Thursday, March 29, 2012

මෙන්න (වයසක + තරුණ) පිබිදීම් ගැන තවත් කතා. (18+)

වයසක තරුණ කේස් දැං නැගල යන මාතෘකාව නොවැ. පොඩි කුමාරිහාමිට උත්තර විදියට මාතලන් අයියත් පෝස්ටුවක් දාල තියනව. අපි ඉස්කෝලෙ යනකාලෙ තිබුන ජෝක් එකක් තමයි ආච්චි කෙනෙක් ඔය වැඩේ කරන්න ගිහිල්ල දොරේ බෝලෙට හිරවෙච්ච කතාව. ඒකත් මේ කැටගරියෙම තමයි. ඒක දන්න නිසා කියන්න ඕන නෑනේ.

ලගදි, ලගදි කිව්වෙ අවුරුද්දකට විතර කලියෙං දවසක මම රස්සාව කරන කාර්යාලය තියන නගරයේ මුදලාලි කෙනෙක්- මුදලාලිට වයස හැත්තෑ පහක් විතර ඇති- තරුණියක් එක්ක-තරුණියට පනහක් විතර ඇති- ගියා හෝටල් කාමරේට. මාතලන්ගෙ කතාවෙ අංකල් වගේ අවුලක් මේ මුදලාලිටත් තිබුන. හැබැයි එයා කෙල්ලගෙ ඇදුම් අවුට් ඔෆ් පැෂන් වෙනකං ඉන්නෙ නැතුව සාක්කුවෙ තිබුන පොඩි පැකට්ටුවකින් ගත්ත ටැබ්ලට් දෙකක්ම ගුඩුස්ගාල බිවුව. මුදලාලිට කංසැප විදින්න පුළුවන් උනාද බැරිද කියල මම දන්නෙ නෑ, මොකෑ මම බලං හිටියෙ නෑනේ. පැය කීපයකට පස්සෙ හෝටලේ සේවකයො දොර ඇරල බලනකොට මුදලාලි මැරිල, නිරුවස්තරෙන්ම. ගෑණි ඒ වෙනකොටත් පැනල ගිහිල්ල. පස්සෙං පහු ගෑණි නං අල්ලගත්ත. ඒත් මුදලාලිට පණ ගන්න බෑනේ.
ඒ දවස්වල මේ පැත්තෙ හැම තැනම කතාවෙන්නෙ .......මුදලාලිගෙ මරණය ගැන. සමහරු කිව්ව මුදලාලි මැරිල හිටියත් අහවල් එක අංශක 90ට තිබිල පෙට්ටිය වහන්නත් බැරිවුනා කියල. අන්තිමට අර ටැබ්ලට් ජාතිය හැදින්වුවෙ ..........ටැබ්ලට් කියල.

මීයට පණගන්න පුවවන් බේත් ජාති ගැන කිව්වම රවී අයිය කිව්ව තව කතාවක් මතක් උනා.
රවී අයිය කලින් වැඩකරපු ඔපීසියකට අලුතෙන් බොසෙක් ඇවිල්ල. ම්ණිහ කලින් වැඩ කරල තියෙන්නෙ අගනුවර පැත්තෙ. මෙහේ ආවට මිණිහට කිසි ගතියක් නැහැලු. බොසා දවසක් සීසී මහත්තය එක්ක කියල තියනව "සීසී මහත්තය මට කිසිම තෘප්තියක් නෑ" කීයල. ඒකෙන් අදහස් කරල තියෙන්නෙ රැකියාවෙ තෘප්තිය ගැන. හැබැයි සීසී මහත්තය ඒක තේරුම්ගත්තෙ වෙන විදියකට. උන්නැහේ ගත් කටටම කිව්වලු "සර් මටත් ඔය අවුල තියනව. ඕකට කුටිලාවතී ගත්තනං" හරි කියල. :D (කුටිලාවතී කියන්නෙ වාජීකරණ ඖෂධයක්).

අන්තිම කතාව කිව්වෙ ග්‍රාම සේවක රාලහාමි කෙනෙක්. ඒ රාලහාමි කියන විදියට ලංකාවෙ වැඩිම පවුල් අවුල් ප්‍රමාණයක් විසදපු රාලහාමි එයා. කතාව මේකයි,
දවසක් රාලහාමිගෙ කාර්යාලයට ඇවිල්ල තියනව වසමේ ජීවත් වෙන වයසක සීය කෙනෙක්. එයාගෙ වයස 75කට වැඩියිලු. සීය ජීවත් වෙන්නෙ ආච්චිත් එක්ක (එයාටත් ඒ වයසම ඇති) දරුවෙකුගෙ ගෙදර. දරුවටත් ඉස්කෝලෙ යන වයසෙ ළමයි ඉන්නවලු. ආච්චි ගැන පැමිණිලි කරන්නයි සීය ඇවිල්ල තියෙන්නෙ. ප්‍රශ්නෙ තමයි ආච්චිගෙ අධික කාමාසාව. ආච්චිගෙ ඇස් එහෙමත් හරියට පේන්නෙ නැතිලු. සීය ලගින් ගියොත් ආච්චි කරන්නෙ සීයගෙ මීය අල්ලන එකලු. දරු මුණුපුරන් අහල පහල ඉන්න එක ගැනවත් හිතන්නෙ නැතිලු. ඉතින් සීයගෙ ප්‍රශ්නෙ ඕකයි. කතාව කියපු රාලහාමිත් හොද විහිළුකාරය. එයා සීයට දීපු උපදෙස මේකයි,
"මාමේ, ඕවට දැන් නවීන තාක්ෂණයෙන් එක එක උපකරණ හදල තියනව. නැන්දට (ඒකියන්නෙ ආච්චිට) එයින් එකක් අරංදෙන්න. රැපියල් විසිදාහක් විතර වෙනව එයින් එකක්"
සීයගෙ උත්තරේ වෙලා තියෙන්නෙ,
"අනේ මහත්තයෝ මට බෑ කඩවල් වලට ගිහිං ඕව ඉල්ලන්න. මම සල්ලි දෙන්නං මහත්තය එකක් ගෙනල්ල දෙන්නකො" කියන එක.

සටහන: මේ කතන්දර තුනම සත්‍යය. මතුපිටින් විහිළු සහගත ස්වභාවයක් ගත්තද පිටුපස ඇත්තේ ශෝක ජනක යතාර්ථයකි. පිටරටවල කෙසේ වුවත් වික්ටෝරියානු සභ්‍යත්වයේ සළුපිලි පොරවාගත් ශ්‍රී ලංකාවේ තවමත් ලිංගිකත්වය යනු මැජික් එකකි. වයසක මිණිහෙකු තරුණ ගෑණියෙකු සමග හෝ වයසක කාන්තාවක් තරුණ ගැටවරයෙක් සමග අතිනත ගෙන යන දසුනක් අපේ සමාජයේ මාර ආතල් සිද්ධියක් වන්නේ එනිසාය.

ප.ලි.- කිරි පුතාගේ කවි පන්තියත් සමග මේ සිව්වන පෝස්ටුවයි.

Tuesday, March 27, 2012

වායු විමෝචන සහතිකය හෙවත් දුම් සහතිකයේ යථාර්තය හා මිත්‍යාව.

වායු විමෝචන සහතිකය හෙවත් දුම් සහතිකය ගැන නොදන්නා, වාහනයක් පාවිච්චි කරන ලාංකිකයෙකු සිටීදැයි සැකසහිතය. 2008.11.01 දින සිට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනලද මෙම වැඩසටහන මේ වනවිට (දන්නා තරමින්)උතුරු පලාතේ හැර අනෙකුත් සෑම ප්‍රදේශයකම සාර්ථකව(?) ක්‍රියාත්මකවේ. මේ එම වැඩසටහන පිලිබද විමසුමකි.

මේ පිලිබදව මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට එවනලද චක්‍රලේඛය අනුව වායු විමෝචන සහතිකයේ අවශ්‍යතාවය මෙසේය.

"ලොව වායු දූෂණය සීග්‍රයෙන් ඉහල යාම නිසා ලංකාව ඇතුළු රටවල් බොහොමයකට නොයෙකුත් පලවිපාක වලට මුහුණදීමට සිදුව ඇත. අප රටේද මෙම විපාක වලින් මිදීම සදහා ලංකාවේ වායු විමෝචනයට මූලිකව හේතුවී ඇති වාහනවලින් පිටවන දුම පාලනය කිරීමේ ඒකායන පරමාර්ථයෙන් වාහන වායු විමෝචන (හරිත රිය) වැඩසටහන ක්‍රියාත්මකව ඇත.
2009.06.22 දින සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර, උතුරු මැද, මධ්‍යම හා දකුණු පළාත් තුල (මෙය මුලින් එවූ චක්‍රලේඛයක් වන අතර මේ වනවිට දිස්ත්‍රික් ප්‍රමාණය වැඩිවී තිබිය හැකිය-කතෘ) ලියාපදිංචි වී ඇති වාහන සදහා වාර්ෂික ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී වායු විමෝචන පරීක්ෂන සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇත"

"ලාෆ්ස් එකෝ ශ්‍රී ලංකා සමාගම" සහ "ක්ලින්කෝ ලංකා සමාගම" යන ආයතන මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර සහතිකය ලබාගතයුත්තේ ඔවුන්ගෙනි.

1975.12.31 දිනට පෙර නිෂ්පාදනය කල වාහන සහ සියලුම කෘෂිකාර්මික වාහන මෙම නීතියෙන් නිදහස් කල අතර, පලමු චක්‍රලේඛයෙන් නිදහස් කල අලුත් වාහන(Brand New) සදහා වූ අවුරුදු තුනක කාල සීමාව පසුව එක් අවුරුද්දක් දක්වා අඩුකරන ලදී. පිටරටින් ආනයනය කල පාවිච්චි කරන ලද වාහන (Recondition) සදහා පළමු වසරේ සිටම සහතිකය අවශ්‍ය වේ.

හෙල උරුමයේ චම්පික රණවක ඇමතිවරයා පරිසර අමාත්‍යාංශය භාරගත් පසු ගෙනඑන ලද මෙම නීතිය නිසා අමාත්‍යාංශයේ පාඩු පියවා ගැනීමට හැකිවූ අතර, ඇමතිවරයා මහත් උජාරුවෙන් ප්‍රකාශ කල පරිදි පරිසර අමාත්‍යංශය ලාභ ලබන ආයතනයක් බවට පත්කලේ මෙම මුදලින් බව ලංකාවේ ඇති වාහන ප්‍රමාණය ගැන දන්නා ඕනෑම අයෙකුට තේරුම්ගත හැකිය.

තත්වය එසේ වනවිට මෙහි ප්‍රායෝගික තත්වය සලකා බලමු.
වායු දූෂණය අවම කිරීම සදහා ඇතිකල වැඩපිලිවෙලක් වන මේ පිලිබදව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්තුමා ප්‍රකාශ කල පරිදි, වාහන නියැදියක් මුලින්ම පරීක්ෂණයට භාජනය කරන ලදී. එයින් සොයාගත්තේ අප රටේ වාහනවලින් පිටවන වායු සංඝටක වල අඩංගු කොටස් සැලකිල්ලට ගෙන, වෙනත් රටවල සමත් කරන්නාවූ අගයන් අනුව පරීක්ෂණයෙන් සමත්කිරීම සිදුකලහොත් බහුතරයක් වාහන අසමත්වන බවය. ඉන්පසු සිදුකරන ලද්දේ එම අගයන් විශාල ප්‍රමාණයකින් අඩුකර (දැනට පවතින) සමත්වීමට අවශ්‍ය අවම සුදුසුකම් අගයන් සැකසීමයි.

මාගේ යතුරුපැදියේ වායු විමෝචන සහතිකය ලබාගැනීම සදහා පසුගිය දිනෙක එක් මධ්‍යස්ථානයක් වෙත ගිය අතර එහිදී මගේ යතුරු පැදිය එයින් අසමත්විය. ඔවුන් එහිදී වාහනයේ සකස් කලයුතු අඩුපාඩු පිලිබදව සටහන් කර දුන් අතර මා එය රැගෙන යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයක් වෙත ගියෙමි. මා අදාල අවශ්‍යතාවය පැවසූ පසු එහි සේවය සපයන්නාගේ අදහස් මෙසේය.

"මහත්තයා ඕකට කරන්න තියෙන්නෙ තෙල් වහන එකයි. ඕන තරං කට්ටිය එනව අපි ගාවට, අපි කරන්නෙ උපරිම තෙල් වහල දෙන එකයි" ඔහු මාගේ අසමත්වූ සහතිකය ගෙන බලා,
"මේකෙ නං එච්චර අවුලක් නෑ..... සමහර බයික් වල හොදටම තෙල් අඩු කරනව. ඊට පස්සෙ යන්නත් බෑ. සමහර අය තල්ලු කරගෙනත් යනව. කොහොම හරි පාස් කරගන්න ඕන නිසා. පාස් උනාට පස්සෙ ආයෙත් ඇවිල්ල පෙට්‍රල් අරිනව, නැත්තං සුපිරි පෙට්‍රල් ගහගෙන ගියත් හරි!"
පරිසර දූෂණය නැතිකිරීමේ ක්‍රියාමාර්ගය නැතිවන්නේ එසේය. ඔහු අන්තිමට ප්‍රකාශ කලේ ලංකාවේ කොතැනත් සිදුවන අල්ලස් ගැනීම මෙහිදීත් සිදුවන බවයි.
"ඔය මොකක්වත් ඕන නෑ දාහක් දුන්නනම් පාස් වෙනව"
එසේ කල හැකිදැයි මා ඇසුවෙමි.
"මොකද බැරි! එයාලගෙ අතේ තමයි වැඩේ තියෙන්නෙ"

මේ අනුව සිදුවී ඇත්තේ පරිසරය සුරැකීමේ මුවාවෙන් සමාගම් දෙකක් ජනතා මුදල් ගසාකෑම සහ රජය අයුතු බද්දක් අයකරගැනීමත් වාහන හිමියන් අපහසුතාවයට පතිවීමත් පමණි. එසේ සැලකූ විට මෙම වැඩපිලිවෙල වහාම හකුලාගත යුතුය. මක්නිසාද යත් අවශ්‍ය කරන අගයන්ටත් ඉතා අඩුවෙන් සමත් වීමේ අවම සුදුසුකම් සකස්කල විටද තත්වය මෙසේනම් මෙයින් පරිසරයට සිදුවන සෙතක් නොමැත. රජයට ආදායම අවශ්‍ය නම් ආදායම් බලපත්‍ර ගාස්තුව ඉහල දැමිය හැකිය. එහෙත් ජනතාවට වඩා කොම්පැනිකාරයන්ට ආදරය කරන රජයකින් මීට වඩා සහනයක් බලාපොරොත්තු විය නොහැක.

Monday, March 26, 2012

(අ)වාසනාව.

වාසනාව කියන්නෙ මොකක්ද කියල ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනේ. සෙට් වෙච්ච වෙලාවක අපේ රවී අයිය කියපු ඇත්ත කතාවක් මේ මාතෘකාව යටතේ දාන්න හිතං හිටියෙ ටික දවසක ඉදල. හිතේ තිබුනත් වැඩේ නං දවසින් දවස පරක්කු උනා. ඔය අතරෙ තමයි මම පහුගිය සිකුරාදා කොළඹ යන්න පිටත් උනේ. ගමනෙ අරමුණු තුනක් තිබුන. අංක එක අවුරුද්දට රෙදිගන්න නෝන එක්ක සොපින් යෑම. අංක දෙක තවමත් කලින් සේවය කල කාර්යාලය යටතේ ලියාපදිංචිව තියන මගේ බයික්එක ලයිසන් කරගැනීම. අංක තුන අපේ රූම්එකේ හිටිය එවුන් එක්ක සෙට්වීම.

ඔන්න කොහොමහරි මම සිකුරාදා උදේ බයික් එකට වැදල කිලෝමීටර දෙයීයක ගමන ආරම්භ කලා. රත්නපු‍ර පහුකලා විතරයි බයික් එකට දුං සහතිකේ ගන්න මධ්‍යස්ථානයක නැවැත්තුව. ටෙස්ට් එක කොරල බැලින්නං ෆේල්. අවාසනාව තමයි! දැං කාට කියන්නද! කමක් නෑ කියල හිත හදාගෙන ආයෙත් පිටත්වුනා. අවිස්සාවේල්ලට කිලෝමීටර දෙකක් මෙහා හරියෙදි බයික්කෙ හැඩල්එක තදයි වගේ තේරුණා. බැලින්නං ඉස්සරහ රෝදෙ හුලං බැහැල එකසිය ගානට. පාරෙ හිටිය අයිය කෙනෙකුගෙන් අහල බැලුවම කිලෝමීටර දෙකකට මෙහා ටයර් කඩයක් නැහැ! මොනව කරන්නද අවාසනාව කියල හිතල තල්ලුකලා. ඒ වැඩේ කරගෙන ආයෙත් ගියා හොමාගම පැත්තෙ ගරාජ් එකකට. ගරාජ් එකේ අයිය ප්ලග් එකක් අලුතෙන් දාල තෙල් ටිකක් අඩුකරල දුන්න දැං හරි කියල. ඊට පස්සෙ කොට්ටාවට ඇවිල්ල දුං සහතිකේ පාස් කරගෙන ආයෙත් හෝමාගමට ඇවිල්ල ලයිසොම ගන්න බලනකොට ටයිම් පාස්. බලන්න අවාසනාවෙ හැටි. අදුනන අයිය කෙනෙකුට ලයිසොම තැපෑලෙ එවන්න වැඩ සලස්වල මංතුමා අමාරුවෙන් අවාසනාවන්ත පළමු දවස අවසන් කලා.

පහුවෙනිද දවල් ෂොපින් ගිහිල්ල අහවර කලා. එදා දවසත් අන්තිම අවාසනාවන්තයි. අතින් පාඩුයි සෑහෙන ගානකට. කොහොම කොහොම හරි පුල පුලා බලාසිටි තුන්වෙනි අවස්තාව සෙට්උනා. ඒත් එතනටත් කණකොකා. බිග් මැච් එකකට ගිය යාලුවෙක් හොදටම ගුටිකාල ඌට එන්න විදියක් නෑ. ඌ වෙනුවට උගේ තාත්ත හිටි නිසා ඒක නං පාඩුවක් උනේ නෑ එච්චරම :P .දැං සිද්ධිය මේකයි. මමයි තව යාලුවො දෙන්නෙකුයි එන්න බැරිවුන එකා වෙනුවෙන් උගේ තාත්තයි ඉන්නව බියගම. තවත් එකෙක් ඉන්නෙ පිළියන්දල. "අපි බඩු ගේන්නං, උඹල බියගමට වරෙල්ල" කියල පිලියන්දල එකාට කියල මමයි තව එකෙකුයි ගියා බණ්ඩාරවත්ත හංදියට. විනාඩි 5ක් විතර "දැලේ එල්ලිලා" හිටිය අපි දෙන්න හැරිල බලනකොට මගේ බයික් රාජය උස්සල. ඒ වෙලාවෙ මොනවද හිතුනෙ කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.... යතුරත් මගේ ලග. එතන හිටිය මනුස්සයෙකුගෙන් ඇහුවම කිවුවෙ "මේ පැත්තට යනව දැක්ක" කියල. චුට්ටක් දුර "ඒ" පැත්තට යනකොට ඉරිගු විකුණන කරත්තයක් පිටිපස්සෙ බයික් එක හංගල තියනව. මං බැලුව හුලංවත් බැස්ස නිසා දාල ගියාද කියල. එහෙම දේකුත් නෑ. ඊට පස්සෙයි මට කාරණාව වැටහුනේ. වෙන්න ඇත්තෙ මේකයි, දුං සහතිකේ ගන්න තෙල් අඩුකල නිසා ස්ටාර්ට් කල ගමන් එකපාර අදින්නෙ නෑ. අනිත්එක ඇස්සලරේටර් එක වැඩිකලොත් බයික්කෙ නවතිනව. අපි දෙන්න ගෙදර ඉදල ආවෙත් බයික් එකට බැන බැන. අවාසනාව වාසනාවක් වෙච්චහැටි! හොරුන්ගෙ ප්ලෑන අප්සට් වෙන්න ඇත්තෙ බයික්කෙ පිස්සුකෙලින නිසා වෙන්න ඇති. මේකත් "වාසනාව" යටතේ දාන්න හොද පෝස්ටුවක් නෙවේද මං අහන්නෙ?

ඔය ජරමර ඉවරවෙලා "බේත්", බයිට් ආදී සියල්ලම රැගෙන ගෙදරට ලගාවුනා. ඒ වෙනකොට පිලියන්දල හිටිය යාලුවත් තව එකෙක් එක්ක ඇවිල්ල ඉන්නව. අපි පටස් ගාල බයික් එකේ විස්තරේ කිව්ව. මට එතනදිත් වාසනාව අහිමිවෙලා තිබුන. බයික්කෙ උස්සල තිබුනෙ හොරෙක් නෙවේ, පිලියන්දල ඉදලා ආපු "මිත්‍රද්‍රෝහීන්" දෙන්න.

මගේ ලග තිබුනු කතාව කිවුවම තව එකෙක් ඒවගේ කතාවක් කිව්ව.
ඔන්න මූද අයිනෙ තිබුනු ගමක එක කොල්ලෙක් ඉදල තියනව. අධ්‍යාපනයකුත් නැහැ. මූ දවසක් බීච් එකේ ඇවිද ඇවිද ඉන්නකොට එකෙක් බූලි දෙකක් අමාරුවෙන් බෝට්ටුවක් ලගට ගෙනියනව. මූ ඇහුවලු "උදව්වක් ඕනද?" කියල. ඊට පස්සෙ එක බූලියක් බොට්ටුවක් ලගට ගෙනිහිං දීල. දෙන්න පොඩි චැටක් එහෙම දාල අවසානයේ අමුත්ත කොල්ලට "මල්ලී ගමනක් යන්න ඕනනං නැගපං" කියල. මූත් නැගල! බෝට්ටුව ගිහිං තියෙන්නෙ ඉතාලියට. කොල්ලට දැං ගජ වාසීයිලු.

අන්තිමට රවී කියපු මගේ කතාව.
එක්දහස් නවසීය අනූ ගනංවල, කොල්ලෙක් කැසිනෝ ක්ලබ් එකක වැඩකරල. එතෙන්ට යනඑන කස්ටමර්ල ගැන මෙයාට මතකයක් තියනව. එක මහත්තයෙක් හැමදාම ඇවිල්ල ලක්ෂ දෙකක් තුනක් විතර පැරදිලා යනවලු. කොච්චර පැරදුනත් ඊලග දවසෙත් එනවලු. අපේ යාලුව දවසක්(හිතහොද වැඩිකමට) "මහත්තය" ලගට ගිහිල්ල කියනව "මහත්තයෝ මම හැමදාම බලාගෙන ඔයා ලක්ෂ ගනං පරදිනව. මේකට එන්න එපා සර්, මේවට ඇවිල්ල කවුරුත් දිනන්නෙ නෑ" කියල. ඒත් මහත්තය එච්චර ගනංගත්තෙ නෑ. ඔහොම ඉදල ප්‍රේමදාස ජනාධිපති තුමා සූදු තහනම් කලා. අන්තිම දවසේ "මහත්තය" කොල්ලට කතාකලා,
"මේක වැහුවම තමුසේ මොකද කරන්නෙ?"
"සිකුරිටි ජොබ් එකක් හොයාගන්නව සර්"
"කැමතිද මගේලග වැඩ කරන්න"
"හා!"
කතාව එච්චරයි. කොල්ලට ලැබුන හොදම තනතුරක්. නිකංම නෙවේ වාහනයකුත් එක්ක. "මහත්තය" කියන්නෙ ලංකාවම දන්න ව්‍යාපාරිකයෙක්. යාලුව "අවවාද" දීල තියෙන්නෙ දන්නෙ නැතුව. අන්තිමට ඒ අවවාද වාසනාව ගෙනාව.
එහෙමනං ගිහිං එන්නං. ලැබූවාවූ සිංහල දෙමළ නව වස ආ..... තාම නෑනේ...මටත් පිස්සුද කොහද!

Thursday, March 22, 2012

රණවිරුවා, මව සහ බිරිද (කෙටිම කෙටි කතාවක්)

එදින අංශයේ කිසිවෙක් නැත. රාජකාරී අතරතුරදී සේවාදායකයන්ගේ ප්‍රශ්නවලටද උත්තර දෙමින් සිටියෙමි. වයස අවුරුදු හැට පහක හෝ හැත්තෑවක පමණ මවක් පැමිණේ,
"මහත්තය... පෙන්ෂන් මහත්තය කෝ....?"
"පෙන්ෂන් මහත්තය නං අද නිවාඩුයි, ඇයි අම්මේ?"
"මහත්තයෝ මගේ පුතා...."
"හරි! ඉස්සෙල්ල වාඩිවෙන්න ඔය පුටුවෙන්, කියන්න!"
"මහත්තයෝ ......කියන්නෙ මගේ පුතා. එයාගෙ පැන්ෂන්එක මට හදාගන්න බැරිද?"
........නමින් හැදින්වූයේ මෙම මවගේ එකම පුත්‍රයාය. ඔහු ආරක්ෂක අංශයේ සේවය කරමින් සිටියදී එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකින් මියගිය අතර ඒ වනවිට විවාහ වී සිටි ඔහුගේ විශ්‍රාම වැටුප හිමිවුනේ ඔහුගේ බිරිදටය. මියයාමට පෙර ඔහු බිරිද සහ මව සමග පදිංචිව සිටියේ එකම නිවසේය. සෙබලාගේ මරණයෙන් පසුවද බිරිද නැන්දම්මා සමග ටික කාලයක් එම නිවසේ කාලය ගතකලේය. එහෙත් දැන් මතුව ඇත්තේ අලුත් ප්‍රශ්නයකි,

"අම්මේ, මෙහෙමයිනේ...., පෙන්ෂන් එක ලැබෙන්නෙ නෝනට. අම්මට ඒක ගන්නනං බෑ!"
"නෑ මහත්තයෝ මේකයි, ඒ ලමය ආයිත් බැදල, දැං මාත් එක්ක නෙවේ ඉන්නෙත්. ඒකයි"
"හ්ම්, මෙහෙමයි ආයි බැන්දොත් පැන්ෂන් එක නැති වෙනව. පැන්ෂන් එක දෙන්නෙ බදින්නෙ නැතුව හිටියොත් විතරයි. ළමයි ඉන්නවනං එයාලට නං කොටසක් ලැබෙනව."
එහෙත් ඔවුන්ට දරුවන් නැත. රණවිරුවා මියයන විට ඔවුන් විවාහවී ඉතා කෙටි කලකි.
"බැන්ද කිව්වට මහත්තයෝ පොත්වල ලියල නෙවේ, කොහේද යන රස්තියාදු කාරයෙක් එක්ක ගිහිල්ල."

"හ්ම්"
"මට බැරිද මහත්තයෝ පුතාගෙ පඩියෙන් බාගයක්වත් ගන්න. පුතා මැරෙනකම්ම හිටියෙ මාත් එක්කනේ, මටත් වැඩක්පලක් කරගන්න බෑ‍, ඒකයි"

ඔහු මියගිය රණවිරුවෙකි. ඇය රණවිරු බිරිදකි. ලේ මස් වලින් සැදි ගැහැණියක් වුවද, ඔහුගේ මරණයෙන් පසු මියැදෙන තුරා දරුවන්ද නැති ඇය, අවිවාහකව සිටිය යුතුය. ඒ වෙනුවෙන් රුපියල් දහඅට දහසක පමණ මුදල ඇයට හිමිවේ. නීතිය කියා ඇත්තේ එසේය.
අනෙක් අතට විවාහක කාන්කාවකට -අඩුපාඩුවක් නැති පිරිමියෙක් සමග ජීවත් වන විවාහක කාන්තාවකට- අමතර දීමනාවක් රජයෙන් ගෙවීම එතරම් අවශ්‍ය දෙයක්ද? එහෙත් රණවිරුවකු නිසා වැද්දඹුවක් වූ ඇය නැවත විවාහ වූ විට කලින් කල පරිත්‍යාගයේ වටිනාකම නැතිවේද? මේ, එවැනි කාන්තාවක් නැවත විවාහ වීමේදී ඇයට ලැබෙන "මිල" අඩකින් අඩු කිරීමට ලාංකීය සමාජය තීන්දු කරන අවධියක් නොවේද?

අනෙක් පාර්ශවය සැලකූ විට, ඇය වයස්ගත මවකි. තම එකම පුත්‍රයා ජීවත්ව සිටියේ නම්, ඔවුන් මරණය තෙක් ඇය රැකබලා ගනු ඇත. එහෙත් දැන් ඔහු රට වෙනුවෙන් දිවිපුදා ඇත. ලේලිය වෙනත් දීගෙක ගොසිනි. දැන් ඇය බඩගින්නේ සිටිය යුතුය.

නීතිරීති තිබූ පමණින්ම යුක්තිය ඉටුවන්නේ නැත.

පසුවදන: මෙය කාලයකට පෙර සිදුවූ සත්‍ය සිද්ධියක් වූ අතර මේ වනවිට අදාල නීතිය සංශෝධනය වී ඇත. ආරක්ෂක අංශයන්හි සේවය කර මියයන නිලධාරීන්ගේ වැන්දඹුවන් නැවත විවාහ වුවහොත් විශ්‍රාම වැටුපෙන් අඩක් හිමිවේ.

Wednesday, March 21, 2012

රූප පෙට්ටියෙ විකාර.

මේ වනවිට ලංකාවේ ප්‍රභලම ජන මාධ්‍ය කුමක්දැයි විමසුවහොත් ලැබෙන පිලිතුර කුමක්දැයි සැක නැත. එය රූපවාහිනියයි. එයින් සැටලයිට් සේවාවවන් අත්හැරිවිට ප්‍රධාන වන්නේ-බොහෝ දෙනෙක් නරඹන්නේ-ලාංකීය රූපවාහිනී නාලිකාවන්ය. එහෙත් අපේ රූපවාහිනී නාලිකාවන්ගේ හැසිරීම කෙබදුද? විකාරය-විහිළු සහගතය. පක්ෂවලට කඩේයෑම ඕපාදූප කෙරෙහි ඇති නොනිත් ආශාව... වැනි ලෝකයටම පොදු දුර්වලතා අත්හැරදැමූ විට? ලැබෙන පිළිතුර තවමත් එසේය. මේ මාදුටු එවැනි විකාර සහගත සිදුවීම් කිහිපයක්ය.

යකා නගින වෙලාව!
සෑම පැය භාගයකට වරක්ම වේලාව දැක්වීම සිදුකරන අතර විකාශය වන වැඩසටහන කොතරම් වැදගත් වුවත් ප්‍රශ්නයක් නැත. ඊට බාධා කරමින් වේලාව දැක්වීම සිදුකරන්නේ එය ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකමින්ය. මෙහි ඇති අනෙක් හාස්‍යජනක කරුණ වන්නේ එක් එක් නාලිකාවල වේලාවන් අතර පවතින වෙනස්කම්ය. ශ්‍රී ලංකාව තුල නිවැරදි වේලාව සකස්කරගැනීම සදහා http://sltime.org වෙබ් අඩවිය ආරම්භ කලත් ඒ අනුව වේලාව දැක්වීමක් සිදු නොකරයි.

සිංහලෙන් කතාකරන දෙමළුන්...
මෙය මා දුටුවේ දෙරණ රූපවාහිණියේ විකාශය වන ටෙලි නාට්‍යකය. එහිදී දෙමළ ජාතික පියා සහ දියනිය අපහසුවෙන් මෙන් කැඩිච්ච සිංහලෙන් කතාකරනු දැකියහැකි විය. කෙසේ වුවද එය සිංහල ප්‍රේක්ෂකයාගේ රසවින්දනය සදහා නිපදවූවක් නිසා එතරම් වරදක් නැත.

අගල් ගාන අපට දියව්!
ඕනෑම අයෙකු රූපවාහිනියක් මිලදී ගැනීමේදී සැලකිලිමත් වන ප්‍රධානතම කාරණාව වන්නේ එහි තිරයේ ඇති විශාලත්වයයි. අගල් දොලහේ පටන් ඉහලට ඇති විවිධ ප්‍රමාණ වලින් යුතු රූපවාහිනී මිලදීගන්නා ප්‍රේක්ෂකයාට දැන් නැරඹීමට සිදුව ඇත්තේ තමන් ලබාගත් ප්‍රමාණයට වඩා අගල් කිහිපයකින් කුඩා රූපරාමුවකි. හේතුව වෙළද දැන්වීම්ය. නැරඹීමට ඇති තිරයේ ප්‍රමාණය මෙලෙස කුඩාවීම නැවැත්වීමට නීතිරීති ගෙනඑන්නේ නම් යහපත්ය.

පොල්කිරි වෙනුවට එලකිරි දාන්න බැරිද?
මෙවැනි ප්‍රශ්න නැගීම සිදුවන්නේ ඉහුම් පිහුම් වැඩසටහන් වලදීය. කවදාවත් කුස්සියට නොයන්නේ යැයි විශ්වාස කලහැකි, ඒවා මෙහෙයවන නිවේදිකාවන් සූපවේදීන්ගෙන් අසන්නේ එක් ප්‍රශ්නයක් පමණි. "...එතකොට චෙෆ් මේකෙ පොල්කිරි වෙනුවට එලකිරි දාන්න බැරිද?". සූපවේදීන්ගේ පිළිතුරද බොහෝවිට "ඔව් පුළුවන් හැබැයි එතකොට හැදෙන්නෙ ...... කෑම නෙවේ. වෙන එකක්. :P

පොදුවේ ගත්විට නාලිකා සියල්ලක්ම පාහේ ඒකාකාරී වන අතර වෙනස් යමක් සිදුකරන නාලිකා දක්නට නොමැත. උදෑසන නවය පමණ වනවිට මේවායේ ඇත්තේ "නුගසෙවන" වැනි වැඩසටහන්ය. දහවල් වනවිට ගීත ඉල්ලීම්ය මධ්‍යාහ්න කාලයේදී කසිකබල් චිත්‍රපටිය. සවස් වනවිට යලිත් සංගීත වැඩසටහන්ය. නාලිකා ප්‍රමාණය වැඩිවුවද ඒවා සියල්ල එකම අච්චුවේය. පිටරටින් කොපිකිරීමට හෝ විදියක් නැත, මක්නිසාද යත් ඉන්පසු සැවොම එකම වැඩසටහන කොපිකිරීමට පටන් ගැනීම නිසාය.

Friday, March 16, 2012

රවි අයියගෙ කතා( Part II)

මේ දවස්වල විහිළු කතන්දර වලට බ්ලොග් අවකාශයෙ තියන ඉඩකඩ ඉතාම අඩුයි. යුරෝපයට ණයදෙන්න හදන කස්ටියයි ඇමරිකාවට කෙලවන්න හදන කස්ටියයි කියන කතන්දර නිසා අපේ ජෝක් වලපල්ලට යයි. කමක් නෑ අදත් කියන්න යන්නෙ රවී අයියගෙ කතාවක්.
මේ ඊයෙ සිද්ධ වෙච්ච දෙයක්. රවි අයියගෙ අම්ම පහුගිය දවස්වල ගෙදර හිටියෙ නෑ. අයියලගෙ ගෙදර ගිහිල්ල. ඒ නිසා යාළුවො ගෙදර ඇවිල්ල මෑන්ට හැමදාම පාටි, ඉවරයක් නෑ. ඊයෙත් ඔපීසියෙ ඉන්නගමන් රවි අයිය කාටද කෝල්එකක් දෙනව,
"මං මස් කිලෝවයි කරි පැකට් එකයි අරගෙන එන්නං. උඹල හතර හමාරට විතර ගෙදර පැත්තට වරෙල්ල"
මම උදේ ඇහැව්ව ඊයේ තත්වෙ මොකද කියල. මෙන්න උත්තරේ,
"ඊයෙ මාර වැඩේනෙ බං. මම මස් එහෙම අරගෙන ගිහිං ගේට්එක අරිනකොට දැක්කෙ ගෙදර දොරවල් ඇරල. වෙන්න පුළුවන් එක දෙයයි! අම්ම ඇවිල්ල. ඒ ගමන අරුන්ට කෝල්කරා එන්න එපා කියල".
පාටිය ඒ විදියට කැන්සල් වීම නිසා එක යාළුවෙකුට නියම ඇබැද්දියක් වෙලා. ඒක කිව්වෙ මෙහෙමයි,
"මම කෝල්එක දෙනකොට අරුං බෝතල් දෙකක් අරගෙන. එකෙක් මම නැතුව බොන්නබෑ කියල බෝතලයක් අරගෙන ගෙදර ගිහිල්ල. ඌ ඒකෙන් තුංකාලක් විතර බීල. ගෑණි බනිනකොට කියල මම ආයෙත් බොන්නෙ නෑ, බිවුවෙත් තට්ටෙ ගානව කියල. ටික ටික බඩු වැඩිවෙනකොට මූ ඉතිරි කාලෙන් තව උගුරක් බීල තට්ටෙ ගාගෙන. දැං ඉන්නව එලියට බහින්න බැරුව" :-)

මතක ඇතිනේ ආයුබෝ වේවා මහරජානනි සිංදුව! මේ සිංදුව ඒකාලෙ රවි අයියගෙ රිගින් ටෝන් එකට දාගෙන හිටිය. හැබැයි රවි අයිය කියන්නෙ කැපුවත් රතු ජාතියේ ජේවීපී කාරය. දවසක් මම ඇහුව මිණිහගෙන්,
"අයියේ උඹ ලොක්කට බැන බැන හිටියට මොකද, ආයුබෝ වේවා මහරජානනි කියලනෙ රිගින් ටෝන් එකට දාගෙන ඉන්නෙ?"කියල. මෙන්න රවි අයිය දුන්න උත්තරේ,
"මල්ලී! මහරජානනි කියනකොට උඹලට මහින්ද මහත්තය මතක් උනාට මට මතක් වෙන්නෙ අපේ ටිල්වින් අයිය"

Thursday, March 15, 2012

ගොම එක්වූ රුහුණේ මීකිරි!

මීකිරි යයි කියු විට රුහුණත් රුහුණ යයි කියුවිට මීකිරිත් අපේ සිහියට නැගෙන්නේ නිරායාසයෙනි. රුහුණ හා මීකිරි එතරම් තදින් බැදී පවතින්නකි. එහෙත් රුහුණේ මීකිරිවලට අද උදාවී ඇත්තේ නරක කල දසාවකි. මී හරක් කිහිපදෙනෙකු නිසා හිරගෙට යෑමට සූදානමින් සිටින තංගල්ල වජිරගිරි විහාරයේ මිරිස්සේ ධම්මවංශ හිමියන් පසුගිය දිනෙක මේ තත්වය අපූරුවට පැහැදිලි කර තිබිනි.

උපුටාගැනීම http://www.gossip9.com
"දකුණු පළාතේ කිරි ගව සම්පත සීග්‍රයෙන් විනාශ කරමින් පවතිනවා. විශේෂයෙන් රුහුණේ මීකිරි ඉතාමත් ප්‍රසිද්ධ ආහාරයක් බවට පත් වුනා. නමුත් අද ඉතාමත්ම සංවිධානාත්මක විදියට මේ කිරි ගව සම්පත විනාශ කරමින් පවතිනවා. ඇත්තටම දැනට මී කිරි නැහැ. තියන ඒවත් කලවම් කල කිරි තමයි තියෙන්නෙ. කතරගම ඉඳල එනකොට ඔබතුමන්ල දැකල ඇති මී කිරි කඩ විශාල වශයෙන් තිබුනා. නමුත් දැන් එහෙම නැහැ. ඔක්කොම කඩ වහලා. ඉතා සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නෙ. ඒකට ප්‍රධානම හේතුව රුහුණේ මී ගවයන් කොළඹට සහ බේරුවල ට පැටවීමයි. පටවලා අවුරුද්දකට මී ගවයින් 90,000 ක් පමන ඝාතණය කරනවා"

මීකිරි සම්බන්ධයෙන් එම ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය නිවැරදිය. මාතර කතරගම මාර්ගයේ ගමන්කරන ඕනෑම සංචාරකයකු අතරමගදී මීකිරි සහ පැණි රස බැලීමට පෙලඹෙන්නේ "ඔරිජිනල්" මීකිරි ඇතැයි යන විශ්වාසයෙනි. එහෙත් අතීතයේදී මෙන් නොව අද ඇත්තේ නියම මීකිරි නොව "කලවං" මීකිරිය.
අප කුඩාකල මෙම ප්‍රදේශවල නියම මීකිරි තිබූ අතර ඒවා ඉතාමත් අඩු මුදලකට ලබාගතහැකිව තිබුනි. එකල විශාල ප්‍රමාණයේ මීකිරි හට්ටියක් රුපියල් විස්සක් විය. මුදවන ලද එළකිරි වෙනම තිබූ අතර ඒවායේ මිල හරි අඩක් විය. පසුව මිල නොවෙනස්ව තිබියදී හට්ටිය ප්‍රමාණයෙන් කුඩා වූ අතර අවසානයේ තවත් කුඩා කල නොහැකි මට්ටමට ලගාවිය. එය දැන් කොළඹ රුපියල් එකසිය විස්සක් වැනි මිලකට ඇති කිරි හට්ටියකින් හරි අඩක් පමණ විශාලත්වයකින් යුක්ත විය. ඉන්පසු අද භාවිතාවන සිලින්ඩරාකාර "සම්මත" කිරි හට්ටි ඇතිවිය. මේ වනවිට ප්‍රධාන වශයෙන් විශාලත්ව තුනකින් මේවා පවතී. එනම් විශාල, මධ්‍යම හා කුඩා වශයෙනි. විශාල කිරි හට්ටියක් දකුණු ප්‍රදේශවල රුපියල් එකසිය විස්සක් තිහක් පමණ වන අතර මධ්‍යම ප්‍රමාණය රුපියල් සීයකි. කුඩා ප්‍රමාණය රුපියල් විසිපහක් හෝ තිහක් වන අතර එය යෝගට් කෝප්පයකට වඩා මදක් විශාලය.(මෙම මිලගනන් අගනුවරදී මදක් වැඩිය).

කිරි මුදවන ලද හට්ටි වල ප්‍රමාණාත්මක පරිණාමය මෙසේ සිදුවත්දී කිරිවල ගුණාත්මක භාවය හාණිදායක අයුරින් සිදුවිය. මුලින්ම සිදුවූ "දූෂණය" වූයේ හරි අඩක් මිලෙන් අඩුවූ එලකිරි, මීකිරි සමග මිශ්‍ර කිරීමයි. ඉන්පසුව ගම්බද පැවති එලකිරි සහ මීකිරි වෙනවෙනම විකිණීම අභාවයට ගිය අතර "මීකිරි ලේබලයෙන්" එලකිරිද "මීකිරි මිලටම" අලෙවි විය. මෙය "ඔරිජිනල් රුහුණේ මීකිරි" වල අවසානයේ ආරම්භය වූ අතර ඉන්පසු සිදුවූයේ එලකිරි වෙනුවට වතුර ආදේශ වීමය. දැනට ඇති "රුහුණේ මීකිරි" අතරින් වතුර එක් නොකල මීකිරි සොයාගැනීම උගහටය. (පැණිවලට සිදුවූයේද මෙයමය. වෙනසකට ඇත්තේ වතුර වෙනුවට දියකල සීනි හෝ උක්පැණි එක්කිරීමයි.) අනෙක් අතට සෞඛ්‍යට හාණිදායක අයුරින් කිරි මුදවන ගව හිමියන් ගැනද පසුගිය කාලයේ අසන්නට ලැබිනි. සාමාන්‍යයෙන් උණුකරන ලද කිරි තරමක් නිවුන පසු කලින් මුදවාගත් කිරි එක්කිරීමෙන් (මෙය මුහුන් දැමීම යනුවෙන් හදුන්වයි) මුදවා ගැනීම සිදුකරයි. තනුක සල්ෆියුරික් අම්ල එක් කිරීමෙන් කිරි මුදවාගන්නා ගව හිමියන්ද ඇත. මෙහිදී ද ඉතා හොදින් මීකිරි "ඝන" තත්වයට පත්වන අතර කිරිවල ගුණාත්මකභාවය පෙන්වීම සදහා කිරි හට්ටිය "මුනින් අතට හරවා" පෙන්වන වෙළදුන්ගේ කිරිවල පිටුපස ඇති සැබෑ තත්වය එයයි. (මුනින් හැරවූ විට නොවැටී තිබීම විද්‍යාත්මකව ඔප්පු කලහැකි කාරණයකි. කිරි හට්ටියේ ඇති කිරිවල උස සහ පතුලේ වර්ගඵයල ඊට බලපාන සාධකය). මෙම ක්‍රමයෙන් මුදවාගන්නා කිරි වල හාණිදායක බව අමුතුවෙන් විස්තර කලයුතු නොවේ.

තංගල්ල සිට කතරගම දක්වාත් ඇඹිලිපිටියේ සිට නෝනාගම දක්වාත් මාර්ගය අයිනේ ඇති මුදවන ලද මීකිරි(?) වල සැබෑ තත්වය මෙයයි.

එකිනෙකට විරුද්ධ කාරණා වුවද කිරි හා කතාබහ කලයුතු අනෙක් මාතෘකාව මස්ය. ඒ සම්බන්ධයෙන් ගොසිප් 9 අඩවියේ කරුණු දැක්වූ ධම්මවංශ හිමියන්ගේ පැහැදිලි කිරීමට යොමුවෙමු,

"කොළඹ බොහෝ දෙනෙක් දන්නෙ නෑ මේ කන්නේ "මී හරක් මස්" කියලා. හරක් මස් කියල තමයි මිනිස්සුන්ට කන්න දෙන්නේ. ඒ විදියට මී ගව සම්පත විනාශ කරගෙන යන මොහොතක අපි දකුණු පලාතෙ පොලිසි දැනුවත් කලා. මේ රටේ සත්ව පනතක් තියනවා. ඒ සත්ව පනතට විරුද්ධව තමයි මේ විදියට මී ගව සම්පත විනාශ කරන්නේ. ඒ අනුව මී හරක්, එළදෙන්නු වසු පැටවු මරන්න බෑ. වස්සො මැරුවත් එයට පශුවෛද්‍යවරයාගේ සහතිකයක් ඕන"
(Read more: http://www.gossip9.com/2012/03/23.html#ixzz1pAN3s4tq)

උන්වහන්සේ මතුකරන එම කාරණාවද සත්‍යය. 100%ක්ම නොවුවද හරක් මස් සදහා මීහරක් මස් කවන වෙළදුන් ඕනෑතරම් ඇත. කොළඹ පමණක් නොව තනමල්විල වැල්ලවාය වැනි ප්‍රදේශවලට පිට පළාත් වලින් පැමිණෙන්නන් හට "මුවමස්" හෝ "ගෝනමස්" ලේබලය යටතේ අධික මිල ගනන් යටතේ මීහරක් මස් කැවීම සිදුවේ.

කෙසේ වුවත් මෙම අයහපත් කාරණා සදහා කිරි නිෂ්පාදකයන්ගේ ගැටළුද හේතු සාධක වනබව කිවයුතුමය. පෙර මෙන් නොව මේ වනවිට ගවයන් සදහා ඇති තණබිම් ප්‍රමාණවත් නොවේ. කුඹුරු වල අස්වැන්න නෙලාගෙන අවසන්වූ පසු ගවයන් සදහා ආහාර ලැබුනද අනෙක් කාලයන්හිදී තණමලිවිල වැල්ලවාය වැනි ප්‍රදේශවලට ගවයන් ගෙනයාමට සිදුවීම වැනි දෑ උදාහරණය. ගවයන් මැරීමට/ගවමස් වලට විරුද්ධ වන්නන් සිටියද පිරිමි ගවයන් විශාල ප්‍රමාණයක් නඩත්තු කිරීමට සිදුවීම පාඩුදායකය. එබැවින් මස් සදහා ගවයන් විකිණීම ඉහලගොස් ඇත. කෙසේ වුවද කිරි ආශ්‍රිත නිෂ්පාදන වඩ වඩාත් බිහිවී කිරි සදහා හොද මිලක් ලැබෙනතුරු මෙම ප්‍රශ්න ‍විසදේ යයි සිතීම උගහටය.

Wednesday, March 14, 2012

එය එසේ සිදුවිය.

"පුතේ.... විගහට නැගිටල මාලු ටිකක් ගෙනෙං...... දවල් උනොත් ගන්න බැරිවෙයි"
ආං එහෙමයි අපේ මව්තුමිය මගේ නින්දෙන් පැය භාගයක් අඩුකෙරුවෙ. දැං ඉතිං මොනව කරන්නද.... ගුලිකරල තිබිච්ච කමීසෙකුත් දාගෙන ඇස්දෙකත් පොඩිකරකර පිටත් උනා මාලු ගේන්න ලෑල්ලට යන්න. මගදි මුනගැහුන එහාගෙදර චූටිමලය. දෙන්නත් එක්ක ටිකදුරක් යනකොට මාලු ලෑල්ල පැත්තෙං අමුතු සද්දයක් ඇහෙන්න ගත්ත.
"ඒ මොකද්ද මලයෝ අමුතු සද්දයක් ඇහෙන්නෙ?"
"හ්ම්! බලමු බලමු" දෙන්නත් එක්ක අඩිය ඉක්මන් කලා.

♪ ♫ එන්න.... මල් ගෙනියන්න එන්න....♪ ♫ එන්න.... අපෙන් මල් ගන්න....♪ ♫

"හෑහ්! මොකද්ද අයියේ මේ ඇහෙන්නෙ? මල්විකුණන එවුන් ටිකක් මාළු ලෑල්ල අල්ලල වත්ද?"
"ඒවගේ තමයි බං මටත් ඇහන්නෙ යමං මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න."
තවත් ටිකක් කිට්ටු වෙනකොටයි හරියටම සද්දෙ ඇහුනෙ...

♪ ♫.... එන්නෝව්...අපෙන් මාලු ගන්නොව්..... ♪ ♫ ඉස්සො හාල් මැස්සෝව්... ♪ ♫
♪ ♫ ...බලයා බලයා බලයා..... කෙලවල්ල..ඇටවල්ල..පොකිරිස්සා.....♪ ♫


වෙනදට බුලත් කාගෙන සුරුට්ටු බීගෙන කුණුහරුප කියාගෙන මාලු විකුනන එවුන් අද සුදු පාටට ඇදල ලස්සකට මාලුටික විකුණන හැටි බලන්න ලස්සනයි.

"ඈ බං මලයෝ මුන්ට මොකද්ද මේ වෙලා තියෙන්නෙ?"
"අනේ මං දන්නෑ අයියේ... මුං මේ විදියට ඉන්නව මාත් මේ දැක්කමයි"
කොයිකටත් කියල අපි කිට්ටුඋනා මාලු විකුණමින් හිටිය අපිත් දන්න කියන මයිකල් අයිය ලගට,
"මොකද මයිකල් අයියෙ උඹලට මේ වෙලා තියෙන්නෙ?"
"න්නෑ මල්ලී... අපි දැං හොදයිනේ.... ඉස්සර වගේ බුලත් කන්නෙ නෑ.... සුරුට්ටු බොන්නෙ නෑ,... කුණුහර්ප කියන්නෙ නෑ....ඒ විතරක්ද බලපංකො මේ කිරිටොය්ය මාලු ලෑල්ල......"
"අම්මටහුඩු! මම දැන්නේ දැක්කේ... ප්ලාස්ටික් නේද?"
"ඔව් මල්ලී තනිකර ප්ලාස්ටික්! දිරන්නෙ නෑ...බැක්ටීරියා නෑ... ලෙඩවෙන්නෙ නෑ... ආ... එන්න නෝනා... ගන්න මේ මාලු.... මේ කෙලවල්ල ගුණයි.... මේ බලය හරි රහයි.... හාල්මැස්සො තියනව පොඩිඅයට හොදයි....., රාජිත ඇමතිතුමාට පිංසිද්ධ වෙන්න තමයි මලයෝ මේ ඔක්කොම"
"හා..හා... දැනුයි මට තේරුනේ...මටත් දියංකො සීයක හාල්මැස්සො?"

"දැං ඉතිං මලේ බයවෙන්න දෙයක් නෑ. පොඩි එකෙකුට කෙල්ලෙකුට උනත් මාලු ලෑල්ලට ගිහිං මාලු ගත්තෑකි. බැක්ටීරියා නැති නිසා ලෙඩ වෙන්නෙත් නෑ"
"ඒ වුනාට අයියේ පොඩිවංස ඇමතිතුමා ප්ලාස්ටික් වලට විරුද්ධ වෙන්න පුළුවං..."
"ඒක නං පුරස්නයක් තමයි...හැබැයි එව්ව ඇම‍රිකාවෙන් නැතුව චීනෙං ගෙනාවනං එතුමා උනත් විරුද්ධ වෙනඑකක් නෑ බං"

Friday, March 9, 2012

ඔබේ සියලු ජෝතිෂ්‍ය කටයුතු ගොබෙල්ස් න්‍යායෙන්!



අනාවැකි! වසර සිය දහස් ගනනකට පෙර සිට පැවත එන ශාස්ත්‍රයන් සමූහයකි. සිදුහත් කුමරුන්ගේ, ක්‍රිස්තුස් වහන්සේගේ ඉපදුනු කාලයේ පටන්ද සමහර විටෙක ඊටත් පෙර කාලයේ සිදුවීයැයි විශ්වාස කරන ජාතක කතාවලද අප්‍රමාණව අනාවැකි දක්නට ලැබේ. මේවායෙන් සමහරක් නිසා සිදුවූවායයි කියන විනාශයද අතිමහත්ය. උදාහරණ ලෙස ජේසුස් වහන්සේ මැරීමේ අදහසින් බිලිදුන් ඝාතනය, පණ්ඩුකාභය කුමරු මැරීමේ අදහසින් රටේ සිටි දරුවන් මැරීම ආදී සිද්ධීන් විශාල ප්‍රමාණයකට මෙම ශාස්ත්‍ර අනියමින් වගකිව යුතුය.

තමාට විස්තර කල නොහැකි, අද්භූත- එමෙන්ම නවීන විද්‍යාවෙන් තහවුරු කරගත නොහැකි- සංසිද්ධින් සදහා හේතු සාධක සෙවීමේ කුහුලක් ස්වභාවයෙන්ම මිණිසාට ඇත. මෙම ශාස්ත්‍ර බිහිවූයේ එම හිස්තැන පිරිවීම සදහා විය හැකිය. අත්ලේ රේඛා පරීක්ෂා කිරීම, දේහ ලක්ෂණ පරීක්ෂා කිරීම,.... ආදී වශයෙන් කියනු ලබන ශාස්ත්‍ර අතුරින් වත්මනෙහි වඩා ජනප්‍රිය වන්නේ ග්‍රහ ලෝකවල පිහිටීම/බලපෑම මුල්කරගෙන පවතින ජෝතිෂ්‍යයයි. 100%ක් විද්‍යාත්මකව තහවුරු කල නොහැකි වුවද අනෙකුත් ක්‍රම හා සැසදීමේදී ජෝතිෂ්‍යය, තර්කානුකූලව ගොඩනැගී ඇති "ශාස්ත්‍රයක්" බව කිව යුතුමය. උදාහරණයක් ලෙස යමෙකුගේ අත්ලේ රේඛා, දෙදෙනෙකු විසින් වෙනවෙනම පරීක්ෂා කලහොත් ලැබෙන අපගමනයන්, දෙදෙනෙකු විසින් සාදන කේන්දර පිටපත් දෙකක වෙනසට වඩා ඉතා විශාල බව අත්දැකීමෙන් අපට කිවහැකිය. මූලික වශයෙන් ජෝතිෂ්‍යයේ පදනම එසේ වුවද යම් අයෙකු සම්බන්ධව ප්‍රකාශ කරන "අනාවැකි" නිවැරදි නොවේ. එක්දහස් නවසිය හැත්තෑ ගනන්වල කොවූර් ප්‍රමුඛ හේතුවාදීන් ඉදිරිපත්කල අභියෝගයන් පිලිගැනීමට අද දක්වාම ජෝතිෂ වේදීන්ට නොහැකිවී ඇත්තේ තම මතය තමන්ට හෝ විශ්වාස නැති නිසාදැයි සිතේ. ‍

කෙසේ වුවද මා ලිපියෙන් අවධාරණය කිරීමට උත්සාහ දරණ කාරණය මින් මදක් බැහැර වූවකි. එනම් ප්‍රසිද්ධ ජෝතිෂ්‍යවේදීන්ගේ අනාවැකි සහ ඔවුන්ගේ ක්‍රියා කලාපයන්ය. මෙහිදී මා "ප්‍රසිද්ධ" යනුවෙන් අදහස් කරන ලද්දේ පුවත්පත්, විද්‍යුත් මාධ්‍ය ආදියේ පිහිටෙන් පිම්බී, අද රජයේ ඉහලම තැන්වල වැජඹෙන්නන්ගේ ඇගේ එල්ලුනු ජෝතිෂ්‍ය කූඩැල්ලන් ගැන මිස කේන්දරයක් බලා කීයක්හරි සොයාගන්නා මිණිසුන් ගැන නොවේ. (ජෝතිෂ්‍යය විශ්වාස කරන්නන්ගෙන් කීයක් හෝ අයකරගැනීමේ වරදක්ද මා දකින්නේ නැත) ."මීලගට බලයට පත්වන්නේද තවත් රාජපක්ෂ කෙනෙක් බව" පසුගිය දිනෙක පුවත්පතකින් ප්‍රකාශ කලේ මෙවැනි අමනයෙකි. මොවුන් කරන්නේ හුදෙක් විවෘත කිරීමකට නැකතක් සාදාදීම පමණක් නොවේ. ශාස්ත්‍රයේ පිහිටෙන් ඉහල අතු අල්ලාගෙන මහජන මුදල් කොල්ලකෑමත් තම (කැළෑ) පත්තර පඩංගු වලින් ජනතාව ගොනාට ඇන්දවීමත්ය. සාමාන්‍යයෙන් රටේ නීතිය අනුව අසත්‍ය ප්‍රකාශ කිරීම, සමාජයට බලපෑමක් කලහැකි කටකතා ආදිය පැතිරවීම දඩුවම් ලැබියහැකි වරදකි. එහෙත් මොවුන්ට ඒ වෙනුවෙන් ලැබෙන්නේ තනතුරුය වරදානය. මා ඉහත සදහන් කල පුද්ගලයාට, ඇති තනතුරු නම්බුනාම දෙස බැලීමේදී එය මනාව පැහැදිලි කරගත හැකිය.
,
"වර්තමානයේ ...........තුමාගේ ඡ්‍යොතිෂ කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස ද, ....... රූපවාහිනී සේවයෙහි උපදේශකවරයකු ලෙස ද, ගාල්ල දිසා ........... අධ්‍යක්ෂවරයකු ලෙස ද, ........... බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරන්නේ ප්‍රවීණ ඡ්‍යොතිෂ්‍යවේදී දේශබන්ධු ............ මහතාය"

මෙවැනි ජෝතිෂ්‍යවේදීන්ගේ(?) අනාවැකි අධ්‍යනය කලවිට පැහැදිලි ලෙසම ඉවතට ගතහැකි පොදු සාධක ගනනාවකි. ඉන් කිහිපයක් මෙසේ පෙළගැස්විය හැකිය.

1. ගොබෙල්ස් න්‍යාය.
කියන තරම් කියන්නේ බොරු වුවත් බොරුකීමේදී අති දක්ෂය. විශාල වාර ගනනක් පුනරුච්චාරණය කිරීම සිදුකරයි. එවිට බොරුව ඇත්ත කල හැකිය.

2. අතීතයේදී සිදුවූ සිද්ධි සම්බන්ධයෙන් තමා අනාවැකි කී බව සදහන් කිරීම.
මෙය පළමු කරුණ සමග අපූරුවට පෙලගස්වාගත හැකිය. "සුනාමිය ගැන මම තමයි ඉස්සෙල්ලම කිව්වෙ, අනේ කවුරුවත් ඇහුවෙ නෑනේ","ප්‍රභාකරන් මැරෙන දවස මමනෙ ඉස්සෙල්ල කිව්වෙ" ආදී වශයෙනි. මෙය අනන්ත වාරයක් තෙපලීමේදී "ඔවුනෙ! එයා සුනාමිය ගැන කලින්ම කිව්වනෙ", "ප්‍රභාකරන් මැරෙන දවස එයා හරියටම කිව්ව" යැයි කියන මෝඩයින්ගේ ගොඩ එන්න එන්නම වැඩිකරගත හැකිවේ.

3. වැරදුනු අනාවැකි හැකි ඉක්මනින් යටපත් කිරීම.
කවුරුන් හෝ ඒ ගැන ප්‍රශ්න කලහොත් "ඒක කිව්වෙ මම නෙවේ අහවලා" යයි පැවසිය හැකි අතර ඉන්පසු ප්‍රශ්න නගන්නා එය හාරවුස්සන්නේ නැතිබව අප සේම මොවුන්ද දනී

4. මියගිය පුද්ගලයන්ගේ ජීවිතය ගැන ඉතාම නිවැරදිව කිවහැකි වීම.
මෙයද හොද කලාවකි. උදාහරණ ලෙස ප්‍රභාකරන්ගේ කේන්දරය බලා 2009 දී ඔහු මියයෑමට හේතුව විග්‍රහ කරන්නේ අපූරු ආකාරයටය.

5. අතීතය ගැන වැඩිපුර අනාවැකි කීම, අනාගතය ගැන අඩුවෙන් කතා කිරීම හා "කොතනට හෝ වදින සේ විශාල පරාසයක් ආවරණය කිරීමෙන්" අනාවැකි පැවසීම.
අනාවැකි පරාසය විශාල කිරීම ඉතාමත් වාසිදායක වන අතර යන්තමින් හෝ නිවැරදි වුවහොත් ඊට උපරිම ප්‍රසිද්ධිය ලබාදීම සිදුකරයි. "අද ලංකාවට වහිනවා" යයි කීවිට කුමන ප්‍රදේශයකට වැස්සද අනාවැකිය ටක්කෙට හරිය. වත්මනෙහි ජනප්‍රියම ජෝතිෂ්‍ය පුවත්පත් ගෙන බැලුවහොත් එහි ඇති ප්‍රධාන මාතෘකාවන් වන්නේ අතීතයේදී ප්‍රකාශකොට "හරිගිය" අනාවැකි උළුප්පා දැක්වීම්ය. අනාගතයේදී සිදුවන දෑ දක්වන්නේ ඉතා කුඩාවට වන අතර "හරියන"ඒවාට අනාගතයේදී අදාල මාධ්‍ය තුලින් "සාධාරණය ඉෂ්ටවේ".

6. අවසාන වශයෙන් සදහන් කල යුත්ත දේශපාලන අනාවැකි පැවසීමයි.
මෙහිදී ජෝතිෂ්‍යවේදියා අපහසුතාවයට පත්වන්නේ තියුණු දේශපාලන තරගයක් ඇති අවස්ථාවලදී පමණි. අනෙක් අවස්ථාවන්හිදී "සාමාන්‍ය දැනීම" භාවිතා කර ජයග්‍රාහකයා තීරණය කරගතහැකි අතර අවශ්‍ය නම් මෝඩ ඡන්දදාසලාගේ කතිරයටද බලපෑමක් කල හැකිය.

මීට අමතරව තම පාන්ඩිත්‍ය විදහා දැක්වීම සදහා "අහවල් සෘෂිවරයගෙ පොතේ කියෙන්නෙ මෙහෙමයි, ඒත් වෙන්න ඕන මෙහෙමයි" ආදී වශයෙන් පැවසීම දැක්වියහැකිය.

මෙම ක්‍රම අනුගමනය කිරීමෙන් අවශ්‍ය නම් ඔබටත් ජෝතිෂවේදියෙකු වීමට හැකිය. ජෝතිෂ්‍යය පිළිබද දැනුම අවශ්‍ය නොවන අතර බොරුකීමේ හැකියාව සහ ලැජ්ජා නැතිකම පමණක් ප්‍රමාණවත්ය. මක්නිසාද යත් වරදින අනාවැකි (බේගල්)සදහා ඔබට කිසිදු දඩුවමක් නොලැබීමයි.

අවසන් වශයෙන් සදහන් කල යුත්තක් ඇත,
ජෝතිෂ්‍යය මා විශ්වාස නොකලද ඕනෑම කෙනෙකුන් එය විශ්වාස කලාට මට කම් නැත. ඔවුන් ගැන මට ඇත්තේ අනුකම්පාවක් පමනි. ජෝතිෂ්‍යයට මුවාවී මහජන මුදල් ගසාකන කපටියන් හටය මේ පහර එල්ල වන්නේ.

Tuesday, March 6, 2012

ගැරුම් වට්ටි සහ තවත් රවී අයියගෙ කතන්දර.

මේ කතා ටික මට කිව්වෙ අපේ ඔපීසියෙ වැඩකරන රවී අයිය. මීට කලිනුත් රවි අයියගෙ කතා කිහිපයක් බ්ලොග්එකේ දැම්ම. රවි අයිය කියන්නෙ අපේ ඔෆීස් එකේ වැඩකරන කෙනෙක්. වයස තිස්ගනන්වල අග හරියෙ ඉන්නෙ. කාර්යාල වේලාවෙන් පිට කොයි වෙලාවෙ බැලුවත් ඉන්නෙ බඹර වගේ.
ලගදි දවසක වෙච්ච සිද්ධියක් මට අද කිව්ව. එයාගෙම වචන වලින් කතාව මෙහෙමයි.
"මල්ලී මම එදා ඔෆීස් ඇරිල ගෙදර ගිහිං නාල ආව පාර පැත්තට. අපේ එවුන් සෙට්එක ....මස් වගයක් හදල ගෙනත් තිබුන ගල් බෝතල දෙකක්. ඒක බීලා ඉවර වෙනකොට ......ත් ඇවිල්ල ගෙනාව තව ...........................................................................................................................................................................................................
මට තනබිස්ස උඩ පොඩි නින්දකුත් ගියා ඔය අතරෙ. ගෙනාපුවත් ඉවරයි, අපි කට්ටිය ගෙවල්වල ගියා. ඒ වෙනකොට මට එච්චර අමාරුවක් තිබුනෙත් නෑ වගේ. මම ගෙදර ගිහිල්ල දොරට ගැහුව. අම්ම ඇවිල්ල දොර ඇරිය. බලාපං බිවුවම තියන අවුල කියන්නෙ මට ඕන උනා හොද සිහියෙන් කියල අම්මට පෙන්නන්න. මම අම්මගෙන් ඇහුවනෙ වැඩි හොදට "අම්ම බත් කාලද?" කියල. අම්ම කියනව "බත් කන්න? මේ උදේ පාන්දර!" මට තේරුනා වැඩේ අවුල් කියල, මම කාමරේට ගිහිං බැලුව වෙලාව. උදේ හතරයි! බලපං මටත් කට තියං ඉන්න බෑනේ"

දැක්ක නේද වැඩේ. එහෙම කියල රවි අයිය මෙහෙමත් කිවුව,
"මේ දවස්වල අම්මට ඕනකම තියනව මට දේසනාවක් දෙන්න, අවුල තියෙන්නෙ මම බීල නැතුව ඉන්න වෙලාවක් හොයාගන්න බෑ"
ඊලග කතාවත් කිව්වෙ රවි අයිය, ඒක සිද්ධ වෙලා තියෙන්නෙ එයාගෙ අසල් වැසියෙකුට,
"මල්ලි, කලකට ඉස්සෙල්ල අපේ පැත්තෙ එකෙක් පතලක් හාරන්න ගත්ත. මැණික් නං ලැබුනෙ නෑ පොඩි පොඩි රබහ කෑලි ටිකක් නං අහුඋනා. මූ පස්සෙ වැඩේ අල්ලල දැම්ම. එක දවසක් කොයිකටත් කියල මූ මේටිකත් අරගෙන ගියා රත්නපුරේ ....... ලගට. කෑලි 20ක් 25ක් විතර තිබිල තියනව. මුදලාලි ගල්ටික බලල කියල "මේවනං වැඩක් නෑ, හොද ඒව අහුඋනොත් එන්න, හොද ගානක් දෙන්නං" කියල. කොහොමහරි මෑන්ට රුපියල් එද්දාස් පන්සීයක් විතර මුදලාලි දීල. ඒකෙන් අපි අඩිය ගැහුව. ඔය සිද්ධියට මාස 6ක් විතර වෙනව. ලගදි දවසක මූ අර ගල්කෑලි ටිකෙන් 5ක් 6ක් අරගෙන ආයි ගිහිල්ල අර මුදලාලි ලගට. ගිහිං එදා විදියටම ඇට් කරල. මුදලාලි ගල්ටික බලල කියනවලු "මේවනං වැඩක් නෑ" කියල. හැබැයි කීයක්වත් දෙන්නත් වගක් නැහැලු. ඊට පස්සෙ මූ ඇඹරි ඇඹරි ඉදල කිවුවලු "මුදලාලි මේ දවස්වල සල්ලිත් නෑ, ගැරුං වට්ටි ටිකත් කැඩිල තියෙන්නෙ......." කියල. මුදලාලි ගියාලු ඇතුලට, දැං මූ හිතං ඉන්නෙ වැඩේ හරි තමයි කියල. ඇතුලෙ තිබිල ගෙනත් දුන්නලු ගැරුංවට්ටියක්! මොනව කරන්නද, මූ ඒකත් අරගෙන බස්එකේ ඇවිල්ල. දැං කොල්ලොංගෙන් බේරුමක් නෑ"


Friday, March 2, 2012

මෝටර් බයිසිකල් වලට දෙන්නගිය පෙට්‍රල් සහනාධාරය නූලෙන් මිස්වුනේ මෙහෙමයි.

තෙල් මිල වැඩිවුනාට පස්සෙ බොහොමයක් වාහනවලට සහනාධාර ලැබුනානේ. ඒත් අපිවගේ මෝටර්බයිසිකල් කාරයන්ට කිසිම සහනයක් දෙන්න බැරිවුනා. ඒක එහෙම උනේ නූලෙන් මිස්වීමකින් කියල කවුරුහරි දන්නවද? මං ඉස්සරහදිමයි ඒ සිද්ධිය සිද්ධ උනේ. ඒ අවාසනාවන්ත සිද්ධිය සිදු නොවෙන්න මෝටර් බයිසිකල් වලටත් ඉන්ධන සහනාධාරෙ ලැබෙනව. සිද්ධිය මේකයි.

එදා සෙනසුරාද දවසක්. මම උදේට කාල එහෙම හන්දියෙ සුද්දගෙ කඩේට ගියේ ගෝල්ලිප් එකක් පත්තු කරගන්න. ඒ වෙලාවෙ තෙල්මිල වැඩිවෙනව කියල වටින් ගොඩින් ආරංචිය ඇවිල්ලයි තිබුනෙ. ඒ වෙනකොටත් පියදාස මුදලාලියි, එහාගෙදර රංජි අයියයි මේගැන කතා කර කර හිටියෙ.

"මේ සැරේනං මලයෝ මම ‍මගේ බස් කබල දීල දානව ගානකට ආවොත්. ලීස්එක ඇරියස් වෙලා බස්සෙක උස්සන්න කලිං ෂේප්වෙනඑක තමා ඇගට ගුණ" ඒ පියදාස මුදලාලි.

"ලෝක වෙලදපොලේ අවුලක් නෙවේ අයියේ.... මුංගෙ පාඩු අපෙං අල්ලගන්නයි ඕකුං හදන්නෙ. අවම ගාස්තුව සීයක්වත් කරන්න වෙනව මෙහෙම ගියොත්" රංජිය දත්කුරු කන සද්දෙ යාන්තමට මටත් ඇහුන.

රුපියල් තිහ සුද්දට දීල ඌ බලෙන් වගේ ඇගේ ගහපු රුපියල් අටක ටොපි අහුරත් සාක්කුවෙ දාගෙන දොරේ එල්ලල තිබිච්ච ලයිටරේ අරං ගෝල්ලිප්පුව පත්තුකරගෙන බංකුවෙ වාඩිවුනා. ඕං එතකොටම කඩේට කඩාපාත්වුනා වෑන්ධර්මෙ අයියත්.

කතාබහ මේ විදියට සිද්ධවේගෙන යද්දි කලුම කලු වීදුරු දාපු සැපම සැප වාහනයක් බ්‍රාස් ගාල ගහපු බ්රේක්පාරට කස්ටියම හොල්මං වෙලා ගියා. වාහනේ ඉස්සරහ දොර ඇරගෙන බැස්සෙ වෙන කවුරුත් නෙවේ, අපේ මහරජ ජනාධිපති උතුමානන්. අතේ තිබුන සිකරැට්ටුව බිමට දාල පාගන්නවත් මට වෙලාවක් තිබුනෙ නෑ. පිච්චෙද්දිම ඒක මිටිකරගත්ත අතටම. අපරාදෙ! උගුරු දෙකයි ඇද්දෙ. මොකෑ මතට දුමට තිත තියපු උන්නන්සෙ ඉස්සරහ දුං අරින්න ඇහැකිය මට.

ඒ එක්කම පියදාස මුදලාලි කැහැපට ගහගෙන හිටිය සරම කඩල දැම්මෙ ඇහිපිය ගහන වේගයෙන්. රංජිය සීරුවෙන් සිටගෙන අත්දෙක පිටිපස්සට කරගත්ත. සුද්ද අපේම රටේ හදපු බජට් කිරි පැකට්ටුවක් සීනි අඩුවෙන් ජොග්ගුවට දාල කට කට ගාල කිරිතේ එකක් හදන්න ගත්ත.

"හා... කට්ටියම තෙල්මිල ගැන වෙන්නැති කතාව නේ?" ජනාධිපත්තුමා එහෙම අහනකොට මුදලාලි ඇලේට ඔලුව පාත්කලා.

"සර්.... අපිට සහනයක් මේපාර නැහැයි?"

"හ්ම්..... හරි ඔහේලට සහනාධාරයක් දෙන්නංකෝ.... හැබැයි ඉස්ටැයික් බෑ. මම ඒවට කැමති නෑ"

"ඔබතුමාට පිංසිද්ධ වෙනව"
ඒත් එක්කම රංජියත් බය සැක නැතුව කිට්ටු උනා.

"සර්.... අපිටත් කීයක්හරි දෙන්න බැරිය සර්.... බොහොම අමාරුවෙන් දුවන්නෙ සර්"

"හරි හරි ඔහේලටත් දෙන්නංකෝ...."

ඌත් වැඩේ ගොඩදාගත්ත විතරයි ධර්මෙ අයියත් කිට්ටුවුනා, බලන්න එතුමා පාසල් වෑන් වලටත් සහනාධාරෙ දුන්නනේ...

දැං ඉතිං බලං ඉන්නෙ මක්කටෙයි කියල මාත් කිට්ටුවුනා අපේ ජනාධිපතිතුමා ලගට,
"සර් මෝටර්බයිසිකල් වල යන අපිවගේ....! මට කියන්න ලැබුනෙ එච්චරයි,

මේං සිංදුවක් ඇහෙනව ....අම්සො ලෝන්ලී....බ්‍රො කනේංජල්.....අම්සො ලෝන්ලී ලිස්න් ටු මයි හාට්.....

මගෙ අම්මේ මේ සද්දෙ එන්නෙ අපේ ජනාධිපතිතුමාගෙ සරම අස්සෙං. උන්නාංසෙ සරම අස්සෙං අතදාල යටට ඇදල හිටිය කලිසමේ සාක්කුවෙං ගත්තා සීදේවී පෝං එකක්. මම චුට්ටක් අයිනට උනා.

"මං හිතන්නෙ මැඩම්ද කොහෙද" රංජිය මගේ කනට කෙදිරුව. ඒ අතරෙ ජනාධිපතිතුමාගෙ ඉරියව් වෙනස්වෙන්න ගත්ත.

"....මොකක්!....ඔබාම....බැංකියත් සම්බන්ධයිද..."
කතාව අතරේ එතුමාගෙ සරම දනහිසටත් චුට්ටක් උඩට ඉස්සුනා.
"මේ සැරේ තමයි ඕකුං දෙන්න මගෙං සල්ලං වෙන්නෙ!"

අනේ එහෙම කියපු එතුමා වාහනේට නැග්ග. ඩ්‍රයිවර් කොලුව වාහනේ ඇද්දුව. මගේ ඉල්ලීම කියාගන්න බැරිවුන නිසා තමයි අනිත් අයට ලැබුන සහනාධාරෙ අපිට නැතිවගියේ.