Friday, December 28, 2012

SL top chart සමඟ සමුගනිමි 2012

Top 3 රාජ්‍යසේවකයෝ.

3.ඛනිජ තෙල් අමාත්‍යංශ ලේකම්.
2.විභාග කොමසාරිස්.
රජයත් තම දෙපාර්තමේන්තුවත් වෙනුවෙන් අසීරු කාර්යභාරයක් ඉටුකිරීම වෙනුවෙන්‍,.........
1.පොලිස් මාධ්‍ය ප්‍රකාශක.



වසරේ තරුණයා


3.නාමල් රාජපක්ෂ
2.මාලක සිල්වා
ජනපති පියාගේ හෝ පියාට අයත් රජයේ, විශය භාර අමාත්‍යාංශයෙන් කිසිදු උපකාරයක් නොලබා චීන රජය සමඟ එක්ව මාතෘභූමිය වෙනුවෙන් චන්ද්‍රිකාවක් ගුවන්ගතකිරීම වෙනුවෙන්,.......
1.රෝහිත රාජපක්ෂ


2012 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම මිතුරා

3.වෙනිසියුලාව
2.ඉරානය
ලංකාවට සැපත්වූ රාජ්‍ය නායකයාගේ, උණුසුම් මිත්‍රත්වය මැද්දෙන්,......
1.ස්වාසිලන්තය.


නැගී එන දේශපාලනඥයා

3.අජිත් ප්‍රසන්න.
2.ලියනගේ සුනිල් හෙවත් සාරුවා සුනිල්.
විදේශ බලවේග වලට එරෙහිව සටන් කරමින්ද ඔවුන් හමුවේ නොසැලී සිට රටටත් නායකත්වයටත් පක්ෂපාතීව කල සේවය වෙනුවෙන්,
1.සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ.


තම ශිෂ්‍ය පිරිස වෙනුවෙන් අපරිමිත පරිත්‍යාගයන් සිදුකර වැරදිකරු වී, විශේෂ දිසාපාමොක් සම්මානයෙන් පිදුම් ලබන්නේ(නිතරගයෙන්),......
1.සම්පත් අත්තටගේ


Top 3 ministers

3.සුසිල් ප්‍රේමජයන්ත
2.එස්බී දිසානායක‍
තම අමාත්‍යාංශ නිලධාරීන්ගේ(?) මෝඩකම් හමුවේ තවදුරටත් තනතුරේ රැඳී සිටීම වෙනුවෙන්,.....
1.බන්දුල ගුණවර්ධන


Most Powerful civilian

3.
2.ජූලම්පිටියේ අමරේ
කිසිවෙකුගේ සහයෝගයකින් තොරව අධි ආරක්ෂාවක් තිබූ රටේ ජාතික කෞතුකාගාරයට පිවිස පෞරාණික භාණ්ඩ සොරාගැනීම වෙනුවෙන්,.......
1.ලන්සගේ ප්‍රියන්ත මෙන්ඩිස් හෙවත් කන්ගැට්ටා.


The Modern Patriot කාන්තාවන් සඳහා සම්මානයක් යෝජනා කරනු ලදුව පසුව එක්කරන ලදී.
උපුටනය:

වසරේ නිර්මාණශීලීම කාන්තාව

3. ගෝල්ඩන් සිරප් ශ්‍රී ලාංකීය ජනතාවට හදුන්වාදීම වෙනුවෙන් - රෝසි සේනානායක
2. CCTV වලින් ප්‍රවෘත්ති රූ ගත කළ හැකි බව සහ 'මර්ඩර් ත්‍රිල්' සංකල්පය හදුනවාදීම වෙනුවන් - සෝමා එදිරිසිංහ
වෙළද දැන්වීම් පමණක් විකාශණය වන රූපවාහිනී නාලිකාවකින්, ක්‍රීඩා තරග විකාශය කළ හැකි බව සොයාගැනීම සහ සියළු ජාතික ක්‍රීඩා තරග පුද්ගලික නාලිකාවට ලබා ගත හැකි අයුරින් රටක නීතිය වෙනස් කරවා ගැනීම වෙනුවෙන්. CSN නාලිකා ප්‍රධානී
1.යසාරා අබේනායක රාජපක්ෂ

උ.ගැ. අවසන්.

වසරේ කියමන: "නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ, නඩු අහන බඩුත් හාමුදුරුවන්ගෙ!"

ලබන්නාවූ 2013 වසර සුබ නව වසරක් වේවා! රැවටිලිකරුවන්ට හසුවීම් අඩු වේවා!

Tuesday, December 25, 2012

Sri lanken simple logic

1.විජයදාස රාජපක්ෂ මහතාගේ නිවසට වෙඩිතබා ඇත.
2.එහෙත් ඔහු 119ට කතාකර නැත.
විජයදාස රාජපක්ෂ මහතාගේ නිවසට වෙඩිතබා ඇත්තේ ඔහු විසින්මය.


1.විජයදාස රාජපක්ෂ මහතාගේ නිවසට වෙඩිතබා ඇත.
2.එහෙත් රාජපක්ෂ මහතාගේත් ඔහුගේ පුත්‍රයාගේත් සාක්ෂි පරස්පරය.
විජයදාස රාජපක්ෂ මහතාගේ නිවසට වෙඩිතබා ඇත්තේ ඔහු විස්න්මය.


1.විජයදාස රාජපක්ෂ මහතාගේ නිවසට වෙඩිතබා ඇත.
2.ඔහුගේ සුවදුක් බැලීමට පැමිණ සිටියවුන් අතරින් .....ද කෙනෙකි.
වෙඩිතැබීමට .....ගේ සම්බන්ධයක් තිබිය කොහැක.
(බුවාගෙන් උස්සපු අදහසක්)


1.විද්‍යාව ප්‍රශ්නපත්‍රය කලින් පිටවී ඇත.
2.ප්‍රශ්නපත්‍ර හදන්නේ විභාග දෙපාර්තමේන්තුව මිස අධ්‍යාපන ඇමතිතුමා නොවේ.
ඇමතිතුමා ඉල්ලා අස්වීම තේරුමක් නැත.


1.විද්‍යාව ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න 19කලින් පිටවී ඇත.
2.එම ප්‍රශ්න 19ට සියල්ලන්ටම ලකුණු ලබාදීමට තීරණය කර ඇත.
දැන් ප්‍රශ්නයක් නැත.


1.හලාල් = පිරිසිදු
හලාල් කෑම එපා = පිරිසිදු කෑම එපා.


1.2012-12-21න් මායා කැලැන්ඩරය අවසන්.
2012-12-21න් පසු ලෝකය අවසන්.


1.උත්තරීතර(ව්‍යවස්ථාදායකය)> උත්තරීතර(අධිකරණය)
2.ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන්> අධිකරන නිලධාරීන්.
මන්ත්‍රීතුමන්ලාට පුළුවන් අගවිනිසුරුතුමියට කුනුහබ්බෙන් බනින්න.


1.සුරාමේරය බෞද්ධයන්ට අකැප නිසා පෝයට බාර් වසා ඇත.
2.ලංකාව කියන්නෙ බෞද්ධ රටක්.
නත්තලටත් බාර් වහල.


1.මගේ මතය තමයි අහවල් එක.
2.උඹලගෙ මතය තමයි ඒක.
3.මම තමයි පොර.
උඹලගෙත් මතය අහවල් එකම වෙන්න ඕන.


ඔන්න ඕව තමයි ලොජික් කියන්නෙ. දැං මේක කියවන කෙනෙක් මේවගේ ලොජික් එකක් ගේන්න පුළුවන්.

1.රාජ්ට බොන්න ඕනවුනා.
2.නත්තල් නිසා බාර් වහල.
තදවෙලා මේක ලිව්ව.

ඔහෙලට වැරදිලා.


සියල්ලන්ටම සුභ නත්තලක්!

Thursday, December 20, 2012

ලෝක විනාසෙට කලිං.......!‍

ලෝක විනාශයට තව තියෙන්නෙ පැය විසිහතරකට අඩු කාලයක් :P .ඉතිං මංතුමත් හදිස්සියෙන්ම බ්ලොග් පෝස්ටුවක් දාන්න හිතුව.
අද හවස් වෙනකොට-ඒ කියන්නෙ මේ වෙනකොට- ලෝක විනාසෙ බලපෑම ලෝකය පුරාම දැනෙනව කිව්වොත් බොරුවක් නෙවේ. ලෝක විනාස බඩු ලැයිස්තුවකුත් හැදුවෙ අපේ මාරයනෙ. ඒ මදිවට සුබ ලෝක විනාසයකුත් ප්‍රාර්ථනා කලාද කොහෙද!

දැන් ටිකකට කලින් ටවුමට ගියපු අපේ නැන්දම්ම කිව්ව විදියට නං ටියුෂන් පංති කිහිපයකුත් ලෝක විනාශය නිමිත්තෙන් හෙට නිවාඩු දීලලු. ඒ මදිවට සමහරු අවුරුද්දට-නත්තලට ගෙනියනව වගේ ටිකක් වැඩිපුර හාල් පොල් තුනපහ ‍එලවලු ගෙනියනව කියලත් කිව්ව. මොකද කියල ඇහුවම ලැබිල තියන උත්තර
"මොනව වෙයිද දන්නෙ නැහැනෙ" , "හෙට කඩවල් වහයිද දන්නෙ නැහැනෙ" වගේලු!

අද උදේ මම දැක්ක චීන සමාගමක් ලෝක විනාශෙන් ආරක්ෂා වෙන්න සවි ශක්තිමත් බෝලයක් හැඩැති බංකරයක් හදලත් තියනව. ඒක ඇතුලට ගිහිල්ල ආසනේක වාඩිවෙලා සීට් බෙල්ට් දාගත්තම ලෝක විනාසෙන් බේරෙන්න පුළුවන්.

මේ ලෝක විනාස සංකල්පය කොහෙන් ආව උනත් මේක විශ්වාස කරන උදවිය ලෝකය පුරාම ඉන්නව. ලංකාවෙ නං ප්‍රතිශතය ටිකක් වැඩිත් ඇති. සංචාරක හෝටලයක අයිතිකාරයෙක් මාත් එක්ක කිවුව විදියට නං එයාගෙ හොටෙල් එකේ හිටිය සුද්දො සෙට්එකකුත් තමන්ගෙ රටට ගියාලු ලෝක විනාසෙ නිසා.

මේ මතවාදයට මූලික හේතුවක් උනේ මායාවරුන්ගේ කැලැන්ඩරේ අවසන්වීම. ඒත් ඇත්තටම සිද්ධවෙලා තියෙන්නෙ වෙන දෙයක්. ඔය කැලැන්ඩරේ හදපු වෙද පප්ප වගේ පොර නිධානයක් ගන්න ගිහිල්ල ගල් බෝරෙකට අහුවෙලා මැරුන දවසෙ ඉඳල කැලැන්ඩරේ හැදිල්ල නැවතුනාලු! ඕක මට කිව්වෙ අධ්‍යාත්ම වේදී අහවලා.

ලෝක විනාසෙන් දවසකට පස්සෙ අපේ Raj සහෝදරයගෙ උපන්දිනෙත් ඊට දවසකට පස්සෙ මංතුමාගෙ උපන්දිනෙත් තියනව. ඔපීසියෙ එවුන්ගෙන් බේරෙන්න බෑ අද ලෝක විනාසෙට කලිං පාටියක් ඉල්ලල. මං නං දෙයි! ඒ ගානත් මෙදාසැරේ ඉතුරුයි. :)

අපේ සෑම් අයිය "සුළු සේවකයන් ලිපිකරු තනතුරට උසස් වීමේ" විභාගෙට ලියනව විසි දෙවැනිදා. විභාගෙ තියන දවස මට කියල කලින්ම නෙට් එකෙන් බලාගෙනයි හිටියෙ. ඊට ටික දවසකට පස්සෙ මගේ ලඟට ආව. අපේ කතාබහ මෙහෙමයි,

සෑම් අයිය : රාජ් මහත්තයෝ අපි අරක බලමුද ආයි සැරයක්......
මම : මොකද්ද?
සෑම් අයිය : අපේ විභාගෙ....
මම : ඇයි මම පෙන්නුවෙ?
සෑම් අයිය : නෑ අර ඔය දවස් වලට ඉර පායන්නෙ නැතුව කරුවල වෙන කතාවක් තියනවනේ. විභාගෙ කල් යයිද?

ඔය කතාව මම කා එක්කවත් කිව්වෙත් නෑ. සෑම්ට කවුරුත් මොකුත් කිව්වෙත් නෑ.

මේ සෑම් අයියගෙ තවත් කතාවක්.
විභාගෙ නිසා සෑම් අයිය මේ සතියෙ නිවාඩුයි. පාඩම් කරන්න කියල! අද උදේ අපේ එකෙක් ගිහිල්ල සෑම් බලන්න. ඌ කිව්වෙ නං මෙහෙමයි,

"මොන පිස්සුද! සෑම් වී මලු ටික ගේ මැද උගේ වටේට තියාගෙන, ඒක මැද ඉන්නව අතේ සල්ලි වගයකුත් තියාගෙන ලෝකෙ විනාස වෙනකං"

හරි හරි ඔය කතා ඇති. එහෙනං කස්ටියටම සුබ ලෝක විනාසයක්! මතක ඇතුව මාරයගෙ බඩු ලැයිස්තුව ගනිල්ල. ලැප්ටොප් එකයි ඩොංගල් එකයි අනිව ගනිල්ල. මොකද ලෝක විනාසෙන් ටෙලිෆෝන් ලයින් විනාස උනොත් බ්ලොග් ලියන්න ඩොංගලේ එපැයි!

Monday, December 3, 2012

මගේ අප්සට් ගී විචාර

සමහර සිංදු තියනව කොච්චර සාහිත්‍ය රසයක් තිබුනත් අමුවෙන්ම අදහස ගත්තොත් පට්ට චාටර්. ඒ ගැන ඔන්න අද මගේ අප්සට් ගී විචාරය.
මුසාවාදෙ කැඩෙන සිංදු.
වැඩිම බොරු ගනනක් තියන සිංදුව මොකක්ද කියල ඇහුවොත් ඔයාල දෙන උත්තරේ මොකද්ද?

නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
වලාකුලෙන් රුවල් දමාලා........
බාලොලියා මල්නටුවෙන් හබල් ගසාලා
පෙම් ගඟුලේ රැල්ල නඟාලා.......

බලන්න කියන බොරු කන්දරාව! ඕකෙ අනිත් ටිකෙත් තියෙන්නෙ ඔයවගේම බොරු තමයි!

අසාධාරණ යෝජනා.

මෙන්න මේ සිංදුව බලන්න.

මාගේ පැලේ අඳුර නසන්න
හිතෙනවා මනාලියක් ගෙනෙන්න
නිවසේ'දුර එළිය කරන්න
මට විනෝදයෙන් කාලෙ ගෙවන්න

මෙයා හිතං ඉන්නෙ බැඳිල්ල කියන්නෙ ලේසි පාසු කටයුත්තක් කියල. අනේ පවු! අනිත්එක මේවගේ එකෙකුට ලැජ්ජ නැතුව කෙල්ලෙකුට කතාකරන්න පුළුවන්ද?

උපන් රටෙන් අඟලක් නැත මගෙයි කියන්න
මම අසරණයෙකි අතරමං වුන
මේ ඉර හඳ දෙකටත් බැරි විය අඳුර මකන්න
මම තරුවක් වෙමි අහසෙ පාවෙන

ඉන්න තැනක්වත් නැති එකා ගෑනිට කතාකරන්නෙ නිකං අහසෙ ඉන්න වගේ. හැබැයි අන්තිම කෑල්ලෙදි ඌ පොඩ්ඩක් විතර සාධාරණ ටෝක් එකක් දෙනව මෙන්න බලන්න.

රූප රාජිණියො කුමරියො මම හොයන්නෙ නෑ
ඉඩම් කඩම් මම බලන්නෙ නෑ
කුල මල දෑවැදි කිසිවක් මම තකන්නෙ නෑ
කුලවත් ලළනාවක් තාම දැක්කෙ නෑ

මං නං හිතුවෙම දෑවැද්ද එක්ක එලකිරි කෑල්ලක් ඉල්ලයි කියල. හැබැයි තමුන් ගැන පොඩි හරි තක්සේරුවක් මෑන්ට තිබිල තියනව.

මේ සිංදුව අහද්දි මට මතක් උන අනිත් සිංදුව තමයි මේක. අන්න එතනදි නං මෑන් සර්ව සාධාරණයි.

පාරට කිට්ටුව දෙල්ගස මුදුනේ රටවටිනා ලිය දෙල් නෙලනා
අතේ තිබුනු රන් සුලැඟිලි දන්ඩිය අත්තෙන් අත්තට මාරුවෙනා

කෙල්ල කෙලින්ම ගස් නැගල දෙල් කඩන්න පුළුවන් ගෑනි. එහෙව් ගෑනිට කතා කරන්නෙත් ඉස්සෙල්ල වගේ ඉන්න හිටින්න තැනක් නැති නිකමෙක් නෙවේ මෙන්න මේවගේ ඩයල් එකක්,

ඉන්න හිටින්නට ගේදොර ඇත මට සොරබොර වැව් ඉස්මත්තෙ සොඳින්
කන්න අඳින්නට දෙන්නට හැක මට අම්මට බය නැති වෙන්න කියන්.....

කොල්ල වැවක් ලඟ ඉන්න ගොයිතැන් බතක් කරගෙන අම්මත් එක්ක ජීවත්වෙන එකෙක්. ඌ කියන්නෙ අම්මට බය නැතිවෙන්න කියල විතරයි. උන් දෙන්න නං ටක්කෙටම කැපෙනව.

අතාර්කික සිංදු

මේක ඉස්සර කාලෙට හරි ගියාට අදට හරියන්නෙ නැති සිංදුවක්.

රණබිම මැරුනේ සිංහලයෙකු නම්
පපුවේ වෙඩි සලකුණ ඇත්තේ.......
සතුරට ලය දී මිස මැරුනේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ.....

මේකෙන් කියන්නෙ සිංහල සෙබලගෙ තියන නිර්භීත බව කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඉස්සරහ බලාගෙන යන නිසා පිටේ වෙඩි සලකුණ නෑ කියලයි කියන්නෙ. ඇත්තටම ඒක එහෙමද? නෑ! මේක හරියන්න තිබුන දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ කාලෙ දුණු ඊතලවලින් සෙල්ලම කරද්දි නං. අද කාලෙ ටී පනස්හයේ බුලට් එකක් පපුවට වැදුනොත් පිට පැත්ත ගලවගෙනයි මතුවෙන්නෙ. එහෙම බැලුවම වැඩියෙන් ලේ තියෙන්නෙ පිට පැත්තෙ තමයි. බොරුනං විචාරක මහත්තය කියයි. අනෙක තුවක්කු අරගෙන හිටගෙන ඉස්සරහට යන සිරිතක් අද නෑ නෙව. රණබිම මැරෙන උදවියගෙ කෑලිත් නෑ සමහර වෙලාවට.

අනිත් අප්සට් සිංදුව තමයි
පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ....
ටිකිරි හසරැලි බොලඳ සිතුවිලි මෙහි තිබේ හොඳ ආදරේ....

හැබැයි සිසිර සේනාරත්න මහත්තය මෙහෙම කිව්වට, හැන්දෑවට දෙකක් දාගෙන ඇවිල්ල ගෑනිට ළමයින්ට නෙලන එවුන් වැඩියෙන්ම ඉන්නෙ පිදුරු ගෙවල්වලම තමයි. අනිත්එක මහ මන්දිර වල සාමෙ නෑ කියන්නෙ කොහොමද! කොටින්ම ගෙදර, පිදුරුද මහ මන්දිරද කියනඑක සාමෙට බලපෑමක් ඇත්තෙම නෑ. අනෙක මේ සිංදුවෙන් කියන සුන්දර ගම්මාන අද බොහොම අඩුයි.

අදට එපමණය. මේ, අධික රාජකාරී හේතුවෙන් මේ මාසයට ලියවෙන පළමු සහ අන්තිම ලිපියයි. ඔබේ ලිපි කියවීමට නොලැබීම දුකකි. නව වසරේදී හමුවෙමු!