Friday, September 30, 2011

ගවමාංශ ප්‍රශ්නය කෙසේද යත්,.....

මිතුරෙකු විසින් නිර්මිත "කාල යන්ත්‍රයේ" පරීක්ෂණ වාරයට සහභාගී වූ මා ක්ෂණයකින් අදින් වසර දහස් ගනනක් අනාගතයට පැමිණ, ලද සුළු ඉසුඹුවකදී සයිබර් පුස්තකාලයකට ගොඩවැදී එහි වූ ලියමන් කියවීමේදී මෙම කථා වස්තුව මාහට හුරුපුරුදු බවක් හැගී ගියෙන් එය බාගතකොටගෙන වර්තමාන බ්ලොග් කියවන්නන්ගේ ප්‍රසාදය සදහා ඉදිරිපත් කරමි. ****************************************************************
යටගිය දවස ශ්‍රී ලක් නුවර සත්වැනි මිහිදු රාජ තෙමේ සිය සහෝදර-පුත්‍රාදීන් සමග දැහැමෙන් සෙමෙන් රාජ්‍ය විචාරන කල්හි එනුවර මහත් වූ ප්‍රශ්නයක් පැන නැංගේය. ඒ තුමක්ද යත් මෙනුවර වැස්සන්ගෙන් ක්ෂුද්‍රවූ කොට්ඨාසයක් ගවයන්, එළුවන් ආදී සත්වයන් ඝාතනය කොට එම මාංශයෙන් කාලිමෑනියන්ට බිලිපූජා පවත්වා ඔවුන්ද එම මාංශයෙන් සංතර්පනය වීමයි. අවිහිංසාව ධර්මයෙන් පෝෂණය වී ඇති මෙනුවර වැස්සන් බොහොමයක් ගව මාංශය පිළිකේව් කලද සූකර, එළු, කුකුළු ආදී මාංශයන්ද සාගරයේ හෝ ඇල, දොල, විල් ආදියෙහි වෙසෙන මත්ස්‍යයන්ගේද මාංශය පිළිකේව් නොකරන්නාහ.
ගවමස් පමණක් අනුභවය නවතනු වස්, මිහිදු රාජෝත්තමයන් වහන්සේ තම එක්සියයක් පමණ වූ අමාත්‍ය මණ්ඩලය සහ විවිධ අවස්ථාවන්හිදී පත්කලමුත් සංඛාවෙන් තමාටත් අවිනිශ්චිතවූ කීමෙහි බිණීමෙහි දැණුමෙහි සමත්, උපාය උපාය දත් පුරෝහිත පිරිස තමා අභිමුවට කැදවා ප්‍රශ්නයට විසදුම් ලබාදෙන මෙන් දැන්වීයැ.
එවිට නැගිට සිටි එක් පුරෝහිතයෙක් "දේවයන් වහන්ස, අපි ගෝ ඝාතනය තහනම් කරමු" දැයි යෝජනා කල අතර රජතුමා ඊට උරණ වූයේ එය ප්‍රජාචන්ත්‍රවාදී පාලනයට එකග නොවන බව පවසමින් වූ අතර එම පුරෝහිතතෙමේ මුඛ පූට්ටු කරගත්තේය. අමාත්‍යවරුන් හා පුරෝහිතයන් මෙවන්වූ විවිධ අනුචිත යෝජනාවන් තරගයට මෙන් සභාවට ඉදිරිපත් කල අතර ඒ සියල්ල රජතුමාගේ පිලිකේව් කිරීම මත හිරු දුටු කදෝපැණියන් මෙන් නිෂ්ඵලත්වයට පැමිණීය.
අවසානයේ කල්‍යාණි ජනපදයට අධිපති දුටුගැමුණු පරපුරේ චණ්ඩාමර්වින් අමාත්‍යතුමා කියා සිටියේ තමාට ගවමාංශ ප්‍රශ්නය නිසිපරිදි විසදීයහැකි බවත් ඊට ගෞරවණීය සත්වැනි මිහිදු රාජෝත්තමයානන් වහන්සේගේ අවසරය අපේක්ෂා කරන බවත්ය.
"තමාගේ යෝජනාව නොවලහා ඉදිරිපත් කරව"යි රජතුමා කියූකල,
"මහ රජතුමනි, ගවමාංස සදහා වන කහවණු දශලක්ෂයක් පමණ වන 'ප්‍රසම්පාදනය' මා, මාගේ භාණ්ඩාගාරයෙන් මිලදීගන්නෙමි. එතකුදු වුවත් එක් ගව මයිලයකටවත් හාණියක් නොකරන්නෙමි. මෙලෙසින් මේ සභාවෙහි සිටින අමාත්‍ය-පුරෝහිතාදීන් තම භාණ්ඩාගාරවල ඇති කහවනු යොදා එක් එක් ජනපදවල ඇති 'ප්‍රසම්පාදනයන්' මිලදීගත් විට ප්‍රශ්නය විසදේ. අනෙක් අතට ඌරන්, කුකුළන් ආදී ගොඩබිම ජීවත්වන සතුන්ද, මත්සයින් ආදි ජලජ සත්වයන්ද වැඩිවූ විට සුන්දර පරිසරය දූෂණය වී අප නුවර දුර්ගන්ධය පැතිරේ. එබැවින් උන්ගේ මාංස අනුභව කලාට වරද නැත" යනුවෙන් ප්‍රකාශකර සිටියේස.
මීට මහත් ප්‍රසාදයට පත් මහරජා‍නන් වහන්සේ "තොපගේ යෝජනාව ඉතා අගනේය, තොප වැන්නවුන් සිටීම මාගේ රාජ්‍යට මහත් ආඩම්බරයක් බවද..." ආදී ලෙසින් ඔහු පසෙසා ඔහුගේ යෝජනාව අනුව කටයුතු කරම්වැයි අන්‍යන්ටද පවසා රාජ සභාවේ කටයුතු අවසන් කලසේක.
ඉන්පසු ශ්‍රී ලක් නුවර ගවමාංස අනුභවය සදහටම නැවතිනි. තවද එපුරය වඩාත් දැහැමි, සෞභාග්‍යවත් වූ අතර මනුශ්‍යයන් මෙන්ම ගවයන්ද රිසිසේ තම වර්ගයා බෝ කරගෙන අඹුදරුවන් සමග සතුටින් දිවිගෙවූහ.

Thursday, September 29, 2011

මගේ බ්ලොග්එක හැක් වෙලාද? කොහොමද මෙහෙම උන්? කවුරුහරි උත්තරයක් දෙන්න.

අද පෝස්ට් එකක් දාන්න නොහිටිය නිසා ඩෑෂ් බෝඩ් එකේ තිබුන පෝස්ට් බැලුවා. ඊයෙ මම DeepS ගේ ලෝකය බ්ලොගේ තිබුන මෙන්න මේ ලිපියට පෝස්ට් එකක් දැම්ම. ඒ සයිට් එක ලෝඩ් වෙන්න විනාඩි 5ක් විතර ගතවුන නිසා ඒකෙ තිබුන රාජ් නමින් පලවෙනි කොමෙන්ටුව දැම්මෙ මම.
ඒ මෙන්න මේක
"බුදු අම්මෝ මේක ලෝඩ් වෙන්න ගිය වෙලාව!"
ඒකට DeepS ගේ ලෝකය දීපු උත්තරෙත් එතන තියනවා.
අද උදේ මම ඒ ලිපිය බලනකොට මම දාපු පෝස්ට් එකට යටින් තවත් "රාජ්" කෙනෙක් කොමෙන්ටුවක් දාලා තිබුනා මම දානවා වගේ. ඒකෙ කියල තිබුනෙ මෙන්න මේ ටික
"අක්කණ්ඩි අපේ ගොඩක් අය මේ බ්ලොග් කියවන්නේ එයාලගේ ඔෆීසියේ ඉඳන්. ඒවයේ කොම්පීතර්වල තියෙන්නේ ඉනට්කෙට් එක්ස්ප්ලෝරා එකේ හද්ද පරණ වර්ෂන් එකක් වෙන්න බැරි නෑ.... එහෙව් උදවියට මේවා හරියට පෙනෙයිද?"
මම දන්න තරමින් බ්ලොග් අවකාශයේ "රාජ්" නමින් ඉන්නෙ මම විතරයි. හැබැයි තව එක්කෙනෙක් ඉන්නවා. එයා ඉංග්‍රීසි "RAJ".ඒ සහෝදරයා 2010 ඉදලා බ්ලොග් ලියන කෙනෙක්.(ඒ බ්ලොගේ හොයාගන්න ට්‍රයි කලත් බැරිවුනා)
මම කල්පනා කලා එයා ප්‍රොෆයිල් එක වෙනස් කරලවත්ද කියලා. එහෙම හිතලා මම නම උඩ ක්ලික් කලා. මාර වැඩේ කියන්නෙ මගේ ප්‍රොෆයිල් එකමයි ආවෙ. ඒත් මම ඒ කොමෙන්ටුව දැම්මෙ නෑ.
අනිත් එක ඒක දාල තියෙන්නෙ මම කියලා හැගෙන්න පුළුවන් විදියට. මොකද ආණ්ඩුවෙ ඔෆීස් එකක වැඩකරන රාජ් ලා නැතුව ඇති මගේ හිතේ.
අනෙක ඒ කොමෙන්ටුව තරමක් හෝ අපහාසාත්මකයි කියල මට හිතෙන්නෙ. (ඒ කොමෙන්ටුව ආයෙත් බලන්න) අයි.ටී. පැත්තෙන් මෝඩයෙක් උනත් මම පාවිච්චි කරන්නෙ ෆයර්ෆොක්ස්. අනෙක අපේ ඔෆීස් එකේ අය කවුරුවත් බ්ලොග් කියවන්නෙ නෑ.
මගේ ප්‍රශ්නය මෙහෙම උනේ කොහොමද? මගේ සයිට් එක කවුරුහරි හැක් කරලද?(නම විතරක් නෙවේනෙ ඒකඋඩ ක්ලික් කලාම මගේ ප්‍රොෆයිල් එක උඩට යන්න ක්‍රමයක් වෙන තියනවද?). මීට පෙර එක එක සයිට්වල කුණුහර්ප කොමෙන්ටු දාපු එවුන් හිටියානේ. මගේ එකෙනුත් එහෙම දාන්න දැං පුළුවන්කම තියනවා. දැනටත් දාලද දන්නෙ නෑ . මම ඔෆීස් එකේදී ලොග්වෙලා ඉන්න වෙලාවට කවුරුහරි මගේ නමින් මේක දැමීම කොහොමටත් වෙන්නත් බෑ.
කාටහරි පුළුවන් නම් මේ වැඩේ කරපු වේසිගෙපුතා අල්ලල දෙන්න බොහොම පිං. මගේ සයිට් එකේ උඩ තියන ඊමේල් එකට කියල එවන්න.
ප.ලි. - මගේ බ්ලොග් පාස්වර්ඩ් එක නං කිසිම ජගතෙකුට ගෙස් කරන්න බෑ.

Wednesday, September 28, 2011

අල්ලස් හා අපේ රාජ්‍ය සේවය

පසුගිය දිනෙක මාහට මුහුණපෑමට සිදුවූ සිද්ධියක් මාතෘකාවේ ආරම්භයට යොදාගනිමි. එදින මා සිටියේ අප කාර්යාලයේ වාහන බලපත්‍ර නිකුත්කරන ස්ථානයේය. ආදායම් බලපත්‍රයක් ගැනීමට පැමිණි තරුණයෙකු අත අදාල සියළු ලියකියවිලි නොතිබුනු අතර ඔහුගේ කාර්ය ඉටුකල නොහැකි බව දැන්වීමට මා හට සිදුවිය. ඔහුගේ ක්ෂණික පිළිතුර (යෝජනාව) වූයේ "මහත්තයා, කරගන්න විදියක් ඇත්තෙම නැද්ද?" යන්නයි.
අල්ලස යනු කිසියම් ආයතනයකින් යම් සේවාවක් ලබාගැනීම සදහා ලබාදෙන ඕනෑම දෙයක් වන අතර මේවා මුදල්, භාණ්ඩ, සේවා, ආදී ඕනෑම දෙයක් වන අතර අල්ලස් වශයෙන් පැවැත්වෙන සාද සහ ලිංගික අල්ලස්ද වියහැකිය. මේවා ලබාදෙන්නවුන් බලාපොරොත්තු වන්නේ යම් සේවාවක් කඩිනමින් ලබාගැනීම, අන් අය ඉක්මවා ප්‍රමුඛතාවය ලබාගැනීම හෝ නීති විරෝධීව අදාල සේවාව ලබාගැනීමේ අපේක්ෂාවයි. ශ්‍රී ලංකාවේ පවතින සිවිල් නීති අනුව කුමන ආකාරයක හෝ අල්ලස් ලබාගැනීම මෙන්ම ලබාදීමද දඩුවම් ලැබියහැකි වැරදි වේ. රාජ්‍ය සේවය පැත්තෙන් ගත්විට අල්ලස් ලබාගැනීම යනු රැකියාවෙන් පහකරනු ලැබිම හා සිවිල් නීතිය යටතේ දඩුවම් ලැබීම යන දෙකටම යටත්ය.
ලංකාවේ ආර්ථියය සම්බන්ධ ඉතා වැදගත් ස්ථානයක සේවය කරන නිළධාරි‍යකු වන මගේ මිත්‍රයෙක් වරක් මට පැවසුවේ "....ජොබ් එකේ අයට....පාස් කරගන්න ඕන ගානක් දෙන්න ලෑස්ති කට්ටිය ඉන්නවා.... , ලංකාවෙ ඕනම නිළියකගෙ නමක් කියල ඉල්ලුවොත් උන් ගෙනල්ල දෙන්න එයාලට පුළුවන්.." යන්නයි. මෙහි අතිශ්‍යෝක්තියක් තිබියහැකි වුවත් සම්පූර්ණයෙන්ම බැහැරකිරීමටද නොහැකිය.
මීලගට සලකා බැලිය යුත්තේ අල්ලස් ලබාගැනීමට හේතුවන කාරණායි.
මා හදුනාගෙන ඇති ආකාරයට මීට හේතු වශයෙන් බොහෝ දෙනා දක්වන රාජ්‍ය සේවයේ පවතින (ජීවන බරට සරිලන)වැටුප් නොලැබීම නොවේ. මූලිකම හේතුව වන්නේ "අවස්ථාව"යි.
කුමක්ද මේ "අවස්ථාව"?
ශ්‍රී ලංකාවේ අල්ලස ගැන ප්‍රධාන වශයෙන් චොදනා එල්ල වන අංශයන් වන්නේ පොලීසිය, මෝටර් රථ ප්‍රවාහන සදපාර්තමේන්තුව, රේගුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන කාර්යාල හා පාසල් වැනි ආයතන වේ. මේ සියළුම ආයතන සම්බන්ධයෙන් මහා පොදු සාධකයක් ඇත. එනම් අල්ලස් දීමට පොළඹවන සුළු හේතු එකක් හෝ කිහිපයක් මෙම ආයතන වල පැවතීමයි. උදාහරණයක් වශයෙන් රථවාහන අංශයේ සේවය කරන පොලිස් නිළධාරියෙකු සැලකුවහොත් ඔහුට මාර්ග නීති කඩකරන රියදුරන් හසුකර ගැනීමේ අවස්ථා ඕනෑතරම් පවතී. මෙහිදී වැරැද්ද සිදුකරන පාර්ශවයේ කල්පනාව "කීයක් හෝ රාලහාමිට දී", අධිකරණයට යාම හෝ වඩා වැඩි දඩයකින් ගැලවීමයි. මෙහිදී "හෘද සාක්ෂිය සමග කරන සටනේදී" පරාජයට පත්වන "රාලහාමිලා" බොහෝය
මා මුලින්ම සදහන් කල මගේ අත්දැකීම සලකා බැලුවද එහිදීද මාහට ලැබෙන්නේ අල්ලස් ලබාගැනීමේ අවස්ථාවයි. වැටුප් ප්‍රමාණවත් නොවීම යන කාරණය ප්‍රධාන කාරණාවක් නොවන අතර එය එසේ යයි සලකන්නේ නම් අඩු වැටුප් ලබන රාජ්‍ය සේවකයන් පමණක් අල්ලස් ලබාගැනීමට පෙලඹෙන්නවුන් වියයුතු වුවත් එය එසේ නොවන බව අපි දනිමු.
යම් සේවාවක් කඩිනමින් ලබාගැනීම, අන් අය ඉක්මවා ප්‍රමුඛතාවය ලබාගැනීම හෝ නීති විරෝධීව අදාල සේවාව ලබාගැනීම යන කාරනා මුල්කොටගෙන අල්ලස් දීමට වැඩිපුර පෙළඹෙන ආයතන වල ස්වභාවයේ පහත සදහන් ලක්ෂණ ඇත.
ශ්‍රී ලංකාවටම එක් කාර්යාලයක් හෝ කාර්යාල කිහිපයක් පැවතීමේ හේතුව(උදා.මෝ.ප්‍ර.දෙ.,රේගුව..) මෙම ආයතන වල කාර්යක්ෂමතාවය කොතරම් වැඩිකලද කාර්යබහුලත්වය හේතුවෙන් ප්‍රමාදවීම් ඇතිවීම වැලැක්වීම ඉතා දුෂ්කරය. මෙම ආයතන වෙනුවට විකල්ප ස්ථාන නොමැත. ජනප්‍රිය පාසල් ආදිය ගත්විට ඒවායේ ඇති තත්වයද මෙසේ වේ.
අල්ලස් ලබාගැනීම් ඇතිවීමට බලපාන අනෙක් මූලික හේතුවක් වනුයේ පුද්ගලික අංශයට සාපේක්ෂව රාජ්‍ය අංශයේ පවතින අධිකාරී ස්වභාවයයි. උදාහරණයක් වශයෙන් වාහනයක ආදායම් බලපත්‍රය ගැනීම යන කාර්ය සැලකුවහොත් එය ලබාගත හැක්කේ එකම ස්ථානයකදී පමණක් වුවත් වාහනය රක්ෂණය කරගැනීම සදහා පෞද්ගලික රක්ෂණ සමාගම් ඕනෑතරම් ඇත.
අනෙකුත් හේතු ගත්විට ලබන වැටුප් ප්‍රමාණවත් නොවීම, සේවකයන්ගේ පවතින ආකල්ප, යහපාලනය ඇතිකරවීමට අදාලව ඔවුන් දැනුවත් නොකිරීම ආදිය ගතහැකිය.
උදාහරණයක් ලෙස තමා රාජ්‍ය සේවයේ යෙදී වැටුප් ලබාගන්නේ බදුගෙවන ජනතා මුදලින් බව අමතක කරන රාජ්‍ය සේවකයන් එමටය.
අල්ලස නැතිකිරීම සදහා ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද?
මූලික වශයෙන්ම අල්ලස් දීම නැවැත්විය යුතු අතර ඒ සම්බන්ධ නීති රීති අකුරට ක්‍රියාත්මක කරවිය යුතුය. ඒ සදහා වන දඩුවම් වැඩිකල යුතුය.රාජ්‍ය අංශයේ සේවකයන්ගේ අල්ලස් ගැනීම් පිළිබද පැමිණිලි කිරීමට යාන්ත්‍රණයක් ඇතිකලයුතු අතර චෝදනාවකට ලක්වී එය ඔප්පු වන නිළධාරියකුට ලබාදෙන දඩුවම හුදෙක් ස්ථාන මාරුවකට සීමා නොවිය යුතුය.(යටත් සේවකයකු සම්බන්ධව එම ආයතනයේ ප්‍රධානියාට කරන පැමිණිල්ලක් පුද්ගලික අංශයට සාපේක්ෂව රාජ්‍ය අංශයේදී විභාග නොකෙරේ).
අවසාන වශයෙන් මෙම ලිපිය කියවූ ඔබට දියහැකි පණිවුඩය වන්නේ
"කිසිදා අල්ලස් දීමට නොපෙළඹෙන්න. අල්ලස් වශයෙන් ඔබ කරන වියදම හෝ පරිත්‍යාගය ඔබට සුළු දෙයක් වියහැකි වුවත් එය රාජ්‍ය සේවයට ඇතිකරන අයහපත් බලපෑම සුළුපටු නොවේ. සමහර විට එය ඔබේ දරුවා වැඩිහිටියෙක් බවට පත්වූ පසු ඇතිවන සමාජයට පවා බලපෑම් කලහැකිය"

Tuesday, September 27, 2011

රුවිතට යන රග්බි ලෝක කුසලානය.

රග්බි ගැන උනන්දුවක් ඇති ක්‍රීඩා ලෝලීන් අතේ ඇගිලි ගනනටවත් බ්ලොග් අවකාශයේ ඇතැයි සිතීම උගහටය. එසේ වුවත් තරගාවලිය ගැන මීට පෙර ලිපි දෙකක් පලකල අතර රග්බි ක්‍රීඩාවට ඇති නොනිත් ඇල්ම නිසා තෙවැනි ලිපියද ලිවීමට සිත්විය.
තරගාවලිය ගැන කථා කිරීම පසෙකලා මුලින්ම එය ආවරණය කිරීමට සැදී පැහැදී සිටින ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ගැන කථා කල යුතුය. මෙවැනි තරගාවලි ආවරණය කිරීම සදහා ක්‍රිකට් තරගාවලියකදී මෙන් පෞද්ගලික නාලිකා සමග තරග කිරීමට රූපවාහිනි සංස්ථාව සිදුවේදැයි මා නොදන්නා නමුත් "සජීවී විකාශය" වෙනුවට සමහර අවස්ථා වලදී "නැවත විකාශය" දක්නට ලැබීම කණගාටුවට කරුණකි. ඕස්ට්‍රේලියානු කන්ඩායමේ(ක්‍රිකට්) ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ඇරඹි රග්බි ලෝක කුසලාන පළමු තරග කිහිපය විකාශය කිරීමට නොහැකි වූයේ ක්‍රිකට් තරග විකාශය නිසා වුවත් රූපවාහිණි ආයතනයක් යම් තරගාවලියක් විකාශය කිරීමට භාරගතයුත්තේ තමන්ට හරිහැටි එම විකාශය සිදුකලහැකි නම් පමණි. පසුගිය දිනෙක වෙළදසේවා ක්‍රිකට් තරගයක්ද විකාශය කරනු ලැබුවේ රග්බි තරගයක් අතරතුරදී වන අතර ඉදිරියේදීද යම් යම් තරග විකාශනය වනබව දැක්වෙන දැන්වීම් අයි නාලිකාව ඔස්සේ ප්‍රචාරය වේ. අපේ පැරැන්නන්, "දොඩංගොඩ බදාගත්තා වගේ" යන කියමන යොදාගෙන ඇත්තේ මෙවැනි අවස්ථා සදහාය.
දැන් නැවතත් තරගාවලිය දෙසට යොමුවෙමු.
මූලික වටයේ "වැදගත්" තරග බොහොමයක් අවසන් වී ඇති අතර තරගාවලියට යම් "බලපෑමක්" කලහැකි මට්ටමේ තරග ඇත්තේ එකක් දෙකක් පමණි. දැනට පැවති තරග වලදී මා මින් පෙර අනුමාන කල කන්ඩායම් සියල්ල මීලග වටයට සුදුසුකම් ලබා ඇති නමුත් එක් තරගයකින් තරගාවලියේ ස්වරූපය මුළුමනින්ම වෙනස්වී (ව්‍යාකූල) ඇත.
එක් එක් කාණ්ඩවලදී දක්ෂතා දැක්වූ කණ්ඩායම් මෙසේය
ඒ කාන්ඩයේදී නවසීලන්තය හා ප්‍රංශය ඉදිරියට යාමට සුදුසුකම් ලබා ඇත.
බී කාණ්ඩයේ එංගලන්තය හා ආර්ජන්ටිනාව සුදුසුකම් ලැබිමට නියමිත වුවත් ඔක්තෝබර් පලමුවැනි දින පැවැත්වෙන ස්කොට්ලන්තය හා තරගයේදී එංගලන්තය පරාජය වුවහොත් ප්‍රසාද ලකුණු අනුව කණ්ඩායම් තෝරාගැනීමට සිදුවියහැකිය. කෙසේ වුවද මෙය සිදුවීමේ සමිභාවිතාවක් අඩුය.
ඩී කාන්ඩයේදී ප්‍රභල දකුණු අප්‍රිකා කණ්ඩායමත් වේල්සය දෙවන ස්ථානයටත් පැමිණ ඇත.
තරගාවලියට දැඩි බලපෑමක් සිදුකරන කාණ්ඩය වන්නේ සී කාන්ඩයයි. එහිදී ලෝක කුසලානයේ දෙවැනි බලාපොරොත්තුව ලෙස ආරම්භයේදී සිටි ඕස්ට්‍රේලියාව අනපේක්ෂිත ලෙස අයර්ලන්තය හමුවේ පරාජය වීම නිසා ඔවුන් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට වැටී ඇත.(මෙවැනිම සිද්ධියක් ගියවර තරගාවලියේ ප්‍රංශ කණ්ඩායමට අත්විය) මෙම සිද්ධිය නිසා තරගාවලියේ ඉදිරිය මෙසේ විය හැකිය.
ඒ කාණ්ඩය
1.නවසීලන්තය
2.ප්‍රංශය
බී කාණ්ඩය
1.එංගලන්තය
2.ආර්ජන්ටිනාව
සී කාණ්ඩය
1.අයර්ලන්තය
2.ඕස්ට්‍රේලියාව
ඩී කාණ්ඩය
1.දකුණු අප්‍රිකාව
2.වේල්සය.(ඒ ඒ කාණ්ඩ වල ප්‍රසාද ලකුණු(අපේක්ෂිත) අනුව අනු පිළිවෙලින් දක්වා ඇත)
මා සදහන් කල අයුරින් කණ්ඩායම් අට තෝරාගත් විට අර්ධ අවසන් පූර්ව තරග පැවැත්වෙන්නේ පහත ආකාරයටය.
01.අයර්ලන්තය සහ වේල්සය.(ජයග්‍රහණය නිශ්චිත නැත)
02.එංගලන්තය සහ ප්‍රංශය.(ජයග්‍රහණය නිශ්චිත නැත)
03.දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව(ජයග්‍රහණය නිශ්චිත නැත)
04.නවසීලන්තය සහ ආර්ජන්ටිනාව(ජයග්‍රහණය නවසීලන්තය වියහැක.)
‍අංක 03 තරගයේදී හ්‍රේණිගත කිරිම් වල අංක දෙක හා තුන ස්ථානවල සිටින දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව දෙකෙන් එකක් ඉවතට විසිවේ.
මෙලෙස අවසන් වන අර්ධ අවසන් පූර්ව තරග වලින් පසු අවසන් පූර්ව තරගයට පැමිණෙන්නේ
1)01 හා 02 ජයග්‍රාහකයන්
2)03 හා 04 ජයග්‍රාහකයන්
මෙහිදී සිදුවන අනෙක නම් ඉහත අංක 03 තරගයේ ජයග්‍රාහකයන්ට 04 තරගයේ ජයග්‍රාහකයන් වන නවසීලන්තය මුණගැසීමයි. එනම් හ්‍රේණිගත කිරිම් වල අංක 1,2,3 ස්ථානවල පසුවන කණ්ඩායම් වලින් අවසාන තරගයට පැමිණිය හැකි වන්නේ එක් කණ්ඩායමකට බවයි.
ඔවුන්ගේ ප්‍රතිවාදීන් ලෙස අයර්ලන්තය, වේල්සය, එංගලන්තය සහ ප්‍රංශය යන රටවලින් කුමක් පැමිණියද අවසන් තරගය එතරම් උණුසුම් ස්වභාවයක් අපේක්ෂා කල නොහැක.

Monday, September 26, 2011

මෙහෙමත් උදව්.

සතියකට පස්සෙ ජාලෙට ආව නිසා කියවන්න බැරිවුන පෝස්ට් ගොඩක් කියෙව්වා.කොමෙන්ටු දාන්න නං ඒ හැටි වෙලාවක් තිබුනෙ නෑ. ලියන්න හිතාගෙන හිවිය දේශපාලන පෝස්ට් එකත් කම්මැලිකම නිසා අතාරල දැම්ම. ඒ නිසා දාන්න යන්නෙ ඉස්කෝලෙ යන කාලෙ මම කරපු ගොංකමක්.
අපට කෙනෙක් උදව්වක් කලාම ඊට ප්‍රතිඋපකාරයක් කරන එක හොද පුරුද්දක්නේ. මේක මං කරපු ප්‍රතිඋපකාරයක්. ඒ දවස්වල මං හිටියෙ දහයෙ පන්තියෙ. අවුරුද්ද කියනවනං එක්දාස් නවසීය අනූ පහ. ඒ කාලෙ මම ගණිතයට ඉතාම දුර්වලයි. කොච්චර දුර්වලද කියනව නං මම එක වසරෙ ඉදලා එකොලහ වසරෙ මැද වාර විභාගෙ වෙනකං ගත්තෙ ලකුණු හතලිහට අඩුවෙන්...:D (එකොලහේ අන්තිම වාරෙ වෙනකොට ලකුණු පනස් ගනනක් ගත්ත මට මතක විදියට.)කොහොම උනත් අනිත් විශයන් වලින් ස්කෝර් කරපු නිසා හැම වාරයකදීම පන්තියේ 5 න් පහලට වැටුනෙත් නෑ.
හරි කතාවට බහිමුකෝ...
දහයෙ පන්තියෙදි සතියෙ එක දවසක ඉස්සෙල්ලම ගනං පීරියඩ් එක තිබුනා. ඒ කාලෙ ගනං උගන්නපු සර් වේවැලෙන් ලමයි යහමගට ගන්න පුළුවන් කියල හිතපු කෙනෙක්. ඉතින් ගෙදර වැඩ කරල නැති අය කරන්නෙ උදේම කාගෙහරි පොතක් අරගෙන කොපි පේස්ට් කිරීම තමයි. මේ නිසා කස්ටියටම පොත් හොයාගන්න එකෙත් ලොකු ප්‍රශ්නයක් තිබුනෙ බහුතරය මගේ ජාතියේ එවුන් වීම නිසා. ඒ නිසා ගෙදර වැඩ ටික එදාම කරපු කෙල්ලෙකුගෙ(නම රේණුකා) පොත ගෙදර ගෙනිච්චා.. එදා දීලා තිබුනෙ සමගාමී සමීකරණ වගයක් විසදන්න. මංතුමා ඕන්න කොපි පේස්ට් පටන්ගත්තා. පළවෙනි ගාන තියෙන්නෙ මෙන්න මේ විදියට
x+y=10
3x+2y=25
ඉතින් රේණුකා මේක හදන්න පටන් අරගෙන තියනව මෙහෙම,
x+y=10-----(1)
3x+2y=25-----(2)
(1)x3 -> 3x+3y=30---(3)
...................
...................
මෙහෙම බලාගෙන යනකොට මට තේරුනා මෙතන තියන වැරැද්ද. ඒක ඒ වෙලාවෙ මට ඇරෙන්න අයින්ස්ටයින්ටවත් හොයාගන්න බෑ. පළමුවෙනි සමීකරණෙ නම් කරල තියෙන්නෙ (1)කියලා. ඊට පස්සෙ (1)x3 කියන එකේ 3 ඉලක්කම රවුම් කරල නෑනෙ. එකේ ඉලක්කම වටේ රවුමක් ඇන්ද නං 3 වටේත් රවුමක් තියෙන්න ඕන කියල ඕන මෝඩයෙකුට තේරෙනවනේ..:) බලනකොට හැම ගානකම මේවගේ රවුම් කරල නැති ඉලක්කමක් තියනව. ඉතිං මංතුමා කලේ කළු පෑනක් හොයාගෙන(එයා ගනං හදල තිබුනෙ කළු පෑනකිං) අර දැරිවිටත් උදව්වක් විදියට හැම ඉලක්කමකම වටේට රවුම් ඇදපු එක. බලන්න උදව්වක් කලොත් ප්‍රතිඋපකාරයක් ලැබෙනවමනේ...
ඊට පස්සෙ දවසෙ වීරය වගේ රේණුකාට පොත දුන්නෙ එයාගෙ වැරැද්දත්, වැරැද්ද නිවැරදි කල ආකාරයත් පැහැදිලි කරමින්.
ඒකට එයාගෙ ප්‍රතිචාරය මුළුමනින්ම දාන්න කීබෝඩ් එකේ තියන අකුරු ප්‍රමාණවත් වෙන්නෙ නෑ. ඒ නිසා ඒක දාන්නෙ නෑ. ප්‍රතිචාරය දක්වල ඉවරවෙලා රේණුකා කලේ බ්ලේඩ් එකක් අරගෙන මංතුමාගෙ එඩිට් කිරීම් අන්ඩූ කරපුඑක.
එදායින් පස්සෙ මම කවදාවත් අනුන්ගෙ පොත් ගත්තෙ නෑ කොච්චර ගුටිකෑවත්.
හැබැයි පස්සෙ කාලෙක (සාපෙල කරපු අවුරුද්දෙ මැදහරියෙ වගේ) මට ගණිතය විෂය කොච්චර වැදුනද කියනවනං උසස් පෙල කලෙත් ගණිත අංශයෙන්.
එහෙනං ගිහිං එන්නං කොමෙන්ටුවක් ආ... ඕන නෑ. ඉල්ලන්න හොදනෑ.

වෙච්චි දෙයක්...

නවාතැනේ හැමතැනේ
මකුළු දැල් බැදී ඇතේ...
කුණු දූවිලි හැමතැනකම
හුස්මක් ගන්නවත් බැරිය!
ඩෑෂ් බෝඩ් එක පුරා...
නොකියවාපු පෝස්ට් ගොඩයි!
මේ ඩිංගට වෙච්චි දෙයක්...
වහලා දාල ගියෙ සතියයි!

Friday, September 16, 2011

බුද්ධ රූප තහනම හා අපේ බෞද්ධකම.

දිනපතා පත්තර හා වාර සගරා වල බුද්ධ රූප පලකිරීම තහනම් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට (ආණ්ඩු පක්ෂ)මන්ත්‍රී රුවන් රණතුංග කටයුතු කර ඇත. ඊට ප්‍රධානම හේතුව වශයෙන් දක්වා ඇත්තේ බුද්ධ රූපය සහිතව මුද්‍රණය වූ පත්තර-කඩදාසි වෙනත් කාර්යන් සදහා යොදා ගැනීමෙන් බුදුරජානන් වහන්සේට සිදුවන අගෞරවය වැලැක්වීමය. උදාහරණයක් ලෙස බුද්ධ රූපය සහිත පත්තර පිටුවක් වෙලදපොලකදී මස් හෝ මාළු එතීමට භාවිතා කිරීම සිදුවිය හැකිය. එසේත් නැතහොත් සයිවර් කඩයකදී අත කට පිසදැමීමට භාවිතා කිරීම සිදුවිය හැකිය. ඒ ඒ කාර්යන් සදහා වෙන වෙනම කඩදාසි භාවිතා නොකරන රටක් වන ශ්‍රී ලංකාවේ මෙවැනි "අනියම් පාවිච්චි කිරීම්" නැවැත්වීමට ඇති එකම මාර්ගය මෙවැනි නීතියක් ගෙනඒම පමණි. (අකුරු මුද්‍රිත කඩදාසි වල කෑම පැකට් එතීම මීට ටික දිනකට පෙර තහනම් කලද මා ජීවත්වන හම්බන්තොට ප්‍රදේශයේ තවමත් ක්‍රියාත්මක වන්නේ පෙර පැවති නීතියයි).එහෙත් එය අවශ්‍ය දෙයක්ද යන්න යලිත් සිතාබලන්න.
මෙම නව නීතිය අනුව කිසිදු පුවත්පතක, සගරාවක බුද්ධ රූපයක් පලකල නොහැක. බොහෝ පුවත්පත් සගරා වල පොහෝ දින වලදී මෙන්ම බුදු දහම සම්බන්ධ ලිපියක් සමග බුද්ධ රූපයක් හෝ අඩුම තරමින් බුදුන් වහන්සේගේ චිත්‍රයක් හෝ පල කිරීම සිදුවේ. නව නීතිය අනුව මේවා සියල්ලටම වැට බැදේ. "ශෝ" බුද්ධාගම් කාරයන් මෙම නීතියට දොහොත් මුදුන් දී වැදීමට ඉඩ ඇතත් මෙයින් සිදුවන (එතරම්)යහපතක් මා හට නම් නොපෙනේ. බුදුන් වහන්සේගේ ධර්මය (නාමිකව)ප්‍රධානකොටගෙන ඇති රටක් වන ශ්‍රී ලංකාවේදී, බුදුන් වහන්සේට අගෞරව නොකල යුතු වුවත් මෙම තහනම සීමාව ඉක්මවා යාමක්දැයි සිතේ.
පත්තරයක්-සගරාවක් මිලදීගන්නා පුද්ගලයෙකු(කුමන හො ආගමක් නිවැරදිව පිළිපදින්නෙක් නම්) එහි ඇති බුද්ධ රූප වලට හිතාමතා අගෞරව-අපහාස නොකරන අතර ඔහු ඒවා පසු කාලයකදී කඩදාසි වලට විකිණීම සිදුවිය හැකිය. මෙහිදී ඔහු හිතාමතා වරදක් නොකරන අතර අදාල කඩදාසි මිලටගන්නා තැනැත්තාද, නොදැනුවත්ව මෙවැනි බුද්ධරූපය සහිත කඩදාසි අයථා පරිහරණයට භාවිතා කලහැකිය. බුදුන් වහන්සේගේ ධර්මයට අනුව මම-මාගේ කියා කිසිම දෙයක් අල්ලාගැනීම නිෂ්ඵල අතර, හොද හෝ නරක ඕනෑම දෙයක් අවසානයේ ඒවා සෑදි ඇති ආපෝ,තේජෝ, වායෝ..ආදී පංච මහා ධාතූන්ට වෙන්වීයාම සිදුවේ. බුදුන්ගේ රුව සහිත කඩදාසියකට වුවද මෙම ධර්මතාවයෙන් මිදිය නොහැක.
මෙම තහනම අනුව අපහසුතාවයට පත්වන අංශ කිහිපයක් ඇත. පුවත්පතක-සගරාවක පලවන හරවත් ලිපියක් වෙනුවෙන් ඊට අදාලව බුදුන් වහන්සේගේ රූපයක් පලකිරීමට ඇති අයිතිය අහිමිවීම, බුදු දහම සදහාම වෙන්වූ "බුදුසරණ" ආදී පුවත්පත් බුද්ධ රූපයෙන් තොරවීම(මෙය හාස්‍යජනක වන අතර මෙවැනි සගරා තහනමට අදාල නොවන්නේදැයි නොදනිමි), ආදී අවස්ථා දැකිවිය හැකිය.
අනෙක් අතට බුද්ධ රූපයට "මෙවැනි" අගෞරව සිදුවන අවස්ථා කොතෙකුත් ඇත.මා පසුගිය දිනෙක හම්බන්තොට ප්‍රදේශයේ තොරණක්ගැසීම සදහා තබා තිබූ චිත්‍ර අසල ඒ සදහා යොදාගන්නා "හිදි" ඉරියව්වේ බුද්ධ රූපය තිරස් අතට අව්වේ වේලෙමින් තිබෙනු දුටුවෙමි. තවත් සමහර අවස්ථා වලදී බුදුන් වහන්සේගේ රුව රැගත් "අවුට් ඔෆ් ඩේට්" වෙසක් සුභපැතුම්පත් අදාල වෙළදසල් පිටුපස ගොඩගසා ඇති ආකාරය දුටුවේ නම් පළමුවෙන්ම තහනම් වන්නේ වෙසක් සුභපැතුම්පත්ය.
මේ සියළුදේ නැවැත්විය හැකිද? මීට වඩා බුදුන් දෙසූ දහමට අයෝග්‍ය වන කොතෙකුත් දේ දිවයින තුල සිදුනොවන්නේද?
ලිපිය අවසන් කිරීමට පෙර කීමට ඇත්තේ "චේතනාහං භික්කවේ කම්මං වදාමි" යන බුදුවදනයි.

Thursday, September 8, 2011

2011 රග්බි ලෝක කුසලානය කාටද?

2011 රග්බි ලෝක කුසලානය හෙට නවසීලන්තයේදී ආරම්භ වේ.(රග්බි ක්‍රිඩාව හා එහි නීතිරීති පිළිබද පෙර ලිපිය). මේ සදහා රටවල් විස්සක් කාණ්ඩ හතරක් යටතේ තරගවදී. එක් එක් කාණ්ඩය හා ඊට අයත් රටවල් මෙසේය.
ඒ කාණ්ඩය
නවසීලන්තය, ප්‍රංශය, ටොංගා, කැනඩාව සහ ජපානය.
බී කාණ්ඩය
ආර්ජන්ටිනාව, එංගලන්තය, ස්කොට්ලන්තය, ජෝර්ජියාව සහ රුමේනියාව.
සී කාණ්ඩය
ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය, ඉතාලිය, රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය.
ඩී කාණ්ඩය
දකුණු අප්‍රිකාව, වේල්සය, ෆීජි, සමෝවා සහ නැමීබියාව.
මෙම කාණ්ඩ යටතේ ඇති එක් එක් රටවල් තම කාණ්ඩයේ ඇති අනෙකුත් සියළුම රටවල් සමග තරගවදින අතර, එහිදී එම කාණ්ඩ වල වැඩිම ප්‍රසාද ලකුණු ලබාගන්නා කන්ඩායම් දෙක අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබයි. අර්ධ අවසන් පූර්ව වටයේ තරග හතරක් පැවැත්‍වෙන අතර එයින් ජයග්‍රාහී කණ්ඩායම් හතර අවසන් පූර්ව තරග වලටත් ඒවායේ ජයග්‍රාහකයන් අවසාන තරගයටත් තෝරාගැනීම සිදුවේ.(කාල සටහන)
දැන් එක් එක් කාණ්ඩ යටතට ගැනෙන කණ්ඩායම්වල පසුගිය කාලයේ දක්වනලද දක්ෂතා පිළිබදව විමසීමක් කරමු.
ඒ කාණ්ඩය ඒ කාණ්ඩයේ සේම ලෝක කුසලානය දිනාගනු ඇතැයි අපේක්ෂිත අංක එකේ කණ්ඩායම නවසීලන්තය වේ. පසුගිය වසර තුන පුරාවටම ලෝක ශ්‍රේණිගත කිරීම් වල අංක එකේ රැදී සිටීමත් තරගාවලියේ සත්කාරක රට වීමත් මීට හේතුව වේ. නායක රිචී මැකෝ, ලෝකයේ වැඩිම ලකුනුලාභී පන්දු විදින්නා වන ඩෑන් කාටර්, මා නොනූ වැනි සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත කන්ඩායමකි.
කෙසේ නමුත් සහභාගීවු අවසාන තරගාවලිය වන ට්‍රයිනේෂන්ස් අවසාන තරගයේදී ඕස්ට්‍රේලියානුවන් අතින් පරාජය විම අමතක නොකල යුතුය.
මෙම කාණ්ඩයේදී නවසීලන්තයට තර්ජනයක් එල්ලකල හැකි එකම කන්ඩායම වනුයේ ප්‍රංශ කන්ඩායමයි. පසුගිය කාලයේදී තරමක් දක්ෂතා අතර නොසිටියද මේ වනවිට ශ්‍රේණිගත කිරීම් වල සිව්වැනි ස්ථානය දක්වා පැමිණිමට සමත්වීම ඔවුන්ගේ දක්ෂතාවයට සාක්ෂි දරයි. "තමාගේ දවසේදී" ඕනෑම කණ්ඩායමක් පරාජය කිරීමට සමතුන් වන මොවුන් ගියවර ආර්ජන්ටිනාව අතින් පරාජයවී පසුව නවසීලන්තය ගෙදර යැවීමට සමත් වූවන්ය.
ශ්‍රේණිගත කිරීම් වල දොලොස්වැනි ස්ථානයේ පසුවන ටොංගා කන්ඩායමත් දාහතර වන ස්ථානයේ පසුවන කැනඩාවත් ආසියාවේ රග්බි යෝධයන් වන දහතුන්වන ස්ථානයේ සිටින ජපාන කන්ඩායමත් දෙවැනි ස්ථානය දිනාගැනීම සදහා ප්‍රංශයට ප්‍රභල තර්ජනයක් එල්ල කිරීමට ඉඩ තිබේ.
බී කාණ්ඩය
වසරකටත් පෙර සකස් කරනලද කාණ්ඩ අතුරින් මේ වනවිට ව්‍යාකූල තත්වයක් හටගෙන ඇති කාණ්ඩයකි. ශ්‍රේණිගත කිරීම් වල ඉහලින් සිටි ආර්ජන්ටිනාව මෙ වනවිට 9 දක්වා පහලට පැමිණ ඇති අතර එංගලන්තය 5 දක්වා පැමිණීම මීට හේතුව වේ. ඒ අනුව ප්‍රභලතම කන්ඩායම එංගලන්තය වන අතර සුපිරි ක්‍රීඩක ජොනී විල්කින්සන් "ඩ්‍රොප් ගෝලය" තුලින් තම අවසාන ලෝක කුසලාන තරගාවලියේ කුසලානය තම රටට ගෙන දීමට පාද සූදානම් කරගෙන ඇතුවාට සැක නැත. අංක 7 හි පසුවන ස්කොට්ලන්තය දෙවැනි ස්ථානයට පත්වුවහොත් ආර්ජන්ටිනාවට "ගෙදර යාමට" සිදුවෙ. ජෝර්ජියාව(16) සහ රුමේනියාව(17) ගැන එතරම් විශ්වාසයක් තැබිය නොහැක.
සී කාණ්ඩය
මූලික වටයේදී සී කාන්ඩයේ පළමු ස්ථානය, ලෝක ශ්‍රේණිගත කිරීම් වල දෙවන ස්ථානයේ පසුවන ඕස්ට්‍රේලියානුවන්ගෙන් උදුරා ගැනීමට සමත්කම් දක්වන කන්ඩායමක් නොමැති අතර අංක පහේ පසුවන අයර්ලන්තය දෙවැනි ස්ථානය දිනාගනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉතාලිය(11), රුසියාව(19) සහ ඇමෙරිකා එක්සත් ජනපදය(18) ගැන විශේෂ යමක් නොමැත. කුසලානයේ දෙවැනි බලාපොරොත්තුව වන ඕස්ට්‍රේලියාව, නවසීලන්තයට අභියෝගයක් එල්ල කලහැකි ප්‍රභලම කණ්ඩායම වන අතර දැවැන්ත ශරීර වලින් යුත් මොවුන්ගේ ඉදිරිපෙළ ඕනෑම කන්ඩායමකට තර්ජනයක් වන අතර ආරක්ෂකයින්ද එවැනිම අය වේ.
ඩී කාන්ඩය
ලෝක ශූර දකුණු අප්‍රිකානුවන් පළමු ස්ථානයට පැමිණිම අපේක්ෂා කිරීමත්, දෙවැනි ස්ථානය සදහා ඉතා විවෘත ස්වභාවයක් පවත්න්නේත් මෙම කාන්ඩයේදීය. ශ්‍රේණිගත කිරීම් වල තෙවැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාව ලෝක කුසලානය දිනාගනු ඇතැයි අපේක්ෂා කලහැකි කන්ඩායමකි. සුපිරි ක්‍රීඩක බ්‍රයන් හබානා, නායක ජොන් ස්මිත් සමග මෙවරද ශූරයන් වීමට අපේක්ෂාවෙන් පසුවේ. විශේෂයෙන්ම ලයින්අවුට් අවස්ථාවේදී පන්දුව දිනාගැනීමේ හපන්කම් දක්වන්නවුන්ය.
කාණ්ඩයේ දුර්වල කන්ඩායම වන නැමීබියාව(20) අත්හැරි විට වේල්සය(6) ෆීජි(15) සහ සමෝවා(10) කන්ඩායම් අතුරින් වේල්සය ප්‍රභල වුවත් ශක්තිමත් දූපත් වාසීන් වන ෆීජි සහ සමෝවා ඔවුන්ට ප්‍රභල තර්ජනයක් වනු ඇත. ගියවරද වේල්සය ඉවතට විසිකිරීමට ෆීජි කණ්ඩායම සමත්විය.
සියළු තරග නවසීලන්තයේදී පැවැත්වෙන අතර අවසන් පූර්ව හා අවසන් තරගය ඕක්ලන්ඩ්හිදී පැවැත්වේ.

Wednesday, September 7, 2011

කෙල්ලො දාගන්න අලුත්ම ක්‍රමේ මෙන්න! (කෙල්ලන්ට විශේෂයි).

දුරකථන මාර්ගයෙන් කෙල්ලන්ව ඇල්ලිල්ල කාලයක් තිස්සේ වෙන දෙයක් කියලා හැමෝම දන්නව ඇතිනේ.
ඔන්න දන්නෙ නැති නම්බර් එකකට මිස් කෝල් එකක් නැත්නම් කෝල් එකක් අරගෙන එතන ඉදලා වැඩේ ගානට ගෙනියන්න අපේ අයියල මල්ලිලා දස්සයොනෙවැ.
ගිය සතියෙ ලංකාදීපෙ තිබුනා මේ විදියට රැවටිච්ච කෙල්ලෙක් ලක්ෂ ගානක රත්තරන් බඩු, සල්ලි නැතිකරගත් කතාවක්.
ඔය ක්‍රම දැන් දැන් ගොඩාක් දියුණු තත්වෙට පත්වෙලා තියෙන්නෙ.
මගේ යාලුවෙක් කරන වැඩක් තමයි මේ.
ඔන්න මෙකක් හරි නම්බර් එකකට කතා කරලා කියන්නෙ මෙහෙමයි.
(තරමක් සැරෙන්).."කෝ.. නිමල් ඉන්නවද? අන්න සිමෙන්ති ලෝඩ්එක එව්වා. බාගන්න කියනව!"
එතකොට (මෝඩ)ගෑණියෙක් හරි කෙල්ලෙක් හරි හිතන්නෙ මුදලාලි(කොල්ලෙක්)කෙනෙක් කතා කරනව කියලනේ. පිරිමියෙක් කතා කලත් අවුලක් නෑ රෝන් නම්බර් කියල තියන්න පුළුවන්නෙ.
දැං ඔය ක්‍රමෙත් ටිකක් විතර පරණවෙලා. ඊටත් වඩා අලුත් ක්‍රමයක් මට කිවුව මගේ තව යාලුවෙක්.
ඌට ලැබිල තියනව කෙල්ලෙකුගෙ නම්බර් එකක්. වැඩේට එන්ටර් වෙන්න ක්‍රමයක් කල්පනා කරලා අන්තිමට ගැහුව මැසේජයක් මෙහෙම
"අම්මේ මට තවත් ගෑණු හොයන්න එපා. මම මේ ඉන්න විදියටම ඉන්නම්."
අනේ අම්මෝ ...දුකේ බෑ. බලන්න කොච්චර හොද කොල්ලෙක්ද මේ වේලි වේලි ඉන්නෙ!
විනාඩි පහක් ගියතැන වැඩේ සැට්. කොහොමද ක්‍රමේ?...:D
ඔය සිද්ධිය දැනගෙන සතියක් ගියේ නෑ මගේ නෝනගෙ බෑග් ෆෝන් එකට එනව මැසේජ් එකක් මෙහෙම(ගෑණියෙකුටවත් ඉන්න දෙන්නෑනෙ මුං!),
"තාත්තේ ඔයා කුඩම්මත් එක්ක සතුටින් ඉන්න. මං ගැන හොයන්න එපා, මම කෑම්ප් එකේම ඉන්නං"...:P
බලන්න... මෙතනත් කොල්ල කරපු කැප කිරීම. මං හිතන්නෙ සිරිසගබෝ රජ්ජුරුවන්ටත් වැඩිය හොද කොල්ලෙක් මේ?
ඕං ඔච්චරයි කතන්දරේ. ඉස්සරහට මේගොල්ල තව තව ක්‍රම හොයාගනීවි.
අවවාදයයි! මෙවැනි මැසේජ් වලට දක්වන අනුකම්පාව භූමිකම්පාවක් වියහැක!.
පහලිං මොනවහරි කොටල යන්න.
ගිහිං එන්නං.

Tuesday, September 6, 2011

ශක්තිවන්තයින්ගේ ගැටුමට තව දින 3යි. ( 2011 රග්බි ලෝක කුසලානය)

2011 රග්බි ලෝක කුසලානයට ඇත්තේ තවත් දින 3ක් පමණි. ඒ නිමිත්තෙන් සටහන් කිරීමට යන්නේ රග්බි ක්‍රීඩාව සහ එහි නීති රීති ගැනයි.
එංගලන්තයේදී ඇරඹි රග්බි ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාවේ දිගුවකි. 1823 වසරේදී අන්තර් පාසල් පාපන්දු තරගයකදී විලියම් වෙබ් එලිස් නම් ක්‍රීඩකයා පාපන්දු නීති උල්ලංඝනය කරමින් අතින් පන්දුව රැගෙන සීමාවට ලගාවීමේ සිද්ධිය මෙම ක්‍රීඩාව බිහිවීමේ මූල බීජය ලෙස සැලකේ.
ක්‍රීඩාංගනයේ ගෝල් කණු දෙක අතර දුර මීටර 100 වන අතර එතැන් සිට මීටර 22 ගෝල සීමාව විහිදී ඇත(in goal).ගෝල සීම‍ාවෙන් එපිටදී පන්දුව අජීවී වේ. පිටිය මධ්‍යයේ හරස් රේඛාව මධ්‍ය රේඛාව(half way line) ලෙසත් එතැන් සිට මීටර දහයක්(ten meter line) හා විසි දෙකක් (twenty two meter line)වශයෙන් රේඛා ඇත. ක්‍රීඩා පිටියේ පළල මිටර 70 පමණ වේ.
රග්බි ර්‍කිඩාවේ මූලික නීතිය වන්නේ පන්දුව ඉදිරියට යොමුකිරීමට නොහැක යන්නයි.
පිටිය මධ්‍යයේදී ඉහලට විසිකරන පන්දුව (මෙය මිටර 10 සීමාව ඉක්මවා යායුතුය) රැගෙන ප්‍රතිවිරුද්ධ පිලේ ක්‍රීඩකයන් පසු කරගෙන ගෝල සීමාවට ලගා වූ විට එය උත්සාහක දිනුමක් ලෙස (Try) හදුන්වන අතර ඒ සදහා ලකුණු 5ක් හිමිවේ. එය ගෝලයක් බවට පත්වීම සදහා පිටියේ යම් නිශ්චිත ස්ථානයක සිට පන්දුව ගෝල කණු අතරින් යොමුවනසේ පාදයෙන් පහරදිය යුතුය. මෙම ස්ථානය තීරණය වන්නේ, උත්සාහක දිනුම ලබාගත් ලක්ෂයේ සිට හරි කෙලින් පිටියේ ඇති තැනක සිටය.(මේ නිසා බොහෝවිට ක්‍රීඩකයන් උත්සාහ ගන්නේ ගෝල් කණු ආසන්නයේදී උත්සාහක දිනුම ලබාගැනීමටය). මෙය ප්‍රවර්ථනය (conversion)වශයෙන් හදුන්වන අතර මේ සදහා හිමිවන ලකුණු ප්‍රමාණය දෙකකි.
එක් කන්ඩායමක් සිදුකරන යම් නීති විරෝධී ක්‍රියාවකදී අනෙක් කණ්ඩායමට දඩුවම් පහරක් ලැබෙන අතර මෙහිදී ගෝල දෙක අතරින් යොමුකරන පහර සාර්ථක වුවහොත් ලකුණු තුනක් හිමිවේ. දඩුවම් අවස්තාවේදී පහරක් එල්ල කරන්නේද නැතිනම් පිටියෙන් ඉවතට පන්දුව යොමු කරන්නේද යන්න තීරණය කිරීම නායකයාට පැවරේ. ගෝල් කණු අතරින් පන්දුව යොමු කලහැකි අවස්ථාවක දඩුවම් පහර ලබාගැනීමත් වඩාත් දුරින් සිටින අවස්ථාවලදී පිටියෙන් ඉවතට යොමු කිරීමත්(Line-out) බොහෝවිට සිදුවේ. මෙහිදී විශේෂත්වය වන්නේ ඉවතට විසිකල පසු පන්දුව පිටියට යලි විසිකිරීම හිමි වන්නේද අදාල කණ්ඩායමටම වීමයි.
ලකුණු ලබාගතහැකි අනෙකුත් අවස්තාව වනුයේ "ඩ්‍රොප් ගෝල" අවස්තාවයි. මෙහිදී ‍පන්දු හුවමාරුව අතරතුරදී එක්වරම ගෝල කණු අතරින් පන්දුව යොමුවනසේ පාදයෙන් පහරදෙන අතර එය සාර්තක වුවහොත් ලකුණු තුනක් ලැබේ. ක්‍රිඩාවේදී සුලභව භාවිතා කරන අනෙකුත් නීති රීති මෙසේය. (01).පන්දුව ඉදිරියට (අතින් විසිකල නොහැකි වුවත් ඉදිරියට පා පහර දීම නීත් විරෝධී නොවේ) විසිකල නොහැකි බැවින් එවැනි අවස්ථාවකදී ක්‍රීඩාව නවත්වන අතර තරග තීරක වරයා විසින් ස්ක්‍රම් (scrum) නැමති අවස්ථාව කැදවනු ලබයි. ස්ක්‍රම් යනු දෙපිලේ ක්‍රීඩකයන් අටදෙනා බැගින් පහත සදහන් ආකාරයට මුහුණට මුහුණ සිටිනසේ සකස් කර පන්දුව මැදට විසිකිරීම සිදු කරයි. විසි කිරීමේ අවස්ථාව ප්‍රතිවාදී පිලට ලබාදේ. ඉන්පසු පන්දුව තම පිළට දිනා ගැනීමට කණ්ඩායම් දෙකෙහි ක්‍රිඩකයන් ඉදිරියට ගමන් කිරීමට උත්සාහ දරයි. පන්දුව පිටුපසින් ලබාගන්නා තෙක් ඉදිරිපෙළ නොකැඩී/නොවැටී තබාගතයුතුය.
scrum සදහා පළමු පේලියේ ක්‍රීඩකයන් තිදෙනෙක් (Loose Head Prop (No 1),Hooker (No 2), Tight Head Prop (No 3)) ද දෙවැනි පේලියේ ක්‍රිඩකයන් දෙදෙනෙක් (Lock (No 4&5))ද තෙවැනි පේලියේ ක්‍රීඩකයන් දෙදෙනෙක්ද (Flankers හෝ Wing Forwards (No 6&7)) අවසානයට එක් ර්‍කඩකයෙක්ද (Number Eight (No 8)) ද ලෙස ක්‍රීඩකයන් අට දෙනෙක් යොදාගනී.
මොවුන් ඉදිරිපෙළ ලෙස හැදින්වේ.(FORWARDS)
(02)තමාගේ ස්ථානය අනුව ඒ ඒ ක්‍රීඩකයන්ගේ වගකීම් පහත ආකාරයට වේ.
Loose Head Prop (No 1)
ස්ක්‍රමේජ්හි ඉදිරි පේලියේ වම්පස කෙලවරේ සිටින්නාය.මේ සදහා ගෙල, අත්-පා ශක්තිමත් ක්‍රීඩකයෙකු යොදාගනී.
Hooker (No 2)
ස්ක්‍රමේජ්හි ඉදිරි පේලියේ මැද සිටින්නාය. මොහුට විශේෂ වගකීමක් පැවරේ. එනම් ස්ක්‍රම් එක තුලට යොමුකරන පන්දුව පාදයෙන් පිටුපසට තල්ලු කිරීමයි. මෙම ස්ථානය සදහා නම්‍යශීලී ශක්තිමත් ක්‍රීඩකයකු යොදාගනී. බොහෝවිට Line-out අවස්ථාවේදී පන්දුව විසිකරන්නේද මොහුය.
Tight Head Prop (No 3)
ස්ක්‍රමේජ්හි ඉදිරි පේලියේ දකුණුපස කෙලවරේ සිටින්නාය. Loose Head Prop මෙන්ම ක්‍රීඩකයෙකි.
Second Row - Lock (No 4&5)
ස්ක්‍රම්හි දෙවන පේලියේ ක්‍රීඩකයන් දෙදෙනාය. ඉතා උස සහ ශක්තිමත් වියයුතුය. Line-out අවස්ථාවේදී පන්දුව ලබාගැනීමට ඉහලට එසවීමට ලක්වන්නේද මෙම ක්‍රීඩකයන්ය.
Flankers හෝ Wing Forwards (No 6&7)
ස්ක්‍රමේජ් හි තෙවන පෙළයි. පන්දුව යොමු කරන පැත්ත(open side) සදහා තරමක් කුඩා ශක්තියෙන් අඩු ක්‍රීඩකයෙකු යොදාගත්තත් අනෙක් පැත්ත (blind side) සදහා ඉතා ශක්තිමත් ක්‍රීඩකයන් යොදාගනී.
Number Eight (No 8)
ස්ක්‍රම්හි අවසාන ක්‍රීඩකයා වන අතර පන්දුව පිටුපසට පැමිණි පසු පාලනය කිරීම සිදු කරයි.
පසුපෙළ
Scrum Half (No 9)
ඉදිරිපෙළ හා පසුපෙළ සම්බන්ධ කරන්නාය. ඉතා පුළුල් දෘෂ්ඨියක් තිබිය යුතුය. බොහෝවිට ශරීරයෙන් කුඩා අයෙකි.
Fly Half (No 10)
පන්දුව යොමුකල යුතුද ඉදිරියට පාදයෙන් පහරදිය යුතුද ආදී ලෙස තරගය තුලදී තීරණ ගැනීමට සිදුවන ක්‍රීඩකයාය.
Centre (No 12 & 13)
Fly Half ගෙන් පන්දුව ලබාගෙන ප්‍රතිවාදීන්ගේ පෙළ බිදීම සහ තම කණ්ඩායමේ පෙළ ගොඩනැගීම සිදුකරයි.
Wing (No 11 & 14)
උත්සාහක දිනුම ලබාගෙන තරගය අවසන් කරන්නන්ය. ශක්තිමත් සහ වේගවත් ධාවකයන් යොදාගනී. රග්බි ඉතිහාසයේ වැඩිම උත්සාහක දිණුම් ලබාගත් ලයිස්තුවේ සිටින්නන් බොහෝවිට මොවුන්ය.
Full Back (No 15)
ගෝල සීමාව ආසන්නයේ සිටින්නවුන්ය. ඉහලින් පැමිණෙන පන්දුව අල්ලාගැනීම, පාපහර දීම ආදියට සමර්ථ අයවලුන්ය.
(03) ක්‍රීඩාව ආරම්භය පිටිය මැද සිට යිදුවන අතර මුළු තරග කාලය විනාඩි අසූවකි. පළමු අර්ධය සහ දෙවන අර්ධය සදහා විනාඩි හතලිහ බැගින් යොදාගනී. පළමු අර්ධයෙන් පසු දෙපැත්ත මාරුවීම සිදුවේ.
(04) ප්‍රතිවාදී ක්‍රීඩකයා ග්‍රහණයට ගැනීම ටැකල්(tackle) ලෙස හැදින්වෙන අතර පන්දුව අතැති ක්‍රීඩකයා බිම පතිත වූ විට පන්දුව වහාම බිම තැබිය යුතුය. එසේ නැතහොත් දඩුවම් පහරක් ප්‍රතිවාදීන්ට ලැබේ.
(05) tackle කිරීම ක්‍රිඩකයා පොලවෙන් ඉහල සිටිනවිට කල නොහැක. එසේ කලහොත් දඩුවම් පහරක් ප්‍රතිවාදීන්ට ලැබේ.
(06) ශරීරයේ ගෙලපෙදෙසට ටැකල් කල නොහැක. එවිටද දඩුවම් පහරක් ලැබේ.
(07) ක්‍රීඩකයෙකු සම්පූර්ණයෙන්ම උස්සා බිම දැමීම කල නොහැක. දඩුවම් පහරක් ලැබේ.
(08) රක් සහ මෝල් (ruck & maul)
පන්දුව අතැති ක්‍රිඩකයා ටැකල් කිරීමට ලක්වූ පසු ඔහු විසින් පන්දුව පිටිට මත තැබීම සිදුකරයි. ඉන්පසු දෙපිලේ ක්‍රීඩකයින් පන්දුව දිනාගැනීමට උත්සාහ දරන අතර මෙය ruck ලෙස හැදින්වේ. මෙහිදී scrumhalf ක්‍රීඩකයාට පමණක් පන්දුව ලබාගතහැක.
පන්දුව අතැති ක්‍රිඩකයා ටැකල් කිරීමට ලක්වූවද ඔහු බිම පතිතවී නොසිට අනෙකුත් ක්‍රීඩකයන් හා බැදීමේ අවස්ථාව maul ලෙස හැදින්වේ.
මීට අමතරව පාපන්දු ක්‍රීඩාවේදී භාවිතා කරන ඕෆ්සයිඩ් වැනි නීතිද රග්බි ක්‍රීඩාව සදහා භාවිතාවේ.
මෙවැනි නීති රීති රාශියක් ඇති අතර ඉහතින් දක්වන ලද්දේ සුලභව භාවිතාවන ඒවාය.
2011 ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන මෙම ස්ථානයෙන් ලබාගතහැකිය.

Thursday, September 1, 2011

......ටෝච් පාර...... (+18)

මෙන්න අදත් කියන්න යන්නෙ වැඩිහිටියන්ට පමණයි කතාවක්. තියන වල්කමට ඒවම දානව කියල කියන්න එපා.
මේවායේ නොදා ඉන්න බැරි තරමට තියන ආතල් කෑලි නිසා දාන්නෙ. හිනා නොගියොත් මුදල් ආපසු!
ඕං එහෙනං පොඩි එවුන් අයිංවෙයල්ලා.
මේක සෑම් අයියට මතක විදියට එක්දහස් නවසීය අසූ ගනන්වල සිද්ධ වෙච්චි(ඇත්ත) කතන්දරයක්. ආ... සෑම් අයිය කියන්නෙ අපේ ඔපීසියෙ වැඩකරන අයියා කෙනෙක්. මේක මතක් වුනෙත් ග්‍රීස් යක්කු ගැන අපි කතා කල නිසා.
ඔං කතාව මෙහෙමයි.
සෑම් අයිය ඒකාලෙ වැඩ කලා ඇඹිලිපිටියෙ ... ගොවිපලේ. ඒක ලොකු ගොවිපලක්. අක්කර සියක් විතර තියනවලු. අපේ කතානායකයා ඒකෙ ආරක්ෂකයෙක් විදියට තමයි සේවය කලේ. මේ සයිට්එක ගැන කියනවනං හරියට තාප්ප වැටකඩුළු දාල තිබුනෙ නෑ. ගමේ අයට ඕන නං ඇතුල්වෙන්න පුළුවන්කම තිබුනලු. එක එක කාල වලට මේකෙ නේවාසිකව ට්‍රේනින් වෙන්න ලංකාවෙ හැම පළාතකින්ම වගේ කස්ටිය ඇවිල්ල තියනවා. (කාන්තා පාර්සවයත් ඇතුළුව).
කියන්න ඕන කරන අනිත් කාරණාව තමයි මේ ගොවිපලේ තිබුන බාත්රූම් ටිකක් විතර අනාරක්ෂිත තත්වයේ පැවතීම. සෑම් අයියගෙ වචන වලින්ම කියනව නං,
"රාජ් මහත්තයෝ ඒකෙ බාත්රූම් තියෙන්නෙ පේලියට. ඒවා පිටිපස්සෙ තියන ගොඩක් ජනෙල්වල පියන් ගැලවිලා, එලියෙ ඉදන් බැලුවම ඇතුල පේනවා. අනිත්එක පිටිපස්සෙ ලයිට් තිබුනෙත් නෑ. ෆාම්එක මැදින්, ගමේ මිණිස්සු හොරාට යන්න පාරකුත් හදාගෙන තිබුනා".
මේ වගේ තැන්වල ගොඩක් වෙලාවට සිද්ධවෙන දෙයක් මෙතනත් සිද්ධ වුනා.
ඒ තමයි "එබී බලන්නන්ගේ" කන්ඩායම් බිහිවීම.
ඊට පස්සෙ ආයෙත් සෑම් අයියගෙ කතාව.
"ඔන්න මම දවසක් රෑ ඩියුටියට ආවා. මට තියෙන්නෙ ... කොටස බලාගන්න. පැය දෙක තුනකට සැරයක් මම යනවා රවුමක් ඇවිදින්න."
"එහෙම යනකොට මට පේනවා ගෑණුංගෙ බාත්රූම් එකකට පිටිපස්සෙ ටිකක් ඈතින් ටෝච් එලියක්."
"පුදුමෙ කියන්නෙ මහත්තයෝ මේ එලිය උඩට පහලට හෙල්ලෙනවා, මම බැලුව යකෝ මේ මොකක්ද කියලා. මට බයත් හිතුනා හොල්මනක්ද දන්නෙත් නැහැනෙ!" "කොයිකටත් මම මගේ ටෝච් එකත් නිවලා හෙමින් හෙමින් ඒ පැත්තට කිටිටු කලා. බලනකොට මහත්තයෝ සුදුපාට සරමක් ඇදගත්තු එකෙක් බාත්රූම් එකක් දිහා බලාගෙන එක අතකින් සරම උස්සගෙන *තේ ගහනවා!"
"මූණ අනිත් පැත්තට හරවලා කිහිල්ලෙ ගහගත්ත ටෝච් එක එලියවෙලා උඩට පහලට හෙලවෙනව කියලා මේ යකා දන්නෙ නෑ!"...:D
කොහොමද කේස් එකේ තියන භයානකකම.
පස්සෙ මෑන්ව අල්ලලා. බලනකොට මෙයා ඒ පැත්තෙ ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක්!
අවවාදයයි- මෙවැනි අවස්තා වලට යනවිට ටෝච් පාවිච්චි නොකල යුතු අතර ඇගේ ග්‍රීස් හෝ කළුතෙල් ගාගත යුතුය!
හිනා ගියේ නෑ...