Monday, May 25, 2015

මොනවද මේ EB?

ඊබී හෙවත් Efficiency Bar එග්සෑම් කියන්නෙ කාර්යක්ෂමතා කඩඉම් විභාග කියන එක. රාජ්‍ය සේවයේ ඉන්න හුඟ දෙනෙකුට මුහුණදෙන්න සිදුවන විභාග වර්ගයක් තමයි කාර්යක්ෂමතා කඩඉම් විභාග කියන්නෙ. රැකියාවලට අදාල ගැසට් නිවේදන වල තියන මේ වගේ ප්‍රකාශ හුඟ දෙනෙක් දැකල ඇති.

"මාසික වැටුප් පරිමාණය: 15005-180×10-260×12-320×8 ; 15725ට ප්‍රථම කාර්යක්ෂමතා කඩඉමකි...."

අපිට වැටුප් වැඩි වෙන්නෙ අවුරුද්දකට යම් මුදලක් වශයෙන්. මේ මුදල ආයතන ප්‍රධානියාගේ අනුමැතිය අැතිව ගන්න පුළුවන්. ඒ විදියට වැටුප් වැඩිවෙමින් යද්දි සමහර අවස්ථා තියනව විභාගයක් ලියල වැඩිවීම ගන්න වෙන. අන්න ඒ විභාග තමයි මේ කාර්යක්ෂමතා කඩඉම් විභාග කියන්නෙ. මේ විභාග වලට හුඟක් එන්නෙ වෙලාවට තමුන්ගෙ රාජකාරියට අදාල දේවල්ම තමයි. ඊට අමතරව රාජ්‍ය සේවය සම්බන්ධ පොදු කාරණ එහෙමත් එනව. කොහොම උනත් කාර්යක්ෂමතා කඩඉම් විභාග තියන එකෙන් වැඩි යමක් ඉගනගන්න පුළුවන්. ඊබී වල තියන අවුල තමයි අදාල කාලය තුල විභාගය පාස්කරගන්න බැරි වුනොත්, විභාගය පාස් වෙනකල් වැටුප් වැඩිවීම් නතර වීම. ඊටත් වැඩිය ලොකු අවුල තමයි නතර කල වැටුප් වර්ධක නැවත ලබාගැනීමට කවදාවත් නොහැකි වීම. මේ නිසා නිලධාරීන්ගේ ජ්‍යේෂ්ඨත්වට පවා පහල යන අවස්ථා එනව. ඒ වගේම උසස්වීමේ විභාග ආදිය‍ට ඉල්ලුම් කරන්න "නොකඩවා යම් වසර ගණනක් වැටුප් වර්ධක උපයාගත යුතුයි" කියන අවශ්‍යතාවය නැතිවීම නිසා ඒ කටයුතුත් අවුල් වෙනව.

පහුගිය කාලෙ වාර්ගික අර්බුදයට උත්තරයක් විදියට සිංහල අයට දෙමළ භාෂාවත් දෙමළ, මුස්ලිම් අයට සිංහල භාෂාවත් ඉගනගන්න නියමවුනා. මේකෙ ප්‍රතිපලයක් විදියට දෙවන භාෂාව ඉගනගෙන ඊට අදාලව පිලිගත හැකි විභාගයක් පාස් කිරිම අනිවාර්ය අවශ්‍යතාවයක් බවට පත්වුනා. ඒ මදිවාට ඔය කියන සමර්ථභාවය පෙන්වීම කාර්යක්ෂමතා කඩඉමක් බවටත් පත්වුනා. හැබැයි අපි රාජ්‍ය සේවයට එද්දි ඔයවගේ කේස් එකක් තිබුනෙ නැති නිසා පරණ අය වෙනුවෙන් මේ වගේ විභාගයක් මඟින් වැටුප් වැඩිකිරීම යම් අසාධාරණයක් බවත් කියවුනා. මේ නිසා අපේ කාර්යාලයෙත් හුඟක් අය දෙමළ විභාග ලියන්න පෙළඹුනා. එක්කෙනෙක් හිටිය විභාග සත පහකට මායිම් නොකල. විභාග කතාව ඇදිල එද්දිම එයා වෘත්තීය සමිතියක ඉන්න හිතවතෙකුට කෝල් කරනව.

"අයියේ දෙමළ වැඩේ මොකද?"

"තාම නෑ බං..... ඉහලට දාල තියෙන්නෙ....."

කාලයක් තිස්සේ ඇදිල ගිහිල්ල අන්තිමට තීන්දුව ආව පරණ අයට ඕන නෑ කියල. ඒ වෙද්දි සමහර අය විභාගෙ සමත් කරලත් තිබුන. දෙමළ ලියන්න කම්මැලි වෙච්ච එකා නිකංම ගොඩගියා.

දෙමළ ඊබී එකක් තියනව මේ තිස් එක් වැනිදා. අන්න ඒක දැකලයි මේ ටික ලිව්වෙ. ඊබී සම්බන්ධ කතන්දර කිහිපයක් තමයි මේ.

ඔන්න හිටිය සංඛ්‍යා ලේඛණ නිලධාරියෙක්. මේ උදවියට නං දෙවන භාෂාව සමත් වීම අනිවාර්ය කරල තිබුන අතීතයේ සිටම. මෙතනදි දෙවන භාෂාව කියන්නෙ තමන් අධ්‍යාපනය ලබපු භාෂාවට පරිබාහිර අනෙක් ප්‍රධාන භාෂාව. මේ කියන සංඛ්‍යා ලේඛණ නිලධාරියා මුස්ලිම් කෙනෙක්. නමුත් ඔහු විභාග පාස් කරල තියෙන්නෙ සිංහලෙන්. එතකොට එයාගෙ මව් භාෂාව වෙච්ච දෙමළ තමයි දෙවන භාෂාව. රාජ්‍ය භාෂා එකෙන් පවත්වන විභාගයට ලකුණු දෙන්නෙ ලිඛිත පරීක්ෂණයට සීයට හතලිහක් සහ වාචික පරීක්ෂණයට සීයට හැටක්. සීයට හතලිහෙන් සීයට හතලිහක්, ඒ කියන්නෙ ලකුණු දහසයක් ලිඛිත පරීක්ෂණයෙන් ලබාගත් අය වාචික පරීක්ෂණයට කැඳවනව. අනේ ඉතිං මව් බාසාවෙන් විභාගය ලියල ඉහලම ලකුණු ගත්ත අපේ මහත්තය ගියා සම්මුඛ පරීක්ෂණයට. ගිහිල්ල දෙමළෙන් ඇට්ටි හැලෙන්න දුන්න. පරීක්ෂණ මණ්ඩලයට පුදුමයි! විස්තර අහල බලද්දියි දැනගත්තෙ සිද්ධිය.

ඊලඟ කතන්දර ටික කිව්වෙ අපේ නෝන.
මේ විභාග වලදි විභාග ශාලාධිපති ඇතුළු පිරිස වැඩිය 'තදට' නීතිය ක්‍රියාත්මක කරන්නෙ නෑ. ඔන්න නර්ස්ලාට ඊබී එකක් තිබුනලු හෙද විදුහලක. එතන පාලනය ගෙනියන ප්‍රධාන නිලධාරිනියක් තමයි ශාලාධිපති. ඥාන පටි එහෙමත් කස්ටිය ලඟ තිබුනලු. එක පිරිමි නර්ස් කෙනෙක් උත්තරයක් දැනගන්න කියල තමුන්ගෙ ඉස්පිරිතාලෙට කෝල් එකකුත් ගත්තලු. අර ශාලාධිපතිනිය එද්දි ෆෝන් එක කට් නොකර සාක්කුවෙ දාගත්තලු. එහා පැත්තෙන් කතා කරන සද්දෙ මැඩම්ටත් ඇහෙනවලු.

"හරි හරි උත්තරේ අහගෙන ෆෝන් එක කට් කරන්න" කියල එයා කිව්වලු. තවත් වෙලාවක කෙටි ප්‍රශ්න වගයකට උත්තර ලියපු අංක සහිත කොල කෑල්ලක් එක නර්ස් නෝන කෙනෙක් ලඟට ආවලු. එයා ඒක ලියන අතරෙ ශාලාවෙ ඩියුටි ඉන්න මිස් කෙනෙක් ඇවිත් කොල කෑල්ල ඉල්ලල. අරය බයවෙච්ච පාර ඥාන පටිය හංගගත්තලු. ලඟට ආපු මිස් මෙහෙම කිව්වලු.

"ඔය කොලේ ගෙනල්ල දුන්නෙ මම, අනිත් අයටත් බලාගන්න දෙන්න"

හොඳම සීන් එක ඒක නෙවේ. ඔය රජයේ පොත්පත් වලට තියනව පොදු අංක. රෝගීන් ඇතුලත් කරන පොතක පොදු අංකය මොකද්ද කියල එක ප්‍රශ්නයක අහල තිබුනලු. කවුද ඕව බලන්නෙ, ඒ ගමන ගත්තලු ඉස්පිරිගාලෙට කෝල් එකක්.

"ඔය ඇඩ්මිෂන් බුක් එකේ අංකෙ මොකද්ද කියන්න?"

"අටදාස් හත්සිය දෙක" එහා පැත්තෙන් උත්තරේ ලැබුනලු. උත්තරේ ලියල ඇවිල්ල බලද්දි අංකෙ ඒක නෙවේලු. ඒ ගමන කතා කරපු කෙනාගෙන් ඇහුවලු මොකද්ද කරපු වැඩේ කියල.

"ඇඩ්මිෂන් අංකෙ නේද ඇහුවෙ? ඔයා කතා කරපු වෙලාවෙ තිබුන අංකෙ තමයි කිව්වෙ" එයා කිව්වලු.

බැලින්නං කියල තියෙන්නෙ රෝගියා‍ ලියාපදිංචි කරන්න දෙන අංකෙ!

මේව සමහර වෙලාවට විතරයි වැඩ කරන්නෙ. සමහර උදවියගෙන් නං කිසිම උදව්වක් නෑ. අපේ ඔපීසියෙ නෝනල ටිකක් ඊබී ලියන්න ගිය වෙලාවක එතන ශාලාවෙ ඉඳල තියෙන්නෙ ගුරුවරු ටිකක්. කිසිම චාන්ස් එකක් දීල නැතුවා මදිවට එනකොට කිව්වලු මෙහෙම,

"අපිට ඔයාල සලකන්නෙ නෑනෙ.... අපේ ඉන්ක්‍රිමන්ට් එකවත් හදල දෙනවද! ඔයාලට අපි සලකන්නෙ නෑ"


Thursday, May 21, 2015

ප්‍රතිපාදන වලින් කෙරෙන නීත්‍යානුකූල අල්ලස්!

පහුගිය දවසක මෛත්‍රීපාල ජනාධිපතිතුමා කරපු අපූරු ප්‍රකාශයක් කණට වැටුන. විමධ්‍යගත අයවැය මන්ත්‍රී ප්‍රතිපාදන වලින් කරන සන්තෝසම්/අල්ලස් නවත්වනව කියල. කරනව නං ඒක බොහොම ප්‍රගතිශීලී වැඩපිලිවෙලක්. මෛත්‍රීපාල බොස් මේ වගේ වටිනා කතා කියපු මුල් අවස්ථාව නෙවේ මේක. මහලොකු ඇකඩමික් පොරක් නොවුනට පරිපාලනය ගැන ඔහුගේ තියන ආකල්ප අනෙකුත් නායකයන්ට සාපේක්ෂව හොඳයි කියන්න පුළුවන්. ඒ ජාතියෙ කතාවක් මුලින්ම ඔහුගෙන් දැක්කෙ අමාත්‍ය මණ්ඩලය පත්කරපු වෙලාවෙද කොහෙද කියපු කතාවකින්. එතනදි ඔහු කිව්වෙ යම් යම් ආයතන වල සිද්ධවෙන දේවල් වලට වගකියන්න ඕන ඉහල ඉන්න උදවිය මිසක් පහල ඉන්න උදවිය නෙවේය වගේ කතාවක්.

අපේ අවධානයට යොමුවෙච්ච මෛත්‍රීපාල මහත්තය කිව්ව කතාව තමයි ඔය ප්‍රතිපාදන අල්ලස්. මොනවද මේ ප්‍රතිපාදන අල්ලස් කියන්නෙ?
පාර්ලිමේන්තු, පළාත් සභා සහ පලාත් පාලන නියෝජිතයන්ට සංවර්ධන වැඩ වෙනුවෙන් යම් මුදලක් වෙන් වෙනව. තමන් ඉන්නෙ කොතනද කියන එක අනුව මුදල වෙනස් වෙනව. මේ ප්‍රතිපාදන වලට මොකද වෙන්නෙ?
මේව තනිකරම වගේ යෙදවෙන්නෙ මන්ත්‍රීවරුන්ගෙ ඊනියා 'සංවර්ධන' වැඩ වෙනුවෙන් තමයි. මොනවද මේ සංවර්ධන වැඩ?
හෙන්චයියන්ට මුදල්/භාණ්ඩ ලබාදීම. තමන්ටම මුදල්/භාණ්ඩ ලබාගැනීම! එහෙම පුළුවන්ද?

පළාත් පාලන ආයතන ගැන නං දන්නෙ නෑ. ඒව එයාල හරහාම කෙරෙනව ඇති. නමුත් අනෙක් දෙගොල්ලගෙ මුදල් නං වියදම් කරන්න පුළුවන් වෙන්නෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා. වැඩේ වෙන්නෙ මෙහෙමයි. ඔන්න අපි හිතමු කිරි ඉබ්බන්දෙනියෙ තියනව මරණාධාර සමිතියක්. මේ සමිතියට ඕන වෙනව මඩුවක් හදාගන්න ටකරං කොල ටිකක්. ඔන්න ගිහිල්ල කියනව "හිච්චිපුතා" මන්ත්‍රීතුමාට. එයා තමුන්ගෙ ප්‍රතිපාදන වලින් ගානක් වෙන්කරල දෙනව මේ වැඩේට. ඊට පස්සෙ මේ ඊනියා සංවර්ධන යෝජනාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එනව. අපි තමයි එයාට ටකරං කොල අරන්දෙන්නෙ. වගකීම අපි වගේ රජයේ සේවකයන්ට. ‍බැලූ බැල්මට මේකෙ අවුලක් නෑ වගේ උනාට අවුලක් තියනව.

ග්‍රාම සංවර්ධන සමිති, සමෘද්ධි සමිති, මිතුරු සමාජ, ලදරු පාසල් හෙවත් පූර්ව ළමාවිය මධ්‍යස්ථාන, මරණාධාර සමිති, ක්‍රීඩා සමාජ, ගොවි සමිති, පන්සල්, පල්ලි, කෝවිල්, පාසල්.... ආදී අටෝරාසියක් වූ සමිති සමාගම්-ආයතන වලටයි මේ ආධාර යන්නෙ. මුදලින් දීම තහනම්. බඩුභාණ්ඩ වලිනුයි දෙන්න ඕන. ඊට අදාල ටෙන්ඩර් කටයුතු කරන්නෙ අපි.

යෝජනාව සම්මතවුනාට පස්සෙ ඒ බව දන්වන ලියුම් කඩදාසිය එන්නත් කලින් සමිති සමාගම් වල කස්ටිය අපි ලඟට එනව. සමහර වෙලාවට එයාල මන්ත්‍රීතුමාගෙ ලඟට ගිහ වෙලාවයි යෝජනාව සම්මත වෙච්ච වෙලාවයි අතර කාලය දික් වෙනකොට ඉල්ලන බඩු වෙනස් කරනව. යෝජනාවෙ තියෙන්නෙ ටකරං. ඇවිල්ල අහනව වහල නං ගැහුව වතුර බූලියක් ගන්න බැරිද කියල. එහෙම වෙලාවට ඉතිං ආයෙත් පාර්ලිමේන්තුවට හරි පලාත් සබාවට දාල හරි යෝජනාව සංශෝධනය කර ගන්න වෙනව. ඒකත් අවුලක් නෑ කියමුකො.

මේ මන්ත්‍රීවරුන්ගෙන් යමක් ගන්නව කියන එක ගලකින් පට්ටයක් ගන්නව වගේ වැඩක් නෙව. තමුන්ටත් උපකාරයක් නැත්තං එයාලගෙන් ගැනිලි බොරු. අනිත් අත‍ට ඔය සමිති සමාගම් පන්සල් ආදියේ ඉන්නෙ දේශපාලන ගැත්තො කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ. හරි අයියල අක්කල තමයි ඉන්නෙත්. මේ ‍ගොල්ල මැදිහත් වෙනව ටෙන්ඩර් කැඳවන වෙලාවට.

"මහත්තය අපිට කිට්ටුයි අහවල් කඩෙන් ගන්න පුළුවන් නං..... ගෙනියන්නත් පුළුවන්නෙ" කට්ටියක් එනව ඒ ජාතියෙන්.

"මහත්තය, බඩු නං හැමතැනම තියනව.... ඒත් අහවල් කඩේ නං බඩු හොඳයි..... ඔරිජිනල් බඩු තියෙන්නෙ එතන විතරයි..." තවත් කට්ටියක් එහෙම කියාගෙන එනව.

"ඇත්තම කියන්න මහත්තයෝ දානසාලාව නං හැදුව අමාරුවෙන්...මගේ සල්ලි ටිකකුත් දාල..... සල්ලි ටික ගන්න පුළුවන් නං හොඳයි..... අහවල් කඩේට චෙක් එක ලියාගන්න පුළුවන් නං...... වැඩේ ලේසියි" බොරු නොකියන හාමුදුරුවරු කියන්නෙ එහෙම.

"මහත්තයා..... මේ කතා කරන්නෙ අහවල් මන්ත්‍රීතුමා..... මගේ අර සල්ලි ටිකක් පාස් වෙලා තියනව බඩු ටිකක් බෙදන්න..... පහුගිය දවසක බඩුටික නං දුන්න..... මේ.... අහවල් කඩේට චෙක් එක ලියල දෙනවද?" ඒ ලැජ්ජා නහරෙ කපාගත්ත පලාතෙ මන්ත්‍රීතුමා.

තව තව කතා තියනව මේ ගැන. නමුත් මේ හුඟ දෙනෙක් එන්නෙ බඩු වෙනුවට සල්ලි ගන්න බලාගෙන. අවංකවම බඩු ගන්න එන අයත් ඉන්නව. ඒ මම අර කිව්ව සමිති වල ඉන්න සභාපතිලා ලේකම්ලා....වගේ නිලලත් උදවිය. උදාහරණයක් විදියට ගොවි සමිතියට දෙන වතුර මෝටරය තියෙන්නෙ සභාපතිගෙ ගෙදර පෞද්ගලික පරිභෝජනයට. ලදරු පාසලට හොඳ සෙටප් එකක් ගත්තම ඒක ඉතිං පාලිකාවගෙ ගෙදර මිසක් වෙන කොහේ තියන්නද? [මේ ලදරු පාසල් වගේ පෙද්ගලික ආයතන වලට කරන ප්‍රදාන නං ඉතාම අනවශ්‍ය දෙයක්. එහෙම නං ටියුෂන් පන්ති වලටත් දෙන්න බැරියැ].

මම ඉහලින් කිව්ව ඉල්ලීම් දිනාගන්න බැරිවුන ගමන් ඔය මිනිස්සු සාහසික වෙනව. ප්‍රතිපලය වෙන්නෙ නිලධාරීන්ට මාරුවීම් තර්ජන වගේ දේවල්. එහෙමත් නැත්තං අපිට ඕන භාණ්ඩ අරගෙන දුන්නම පෙත්සම් ගහන්න පුළුවන් බාල බඩු අරගෙන දුන්න කියල. ඊට පස්සෙ ඒ වෙනුවෙන් වග උත්තර බඳින්නත් වෙන්නෙ නිලධාරීන්ට. ඔය සියළු ආපදා වලින් බේරිලා මොනව හරි අරන් දුන්නත් ඒවා විකුණාගෙන කන මිනිස්සු ඕන තරම්. ඒ නිසා මේ වෙනුවෙන් දරන වියදම් වලින් සීයට පහක්වත් ප්‍රයෝජනයක් නෑ කියල කියන්න පුළුවන්.

ජනාධිපතිතුමා කිව්ව උනත් මේ වැඩේ කරන්න පුළුවන්ද කියන එක නං සැකයි. මොකද මේක විශාල පරිමානයේ ජාලයක් නිසා. ලංකාවේ දේශපාලනය බැඳිල තියෙන්නෙ අල්ලස්-කප්පම් එක්ක. ඡන්දය දිනන්න නං බඩු බෙදන්න වෙනව. බඩු බෙදන්නෙ මේ විදියට තමයි. ඡන්දෙ කාලෙට බෙදන්නත්, ඡන්දෙ නැති කාලෙට කලින් බෙදපු බඩු වල සල්ලි ඉල්ලන්නත් ලැජ්ජා නැති දේශපාලකයන් ඉන්න මෙහෙව් රටේ මොකද වෙන්නෙ කියල බලං ඉන්න එකයි කරන්න තියෙන්නෙ.

Tuesday, May 19, 2015

"සැමරුම්" ම‍ගේ ඇසින්.....

යුධ නිමාව සැමරුම ගැන ලිපි බොහෝය. ආවරණය වියයුතු බොහෝ පැති ඔවුහු ආවරණය කර ඇත. මේ, යුද්ධය හෝ එය අවසානවීම පිළිබඳ මගේ සංක්ෂිප්ත අදහසයි.

ඕනෑම ආකාරයක කලහයක්/කැරැල්ලක්/යුද්ධයක්/ත්‍රස්තවාදයක් හෝ එය නැවැත්වීමක් යනු වාර්ෂිකව සැමරිය යුත්තක් නොවේ. යුද්ධය අවසන් වීම යනු සියළු ජාතීන්ට අස්වැසිල්ලක් වූ මොහොතක් බැව් සැබෑය. එහෙත්, සැමරීම් පිටුපස ඇති කටුක යතාර්ථය අවබෝධ කරගැනීම වඩා වැදගත්ය.

රටක් ලෙස අප සිටින්නේ බෙදුම්වාදී කණ්ඩායමක් යුධමය ලෙස පරාජය කර ඇති, එහෙත් තවමත් බෙදුම් වාදය මුළුමනින්ම පරාජය නොකල වටපිටාවකය. අප සිටින්නේ, විශාලම ජාතීන් දෙක අතර ඇතිවූ යුද්ධය අවසානයේ ජාතීන් අතර සමඟිය බලාපොරොත්තුවෙන්ය. පරාජිතයන්ගේ සැමරුම් වලට ඉඩ නොදෙන අප ජයග්‍රහණය සමරන්නේ, අපේ ජයග්‍රහණයට මුල් වූ ආයුධ, සෙබලුන් ඇතුළු සියළු ශක්තිය විදහාලමින්ය.

මීට විරුද්ධව එන ප්‍රධාන තර්කය වන්නේ විජයග්‍රාහිව සමරන්නේ යුධ අවසානය බවත්, ත්‍රස්තවාදීන් මිස දෙමළ ජනයාට සිංහල යුධ සැමරීම අවුලක් වියයුතු නැති බවත්ය. එහෙත් අප අවබෝධ කරගත යුත්ත නම් ත්‍රස්තවාදීන් හා සාමාන්‍ය ජනතාව එලෙස සරළ බෙදීමකින් වෙන්කල නොහැකි බවයි. මෙය හරියටම ගමක සිටින කරදරකාරී මැරයෙකු-චන්ඩියෙකු ඝාතනය වූ විට ඇතිවන තත්වයට සමාන තත්වයකි. මැරයා කොතෙක් කරදරකාරී වුවද ඔහුගේ මරණ ගෙදර වල කැපීමට නොපැකිලෙන, වාර්ෂික දානයට ගොස් ‍බන අසනවා විනා මරණය සැමරීමට කටයුතු නොකරන ජාතියකි අප.

අප අතර සිට මියගිය ජවිපෙ සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල තත්වය අවබෝධ කරගැනීම බොහෝ දෙනෙකුට‍ අපහසු නොවේ. අඩුම තරමින්, මියගියවුන් ජේවීපී කාරයන් ලෙසත් ඔවුන්ගේ මෝඩකමට ආණ්ඩු පෙරලන්නට ගොස් ඝාතනය වූ බවත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ වරදක් නොමැති බවත් කල්පනා කිරීමට හැකියාව අැත්තවුන් උතුරේ තත්වය ඉරි ගසා වෙන් කිරීමට හැකි යැයි සිතීම අවාසනාවකි.



වසර හයකට පෙර සුන්දර නිහතමානි ද මැල් කියූ අනාවැකියේ සත්‍යතාවය නියමිත කාලයටත් කලින් සනාථ වන අයුරු නිරීක්ෂණය කලහැකිය. එහෙත් මෙරට ජාතීන් අතර සමඟිය දැකීමට ඔහුගේ මුනුබුරාට පවා හැකිවේදැයි සැක සහිතය.

තවත් සැමරුම්,
චාමි සෑම්, රසික සූරියආරච්චි, සුජීව කොකාවල, මාතලන්, සුදාරක, රවී, නිරංජන්, පැතුම් හේරත්

Thursday, May 14, 2015

අපි වෙනුවෙන් නොව තොපි වෙනුවෙන් වත්.........

මේ දිනවල හොරු ඇල්ලීම පිළිබඳ කතා බොහෝය. හිටපු ජනාධිපතිවරයා ගිය ගිය තැන කනිපින්දම් කියන්නේ හොරු ඇල්ලීමේ නාමයෙන් තමන්ගේ පවුලේ සාමාජිකයන්ගෙන් සහ අඹ යාළුවන්ගෙන් පලිගන්නා බවයි. හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලය තුල ඔහු තම දේශපාලන ප්‍රතිවාදීන්ට සැලකූ ආකාරය මේ වනවිට අමතක වී ඇතැයි අපට සිතිය හැකිය. පෙර පැවති පාලකයන්ට සාපේක්ෂව මහින්දගේ පාලන කාලය තුල කැපීපෙනුන දුර්දාන්ත ලක්ෂණ තුනක් හඳුනාගත හැකිය. එකක් පවුල් පාලනයයි. මින් පෙර පවුල් පාලන අවස්ථා ඕනෑ තරම් පැවතියද එය උපරිම තත්වයට පත්වූයේ මහින්දගේ කාලයේදීය. දෙවැන්න දූෂණයයි. සංවර්ධනයේ නාමයෙන්, පසුගිය වසර නවය තුල සිදුවූ දූෂණයන් තරම් දූෂණ ප්‍රමාණයක් මෙතෙක් කිසිදු ආණ්ඩුවකින් දැකගත නොහැක්කක් විය.

අපේ අවධානයට ලක්වන 'දේශපාලන පලිගැනීම්' තෙවැන්නයි. දේශපාලනයේදී ඔහු අනුගමනය කරන ලද්දේ ප්‍රතිවාදීන් තමන්ගේ ඔඩොක්කුවට බාගැනීමයි. එසේ කල නොහැකි වූවන් හට ජීවිතය අපායක් කිරීමට ඔහු සමත් විය. මෙහි පළමු උදාහරණය සරත් ෆොන්සේකාය. ඒ පිළිබඳ අමුතුවෙන් කතා කිරීම අනවශ්‍යය.
ජනාධිපති මහින්ද මීට ටික කලකට පෙර රැස්වීමකදී අපූරු ප්‍රකාශයක් කලේය. ඒ ඔහුගේ පලිගැනීම් පිළිබඳ විපක්ෂ දේශපාලනඥයන්ගේ විවේචනයකට පිළිතුරු වශයෙනි. එහිදී ඔහු අවඥාවෙන් සඳහන් කලේ විපක්ෂය කුඩා දරුවන් මෙන් හැසිරෙන බවත් දේශපාලනයේදී ඕනෑම දෙයක් බලාපොරොත්තු වියයුතු බවත්ය. දැන් ඔහුගේ ප්‍රකාශය ඔහු කරා පැමිණි විට ඔහුට හැකිවන්නේද 'කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි' ආකාරයේ හැසිරීමක් පෙන්වීමට පමණි.


මේ අතර තමන්ව අත්අඩංගුවට ගැනීම වලක්වාලීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල පෙත්සමෙන් ඔහුට සහනයක් ලැබී අැති අතර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශ හා ජාතික විධායක සභාව ආදියේ නෛතික තත්වයද අභිියෝගයට ලක්වී ඇත.

මේ වනවිට අප රට පත්වී අැත්තේ 'හොරු ඇල්ලීම' හා 'දේශපාලන පලිගැනීම්' වෙන්කරන සීමාව තියුණුව පරීක්ෂා කරන තත්වයකටය. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වැනි විශේෂිත ආයතන පිහිටුවීම හා පාලනය කිරීම ඉතාමත් පරීක්ෂාකාරීව සිදුකල යුත්තකි. එසේ නොවූ විට හොරු සහ දේශපාලන සිරකරුවන් වෙන්කල නොහැකි තත්වයට පත්වන අතර, මාංචු සහිත දෑත් උස්සා පෙන්වමින් 'නෙල්සන් මැන්ඩෙලා රංගනය' විදහා පෙන්වීමට හොරුන්ටද ඉඩ සැලසෙනු ඇත.

රටක සාමාන්‍ය නීතියට පරිබාහිරව ගෙන එන නීති-රෙගුලාසි, අනපනත්.... ආදියත්, නීතිය රැකීමට විශේෂයෙන් පිහිටුවන පොලිස් හෝ හමුදා ඒකක ආදියත් කියාපාන්නේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කරවීමේ ලා අදාල අංශ දක්වන දුර්වලතාවය මිස අන් යමක් නොවේ. අතීතයේ ක්‍රියාත්මක කල 'හදිසි නීතිය', මාධ්‍ය දඩයම වෙනුවෙන්ම ගෙන ආ 'සාපරාධී අපහාස නීතිය' ආදිය මීට හොඳ උදාහරණ වේ. 88-89 කාලයේ ආණ්ඩුවෙන් ඇතිකල ඊනියා 'ආරක්ෂක' කණ්ඩායම් තරගයට මිනීමැරීම් සිදුකල ආකාරය අපට අමතක නැත. මෙවන් නීති-ඒකක තුලින් කිසියම් හෝ අවස්ථාවක 'දඩයම්' සිදුවිය හැකිය. සාමාන්‍ය නීතිය සියල්ලට ඉහලින් වැදගත් වන්නේ එබැවිනි.

ලංකාවේ දේශපාලනය පරීක්ෂා කිරීමේදී එක් ආණ්ඩුවකින් සිදුකරන 'හොඳ' කෙසේ වෙතත් 'නරක' ඉදිරියට ගෙනයාම ඊලඟ ආණ්ඩුව අනිවාර්යෙන් සිදුකරන බැවින් ඉදිරි කාලයේ දේශපාලන පලිගැනීම් සුලභ විය හැකිය. අද සිරගෙවල සිටින්නන් හෙට රජගෙදරට යන විට අද රජගෙදර සිටින්නන් හෙට සිරගෙවල සිටිය හැකිය. මෙයට විසඳුම වන්නේ රටේ නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු වැඩපිලිවෙල සැකසීම පමණි. එවිට පොලීසිය සහ උසාවිය රටේ නීතිය රැකීමට ප්‍රමාණවත් වනු ඇත.

ස්වාධීන කොමිෂන් සභා ඇතුළු, දහනව වන සංශෝධනයෙන් ගෙන ආ ව්‍යවස්ථාව බලාත්මක කරගැනීම රට හමුවේ ඇති මූලික කාර්යක් වන්නේ මෙම තත්වයන් යටතේය. ව්‍යවස්ථා සංශෝධනය සම්මත කල පමණින් ප්‍රශ්න විස‍ඳෙන්නේ නැත. මූලිකව ව්‍යවස්ථාදායක සභාව පිහිටුවා අනෙකුත් ආයතන වලට නියෝජිතයන් පත්කිරීමට බලකල යුතුය. රටේ ජනතාව තමන්ගේ නිදහස-ස්වාධීනත්වය වෙනුවෙන් කලයුතු බලපෑම, දැනට විපක්ෂයේ සිටින එකසිය ගණනක් වූ පාර්ලිමේන්තු නියෝජිතයන්ද කලයුතුය. ඒ සිරගත වීමෙන් ආරක්ෂා වීමටය. අපට කීමට ඇත්තේ අපේ නිදහස වෙනුවෙන් නොව තොපේ නිදහස වෙනුවෙන් රටේ නීතිය ආරක්ෂා කිරීමට කටයුතු කරපල්ලා යනුවෙන් පමණි.

Monday, May 11, 2015

නෝනගෙ වයස! (18+)







ඇමරිකාවෙ පොඩි නගරෙක - හිටියලු හැඩ නෝන කෙනෙක්
ජෙනීටාය ඇගෙ නම - ඇය හරි සිරියාවයි

කාලය හරි වේගෙන් විත් - අවුරුදු හතලිහක් ගෙවී
ජෙනීගෙ ලස්සන රූපය - දැන් ටිකක් අවුල්

රූපේ අවුලට විසඳුම - හොයාගන්න හිතිල ඇයට
ගියාලු වැල වරක කරන - දොස්තර ලඟට‍

මුහුණට මේදය ගහලා - 'පස්සට' සිලිකන් ගහලා
ඉස්සුවාලු රන තිසරුන් - දහ අටේදි වාගේ

ගෙදර ආපු ගමන් ජෙනී - කන්නාඩිය ලඟට ගිහින්
බැලුවා තම ලස්සන රුව - දශකයකට කලින් වගේ

මගේ පෙනුම දැන් කොහොමද - කොච්චර වයසක් පෙනේද
කාගෙන් හරි අහල බලල - දැනගන්නම ඕනේ

එහෙම හිතපු ජෙනී ගියා - පීසා විකුණන කඩයට
කැෂියර් කොලුවාගෙන් - ඇගෙ වයස විමසුවා

නෝනට ඒ හැටි වයසක් - තියෙන්න විදියක් නෑනේ
තිහක් තිස් දෙකක් වාගෙ - කොලුවා කිව්වා

නෑ අයියෝ මගේ වයස - හතලිහක්ම වෙනවා දැං
බොහෝම සතුටෙන් ජෙනීව - කොලුවට කිව්වා

පීසා කඩයෙන් එලියට - ඇවිල්ල බැහැලා පාර‍ට
කේඑෆ්සී එකට ගිහින් - කැෂියර්ගෙන් ඇහුවා

සමාවෙන්න මහත්මයා - පුළුවන් නම් මට කියන්න
මගේ වයස, කියන්න බෑ - කීයක් ඔට්ටුද?

ඔය ළමයට තිහකට වැඩි - වෙන්නට බෑ දැනට වයස
පේන්නෙ නං එහෙම තමයි - කීයද වයස?

මගේ වයස හතලිහක්ය - පේන්නෙ නෑ නේ එච්චර?
දැං නං හරි වගේ සැකේ - ජෙනීට සතුටුයි

පාක් එකට ඇවිත් ජෙනී - වාඩිවුනා බංකුවකින්
මහත්තයෙක් විත් අනෙක් පසින් - වාඩිවුනා

මේ මහත්තයගෙනුත් මගෙ - වයස අහල බලමුකො දැං
ඔහුට වයස කීයක් මගෙ - පෙනේද කියලා

මහත්මයා ඔබට හැකිද - මගේ වයස පවසන්නට
ජෙනීගෙ ප්‍රශ්නෙට මහතා - මේ ලෙස කිව්වා

පිට පෙනුමෙන් බැලුවට බෑ - කෙනෙකුගෙ වයසක් කියන්න
ඒකට නියමිත ක්‍රමයක් - මා ලඟ ඇත්තේ

'මීය' යවල 'ගුල' ඇතුලට - පුළුවනි මට කියන්න එය
නෝන කැමති නං ඒකට - යමු පඳුරක් ලඟට

මේ මොකද්ද මේ කියන්නෙ - එහෙම කියන්නේ කොහොමද
ජෙනීට හරි කුතුහලයකි - එය දැනගන්න

මල් පඳුරක් ලඟට ගිහින් - කිව්වා රහසින් ඔහු හට
ඕන දෙයක් කරලා මගෙ - වයස කියන්න

කාරිය අවසන් කරලා - වත දහදිය පිසදාලා
නෝනට හතලියහි කියා - මහත්තයා කිව්වා

වයස අනේ හරියටට හරි - කොහොමද හරියට කිව්වේ
හැම දෙනාම මගේ වයස - වරද්දලයි කිව්වේ?

පීසා කඩයෙදි වගේම - කේඑෆ්සී පෝලිමේත්
ඔයාගෙ පස්සෙන් හිටියේ - කවුද දන්නවාද?


[(වල්)කයි කතා ලියන මදාවියා හෙවත් මධුමාධවීගෙ බ්ලොග් එකේ කඩඉමක් වෙනුවෙන්.....]

Tuesday, May 5, 2015

ඩිලාන් ඇමතිතුමාට මහ රෑ ආපු කෝල් එක

කාර්යබහුල සතිය අවසන් වේගෙන යන මහ රෑ ජාමෙ ඩිලාන් ඇමතිතුමා නෝන එක්ක සයනයේ......,

ට්‍රීං ට්‍රීං......ට්‍රීං ට්‍රීං......ට්‍රීං ට්‍රීං......

"කවුද යකෝ මේ මහරෑ කතා කරන එකා...?" මල පැනපු ඇමතිතුමා ඇහුව.

"බලන්න කවුද කියල.... මේ නම්බරේ දන්නෙ ලඟම අය විතරයිනෙ" නෝන ඇමතිතුමාව කූල් ඩවුන් කරන්න බැලුවෙ.

"හෙලෝ.....?"

"හෙලෝ..... තාත්තී වැඩට ගිහිල්ල ආවද? ටීච දුන්න හෝම් වර්ක් වගයක්....උත්තර අහගන්නයි කතා කලේ....." රෝන් නම්බර් එකක් උනත් කතා කරන්නෙ පොඩි එකෙක් නිසා ෆෝන් එක තියන්න හිතුනෙ නෑ. අනෙක මහින්ද මහත්තයත් ලමයින්ට ආදරෙයිනෙ.

"හරි! දැං මොනවද පුතාට දැනගන්න ඕන කරන්......න්‍ෙ?" ඇමතිතුමා ඇහුව.

"තාත්තී මට දැනගන්න ඕන ආණ්ඩුවක් කියන්නෙ කවුද කියල....." පොඩ්ඩ ඇහුව.

"ආන්ඩුවක් කියන්නෙ අපිනෙ....ආ....නෑ වැරදුනා.... පුතා ආන්ඩුව කියන්නෙ රට පාලනේ කරන කට්ටියනෙ..... ඔව් ඔව්....රට පාලනේ කරන කට්ටිය තමයි ආණ්ඩුව කියන්නෙ.... ඔය ජනාධිපති, අගමැති, ඇමතිවරු.... ඒ කට්ටිය තමයි"

"එතකොට තාත්තී ආණ්ඩුවෙ ඉන්නෙ කවුද?"

"ඉන්නෙ අර කියපු කට්ටිය තමයි.....ජනාධිපති අගමැති ඇමතිල නියෝජ්‍ය ඇමතිලා.... ඒ කට්ටිය"

"එතකොට තාත්තී පිනා ආණ්ඩුව කියන්නෙ?" පොඩි එකාගෙ ප්‍රශ්නෙට ඇමතිතුමා කොරවුනා.

"පුතා කොහෙන්ද ඕව ඉගනගත්තෙ? කවුද මේව ලියාගෙන එන්න කියල කිව්වෙ?"

"නෑ නෑ තාත්තී ඒ ටික නිකං දැනගන්න ඇහුවෙ?"

"පිනා ආණ්ඩුව කියන්නෙ පුතේ මේ දැන් තියන ආණ්ඩුව වගේ එකක්නේ..... ඡන්දෙන් පත්වෙලා නෙවේ.... ඔහේ පිනට පත්වෙච්ච කට්ටියනෙ ඉන්නෙ ඒකයි!"

"එතකොට තාත්තේ පිනා ආණ්ඩුවට පත්කරපු ඇමතිවරු පිනා ඇමතිවරුද?"

"ංඈ....? නෑ නෑ ආ... ඔව් ඔව්.....එහෙම තමයි ඉතිං...... එහෙම වෙන්නෙපැයි නේද.....?" ඒ එක්කම එහා පැත්තෙන් ඇහුන කොලුවගෙ වොයිස් එක වෙනස් වුනා.... කොලුවෙක් වෙනුවට ඇහුනෙ ගොරෝසු පිරිමි කටහඬක්....

"ඒ කියන්නෙ ඇමතිතුමා ඔබතුමත් පිනා ඇමතිකෙනෙක් නේද?"

"ක.. ක.. කවුද උඹ.... උඹෙ %^#^$*(*^)&(%^$$^&$()&%$^#$%@@@@%^^(&(^*%&^%*^"

"ඇයි ඇයි මේ මහරෑ කුනුහරුපෙන් කෑගහන්නෙ...? හීනයක්වත් දැක්කද? ඔච්චර පිරිත් නූල් දාලත්..... අනේ මංදන්නෙ නෑ...."