Wednesday, March 23, 2016

කාන්සියට චූටි කතා.

තර්ඩ් අම්පයර්.

පහුගිය දවසක ග්‍රව්න්ඩ් එකක් අයිනෙ ඉන්න වෙලාවක පොඩි එවුන්ගෙ ක්‍රිකට් මැච් එකක් බලං හිටිය. අවුරුදු දොලහක් නැත්තං පහලවක් වගේ වයස හාදයො ටිකක් තමයි එතන හිටියෙ. හයේ-හතරෙ-අවුට් අස්සෙ එකසැරයක් යටිගිරියෙන් කෑගහනව ඇහුන. බැලින්නං කීපර් ඇතුළු ෆීල්ඩ් එකේ එවුන් ප්‍රබල ඉල්ලීමක් කරනව. ඔන්න මාව හොල්මංද පොල්කොල කරමින්, මිඩ් විකට් පැත්ත බලාගෙන, අම්පයර් අත්දෙක උස්සල කොටුව ඇඳල තීරණය දුන්න තර්ඩ් අම්පයර්ට. මොහොතකට, මට හිතුනෙ සීන්එක විහිළුවක් කියල. නමුත් ඒක විහිළුවක් නෙවේ. කට්ටියම මිඩ්විකට් හිටිය කොලුව ලඟට ගිහිල්ල එයා අතේ තිබුන ස්මාට් ෆෝන් එකට එබුන. විනාඩියක් විතර ගියාට පස්සෙ "ස්මාට් අම්පයර්ගෙ" තීරණය අනුව පිතිකරුවාට තව අවස්ථාවක් ලැබුන. වලි නෑ, වැඩිය කතා නෑ, ස්මාට් තීරණයට හැමෝම ගරුකලා.

බවුන්රියෙ හිටපු පොඩිඑකාගෙන් දැනගත්ත විස්තරය අනුව අවුට් වෙච්ච කෙනෙක් හෝ ඉදිරියෙ බැට් කරන්න ඉන්න කෙනෙක් ‍මිඩ්විකට් ඉඳගෙන මැච්එක වීඩියෝ කරනව. රනවුට් එකකදි තීරණය දෙන්නෙ එහෙමයි. මේ කතන්දරේ ආයෙත් මතකත්වුනේ කොදෙව්වන් එක්ක තිබුන තරගයෙදි විනිසුරු තීරණ මතභේදයකට ලක්වීම නිසා. මට හිතෙන හැටියට නීතිවල මොනව තිබුනත් ක්‍රිකට් තරගයක සියල්ල සිදුවෙන්න ඕන "උපරිම අයුරින් සාධාරණය ඉටුවන විදියට". එහෙම බැලුවම ඒ පොඩි එවුන් අයිසීසී එකට වැඩිය ග්‍රේට්.

සැලකිල්ල.

මේක නෝන කියපු කතාවක්.
පහුගිය දවසක කාන්තාවක් අධික රුධිර වහනය නිසා ඉස්පිරිගාලෙට ගෙනල්ල. මේ මනුස්සය ඊට දවස් තුනකට කලින් සිසේරියන් කරල ගිය අම්ම කෙනෙක්. ලේ වහනය වෙලා තියෙන්නෙ කොතනින්ද කියල කියන්න ඕන නෑනෙ. විශ්වාස කරන්න පුළුවන්ද ලේ වහනයට හේතුව? දවස් තුනෙන් ස්වාමි පුරුෂයට "සලකල"! රෝගියාගෙ තත්වය අමාරු බවත් සෑහෙන්න ලේ දුන්න බවත් කිව්ව. රෝහල් කාර්යමණ්ඩලයේ නොමසුරු බැනුම්වලට ලක්වුන බවත් කිව්ව. ඒක අසාධාරණත් නෑ. හිතාගන්න පුළුවන්නේ මේවගේ කෙනෙකුට අහන්න ලැබෙන මිහිරි වදන් මොනවද කියල. බොහෝ දෙනෙක් කියයි මේ ගෑනිට තියන විසේට ආයෙත් එහෙම කරගත්ත කියල. නමුත් කවුද දන්නෙ, බීල ආපු මිනිහ ගෑනි දූෂණය කලාද? ගෑනි ඉන්න තත්වය තේරුම්ගන්න බැරි මිනිහෙක් මාස ගානක "අමාරුව" පිටකරනකල් ඒ මනුස්සය ඉවසුවද? කොමොඩ් එකේ මුත්‍රා හැලීමට වැඩිය සීරියස් ප්‍රශ්න මේව.

කාශ්‍යප මෙතඩ්.

අපේ පොඩිමෑන් කියන්නෙ වෙලාවකට මලපනින හාදයෙක්. බොහොම දරුණු වචන ටිකකුත් කොහෙන් හෝ ඉගනගෙන තියනව. මම හරි නෝන හරි එක්ක තරහ වුනාම කියන්නෙ "මම ඔයා මරණව", "ඔයා පිහියෙන් කපල දානව", "ඔයා නැතිකරනව", "ඔයා බල්ලට කන්න දෙනව" වගේ තර්ජන. ලඟදි දවසක අලුත් "දඬුවම් ක්‍රමයක්" ඉගනගෙන,

"ඔයා බිත්තියට තියල කොංක්‍රීට් දානව"

මට තග දැම්මෙ එහෙමයි.

Friday, March 18, 2016

ඔන්ලයින් වැල සහ ඕෆ්ලයින් වැල

බුකියට ඇබ්බැහිවීම නිසා බ්ලොග්එක අමතක වෙලා යයි කියල පොඩි සිද්ධියක් දාන්න හිතුව.

පහුගිය දවසක මම දන්න පොඩි එකෙක් බයික් එකේ යද්දි ලයිසන් නැතුව පොලිසියට අහුවෙලා. ලයිසන් වැඩේ නං ‍ශේප් කියමුකො, ඊට පස්සෙ පොලිස් මාමලා කොල්ලගෙ සාක්කුවෙ තියන ෆෝන්එක බලල. අසභ්‍ය ප්‍රකාශන හෙවත් වැල තියනවද කියල තමයි බලල තියෙන්නෙ. ෆෝන් එකේ වැල තිබුනත් පොලිසියෙ මහත්වරුන්ගෙ තාක්ෂණික දැනුම නිසා අහුවෙලා නෑ. කොහොම උනත් මේ සම්බන්ධව ලංකාවෙ තියන නීතිය ටිකක් විතර ව්‍යාකූලයි වගේ. "මේ වගේ පරීක්ෂාවක් කරන්න උසාවි නියෝගයක් ගන්න ඕන" කියලත් කියන අතරෙ "සැකයක් තියනව නම් පරීක්ෂා කරන්නත් පුළුවන්" වගේ කතන්දරයකුත් තියනව. කොහොම උනත් අසභ්‍ය ප්‍රකාශන ලඟ තබාගැනීම තහනම්!

ලංකාවෙ මේ සම්බන්ධ නීතිය යල්පැනගිය එකක් කියලයි මට හිතෙන්නෙ. මොකද මේ වෙනකොට අන්තර්ජාලය ලෝකයේ දේශසීමා අතික්‍රමණය කරල ඉවරයි. මොකක්හරි දේකට අන්තර්ජාලය සම්බන්ධ වන්නේ කුමන වෙලාවකද ඒ මොහොතේ සිට ඒ අදාල කාරණාව සෑහෙන්න සංකීර්ණයි.

උදාහරණයක් විදියට "වැල" ලඟ තබාගැනීම තහනම්. ඒක රටේ නීතිය. වැල ලඟ තියාගන්නෙ ඇයි? බලන්න! දැං ෆෝන් එකක හෝ වෙනත් තැනක ගබඩා කරන්නෙ නැතිව වැල බලන්න බැරිද? පුළුවන්. අන්තර්ජාලයෙන් ඕන තරම් බලන්න පුළුවන්. ඩේටා ගාස්තුව විතරයි ඕන. කසිප්පු, විකිණීම, බීම, ලඟතබාගැනීම ඔක්කොම තහනම්. හොරකම් කිරීම අනුබල දීම හොරබඩු ලඟතබාගැනීම ආදී සියල්ලමත් තහනම්. නමුත් හාඩ් එකක තිබීමයි ඇඟිලි තුඩක දුරකින් අන්තර්ජාලයේ තිබීමයි අතර වෙනස නීතිය ක්‍රියාත්මක කරන්න යාමේදි සෑහෙන්න වෙනස්.

කොටින්ම ඩේටා ගාස්තුව ගෙවාගන්න පුළුවන් එකාට කිසි අවුලක් නෑ. ගබඩා කරගෙන බලල අහුවුනොත් බඩුම තමයි.

*************************************************************************************

සුජීව කොකාවලගේ අලුත් බ්ලොග් අඩවිය: http://loose-ball.blogspot.com