Friday, September 28, 2012

කවි බණ අතරේ...... Hot.......

හෙට තියන පෝය වෙනුවෙන් අද පාන්දරම ඔපීසියෙ කවි බණ වැඩසටහනක් සංවිධානය වෙලා තිබුන. පාන්දර කිව්වට උදේ 9ට විතර. ඕන්න නියමිත වෙලාවට මිදුලෙ පැදුරු එලල අපි කවි බණ අහන්න සෙට්වුනා. හාමුදුරුවරු දෙන්න නං සැප පුටුවක වාඩිවෙලා කවිබණ කිව්වෙ. ටික වෙලාවක් යනකොට ඇ‍ඟේ හැම ජොයින්ට් එකක්ම රිදෙන්න ගත්ත. බණට තියන අවධානයත් අඩුවුනා.

බණට කිව්ව කතාව තමයි අපි දන්න කියන කතාවක්. ඔන්න තාත්තයි අම්මයි පුත්තු තුන්දෙනෙකුයි ඉන්න පවුලක අම්ම මියයනව. තාත්ත වෙන කසාදයක් කරගැනීම තමන්ට තියන දේපල වල අයිතියට තර්ජනයක් කියල තේරුම්ගන්න පුත්තු තාත්තට උපරිමයෙන් සලකනව. ඊට පස්සෙ ඉඩකඩං ටිකත් ලියවගන්නව. ඊටත් පස්සෙ නොසලකාහරිනව. අන්තිමේ තාත්ත බුදුහාමුදුරුවො ලඟට යනව. ඊට පස්සෙ බුදුහාමුදුරුවො කියලදෙන කවිපන්තියක් වගේ එකක් ප්‍රසිද්ධ ස්ථානවල කියනව. ඒක අහන මිනිස්සු අරුවන්ට දඬුවම් කරන්න ලෑස්ති වෙනව. ඊට පස්සෙ එයාල තාත්තට සලකනව. ඔන්න ඔය කතාව ගැන තමයි අපේ අවධානය යොමුවුනේ. අපේ පැදුරෙ හිටිය කස්ටියගෙ කතාව මෙහෙමයි.

(රැඩිකල්)සංවර්ධන සහකාර මහත්තය : තාත්තට වෙලා තියෙන්නෙ පැහැදිලි අසාධාරණයක්. හොඳයි ළමයි එයාට සැලකුවාමයි කියල හිතමු. ඒත් ගෑණියෙකුගෙ අඩුව පුතාලට සම්පූර්ණ කරන්න බෑනේ.

සංස්කෘතික කටයුතු නිලධාරිය : ඔය ඉඩකඩම් කේස් එදා ඉඳල අද වෙනකල්ම ඉන්දියාවෙ තියනව. දෑවැද්ද නොගෙනාව කියල ලේලිල මරණ නැන්දම්මල තාම ඉන්නව.

ඉඩම් නිලධාරිය : ඔතන අවුල තියෙන්නෙ ඉඩකඩම් බෙදල දුන්න විදිය. පරාන භුක්තිය තියාගෙන ඉඩකඩං ලියල දුන්නනං ඔය කේස්එක එන්නෙ නෑ බං. එහෙම ලියල දුන්නනං ළමයි නොසලකා හැරියොත් ආයෙත් ඔප්පුව වෙනස් කරගන්න බැරිය!

රෙජිස්ට්‍රාර් : ඒ කාලෙ විවාහ රෙජිස්ටර් කරන්න නැතුවැති මං හිතන්නෙ. හැබැයි එහෙම උනානං දෙවනි කසාදයක් කරගත්තත් ඉඩම් වලට අවුලක් නෑ නේද?

පවුල් සෞඛ්‍ය නෝන : නෑ මෙතන තියන අවුල තමයි ඒ කාලෙ උපත් පාලනයක් තිබුනෙ නෑනේ. දෙවනි කසාදෙනුත් ළමයි උපදින්න පුළුවන්. එහෙම උනොත් ගැටළු මතු වෙනව.

සැලසුම් සහකාර : හැබැයි ලොකු ලේලි කිව්ව කතාවෙත් ඇත්තක් තියනවනෙ මල්ලි. එයාගෙ ගෙදර දිගටම හිටියඑකයි කේස්එක. ලොකු පුතාට වැඩිපුර මොකුත් දුන්නෙ නෑනේ. එතනදි වැරදියි. අනිත් අතට පුත්තුන්ට ක්‍රමවේදයක් හදාගන්න තිබුන මාරුවෙන් මාරුවට තාත්තට සලකන්න. ඒවගේ ප්ලෑන්එකක් නැතිනිසා වැඩේ දෙල්වුනා.

ඒඩී මහත්තය(වනිතා සංවර්ධන නිලධාරිණිය දෙස බලමින්) : මොනව කලත් වැඩක් නෑ බං. ගෑණු එක්ක මොකුත් කරන්න බෑ. බැන්දට පස්සෙ උංගෙ රාජ්ජෙ! මිනිහගෙ එවුන්ට සලකන්නෙ නෑ. තමුන්ගෙ එවුන්ට විතරයි සැලකිලි.

නීතීඥ මහත්තය : ස්වාධීන අධිකරණයක් ඒකාලෙත් තියෙන්න නැතුවැති. ඒකනෙ ඒ මනුස්සයට බුදුහාමුදුරුවො ලඟටම යන්න උනේ.

(වාමාංශික)සංවර්ධන සහකාර : සමාජවාදය යටතේ නං වැඩිහිටියන් රැකබලාගන්න වෙනම වැඩපිලිවෙලක් තියනව. ඕව ධනවාදය නිසා මතුවන ප්‍රශ්න. ඒවට උත්තර ධනවාදයෙන් හොයන්න බෑ මේ කපේදි.

පොලිසියෙ රාලහාමි : දූ දරුවන් නොසලකාහැරිය උනත් නීතියෙ හැටියට ප්‍රසිද්ධ ස්ථානවල හිඟාකන්න බෑ. අත්අඩංගුවට ගන්න වෙනව.

සමෘද්ධි නියාමක : මේවගේ ආදායම් මාර්ගයක් නැති අයට සමෘධිය හිමිවෙන්න ඕන.

සමාජසේවා නිලධාරිය : මේ වගේ වෙලාවට පිහිටවෙන්න තමයි සමාජසේවා දෙපාර්තමේන්තුව තියෙන්නෙ. මෙයාට වැඩිහිටි හැඳුනුම්පතක් හදල, පින්පඩියක් දීල ඕන නං වැඩිහිටි නිවාසෙකට දාන්න තිබුන අදකාලෙ වගේනං.

(වාමාංශික)සංවර්ධන සහකාර(මලපැන) : අපේ පඩියත් ජීවත් වෙන්න මදිඑකේ පිං පඩියෙන් ලුනුකැඳවත් බොන්න පුළුවන්ද බං?

බණ කියන හාමුදුරුවො : ..............සාධු කියන්න පින්වතුනි.

මම(සිතමින්): තව බ්ලොග් පෝස්ට් එකක්.

කිහිප දෙනෙක්ම : අම්මේ.... කොන්ද රිදෙනව, අහපු !@$$%^ නෑ. කකුල් නං රිදෙනව.



Thursday, September 27, 2012

ක්‍රිකට් සහ ලෝක කුසලාන T 20 අසාධාරණ තරග සැලැස්ම.


පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය මේ වනවිට නිමාවී ඇති අතර ‍අපේ කන්ඩායම නවසීලන්තයත් සමඟ අද පැවැත්වෙන පළමු තරගයෙන් සුපිරි අටදෙනාගේ තරගාවලිය ආරම්භ වේ. ඕනෑම වර්ගයක ලෝක කුසලාන තරගාවලියකදී මූලික වටයේදී දැකියහැකි පෙරලි කිසිවක් මෙම තරගාවලියේ මූලික වටයේ වාර්තා නොවූ අතර ඒ ඒ කාන්ඩ වල දුර්වල කන්ඩායම් ඉවතට විසිවිය. පකිස්තානය හමුවේ බංග්ලාදේශ කන්ඩායම තරමක් හොඳ තරගයක් ලබාදුන් අතර ඇෆ්ගනිස්තානය සහ මීට පෙර තරගාවලිවල දස්කම් දැක්වූ අයර්ලන්ත කන්ඩායම එතරම් දක්ෂතාවයක් දැක්වූයේ නැත.

අසාධාරණ තරග සැලැස්ම.
මෙවර තරගාවලියේ ඉදිරිය ගැන කතාකිරීමට මත්තෙන් සුපිරි 8 දෙනාගේ වටයේ තරග සැකැස්ම ගැන කතාකල යුතුමය. සාමාන්‍යයෙන් ඕනෑම තරගාවලියක සුපිරි 8දෙනාගේ තරග පවත්වනු ලබන ක්‍රම වේදයක් ඇත. මෙය ක්‍රිකට් පමණක් නොව ඕනෑම වර්ගයක තරග සඳහා පොදු රීතියකි. එය සිදුවන්නේ මෙසේය.
යම් තරගාවලියක A, B, C, D යන කාන්ඩ යටතේ පලමු සහ දෙවැනි ස්ථාන වලට සුදුසුකම් ලබන කණ්ඩායම් අට පිලිවෙලින් [a1,a2], [b1,b2], [c1,c2], [d1,d2] යයි සිතමු. එවිට මෙම කාණ්ඩයේ දක්ෂතම කණ්ඩායම් හතර වන්නේ a1,b1,c1,d1 යන කණ්ඩායම්ය. තරගාවලියේ ජීව ගුණය රැකගැනීමට නම් අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීමට වඩාත් සුදුසු වන්නේ එම කණ්ඩායම්ය. එබැවින් තරග සැලැස්ම සැකසෙන්නේ දක්ෂතම කණ්ඩායම් ඉවත් නොවන ආකාරයටය.

මීට වෙනස් තවත් සාර්ථක යයි කිවහැකි ක්‍රමයක් අයි.පී.එල්. තරගාවලියේදී හඳුන්වා දුන් අතර එහිදී පළමු සහ දෙවැනි ස්ථාන සඳහා පත්වන කණ්ඩායම් අතර තරගයෙන් ජයග්‍රාහකයන් අවසන් තරගයටත්, පරාජිතයන්, තුන්වැනි සහ සිව්වැනි ස්ථාන වල සිටින කණ්ඩායම් අතර තරගයේ ජයග්‍රාහකයන් සමඟ තරග කිරීමෙන්ද අවසන් තරගයට පැමිණේ.

එහෙත් මෙම තරගාවලියේදී සිදුවන්නේ අනෙකකි. A, B, C, D කාන්ඩ යටතේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසි දක්ෂතම කණ්ඩායම් හතර වන ඉන්දියාව(a1), ඕස්ට්‍රේලියාව(b1), දකුණු අප්‍රිකාව(c1), පාකිස්ථානය(d1) ඔවුනොවුන් අතර තරග වැදීමෙන් ජයග්‍රාහී කණ්ඩායම් දෙකකුත්, දෙවැනි ස්ථානයට පත්වූ එංගලන්තය(a2), බ.ඉ.කො.(b2), ශ්‍රී ලංකාව (c2), නවසිලන්තය(d2) අතරින් කණ්ඩායම් දෙකකුත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. එනම් මෙහි අනිවාර්ය ප්‍රථිපලය ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, පාකිස්ථානය යන දක්ෂතම කණ්ඩායම් හතරෙන් දෙකක් කැපීයාමයි. තරගාවලියේ උණුසුම හීන කිරීමට මෙම කාරණය සමත්ය.

තරගාවලියේ ඉදිරිය.
පන්දුවාර විස්ස ක්‍රිකට් තරග වලදී අනාවැකි පැවසීම කල නොහැකි නමුත් දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක බව පැවසිය යුතුය. සුපිරි අට වටයේ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, පාකිස්ථානය ඇතුලත් කාණ්ඩයේ තරග වඩා වැඩි ප්‍රේක්ෂක අවධානය යොමුවන තරග වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම
දකුණු අප්‍රිකාව සමඟ පැවති කෙටි තරගයේ ලද පරාජයත් විකෘති තරග සැලැස්මත් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට වාසියක් අත්වූ බව කිව යුතුය. එසේ නොවූයේ නම් සුපිරි 8 වටයේදී ඔවුන්ට තරගවැදීමට සිදුවන්නේ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානය සමඟය. භූමියේ වාසියද ලබාගෙන එංගලන්තය, බ.ඉ.කො. සහ නවසිලන්තය සමඟ තරග වැදී අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීමට එතරම් අපහසු නොවනු ඇතැයි මගේ විශ්වාසයයි.

තරගාවලි සංවිධානය.
සාමාන්‍යයෙන් ඕනෑම කාර්යකදී අනාගන්නා ජාතියක් වන ලාංකිකයන් මෙහිදීද තම අනන්‍යතාවය රැකගැනීමට සමත්ව ඇත. ක්‍රිකට් ආයතනය බංකොලොත් කරගෙන ලෝකයේ ලොකුම ක්‍රීඩාංගනය සාදා ලෝකයම බලා සිටියදී මාධ්‍ය කුටියේ වතුර ඉවත් කරන සේවිකාවන් කියාපෑවේ අපේ අනන්‍යතාවය නොවේද? Cheerleadersලා ගැන කතා කිරීම ඔබට භාරය.

ටෙස්ට් ක්‍රිකට් එක්දින ක්‍රිකට් සහ 20.20 ක්‍රිකට්.
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට එක්දින තරග පැමිණීමත් සමඟ යම් පිරිසක් ඊට විරුද්ධ වූයේ ක්‍රිකට් තාක්ෂණය වලපල්ලට යතැයි සැක කරමිනි. එහෙත් දින පහක මන්දගාමී ටෙස්ට් තරගයක් නැරඹීමට වඩා එක්දින තරගයක් නැරඹීමට කැමති ප්‍රේක්ෂකයන් නිසා එක්දින ක්‍රිකට් මුල්තැනට පත්වුවත් එක්දින තරග නිසා ටෙස්ට් තරගවල සැලකියයුතු වෙනසක් සිදුවූයේ නැත. එහෙත් පන්දුවාර විස්ස තරග නිසා ක්‍රිකට් තාක්ෂණය උඩුයටිකුරු වීම මේ වනවිට ආරම්භ වී ඇත. උදාහරණ ලෙස මේ වනවිට 20-20 තරග වලදී ක්‍රීඩා කරන පිතිකරුවන්ගේ විලාශය අනුව බේස්බෝල් තරග වලදී මෙන් තාක්ෂණයෙන් තොරව වැරෙන් පන්දුවට පහරදීම්ද එතරම් දඟ නොකැවෙන පන්දු මෙන්ම මඳවේද පන්දු යැවීම් වර්ධනය වීම අනිවාර්ය වේ. අනාගතයේ ඇතිවිය හැකි වෙනස්කම් කල්පනා කර බැලූ විට 20-20 තරග තවමත් පවතින්නේ ළදරු අවධියේය. ප්‍රේක්ෂකයන්ගේ මුල්තැන දිනාගන්නා මෙම තරග නිසා ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවන බලපෑම අති මහත්ය. කෙටියෙන් කිවහොත් 20-20 ක්‍රිකට් වෙනම ක්‍රීඩාවක් තරමට දියුණු වනු ඇතැයි විශ්වාස කල හැකිය. එය රග්බි 15 සහ රග්බි 7ස් වෙන වෙනම පවතින්නාක් වැනිය. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවේ අනන්‍යතාවය රැකගැනීම සඳහා අඩුම තරමින් එක්දින තරග හෝ පවත්වාගෙන යා යුතුය. එසේ නොවුවහොත් මුත්තයියා මුරලිදරන්ලා සචින් තෙන්ඩුල්කාර්ලා ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ලා යලි කිසිදා හමු නොවනු ඇත.


Monday, September 24, 2012

හාමිනේ ෂේප් කරගත් මගෝඩි රාලහාමි.

අදත් කතන්දර. මතකද දන්නෙ නෑ මම කලින් ලිව්ව නෝන රවට්ටල අරක්කු බීපු අපේ රාලහාමිගෙ කතාව. මේ ඒ රාලහාමිගෙම තවත් මගෝඩි වැඩ ටිකක්.

රාලහාමිගෙ බීම ගැන නෝන හිටියෙ බොහෝම නොකැමැත්තෙන්. කොයි ගෑනිද කැමති මිනිහ බීල එනවට! නේද. ඔන්න දවසක් රාලහාමි යාළුවො කිහිප දෙනෙක් ගෙදරටම එක්කරගෙන ඇවිල්ල බිව්ව. නෝන එලිපහලියට ආවෙවත් නෑ. අන්තිමේදි කස්ටියට ඕනවුනා තලප කන්න. ඔන්න කුරහන් පිටි ටිකක් එහෙම අරගෙන තලප හදන්න සූදානම් උනා. මේ වැඩේට ටිකක් ලොකු හට්ටියක් ඕන වෙනව. එක යාළුවෙක් ගෙදර පිටිපස්සෙ වලං මැස්සක තිබුන ලොකු මුට්ටියක් අරගෙන ආවලු. ඒකෙන් තලප හදාගෙන කාල යාළුවො ගියාමයි නෝන එලියට බැස්සෙ. දැන් රාලහාමි පුටුවක වාඩිවෙලා ඉන්නවලු. නෝන ආවේස වෙලා වගේ ලඟට ආවලු,

"වලං මැස්සෙ මුට්ටියෙ තිබුන මීවදේ කෝ?" රාලහාමිට හීං දාඩිය දැම්මලු.
"මොන මී වදයක්ද?"
"තමුසෙලා තලප හදන්න ගත්ත මුට්ටියෙ මී වදයක් තිබුන. මම පරිස්සමින් තියාගෙන හිටියෙ අගෝස්තුවෙ ඒක කඩල පැණි ගන්න"
රාලහාමි ගත්ත කෝල් එකක් යාළුවට,
"ඈ බං,..... උඹ තලප හදන්න ගත්ත මුට්ටියෙ මොකුත් තිබුනෙ නැද්ද?"
"ආ...... මොකද්ද කළුපාට කුට්ටියක් තිබුනා.......ආ. මම ඇදල විසිකලා"

සූර්පිට ඌ විසිකරල තියෙන්නෙ මී වදේ!


☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻

"මහත්තයෝ ඔය කේස් එකෙන් පස්සෙ අපේ ගෑනි මාත්තෙක්ක සතියක් විතර කතාකලේ නෑ" රාලහාමි කියනව. "හැබැයි යාළුවෙන්නත් මාරම හේතුවක් හැදුන"

"ඔන්න දවසක් එකෙක් මට කෝල් එකක් දෙනව. ඌට කියන්නෙ බෙලි පුංච කියල. බොන්න එන්න කියනව. ගෑනි කතා කරන්නෙත් නැතිඑකේ මම බිව්වොත් නං මගේ කසාදෙ ඉවරයි මහත්තයෝ. අපි දෙන්න ක්‍රමයක් කතා කරගත්ත"

ඔන්න බෙලි පුංච ගෙදරට ආවම සංවාදෙ මෙහෙමයි,

බෙලි පුංච: රාලහාමි අර වැඩේට යමුද?
රාලහාමි: අනේ මට බෑ බං. මගේ ඇඟටත් හරි නෑ.
බෙලි පුංච: එහෙම කියන්න එපා රාලහාමි, මේක ඉවරයක් කරගන්න යමු!
රාලහාමි: මට බෑ!
බෙලි පුංච: හරක් ටික මැරේවි රාලහාමි.
රාලහාමි: මැරෙන්න දීපං!

රාලහාමි ගේ ඇතුලට ආව.

නෝන: මොකටද අර කතා කරන්නෙ?
බෙලි පුංච: වගා පාළුවක් කරපු හරක් ටිකක් බැඳගෙන.
නෝන: කාගෙද හරක්?
රාලහාමි: කන්දෙ ගෙදර ඇඩ්ඩිංගෙ!
නෝන: මොනව! අපේ තාත්තගෙ හරක්? තමුසෙට මං දුන්න තරහටද තාත්තගෙ හරක්ටික මරන්න හදන්නෙ. ගිහිල්ල කොහොමහරි තාත්තට හරක්ටික බේරල දෙනව.
රාලහාමි: පුංචෝ යමං එහෙනං.

ඕං ඔය විදියට එලියට ආව රාලහාමි රෑ දෙගොඩහරියෙ ගෙදර ආවෙ හතරගාතෙන් බව කියන්නත් ඕනද? උදේ නෝන හොඳයි.

නෝන: රාජකාරියට ගිය මනුස්සයො ගෙදර එන්නෙ ඔහොමද?
රාලහාමි: මං නැත්තං ඔයාගෙ තාත්තට හොඳ ගානක දඩයක් වදිනව. මම බොහොම අමාරුවෙන් ෂේප් කරගත්තෙ. ඊට පස්සෙ බොන්න කතා කලා. මට නොයා ඉන්න පුළුවන්ද?

තමුන්ගෙ තාත්තව බේරගන්න ගිහිල්ල ටිකක් බිව්වත් නෝන තරහ උනේ නෑ‍.

ඒ ඔක්කෝමත් හරි කියමුකො. මම ඇහුව අන්තිමට ප්‍රශ්නයක්.
"හරි! රාලහාමිගෙ බොරුව අහුඋනාට පස්සෙ නෝන තරහ උනේ නැද්ද?""


"මෙන්න ඒකට රාලහාමි දුන්න උත්ත‍රේ. හැබැයි කාන්තා පාර්ශවේ උදවිය බැලීම සපුරා තහනම්."


"රුපියල් එකසිය විසිපහක් දීල අරක්කු බාගයක් බිව්ව කියල අපි හිඟන්නො වෙන්නෙ නෑ කියල මම නෝනට කියන්නෙ . නෝන හිතාගෙන ඉන්නෙ තාම බාගෙ එකසිය විසිපහයි කියල"

අන්තිමටම රාලහාමි කිව්ව.‍

Thursday, September 20, 2012

සහෝදර ප්‍රේමය

චන්ද්‍රසේන ඇමතිතුමා සිටියේ නිදිවර්ජිතවය. මැදියම් රැයද පසුවී ඇතත් නින්ද ඔහු සොයා පැමිණියේ නැත. සයනයට යාබදව එක්පසෙක තිබූ වතුර වීදුරුව ගත් ඔහු එය හිස්කරදැමීය. සැමියා සිටින්නේ නිදි වර්ජිතව බව මළානික අඳුරේ වුවද බිරිඳ වටහාගත්තාය.

"ම්...... ඔයා තාම නිදි නැද්ද?" ඕ විචාලාය.

"ඕනවට වැඩිය කල්පනා කරන්න එපා අනේ........" එවර ඔහු ගොළුවත බින්දේය.

"කල්පනා නොකර කොහොමද හාමිනේ. ඌයි මායි එක්කුස උපන් එවුන් වෙච්චි, එහෙව් එකේ......."


"නෑ මං කිව්වෙ...... කල්පනා කරල වැඩක් නෑනේ.... එක්කෝ ලොක්ක එක්ක කතාකරල බලන්න"

මඳ නිහඬතාවයකින් පසු ඇමතිවරයා යලි හඬ අවදිකලේය.

"මට මතකයි මං පොඩිකාලෙ බැරිමරගාතෙ රංජිය වඩාගන්න හැටි. ඒකාලෙත් හැමෝම ඌට ආදරෙයි"

"එකපාරක් මල්ලිට ඉස්කෝලෙදි ගහපු එකෙකුට මම දුවනකල් ගැහුවෙ!" ඇස් කොනට පැමිණි කඳුළු බිඳුව ඔහු සිය පොරවනයෙන් පිසදාගත්තේය.


"දැං ඔයා මොකද කරන්න හිතාගෙන ඉන්නෙ?"

"මම ඉල්ලා අස්වෙනව!"


"මොනව! ඔයාට පිස්සුද? ආණ්ඩුව වැටෙන පේන මානෙක නැතිව, ‍ඔය මෝඩ වැඩේ කරන්න නං ලෑස්ති......"

"නෑ නෑ හාමිනේ,.... මම යූඇන්පීයට යන්නෙ නෑ. මං ඇමති කමෙන් ඉල්ලා අස් වෙනව"

එවර ඇය තත්පර කිහිපයකට නිහඬ විය.


"අනේ...... මට ටැක්සිවලින් පොලේ යන්න නං කියන්න එපා ඔන්න,..... ඔයා ළමයි ගැන හිතන්නෙ නැද්ද?..... අනෙක විපක්ෂෙ හිටිය කාලෙ නං කමක් නෑ........"

"නෑ මං කිව්වේ......."


"ඇමතිකම නැතිවුනා කියන්නෙ යූඇන්පියට ගියා වගේ තමයි. ඊට පස්සෙ කවුරුත් එන්නෙ නෑනේ ඔයා හොයාගෙන"

"මං කියනදේ අහන්නකො හාමිනේ...... මම හදන්නෙ සදහටම ඇමතිකමෙන් අයිං වෙන්න නෙවේ...... ටික දවසකට අයින් වෙලා ආයෙත් එන්න බැරියැ"


"oහා... ඔයා ඉල්ලන ඉල්ලන වෙලාවට ඇමතිකං දෙන්නයි ගන්නයි ලොක්ක සූදානංද?"
එවර ඔහුගේ සිනහව අඩ අඳුර තුලින් වුවද ඇයට පෙනිනි.

"ඒවට ක්‍රම සහ විධි තියනවනේ හාමිනේ....."


"ඒ කිව්වෙ?"

"අපේ දිස්ත්‍රික්කෙ පාක්ෂිකයො ලොක්කගෙං ඉල්ලුවොත් ආයෙත් මට ඇමතිකම දෙන්න කියල! දෙන්න වෙනවනේ..... මතකනෙ එක සැරයක් ජෙයරාජ් ඇමතිතුමාගෙ වහලටත් මිනිස්සු නැග්ගෙ!"


"අනේ මංද! ඔයාට හොඳයි කියල හිතන විදියක් කරන්න"

"නෑ හාමිනේ බයවෙන්න දෙයක් නෑ...... එතුමා අපි දෙන්න ගැන බලාවි......"

"අනෙක සහෝදර ප්‍රේමය ගැන එතුමාට වඩා දන්න වෙන කෙනෙක් අපේ රටේ ඉන්නවද හාමිනේ"


Sunday, September 16, 2012

අරක්කු සිගරට් සහ ගොංපාට්!

ඕනෑම කාරණයක් සම්බන්ධව මධ්‍යම ප්‍රථිපදාව අනුගමනය කරන මේ බ්ලොග්කරුවා මත්ද්‍රව්‍ය වලින් මුළුමනින්ම තොර නොවූවකු මෙන්ම දුකේදීත් සැපේදීත් මත්ද්‍රව්‍ය වලින් සැනසුම සොයන්නන්ගේ ගොඩට අයත් නොවන්නෙකුද වේ. යම් යම් අවස්ථාවන්හිදී මේ අඩවියේ ලියූ සටහන් වල මත්ද්‍රව්‍ය පිලිබඳව දක්වා ඇතත් ඒවා ඕනෑකමින් එක්කල දේවල් නොවන බව කිවයුතුය. මේ අසම්පූර්ණ සටහන ලියවෙන්නේ මත්ද්‍රව්‍ය සහ ඒවා පාවිච්චි කරන්නන් ගැනත් ඒ අවට සීමිත කාරණා කිහිපයක් ගැනත්ය.

එක් වචනයකින් මත්ද්‍රව්‍ය ගැන කිවහොත්, "හානිදායකය" යන්න කීමට ඇවැසිමය. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් එම කාරණය කොතරම් සාධාරණීකර‍ණය කලද එහි ඇති හානිය අඩු නොවේ. එහෙත් මගේ විශ්වාසය අනුව මත්ද්‍රව්‍ය-නීතිගත මත්ද්‍රව්‍ය යයි සිතමු-පාවිච්චි කිරීම හෝ නොකිරීම තමාගේ තීරණයක් විය යුතු අතර තිබිය හැකි සියළු වාසි අවාසි තමන් විසින්ම දරාගනිමින් කලයුතු පෞද්ගලික කාර්යයක් වියයුතුය.

සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් විවිධාකාර කාන්ඩයන්ගෙන් දැක්විය හැකිය. මත්පැන් වර්ග ගත්විට බියර් පමණක් පාවිච්චි කරන්නන්ගේ සිට කසිප්පු අරක්කු විස්කි බ්‍රැන්ඩි ආදි සියල්ලම පාවිච්චි කරන්නන්ද, දුම සහිත මත්ද්‍රව්‍ය සැලකූ විට සිගරට් ගංජා හෂීස් හෙරොයින් සහ කොකේන් වැනිදෑද පාවිච්චි කරන්නන්ද, මීටත් අසම්මත ක්‍රම වන මත්වීම සඳහා ඖෂධ වර්ග පාවිච්චිය පසුගිය වසර දහයක පමණ කාලයේදී සීග්‍රයෙන් වර්ධනය වී ඇත. මානසික රෝග සඳහා ප්‍රථිකාර ගැනීමට පැමිණෙන රෝගීන් අතර මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිහි විකල්වූවන් විශාල පිරිසක්ද සිටී. එබැවින් මෙහි හාණිදායක බව අමුතුවෙන් විස්තර කිරීම අවශ්‍ය නොවේ.

සාමාන්‍යයෙන් වයස 15-30 වන කාලයේදී කෙනෙකු මත්ද්‍රව්‍ය පාවිච්චිය සඳහා මුල්ගල තැබීමට බොහෝ විට ඉඩඇත. එයින්ද වයස 25 වනතෙක් කාලය තීරණාත්මකය. ඉන්පසු මත්ද්‍රව්‍ය ගැනීමට පෙලඹෙන්නන් ප්‍රමාණය අඩු බව අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කරගත හැකිය. මත් විරෝධීන්ට අනුව, මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම පෞරුෂය පිළිබඳ ගැටළුවක් ලෙස හැඳින්වුවද ඔබ හොඳින් දන්නා පුද්ගලයන්ට ආදේශකර බැලූවිට එය සත්‍ය යයි සිතිය හැකිද? විශේෂයෙන් ශරීරය වෙහෙසවා වැඩ කරන්නන් සන්ධ්‍යා කාලයේදී කරන මත්පැන් පානය සාධාරනීකරණය කරන්නේ "ඇ‍ඟේපතේ අමාරුව අඩුකර ගැනීම" යන කරුණය. අනෙක් විශාලතම ප්‍රතිශතය හේතු වශයෙන් දක්වන්නේ තමා වටා සිටින පිරිස සමඟ ඇති සම්බන්ධය වර්ධනය කරගැනීමට, වඩා හොඳ "සෙට්වීමකට" මත්පැන් පාවිච්චි කරන බවය.

මත් ලෝලීන්-විශේෂයෙන්ම මත්පැන් ලෝලීන්- අතර දැකිය හැකි සුවිශේෂීතාවයන් ඇත. තම බීමේ හැකියාව ගැන ඔවුන් එකිනෙකාට නොදෙවනි අයුරින් කතා කිරීමට රුචිකත්වයක් දක්වයි. (බ්ලොග් අවකාශයේද මෙවන් ලිපි හමුවී ඇත). ඔබ මත්පැන් පානය කරන්නෙක් නම් මෙවන් ප්‍රකාශ කරන්නන් ඔබට ඕනෑතරම් හමුවී ඇතිවාට සැක නැත.

"අද නං බොන්න බෑ බං,..... මේ ටිකේම එක දිගටම බිව්ව...... ඊයෙ රෑ 12ත් පහුවෙනකල් බිව්ව. අද පුල් අමාරුයි"

ඒ බීමට එතරම් අවශ්‍යතාවයක්/හැකියාවක් නැති එහෙත් අනෙකුන්ට දෙවැනි වීමට අකමැති වූවන්ය.

"එදා අපි පස්දෙනයි හිටියෙ.... බෝතල් හතරක් බිව්ව"

එහෙත් මෙසේ කියන්නා අද කාලක්වත් බීමේ හැකියාවක් නැත්තෙකි. බොන ප්‍රමාණයට වීරත්වය ඇතැයි සිතන්නන් එසේය.

"මං ඒ කාලෙ, සිගරට් එකක් නිවෙනකොට ඒකෙන් තමයි අනෙක පත්තු කරන්නෙ"

ඒ තවත් අයෙකි. තම වීරත්වය පෙන්වන්නේ එසේය.

මත්ද්‍රව්‍ය කිහිප වරක් පාවිච්චි කලවිට යම් ප්‍රතිශතයක් ඊට ඇබ්බැහි වන අතර තවත් පිරිසක් එයින් සම්පූර්ණයෙන්ම ඉවත් නොවූවද සාමාන්‍ය පාවිච්චියක් සිදු කරයි. මා කලකට පෙර ලියූ මෙම කතාවෙන් කියවෙන මගේ මිත්‍රයා අත්හදා බෑලීමට හෙරොයින් පාවිච්චි කිරීමෙන් පසුව පවා ඉන් ඉවත් වූවෙකි.

මත්ද්‍රව්‍ය නිවාරණය, දැනුවත් භාවය මූලික කොටගෙන සිදුකල යුතු බව මගේ අදහසයි. ඉන් මෙපිට පවතින තහනම් කිරීම් ආදිය එතරම් සාර්ථක නොවන බව ඉතිහාසය සාක්ෂි දරයි. මේ දිනවල තිරගත වන(?) කලර් චිත්‍රපටය කුප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ තහනමට ලක්වූ බව කියවුනේ එහි ඇති මත්ද්‍රව්‍ය පිලිබඳ දර්ශය හේතුවෙනි. මීට මාසයකට පමණ පෙර අප කාර්යාලයේ දැන්වීම් පුවරුවේ ඇලවූ පෝස්ටරයක් මඟින් කියවුනේ "සිගරට් බොන්නන් මෝඩපාටය" යන්නය. ඉන්පසු මෙම පෝස්ටරය රජයේ කාර්යාල සහ ප්‍රසිද්ධ ස්ථානවල අලවා තිබෙනු දක්නට ලැබීය. එවැනි දෑ හඳුන්වාදිය හැක්කේ "ගොංපාට්" යනුවෙන් පමණි.

Sunday, September 9, 2012

ප්‍රෞඩ ජාතියක මෙව්වඑක.........



මට මොකුත්ම මතක නෑ!





මටත් මොකුත් මතක නෑ!



ඕං අපේ තීන්දුවත් දුන්න!.....

Saturday, September 8, 2012

කපිලවස්තු සර්වඥ ධාතු සහ හයිකු

අනුරාධපුර සර්වඥ ධාතු ප්‍රදර්ශන පෝලිමේ සැදැහැවතුන්ට බර්ටි ප්‍රේමලාල්ගේ රුව රැගත් ධාතු කරඬුවේ පිංතූරයක් නොමිලේ!

එක
පැත්තක
ධාතු
අනිත්
පැත්තෙ
බර්ටි.


ඒක ආරංචි වෙච්ච මයිත් රී පාල,

තරාතිරම
නොබලා
දඬුවම්
කරනව.
($@ තමයි!)


මානෙල්වත්ත විහාරයේ ධාතු ප්‍රදර්ශනය පිළිබඳ ගලබොඩ පොඩි හාමුදුරුවෝ නොසතුටින්,

ඇයි
අපි
කළුද?


මුන්නේශ්වරම් පූජක,

ගිය
හැටියෙම
කපනව
බෙලි


මාතර පෝලිමේ සැදැහැවතෙක්,

කවුද
#$%*
පෝලිම
පනින්නෙ?


තිස්ස ප්‍රදර්ශන භූමියේ පොලිස් මහත්තයෙක්,

ඕයි
ඉක්මනට
යනව.


පෝලිමේ වේගය නිසා බලාපොරොත්තු කඩවූ අපේ අසල් වැසියා,

අපරාදෙ
හරියට
බලන්න
බැරිවුනා.



***********************************


අනේ
මේගොල්ල
පුරවගන්න‍
පව්!







තව දන්න කියන හයිකු තියනව නං ලියලම යන්න.







Wednesday, September 5, 2012

ගින්දර සොයාගැනීම සහ තවත් සියඹලා කතා.

ඉස්සෙල්ලම අපිට සියඹලා කතා කියල දුන්නෙ rear gate ලියන චාමි. නෑ නෑ චාමිට කලින් සියඹලා කතාව අහල තිබුන. චාමි කිව්වෙ සිස්ටම් එකේ සියඹලා කතා. ඒ කිව්වෙ නූතන සියඹලා කතා. මම කියන්න යන්නෙත් ඒ වගේ කතා කිහිපයක්. එක අතකට මේව සියඹලාමද මංද.

පහුගිය දවසක අපේ එකෙකුට ඕනවුනා ප්ලාස්ටික බැරල් එකක්. මේ වතුර කපන කාලෙනේ. වතුර ගබඩා කරගන්න පුළුවන් හොඳ තත්වයේ බැරල් තිබුනත් ඒව ටිකක් විතර මිලෙන් වැඩියි. මේකට විසඳුම තමයි ඇසිඩ් බැරල් ගැනීම. පිටරට වලින් එන එක එක වර්ගවල කෙමිකල් එන්නෙ මේ බැරල් වල. තමුන්ගෙ වැඩේ කරගත්තට පස්සෙ ඒ ඒ ආයතන වලින් අයින් කරන බැරල් කඩවලට එනව මම දන්න තරමින්. අන්න ඒව තමා මේ. ඉස්සර මේ බැරල් ආව ලස්සන පියනකුත් එක්ක. දැන් පියන නෑ. එක පැත්තකින් කපලයි ගන්න වෙන්නෙ. මෙන්න මේ ජාතියේ ලාභ බැරල් එකක් තමයි අරූ ගත්තෙ. ඊට පස්සෙ තියෙන්නෙ බැරල් එක කැපීම. අඩුවෙන් සල්ලි දීල ගෙනාවත් වැඩේ ලස්සනට කරන්නයි උවමනාව. ඔන්න හයිස්පීඩ් තලයක් එහෙම ගෙනල්ල වැඩේ පටන් ගත්තෙ හවස 4ට විතර. උගේ ගෙදර දැන් ඉන්නව මමයි තව මල්ලිල දෙන්නෙකුයි. "මල්ලී මේක අයිනෙන් ගානට කෙලින්ම ලස්සනට කපන්න ඕන" කොහොමද මුගේ කතාව. ඔන්න දැන් කපනව! කපනව! කපනව! ....... තාම බැරල් එක හිල් උනේ නෑ. පැයක් විතර කැපුව ඒත් ඇතුලතින් සිදුරුවෙන මට්ටමට ආවෙ නෑ. (අරූ ගානෙ ගෝල්ඩ් ලීෆ් තුනකුත් බීල දැං). මට තේරුනා මොකක් හරි අවුලක් තියනව කියල. ඒ ජාතියෙම බැරල් එකක් ලඟදි ගෙනාව එකෙක් ගැන මම දැනං හිටිය. ගත්ත ඌට කෝල් එකක්. "මචං උඹ ගෙනා බැරල් එක කපන්න කොච්චර වෙලා ගියාද.......", "පැය බාගයක් විතර....ඇයි?"...... (?) දැං මොකද කරන්නෙ. "උඹට එන්න බැරිද පොඩ්ඩක් ......ගෙදරට?". හරි ඌත් ආව. ඒ වෙනකොට හවස 6ට කිට්ටුයි. "මේකෙ කට වටේ තියනව අඟලකටත් වැඩිය ගනකම දාරයක්. උඹල කපල තියෙන්නෙ හරියටම ඒක උඩ!". වැඩිය මහන්සි වෙච්ච එකාට මල පැනල, "මේ හු&*%$ට එතනින්මනේ කපන්න ඕනවුනේ" ඌ කියනව. ඊට පස්සෙ අලුත් තැනකින් පටන් අරගෙන පැය භාගයක් විතර යද්දි වැඩේ ඉවරයි. දැන් කරුවල වැටීගෙනත් එනව. ගෙදර එකාගෙ ගානෙ බෝතල් දෙකක් ගෙනාව. දවල් හදපු මාළු වගයකුත් තිබුන බයිට් එකට. තවත් පැයක් දෙකක් යනකොට ඔක්කොම ඉවරයි.
"අඩෝ බලපං බං...... මට මේ ගියපු වියදම බැලුවම හොඳ බැරල් එකක්ම ගන්න තිබුන‍නෙ බං" අරූ කියනව. "ඒ වගේද බං මේ කරපු වැඩේ. තව අවුරුදු ගානක් මතක තියනව මටනං"(අනෙක උන් නොදන්නවට මේක බ්ලොග් පෝස්ට් එකක්).

☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻

අනිත් කතාව තමයි මාළු ඇල්ලීම. මේක සිද්ධවෙලා අවුරුද්දක් විතර ඇති. අපි දවසක් මාළු අල්ලන්න සෙට්වුනා මේ පැත්තෙ තියන පොඩි වැවක. හවස පටන්ගත්ත මාළු ඇල්ලිල්ල පැයක් විතර ගතවුනත් හයදෙනෙකුට අල්ලන්න ලැබුනෙ මාළු දෙතුන්දෙනයි. මේ වෙද්දි ඉරත් බැහැගෙන යන වෙලාව. වැව අයිනෙ තියන ලිඳේ ලොකු මාලු දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නව කියල අපි දැනගෙන හිටිය. බැරිම තැන දෙන්නෙක් තමුන්ගෙ බිලී පිති ලිඳට දැම්ම. ටික වෙලාවක් ගියා ම්හු! ලි‍ඳේ
ඉන්න එවුන්වත් ඇම කන්නෙ නෑ. අන්තිමේදි එකෙක් යෝජනාවක් ගෙනාව ලිද හිස් කරමු කියල. වැව අයිනෙ තියන ලිඳ ලේසියෙන් හිස් කරන්න බෑ. එකෙක් වතුර මෝටරයක් ගෙනාව. තව එකෙක් ඒකට ඉන්ධන ගෙනාව. ටික වේලාවක් ගියා. දැං දැං ලි‍ඳේ පතුල පේනව. මාළු කිහිප දෙනෙකුත් ඉන්නව. ලොකු බාල්දියකට මාළු කොටුකරල උඩට වඩම්මවන එකයි ප්ලෑන. ඒත් අවාසනාවක මහත! මොටරේට සම්බන්ධ කරල තිබුන වෑල් එක ලිඳට වැටුන මේ අතරෙ. දැන් ලිඳට ආයෙත් වතුර පිරෙනව. එකෙක් ගිහිල්ල ලිඳට බස්සන්න මනුස්සයෙක් එක්කරගෙන ආව. එයා ලි‍ඳේ කිමිදිලා වෑල්එක හොයාගත්ත. මාළු අල්ලන්න බෑ. වැඩේ ක්ලෝස් කලා එතනින්. තෙල්වලට ගිය වියදමයි ලි‍ඳේ බස්සපු එකාට "සලකන්න" ගිය වියදමයි බැලුවම සියඹලා ගෙනල්ලම නෑ.

☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻

අන්තිම සිද්ධිය උනේ ඉඩමක් සුද්ධ කරන්න ගිය දවසක. එදා කස්ටියගෙ ප්ලෑන්එක උනේ ඉඩම එලිපෙහෙලි කරල ඒකෙ වට්ටක්ක වගාවක් දැමීම. ඔන්න හය දෙනෙක් විතර උදේ ඉඩමට යද්දි නවය හමාර විතර වෙලා. පැයක් විතර වැඩ කලාට පස්සෙ සිගරට් එකක් බොන්න ඕනවුනා. හැබැයි සිගරට් තිබුනත් ගිණිපෙට්ටිය ගෙනල්ල නෑ. දැං ඉතිං කාට කියන්නද! හය දෙනාම එකතැනට ආව.
"මම ආදිකාලෙ විදියට ගින්දර දෙන්නං" එකෙක් ලී කෑලි දෙකක් එකට අතුල්ලනව.
"මේ ක්‍රමේ වැඩිය ඉක්මං" තව එකෙක් වතුර බොන්න ගෙනාව බෝතලය ඉර එලියට අල්ලල ෆෝකස් කරල ගිනි දල්වන්න හදනව.
තවත් එකෙක් ගල්කැට දෙකක් එකට ගහනව ගින්දර නිපදවන්න.
මම කස්ටිය අප් කරනව.

ඔය විදියට දවල් එක විතර වෙනකල් ට්‍රයිකලා. ඒත් හරිගියේ නෑ. අන්තිමට සියල්ලෝ සතුටින් විසිර ගියා. වට්ටක්ක වගාව එතනම හබක්. හොඳම සිද්ධිය තමයි පැය ගානක් ගින්දර නිපදවන්න ට්‍රයිකලේ මීටර 150ක් 200ක් විතර දුරකින්, ගින්දර ඉල්ලගන්න පුළුවන් ගෙදරක් තියෙද්දි!

☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻

Monday, September 3, 2012

කාලය මැව් වෙනසක අරුමේ.......[බ්‍රේක් නැති යතුරු පුවරුව‍]

☻ එදා ගිහිකල කල වැරදිවලින් ගැලවීමට අංගුලිමාල හාමුදුරුවන් පිරිත් කීවේය. අතීත වර්තමාන අනාගත තුන්කල් වැරදි වලින් ගැලවීමට බීප් බීප් පුත්‍රයා සර්වඥ ධාතූන් හිසමතින් වඩම්මවයි. අනේ සාදු!

☺ එදා ලෝකයේම ළමයින්ට සුරංගනා කතා කීවේ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ය. මෙදා ලාංකීය වැඩිහිටියන්ට සුරංගනා කතා කියාදෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාය. වෙනසකට ඇත්තේ කුතුහලය වෙනුවට හාස්‍ය මතුවීමය.

☻ එදා කුඩුකාරයන් හොරකම් කලේ අනුන්ගේ වැල්වල තිබූ පරණ ඇඳුම්ය. අද කුඩුකාරයන් හොරකම් කරන්නේ අධි ආරක්ෂිත කලාපයේ ඇති කෞතුක වස්තූන්ය. අන්න හැදෙන මිනිස්සු!

☺ එදා ටියුෂන් ගුරුවරු විභාග ප්‍රශ්න අනුමාණ කලේය. අද ටියුෂන් ගුරුවරු විභාග ප්‍රශ්නපත්‍ර කෙලින්ම විභාග දෙපාර්තමේන්තුවෙන් ආනයනය කරයි. කෙලින් වැඩ!

☻ එදා ජනාධිපතිතුමා රැකගැනීමට මැති ඇමතිවරුන් ජනතාව සමඟ ප්‍රශ්න කතා කලේය. අද මැති ඇමතිවරුන් රැකගැනීමට ජනාධිපතිතුමා ජනතාව සමඟ කතා කරයි. අන්න ජනතාවාදී නායකයො!

☺ එදා නාවික හමුදාවේ ලොකුම හතුරා සුසෙයිගේ මුහුදුකොටි බලකාය විය. අද නාවික හමුදාවගේ ලොකුම හතුරා නුවර රග්බි කණ්ඩායමයි. අනේ අනිච්චං!

☻ එදා ජපන්/චීන ජාතිකයෝ බොන්සායි ක්‍රමයෙන් ගස් "කුරු" කලේය. අද අලි‍න් කුරු කිරීමේ ක්‍රමය හඳුන්වා දෙන්නේ රනිල් වික්‍රමසිංහය‍. උත්සාහවන්තයා ජයගනී.

☺ සර්වඥ ධාතූන් වඩම්මා එයින්ද දේශපාලන වාසි ගැනීමට තරම් මහින්ද මහතා කපටිය. ධාතුවල "ජාතකය හෙවීමට ගොස්" පජාත වීමට තරම් රනිල් වික්‍රමසිංහ මහතා අඥානය.

☻ එදා ළමයින්ට ඉසඩ් අකුර මතක් උනේ ZOO ලිවීමට යද්දී පමණි. අද Z මතක් වෙද්දී ළමයින් පමණක් නොව දෙමාපියන්ද වෙව්ලයි.

☺ එදා බුදුන් වහන්සේ වැඩම කර බිලි පූජා නැවැත්වීය. මෙදා ජනපතිතුමා සර්වඥ ධාතු වැඩමකරවා බිලි පූජාව කල් දැමීය. ඒකත් මදැයි!

☻ එදා එජාප මහලේකම් වරුන්ට අවශ්‍ය වූයේ ආණ්ඩු පිහිටුවීමයි. අද තිස්ස අත්තනායක මහතාට අවශ්‍ය කෙසේ හෝ පක්ෂයේ විනය රැකගැනීමයි. ලෙඩා මළත් බඩ සුද්දය!