Thursday, October 29, 2015

ශූරයෝ කවුරුන්ද? Rugby World Cup 2015

මේ, රග්බි ලෝක කුසලානය ගැන තැබූ සටහන් මාලාවේ අවසානයයි. අපේක්ෂා කල ආකාරයටම ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අවසන් තරගයට සුදුසුකම් ලබා ඇත. තෙවැනි ස්ථානය සඳහා වන තරගයට දකුණු අප්‍රිකාව සහ ආර්ජන්ටිනාව සිකුරාදා තරග වැදීමට නියමිතය.

ආරම්භයේදී යම් යම් පෙරලි සිදුවුවද අවසන් වටයන් ක්‍රියාත්මක වනවිට ලෝක කුසලානය සාම්ප්‍රදායික ආකාරයට අවසන් වන ලකුණු පහලව ඇත. තරගාවලියට පෙර ශ්‍රේණිගත කිරීම් සැලකූ විට අවසන් තරගය සඳහා අංක එක සහ අංක දෙක සුදුසුකම් ලබාගත් අතර තෙවැනි ස්ථානය අංක තුන ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාවත් ආර්ජන්ටිනාවත් පැමිණීම මීට උදාහරණය. යුරෝපයේ තිබූ තරගාවලියෙන් එම කලාපයේ කණ්ඩායම් ඉවත්වීමද කැපී පෙනේ.

නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව දෙවතාවක් බැගින් ශූරයන් වී ඇති ලෝක කුසලාන ඉතිහාසයේ ශූරතාවය තෙවරක් දිනාගන්නා කණ්ඩායම බවට පත්වීමට මෙවර එක් කණ්ඩායමකට අවකාශය සැලසේ. මීට අමතරව දෙවතාවක් ශූරයන් වීමට දකුණු අප්‍රිකාව සමත්වී අැත.

මෙම තරගාවලියෙන් පසුව ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනී යයි සිතිය හැකි ක්‍රීඩා තරු ගණනාවකි. නවසීලන්තයෙන් කෙවින් මියලාමු, ටෝනි වුඩ්කොක් මෙන්ම නායක රිචී මැකෝ විශේෂිතය. සෙනසුරාදා තරගයෙන් ජයගැනීමට නවසීලන්තයට හැකිවුවහොත්, ලෝක ශූරතා දෙකකට නායකත්වය දී ජයග්‍රහණය කල එකම ක්‍රීඩකයා බවට රිචී මැකෝ පත්වනු ඇත. මීට අමතරව ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් මුවර්ද සමුගැනීමේ ලැයිස්තුවට එක්ව සිටී.
දකුණු අප්‍රිකාව පැත්තෙන් සුපිරි ක්‍රීඩක බ්‍රයන් හබානා සහ තිස් අට වියැති වික්ටර් මැට්ෆීල්ඩ්ද සහභාගී වන්නේ අවසාන ලෝක කුසලාන තරගාවලියටයි. තෙවැනි ස්ථානය සඳහා වන තරගයේ නායකත්වය මැට්ෆීල්ඩ් හට ලබාදීමට දකුණු අප්‍රිකාව තීරණය කර ඇත.
තෙවැනි ස්ථානය සඳහා තරග කරන දකුණු අප්‍රිකාව සහ ආර්ජන්ටිනාව අතර තරගය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ පැවැත්වෙන අතර එහිදී උණුසුම් තරගයක් අපේක්ෂා කල හැකිය. සමස්තයක් ලෙස තරගාවලියේ ඉදිරියට පැමිණ ඇති ආර්ජන්ටිනාවට නැතිවීමට යමක් නොමැති බැවින් වැඩි වාසි ඔවුන්ට බව කිවහැකිය. පසුගිය ෆෝ නේෂන්ස් තරගාවලියේදීද දකුණු අප්‍රිකාව පරාජය කිරීමට ඔවුන්ට හැකිවිය.

අවසන් තරගයේ ජයග්‍රාහකයන් කවුරුන්දැයි පැවසීම අපහසු වුවත් නවසිලන්තය මඳක් ඉදිරියෙන් සිටින බව කිවහැකිය. එහෙත් විටින් විට දක්ෂතා අතරට පිවිසෙන ඕස්ට්‍රේලියාව අවසන් තරගයේදී ක්‍රීඩා කරන ආකාරය අනුව තරගයේ ප්‍රතිපලය විස‍ඳෙනු ඇත.

Saturday, October 24, 2015

සැටිපිකට්ප්‍රේමියා.......

උපන්දිනත් ගොඩයි ගොඩයි
බැඳපු දවස් ගොඩයි ගොඩයි
පාස්පෝට් ගොඩයි ගොඩයි
ඒවට නඩු ගොඩයි ගොඩයි

Thursday, October 22, 2015

‍Four Ntions, Six Nations, අසාධාරණ තීන්දුව සහ අවසන් පූර්ව වටය. Rugby world cup 2015

රග්බි ලෝක ශූරයන් කවුදැයි තෝරාගැනීම සඳහා ඇත්තේ තවත් තරග තුනක් පමණි. අවසන් පූර්ව තරග දෙක, අවසන් තරගයට අමතරව තෙවැනි ස්ථානය තෝරා ගැනීම සඳහා තවත් එක් තරගයක් ඉතිරිව අැත. රටවල් විස්සක් තරග කර අවසානයේ මේ වනවිට ඉතිරිව ඇත්තේ රටවල් හතරකි. ඒ කාණ්ඩයෙන් ඕස්ට්‍රේලියාවත්, බී කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාවත්, සී කාණ්ඩයෙන් නවසීලන්තය හා ආර්ජන්ටිනාවත් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත් අතර ඩී කාණ්ඩයෙන් කිසිදු රටක් සුදුසුකම් ලබාගැනීමට සමත් වූයේ නැත.

අර්ධ අවසන් පූර්ව වටයේදී වේල්සය පරාජය කල දකුණු අප්‍රිකාව තියුණු ජයක් ලැබූ අතර නවසීලන්තය ප්‍රංශයට එරෙහිව ලබාගත් ජයග්‍රහණය වාර්තා පොත් අලුත් කලේය. බලාපොරොත්තු නොවූ ලෙස අයර්ලන්තය පරාජය කල ආර්ජන්ටිනාව ඩී කාණ්ඩය තරගාවලියෙන් ඉවත් කල අතර ඕස්ට්‍රේලියාව ස්කොට්ලන්තයට එරෙහිව ලැබූ ජයග්‍රහණය දැඩි ආන්දෝලනාත්මක විය.

☜[ජෝබර්ට් දඬුවම් පහර සඥා කිරීම]

ඕස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තය අතර තරගය ලන්ඩනයේ ට්වින්ක්හැම් ක්‍රීඩාංගනයේ පැවැත්වුනු අතර මුලින් බලාපොරොත්තු වූ ලෙසින් පහසු ජයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියානුවන්ට නොහැකි බව තරග ආරම්භයේ සිටම දක්නට ලැබිනි. විනාඩි කිහිපයකට වරක් තරගයේ වාසිය දෙපසට දෝලනය වූ අතර ඕස්ට්‍රේලියාවේ දුර්වල ක්‍රීඩා විලාශයත් ස්කොට්ලන්තයේ ධෛර්ය සහගත ක්‍රීඩාවත් කැපී පෙනුනි. පළමු අර්ධය අවසානයේ ලකුණු 16-15 ලෙස ඉදිරියෙන් සිටීමට ස්කොට්ලන්තය සමත් විය. ලකුණු 34-32 ලෙස ජයග්‍රහණය ආසන්නයට පැමිණි ස්කොට්ලන්ත‍ය‍ේ අවසන් පූර්ව වටයට ය‍ාමේ බලාපොරොත්තු සුන්කලේ තරග තීරක ‍ක්‍රේග් ජෝබර්ට් විසිනි. ඔහු ලබාදුන් මතභේදාත්මක දඬුවම් පහර සාර්ථක කරගත් ඕස්ට්‍රේලියානු ෆ්ලයි හාෆ් ක්‍රීඩක බර්නාඩ් ෆෝලි තම කණ්ඩයායම අවසන් පූර්ව වටයට ගෙනගියේ ලකුණු 35-34 ලෙස තියුණු ජයග්‍රහණයක් සටහන් කරමිනි. ඒ වනවිට තරගය නිමවීමට ඉතිරිව තිබුනේ විනාඩියක් පමණි!
පුනරූපන අනුව ස්කොට්ලන්ත ක්‍රීඩකයාගේ වරද වෙනුවෙන් ඕස්ට්‍රේලියානුවන්ට ලැබියයුතු වූයේ "ස්ක්‍රම්" වාසියක් වුවද (එසේ වූයේ නම් ලකුණු ලැබීමට නොහැකි වීමට ඉඩකඩ වැඩිය) දඬුවම් පහරක් ලැබීමෙන් තරගය කණපිට හැරුනි.

කෙසේ වුවත් මෙවර අවසන් පූර්ව වටය දක්වා පැමිණි කණ්ඩායම් හතර විශේෂිතය. ඔවුන් සියල්ලන්ම දක්ෂිණ අර්ධ ගෝලයේ පිහිටි රටවල්ය!
මේ වනවිට වාර්ෂිකව රග්බි ලෝකයේ ප්‍රධාන තරගාවලි දෙකක් පැවැත්වෙයි. එකක් නම් "සික්ස් නේෂන්ස්"ය. අනෙක "ෆෝ නේෂන්ස්"ය.

[වර්තමාන සික්ස් නේෂන්ස්]☞
සික්ස් නේෂන්ස් යනු වසර සියයකට වඩා අතීතයක් ඇති පැරණිම රග්බි තරගාවලියකි. එංගලන්තය, වේල්සය, අයර්ලන්තය හා ස්කොට්ලන්තය එක්ව "හෝම් නේෂන්ස්" යනුවෙන් තරග කල අතර ප්‍රංශය ඊට එකතු වීමත් සමඟ එය "5 නේෂන්ස්" විය. 2000 වර්ෂයේදී ඉතාලිය තරගාවලියට එක්වීමත් සමඟ එය 6 නේෂන්ස් බවට පත්විය. අවසන් 2015 හා 2014 තරගාවලි ජයග්‍රාහකයන් වූයේ අයර්ලන්තයයි.



☜[4 නේෂන්ස්]

මීට සමගාමීව දක්ෂිණ අර්ධ ගෝලයේ පැවැත්වෙන තරගාවලිය "4 නේෂන්ස්"ය. රග්බි ක්‍රීඩාවේ ප්‍රභලයන් තිදෙනා වන නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව එක්ව 1996 ඇරඹි "ට්‍රයි නේෂන්ස්" තරගාවලියට 2012දී ආර්ජන්ටිනාව එකතුවීමත් සමඟ එය 4 නේෂන්ස් බවට පත්විය. කලින් දුර්වල ස්ථානයක සිටි ආර්ජන්ටිනාවේ දක්ෂතා උපරිම තලයට පැමිණියේ ඔවුන් ෆෝ නේෂන්ස් තරගාවලියට එක්වීමත් සමඟිනි. මේ වනවිට ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථාන හතර දිනා සිටින්නේ මෙම රටවල් හතරය.

කෙසේ වෙතත් දැන් ඉතිරිව අැත්තේ 4නේෂන්ස් තරගාවලියයි. එහිදී දකුණු අප්‍රිකාව නවසීලන්තය සමඟත් ඕස්ට්‍රේලියාව ආර්ජන්ටිනාව සමඟත් තරග වැදීමට නියමිතය. පරාජිතයන් තෙවැනි ස්ථානය වෙනුවෙන් තරග කරන අතර ජයග්‍රාහකයන් අවසන් තරගයට ක්‍රීඩා කරනු ඇත.

පළමු තරගය නවසීලන්තය(ඕල් බ්ලැක්ස්) සහ දකුණු අප්‍රිකාව(ස්ප්‍රිංබොක්ස්) (ට්වින්කන්හැම්) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30

දෙවන තරගය ඕස්ට්‍රේලියාව(වොලබීස්) සහ ආර්ජන්ටිනාව(පූමාස්) (ට්වින්කන්හැම්) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30

Wednesday, October 21, 2015

රුසියන් ප්‍රහාර සහ බටහිර මාධ්‍ය (බුද්ධික තාඹුගල)

මේ, සිරියාවේ අයිසිස් ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකරන රුසියන් ප්‍රහාර හා ඒ සම්බන්ධව බුද්ධික තාඹුගල විසින් මුහුණු පොතෙහි තැබූ අගනා සටහනකි.

රුසියන් හමුදාව සිරියාවේ අයිසිස් ත්‍රස්තයන්ට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග ප්‍රධාන ධාරාවේ බටහිර මාධ්‍ය ගල් ගිලපු තත්ත්වයකට පත් ව ඇත. පෙන්ටගනයට, නේටෝවට සහ සී.අයි.ඒ සංවිධානයට අනුව නම් රුසියාව පහර දෙන්නේ අයිසිස් ත්‍රස්තයන්ට නොව "මධ්‍යස්ථ මතධාරී කැරළිකරුවන්ට" ය. සිරියාවේ "මධ්‍යස්ථ මතධාරී කැරළිකරුවන්" කීදෙනෙක් ඉන්නවාදැයි ඇසූ විට ඔවුන් කියන්නේ "සීයක් හමාරක් ඉන්නව, අපි ට්‍රේන් කරපු අය" කියායි. ඇමෙරිකන් ස්ට්‍රැටජිය වන්නේ මේ "මධ්‍යස්ථ මතධාරීන්" ලවා අසාද් රජය පෙරළා ඉන්පසු අයිසිස් සංවිධානය විනාශ කිරීමලු.

බටහිර මාධ්‍ය වලට හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගන්නා රෂියා ටුඩේ චැනලය පවසන්නේ ඊනියා මධ්‍යස්ථ මතධාරියෙක් හොයා ගැනීමට නොහැකි අතර රුසියන් ගුවන් හමුදාව පහර දෙන්නේ අයිසිස් ත්‍රස්තයන්ට බවයි. රුසියන් ප්‍රහාර වලට දාර්ශනික ලෙස විරුද්ධ වන ඇතැම් බටහිර හිතවාදියෙක් පවසන්නේ පූටින්ගේ අභිප්‍රාය අයිසිස් සංවිධානය විනාශ කිරිම නොව අසාද් රෙජිමය ආරක්ෂා කිරිම බවයි. මේ අවුල ලිහාගන්නේ කෙසේ ද?
(සැ.යු : මෙය ලියන මා කිසි ලෙසකින් රුසියන් හිතවාදියෙක් නොවේ. රුසියාව යුක්‍රේනයේ කැරළිකරුවන්ට ආයුධ දී නැගෙනහිර යුක්‍රේනය අස්ථාවර කරද්දී, ක්‍රිමියාව ආක්‍රමණය කර බලහත්කාරයෙන් ඈඳාගනිද්දී ඊට දැඩි ලෙස විරුද්ධ වූයෙමි. සෝවියට් සමයේ දශක හතරක් පුරා නැගෙනහිර යුරෝපය සහ ජර්මනියේ කොටසක් යටත් කරගෙන රුසියානුවන් විසින් කරන ලද මිනිස් සංහාර බටහිර කිසිම කලෙක කර නැත. රුසියානු ව්‍යාප්තවාදයට වැට බැඳීමේ ඇමෙරිකානු සහ නේටෝ උත්සාහයන් අගය කළෙමි. දැනුත් අගය කරමි ) එහෙත් සිරියානු අර්බුදය ඇති කළේ රුසියානුවන් ද?

මුලින්ම අපි "පූටින් කරන්නේ අවස්ථාවාදී වැඩකි" යන දාර්ශනික ප්‍රශ්නය සලකමු. රුසියාව කරන්නේ අවස්ථාවාදී වැඩකි. ආයෙ ඒකෙ දෙකක් නැත. ඔවුන්ට උවමනා අසාද් රෙජිමය රැක ගැනීමට ය. එහෙත් අවස්ථාවාදී නැත්තේ කවුද? සුමනසිරි බේකරියෙන් පාන් ගන්න ඔබ "අයිසෙ සුමනසිරි, තමුසෙ මේ පාන් හදන්නෙ අපිට ආදරේටෙ නෙමෙයි තමුසෙ සල්ලි හොයන්ඩ නේද?" කියා අසන්නේ නැත. අප පාවිච්චි කරන බොහෝ භාණ්ඩ සහ සේවා කිසිවෙක් තමන්ගේ "ආත්මාර්ථකාමී උවමනාවට" නිමවූ ඒවා ය. නැතුව අපිට ආදරේට හදපුවා නොවේ. සිරියාවට පහරදීමේ දී රුසියාව කොතරම් ආත්මාර්ථකාමී වුවත්, එම ප්‍රහාර වල අවසාන ප්‍රතිඵලය ලොව දරුණුම ත්‍රස්තවාදී සංවිධානය විනාශ වීමයි. අසාද් ශාන්තුවරයෙක් නොවේ. රුසියන් හිතවාදී ආඥාදායකයෙකු වන ඔහු සුන්නි සිරියානුවන් ඔහුට විරුද්ධව නැගී සිටි විට ඔවුන්ව අමානුෂික ලෙස මර්දනය කළේ ය. කල දුටු කළ වල ඉහගත් ඇමෙරිකාව එවකට "මධ්‍යස්ථ මතධාරී" සුන්නි කණ්ඩායම් වෙත ආයුධ ලබා දී අසාද් රජයට විරුද්ධව මෙහෙයවූයේය.

වසර දෙකකට පසු අපට අයිසිස් සංවිධානය ගැන අසන්නට ලැබේ. සිරියාවේ සහ ඉරාකයේ විශාල පදාසයක් එකවර ආක්‍රමණය කරන අයිසිස් ත්‍රස්තයන් නොබෝ කලකින්ම ලොව දරුණුම ත්‍රස්ත සංවිධානය යන කිරුළ දරයි. ඔවුන්ගේ දරුණුකම කොතෙක් ද යත් තලිබාන්වරු පවා ඔවුන්ගෙන් වෙන් ව යයි. කාන්තාවන් වහල් වෙන්දේසියේ විකිණීමේ සිට අහිංසක විදේශිකයන්ගේ ගෙල කපා මරා යූටියුබ් දැමීම දක්වා ලොව ඇති තරමක් කුපාඩි වැඩ කරන අයිසිස් කල්ලිය මැදපෙරදිග "ඉස්ලමික කලිෆේට් රාජ්‍යයක්" බිහි කිරීම තම අරමුණ බව පවසයි. මේ කර්තව්‍යය උදෙසා අයිසිස්වරු ඉරාකයේ සහ ජෝර්දානයේ ඇමෙරිකන් හිතවාදී රජයන්ටත්, ඉරානයේ බටහිර විරෝධී රජයටත්, තුර්කියේ කර්ඩිෂ් ජාතිකයන්ටත්, යුදෙවුවන්ටත්, ඇමෙරිකාව විසින් පලවා හැරීමට උත්සහ ගත් සිරියාවේ අසාද් රජයටත් විරුද්ධව භේද නැතුව, ලෝස් නැතුව සටන් වදියි.

අන්තිමේ සිරියාවේ ඉතුරු වන්නේ අසාද් රජය, අයිසිස් ත්‍රස්තයන් සහ ඒ දෙකොටසට මැදි වූ සාමාන්‍ය ජනතාව පමණි. ඇමෙරිකාව විසින් ආයුධ සපයන ලද ඊනියා "මධ්‍යස්ථ මතධාරීන්" සිරියන් පොළවේ ඉතිරි නොවෙයි.. බොහෝ සංවිධාන අයිසිස් ත්‍රස්තයන්ට එක් වන අතර ඉතිරිය එක්කෝ අයිසිස් විසින් මර්දනය කර/යටත් කර අවසන් වෙයි. මධ්‍යස්ථ මතධාරී ඉස්ලමික සටන්කරුවෙක් කියා එකෙක් මේ ලෝකෙ නැත. එහෙම උන් ඉන්නේ ඔබාමා මහතාගේ සිහින වල පමණි. අවසන අයිසිස් සංවිදානය අතට පත් වූයේ ඇමෙරිකන් ආයුධයි. අයිසිස් එකට විරුද්ධව ඇමෙරිකන් ප්‍රතිචාරය කුමක් ද? සරලය. බළලුන් ලවා කොස් ඇට බාවනවා කියන ප්‍රංශ උපහැරණයෙන් පැහැදිළි කළ හැකි ය. අයිසිස් සහ අසාද් හමුදා එකිනෙකා කෙළගනිද්දී උන් දෙගොල්ලන්ටම කෙළ කර දැමිය නොහැකි බව ඇමෙරිකාව මනාව දනියි. ඔවුන් කරන්නේ අයිසිස් සංවිධානය අසාද් රජය පෙරළනකම් බලා සිටීමය. එහෙත් ඔවුන්ට හිතවත් ජෝර්දානයට, ඉරාකයට හෝ කර්ඩිෂ්වරුන්ගේ ප්‍රදේශයට අයිසිස්වරුන් ව්‍යාප්ත වීම වැළැක්වීමට පමණක් ගුවන් ප්‍රහාරයක් දෙකක් එල්ල කිරීමය. මේ තත්ත්වය යටතේ අයිසිස් ත්‍රස්තයන් සිරියාවේ බලය පැතිරවීම වැළැක්විය නොහැකිය. සිරියානු සරණාගතයන් සිරියාවෙන් යුරෝපය කරා ඇදී යන්නේ මෙම ඉදිරියට ඇදෙන ත්‍රස්තයන්ට බියෙනි. ඔවුන් නික්ම යාමට අසාද් රජයේ දරුණුකමත් හේතුවක් වේ නම් ඔවුන් යන්නට තිබුණේ වසර කිහිපයකට පෙර සිටය.

සිරියාවට අත පෙවීම මගින් ඇමෙරිකාව කරගත් ප්‍රධාන වැරදි දෙකකි. එක අතකින් ඇමෙරිකන් ආයුධ, මුදල් සහ පුහුණුව ලබාගත් ඊනියා "මධ්‍යස්ථ කැරළිකරුවන්" අවසානයේ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් බවට පරිණාමය වීමය. අනෙක නම් සිරියාව තුළ රුසියාවේ චරිතය අවතක්සේරු කිරීම ය. රුසියානු - සිරියානු මිත්‍රත්වය ඇමෙරිකාව මුලින් සිතුවාට වඩා අතිශයින්ම ප්‍රබල එකකි. කුස්නෙට්සොවු නැමති රුසියාවේ එකම එයාර්ක්‍රාෆ්ට් කැරියර් එක ඇතුළු රුසියන් මධ්‍යධරණී නැවු හමුදාවට නිවහන් වරාය වන්නේ සිරියාවේ හෝම්ස් වරායයි. මෙසේ ස්ට්‍රැටජිකලි වැදගත් වන ස්ථානයක් අහිමි කර ගැනීමට රුසියාව කිසිසේත් සූදානම් නැත. අසාද් රෙජිමයට විරුද්ධව නේටෝ ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ගෙන ආ යෝජනාව රුසියාව නිෂේධ කළේ ය. රුසියාව සහ බටහිර රටවල් අතර ඇති සීතල යුද්ධයේ සටන් පෙරමුණු සලකද්දී සිරියාවේ දී බටහිර අත ගැසුවේ රුසියන් බල ව්‍යුහයේ මධ්‍යයට ය. රුසියාව ඊට ප්‍රතිචාර නොදක්වා සිටිතියි බලාපොරොත්තු වීම මෝඩකමකි. අයිසිස් සංවිධානය විනාශ කිරීමට බටහිරට නැති උවමනාවක් රුසියාවට ඇති බව අතිශයින්ම පැහැදිළිය. පසුගිය වසර තුළ ඇමෙරිකන් ප්‍රහාර වලින් සිදුකළ හානිය මෙන් කිහිප ගුණයක හානියක් පසුගිය දින කිහිපය තුළ රුසියන් ගුවන් ප්‍රහාර මගින් අයිසිස් වෙත සිදුවිය. අයිසිස් ත්‍රස්තයන්ගේ ආයුධ සැපයුම සහ මෙහෙයුම් අඩාළ වී ඇත. ඔවුහු දහස් ගණනින් රැවුළ කපා පලායති. සීතල යුද්ධයේ අපගේ පක්ෂපාතීතා කුමක් වුවත් අයිසිස් මිනීමරුවන්ට රුසියාව දුන් සංග්‍රහය ලොව සියල්ලන් භේදයකින් තුළ අගය කළ යුතුය. (ඉරාකය තුළ අයිසිස් සංවිධානයට ඇමෙරිකාව විසින් කරන අටමගලක් නැති බව තේරුම් ගන්නා ඉරාක රජය ද රුසියාව සමග ඩීල් ගැසීමට සැරසෙයි )

බටහිර රටවල් වල මැදපෙරදිග මැදිහත්වීම් ගැන අමිහිරි මතකයන් බොහොමයකි. 20 වන සියවස පටන් ගන්නා විට පලස්තීනය, අරාබිය, පර්සියාව, මෙසපොටේමියාව ඇතුළු මැදපෙරදිග බහුතර ප්‍රදේශයක් ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයට අයත් විය. පළමු ලෝක යුද්ධයේදී ඔටෝමන් අධිරාජ්යය ජර්මන්වරුන්ගේ පැත්ත ගැනීම නිසා ඔවුන් මැදපෙරදිග බ්‍රිතාන්‍ය කොලනි වලට තර්ජනයක් විය. තුර්කි අධිරාජ්‍යය සීසීකඩ කිරීමට බ්‍රිතාන්‍යයෝ ක්‍රියා කළහ. ලෝරන්ස් සෙනෙවියා අරාබියෙක් මෙන් ඇඳ පැළඳගෙන අරාබිය පුරා යමින් එහි ගෝත්‍ර තුර්කියට විරුද්ධව පෙළ ගැස්වීය. සෞඩ් නම් අන්තවාදී ගෝත්‍රික නායකයා සෞදි අරාබිය නම් නව රාජ්‍යයේ රජු විය. ඉරාකය, ඉරානය බ්‍රිතාන්‍ය හමුදා වලට පත් විය. ඒවායේ බටහිර හිතවත් පාලකයෝ බිහි වූහ. පලස්තීනය අල්ලාගත් බ්‍රිතාන්‍යය එහි ඊශ්‍රායලය නම් යුදෙවු රාජ්‍යය පිහිටුවිය. අද සෞදි අරාබිය අන්තවාදී වහබි රාජ්‍යයකි. අසාද්, ගඩාෆි, සදාම් හුසේන් යන කොයි කාටත් වඩා දරදඬු සෞදි රජු සෞදි තෙල් සම්පතට පින් සිදු වන්නට බටහිර රටවල් වල ඉවසීම සහ පෝෂනය ලබයි. එහි ලෝකයේ දරුණුම මානව අයිතිවාසිකම් කඩවීම් සිදු වේ.. ඊශ්‍රායෙල් පලස්තීන් ගැටුම නොනිමෙන ගැටුමක් වී ඇත. ඉරානයේ ෂා රජුට එරෙහිව කැරළි ගැසූ මූලධර්මවාදීන් එහි බටහිර විරෝධී ඉස්ලමික ජනරජයක් පිහිටුවීය.. ඉරාකයේ හමුදා කුමන්ත්‍රණ ගණනාවක් සිදු වී දෙවරක් ආක්‍රමණය වී අද අවුල් ජාලයකි.

මැදපෙරදිග රටවල් අතරින් 2000 වන විට යම් ස්ථාවරත්වයක් ලබා සිටියේ ඓහික ඒකාධිපතියන් සිටින රටවල ය. ඉන් සදාම් හුසේන්, ට්‍යුනීසියාවේ බෙන් අලි, ලිබියාවේ ගඩාෆි, සිරියාවේ අසාද් බටහිර විරෝධීහු වූහ. ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කර හුසේන් බලයෙන් පහ කළේ ය. බටහිර උදවුවෙන් සන්නද්ධ කරන ලද සාපේක්ෂව මධ්‍යස්ථ මතධාරී විපක්ෂ කණ්ඩායම් විසින් ගඩාෆි, බෙන් අලි බලයෙන් පහ කෙරිණි. මැදපෙරදිග පුරා විසිරුණු මෙම කැරැල්ලට බටහිර හිතවත් ඒකාධිපතීන් ද හසු විය. ඊජිප්තුවේ මුබාරක් සහ යේමනයේ පාලකයා එසේ හසු විය. මෙලෙස ඉවත් කරන ලද ඒකාධිපතියන්ගෙන් හිස් වුණු 'බල රික්තකය' පිරෙමින් පවතින්නේ බටහිර අදහස් කළ මධ්‍යස්ථ මතධාරින්ගෙන් නම් නොවන බව මැදපෙරදිග දෙස බලන ඕනෑම අයෙකුට වැටහී යයි. එම බල රික්තක්ය තුළට රිංගමින් පවතින්නේ සෞදි අරාබියටත් වඩා අතිශයින් අන්තවාදී මත දරණ ඉස්ලමික සටන්කරුවන්ය. අද එම රටවලට විදේශිකයෙකුට ආරක්ෂිතව යා නොහැකිය. අයිසිස් යනු මෙම ප්‍රවණතාවයේ කූටප්‍රාප්තියයි. බටහිර විසින් ඇති කරන ලද මෙම රැල්ලෙන් තමන්ගේ හිතවතෙකු වන දරදඬු ඒකාධිපතියෙක් බේරා ගැනීම සඳහා ආයුධ එසවීම ගැන රුසියාව විවේචනය කිරීමට බටහිරට කිසිඳු අයිතියක් ඇතැයි මම නොසිතමි. අනෙක් අතට අයිසිස් මිනීමරුවන් අතුගා දැමීම ඉතා ප්‍රශංසනීයය. තමන්ගේ වාසිය සඳහා වුව ද රුසියාව ඉටු කරන්නේ සමස්ථ ශිෂ්ට ලෝකයේ ම අවශ්‍යතාවයකි.

Friday, October 16, 2015

අප කියූ දෙයක් වැරදිලා නැත Rugby World Cup 2015

රග්බි ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය නිමාවූයේ පසුගිය සති අන්තයේය. අර්ධ අවසන් පූර්ව තරග සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වීමට නියමිතය. අනපේක්ෂිත ජයග්‍රහණ/පරාජයයන් කිහිපයක් දැකගැනීමට හැකි වුවද පසුගිය තරගාවලිය මෙන් අර්ධ අවසන් වටයේදී ප්‍රබල කණ්ඩායම් කැපී යාමක් මෙම තරගාවලියේදී දැකගත නොහැකි වනු ඇත. එබැවින් කලකට පසු ඉතාමත් තරගකාරී අවසන් වට කිහිපයක් නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට උදාවී ඇත.

තරගාවලියේ ඉදිරිය....
මුලින් අපේක්ෂා කල ආකාරයටම කාණ්ඩ හතර තුල පළමු සහ දෙවන ස්ථාන ලබාගත් කණ්ඩායම් මෙසේය


A කාණ්ඩය B කාණ්ඩයCකාණ්ඩය Dකාණ්ඩය
ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාවනවසීලන්තය අයර්ලන්තය
වේල්සය ස්කොට්ලන්තයආර්ජන්ටිනාව ප්‍රංශය

මෙහිදී ප්‍රබල කණ්ඩායම් තම කාණ්ඩවල පළමු ස්ථානය දිනාගැනීමට සමත්වී ඇත.
අර්ධ අවසන් වටයේදී තරග පැවැත්වෙන්නේ මේ ආකාරයටය.

✥ පළමු තරගය දකුණු අප්‍රිකාව සහ වේල්සය
✥ දෙවන තරගය නවසීලන්තය හා ප්‍රංශය
✥ තුන්වන තරගය අයර්ලන්තය හා ආර්ජන්ටිනාව
✥ සිව්වන තරගය ඕස්ට්‍රේලියාව හා ස්කොට්ලන්තය

මෙම තරග වලින් නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව පහසුවෙන් ජයගැනීම අපේක්ෂා කල හැකිය.

විශේෂ අවස්ථා....

මෙතෙක් තරගාවලියේ තරග කිහිපයක් වැඩි අවධානය දිනාගැනීමට සමත් විය.
✥ පළමු තරගයෙන් ප්‍රබල දකුණු අප්‍රිකාව පරාජය කල ජපානය ජයගැනීම.
✥ දකුණු අප්‍රිකාව, සමොආ සහ ඇමෙරිකා එක්සත් ජනපදය පරාජය කල ජපානය 2019 තම රටේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට නිතරගයෙන් සුදුසුකම් ලැබීම.
✥ දකුණු අප්‍රිකාවේ බ්‍රයන් හබානා, ඉතිහාසයේ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයා වන ජෝනා ලොමූ තබා තිබූ වැඩිම ලෝක කුසලාන උත්සාහක දිනුම් වාර්තාව සම කිිරීම.
✥ සත්කාරක එංගලන්තය මූලික වටයෙන් ඔබ්බට යාමට අපොහොසත් වීම.

2019 ජපානය....
ජපානය තරග තුනක් ජයගැනීමත් සමඟ 2019 ලෝක කුසලාන තරගාවලියට නිතරගයෙන් සුදුසුකම් ලබාගැනීමට සමත් විය. (කාණ්ඩ හතර තුල පළමු ස්ථාන තුන ලබාගන්නා කණ්ඩායම් දොලහ ඊලඟ තරගාවලියට නිතරගයෙන් සුදුසුකම් ලැබීමට සමත් වේ). මේ නිසා ජපානයේ පැවැත්වෙන 2019 තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව තවත් ආසියාතික රටකට (හෝ දෙකකට) හිමිවේ.



ඡායාරූප....
☜පළමු තරගයේදී නවසීලන්තය අසීරුතාවයෙන් මුදාගත් "හෙවිවේට් බොක්සිං ක්‍රීඩක" සොනිබිල් විල්යම්ස්.


එක්සත් ජනපදයට එරෙහිව ගෝල ත්‍රිත්වයක් වාර්තා කල බ්‍රයන් හබානා.☞



☜රැජින හමුවූ නවසීලන්ත නායක රිචී මැකෝ


තරගාවලියෙන් ඉවතට විසිවූ එංගලන්තය☞


☜ නවසීලන්ත හකා නර්තනය

Tuesday, October 13, 2015

නිදහස......










අටසිය පහලවේ රජාගෙන් අපි ලැබු නිදහස
ඊට පස්සෙ සුද්ද අපෙන් උදුරගත්ත නිදහස
හතලිස් අට වෙනකොට ඌ යවල ගත්ත නිදහස
ඒත් අනේ අපිට ලැබුනෙ නෑලු නියම නිදහස

ධනපති යූ ඇන්පීය විත් නැතිවුනාලු නිදහස
බණ්ඩ ඇවිල්ලා දුන්නලු පොඩි මිනිහට නිදහස
දුන්න තරම මදිවීලා බණ්ඩගෙ ඒ නිදහස
ගණයෙක් ඇවිදින් බණ්ඩට දුන්න භවෙන් නිදහස

මැතිණි ඇවිත් හැත්කෑවේ දෙන්න කියල නිදහස
ලොකු සුද්දිගෙ කිරීටයෙන් ගලවල දුනි නිදහස
වැඩි දවසක් තිබුනේ නෑ අනේ ඒත් නිදහස
ඉස්මුරුත්ත හැදුන කාල මැතිණි දුන්න නිදහස

හාල් ටිකක් ගෙනයන්නට පාරක නෑ නිදහස
දානව පොල්ලක් හරහට නැති කරලා නිදහස
ලොකු ලොක්කන් හට කන්නට පමණයි ඒ නිදහස
කර කොල මලවං කාපිය ඒකලු අපෙ නිදහස

ජේආර් පප්පා ඇවිදින් දුන්න අපට නිදහස
ටයර් සෑයෙ දැවුන කොල්ලො ඉල්ලූ විට නිදහස
උතුරෙදි කොල්ලෝ ඉල්ලූ විට උන්හට නිදහස
වඳුරු හමුදාව ගෙනල්ල නැතිකෙරුවා නිදහස

ප්‍රේමේ ආවා දෙන්නං උඹලට මම නිදහස
ඔන්දස්පොට් වෙනකල් නං ලැබුනේ නෑ නිදහස
සාම නෝන ආවත් නෑ ලංකාවට නිදහස
බෝම්බ වදිනව පාරක යන්නට බෑ නිදහස

මහින්ද ඇවිදින් දුන්නා ආයෙ අපට නිදහස
ටික දවසයි තිබුනෙ ඒත් මේ කියනා නිදහස
එයාගෙ ගෝලයෝ ඇවිත් අතට ගත්ත නිදහස
එයත් යවන්නට සිදුවුනි නැති හින්දා නිදහස

පොදු අපේක්ෂකයා විත් දෙන්න යලිත් නිදහස
තටමනවා විතරයි නෙව ලැබුනේ නෑ නිදහස
එයාගෙනුත් බැරිනම් ගන්නට ඕනෑ නිදහස
එයාට දෙන්නට වෙනවා ඊලඟවර නිදහස

ඕන්න ඔහොමයි මිතුරනි අපට ලැබෙන නිදහස
ලෙවන්න විතරයි කවදත් කන්නට නෑ නිදහස
පොඩි කොල්ලන්ගෙන් අහලා ලැබුනු දවස නිදහස
කොර කරන්න එපා උන්ට නැති කරලා නිදහස


පලි:
රයිටරයයි රීඩරයයි අරගෙන මගෙ නිදහස
ලියන්න කියවන්නට බෑ ඔලුවේ නෑ නිදහස
උන් දෙන්නාගෙන් ආයෙත් අරගෙන මගෙ නිදහස
පියඹා එන්නම් ජාලෙට රැගෙන කුරුළු නිදහස

පපලි: මේ ගැන සුපිරි පැහැදිලි කිරීමක් දමිත් කේතක ලියල තියනව. අනිවාර්යෙන් බලන්න ‍