නායකත්වයේ සිටියයුතු යයි ප්‍රකාශ කරන්නන්ගේ ප්‍රධාන තර්කය වන්නේ මහින්ද රාජකත්ෂ ජනාධිපතිවරයාට ඇති හොඳම විකල්පය ඔහු බවයි. එහි සත්‍යතාවයක් ඇත. න්‍යායාත්මකව ගත්කල මහින්ද චින්තනයට (එසේ යමක් තිබේනම්) විකල්පයක් විය හැක්කේ රනිල් වික්‍රමසිංහගේ වැඩ පිලිවෙල පමණි. පසුගිය දිනෙක වික්‍රමබාහු කරුණාරත්න මහතා ප්‍රකාශ කල පරිදි සජිත් ප්‍රේමදාස වැන්නන් ජනාධිපතිතුමාට විකල්පයක් නොවේ. එහෙත් මේ සියල්ල මහපොලව මත සිටුවීමට නම් රනිල් මහතා බලයට පත්විය යුතුය. එය විය නොහැක්කක් බව මේ වනවිට තහවුරු වී තිබේ. එසේ නම් කලයුත්ත වන්නේ අලුත් නායකත්වයක් සොයා ගැනීමයි. ඒ සජිත් ප්‍රේමදාස හෝ කරු ජයසූරිය හෝ වෙනත් කෙනෙකු විය හැකිය. ඔහුද අසාර්ථක නම් තවෙකෙකු සොයාගත යුතුය. දේශපාලනය යනු පරිවර්ථනය වෙමින් සාර්ථක වියයුතු ක්ෂේත්‍රයකි.

දිනෙන් දින විශාල වන වෘක්ෂයක් බඳු වූ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම මේ වනවිට ඕනෑම අයෙකුට අභියෝගයකි. පාර්ලිමේන්තුවේ මෙන්ම ව්‍යවස්ථාවෙන්ද ඔහුට ලැබෙන්නේ අනුබලයකි ශක්තියකි. කොතෙකුත් මැතිවරණ පරාජය වුවද තම ඒකාධිපති පක්ෂ ව්‍යවස්ථාවෙහි පිහිටෙන් බලය අල්ලාගෙන සිටින රනිල් වික්‍රමසිංහද මහින්ද රාජපක්ෂට දෙවැනි වන්නේ නැත. ඔහුට අභියෝග කිරීම ලෙහෙසි නැත. තම සම ලිංගික සගයන් පිරිවරාගෙන මියයනතෙක් පක්ෂ නායකත්වයේ රැඳී සිටියහොත් එය පුදුමයට කාරණාවක් නොවේ.

Tuesday, October 1, 2013

සංවේගයෙන් දැනුම්දීමයි!

හත් අවුරුද්දක්
ලෙඩට දුකට
බඩේ අමාරුවට
උන හෙම්බිරිසාවට
කොන්දෙ අමාරුවට
ඉසේ අමාරුවට
...අමාරුවට
ලඟම හිටිය
එකම නෑය
අද උදේම
ප්ලෑන් කරල
මරා දාල!

අඩි වැඩිවුනාම
අඩි ඕන උනාම
බඩු වැඩිවුනාම
බඩු ... ඕනවුනාම
නිදහසට හිටියෙත්
උඹ විතරයි නෙව!

සමහර දාකට
පරක්කු වෙලා
බැනුං ඇහැව්වත්
කොච්චර බැන්නත්
උඹ නැති පාඩුව
කොහොම මකන්නද?


පරීක්ෂණ නෑ
සහතික නෑ
භූමදාන නෑ
ආදාහන නෑ
මල්වඩම් නෑ
ස්තුති කතා නෑ
ගුණ ගායනා නෑ
මතක බණත් නෑ

අවසන් කටයුතු
කියල දෙයක් නෑ
අඩුම ගානෙ
බොඩියත් නෑ!
නිකංම නිකං
මළගෙයක් විතරයි!