Monday, May 27, 2013

අපේ හාමුදුරුවරු සහ බෞද්ධයෝ!

“ඉන්ද්‍රසාර ගිණි සහ ස්වර්ණවාහිනී!” යන හිසින් මෙම අඩවියේ මා පලකල ලිපියට ලැබුන ප්‍රතිචාර කිහිපයකි මේ,
“උඹ ඇතැම් පොස්ට් වල ගරු කල යුතු පුද්ගලයින්ට හන්දියේ වල බැහැල ඉන්න සෙට් එකේ එකෙක්ව ආමන්ත්‍රණය කරන විදියට ආමන්ත්‍රණය කරන්නේ උඹ ඒ හැම කෙනෙකුටම වඩා ශේෂ්ඨ වගේ හිතෙන නිසාද නැත්නම් ඒ උඹේ හැටි ද?.

“ඔබ මෙහි ඉන්ද්‍රසාර යනුවෙන් අමතන්නේ ඔබගේ මවගේ සොර සැමියාට නොවන බව මාගේ වැටහීමයි”

උක්ත සිද්ධිය අලලා කතන්දරකාරයා පලකල ලිපියට‍ දැමූ ප්‍රතිචාරයකි මේ,

“අතුරු ලියේ රතන" උඹෙ තාත්තට කතාකරන විදියට ලියන්නේ එහෙනන් උඹ තනිකර පරයන්ට කඹුරන කතෝලිකයෙක් නේද? දැන්නෙ දන්නෙ”

ඉහත ප්‍රථිචාර තුනටම වඩා විශේෂ මේ ප්‍රතිචාරයපලවී තිබුනේ w3lankaඅඩවියේ තිබූ ලිපියටයි.

“අදහස නම් හොඳයි ඒත් භික්ෂුන් වහන්සේ නමකට නමින් ඇමතීමට තරම් උද්දච්ච කමක් ඔබට ආවේ කොහොමද? කහ පටියක් බෙල්ලේ ගැට ගහ ගෙන හිටපු නුවර උගයේ ගනින්නාන්න්සේලා පවා සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා ගුණයෙන් උසස් බව ඔබ ඉගෙන ගත ආනන්ද විද්‍යාලයේදී උගත්තේ නැද්ද?”

මෙම අදහස් වලින් කියවෙන්නේ කුමක්ද? ශ්‍රී ලාංකීය බොදු බහුතරයක් තවමත් බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පමණක් නොව උන්වහන්සේගේ ගෝලයන් යයි කියාගත් වත්මන් සංඝ පරපුර වදාරන ‘ධර්මය’ කුමක් වුවත්, කිසිදු තර්කයකින් තොරව පිලිගැනීමට සූදානම් බවය. මොවුන් කරන්නේ කාලාම සූත්‍ර දේශනාවෙන් බුදුන් වහන්සේ දෙසූ, යමක් තර්ක කර සිතින් විග්‍රහකොට පිලිගැනීම අමතක කර දමමින් චීවරය දරන්නාවූ ඕනෑම අයෙකු කියන්නක් දොහොත් මුදුන් දී පිලිගැනීම නොවේද?
වසල සූත්‍රයේදී බුදුන් වහන්සේ දේශනා කරන ලද්දේ යමෙකු වසලයෙක් වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් යනුයි. කහ පටියක් ගෙලෙහි එල්ලාගත් පමණින් ඔහුගේ සිල්වත්කම පිලිබඳව තීරණය කිරීම කොතරම් අනුවනකමක්ද! එය බුදු දහමට ඇති නොගැලපීම ඔවුන්ට නොපෙනේද? මෙවැනි ‘බෞද්ධයන්ට’ අනුකම්පා කිරීමත් නුවණ පහලවේවායි පැතීමත් හැර අන් යමක් කල නොහැක.
වැදගත් කාරණාවට බහින්නේ දැන්ය.

ඉහත ප්‍රතිචාර වලින් කියවෙන්නේ බහුතරයක් බෞද්ධයන් බුදු දහම සම්බන්ධ‍වත් සංඝ්‍යා වහන්සේලා සම්බන්ධවත් ඇති ගෞරවනීය බවයි. “අපි වඳින්නෙ සිව්රට” යනුවෙන් පවසන බෞද්ධයන් මට ඕනෑ තරම් මුනගැසී ඇත. චීවරය දැරීමට නුසුදුස්සන් හට පවා දොහොත් මුදුන් දී වැඳීමත් ගෞරවනීය අයුරින් ඇමතීමටත් බෞද්ධයන් නොපැකිලේ. එය ඔවුන්ගේ වරදක් නොවේ. චිරාත් කාලයක් ලාංකීය සංස්කෘතියට බද්ධ වී ඇති දහමටත් එහි අනෙකුත් අංග වලටත් ඇති ගෞරවය තර්කයෙන් ඉක්මවා යාමට ඇති අකමැත්තයි.
ප්‍රශ්නය ඇත්තේ එතන නොවේ. බෞද්ධයන්ගේ මෙම ගරු සැලකිලි වලට ලක්වීමට තරම් සුදුසු තත්වයක බොහෝ භික්ෂූන් නොමැති වීමයි. බුදු දහමේ හැටියට බොරුවක් කීම පවා පාපයකි. පාපයට මුල් වන්නේ චේතනාවයි. නැති සිල්වත් බවක් පෙන්වමින් තමාට අයත් නොවන ගෞරවයක් ගිහියන්ගෙන් ලබාගැනීම ඊටත් වඩා පාපයකි. මක්නිසාද යත් මොවුන් ක්‍රීඩා කරන්නේ අහිංසක මිනිසුන්ගේ චෛතසිකයන් සමඟ වීමය.


Saturday, May 25, 2013

ඉන්ද්‍රසාර ගිණි සහ ස්වර්ණවාහිනී!

ජපන් කෙටි කතාවකට අනුව, රජතුමා වෙනුවෙන් අපායේ චිත්‍රයක් ඇඳීමෙහි නිරතවන රජුගේ ප්‍රධාන චිත්‍ර ශිල්පියාට චිත්‍රයේ නිමාව වෙනුවෙන් අවශ්‍යතාවයක් වෙයි. ගිණිගෙන දැවෙන කරත්තයක නැඟි තරුණියක් ගිණි දැල් මැද විලාප දෙමින් දැවී යන ආකාරයේ දර්ශනයකි ඔහුට ඇවැසි වන්නේ. කෘතීමව සකස්කල දර්ශනයකට ඔහු නොකැමැති වන අතර අවසානයේ රජුගේ නියෝගය වන්නේ චිත්‍ර ශිල්පියාගේ තරුණ රූමත් දියනිය යොදාගෙන දර්ශනය තාත්විකව ලබාදීමටය. චිත්‍රය තාත්විකතාවය ලබාගන්නේ එවැනි බිහිසුනු ආකාරයකටය.[මතකයේ හැටියට ලේඛකයා රියුනෝසුකෙ අකුතගාවාය].

අපට මේ කතාව සිහිගන්වන්නේ ඊයේ දිනයේදී දළදා මාලිගාව ඉදිරිපිටදී සිරුරට ගිනිතබාගත් බෝවත්තේ ඉන්ද්‍රසාර නැමති භික්ෂුවකගේ ක්‍රියාකලාපය හා ස්වර්ණවාහිනය එය විකාශය කල ආකාරය දුටු විටය. මෙම සිද්ධිය නැරඹූ ඕනෑම අයෙකුට දැනෙන යථාර්තය වන්නේ ස්වර්ණවාහිනී මාධ්‍යවේදියා ඇතුළු පිරිස මෙම ක්‍රියාව කලින් දැනගෙන සිටි බවය. යුධ පුවත් වාර්තාකරණය හා යුද්ධය පැවති සමයේ පිපිරුන බෝම්බ පිලිබඳව, තරග‍යට මෙන් 'සත්‍ය ප්‍රථමයෙන්' වාර්තා කිරීමෙහි යෙදී සිටි මාධ්‍ය ආයතන යුද්ධය නිමාවීමත් සමඟ මේ ගනයේ පුවත් හිඟයකින් පෙළෙන්නට විය. රථවාහන අනතුරු, මිනීමැරීම්, දියේ ගිලී මියයෑම්,... වැනි 'සිල්ලර' ජස්ට් නිව්ස් වර්ධනය වී ඇති තත්වයේ තරමය මේ. මෙහි ඉදිරියෙන්ම සිටින ස්වර්ණවාහිනිය පිලිබඳ මීට පෙරත් කතා කර ඇති බැවින් දිගින් දිගටම කතා කිරීම අනවශ්‍ය වේ. අනෙක් අතට මෙම දිවි නසාගැනීම රටවටා යැවීම සඳහා ඉන්ද්‍රසාර භික්ෂුව, 'වඩාත් නිවැරදි' මේ අංශයේ ප්‍රමුඛයා තෝරාගැනීම සිදුකර ඇත. ඉදිරි කාලයේදී සිය මව, පියා, බිරිඳ-සැමියා හෝ දරුවන් ගිනිගන්නා විට නැතිනම් දියේ ගිලෙන විට ඔවුන් බේරාගැනීම පසෙකලා වඩාත් තාත්වික 'ෂොට්එක' සෙවීමෙහි නිරත වන්නන් සිටියහොත් පුදුම වියයුතු නැත‍.

දැන් මූලික කාරණය දෙසට යොමුවෙමු.
ඉන්ද්‍රසාර භික්ෂුවගේ අරමුණ බලහත්කාරයෙන් අන්‍යාගම්වලට හැරවීම නැවැත්වීමත් ගවඝාතනය තහනම් කිරීමත්ය. ඔහුගේ යෝජනාව මේ සඳහා නීති රීති පාර්ලිමේන්තුවට ගෙන ඒමයි. මිනිසෙකුගේ අතිශයින් පෞද්ගලික කාරණාවක් වන ආගම-ලබ්ධිය හෝ දර්ශනය බලහත්කාරයෙන් වෙනස් කලහැක්කක් නොවේ‍. මෙම චෝදනාව නඟන්නෙක් නම් ඔහු කලයුතු පළමු ක්‍රියාව වන්නේ, යම් ආගමකට බැඳිය යුතු යැයි තර්ජනයක් ලැබූ අයෙකු හෝ එවැනි කාරණාවක් සම්බන්ධව පොලීසියට ලැබුනු පැමිණිලි කල අයෙකු සම්බන්ධව නීතිය ඉටු නොවූ අවස්ථාවන් ඇත්දැයි හෙලිකිරීමයි‍. ඉන්පසුව අදාල කාරණා එකින් එක සොයාබැලිය හැකිය. එතෙක් මෙම චෝදනාව ප්‍රලාපයක් පමණි.

ඉන්ද්‍රසාර භික්ෂුවගේ දෙවැනි කරුණ කතා කලයුත්තකි. ඔහුට අනුව ලංකාව තුල සිදුවන දෛනික ගව ඝාතන සංඛ්‍යාව පන්දහසකි. වරක් ටැබූ කී ලෙස මෙම පන්දහසින් වැඩි ප්‍රමාණයක් බෞද්ධයන්ගේ මාංශ පරිභෝජනය වෙනුවෙන් ඝාතනය වන ගවයන් විය හැකිය. ගව ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුල නීතිරීති පද්ධතියක් ක්‍රියාත්මක වේ. {ඒ අනුව (ඉන්ද්‍රසාර නියෝජනය කරන) හෙළ උරුමයේ මතය අනුව, 'ව්‍යවස්ථාවට එකඟව' සිදුවන සත්ව ඝාතනය එතරම් ගනන් ගතයුතු නොවේ[සූදු පනත මතක ඇතැයි සිතමි]}. ගවඝාතනය පමණක් නොව ඌරන් කුකුලන් එළුවන් ආදී සියලු සත්වයන් මිනිස් පරිභෝජනය වෙනුවෙන් මිය යන්නේ එම නීති යටතේය. යම් සිංහල බෞද්ධයන් ප්‍රථිශතයකට ගවමස් කෑමට රුචි නොවන අතර ගව ඝාතනය තහනම් කලහොත් ඉන් වඩාත් අපහසුතාවයට පත් වන්නේ ඌරු මසින්ද වලකින මුස්ලිමුන්ය. වැල්ලවාය ගව ඝාතකාගාරය වසර කිහිපයක සිට වසා දමා ඇත්තේ එහි සභාපතිවරයා විසින් එය මිලදීගෙන වසා දැමීමෙනි. මෙම මස්කඩ වසාදැමීමේ ක්‍රමය තැන් කිහිපයකම ක්‍රියාත්මක වේ[ටෙන්ඩරයක් ලබාගත් පසු අදාල සේවය සපයන්නේ නැතිනම් එයද නීති විරෝධීය]. 'උත්තරීතර' පාර්ලිමේන්තුවවේ ඌරුමස් තහනම් කර ඇත්තේ මුස්ලිම් නියෝජිතයන්ගේ විරෝධතාවය නිසාය. කෙසේ වුවත් මෙම කරුණු අපට කියන්නේ එක් දෙයකි. එනම් ලාංකිකයන්ගේ ඇති අන්තවාදී ස්වභාවයයි. සිංහල, දෙමළ, මුස්ලිම් බොහෝදෙනා උත්සාහ කරන්නේ 'තම කැමැත්ත අන් සැමගේ කැමැත්ත' බවට පත් කිරීමටයි. සත්ව ඝාතනය අනුමත කල හැක්කක් නොවුවද, සිංහලයාට ඌරුමස්ද මරක්කලයාට ගවමස්ද කෑමට ඇති අයිතියට සිංහලයාද මරක්කලයාද ගරු කලයුතුය‍.

මේ පිලිබඳ වෙනත් ලිපි: w3lanka, රැඩිකල් අදහස්

Thursday, May 23, 2013

වෙසක් සිතුවිලි!

කාර්යාලෙ කස්ටිය බහුතරයක් අද සිල්. එකතැනක ඉන්න තියන අමාරුවත් වාහන ලයිසන් දෙන නුපුහුණු ළමයට සපෝට් එකක් විදියටත් මංතුමා පුරුදු පරිදි වෙනද ගන්න සීලෙන්. සිල් ගැන කිව්වම මතක් උනේ කතන්දරකාරයගෙ පංචසීල තියරිය.

Ppp> Pad> Pkm> Pmw> Psm

සමහරු මේකට විරුද්ධ වෙලා තිබුන බුදු දහම විකෘති කරනව කියල. තවත් සමහරු අහල තිබුන මේක ගත්ත විදිය මොකද්ද කියල.
බුදු හාමුදුරුවො කියපු බොහෝ දේවල් තර්කාණුකූලයි. ඒ වගේම අලුත් ගැටළුවක් පැන නැඟුනොත් ධර්මයේ මූලික සිද්ධාන්ත වලින් විසඳන්න පුළුවන්. අර ගණිතයේ තියන අපෝහන ක්‍රමය වගේ. කවුදෝ හාමුදුරු කෙනෙක් ලියපු “බුදු හාමුදුරුවෝ” කියන ප්‍රසිද්ධ පොත කියවපු කවුරුහරි ඉන්නව නම් මතක ඇති, ඒකෙ ලියවිලා තියෙන්නෙ බුදු හාමුදුරුවන් තුල තිබුන යම් යම් ගති ලක්ෂන සහ ඒවාට උදාහරණ. උදාහරණයක් විදියට ඒකෙ තියනව බුදු හාමුදුරුවෝ කියන්නෙ හොඳ මනෝ වෛද්‍යවරයෙක් කියල. ළමය මළ ශෝකයෙන් තමුන් ලඟට ආපු කිසාගෝතමීට දුන්න ප්‍රථිකාරය, තමයි සාධකය.

ආයෙත් මාතෘකාවට ආවොත් මම කිව්වෙ අපෝහනය කිරීමේ ක්‍රමය ගැන. යම්කිසි ක්‍රියාවක් කල යුතුද නැද්ද යන්න තමුන්ටම තීරණය කිරීමේ ක්‍රමයක් බුදු හාමුදුරුවො කියල තියනව.
“යම් ක්‍රියාවකින් තමන්ට-අනුන්ට යහපතක් වේනම් එය කිරීම සුදුසු බවත් තමන්ටත් අන්‍යන්ටත් අයහපතක් වේ නම් එය නොකිරීම සුදුසු බවත්” තමයි කෙටියෙන් කිව්වොත්. ඔය තියරියට දාල බැලුවම පස් පව් අතරින් වඩා අයහපත් ප්‍රාන ඝාතය. ඊට පස්සෙ සොරකම, වැරදි කාම සේවනය, බොරුව සහ සුරා පානය ආදී වශයෙන් ගන්න පුළුවන්. හැබැයි තමුන් කියන බොරුවක් නිසා තවත් කෙනෙක් මියයනව නම්, මියයන බව දන්නව නම් එතනදි කේස්එක සංකීර්ණයි. අකුසල් සෙට් එකෙන් අන්තිම එක, සුරා පානය එච්චර ප්‍රභල නෑ කියල මටත් හිතෙනව.(දී කිරට සාක්කි කියන බළල්ලු?). ප්‍රානඝාත, අදත්තාදාන,.... හතරටම අදාලව අකුසල් සිදුවන ආකාරය බුදු හාමුදුරුවො කියල තියනව. ඒ කියන්නෙ ප්‍රානඝාතයට නං පනඇති සතෙකු වීම, ඒ වග දැනගැනීම, චේතනාව පහලවීම, උපාය යෙදීම, මැරීම....ආදී වශයෙන්. සුරාව සම්බන්ධයෙන් ඔයවගේ චේතනා-ක්‍රියා මූලයන් විස්තර කරල නෑ. ඒ වගේ වෙලාවට තමයි මම මුලින් කිව්ව තියරියට දාල සුරාව නරකයි කියල ඔප්පු කරන්න වෙන්නෙ. කොහොම උනත් ප්‍රශ්න නොකිරීමට තරම් අධික ශ්‍රද්ධාව පැත්තක තියල මේව ගැන කල්පනා කිරීම-සංවාද කිරීම මට නං බොහොම සුන්දර අත්දැකීමක්.

මම කිව්ව අපෝහනය කිරීමේ ක්‍රමවේදයෙන් ඔප්පු කරන්න පුළුවන් ගොඩක් දේවල් තියනව. පහුගිය කාලෙක කතිකාවක් ආව ජාතික ගීය කියද්දි හාමුදුරු කෙනෙක් නැඟීසිටින්න ඕනද කියල. අන්තිමට මේක මහානායක හාමුදුරුවන්ගෙන් අහන්න ඕන කියන තත්වයට පත්වුනා. පැවිදි වූ කෙනෙක් කියන්නෙ ලෞකික දේවල් වලින් ඈත්වෙලා තම ‘අරමුණ’ කරා යන කෙනෙක්. ඉතින් එහෙම කෙනෙකුට කොයින්ද ජාතිකත්වයක්? ජාතික ගීයට තියා මොන මඟුලටවත් නැගිටින්න ඕන නෑ එහෙම කෙනෙක්.

සංඝ්‍යාවහන්සේලා සම්බන්ධ වාද විවාද වලදි බොහෝදෙනා මතුකරන තර්කයක් තමයි “පුළුවන් නම් සිවුරක් දාගෙන බලන්න, කොහොමද ර‍ඟේ කියල” කියනඑක. මූලික අර්ථයෙන් බැහැර වෙලා පැවිදි උනාම තමයි ඔයවගේ කේස් වෙන්නෙ. එහෙම උදවියට ජාතික ගීය ඇහෙනකොට නැඟිටින්න හිතෙනව නං පුදුම වෙන්න දෙයක් නෑ.

මම සාමාන්‍යයෙන් ටීවී එකේ යන හොදයි කියල හිතෙන ධර්ම සාකච්ඡා බලනව. ඔන්න සමහර වෙලාවට සමහරු කතාකරල හාමුදුරුවන්ගෙන් අහනව මේවගේ ප්‍රශ්න,
“හාමුදුරුවනේ මම ඇවිදිනකොට කඩියෙක් පෑගිලා මැරුණ. හැබැයි පෑගෙන්න කලින් මම ඌව දැක්ක. ඒත් වලක්වාගන්න බැරිවුනා, මට අකුසලයක් සිදුවෙනවද?”මේව බුදු දහමේ මූලික තියරි වලින් විසඳගන්න පුළුවන් ප්‍රශ්න. ඒත් මේවත් ප්‍රශ්න බවට පත්කරගත්ත මිනිස්සු ඕන තරම් ඉන්නව.

*************************************************************************************

ටික දවසකට කලින් බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා අපූරු නියෝගයක් දුන්න. වෙසක් කූඩු, දන්සැල්, තොරණ, ආදී කාරණා කීපයක් සම්බන්ධව. කොහොම උනත් වැඩි වෙලාවක් යන්න කලින් ඒක සංශෝධනය කරන්නත් උන්නැහේ පියවර ගත්ත. බොදුබල හාමුදුරුවරුත් වේවැල් අරගෙන පාරට බහින්න ලෑස්ති කතාවක් කියනව. වෙසක් කූඩු විකිණිල්ල, ඔලුබක්කො නැටිල්ල.... වගේ දේවල් හොඳ නෑ කියලයි එයාල කියන්නෙ. මිනිස්සුන්ට අද තියන විවේකයත් එක්ක බැලුවම වෙසක් කූඩුවක් හදන්න වෙලාවක් නෑ. අවුරුද්දට කැවිලි කඩෙන් ගෙනල්ල කන මේ කාලෙ ඕවට විරුද්ධ උනා කියල වැඩක් නෑ. හැම දෙයක්ම මධ්‍යස්ථව හිතල බලල වැඩකරනව නං තමා හොඳ. විශේෂයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් වගේ කෙනෙක් අන්තවාදී ස්වරූපයකින් කටයුතු කලොත් බුදු දහමටයි හොඳ නැත්තෙ.

වෙසක් දන්සැල් ගැනත් කියන්න තියෙන්නෙ ඒ ටික තමයි. බලෙන් එකතු කරල බලෙන් ගිල්ලවන්න හදන දන්සැල් ක්‍රමේට නං මමත් විරුද්ධයි. විශේෂයෙන්ම දන්සැල්වලට ආධාර එකතුකිරීම බොහොම සංයමයෙන් කරන්න ඕන වැඩක්. සමහරු ඉන්නව අනුන්ගෙන්ම අරගෙන දන්සැල් දීල ‘ගොඩයන්න’ බලං ඉන්න උදවිය. දාන ගැන කියද්දි මට මතක් වෙන්නෙ බුදු හාමුදුරුවො ප්‍රශ්නෙකට දුන්න උත්තරයක්.
මට මතක විදියට මුගලන් හාමුදුරුවන් අහනව මෙන්න මේවගේ ප්‍රශ්නයක්.

“ස්වාමීනි, භාගයවතුන් වහන්ස, සමහර මිනිසුන් ධනවත්ව එමෙන්ම පිරිස් බලය සහිතව සිටීමට හේතුව කුමක්ද?”
“සමහර මිනිසුන් ධනවත් නමුත් පිරිස් බලය රහිතව සිටීමට හේතුව කුමක්ද?”
“සමහර මිනිසුන් ධනවත් නොවන නමුත් පිරිස් බලය සහිතව සිටීමට හේතුව කුමක්ද?”
“සමහර මිනිසුන් ධනයෙන්ද පිරිස් බලයෙන්ද රහිතව සිටීමට හේතුව කුමක්ද?”

බුදු හාමුදුරුවන්ගෙ උත්තරේ වෙන්නෙ,

“යමෙක් තම වස්තුව වියදම් කරමින් දානමාන පින්කම් කරයිද ඒ සඳහා අන්‍යන්ද සහභාගී කරගනීද ඔහු ධනවත්ව හා පිරිස් බලය සහිත වේ”.
“යමෙක් තම වස්තුව වියදම් කරමින් දානමාන පින්කම් කලද ඒ සඳහා අන්‍යන් සහභාගී කර නොගනීද ඔහු ධනවත් නමුත් පිරිස් බල රහිත වේ”.
“යමෙක් දානමාන පින්කම් කලද ඒ සඳහා තම ධනය යොදා නොගන්නා නමුත් අන්‍යන් සහභාගී කරගනීද ඔහු ධනවත් නොවුවත් පිරිස් බලය සහිත වේ”.
“යමෙක් දානමාන පින්කම් නොකරයිද අන්‍යන් ඒ සඳහා පොලඹවා නොගනීද ඔහු ධනයෙන්ද පිරිස් බලයෙන්ද හීන වේ”


බැලූ බැල්මට මේක වෙන්න පුළුවන් කේස් එකක්. මේ වර්ග හතරෙම මිනිස්සු ඔහේල දැකල ඇති.

ඕව තමයි මගේ වෙසක් සිතුවිලි. දැනට ඔය ඇති. රයිට් මංතුමා යනව ගිලන්පස බෙදන්න. කියන්න තියන දෙයක් පහලින් ලියල යන්න. ආයේ මගේ සිතිවිලි එක්ක පෑහුනේ නෑ කියල අමනාප නෑ.