Monday, September 30, 2013

ඡන්ද දායකයාගේ පාපොච්චාරණය.........(අවසානයේ ඔවුන් පැමිණිය් මා වෙතය!-by Matin Nimal)

එදා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රෙජීමය...
පලමුව මිලදීගත්තේ විපක්ෂ මන්ත්‍රීවරුන්ය...
මම නිහඬව සිටියෙමි..
මන්ද මට මන්ත්‍රීකමක් නොමැති නිසාය...

ඉන්පසු ඔවුන් පැවිද්දන්-පූජකයන් මිලදීගත්හ...
මා කුමක් කියම්ද..
මා පැවිද්දෙකු හෝ පූජකයෙකු නොවූයෙමි...

ඊලඟට ඔවුන් මිලදීගත්තේ කලාකරුවන්ය..
මා බලා සිටියෙමි..
මා කලාකරුවෙකු යැ..

ඉන්පසු ඔවුන් වෘත්තීය සමිති නියෝජිතයන් මිලදීගත්හ..
කුමට බිය වම්ද...
මා වෘත්තීය සමිති නියෝජිතයෙකු නොවූ කල..

ඔවුන් මාධ්‍යවේදීන්ද නිදහස් මතධාරීන්ද උගතුන්ද බුද්ධිමතුන්ද මිලදීගත්හ....
මා ඔවුනතර නොවිනි...

ඔවුන් අවසානයේදී...
පැමිනියේ මා වෙතය...
ඔවුන්ගේ ලංසුවට එකඟවනු හැර විකල්පයක් මා හට නොවිනි!

-මාටින් නිමලෙ(2013)

Wednesday, September 25, 2013

ලේස්බියන් සිංදු, ගණිත සිංදු සමඟ මගේ අප්සට් ගී විචාර අංක දෙක.

සමහර සිංදුවල තියන ගණිතමය කොටස් නං මරු! මම දන්න තරමින් මේවගේ සිංදු තුනක් තියනව.
එකක් තමයි නිහාල් නෙල්සන්ගෙ "කිරි අම්ම". ඒකෙ තියෙන්නෙ නිකංම වීජ ගණිතය,

කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගව මස් කියලා....
බලනු තුන්සිය හැට පහ වැඩිකර තිස් පහ යොදලා.....
ගනන දොලොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා....
ඔබට තේරුනාද ඔබ කල පව් දුරදිග නොබලා....


සිංදුවක් විදියට වගේම ගණිතමය විදියටත් අන්තිම අසාර්ථක සිංදුවක් මේක. මොකද අවුරුදු තිස් පහක් හරක් මස් කෑමේ පාපය වැඩි කරල පෙන්නන්නද කොහේද ඒක තුන්සිය හැට පහෙන් වැඩි කරන්න කියනව. පුදුමයි මේක ලිව්ව හාදයට ආයෙත් තුනෙන් වැඩි කරන්න නොහිතුන එක. මොකද වේල් තුනම කනව කියල හිතුවොත්. අනිත් එක තමයි අධික අවුරුදු අත්හැරීම නිසා කොහොමත් මේ ගාන වැරදියි.

ඊට වඩා වැඩි ගැඹුරක් සහිත සිංදුවක් තමයි දයාරත්න රනතුංගගෙ "සමකෝණී ත්‍රිකෝණයකි" කියන සිංදුව. ඒක ජ්‍යාමිතිය සම්බන්ධ එකක්. මෙන්න සිංදුව.

සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එකමුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා
නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා

සමච්ඡේදනය කරලා දෙන්නට බෑ පෙම බෙදලා
අපි තුම්මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා

ඔබමගෙ ආදරය පතයි ඇය මගෙ ආදරය පතයි
දෙන්නාටම මාත් හිතයි ත්‍රිකෝණයේ පාද සමයි


ඉතාම පරීක්ෂාකාරීව ගණිතමය විදියට බැලුවොත් මෙතන තියනව ලේස්බියන් කේස් එකකුත්. ජ්‍යාමිතියට වැඩිය කැපිල පේන්නෙ ඒක. මේ බලන්න,
ඔන්න බුවෙක් ඉන්නව. කෙල්ලො දෙන්නෙකුත් ඉන්නව. බුවා කෙල්ලො දෙන්නටම බොක්කෙන් ලව්! තුන්දෙනා ඉන්න විදිය මුල් කොටසින් කියනව. සාමාන්‍යයෙන් නං මේවගේ කේස් එකකදි ත්‍රිකෝනයක් හැදෙන්න බෑ කියල යන්තං ගණිතය ඉගනගත්ත පොල් බූරුවෙකුට උනත් තේරෙන්න ඕන. මොකද මේවගේ එකක අන්තිම ප්‍රතිපලය වෙන්නෙ සරළ රේඛාවක මැද්දෙන් බුවාත් බුවාගෙ දෙපැත්තෙන් සෘණ ආරෝපිත බුවීල දෙන්නත් සෙට් වීම කියල ඔහේලට තේරෙනවනේ. අනෙක ත්‍රිකෝණයක් හැදුන කියමුකො. ඒක සම ද්විපාද එකක් වෙන්න ඕන. මොකද බුවීලට බුවාගෙ කැමැත්ත සමානයි. ත්‍රිකෝනෙ සම කෝණ [නැත්තං සම පාද] වෙනව කියන්නෙ බුවාට තියන කැමැත්තට සමාන කැමැත්තක් බුවීල අතරත් තියනව කියන එකයි. කොහොමද වැඩේ! ඒ කියන්නෙ මෙතන ඉන්න බුවීල සමරුචියන්.

තුන්වැනි සිංදුව......... ආ ඒක මම කියන්නෙ නෑ. ඔහේලට පුළුවන් නං කියන්න. මේකත් ගණිතය සම්බන්ධ සිංදුවක්. පොඩ්ඩක් ලේසි කරන්නං සාපේක්ෂ චලිතය ගැන කියවෙන සිංදුවක්. සිංදුව මම මෙතන සුදු පාටින් දානව. කමෙන්ටුව දාල ඉවර වෙලා සිලෙක්ට් කරල බලන්න.

මං කිව්වෙ ඉස්සෙල්ල කමෙන්ටුව දාන්නෙ කියල නේද?



මිටින් මුදා හැර බැලුවෙමි සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී.....
සමුගෙන ගොස් යලි හැරුනෙමි සත්තයි නුඹ ඇවිදින් සෙවනැල්ලක් සේ.....


ඔන්න කොල්ල කියනව මුදාහැරියට කෙල්ල ඉගිලුනේ නෑ කියල.
කෙල්ල කියනව ඉගිලිලා ගියා ඒත් හැරිල බැලුවම කොල්ල ඇවිල්ලලු.
සාපේක්ෂ චලිතය ගැන මීට වඩා හොඳීන් කියවෙන සිංදුවක් තියනවද?



Monday, September 23, 2013

අනතුර!

කොටහළු පාටියකටත් යන්න ඉඳගෙන, දහයට විතර යාළුවෙක් එක්ක බයික් එකෙන් එලියට ගිය රාජ් ආයෙ ආවෙ දෙන්නෙකු‍ට බරවෙලා. උන් දෙන්නගෙ වාරුවෙන් සීට්එකේ වාඩිගත්ත විතරයි ඔන්න නෝන කෙනෙක් එනව. තව එක්කෙනෙක් එනව.....

"රාජ් මහත්තයා.... මේ මොකද්ද උනේ?"

"කලින්ම බිව්වද?"

"නෑ හලෝ.... කකුල්"

"හප්පේ....!, බයික්වල යද්දි පරිස්සමින් යන්න එපැයි"

"මම දවසකුත් කිව්ව හෙමිං යන්න කියල"

"බේත් දැම්මෙ නැද්ද?"

"මොන කකුලද?"

"කකුල් දෙකම!"

"දෙකම!"

"නැතුව ඉතිං දෙකම එක වයසෙනේ"

"හී හී හී....."

"ම්....... ළමයිනේ පරිස්සමින් වැඩකරන්න එපාය. පොඩි එකෙකුත් ඉන්න තාත්ත කෙනෙක් නේද?"

මෙයා තමයි මල්ලි නරක් කරන්නෙ!(යාළුවට)

"සිංහල වෙදකං කරන්න..... ඒක වැඩිය හොඳයි"

"මං හිතන්නෙ බීලද කොහෙද?"

"නෑ බොල! මොනව බොන්නද?"

"එහෙනං වැටුනෙ?"

"වෙන තුවාල නෑනේ"

"මොනවත් ගෑවද?"

"ඔව්"

"පද්මෙ අයිය ගෑව"

"පද්මෙ අයිය? මොනවද ගෑවෙ?"

"මොනවද ගම් ජාතියක්"

"ගම්????????????"

"‍හ්ම්...... දැං වේලිලා ඇති මං හිතන්නෙ.....කෝ බලන්න......හා නියමෙට ඇලිල තියෙන්නෙ. මං හිතුවෙ සපත්තු දෙකක් ගන්න වෙයි කියල!☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺"

"අනෙයම්මපල්ල.....මූ නං......"

Wednesday, September 18, 2013

කිහිපදෙනෙක් බ්ලොග්කරුවෝ.....

පහුගිය සති අන්තයේ ඇදීගිය යම් සංවාදාත්මක කාරණාවක් සම්බන්ධ ලිපි ගනනාවක් මේ සඳුද කියවන්න ලැබුන. මේ කාරණය ගැන කතා කරන්න මගේ කැමැත්තක් නැතත් මේ සංවාද බැලුවම එක කාරණාවක් පේන්න තිබුන. ඒ තමයි මිනිස්සු ඇතුලෙ කොච්චර පරස්පරතා තියනවද කියනඑක. එක කාරණාවක් සම්බන්ධව තියන ප්‍රතිපත්තිය තවත් කාරණාවක් සම්බන්ධයෙන් නෑ. ඇත්තේම නෑ. මම කල්පනා කලා ඒ ගැන. මුලදි මට හිතුනෙ මිනිස්සු ව්‍යාජයක ජීවත් වෙනකොට එහෙම විසංවාදයන් ඇතිවෙනව කියල. ඒත් ඒක එහෙම නෙවේ වෙන්නත් පුළුවන්. මේ කියන කතාව ඔහේලට තාම තේරෙන්න නැතුව ඇති. මෙන්න මේ උදාහරණය ගන්න.

ඔන්න ඉන්නව භෞතිකවාදියෙක්. ඇත්තටම අපිට පේන්නෙ මෑන් කරන කියන දේවල් වලින් එයා එහෙමයි කියල. දවසක් කාගෙ හෝ ක්‍රියාවක් හේතුවෙන් මෙයාගෙ හිත හොඳටම රිදෙනව. එයාට මලපනිනව. අන්න එතකොට එයා කියනව,

"තොට හෙන හතම වැදියං!" කියල. නැත්තං කියනව "මට කරපු දේට උඹට කවදාහරි පල දෙනව!" කියල. ආන්න ඒ වෙලාවට අර භෞතිකවාදියගෙ කරුමෙ ගැන තියන විශ්වාසය එලියට පනිනව. නිරුවත එලි වෙනව.

දැං තේරුනා නේ?

මේක සංකීර්ණ කේස් එකක්. මතුපිටින් බැලුවොත් හිතෙන්නෙ මේගොල්ල පරස්පරයන් සහිතව ජීවත් වෙන උදවිය කියල. ඒත් ඒක නිවැරදිම නෑ.

මිනිහ කියන්නෙත් ප්‍රෝග්‍රෑම් කරපු යන්ත්‍රයක් වගේ දෙයක් තමයි. මේක විස්තර කරන්න පුළුවන් මේ රූපෙන්.

1.ඔය රතුපාට ටිකෙන් ඉන්නෙ ලේ,මස්, ඇට ... සහ වලින් හැදිච්ච "මනස" කියන ඕඑස් එක දාල තියන මිනිහ.
2.ඊට පිටින් තියෙන්නෙ මිනිහගෙ තියන ඇත්තම අව්‍යාජ සිතුවිලි සමුදාය. කවුදෝ කියල තිබුන කන බොන වෙලාවටත්, අහවල් වැඩේ කරන වෙලාවටත්, නිදාගන්නකොටත් මිනිහගෙ තිරිසන් ලක්ෂණ තියනව කියල. ඔන්න ඔය අව්‍යාජ කොටස තමයි ඒ.
3.මතභේදයට ලක්වෙන අන්තිම කොටස තමයි පිටින් තියෙන්නෙ. මේක හැදිල තියෙන්නෙ ටිකක් විතර කැඩෙන බි‍ඳෙන සුළු-අස්ථාවර-ද්‍රව්‍ය වලින්. ඒ කියන්නෙ සමාජ සම්මතයන්, සිරිත්-විරිත්, සංස්කෘතිය.... ආදී දේවල් වලින්. මේ ලේයර් එක වඩා හොඳින් ආරක්ෂා කරගන්න මිනිස්සු තමයි ඇත්තටම අව්‍යාජ මිනිස්සු කියල කියන්නෙ. මේ ලේයර්එක ඇතුලෙ තියන සීමාවන්-බන්ධන, හැදියාව, හොඳ-නරක හෑම දෙයක්ම එක එක ප්‍රබලතා මට්ටම් වලින් තමයි සැකසිලා තියෙන්නෙ. මම උඩ කිව්ව භෞතිකවාදියගෙ උදාහරණෙ ගනිමු. එයා භෞතිකවාදියෙක් උනාට ඉතා කුඩා ප්‍රතිශතයක් තියනව අනෙක් පැත්තත්. නමුත් ඒ පැත්ත මතුවෙන්න නං සෑහෙන බලයක් ප්‍රතිවිරුද්ධව යොදන්න වෙනව. එතන උනේ ඒකයි. මේ කතන්දරේ මට මතක් උනේ මම කිව්ව බ්ලොග් පෝස්ට් කියවනකොට මට මතක් වෙච්ච ඈත අතීතයේ කියවපු කෙටි කතාවක් නිසා.

අයිසැක් අසිමොව් කියන්නෙ විද්‍යා ප්‍රබන්ධ කතා කාරයෙක් කියල සාහිත්‍ය මාසෙ කියන්න ඕන නෑනේ. රොබෝ නියම තුන ඉදිරිපත් කලෙත් එයා තමයි. මෙන්න රොබෝ නියම,

1.රොබෝ මිනිසාට අනතුරුදායක නොවියයුතු අතර මිනිසා ආරක්ෂා කල යුතුයි.
2.මිනිසාගේ විධාන පිලිපැදිය යුතුයි.
3.තමන්ගේ ආරක්ෂාව තමන් සලසාගත යුතුයි.(මේ නියම ඉහල සිට අනුපිලිවෙලට විහිදෙන්නෙ)

එක කතාවක තියන විදියට රොබෝ කෙනෙක් සූර්යා කිට්ටුවට යවන්න උත්සාහ කරනව. ඒ කියන්නෙ එයාට නියෝග ලැබෙනව දෙවැනි නියමය අනුව. ටික දුරක් යද්දි රොබෝට තේරෙනව අධික තාපය නිසා තමුන් විනාශවෙන්න පුළුවන් කියල. එතකොට තුන්වැනි නියමය අනුව එයා ආපස්සට අදිනව. මේ නියෝග දෙකේ බලය සමාන වෙන අවස්ථාවෙදි එයාට කරන්න දෙයක් නෑ. අන්තිටම රොබෝ ඉර වටේ යන්න පටන් ගන්නව (බල තුලනය නිසා). අන්තිමට රොබෝ බේරගන්න මනුස්සයෙක් ඉදිරිපත් වෙනව. එයා සූර්යා දෙසට යනකොට (විනාශ වෙන්න) පළමු නියමය අනුව ක්‍රියාත්මක වෙන රොබෝ බල තුලනයෙන් මිදිල එනව මිනිහ බේරගන්න. මොකද පළමුවැන්න වඩාත් ප්‍රබලව තියන නිසා.

ඔන්න ඔය විදියටම තමයි අපිත් හැදිල තියෙන්නෙ. අපේ පරස්පරයන් නැත්තටම නැති කරන්න බෑ. නමුත් පරස්පරයන් අඩුවෙන තරමට තමයි ලස්සන.

පලි- පිංතූරෙ පැහැදිලියි නේද?

Thursday, September 12, 2013

මෙන්න පොලිසියෙ මහත්තයෙක්.

පොලීසිය කිව්වම අපේ මතකයට එන්නෙ එච්චර හොඳ හැඟීමක් නෙවේ කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. පොලීසිය විතරක් නෙවේ කාකි සූට්, අනන්‍ය නිල ඇඳුම් ඇඳගත්ත බොහොමයක්දෙනා අපකීර්තිමත් උදවිය. කවුරුහරි මගෙන් ඇහුවොත් මම අකමැති මිනිස්සු කැටගරි කියන්න කියල මම කියන්නෙ මෙන්න මේ උදවිය.

♦ දේශපාලකයන්-නිල ඇඳුමක් නැතත් ජාතික ඇඳුම නිල ඇඳුම කරගත්ත කොට්ඨාසයක්.
♦ පොලිසිය-නිල ඇඳුමක් තියනව.
♦ භික්ෂූන්-නිල ඇඳුමක් තියනව.

මේ කොට්ඨාස තුනේම හොඳ අයට වඩා නරක අය වැඩියි කියලයි මගේ හැඟීම. ඒ නිසා පොදුවේ "නරක" ගොඩට දැම්මට අවුලක් නෑ. ඒ වගේම මේ උදවියගෙ පොදු ලක්ෂණය තමයි තමන් වැඩි වැඩියෙන් වැරදි කරන ගමන් රට හදන්න උත්සාහ කරන උදවිය වීම. හරි ඒ ගැන ඔය මදැයි. මේ කියන්න යන්නෙ පොලිසියෙ ඇත්ත මහත්තයෙකුගෙ කතාවක්

මේ සීන්එක මම දැක්කෙ සිරසෙ නිව්ස් වල. අහම්බෙන් බලපු නිසා කවුද කොහේද විස්තර මිස්වුනා. ඔන්න එක ගමක ගෑනු මිනිස්සු පාරක් වහගෙන උද්ඝෝෂණයක්. හේතුව තමයි ගමේ පාර හැදීම අවුරුදු ගානක් පරක්කු වීම. පාර හදන්න පටන් ගත්ත කොන්ත්‍රාත්කාරය පාරට ඒබීසී විතරක් දාල සෑහෙන කලක් ගිහිල්ල. ඒබීසී ගැන ඔහේල දන්නව ඇතිනේ. මම දන්න තරමින් මේක මෑතක ආපු තාක්ෂණයක්. මැවිසුරුවෙක් වෙච්ච අපේ කතන්දරකාරය මේව ගැන දන්නව ඇති. ඒබීසී කියන්නෙ කැටගල්, ගල්කුඩු, වැලි මිශ්‍රණයක් දන්න තරමින්. මේකට ‍අපේ පැතිවල කියනව "නාමල් කාපට්" එක කියලත්. නාමල් රාජපක්ෂ මහත්තයද දන්නෑ තාක්ෂණය ගෙනාවෙ. කොහොම උනත් මේ කාපට් එක පාරට දාල ඊ‍ට උඩින් වතුර දාල රෝලෙන් තලල ගත්තම මාසයක් විතර නියමෙට තියනව. හැබැයි ඊට පස්සෙ ස්ථිර කාපට් එක දාල වැඩේ අවසන් කලේ නැත්තං ටික ටික ගල් ගැලවිලා පයින්වත් යන්න බැරි තත්තෙකට පත් වෙනව. මම කියන ගමටත් උදාවෙලා තිබුනෙ මේ තත්වෙ. ඔන්න දැන් මිනිස්සු පාර වැහුව කියමුකෝ.

සාමාන්‍යයෙන් ඊලඟට සිදුවෙන්නෙ පොලිසිය-හමුදාව ඇවිල්ල මිනිස්සු විසිරුවාහැරීමනේ. මෙතනටත් ආව පොලිසිය. මම හිතන විදියට කතා නායකය ඕඅයිසී වෙන්න ඕන. එයා මිනිස්සුන්ගෙ කතාව අහල ඒක පිලි අරගෙන තමුන්ට කරන්න පුළුවන් දේ කරනව කියල මිනිස්සු විසිරුවාහැරිය. ඊට පස්සෙ මාර්ග සංවර්ධන අධිකාරියත් කොන්ත්‍රාත්කරුවත් වග උත්තරකරුවන් කරල නඩු දැම්ම. ඊටත් පස්සෙ තමයි හොඳම සිද්ධිය. ඔන්න නඩු දැම්මම කොන්ත්‍රාත්කාරය හදන්න බැරි පාර හදන්න පටන් අරගත්ත. ඒ අතරෙ මාර්ග සංවර්ධන අධිකාරිය පොලීසියට දන්වනව පාරෙ වැඩ ආරම්භ කර ඇති නිසා නඩුව අස්කරගන්න කියල. පොලිස් මහත්තයගෙ උත්තරේ තමයි මේ බ්ලොග් පෝස්ට් එක ලියෙව්වෙ.

එයා කියනව නඩුව ඉවත්කරගන්න නං බෑ, හැබැයි නඩුවට උසාවි ගියාම ඒ වෙනකොට පාරෙ වැඩවල ප්‍රගතිය උසාවියට කියන්නං කියල.
අන්න මිනිස්සු! තමුන්ට ඉහලින් නියෝග දෙන්න සහ පහලින් නියෝග ක්‍රියාත්මක කරන්න කොච්චර පොල්බූරුවන් හිටියත් මේවගේ හොඳ තීරණ ගන්න මිනිස්සුත් ඉන්නව.

Tuesday, September 10, 2013

ෆුඩ්සිටියෙ නෝනගෙ කොන්ඩම් භීතිකාව.

කතන්දරකාරයා තම බ්ලොග් අඩවියේ දැමූ ලිපියක් හා උකුස්සා ඊට දැමූ කමෙන්ටුවක් සිහිපත් කල සිදුවීමක් පසුගිය දිනෙක මා හට සිදුවිය.

එදින සුපිරි වෙළඳසැලකට ගිය මා ඒ තුල වූ ෆාමසියට ගියේ කොන්ඩම් මිලදී ගැනීමටය. අවශ්‍ය කොන්ඩම් වර්ගයෙන් පැකට් දෙකක් ඉල්ලූ පසු වෙළඳ සේවිකාව එය රැගෙන කඩදාසි බෑගයක් වෙත දැමීමට සූදානම් විය.

සාමාන්‍යයෙන් ලංකාවේ ඇත්තේ රුපියල් තිහේ සිට ඉහලට මිලදීගත හැකි, ඝන කඩදාසි ඇසුරුමක බහා ඇති කොන්ඩම් තුනක් අඩංගු පැකට්ය. පාරිභෝගිකයාට අවශ්‍ය කොන්ඩම් ප්‍රමාණය කුමක් වුවත් මිලදීගැනීමට සිදුවන්නේ මෙම තුනේ පැකට්ය. එය තරමක කරදරයක් බැවින් වඩා වැඩි කොන්ඩම් ප්‍රමාණයක් අඩංගු පැකට් නැත්ද යන්න වෙළඳ සේවිකාව වෙතින් මා විමසීමි. ඇගේ ප්‍රතිචාරය යහපත් නොවීය,

"දන්නෑ!" යන්න එක්වරම පවසා ඈ පාර්සලය මාවෙත දිගුකලාය.

මෙහිදී ඇය සිදුකල මූලික වැරදි දෙකකි.

පළමුවැන්න නම් තමන් අලෙවි කරන භාණ්ඩය පිලිබඳ දැනුවත් භාවයක් ලබා නොසිටීමය.
දෙවැන්න තම පාරිභෝගිකයා වෙනුවෙන් දැක්වියයුතු මිත්‍රශීලී ස්වභාවය ඇය වෙත නොමැති වීමයි.

හරියටම කිවහොත් කතන්දර ලිපියේ උකුස්සා සඳහන් කල පරිදි ඇගේ හැසිරීම "මා කොන්ඩම් මිලදී ගත්තේ ඇය සමග ලිංගික කාර්යය සඳහාය" යන්න සිතා සිටින අයුරිනි.

ලංකාව තුල ලිංගිකත්වයට හිමිවන ස්ථානය පිලිබඳවත් ලිංගිකත්වය සම්බන්ධයෙන් ලාංකීය ආකල්ප පිළිබඳවත් බ්ලොග් අවකාශය තුල ඕනෑ තරම් පට්ටගසා ඇති බැවින් යලි යලිත් මතු කිරීම නිරර්ථක කාර්යකි. කෙසේ වුවත්, ප්‍රාග්ධනයේ ප්‍රසාරණයත් සමඟ දශකයක් දෙකක් තුල දිවයින පුරා ව්‍යාප්ත වූ "සුපිරි වෙළඳසල්" යනු නූතනත්වයේ සංකේතයකි. ඒ තුල සිටින මෙවැනි සේවිකාවන් ඇතිකරන්නේ නූතනත්වයට නොගැලපීමකි.

කෙසේ වුවත් ඇයට තේරුම්ගත හැකියයි සිතන ආකාරයෙන් මා මේ කරුණු පැහැදිලි කලෙමි. කිසිවක් නොකියූ ඇය අසා සිටියා පමණි!

"ඔයා එහාපැත්තට ගියානං ඔයාටත් ලේසියි අපිටත් ලේසියි" අවසානයේදී මා යෝජනා කලෙමි. ෆුඩ් සිටියේ අනෙක්පස පිහිටුවා තිබුනේ එළවළු විකුණන ස්ථානයයි.

Friday, September 6, 2013

මගේ ගෑනිට මොනවහරි උනොත් ඔය එෆ්එම් චැනල්කාරයො වගකියන්න ඕන....!

ටික දොහකින් ගම් පැත්තෙ ගියේ. වෙනද වගේම ලොකු මාමගෙ කඩේටත් ගොඩවුනා. වෙනද ඉන්න ගැන්සිය අදත් ඉන්නව. කතාවක් පටන් ගන්න හදනකොටම මදුරුවා පිටේ ආපු නිමලෙ අයිය කඩේ ලඟ බැස්ස.

"කොහොමද නිමලෙ කුසුමට?" ලොකුමාම ඇහැව්ව.

"මගේ ගෑනිට මොනවහරි උනොත් ඔය එෆ්එම් චැනල්කාරයො වගකියන්න ඕන" නිමලෙ කෑගහන්න පටන් ගත්ත.

"ඇයි කුසුමක්කට මොකද?" මගේ පුරස්නෙට උත්තර ලැබුනෙ නෑ. තව මොනවදෝ කියල කෑගහපු නිමලෙ හුටු හුටුවෙ නැඟල යන්න ගියා.

"මූ උදේ පාන්දරම සංස්ථා ගහල" එහෙම කිව්වෙ ධර්මෙ අයිය. සංස්ථා කිව්වෙ සීල් අරක්කු නෙවේ. ධනෙයගෙ පොට්එකේ කසිප්පු. ඉස්සර වඩියට සංස්ථා සිමෙන්ති දාන නිසයි සංස්ථා කියන්නෙ.

"දැං කුසුමට මොකද්ද වෙලා තියෙන්නෙ?" බුලත්විටක් අතේ තියාගෙන රෝල් කරන මහතුං මාමගෙන් මං ආයෙත් ඇහුව. මහතුං සද්දයක් නැතුව විට කටේ දාගෙන හපන්න පටන් ගත්ත. බුලත්විට කටේ ඇඹරිලා කෙල පාරක් ගහනකල් උන්දෑ කතා නොකරන බව දන්න නිසා මං සද්ද නැතුව හිටිය. ඔන්න ඊට පස්සෙ මහතුං මාම කතාව පටන් ගත්ත.

"උඹ දන්නවනෙ බෑනෝ ඔය කුසුම කෙල්ල රේඩියෝ පිස්සි කියල"

"මොකද මම දන්නැත්තෙ ඒකාලෙ රේඩියෙකට පෝස්කාඩ් එහෙමත් යැව්වෙ හරි හරියට"

"හ්ම්, ඊට පස්සෙ ඕකි ගෙදර ඉස්සරහ අඟුරු කෑල්ලකින් ලියාගත්ත බෝඩ් එකක් එල්ලගෙන හිටියෙ මං අහන්නෙ ශ්‍රී එෆ්එම් කියල"

"වංගියක් ඔය බෝඩ් එකක් ගලවල කුසුම මාත් එක්කත් ඔට්ටු වෙන්න ආව" අල්ලපු ගෙදර රුවන් මල්ලි කිව්ව.

"ඊට පස්සෙ ගහගෙන හිටියෙ මං අහන්නෙ හිරු කියල"

"ඔය බෝඩ් ගැහිල්ල නං හැම තැනම තියනවනේ. ලක්ෂ ගනං සල්ලි දීල ගෙවල් හදපු සල්ලිබාගෙ යහමිං තියන කොලඹ රටේ මිනිස්සුත් මං දැකල තියනව ඔය බෝඩ් එල්ලගෙන ඉන්නව. ඔයිට හොඳයි මං කන්නෙ ගූ කියල ගැහුවනං" ලොකු මාමටත් මල පැනල.

"ඉතිං කතාව කියහංකො"

"ඔන්න පහුගිය දවසක කලිසමක් ඇඳගත්ත නෝන කෙනෙක් මයික් කටකුත් අරගෙන කඩේ ලඟට ආව. මේ සුකුරුත්තම පස්සෙං ආව කැමරාකාරයො ටිකකුත්"

"ඉතිං?"

"මේ අව්අස්සෙ තමයි පාම්බාගෙයක් ගන්න කුසුම කෙල්ල කඩේට ආවෙ. කුසුම අරකිට පනාව දැම්ම විතරයි ඒකි කතාවට අල්ලගත්ත. මේ වෙලාවෙ තමයි මම දැක්කෙ ඒකි අතේ දාහෙ කොල දහ පහලවකුත් තියනව"

"හැබෑට"

"හ්ම්. ඊට පස්සෙ ඒකි කුසුමගෙන් නම ගම අහල කියන්න කිව්ව අහන රේඩියෝ චැනල් එක මොකද්ද කියල"

"ඉතිං?"

"මම දැක්ක කුසුමගෙ තොල කට වේලිලා ඒකි වෙව්ලනව. මේකි කිව්ව හිරු එෆ්එම් කියල"

"ඉතිං, කුසුමට සල්ලිටික ලැබුනද?"

"සල්ලි? මොන හුල්ලියක්ද, ඇවිල්ල තිබුනෙ සිරසෙන්. මීට පස්සෙ සිරස අහන්න කියල අරුං යන්න හැදුව විතරයි පපුව අල්ලගත්ත කුසුම මේං මෙතනිං වාඩිවුනා. මං හිතුවෙ පපුව පැලුන කියල"

"ඊට පස්සෙ?"

"වතුර ටිකක් පොවල ගත්තත් හරිගියේ නෑ. ඒ ගමන අපි ඉස්පිරිතාලෙට ගෙනිච්ච. හාට් ඇටෑක් එකක්ලු. දොස්තර මහකත්තය බලල කිව්වෙ"

"ඉතිං එෆ්එම කාරයො?"

"ඒ අවුඅස්සෙ කැමරා ටිකත් උස්සගෙන උං පැනල ගිහිල්ල."

"අම්මපල්ල රුපියල් දෙතුංදාහක් හරි දුන්නනං මොකෑ වෙන්නෙ. මොකක් හරි අහනවට"

"ඔය එෆ්එම් කියන බඩකඩුත්තු නං සල්ලි දුන්නත් අහන්න වටින්නෙ නෑ බං"

Wednesday, September 4, 2013

පොලිටිකල් ජෝක්ස්! (political jokes)

අද දාන්න යන්නෙ පොලිටිකල් ජෝක් ටිකක්.

ඔහේල අහල ඇතිනේ අර "ඔබට කිරි දෙනුන් දෙදෙනෙකු සිටී නම් ......." එක එක ආර්ථික ක්‍රම වලින් එළදෙනුන්ගෙන් ගන්න වැඩ ගැන ප්‍රසිද්ධ කතාව. ඒකෙ අලුත් වර්ෂන් මේ

ඔබට කිරි දෙනුන් දෙදෙනෙකු සිටී නම් ....

දේශප්‍රේමීන්,
අධිරාජ්‍යවාදීන්ගෙන් උන් ආරක්ෂා කරගත යුතුය.

නූතන සිංහලබෞද්ධයා
එළදෙන යනු ඔබේ කිරි අම්මාය. එබැවින් කිසිවෙකු ගවමස් නොකෑ යුතුය.

එළකිරි ධනවාදය
දෙනුන් දහස් ගනනක් සිටින බහුජාතික සමාගමකට ඔබට එළදෙනුන් දෙදෙනා විකිණිය හැකිය. ඉස්පසු කිරි දෙවීම, ගොම එකතුකිරීම.... වැනි කාර්යන් සඳහා සමාගමේ රැකියාවක් ලබාගත හැකිය.

☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺

මී මැස්සා සහ කුරුල්ලා
මේකත් ඔහේල දන්න කතාවක්. ඔන්න වතුරේ ගහගෙන යන මීමැස්සෙක් දැක්ක කුරුල්ලෙක් ගහකින් කොලයක් කඩල වතුරට දානව. කොලේට ගොඩවුන මී මැස්සගෙ තටු වේලුනාම ඌ උදව්ව මතක තියාගෙන පියාඹල යනව. දවසක් නරක කොල්ලෙක් කැටපෝලයකින් කුරුල්ලට විදින්න හදනව දකින මී මැස්ස කොල්ලට දෂ්ට කරල කුරුල්ලව බේරගන්නව. ඊට පස්සෙ උන් දෙන්න සතුටින් ඉන්නව.
උගන්ඩාව එක්ක, ස්වාසිලන්තය එක්ක, බෙලරුස් එක්ක ලංකාව(ජනාධිපතිතුමා) සම්බන්ධකම් පවත්වනව කියල විවේචනය කරන අයට මතක් කරන්න තියෙන්නෙ ඔය කතාව.


පනස්වෙනි ද කොහේද නිදහස් සැමරුමට චාල්ස් කුමාරය ලංකාවට ආපු වෙලාවෙ පොඩි කේස් එකක් උනා මතක ඇතිනේ. එකැස් ජනාධිපතිතුමියයි, රෝද පුටුවෙ ඉන්න අගමැතිතුමියයි, "කකුල් තුනෙන්" ඉන්න ආරක්ෂක ඇමතිතුමයි, ටික වෙලාවක් යද්දි පොලිස්පතිතුමා ඩෝං ගාල කලන්නෙ දාල වැටුන හැටියි දැක්ක චාල්ස් ඇහුව කියන්නෙ උඹලගෙ රටේ නීරෝගී මනුස්සයො ඇත්තෙම නැද්ද කියල. ඒව නං ඉතිං ශාරීරික කේස් කියල හරි අත පිහිදගන්න බැරිය.

මෙදා මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ නෝන ආවම තිබුන තත්වෙ හිතල බලන්න.

☻ ජනාධිපතිතුමා මේ වගේම රටක් වෙච්ච බෙලරුසියාවෙ සංචාරෙක.
☻ කට්ටියක් පිල්ලෙට විරුද්ධව උද්ඝෝෂනේ
☻ මර්වින් ඇමතිතුමා (උන්නැහේ කැබිනට් නේද?) පිල්ලෙ නෝනට බඳින්න(-සෙක්ස් වලට) කතා කරනව.

අනේ ඒ මනුස්සය මොනව හිතන්න ඇතිද අපි ගැන.

මේ පෝස්ටුව ලියන්න හිතං ඉන්න වෙලාවෙ ඊයෙ නිව්ස් බැලුව. මර්වින් ඇමතිතුමාගෙ යෝජනාව ගැන සීරියස් ටෝක් එකක් දෙනව අපේ ඔටුන්න හිමි නාමල් කුමාර මහත්තය. මතක විදියට එතුමා කිව්වෙ "හාමුදුරුවනේ මර්වින් ඇමතිතුමා කලේ ප්‍රජාතන්ත්‍රවාදී යෝජනාවක්. ඒකෙ තියන වැරැද්ද මොකද්ද?...." වගේ අදහසක්. ඒ කතාව ඇහුවම මට හිතුනෙ තාත්තගෙ නමේ පිහිටෙන් පාර්ලිමේන්තු ඇවිල්ල ගොං කතා කියනව කියල අපි සජිත් ප්‍රේමදාස මහත්තයට බනින එක කොච්චර වැරදිද කියල.

☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺

මම හොයාගත්ත සමාන තේරුම් දෙන වාක්‍ය දෙකක් මෙන්න;

"ලොක්ක මට කැමතියි=ලොක්කගෙ කේන්දරකාරය කියනව මම දිනනව කියල"

Monday, September 2, 2013

සති අන්ත සෞඛ්‍ය කතා.

මේ කතන්දර කිහිපයම සිදුවූයේ අනුයාත සති අන්තවලය.
එක
මව්පියන් සමඟ විදේශ රටක ජීවත් වන අවුරුදු දෙකක් වයසැති දරුවෙකු ලංකාවට පැමිණියේය. යම් යම් රෝගී තත්වයන් සහමුලින්ම තුරන් කර ඇති බැවින් සමහර රටවල ප්‍රතිජීවක එන්නත් ලබා දෙන්නේ අඩුවෙනි. එබැවින් ලංකාවට පැමිණි පසු දරුවාට එන්නත් කිහිපයක් ලබාදිය යුතු යයි දෙමාපියන් තීරණය කරන ලදී. සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක ලියාපදිංචි වීම තරමක කරදරකාරී ක්‍රියාවක් බැවින් හා වැයවන මුදල් ප්‍රමාණය පිලිබඳ එතරම් තැකීමක් නොවූ බැවින් පෞද්ගලික රෝහලකින් එන්නත් ලබාගැනීමට ඔවුන් තීරණය කලේය. නිවස ආසන්නයේ ඇති පෞද්ගලික රෝහලකින් විමසූ විට ප්‍රධාන එන්නත සඳහා රුපියල් අට දහසක් වැයවන බව ඔවුන් ප්‍රකාශ කල අතර ආසන්න වෙනත් දිස්ත්‍රික්කයක රෝහලකින් අදාල එන්නත සහ තවත් මුඛ එන්නතක් ලබා ගත්තේ රුපියල් තුන් දහස් ගනනකටය.


දෙක
උක්ත එන්නත තම දරුවාට ලබාදීමට බ්ලොග්කරුවා පැමිණියේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයටය. සියයකට අධික දරුවන් පිරිසක් විවිධ වයස් කාණ්ඩයන් යටතේ ඒන්නත් ලබාගැනීම සඳහා පැමිණ සිටියහ. දොස්තර මහතාත් පවුල් සෞඛ්‍ය නිලධාරිණියන්ද ඉතාමත් කාරුණිකව සහ කඩිසරව තම කාර්යය ඉටුකරන ලදී. එන්නත් ලබාගැනීම පැය දෙකක් වැනි කාලයකදී සිදුකල අතර අමතරව යෝගට් එකක්ද ලබාදුන් බව කිවයුතුය.

තුන
පළමු කතාවේ සඳහන් කල දරුවා [පිට පිට දින දෙකක්ම] ඇදවැටීම නිසා යටිතොල ප්‍රදේශයේ තරමක පැලීමක් ඇතිවිය. රුධිර වහනයද තරමක් සිදුවූ බැවින් පෞද්ගලික රෝහලක් වෙත ගෙනයාමට සිදුවිය.

"මේකට මැහුම් දාන්න ඕන.... හිරිවැටෙන්න බේතක් දෙන්නං"

බෙහෙත් විදීම සඳහා සිරිංජය අතට ගත්තා පමණි. ළමයා බිම පෙරළෙමින් හඬන්නට විය. හිරිවට්ටා කිසිවක් කලනොහැකි බැව් අවබෝධ කරගත් වෛද්‍යවරිය ඉන්පසු කලේ වෙනත් යෝජනාවකි.

"මේක සිහිනැති කරල කරන්න වෙන්නෙ. ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙට යන්න"

එයට දරුවාගේ මව අකමැතිය.

"මහන්නෙ නැතුව බැරිද?"

"බෑ බෑ මේක පැසවල *&%^**+_(+_(+_(+*&*^&*%^........"

ඉන්පසු රජයේ රෝහලට පැමිණි අතර රෝගීන් ඇතුල් කරගන්නා වෛද්‍යවරයාගෙන්ද විමසුවේ සැත්කම් කිරීම අත්‍යවශද යන කාරණයයි.

"ඔව් ඔව්. මේක මහන්න ඕන. ඩෙන්ටල් ඩොක්ටර්ට පෙන්නන්න ඕන දත් කැඩිලද බලන්න. එක්ස්රේ එකක් ගන්න ඕන තව ^%#$&%^()_)(+_.........."

ආදී වශයෙන් කරුණු කාරණා දහසකි. කෙසේ හෝ දරුවා රෝහලට ඇතුලත් කල අතර වාට්ටුව භාරව සිටියේද උක්ත වෛද්‍යවරයාය. සවස පහට පමණ ‍ලෙඩුන් බැලීම‍මට පැමිණියේ දරුවාගේ සීයාය. වෛද්‍යවරයාට ඔහු හමුවිය.

"....... අංකල් ඇයි?"

"දුවගෙ දරුව................................................. මොකද කරන්නෙ?"

"එහෙනං පොඩ්ඩක් ඉන්න....[දුරකථනයෙන් යමක් කථාකර]..... සර්ජන් අද නිවාඩුයි. එයා එනව අහවල් ප්‍රයිවට් හොස්පිටල් එකට. අංකල් දැං ළමයත් එක්ක ගිහිල්ල එයාට පෙන්නන්න"

"එතකොට ටිකට්එක?

"කමක් නෑ හෙමින් සැරේ යන්න"

අහවල් පෞද්ගලික රෝහලේ සිටි ශල්‍ය වෛද්‍යවරයා දුන් ආලේපය සිව්දිනක් පමණ පාවිච්චි කල පසු දරුවා සම්පූර්නයෙන් සුවය ලැබීය.


පසුගිය දිනෙක රාවය පුවත්පතෙහි අපූරු ලිපියක් කියවීමි. ඒ දකුණු අප්‍රිකානු කළු ජාතික වෛද්‍යවරියක් වූ ටැන්ඩෙකා මසිබුකෝ [Thandeka Mazibuko] පිලිබඳවය. පියා මියගිය දුගී පවුලකට අයත් වෙමින්ද, ආදරය කරන්නන් රහිතව ජීවත් වෙමින්ද, ලාබාල වියේදම බලහත්කාරී විවාහයකට ඇතුළු වෙමින්ද ඇගේ සිහිනය වූයේ වෛද්‍යවරියක් වීමය. ඇයගේ අපේක්ෂාව වන්නේ මිත්‍යාවන්ගෙන් වෙලීගොස් රෝගයන්ට ප්‍රතිකාර නොගන්නා ප්‍රදේශයේ වැසියන්ට ප්‍රතිකාර කිරීමයි.

මා සඳහන් කල පළමු සිද්ධීන් තුන අප රටේ සෞඛ්‍ය සේවයේ තත්වය විදහාපායි. එය හොඳ නරක මිශ්‍ර වූවකි. "සැමට සම සෞඛ්‍ය අයිතිවාසිකම්" යනු අතීතයේ සිට ක්‍රමයෙන් ශිෂ්ඨත්වය කරා ගමන් කරන මානවයා සාදාගත්තකි. වෙනත් මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා තම [හෝ තම මවුපියන්ගේ/අනුග්‍රාහකයන්ගේ] හැකියාව උපයෝගී කරගත් ක්‍රමය වෙනුවට අධ්‍යාපනය සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර සියල්ලන්ටම ලබාදීම ඉතාමත් යහපත් කාර්යකි. යුද්ධ කිරීමේදී හෝ සතුරෙකු අල්ලාගත් විටකදී පවා මානව අයිතිවාසිකම් ගැන සැලකියයුතු යයි කතා කරන සමයක පසුම්බියේ මුදල් තිබූ හෝ නොතිබුනද රෝගයකට ප්‍රතිකාර ලැබියහැකි ක්‍රමයක් වේනම් එය වඩාත් මානුෂික බව කිව යුතුය. එහෙත් "සේවය" පුද්ගලානුබද්ධ වූ විට තත්වය අයහපත්ය.