Thursday, February 28, 2013

ටෙන්ඩර් (පළමු කොටස)

"රාජ්......කෑමට ගියාම ඉරිද පත්තරයක් ගෙනෙං, ප්‍රසම්පාදන දැන්වීම් තියන" අංශයේ ප්‍රධානියා වූ ගණකාධිකාරීවරයා රුපියල් සියයක්ද දිගුකරමින් මාහට පැවසීය. එදා සෙනසුරාදා දිනක් බැවින් ඉරිදා පුවත්පත් පරීක්ෂා කර එකක් රැගෙන එන ලෙසය ඔහු පැවසුවේ.
"ප්‍රසම්පාදන දැන්වීම්?" මා විමසුවේ ප්‍රශ්නයක් ලෙස නොව තහවුරුවක් ලබාගන්නා ප්‍රකාශයක් ලෙසය.

"ඔව් ඔය තියෙන්නෙ පත්තරවල ඕන තරං"

පුවත්පත් ලෑල්ලට ගොස් "ප්‍රසම්පාදන" සෙව්වද කිසිවක් සොයාගත නොහැකිවිය. යලි ගණකාධිකාරීවරයා ඇමතුවෙමි.

"සර් ප්‍රසම්පාදන දැන්වීම් නෑනේ....."

"නෑ? වෙන්න බෑ. සිළුමිණේ බලපං..... ටෙන්ඩර් දැන්වීම් හැම පත්තරේකම වගේ තියනවනේ"

"අම්මට $@%^*! සිංහලෙන් කිව්වනං ටෙන්ඩර් කියල ගේනවනෙ" ඒ මා හිතෙන් දුන් පිළිතුරයි.
"හරි සර් මං බලන්නං"

ඒ නොදන්නාකම වසන්කිරීමට ගියවිට ඇතිවන ප්‍රශ්නය. ඉන් පසු කලෙක කාර්යාලයේ මිලදීගැනීම් රාජකාරී මාහට පැවරුන හෙයින් ප්‍රසම්පාදනය ගැන පූර්ණ දැනුවත් භාවයක් ලබාගැනීමට හැකිවිය.

මේ කියන්නට යන්නේ ප්‍රසම්පාදන හෙවත් ටෙන්ඩර් ගැනත් ඒ ආශ්‍රිත මගේ අත්දැකීම් ගැනත්ය.

මා මුල් කාලයේ ලියූ ගව මාංශ ප්‍රශ්නයේදී මා පැහැදිලි කල පරිදි ප්‍රසම්පාදනය යනු "හොඳ සැපයීමයි". [මා කියවා ඇති අත්පොතක සටහන් වූයේ එලෙසය. ප්‍ර=හොඳ ලෙසද යන්න එතරම් පැහැදිලි නැතත් මුළු වචනය සැලකූ විට නිවැරදි බව කිවයුතුය].

ටෙන්ඩර් යන්න සරළව මෙසේ පැහැදිලි කල හැකිය.
රජයේ ආයතනයකට යම් භාණ්ඩයක්-සේවාවක් ලබාගැනීමට අවශ්‍ය වූයේ යයි සිතන්න. ගෙදරකට යමක් මිලදී ගන්නේ නම් නිවැසියන් සාප්පු කිහිපයකට ගොස් අතැති මුදලට වටිනා භාණ්ඩය ලබාගත හැකිය. එහෙත් රාජ්‍ය ආයතනයක මෙම ක්‍රියාවලිය 100%ක් නිවැරදිව මෙන්ම විනිවිද පෙනෙන ආකාරයට සිදුකල යුතුය. එහිදී එක් අයෙකු හෝ කිහිප දෙනෙකු වෙළඳපොලෙන් මිලදීගැනීම් සිදුකලාට හරියන්නේ නැත. මේ හේතුව නිසා මිලදීගැනීම් සිදුකිරීමට සකස් කර ඇති ක්‍රියා පටිපාටියකි "ටෙන්ඩර්" යනු.

රාජ්‍ය අංශයේදී ප්‍රසම්පාදනය කොටස් තුනකට බෙදේ. එනම්,
1.භාණ්ඩ- භාණ්ඩ යනු යම් භාණ්ඩ හෝ උපකරණ මිලට ගැනීමයි.
2.සේවා- එනම් පිරිසිදුකිරීම් සේවා ප්‍රවාහණ සේවා ආදියයි.
3.වැඩ- ගොඩනැඟිල්ලක් කඩා ඉවත් කිරීම වැනි දෑය.


ක්‍රියා පටිපාටිය සිදුවන ආකාරය උදාහරණයක් මඟින් පැහැදිලි කරමු.
A නම් රජයේ කාර්යාලයට පරිගණක යන්ත්‍රයක් මිලදීගැනීමට අවශ්‍ය වේ. පලමුවෙන්ම පරිගණක මිලදීගත හැකි ස්ථාන සොයාගෙන එම ආයතන වලින්, බලාපොරොත්තු වන මට්ටමේ පරිගණකයක් ලබාදිය හැකි අවම මිල කීයදැයි විමසීම් ලිපි යොමුකල යුතුය. ඉන්පසු එම ආයතන වලින් මිලගනන් එවීම හෝ ගෙනැවිත් භාරදීම සිදුකරයි. මෙම මිලගනන් දැමීම සඳහා "ටෙන්ඩර් පෙට්ටියක්" භාවිතා කල හැකිය. ටෙන්ඩර් ලිපි විවෘත කිරීමේ අවස්ථාවට අදාල ආයතනවල නියෝජිතයෙකුටද සහභාගී වියහැකි අතර විවෘත කරන දිනය කවදා දැයි මුලින්ම යොමුකරන ලිපියේ සඳහන් කල යුතුය. තවද තමන්ගේ මිල ගනන් ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් එම ආයතන වලට ලබාදිය යුතුය. සාමාන්‍යය මිලදීගැනීම් සඳහා දින 14ක්ද ජාත්‍යන්තර මිලගනන් කැඳවීම් සඳහා වැඩි කාලයක්ද වශයෙන් මෙම කාලය වෙනස් වේ.(අවම කාලය දින 14කි). රජයට උපරිම වාසියක් ලැබෙන පරිදි හැකි තරම් ආයතන වලින් මිල ගනන් කැඳවීම කල යුතුය. සාමාන්‍යයෙන් මිල ගනන් තුනක් අවම වශයෙන් භාවිතා කරන අතර ඊට වඩා අඩු මිල ගනන් ඇති විටදී යලිත් මිල ගනන් කැඳවන අවස්ථාද ඇත. මිලදීගැනීම සිදුකරන්නේ රජයේම වෙනත් ආයතනයකින් නම් එක් මිල ගනනක් වුවද සෑහේ.

ලැබුනු මිල ගනන් අදාල නියෝජිතයන් ඉදිරියේ විවෘත කිරීම සිදු කරයි. මෙය සිදු කරන්නේ "ටෙන්ඩර් මණ්ඩලය" විසිනි(ටෙන්ඩර් මණ්ඩලය-පැහැදිලි කිරීම ඉදිරියට). ඉන්පසු අවම මිලගනන් ඉදිරිපත් කර ඇති ආයතනයෙන් මිලදී ගැනීම සිදුකරයි. මූලික ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙයයි.


ටෙන්ඩර් මණ්ඩලය.
සාමාන්‍යයෙන් මිලදීගැනීම් සිදුකරන ආයතනයක ටෙන්ඩර් මණ්ඩලයක් සිටී. ටෙන්ඩර් මණ්ඩලයේ සංයුතිය පිළිබඳ උපදෙස් "ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ" දක්වා ඇත. තම ආයතනයේ මෙන්ම වෙනත් රාජ්‍ය ආයතනයක වගකිවයුතු මට්ටමේ නිලධාරීන්ද ටෙන්ඩර් මණ්ඩලයට ඇතුල් කල යුතුය. උදාහරණයක් ලෙස මා සේවය කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ටෙන්ඩර් මණ්ඩලය සකස් වන්නේ ප්‍රාදේශීය ලේකම්, ගණකාධිකාරී සහ (පිටතින්) ප්‍රාදේශීය සභාවේ ලේකම්ය. මීට වඩා වැඩි පිරිසක් සිටින ටෙන්ඩර් මණ්ඩලද ඇත.

තාක්ෂණික ඇගයීම් කමිටුව.
ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී වැදගත් කාර්යක් සිදුකරන පරිසක් වන මොවුන් ටෙන්ඩර් මණ්ඩයේ පහසුව සඳහා පත්කර සිටින පිරිසකි. මොවුන්ගේ කාර්යය විස්තර කිරීමට, මා පළමුවෙන් සඳහන් කල පරිගණකයක් මිලදීගැනීමේ ක්‍රියාවලිය ගනිමු. මෙහිදී එක් එක් ආයතන ඉදිරිපත් කර ඇති පරිගණකවල තත්වය වර්ගය මතක ධාරිතාවය ආදිය වෙනස් යයි සිතන්න. එවැනි අවස්ථාවකදී අඩුම මිල ඇති පරිගණකය මිලදීගැනීම වාසිදායක නොවිය හැකිය. අනෙක් අතට පරිගණක ගැන විශේෂ දැනුමක් ඇති පිරිසක් ටෙන්ඩර් මණ්ඩලයේ නොමැති වීමටද ඉඩ ඇත. මෙවන් අවස්ථාවකදීය අදාල මිල ගනන් තාක්ෂණික ඇගයීම් කමිටුව වෙත ඉදිරිපත් කර වඩා වාසිදායක කුමක්දැයි තෝරාගනු ලබන්නේ.

ප්‍රසම්පාදන ලේඛණය
ප්‍රසම්පාදන ලේඛණය හෙවත් ටෙන්ඩර් පොත ගැනද යමක් කිව යුතුය. යම්කිසි ටෙන්ඩර් තීරණයක් ගත්විට මෙම ලේඛණයෙහි සටහන් කලයුතුය. ඒ රාජ්‍ය ආයතනවල සියල්ල ලිඛිත තත්වයේ පැවතියයුතු යයි ඇති නීතිය නිසාවෙනි. ප්‍රසම්පාදන කටයුතු සාමාන්‍යයෙන් විගණනයට ලක්වන විෂයකි.

හැකි තරම් සරළව ප්‍රසම්පාදන ක්‍රයාවලියේ න්‍යායාත්මක පැත්ත පැහැදිලි කල හැක්කේ එසේය. මෙතරම් විනිවිද භාවයකින් සිදුකරනවා යයි කියන ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂණ සිදුවන බව නිතර නිතර මාධ්‍ය වල අසන්නට ලැබෙන ප්‍රශ්නයකි. එසේ විය හැකිද? ඔබේ ප්‍රදේශයේ ඇති කුඩා පාරවල් කොන්ක්‍රීට් කිරීම සිදුකරන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් බව ඔබ දැක ඇතුවාට සැක නැත. එසේ වන්නේ කුමක් නිසාද? මෙහි ප්‍රායෝගික පැත්ත ගැන ඊලඟ ලිපියෙන්............


Tuesday, February 26, 2013

මම මේ ඩොක්ටර් අහවලා....

අන්තිම පේලියෙ තිබුන මෙන්න මේ කතන්දරේ දැකල මටත් මතක් උනා ඒ ජාතියේ කතා ටිකක්. අනිත් උදවිය රැවටීම එච්චර හොඳ දෙයක් නූනත් වසවර්තියො වෙලා හිටිය කාලෙ ඕවයෙ ගානක් තියනවයැ.

මේ සිද්ධිය උනේ අපි කැම්පස් එකේ දෙවනි අවුරුද්දෙ ඉන්න කාලෙ. දවසක් මමයි මගේ යාලුවෙක් වෙච්ච චන්දරේයි දෙන්න පාඩම් කරන්න කියල හිතාගෙන කැන්ටිමේ ඉඳල ශිෂ්‍ය සංගම් කාර්යාලෙට යන්න හදනව. ඒ කියන්නෙ අනිවාර්යෙන්ම මේ එග්සෑම් කාලයක් වෙන්න ඕන. නැත්තං අපි පාඩම් කරයියැ. මේ කියන මාර්යයේ අතරමැද තමයි පුස්තකාලය තිබුනෙ. ඒ කියන්නෙ රුහුණ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලය. අපි මෙතෙන්ට එනකොට පුස්තකාලය අයිනෙ මොනවදෝ පොත්පත් වගයක් ගොඩගහල තියනව. අලුත්ම අලුත් බඩු. විපරම් කරල බැලුවම ඉංග්‍රීසි සඟරා, කම්පීතර එක්ක ලැබෙන පොත්පත් වගේ වැඩකට නැති දේවල් ටිකක් අයින් කරල. කොයිකටත් කියල අපි දෙන්නත් පොත් දෙකතුනක් ගත්ත. නිකං දෙනඑකේ ආයෙත් මොනවද! මේ ටිකත් අරගෙන යද්දි අපේ "රූමෙක්" වෙච්ච "වාසෙ" ඉන්නව පාලු තැනක, ඩෙස් එකක් දාගෙන පාඩම් කරනව. වාසෙ දැක්ක විතරයි, අම්ම තාත්තට උනත් දිරවගන්න බැරි කෝස් දෙන එකෙක් වෙච්ච චන්දරේ මෙහෙම කිව්ව,

"වාසේ..... මචං අන්න අතන සෙට් එකක් ඇවිල්ල පොත් කැප් ටී ෂර්ට් දෙනව. දැම්ම පලයං" අවුරුදු දෙකක් එකට රූම් එකේ හිටියත් පාප මිත්‍රයන් අඳුනගන්න බැරිවුන වාසෙ දැන් දුවනව අදාල ස්තානයට. ඒ අතරමඟ තියනව අඩි 7-8 විතර පඩිපෙලක්. පඩිපෙල උඩ අපේ එකෙක් වාඩිවෙලත් හිටිය. ඌ ඇහුව කොහෙද දුවන්නෙ කියලත්. ඒත් වෙන සිහියකින් හිටිය වාසෙ ඌට උත්තර දුන්නෙත් නැතුවයි දිව්වෙ. පඩිපෙල බැස්සෙ අඩි දෙකට. ඊට පස්සෙ වෙච්ච දේ අපි දැනගෙන හිටියෙ නෑ. දවල් කෑම කන්න කැන්ටිමට ගිය වෙලේ වාසෙ මුනගැහුන. ඒ වෙද්දි ඒ සිද්ධිය අපි අනිත් එවුන්ට කියල තිබුනෙත් නෑ :)

☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻

දෙවනි කතාව සිද්ධවුනේ ටිකක් මෑතක. ඒ කියන්නෙ අපි අවුට් වෙලත් ඉවරයි. මතක විදියට 2009-2010 විතර වෙන්න ඇති. කලින් කතාවෙ පඩිපෙල ලඟ හිටිය කියල කිව්ව එකත් මේකට සම්බන්ධයි. මේකට අපේ එවුන් කියන්නෙ ලෝකයේ දුරම කෝස්එක කියල. සිද්ධිය මෙහෙමයි.

අපේ රූම් එකේ හිටිය එකෙක් තමයි CS කියන්නෙ. CS කිව්වෙ චන්දන සුරේශ් කියන එක. කවුරුත් පාවිච්චි කලේ CS කියල. අවුට් උනාට පස්සෙ එයා තරග විභාගයක් ලියල ගියා මිනින්දෝරුවෙක් විදියට පුහුණු වෙන්න. ඒ දියතලාවෙ. උගේ ගෙවල් අනුරාධපුරේ. පඩිපෙල උඩ හිටිය එකාට X කියල කියමු. උගේ අයිය හිටියෙ අපේ සීනියර් බැච් එකේ. ඌට XX කියමු.

ඔන්න කාලෙකට පස්සෙ CSට ලැබුන Xගෙ ෆෝන් නම්බර් එක. දෙඥ්ඥං මූට හොඳ ගේමක් කියල හිතල ගත්ත කෝල් එකක්,

"හෙලෝ ඔය ........ගේ Xද?"(සම්පූර්ණ නමින්ම ඇහුව).

"ඔව්"

"මේ කතා කරන්නෙ රුහුණු විශ්ව විද්‍යාලෙ ඩොක්ටර් අහවලා, ඔයාගෙ උපාධි සහතිකේක පොඩි ප්‍රශ්නයක් තියනව එන්න පුළුවන්ද කැම්පස් එකට"

"හා සර්"

කතාව එතනින් ඉවර නෑ. Xගෙ අයිය වෙච්ච XX එයා අඳුනන කථිකාචාර්ය වරියකගෙන් විස්තර අහල. කථිකාචාර්යවරිය සිද්ධිය (ඇත්තම)ඩොක්ටර් අහවලාට කියල. ඩොක්ටර් අහවලා ඒවගේ කෝල් එකක් ගත්තෙ නෑනේ.... එයා Xගෙන් CSගෙ නම්බර් එක ඉල්ලගෙන CSට කතා කලා. කරුමෙක මහත කියන්නෙ CS හිතුවෙ මේ කතා කරන්නෙ XX කියල. සංවාදෙ මෙහෙමයි,

(ඩොකා)"හෙලෝ මේ කවුද"

"මම රුහුණ විශ්වවිද්‍යාලෙ ඩොක්ටර් අහවලා!"

"තමුසෙ කවුරු උනත් කමක් නෑ. මම දැන්ම පොලිසියට පැමිණිලි කරනව මගේ නම විකුණනව කියල"

"අයිසෙ මම තමයි ඩොක්ටර් අහවලා..... තමුසෙට පුළුවන් දෙයක් කරනව"

තත්වයේ තියන භයානකකම අමුතුවෙන් විස්තර කරන්න උවමනා නෑනේ. ඇත්තම ඩොක්ටර් අහවලා මාතර පොලිසියේ පැමිණිල්ලක් දැම්ම අපේ මිත්‍රයට විරුද්ධව ෆෝන් නම්බර් එකත් එක්කම.

පස්සෙ දවසෙ CSට ආයෙත් කෝල් එකක් ආව. ඒ මාතර පොලිසියෙන් මේ වෙනකොට වැඩේ දුරදිග ගිහිල්ල කියල මෑන්ට වැඩේ තේරුනා. අන්තිමට ඩොක්ටර් අහවලාට කතා කරල ඇත්තම සීන්එක කිව්ව. ඩොක්ටර් අහවලා පොලිසියට කතා කලා විස්තරේ කිව්ව. ඒත් පොලීසියෙ අන්තිම උත්තරේ උනේ,

"ඩොක්ටර් අහවලා කිව්ව නිසා රාජකාරී පියවරක් නොගෙන ඉන්න පුළුවන්. ඒත් පැමිණිල්ලක් දාල තියන නිසා ඇවිල්ල කටඋත්තරයක් දීල යන්න"

දැං ඉතිං මොනව කරන්නද! අපේ යාලුව දියතලාවෙ ඉඳල මාතර පොලිසියට ඇවිල්ල වැඩේ ෂේප් කරගත්ත. මීට වැඩිය දුර කෝස් එකක් ඔහෙල අහල තියනවද?

අපි කස්ටිය සෙට් වෙච්ච වෙලාවට මේ කතාවෙ ආතල් තාම ගන්නව. කලින් කතාවෙ හිටිය චන්දරේ සිද්ධියෙ කොටසක් විස්තර කරන්නෙ මෙහෙමයි,

"මචං එදා මූයි ඩොක්ටර් අහවලායි පොලීසියට ආවලු! ඕ.අයි.සී. මහත්තය අහනවලු "හා.... කවුද දැන් ඩොක්ටර් අහවලා?" කියල, මූ ටක්ගාල කියනවලු "සර්, මම තමයි ඩොක්ටර් අහවලා" කියල, එතකොට ඩොක්ටර් අහවලා අඬ අඬ අහනවලු "මෙයා ඩොක්ටර් අහවලා නං මම කවුද?" කියල හෙහ් හෙහ් හෙහ් හෙහ් හෙහ්..................

☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻


කස්ටියට හිනා කතා එපාවෙලාද? නැත්තං මේ වෙන දේවල් වලට හිනාවෙන්න හිතෙන්නෙ නැද්ද? එහෙමත් නැත්තං මට පෝස්ට් මිස් වෙනවද?
කමෙන්ට් දාන අයගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තියනව. මගේ බ්ලොග් රෝලෙ ඔහේලගෙ බ්ලොග්එක නැත්තං කොමෙන්ටුවට යටින් තමුන්ගෙ අඩවියෙ www එක දාල ගියොත් ඔහෙලව රෝලට දාගන්න මට පහසුවක්.

Tuesday, February 19, 2013

පහේ පන්තියෙ කතාවක්. (A story of Grade 5)

පහ ශ්‍රේණියේ ඉගනගන්නා කුඩා පුතු පාසල හැරී පැමිණි වෙලාවේ සිට කණස්සල්ලෙනි. පියාට පුතුගේ වෙනස අවබෝධ විය. ඔහු විමසන්නට විය.

"ඇයි පුතා අද එක විදියක්, ටීච ගැහුවද? එකත් එකටම දඟ වැඩක් කරන්න ඇති!" එහෙත් පුතු නිහඬය.

"කවුරුහරි කොල්ලෙක් එක්ක රණ්ඩු වෙන්න ඇති එහෙනං"

"මම හැමදාම කියනවනේ යාලුවොත් එක්ක රණ්ඩු වෙන්න එපා කියල!" කුස්සියේ සිට බත් පිඟාන රැගෙන පැමිණි මවද කතාවට එක්විය.

"ඉතිං කාත් එක්කද රණ්ඩු උනේ?"

"මම කා එක්කවත් රණ්ඩු උනේ නෑ අම්මේ"

"එහෙනං......"

"මම තවත් උපන්දිනේට තෑගි දෙන්නෙ නෑ"

"ඒ මොකද ඒ.....?"

පුතුගේ උපන්දිනය නිමිත්තෙන් පාසලේ සිටි දුප්පත් ළමයින් කිහිපදෙනෙකු සඳහා අවශ්‍ය පොත්පත් පරිත්‍යාග කිරීම වසර කිහිපයක සිට කරගෙන එන්නකි. පියාගේ යෝජනාවක් අනුව පුතු ඉතා කැමැත්තෙන් මෙම ක්‍රියාවට දායකවූ අතර එය ගුරුවරුන්ගේ පැසසුමටද ලක්විය. එහෙත් පුතුගේ මේ වෙනස ප්‍රහේලිකාවකි.

"ඇයි පුතා එහෙම කියන්නෙ? කොච්චර හොඳ වැඩක්ද ඔයා කලේ"

"ඒ වුනාට චමීරල කැමති නෑ ඒකට"

"කවුද චමීර කියන්නෙ? ආ..... ඔයාලගෙ පන්ති නායකය නේද?"

"හ්ම්. එයා තමයි!"

"ඉතිං ඔයා පොත් දුන්නම එයාට මොකද?"

"එයා කියනව පොත් දෙනව නං ඒක පහේ පන්තියෙ සාමූහික වැඩක් විදියට කරන්න ඕනලු! නැත්තං නොකර ඉන්නලු! එහෙම කරන්න බැරිනං පංතියෙං යන්නලු!"

"පෙනේද මුංගෙ තරම! කියන්න ඕන මේක ප්‍රින්සිපල්ට. අපි හෙටම ඉස්කෝලෙට යමු මෙයා"

"වැඩක් නෑ අම්මේ! මං ඒක එයාලට කිව්ව"

"ඉතිං?"

"ඉතිං එයාල කියනව ප්‍රින්සිපල්ට නෙවේ උසාවියට ගියත් වැඩක් නෑ කියල. අනෙක ලංකාවෙ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුලෙත් ඔය නීතිය තියන එකේ පහේ පංතියෙ අපි මොනව කරන්නද?"

Thursday, February 14, 2013

එක් වැලන්ටයින් කතාවක්.

හිරු අංශන අනූවටත් වඩා මඳක් ගෙවා දමා ඇති වෙලාවකි. දුහුවිල්ලෙන් හා වාහන දුමින් පිරීගිය ජනාකීර්ණ නගරයක ප්‍රධාන මාවතක ඇවිදයන තරුණයෙකි. දුහුවිලි බැඳීගිය සුදු කමිසයත් සුදු පැහැයට හැරෙමින් ඇති ඩෙනිම් කලිසමත් ඔහුගේ "තත්වය" මනින මිම්මක් වැනිය. මාර්ගය අයිනේ එක් ස්ථානයක නැවතුන හේ යම් අයෙකුගේ පැමිණීමක් බලාපොරොත්තුවෙන් මෙන් සිටී. ඔහුට ලතවන්නට අවකාශ නොවීය, තරුණියක් පැමිණියේය.

"පරක්කු උනාද?"

"නෑ මම ආව විතරයි"

"වරුව නිවාඩු ගත්තෙත් බොහොම අමාරුවෙන්. ඕඩර් එකක් ඇවිල්ල බොසා යකා වගේ.... වැලන්ටයින්එකට නිවාඩු ගන්නවද කියල ඇහුව. මං කිව්ව හස්බන් කොළඹ එනව කියල උවමනාවකට..... එයාටත් ඕන්නැති දෙයක් නෑ..... මොකද උනේ ලයිසන් ගත්තද?"

"නැහැ! තව දවස් දෙකක්වත් එන්න වෙයි. දන්නැද්ද ආණ්ඩුවෙ වැඩ!"

"හ්ම්..... දැං මොකද කරන්නෙ? කෑම කාල ෆිල්ම් එකක්වත් බලමුද?"

"යං"

අතේ එල්ලීගත් තරුණියත් රැගෙන ඔහු ඇවිද යන්නට විය.


* * * * * * * * * * * * * * * ** * * * * ** * * * * * * * * * * * * * * * * * * * *

"පරක්කුයි අනේ. ඉඩ තියනවද දන්නෑ?"

"අපොයි ඇති! කවුද මේ දවස්වල චිත්‍රපටි බලන්නෙ"

"ඒවුනාට අද වැලන්ටයින් නේ! පිරිල ඇති පංතියන කෙල්ලො කොල්ලන්ගෙං..... මතක නැද්ද ඒ කාලෙ අපි..... " ඇය සිනාසෙන්න‍ට විය. ඒ සමඟ ඔහුද එක්විය.

තරුණයා මුදල් නෝට්ටුව අයකැමි වෙත දිගුකලා පමණි....

"බොක්ස් නං ඉවරයි,.... බැල්කනි විතරයි තියෙන්නෙ"

හරි! දෙන්න.

* * * * * * * * * * * * * * * ** * * * * ** * * * * * * * * * * * * * * * * * * * *

"හ්ම්. දැං ඉන්න තැනත් හොයාගනිමු"

"ඇන්ටිට කිව්වද අද එන්නෙ නෑ කියල?"

"ඔව්. අද අනූ එන්නෙත් නෑ. ඒකිගෙ කොල්ල එනව"

ඔවුන් තුන්රෝද රිය නැවතුම්පලක් අසලට ලඟාවිය.

"මල්ලී, කොහාටද යන්නෙ?"

"රූම්ස් දෙන තැනකට යං. ටිකක් ගාන අඩු තැනක්"

* * * * * * * * * * * * * * * ** * * * * ** * * * * * * * * * * * * * * * * * * * *

"ම්...... රූම්ස් ඔක්කොම බුකින් මල්ලී. අද වැලන්ටයින්නේ!"

නැවතත් තුන්රෝද රියටය.

"වෙන තැනකට යමු අයියේ"

* * * * * * * * * * * * * * * ** * * * * ** * * * * * * * * * * * * * * * * * * * *

"නවතින්න නං බෑ මල්ලී. පැයකට දෙකකට නං දෙන්න පුළුවන්..... අපිට බිස්නස් එකක් කරගන්න තියන දවස අදනේ....."

"අද හැමතැනම ඔයවගේ තමයි. නයිට් එකට නං සෑහෙන ගානක් ‍ගෙවන්න වෙයි"

* * * * * * * * * * * * * * * ** * * * * ** * * * * * * * * * * * * * * * * * * * *

පැයකට අධික වෙහෙසවීමකින් පසු ඔවුන් අපේක්ෂා භංගත්වයට පත්වී සිටියහ.

"මේ වැඩේ හරියන්නෙ නෑ. ඔයා බෝඩිමට යන්න. මම අමිලයගෙ බෝඩිමට යන්නං....."

ඇයගේ මුහුණේ ඇත්තේ ශෝකාකූල පෙනුමකි.

"ෂික් මේ වැලන්ටයින්!