Friday, November 23, 2012

ගංජ කවි Weed Poems


බදු බරත් වැඩිවෙලා
ඒ බරෙන් මිරිකිලා
ලැම්බොගිනි අඩුවුනත්
බඩේ ගිනි වැඩිවෙලා

බල්ලන්ට සැරවෙලා
ශිරානිට කෙලවෙලා
තරහගිය බලු රෑන
හපන්නට වටවෙලා

දිවි නැගුම ඇවිල්ලා
ඇට පැකට් බෙදනවා
කුකුල් පැටියගෙ මිලට
කිලෝවක් ගත්තහැකි! :P

එහෙ මෙහේ කසාලා
ළමයිටික ලෙඩවෙලා
රතු වැස්ස වැටීලා
ලෝකෙ අවසන් වෙයිද?

වයස හැත්තෑ හතයි
අපෙ තානපතිතුමා
මිරිකලා සුදු තනේ
දඩකාල සුදු රටේ!

කටුගෙදර කඩු තුනක්
බයගමේ කුනුගොඩේ
කන්ගැට්ට පිටිපස්සෙ
ඉන්නා හොරා කවුද?

අන්තෝ ජටා බහිජටා
ඇතුලෙ-පිට දෙකම ගිනි
ගෙට ගියොත් අඹුනසී
මග ගියොත් තෝ නසී.

සැහැල්ලුව ලැබගන්ට
ගෙනා බඩු 'කේරලෙන්'
ඔතාගෙන ගසාලා
පාවුනෙමි උඩ අහසෙ.

ඉස්සෙල්ල ආකාසෙ
අල්ලන්නෙ එයාමලු
පොඩි බේබි කියනවලු
මං දැක්ක පත්තරේ

හොඳවැයින් මල් ටිකක් ඔතාගෙන ගසාලා
හඳ තරුත් පමණනොව අඟහරුත් අල්ලලා
සෙනසුරුගෙ ඉරි තුනේ හීනියට නිදියලා
ආව නොවැ අපෙ ඇත්තො ඒකාලෙ ඉඳලාම!

Monday, November 19, 2012

දෝෂාභියෝගය දේශපාලකයෝ සහ රජයේ සේවකයෝ.

අගවිනිසුරුවරියට එරෙහිව ආණ්ඩුවෙන්-විධායකයෙන්- ගෙනආ දෝෂාභියෝගය පාර්ලිමේන්තුගත කර ටික දිනක් ගෙවීගොස් ඇත. එය ඡන්ද විමසීමක් දක්වා යන්නේ නම් 2013 වසර තෙක් ඇදී යා හැකි සිද්ධියකි. මේ ඒ පිලිබඳ සටහනකි.

පත්කිරීම.
සාමාන්‍යයෙන් අග්‍ර විනිශ්චයකාරවරයා, මැතිවරණ කොමසාරිස්, විගණකාධිපති වැනි තනතුරු පත්කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපතිවරයා සතුවන අතර ඔවුන්ගේ වැටුප කෙලින්ම ඒකාබද්ධ අරමුදලින් ගෙවීමටත් නියමකර ඇත. ස්වකීය යථා පැවැත්මෙන් සිටින තාක් තම ධූරයේ කටයුතු කිරීමට හැකි අතර යම් විශමාචාරයකට සම්බන්ධ යයි ඔප්පු වේ නම් ඔවුන් ඉවත් කිරීමේ බලය පාර්ලිමේන්තුවට ඇත. එනම් මෙම තනතුරු දරන්නන් ඉවත්කල හැක්කේ දෝෂාභියෝගයක් මඟින්ම පමණක්ය.

අරමුණු
මේ ජේආර් ජයවර්ධන මහතාගේ 78 ව්‍යවස්ථාවෙන් දෙනුලැබූ බලතලය. මෙය එසේ වන්නට හේතුවක් ඇත.
78 ව්‍යවස්ථාව අනුව ඉන් පෙර පැවති පාර්ලිමේන්තුව ප්‍රමුඛ කරගත් ක්‍රමය වෙනුවට විධායක ජනාධිපතිධූරයක්ද ඇතිකරන ලදී. එමනිසා විධායකය පාර්ලිමේන්තුව සහ අධිකරණය යන ආයතන බල තුලනයක් ඇතිකිරීමේ අදහසින් මෙවැනි සැකැස්මක් ඇතිකරන ලදී. එහෙත් යම්යම් අවස්ථාවන් වලදී විධායකයත් (බොහෝවිට ඔහුගේ/ඇයගේ පක්ෂයේම වැඩි නියෝජනය සහිත) පාර්ලිමේන්තුවත් අධිකරණය සමඟ ගැටීම් ඇතිවූ අවස්ථා පසුගිය සමයේ දචක්නට ලැබුනි. ආසන්නතම සිද්ධීන් වූ දිවිනැඟුම පණත පිලිබඳ අධිකරණ තීන්දුව කථානායකවරයාට භාර නොදීම, මංජුල තිලකරත්න මහතාට පහරදීම සම්බන්ධ සිද්ධි දාමය ආදිය ගතහැකිය.

වගකීම.
මෙසේ පත්වන අගවිනිසුරුවරයා අතිශයින්ම සමබර අපක්ෂපාතී පුද්ගලයෙක් වියයුතුය. එමෙන්ම සෘජුවම දේශපාලනය සම්බන්ධවන තීන්දු ගැනීමේදී සුපරික්ෂාකාරී විය යුතුය. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන තුන අතරින් මේ එකිනෙක අතර අන්‍යෝන්‍ය සහජීවනය වෙනුවෙන් වඩාත්ම පරීක්ෂාකාරී වියයුතු ආයතනය අධිකරණයයි. (අනෙක් අය දේශපාලකයන් වන බැවින්). එසේ නොවූ විට ගැටුම් ඇතිවීම අනිවාර්ය වේ.

දෝෂාභියෝගය.
දෝෂාභියෝගය ව්‍යවස්ථාපිත එකක් වුවද එහි පවතින අසාධාරණ පැත්ත ගැන කතා කලයුතුමය. එනම් දෝශාභියෝගයට ලක්වන්නාට තම නිර්දෝශීභාවය ඔප්පු කිරීමට ඇති ඉඩකඩ අවම වීමයි. අගවිනිසුරුවරියගේ විෂම පැවැත්ම පිලිබඳ චෝදනා එල්ල කලේ මහජන නියෝජිතයන්ය. අනෙක් අතට ඒ පිලිබඳ කමිටුව සකස් වන්නේද බහුතරය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත නියෝජිත පිරිසක්ය. එය චෝදනා කරන්නාම නඩුව ද ඇසීමේ ක්‍රමය නොවේද?
සැබවින්ම වියයුත්තේ චෝදකයා සහ චූදිතයා යන දෙපිරිසෙන්ම පරිබාහිර ආයතනයක් මඟින් විනිශ්චය ලබාදීමේ ක්‍රමවේදයක් ඇතිවීමය. මේ කාර්යය වඩාත් ශිෂ්ටසම්පන්න වන්නේ එවිටය.

රජයේ සේවකයෝ සහ දේශපාලකයෝ.
අග්‍රවිනිශ්චයකාර ධූරය යනු තවත් එක් රජයේ තනතුරකි. රජයේ සේවකයන්ට බලපානු ලබන බොහොමයක් නීතිරීති වලට මෙම තනතුරෙහි සේවය කරන්නාද යටත්ය. වෙනසකට ඇත්තේ පත්වීම් බලධාරියාට බලයෙන් පහකිරීමට ඇති අපහසුතාවය පමණි. මා ඉහත සඳහන් කල කාරණා සහිත පරිසරයක සිටින ලංකාවේ රජයේ සේවකයා කවරෙකු වුවද දේශපාලන අධිකාරිය ඉක්මවා කටයුතු කිරීම භයානක ප්‍රථිපල ඇතිකරවන්නකි. අද, රාජකාරී කිරීමේදී බලපාන නීතිරීති සියල්ලටම එකඟව කටයුතු කිරීම ඉතාමත් අපහසු කාර්යකි. එක්කෝ යල්පැනගොස් ඇති නීතිරීති ඉවත්කර යාවත්කාලීන කලයුතු අවස්ථා මඟහැරී ඇත. එසේත් නැතිනම් 'වියහැකි' සියළු ආපදාවන් මඟහැරවීමේ අරමුණින් ගෙනඑන ලද 'තද නීති' නිසා කටයුතු කිරීම අපහසු වී ඇත. මෙවන් අනපනත් යටතේ සේවය කරන්නෙකුගේ දෝශයක් සොයාගැනීම එතරම් අපහසු කාර්යක් නොවේ. සරත් ෆොන්සේකා මහතාට සිදුවූයේද මෙයයි. ඔහු තවත් අවුරුදු කිහිපයකින් දේශපාලනයට පිවිසියේ නම් ඔහුගේ කටයුතු සම්බන්ධව පිරික්සීමට ලිපිගොණු පවා සොයාගතහැකි නොවනවාට සැක නැත. ඒ රාජ්‍ය සේවයේ ස්වභාවයයි. අනෙක් අතට දේශපාලකයන් සම්බන්ධයෙන් මෙය බලපාන්නේ වෙනස් ආකාරයකටය. ඔවුන්ගේ කටයුතු පිරික්සීමේ ක්‍රමවේදයක් (දැනට) නොමැති අතර එවන් ක්‍රමවේදයක් තිබුනද ඔවුන් හසුකරගැනීමේ අපහසුවක් පවතී. ඒ බොහෝ විට ලිඛිත සාක්ෂි නොමැතිවීමයි.

පහලම මට්ටමේ රාජ්‍ය සේවකයෙකු ලෙස, මගේ ප්‍රාර්ථනය, අගවිනිසුරුවරිය චෝදනාවෙන් නිදහස් වේවා යන්නයි. ඒ ඇය නිවැරදි යයි ඇති විශ්වාසය නිසා නොව මෙය දේශපාලන එදිරිවාදිකම් පිරිමසාගැනීමක් නිසාවෙනි. එහෙත් මේ ක්‍රමවේදය අනුව එය එතරම් බලාපොරොත්තු තැබිය හැකි තත්වයක් නොවේ. එසේ වුවත් මාස කිහිපයක් යනු ඕනෑම දෙයක් සිදුවිය හැකි කාල සීමාවකි.


Monday, November 12, 2012

වැලිකඩ ගැටුම සහ අපේ හිරගෙවල්.


දෙවන වරටත් ඇතිවූ වැලිකඩ ගැටුම අවසන් වූයේ ඛේදවාචකයකිනි. ඒ මරණ සංඛ්‍යාව විසිහතක්ද තුවාලකරුවන් හතලිස් ගනනක්ද ඇතුලත්වය. ඊට අමතරව ටී පනස්හය ආයුධ වලින් සන්නද්ධ දරුණු අපරාධකරුවන් කිහිපදෙනෙක්ද සමාජයට මුදාහැර ඇත. සාමාන්‍යයෙන් අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසාදැමීමේ ක්‍රමය අනුගමනය වන ශ්‍රී ලංකාවේ, සිරගෙවල්වලදී නම් කිහිප වතාවක්ම අශ්වයන් පැනගියද තත්වය යහපත් අතට පත්වී නොමැත.

මෙම ගැටුම්වලට හේතුසාධක වන කාරණා කිහිපයකි.
ඉන් පළමුවැන්න දූෂිත බන්ධනාගාර නිලධාරීන්ය. විශේෂයෙන්ම ජේලර්වරුන් සහ ගාඩ්වරුන් ලංකාවේ දූෂිතම රාජ්‍ය සේවකයන් ගොන්නට ඇතුලත් වන්නන්ය. සිරකරුවන්ගෙන් සහ ඔවුන්ගේ පවුල්වලින් නඩත්තු නොවන නිලධාරීන් සොයාගැනීම ඉතා දුෂ්කරය. සිරගෙය-සිරකරුවන් මෙම දූෂිත නිලධාරීන්ට ධන උල්පතකි. තත්පර ගනනක දුරකථන ඇමතුමක් වෙනුවෙන් සිරකරුවෙකුගෙන්/පවුලේ අයෙකුගෙන් ලබාගන්නා 'රීලෝඩ්' මුදලක සිට කුඩු පැකට්ටුවක් ඇතුලට ප්‍රවාහණයකරදීම දක්වා සියළු දේ සිදුවන්නේ දූෂිත නිලධාරීන්ගේ ඇස් වසමින් නොවේ. මීට අමතරව 'සෙල්දැමීම' නම් දඬුවම් ක්‍රමයට මුවාවී සති අන්තයේ සිරකරුවන් නිදහස් කිරීමේ ජාවාරමක්ද ඇතිබව පසුගිය කාලයේ කියැවිනි. මේවා සිරදඬුවම් වින්දෙකු හෝ එවන් අයෙකු සිටින පවුලේ අයෙකුට නම් අලුත් දේවල් නොවේ. මෙම නිලධාරීන් යහමඟට ගතහැකි නම් සිරගෙවල පවතින ආරවුල් වලින් සීයට අනූවක්ම විසඳිය හැකිය. මොවුන්ගේ ක්‍රියාකාරකම් නැවැත්වීම සඳහා නීතිරීති දැඩි කලයුතුවාක් මෙන්ම දැනට පවතින දේශපාලන හෙංචයියන්ට රැකියා දීමේ ස්ථානයක්ව පවතින බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒ තත්වයෙන් මුදවාලිය යුතුය. එමෙන්ම බන්ධනාගාර නිලධාරීන්ට නියමිත ස්ථාන මාරුවීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කලයුතුය. එමෙන්ම ඔවුන්ගේ දුක්ගැනවිලි වලටද විසඳුම් දියයුතුය. විශේෂයෙන්ම බන්ධනාගාර නිලධාරීන් සිදුකරන අවදානම් සහගත රාජකාරියට සාපේක්ෂව ඔවුන් ලබන වැටුප්-දීමනා ප්‍රමාණවත් නොවේ.

'සිරකරුවෝද මනුශ්‍යයෝය' යනුවෙන් සඳහන්කර ඇත්තේ සිරගෙවල තාප්පවලය එහෙත් ප්‍රායෝගිකව සිරකරුවන්ට ලැබෙන සැලකිලි කෙසේද? සිරගෙය යනු සැපගැනීම සඳහා හෝ විවේක ගැනීම සඳහා වෙන්වූ ස්ථානයක් නොවන බව සැබෑය. එය වැරදිකරුවන් දඬුවම් ලැබීම සඳහා සකස්වූ ස්ථානයකි. එහෙත් මෙරට සිරකරුවන් විඳින්නේ නීතියෙන් නියමවූ දඬුවම් නොවේ. දෙසීයක් තුන්සීයක් රැඳවිය හැකි සිරගෙයක් තුල අටසීයක් හෝ දහසක් වැනි ප්‍රමාණයක් රැඳවූ විට ඇතිවන තත්වය අමුතුවෙන් විග්‍රහ කලයුතු නොවේ. අනෙක් අතට මරණ දඬුවම නියමවූවන්ට එම දඬුවම හිමි නොවන අතර ඒ හේතුවෙන් මරණ දඬුවම් හිමි සිරකරුවන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවේ. එහෙත් ඊට සමානුපාතිකව පහසුකම් වැඩිවීමක් වීමක් නොමැත. අවසාන ප්‍රථිඵලය වන්නේ සිරකරුවන් අතර අසහනය වර්ධනය වීමයි. එවැන්නන් දාහක් දෙදාහක් සිටි ස්ථානයක් පරීක්ෂා කිරීමට නිලධාරීන් දෙතුන්සීයක් යාමේ අනුවනකම දැන්වත් වටහාගත යුතුය.

ගියවර(ගිය වසරේ) සිදුවූ කැරැල්ලට දින කිහිපයකට පෙර සන්ධ්‍යා කාලයේ මා සිරගෙදර සේවය කරන මිත්‍රයෙකු සමඟ බන්ධනාගාරය ආසන්න ක්‍රීඩා පිටියක සිටියෙමි. කැරැල්ල සිදුවූ එක් වාට්ටුවක් එම ස්ථානයට දර්ශනය වන අතර සිරිත් පරිදි ඒතුල විදුලිපහන් නිවා දැමිණි. ටික වේලාවකින්, විවිධ වර්ණයෙන් යුත් ආලෝක ධාරා වාට්ටුව තුලින් නිවෙමින් දැල්වෙමින් තිබෙනු දුටු මා ඒ පිළිබඳව මිතුරාගෙන් විමසුවෙමි.

"ආ..... ඔතන හැමදාම ඔයවගේ තමයි. ලයිට් නිව්වට පස්සෙ තමයි මුං වැඩ පටන් ගන්නෙ. දැං කවුරුවත් බලන්න යන්නෙත් නෑනේ. ඇතුලෙ මේ වෙලාවට නැති දෙයක් නෑ. කම්බි කෑලි වලින් හීටර් හදාගෙන වතුර උණුකරනව, ආප්ප රොටී හදනව, ෆෝන් චාජ් කරනව,..... ඕව කරද්දි තමයි ඔය එලි පේන්නෙ. ඕව නවත්තන්න ලේසියෙන් බෑ"

සමහරුන්ට සිරගෙදර නවාතැන්පලක් මෙන්ම ස්වකීය පවුල නඩත්තු වන ජීවනෝපාය මාර්ගයද වන්නේ එසේය. එහෙත් මේවා නැවැත්වීමට තරම් ශක්තියක් සිරගෙදර සේවකයන්ට නොමැත.

කතා කලයුතු අනෙක් පැත්ත වන්නේ ලංකාවේ සිරගෙවල පවතින තාක්ෂණික ක්‍රමවේදයන්ගේ අඩුපාඩුය. සමහර දිනක මා කාර්යාලයට යන බසයේ සිරකරුවන් ප්‍රවාහනය කරනු දැකිය හැකිය. මාංචු දැමූ සැකකරුවන් පොදු ප්‍රවාහන සේවයේ ගෙනයාම කොතරම් සදාචාරාත්මකද යන්න සිතා බැලිය යුතුය. සිරකරුවන්ට/සමාජයට විශාලම හාණිය සිදුකරන, ශරීරය තුල සඟවාගෙන බන්ධනාගාර තුලට එන ජංගම දුරකථන සහ මත්ද්‍රව්‍ය නැවැත්වීමට තවමත් පවතින්නේ "ඇඟිල්ල ගැසීමේ" ක්‍රමවේදයයි. අඩුම තරමින් බන්ධනාගාරය ආවරණය වන කැමරා පද්ධතියක්වත් නොමැත.

මෙම අඩුපාඩු නිවැරදි නොකර සිරගෙදර තුල විනය පවත්වාගැනීම උගහටය. දෙවරක් ඇතිවූ ඛේදවාචකය තෙවැනිවරටත් ඇති නොවීමට වගබලාගත යුතුය. එමෙන්ම පැනගිය සිරකරුවන් ඝාතනය කිරීමෙන් පළිගැනීම සම්පූර්ණ කිරීමකටද අවතීර්ණ නොවිය යුතුය.

Thursday, November 8, 2012

ඇඟිල්ල ගහල පනින්න බෑ.

කන්තෝරුව කන්තෝරුව මම වැඩකරන........ එතන තමයි මාහට ඇති විනෝද උයන...... කියල කිව්වෙ ඇන්ටන් ජෝන්ස්ද කොහෙද මට මතක විදියට. ඒ කාලෙ 8.30ට පටන්ගන්න කන්තෝරුවට 10ට විතර ඇවිල්ල තේ බීල කාල පොඩි නින්දකුත් දාල වෙලාවටත් කලින් ගෙදර ගියාලුනෙ! ඔය මතය අදටත් සමාජගතව තිබීම ගැන ඒකාලෙ කන්තෝරුකාරයන් වගකියන්න ඕන. "මල්ලී ඉස්සර මෙහෙම ගැංගෙන්න ඕන නෑ, අපි සිගරට්එක බිව්වෙ සීට්එකේ ඉඳගෙන" ලඟදි දවසක් මට එහෙම කිව්වෙ අල්ලපු සීට්එකේ ඉන්න මහත්තය.


අදකාලෙ නං මිනිස්සු සෑහෙන දියුණුයි. රාජ්‍ය සේවකය කියන්නෙ තමුන්ගෙ සේවකය කියනඑක කෙසේ වෙතත් අඩුම තරමින් රාජ්‍ය නිලධාරියෙක් ඉස්සරහ දෙකට තුනට නැවෙන්න ඕන නෑ කියල හරි තේරුම්අරගෙන තියනව මේ වෙනකොට. මේ නිසා ඉස්සර දාපු සෙල්ලං දැං දාන්න බෑ. ඒ වගේම බොහොමයක් තැන්වල උදේ හවස අස්සන් කිරීම වෙනුවට ඇඟිලි සලකුණු යන්තරේ (ඇඟිල්ල ගහනව කියන්නෙ මේකට) තියන නිසා හොරෙන් පනින්න වගේම ප්‍රමාදවෙලා එන්නත් බෑ. වෙලාවට වැඩ. ඇඟිලි සලකුණු යන්තරේ කිව්වම මතක් උනේ, ඕක ඉස්සෙල්ලම ආවෙ ඉස්පිරිතාල වලට. ඒත් හැම මඟුලටම විරුද්ධ වෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නෝනල මහත්තයල (අපේ ගෙදර උන්දැත් ඉන්නව තමයි) මේ යහපත් කාර්යට විරුද්ධවුනා. ඉතිං කොයිදේත් භාරගන්න අපේ හිටපු ඇමතිතුමා ඒ ටික රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට භාරගත්ත. ඔන්න ඔහොමලු ඊට පස්සෙ දිස්ත්‍රික්-ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ඇගිලි සලකුණු යන්තරේ ආවෙ. මට හිතෙන හැටියට නං රටක් සංවර්ධනය වෙන්න අඩුම තරමින් මිනිස්සු වෙලාවට වැඩකිරිල්ලවත් තියෙන්න ඕනනෙ. අපරාදෙ කියන්න බෑ මේ වෙනකොට අපේ කාර්යාලවල පැමිණීමේ පිටවීමේ තත්වය "සාමාන්‍යයෙන්" හොඳයි. වෙලාවට නාවොත් නිවාඩු වැටෙනව ඉබේම! හාමිනේ කියන කතන්දරවල හැටියට නං ‍මැසිම එපා කියපු සෞඛ්‍ය ක්ෂේත්‍රය අපිට වඩා පිටුපසින් ඉන්නෙ.

අද කියන්න යන්නෙ කාර්යාල වලින් පැනීම් ගැන ඇත්ත කතා කිහිපයක්.
මම රස්සාවට ආව මුල් දවස්වල ඇඟිලි යන්තරේ තිබුනෙ නෑ. ඉතිං පොත අස්සන් කරල තමයි වැඩ කලේ. සතියේ දවස්වල දවස්වල සාමාන්‍ය විදියට වැඩ සිදුවුනත් සති අන්තයේ අතිකාල වලදි නං හොරෙන් පැනිලි තිබුන. වැ‍ඩේ සිද්ධවෙන්නෙ මෙහෙමයි. උදේම ඇවිල්ල පොත අත්සන් කරල හවස 1න් පස්සෙ යනව. පිටවීම අස්සන් කරන්නෙ පව1.00 කියල. ඊට පස්සෙ දවසෙ 1, 6 කරනඑක සිම්පල්. ඒ වගේම නීතියෙනුත් රිංගල. මොකද එදා හවස් වෙලාවක කවුරුහරි ආවත් 1.00ට නෙ ගිහිල්ල තියෙන්නෙ. :)

ඔන්න එක ඔපීසියක සහකාර දෙවනි ප්‍රධානිය සහ මුදල් සහකාර(එෆ්.ඒ) මහත්තය ටිකක් වලි. ටිකක් කිව්වට හොඳටම නෝක්කාඩුයි. දෙන්නට දෙන්න තමුන්ගෙ වාරයේදි අනෙකාට කපනව. දවසක් සෙනසුරාද දවසක ඔපීසියෙ උදවිය ඕටී කලා (එෆ්.ඒ මහත්තයත් ඇතුළුව) ඒ මම මුලින් කිව්ව විදියට. ඊට පස්සෙ දවසක ඕටී වවුචර් දෙවැනි ප්‍රධානියාගෙ අනුමැතිය ලබාගන්න ගියා. දෙවනිය අනිත් අයගෙ වවුචර් අනුමත කරල එෆ්.ඒ මහත්තයගෙ වවුචරයට ගැහුව මේවගේ සටහනක්.

".....දින කාර්යාලය වසා මාගේ නිල නිවසට යතුරු භාරදෙන ලද්දේ පස්වරු එකටය. පස්වරු හය දක්වා මෙම නිලධාරියා වැඩකලේ කාර්යාලයෙන් පිටත සිටද?"

දැක්ක නේද බොසා එක්ක හැප්පුනාම වෙන දේ.

මෙතන පොඩි ප්‍රශ්නයකුත් තිබුන. ඒ අනෙක් නිලධාරීන්ගෙ ඕටී අනුමත කලේ කොහොමද කියනඑක. ඒ පොයින්ට්එක ඇද්දනං එෆ්.ඒ මහත්තයට දිනන්න තිබුන. ඒත් එතකොට තවත් සහෝදර නිලධාරීන් පිරිසක් මේකට ගෑවෙන නිසා එයා මොකුත් නොකර හිටිය. මාස කිහිපයකට පස්සෙ කාර්යමණ්ඩල රැස්වීමක් තිබුන. (පළමු)බොසාගෙන් අවසර ගත්ත එෆ්.ඒ මහත්තය නැඟිට්ට. එයාගෙ කතාව කතාව මෙහෙමයි,

"සර් මට තියනව ප්‍රශ්නයක් අහන්න. මගේ මෙන්න මේ ඕටී වවුචර්එක දෙවනි මහත්තය අනුමත කලේ නෑ, ඔපිස් එකේ යතුර 1ට එයාට ක්වාටස් එකට භාරදුන්න කියල. (තවත් වවුචරයක් රැගෙන)එතකොට සර් දෙවනි මහත්තය විදුලි පරීක්ෂණයකට ඒ දිනයේම ගිහිල්ල තියෙන්නෙ උදේ හයට. ඇවිල්ල තියෙන්නෙ හවස හතයි ගානකට. මේ තියෙන්නෙ ඒ වවුචරේ. එතකොට සර් මේ මහත්තය එකට කොහොමද යතුර භාරගත්තෙ?" (කාල වරෙංකො)

දෙවනි මහත්තය රතුවෙලා දාඩියදාල රැස්වීමෙ හිටිය කියලයි කියන්නෙ. ඕක තමයි කියන්නෙ වීදුරු ගෙවල්වල ඉඳල ගල් ගහන්න එපා කියල. කාගෙ කාගෙත් පයියවල් වල හුනුපොඩි තියනව කියල කියන්නෙත් ඔයවගේ දේවල්වලට තමයි. (වැරදි වැටහීම් තියාගන්න ඕන නෑ ඔතන පයිය කියන්නෙ ඉස්සර තිබුන බෑග් වර්ගයක් මං හිතන්නෙ)

ඊලඟ කතාවෙ නායකය පොලිසියෙ පොඩ්ඩෙක්. කොටි කලබල තියන කාලෙ ටිකක් නරක ප්‍රදේශයක රාජකාරී කල මෙයා දෙමළ ජාතිකයෙකුගෙ ගෙදර කොටු පැනිල්ලක් කලාලු.(රාජකාරි අතරෙ) මේ සිද්ධිය කලක් යනකොට කොටින්ට ආරංචි වෙලා. එක දවසක් මෑන් ඒ ගෙදර ඉන්න වෙලාවෙ එයාව මරන්න කොටි දෙන්නෙක් ආවලු. අපේ මිනිහගෙ වෙලාව කියන්නෙ කොටින්ට කලින් එයා ඉස්සරවෙලා. කොටි දෙන්නම මරල තුවක්කු දෙකත් අරගෙන බොසාට වාර්තා කරල කියනවලු,(ඒ වෙනකොට බොසාටත් ආරංචි වෙලා තිබිල තියෙන්නෙ කොටු පැනිල්ල)

"සර්, මට ලැබුන ඔත්තුවක්. ටික දවසක් අර ගෙදරට ගියේ මේකට තමයි, දෙන්නටම ගේම දුන්න. මෙන්න වෙපන්!"

කොටු පැනල රාලහාමිට උසස්වීමකුත් ලැබුනලු!

අවවාදයයි: පනින්න පෙර සිතා බලනු!

Tuesday, November 6, 2012

මගේ චාටර් කයි කතා......


එක එක්කෙනාගෙ කතා ලියන මම, මගේ කතාවක් කවුරුහරි ලිව්වොත් දිවි නසාගන්නවද කියල අහල තිබුනෙ බ්ලොග් කියවපු දේශ්. ඊට සතියකට පස්සෙ ඉඳහිට බ්ලොග් කියවන, මගේ කාමර සගයෙක් වෙච්ච ලකී, අපේ ගෙදර ආපු වෙලාවක ඌ ලියපු කවියක් ගැන මට කිව්ව. කවියෙ කතානායකය මංතුමා තමයි. හැබැයි ඒක වීර කාව්‍යක් නෙවේ චාටර් කාව්‍යක්. ඒ කයියයි මංතුමාටම සිද්ධවෙච්ච චාටර් සීන් දෙකතුනකුයි තමයි 'කයි සහ කතන්දර' විදියට අද පලවෙන්නෙ.

කොළඹ වැඩකරන කාලෙ කාර්යාල වෙලාවෙන් පස්සෙ ඔන්න අපි සෙට්වුනා. ඔපීසියට එහාපැත්තෙ තිබුන ක්වාටස් එකේ තමයි වැ‍ඩේ සිද්ධවුනේ. රෑ 9 (ද ඊටත් වැඩිද කියල මතකයක් නෑ) විතර වෙනකොට මම කට්වෙලා. දැං ඕන පොඩ්ඩක් ඔලුව බිමින් තියාගන්න. ඒත් පුටු ටිකක් විතරක් තිබුන ක්වාටස් එක මේ වැඩේට හරිගියේ නෑ. ඒ ගමන මම ගියා ඔපීසියෙ ගේට්ටුව ලඟට. එතන ඉන්නව අපේ හිත හොඳ මුරකරුව. ඔපීසියෙ මුර කුටිය ඉතාම කුඩා නිසා මුරකාරය නිදාගන්නෙ(!) බුදුමැදුරෙ! මුරකාරයට හොඳනං මට මොකද කියල මාත් ගියා බුදු මැදුරට. ඊට පස්සෙ ඒකෙ නිදාගන්න සූදානං වෙනකොට මුරකාරය ඇවිල්ල එයාගෙ කාඩ්බෝඩ් එකයි පැදුරයි කොට්ටයි ඔක්කොම දාල මට පුල් සප්එකක් දුන්න. මම පොඩ්ඩක් නිදාගන්න හදනකොටම මුර උන්නැහේ ආව. කතාබහ මෙහෙමයි,

මුරකරුව : රාජ් මහත්තය පොඩ්ඩක් ඔලුව උස්සන්න.

මම : ඇයි?

මුරකරුව : මහත්තයෝ ඔය කොට්ටෙ දාන්න පැදුරට යටින්,...... ඔහොම ඉන්න මං හදන්න......

මම : ඒ මොකටද?

මුරකරුව : තව පොඩ්ඩකින් සර් එනව. රාජ් මහත්තය මෙතන කියල දැනගත්තම සර් එනව මෙතෙන්ට. ඊට පස්සෙ බලනව මෙතෙන්ට කොට්ටයක් කොයිංද කියල. කොට්ට පාවිච්චි කරනව කියන්නෙ මම නිදාගන්නව කියල අහුවෙනවනේ.

.....................................................................................

දෙවනි කතාව ඊටත් චාටර්.
රවි අයියගෙ උසස්වීම නිමිති කරගෙන අපි එයාට පාටියක් දුන්න. හොටෙල්වලට යන වියදම දරන්න දුප්පත් රාජ්‍ය සේවකයන් වන අපිට අමාරු නිසා එක්කෙනෙක් දන්න කියන කුඹුරක් අයිනෙ තියන ගෙදරක තමයි සෙට්වුනේ. බීම ගෙනල්ල බයිට් හදල ඔක්කොම කස්ටිය සප්පායං වුනා. අන්තිම හරියෙදි ගෙදර අයිතිකාරයත් අපි එක්ක මිත්‍රවුනා (ඔහු අදුණන්නෙ අපේ එක්කෙනෙක් විතරයි). රෑ 7 වෙනකොට ඔක්කොම ඉවරකරල ගෙවල්වල ගියා. ඊට සතියකට විතර පස්සෙ ඔපීසියෙදි පාටියට ගෙදර සෙට්කල අපේ කාකාස මහත්තයයි, තවත් කෙනෙකුයි කතාකරකර ඉන්නව. මම ලඟට ආවත් හරි "තවත් කෙනා" අහනව "මහත්තය කොහොමද?" කියල. මාත් "හොඳයි" කියල උත්තර දීල තවත් වචනයක් දෙකක් කතාකරල ඉවරවෙනකොට අර මනුස්සය ගියා. ඊට පස්සෙ මමයි කාකාස මහත්තයගෙයි කතාව මෙහෙමයි.

මම : කවුද නන්දෙ අයියේ ඒ?

නන්දෙ අයිය : ඔහේ දන්නෙ නැද්ද?

මම : ම්..... නෑනේ? කවුද?

නන්දෙ අයිය : (හිනා) එතකොට මතකම නෑනේ!

මම : නෑනෙ!

නන්දෙ අයිය : එහෙනං එදා පාටිය ඉවරවෙන වෙලාවෙ ඔහේල දෙන්න බදාගෙන හිටියෙ! ඒ ගෙදර අයිය තමයි.

මම : (අසරණව) ආ....... මේ ඒ අයියද!

.....................................................................................

තුන්වෙනි කතාව පට්ටම චාටර්!

මම දැන් ඉන්න ඔපීසිය කිට්ටුව තමයි මගේ ඉස්කෝලෙ අවසාන කාලෙ, විදුහල්පතිතුමා හිටියෙ. මම මේ කාර්යාලෙට එනකොට එතුමා පැන්සොන් ගිය අලුත. පැන්ෂන්එක හදාගන්නත් මම පොඩිපොඩි උදව් කලා. එතුමා ඔපීසියට ආවම "ආ දැන් රැවුලත් වවල නේ" කියල මගේ රැවුලෙනුත් ඇදල යන්නෙ. ඉස්සර තිබුන සැර ගති ඔක්කෝම ඉවරයි. මාත් එක්ක බුදු පිට්!

ඔන්න දවසක් මම ඔපීසියට එන්න ඇවිල්ල බස්එකෙන් බැස්ස. එදා පොද වැස්සකුත් තිබුනඑකේ දුම් වැටියක් උරන්න හිතිල ඔපීසිය අයිනෙ තිබුන පෙට්ටි කඩේට ඔළුව දැම්ම. මළ කෙලියයි! මගේ විදුහල්පතිතුමා කවුන්ටරේ ඉඳගෙන බුලත්විටක් හපනව. කඩේ මුදලාලි පැත්තක! ඊට පස්සෙ සිද්ධවුනේ මෙහෙමයි.

විදුහල්පතිතුමා : ආ මොකද පුතා?

මම : (මොන @$%^&ද? බොරුවක් මතක් වෙන්නෙත් නෑ) මේ මේ සර්.....

විදුහල්පතිතුමා : ආ ආ..... මම දන්නව, (සිගරට් ටින්එක අරිමින්......) කීයක්ද?

මම : එකයි! (පනහ කොලේ සර්ට දුන්න සර් ඉතුරු සල්ලිත් දුන්න)

....................................................................................

මෙන්න මම ඉස්සෙල්ල කිව්ව යාලුව ලිව්ව චාටර් කයිය.

හොස්ටල් එකේ දවසක්
සෙට් වුනා අපි පහක් හයක්
ටිකක් වැඩි වූ එකෙක්
ගියා නින්දට නෑ පමාවක්

හිටියේ උඩු සයනයේ ලු ඌ එදා
ටිකකින් දැනුනාලු මට නම් අද "බඩුයි" කියා
මෑත් කොට ඔලුව කොට්ටයෙන් පුතා
දැම්මා කබා පාරක් යට එකා තෙමා
(එලියකන්ද නේවාසිකාරයේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන්....)

(ලකී තිලකරත්න)

Saturday, November 3, 2012

ඔබාමාට ලියුමක්.


රාජ් මහතා,
රාජ්ගෙ නවාතැන,
(http://raj1st.blogspot.com)
2012-11-03

බැරක් ඔබාමා,
අංක
වයිට් හවුස්,
ඇමෙරිකාව.

හිතවත් ඔබාමා මහත්මයානනි,

මංතුමා මේ ලිපිය ලියන්නෙ ශ්‍රී ලංකාව කියන රටේ ඉඳල. ඔබතුමා අහල නැතිවෙන්න බෑනේ. මොකද ඔයගොල්ල හතලිස් අටේ ඉඳල අපේ රට අල්ලගන්න කුමණ්ත්‍රණය කරනව කියල කියන්නෙ අපේ නිවාස ඇමතිතුමා. එහෙව් එකේ දන්නෑ කියල නං කියන්න එපා. ඒගැන කතා ඇති. මේ දවස්වල ඔබතුමාගෙ රටේ තියන ජනාධිපතිවරණය ගැන මම ටීවී එකේ දැකල ඔබතුමා ගැන අනුකම්පාවෙන් මේ ලියුං කෑල්ල ලියන්න හිතුවෙ.

කිව්වට කරහවෙන්න එපා ඔබාම මහත්තයෝ, ඇමරිකාව කියන්නෙ ලෝකෙට ලොක්ක උනාට ඔහේල චන්ද කරන්නෙ කොච්චර නොදියුණු විදියටද කියල අහපු අපේ බලුනකුටත් ඇඬුං ආව. ඔහේල මේ චන්ද කෙරුවාව කරනවට වැඩිය හොඳට අපි නිදහසෙන් පස්සෙ පලවෙනි ඡන්දෙත් කෙරුව. අටුවා ටිකා නැතුව කෙලින්ම කියන්න ආපු කාරණාවට බහින්නං.

මම දැක්ක ඊයෙ පෙරේද ඔබතුමා ප්‍රචාරක වැඩ අවසන් කලා කියල. මොකද්ද මහත්තයෝ ඔය වැඩවල තේරුම! ඔබතුමා ජනාධිපති නේද? අනෙක රොම්නි මහත්තයත් ලේසිපාසු පුතෙක් නෙවෙන එකේ ඔබතුමා ඉන්නෙ බොහොම අමාරු තත්වෙක. බොරුද මං අහන්නෙ? ඉතිං ඔබාම මහත්තයෝ ඡන්ද ප්‍රචාරයට නිල වශයෙන් දීල තිබුන කාලය අවසන් වෙන්නෙ අනිත් අපේක්ෂකයන්ට විතරයි‍ කියල දන්නෙ නැද්ද? ජනාධිපති‍ට ඕන තැනක ගිහිල්ල කතාකරන්න, බඩු බෙදන්න, විවෘතකිරීම් කරන්න පුළුවන්නෙ. ඉතිං ඔබතුමාට තියෙන්නෙ ඒ වගේ වැඩ ටිකක් දාගෙන රොම්නි මහත්තයට පලුයන්න බනිනඑකයි! කාටවත් පුළුවන්ද ඒව නවත්තන්න? බෑනෙ!

ඊට පස්සෙ අර සැන්ඩි. මම දැක්ක ඔබතුමයි රොම්නියි දෙන්නම සැන්ඩි නිසා කලිංම ඡන්ද වැඩ නවත්තල කියල. අම්මප ඔහෙල දෙන්නටම පිස්සු! අපේ එවුන්ට ඡන්ද කාලෙක ඔහොම වාසියක් එන්නෙ නෑනෙ. ඔබාම මහත්තයෝ වාසනාවට පයිං ගහන්නෙ නැතුව ලකුණු ටිකක් දාගන්න පුළුවන් අවස්තාව අතාරින්න එපා. වහාම රජයේ සේවකයන්ට නිවේදනයක් නිකුත් කරන්න "චක්‍රලේඛ-අනපනත්, ඒආර්-එෆ්ආර් බලන්නෙ නැතුව මිනිස්සුන්ට කන්න දෙන්න" කියල. රජයේ නිලධාරීන් දෙතුන්දෙනෙකුට පලු යන්න බනින්න. ඊට පස්සෙ මිනිස්සු අතරට ගිහිල්ල පොඩිඑකෙක් දෙන්නෙක් වඩාගෙන ඉඹල කියල එනඑක මහලොකු අමාරු දෙයක් නෙවේනෙ.

මම දැක්ක අනිත් අවුල තමයි ඔබතුමන්ලගෙ රටේ ඡන්ද කෙරුවාවෙ තියන දුරුවලකං. නිකමට කියන්න බලන්න ඔබතුමාගෙ ඡන්ද වියදම කීයද කියල! හා... පොඩි ගානක් නේද? මෝඩ රොම්නිත් ඒ ගාන වෙන්නැති. හැබෑට ඇමරිකන් කාරයො තමුන්ට බලය ගැනීම වෙනුවෙන් වත් සල්ලි ටිකක් විසිකරන්න ලෝබද ඔයතරමටම. ඔහොම ගියොත් නං ඔබතුමාට ගෙදර යන්න වෙනවම තමයි. දැං බලන්න කෝටි ගානක් ජනගහනය ඉන්න ‍රටේ මිනිස්සුන්ට බලාගන්න ඔබතුමාගෙ පෝස්ටර් කීයක් නං තාප්ප වල ගැහුවද? මේව හිනාවෙන්න කාරණා නෙවේ. ඇමරිකාවෙ කොච්චර තාප්ප ගොඩනැඟිලි නං තියනවද පෝස්ටර් ගහන්න. අනෙක අපි බලන ඇමරිකානු චිත්‍රපටිවල ඉන්නෙම චන්ඩි. උන්ට අරක්කු ටිකක් බත්පැකට් ටිකක් දුන්නනං එකරැයින් රටපුරා ගේම දෙයි. රොම්නිටත් පොඩි තර්ජනපාරක් දාල කාර්යාල දෙකතුනක් ගිණිතියල ගෙටත් වෙඩිතියල ගියා කියල මොකෝ ජාත්‍යන්තරෙන් චෝදනා ගෙනල්ල සම්බාධක දාන්නයැ! කරුමෙට බේත් නෑ ඔබාම මහත්තයෝ!

ඔබතුමාගෙ සහනාධාර වැඩපිලිවෙලට නං අපේ අරුණි නෝනත් විරුද්ධයි. ඒ උනත් වැඩේ අනාගත්තෙ ඔබතුමාම තමයි. ඕක කරන්න තිබුනෙ එහෙම නෙවේ. ඡන්දෙ කිට්ටු කරල සහනාධාර පාරක් දුන්නනං මනාප කී ලක්ෂයක්ද! ඔය එක එක ප්‍රතිපත්ති හද හද ඉන්න ඕන නෑ. භාණ්ඩාගාරෙන් ගත්ත බෙදුව එච්චරයි. ආයෙ ඕව පාර්ලිමේන්තුවෙං-අධිකරනෙං අහ අහ ඉන්න ඕන නෑ ආයිබෝවං. මේ මාස කීපයට වයිට් හවුස් එකෙන් කී දෙනෙකුට කන්න දීල තියනවද? මනුස්සයෙකුට කන්න ටිකක් දෙන්න බැරි තරමට ඔහෙල බංකොලොත් වෙලාද?

ඔක්කෝමත් හරි කියමුකො. මේකට උත්තර දෙන්න! ඔබතුමා දැං අවුරුදු 4ක් හිටියනේ. ඔබතුමාගෙ නෑදෑයො කීදෙනෙක් ඇමති මණ්ඩලේ ඉන්නවද? කීයක් පාර්ලිමේන්තුවෙ ඉන්නවද? කීයක් පහල මන්ත්‍රී මණ්ඩලේ ඉන්නවද? කීයක් අමාත්‍යංශ ලේකම්ල ඉන්නවද? කීයක් සංස්තා සබාපතිකං කරනවද? කවුරුත් නෑ නේද? අම්මප ඔහේ ඉපදුනේ ඕපපාතිකවද? නැත්තං නෑදෑයො නැතිවෙන්න බෑනේ! අඩුගානෙ ඔහේගෙ නෝන මොකද කරන්නෙ! ඉඳලහිටල පොඩි ඩාන්ස් පාරක් දානව විතරයි නේද? ඔහේට පොඩිහරි කණගාටු වෙන්න කාරණය තමයි, ක්ලබ් එකකට ගිහිල්ල දෙතුන්දෙනෙකුගෙ ඔලු පලල එන්න අවුරුදු දහඅටක විස්සක පුතෙක් නැතිඑක. ඒකට නං කරන්න දෙයක් නෑ. අනිත් කාරණා ගැනවත් බලන්නකෝ.

හිතවත් ඔබාමා මහත්තයෝ,
ලියන්න කාරණා බොහොමයක් තියනව. ඒත් ඒව කියල වැඩක් නෑ. ඡන්ද කෙරුවාව ගැන ඔබතුමාට ඉගනගන්න ගොඩක් දේවල් තියනව. ප්‍රාන්ත ගනනාවක් තියන රටේ තමුන්ට වාසි ප්‍රාන්තයෙන් පටං අරගෙන මැතිවරණය තිව්ව නං මෙලාහකටත් ඔබතුමා දිනල. දැං ඒව කියල වැඩක් නෑ. දැනට නවතින්නං. මේ දවස් තුනේ උනත් මම කිව්ව විදියට කලොත් ඔබතුමා ගොඩ. නැත්තං සොරි තමයි.

ඔබතුමාට සුබ අනාගතයක්!
මීට හිතවත්,
රාජ්.

ප.ලි.- කියන්න අමතක උනා!
මේ ඡන්දෙං ඔබතුමා දිනුවොත්,
ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ මොකද්ද දන්නවද? ජනාධිපති වෙන්න පුළුවන් වාරගනන දෙකයි කියනඑක අයිං කරන්න. මොකද මිනිස්සු කැමති නං ඒකනෙ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ සදා කාලයටම රොම්නි තියාගන්න විපක්ෂ නායක පුටුවෙ. එහෙම කරන්නෙ කොහොමද කියල දැනගන්න ඉස්සෙල්ලම එන්නකො ලංකාවට.

මේ ඡන්දෙං ඔබතුමා පැරදුනොත්(එහෙම නොවේවා කියල ප්‍රාර්තනා කරනව),
සූට්කේස් එකේ බඩු දාගෙන යන්නෙ නැතුව ධවල මන්දිරේ බිත්ති හතර ඉතුරු වෙද්දි ගෙන්යන්න අනිත් හැම මගුලම! හෙමින් සැරේ ටික ටික විකුණගන්න බැරිය. නැත්තං පැන්ෂන් එකෙංම තමයි ඉන්න වෙන්නෙ.

ප.ප.ලි.- නැද්ද ජෝතිෂයෙන් අනාවැකි කියන උන්දැල එකෙක් දෙන්නෙක් සෙට්කරගන්න, පාවෙන ඡන්ද ටික කඩාගන්න? හැමදාම බලයේ ඉන්න පුළුවන් කඩු, සුර

Friday, November 2, 2012

δ ගෙන් අපෝහනය.

"δ" නැත්තං "ඩෙල්ටා" කිව්වම ගනංකාරයන්ට නං මතක් වෙනව ඇති උසස්පෙල නැත්තං විශ්ව විද්‍යාලෙ ඉන්න කාලෙ ඉගනගත්ත δx, δy කෑලි තොග පිටින්ම.

ගනං කරල නැති අයට පොඩි දැනුවත් කිරීමක් කරන්නං δ ගැන. "δ" කියන ග්‍රීක් අකුර යොදාගන්නෙ ඉතා කුඩා කොටසක් දැක්වීමේ සංකේතයක් විදියට. පොඩි පොඩි කෑලිත් සමහර වෙලාවට අත්හරින එකේ මේ ඉතා කුඩා කෑලි මොකටද කියල හිතනව ඇති. ඒත් මේ ඉතාකුඩා කෑලි වලින් බොහොම වැදගත් වැඩ ගන්නව ගනංකාරයො. එකක් කියන්නං කම්මැලි නැතුව බලන්න.

මෙන්න මේ 1 පිංතූරෙ දාල තියන ප්‍රස්තාරෙ හැමෝටම මතක ඇතිනේ. අපොස සාපෙ කරන කාලෙ ඇඳපු ප්‍රස්තාරය.


දැන් අපි මේ ප්‍රස්තාරෙ y අක්ෂය වටා කරකැව්ව. එතකොට හැදෙන්නෙ ඔය දෙවනි රූපෙ විදියේ ඝණ වස්තුවක්.

ඒකෙ පරිමාව හොයන්න සාමාන්‍ය විදියට දිග පලල උස වැඩිකරල බෑ. අන්න එතනදි අපිට පිහිටට එන්නෙ අර δ කෑල්ල! දෙවනි රූපෙ කළුපාටින්, ඉතාකුඩා δ ඝනකමක් තියන රවුමෙ පරිමාව හොයාගෙන ගණිත ක්‍රමයකින් මුළු පරිමාව හෙවිල්ල තමයි සිද්ධිය. ඕකට භාවිතා කරන්නෙ අනුකලනය කියන ක්‍රමය කියල ගනංකාරයො දන්නව. වර්ගඵල, පරිමා, ගුරුත්ව කේන්ද්‍ර.... ආදී මෙකී නොකී ගනනයන් කරන්නෙ ඔය ක්‍රමයෙන් තමයි.

මම උපෙල කරන කාලෙ මගේ කැමතිම පාඩම් තමයි ඒව. මම ඒ මෙතඩ් එකට කොච්චර කැමතිවුනාද කියනව නං ඔය δ මෙතඩ්එක බොහෝ දේවල් වලට අදටත් යොදාගන්නව. ඒ කියන්නෙ ඉතාකුඩා කාරණයක් මඟින් වියහැකි විශාල සිද්ධියක් විග්‍රහ කරගන්නෙ ඔය කියන මෙතඩ්එකට තමයි.

දැං බලමු ප්‍රායෝගික උදාහරණ කිහිපයක්.

මතක ඇතිනේ මේ ආණ්ඩුව පෞද්ගලික අංශයට 'ආදරයෙන්' ගෙනාපු විශ්‍රාම වැටුප් ක්‍රමය. මේක ආපු දවස්වලම ඇතිවිය හැකි සාර්ථක-අසාර්ථකභාවය හොයාගන්න මම δ එකක් පාවිච්චි කලා. ඒ තමයි එවකට තිබුන 'ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය'. ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයේ තියන ප්‍රායෝගිකත්වය අධ්‍යයනය කල කෙනෙකුට, ඒ ක්‍රමය යම් අවස්ථාවක බිඳවැටෙනව කියල හිතන එක අමාරු දෙයක් නෙවේ. මේ වනවිට ඒක ඔප්පු වෙලා ඉවරයි. යම් විදියකින් පෞද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රමය ආවනම් ඒකට වෙන්නෙත් ඒ ටිකම තමයි.

71දි සන්නද්ධ අරගලයක් කරන්න ගිහිල්ල වගේම 87-89 කාලෙ මර්ධනයට ලක්වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ 94දි අලුත් විදියකට වැඩ පටංගත්ත මතක ඇතිනේ. ඊට පස්සෙ ජවිපෙ බොහොම 'නිවුනු' ගතියකින් වැඩ කලා කිව්වොත් නිවැරදියි. තමුන්ගෙ රැස්වීම් වලට ප්‍රධාන පක්ෂවල මැර තර්ජන ආව අවස්තා වලදී 99%ක්ම එයාල කලේ ගුටිකාපුඑකයි.(සමහර අවස්තාවලදී ගහන්න පුළුවන්කම තිබුනත් ගහන්නෙ නැතුව දුවපු අවස්තා තිබුන). ඒ වගේම රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය, අපක්ෂපාතීත්වය වෙනුවෙන් හඬනගපු ජවිපෙ ඇත්තටම එහෙමයි කියලත් මම හිතුව. නමුත් ජවිපෙට 'අවස්තාව' ලැබුනොත් එයාල හැසිරෙන්නෙත් අනිත් පක්ෂ දෙකේ උදවිය වගෙයි කියල 'පිලිගතහැකි' δ සාක්ෂි මට ලැබුන. රැකියාවක් දෙන්න පුළුවන් මන්ත්‍රීවරු ජවිපෙ හිටිය කාලෙ එයාල, පක්ෂෙ උදවියට රැකියා දුන්න මිසක් දක්ෂය තෝරල රැකියා දුන්නෙ නෑ!

සමහරු හිතාගෙන ඉන්නව රනිල් වික්‍රමසිංහ කියන්නෙ සුද්දන්ගෙ මොඩලයේ නායකයෙක් කියල. 'ළමයි වඩාගත්තෙ නැතිවුනාට රනිල් කියන්නෙ නියම නායකයෙක්' කියල කියන උදවිය ඕන තරම් ඉන්නව. ඒත් නිකමට හිතල බලන්න විපක්ෂ නායකය විදියට ඉඳගෙන ගන්න සමහර ඒකාධිපති (δ) තීරණ දිහා බැලුවම 'ඌ ආවොත් මූට හපං' කියල කියන්න මම නං මැලිවෙන්නෙ නෑ.

හරි! δ කතාව මෙතනින් ඉවරයි. මේකෙ දේශපාලනය තිබුනට මම කියන්න උත්සාහ කලේ කුඩා සිද්ධියක් ආශ්‍රය කරගෙන විශාල පරාසයක් විග්‍රහ කරන්න පුළුවන් කියන කාරණය. මට මතකයි එකසැරයක් කතන්දරකාරයද කොහෙද දාපු පෝස්ටුවක තිබුන කෙල්ලෙක් බලන්න ගියාම එයාගෙ නියපොතු-විළුඹ වගේ තැන් දිහා බලල පිරිසිදුකම ගැන නිගමනයකට එන්න පුළුවන් කියල තිබුන. ඒකත් δ මෙතඩ්එකක් තමයි.

ඔය උඩ තියන ප්‍රස්තාර හොයාගන්න මම ගූගල් දෙය්යගෙන් parabolic curve කියල පිංතූර ඉල්ලුව. එයා දුන්න පිංතූර අතරෙ මෙන්න මේකත් තිබුන කියල නොකිව්වොත් අපේ කොල්ලො තරහ වෙයි.